ඔබගේ විවාහ පොරොන්දුවට එකඟව ජීවත්වීම!
විවාහ දිනය සන්තෝෂවත් දිනයකි. එය ඉතා බැරෑරුම් අවස්ථාවක්ද වෙයි. මණාලිය සහ මණාලයා ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලයටම බලපාන විධිමත් පොරොන්දුවක් කරති. විවාහයට පැමිණ සිටින අමුත්තන් මෙම විධිමත් පොරොන්දුවට සාක්කිකරුවන් වන මුත්, යෙහෝවඃ දෙවියන්වහන්සේ ප්‍රධානතම සාක්කිකරුවාණන් වනසේක.
බයිබලය විශේෂිත ක්‍රියා පිළිවෙත් හෝ විශේෂ වර්ගයේ විවාහ මංගල්‍යය ක්‍රමයක් නියම කරන්නේ නැත. එහෙත්, එහි දිව්‍යමය ආරම්භය සැලකිල්ලට ගෙන, විවාහය චාරිත්‍රානුකූලව විධිමත් කරන්නේ, ආගමික උත්සවයක් අතරතුරේදී විවාහ පොරොන්දු උපයෝගි කරගැනීම තුළිනි. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වසර කිහිපයකට මතු සඳහන් විවාහ පොරොන්දුව භාවිත කර ඇත: “—— වන මම —— වන ඔබව, මගේ විවාහක (භාර්යාව/ස්වාමිපුරුෂයා) ලෙස පිළිගෙන, ක්‍රිස්තියානීන් සඳහා ශුද්ධ ලියවිලිවල (භාර්යාවන්ට/පුරුෂයන්ට) දක්වා තිබෙන දිව්‍යමය නීතියට අනුකූලව, දෙවියන්වහන්සේගේ විවාහ විධිවිධානයට අනුව අප දෙදෙනා එක්ව පොළොව මත ජීවත්ව සිටින තාක් කල් ප්‍රේම කිරීමටත්, ආදරයෙන් රැකබලා ගැනීමටත් (භාර්යාව: ගැඹුරු ලෙස ගෞරවය කිරීමටත්), ඔබව භාරගනිමි.” a
සිතා බැලීමට යමක්
ඔබ විවාහ වීමට අදහස් කරන්නෙහි නම්, විවාහ දිනයට පෙර මෙම පොරොන්දුවේ ගැඹුර සහ තේරුම පිළිබඳව සිතා බැලීම ඉතා වටිනා යමක් විය හැකිය. සාලමොන් මෙසේ පැවසුවේය: “නුඹේ මුඛයෙන් ඉක්මන්කාර නොවෙන්න, නුඹේ සිතද දෙවියන්වහන්සේ ඉදිරියෙහි කාරණයක් නිකුත්කරන්ට ඉක්මන් නොවේවා.” (දේශනාකාරයා 5:2) ඔබ දැනටමත් විවාහක නම් කුමක්ද? ඔබ යෙහෝවඃවහන්සේ ඉදිරියෙහි කළ විධිමත් පොරොන්දුවේ වැදගත්කම පිළිබඳව මෙනෙහි කිරීමෙන් ඔබට ප්‍රයෝජන ලබාගත හැකිය. ඔබ එයට අනුකූලව ජීවත් වන්නෙහිද? ක්‍රිස්තියානීහු ඔවුන්ගේ පොරොන්දු බැරෑරුම් ලෙස සලකති. සාලමොන් තවදුරටත් මෙසේ කියයි: “නුඹ වුණ භාරය ගෙවාපන්න. නුඹ බාරයක්වී නොගෙවා සිටිනවාට වඩා බාරයක් නොවී සිටීම හොඳය. නුඹේ මාංසය ලවා පව්කරවන්ට නුඹේ කටට ඉඩනොදෙන්න; ඒක වැරදිල්ලකැයි දේවදූතයා ඉදිරියෙහි නොකියන්න.”—දේශනාකාරයා 5:5-6.
විවාහ පොරොන්දුව වාක්‍යයෙන් වාක්‍යයට සලකා බැලීම මගින් මෙම විධිමත් පොරොන්දුව සම්බන්ධයෙන් ඔබගේ අවබෝධය වැඩි වර්ධනය වනවා නිසැකය.
“මම —— ඔබව භාරගනිමි”: මේවා පොරොන්දුවේ අන්තිමට සඳහන් වචන වේ. ඔබ විවාහ වීමට ගත් තීරණය ගැන, ඔබ පෞද්ගලිකව වගකීම භාරගත යුතු බව ඒවා කැපීපෙනෙන්ට සලස්වයි.
ක්‍රිස්තියානි විධිවිධානය යටතේ, විවාහ වීම සඳහා ශුද්ධ ලියවිලිමය බැඳීමක් නොමැත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේම විවාහ නොවී සිටි අතර, “ඒක පිළිගන්ට පුළුවන්” තැනැත්තන්ට තනිකඩභාවය සුදුසු බව නිර්දේශ කළසේක. (මතෙව් 19:10-12) අනික් අතට, යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන්ගෙන් බොහෝදෙනෙක් විවාහකයෝ වූහ. (ලූක් 4:38; 1 කොරින්ති 9:5) විවාහ වීම සඳහා තීරණය ගැනීම පෞද්ගලික එකක් බව පැහැදිලිය. තවත් කෙනෙකුට විවාහ වීම සඳහා බල කිරීමට කිසිම මනුෂ්‍යයෙකුට ශුද්ධ ලියවිලිමය අධිකාරයක් නොමැත.
මෙනිසා, විවාහ වීමට තෝරාගැනීම සම්බන්ධයෙන් ඔබ වගකිව යුතුය. එලෙසම, ඔබ විවාහ වන්ට යන්නේ කා සමඟද කියා ඔබ තීරණය කරන්ට ඇත. ‘මම, —— වන ඔබව භාරගනිමි,’ කියා පවසමින් ඔබ විවාහ පොරොන්දුව දෙන විට, ඔබ එම පුද්ගලයාගේ යහපත් ගුණාංග පිළිගන්නවා හෝ භාරගන්නවාට අමතරව, ඔහුගේ හෝ ඇගේ දෝෂද ඔබ පිළිගන්නෙහිය හෝ භාරගන්නෙහිය.
කාලයත් සමඟ ඔබගේ කලත්‍රයාගේ පෞද්ගලිකත්වයේ කලින් නොදැන සිටි අංගයන් සොයාගැනීමට ඉඩ කඩ ඇත. විටින් විට බලාපොරොත්තු කඩවීම් තිබිය හැක. “සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති,” යනුවෙන් බයිබලය පවසයි. (රෝම 3:23) එනිසා ඔබගේ කලත්‍රයාට උපකාර කිරීමේ අටියෙන් ඔබට සකස්වීම් කරන්ට අවශ්‍ය විය හැකිය. මෙය දුෂ්කර විය හැකි අතර, සමහර වේලාවලදී අතහැර දැමීමට ඔබට හැඟිය හැකිය. නමුත්, විවාහ පොරොන්දුව යෙහෝවඃවහන්සේ ඉදිරියෙහි සිදු කළ බව මතක තබාගන්න. සාර්ථක වීම සඳහා ඔබට උපකාර කිරීමට උන්වහන්සේට හැක.
“මගේ විවාහක (භාර්යාව/ස්වාමිපුරුෂයා) ලෙස”: පළමුව සිදු වූ විවාහයේදී, ඒවව ආදම්ට විවාහ කර දුන් විට, “ඔව්හු එක මාංසයක් වන්නෝය,” යනුවෙන් යෙහෝවඃ දෙවියන්වහන්සේ පැවසූසේක. (උත්පත්ති 2:24; මතෙව් 19:4-6) මෙලෙස මනුෂ්‍යයන් දෙදෙනෙකු අතර පැවතිය හැකි සමීපතම සබඳතාව විවාහ බැම්මයි. විවාහය ඔබව අලුත් සබඳතාවක් තුළට ගෙන එයි. ඔබ යමෙකුව ඔබගේ “විවාහක භාර්යාව” හෝ “විවාහක ස්වාමිපුරුෂයා” ලෙස පිළිගන්නෙහිය. වෙනත් කිසිදු සබඳතාවකට වඩා එය වෙනස්ය. අනිකුත් සබඳතාවලට ස්වල්ප වශයෙන් පීඩාවට හේතු විය හැකි ක්‍රියාවන්, විවාහ විධිවිධානය තුළ දැඩි වේදනාවලට හේතු විය හැකිය.
එක් උදාහරණයකට, එපීස 4:26හි දක්නට ලැබෙන ශුද්ධ ලියවිලිමය උපදේශය ගන්න. එහි බයිබලය මෙසේ පවසයි: “කෝපවුණත් පව් නොකරල්ලා. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරිල්ලා.” සමහරවිට ඔබ විගසින් කළ යුතුව තිබුණත්, නෑදෑයන් සහ මිත්‍රයන් සමඟ ඔබගේ ප්‍රශ්න ඔබ සෑමවිටම විගස විසඳාගෙන නැත. එහෙත් ඔබගේ කලත්‍රයා අනිකුත් ඕනෑම නෑදෑයෙකුට හෝ මිත්රයෙකුට වඩා සමීපය. ඔබගේ කලත්‍රයා සමඟ ඉක්මනින් ප්‍රශ්න විසඳාගැනීමට අසමත් වීමෙන් ඔබ අතර තිබෙන විශේෂ සබඳතාව අනතුරට පත් විය හැකිය.
ඔබ සහ ඔබගේ කලත්‍රයා අතර සිදු වන එකඟ නොවීම් නොනවත්වා ඇති වන කෝපයේ හෝ ශෝකයේ උල්පතක් වීමට ඔබ ඉඩහරින්නෙහිද? වරදවා තේරුම්ගැනීම් සහ කැලඹිලි සහිත තත්වයන් දින කිහිපයක් පුරා පවතීද? ඔබගේ පොරොන්දුවට එකඟව ජීවත්වීමට නම්, දුෂ්කරතාවන් පැන නැඟුණු විට ඔබගේ කලත්‍රයා සමඟ සාමය ඇති කරගන්නේ නොමැතිව දවසක්වත් ගත වන්ට ඉඩ නොදෙන්න. මින් අදහස් වන්නේ, ඔබගේම දෝෂයන් සහ වැරදි පිළිගැනීම මෙන්ම සමාව දීම සහ අමතක කිරීමයි.—ගීතාවලිය 51:5; ලූක් 17:3, 4.
“ප්‍රේම කිරීමට”: පුරුෂයා වන්ට යන තැනැත්තා ඔහුගේ මණාලියට “ප්‍රේම කිරීමටත් ආදරයෙන් රැකබලා ගැනීමටත්” පොරොන්දු වෙයි. ඇතැම්විට ඔවුන්ව එක් කළ ආලයෙන් බැඳීමද මෙයට ඇතුළත් වේ. නමුත් ආලයෙන් බැඳීම පමණක් නොසෑහේ. ක්‍රිස්තියානියෙක් ඔහුගේ හෝ ඇගේ කලත්‍රයාට පොරොන්දු වන එම ප්‍රේමය, ගැඹුරින් හා පුළුල්කමින් වැඩිය.
එපීස 5:25 මෙසේ පවසයි: “පුරුෂයෙනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන් පාවාදුන්නාක්මෙන්, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේමකරපල්ලා.” සභාවට වූ යේසුස්වහන්සේගේ ප්‍රේමය, ස්ත්‍රී පුරුෂයන් අතරේ තිබෙන ආලයෙන් බැඳීමට සමානත්වයෙහිලා සැලකීම උගහටය. මෙම ශුද්ධ ලියවිලි පදයේ භාවිත කර තිබෙන “ප්‍රේම කරපල්ලා” සහ “ප්‍රේමකොට” යන වචන, ප්‍රතිපත්ති මගින් මඟ පෙන්වන ප්‍රේමයට යොමු දක්වන අ·ගාʹපේ, නමැති වචනයෙන් පැමිණේ. මෙහිදී බයිබලය ඔවුන්ගේ භාර්යාවන්ට නිරන්තර, නොසැලෙන, විඳදරාගන්නාවූ ප්‍රේමය පිළිබිඹු කිරීමට පුරුෂයන්ට අණ කරයි.
එය නිකම් “ඔයා මට ආදරේ නිසා මම ඔයාට ආදරෙයි” යන චිත්තවේගීය ආකාරයේ එකක් නොවේ. පුරුෂයෙකු තමාගේම ශුභසිද්ධියට වඩා තම භාර්යාවගේ ශුභසිද්ධිය සොයන අතර, භාර්යාව එම ආකාරයෙන්ම තමාගේ පුරුෂයාට ප්‍රේම කරන්නීය. (පිලිප්පි 2:4) ඔබගේ සහකරුවා සඳහා ගැඹුරු ප්‍රේමයක් වගා කිරීම, ඔබට ඔබගේ විවාහ පොරොන්දුවට අනුකූලව ජීවත්වීමට උපකාර කරයි.
“ආදරයෙන් රැකබලා ගැනීමට”: එක් ශබ්ද කෝෂයකට අනුව, “ආදරයෙන් රැකබලා ගැනීම” යන්නෙන් අදහස් කරන්නේ ‘ආදරණීය ලෙස තබාගැනීම, යමක් කෙරෙහි ස්නේහය හැඟීම හෝ පෙන්වීමයි.’ වචන සහ ක්‍රියා යන දෙයාකාරයෙන්ම ඔබගේ ප්‍රේමය ඔබ ප්‍රකාශ කළ යුතුයි! ඇගේ පුරුෂයාගේ ප්‍රේමයේ නිරන්තර නිරූපණය කිරීම් භාර්යාවක් විශේෂයෙන්ම ලැබීමට අවශ්‍යය. ඇගේ පුරුෂයා ඇගේ ශාරීරික අවශ්‍යතා සම්බන්ධයෙන් හොඳ සැලකිල්ලක් දක්වන්ට පුළුවන, එහෙත් මෙය නොසෑහේ. ප්‍රමාණවත් ආහාර සහ සැපපහසු නිවසක් ඇති භාර්යාවෝ සිටිති, නමුත් ඔවුන්ගේ විවාහක සහකරුවා සැලකිල්ලක් නොදක්වන නිසාත්, ගණනකට නොගන්නා නිසාත් ඔවුහු ඉතා අසතුටින් සිටිති.
අනික් අතට, ප්‍රේම කරනු ලබන බව සහ ආදරයෙන් රැකබලා ගන්නා බව දන්නා භාර්යාවකට සතුටු වීමට සෑම හේතුවක්ම තිබේ. ඇත්තෙන්ම, මෙයම පුරුෂයාටත් අදාළ වේ. සැබෑ ප්‍රේමය තව තවත් වැඩි වර්ධනය කරනු ලබන්නේ, ස්නේහයේ අව්‍යාජ ප්‍රකාශයන් මගිනි. සාලමොන්ගේ ගීතිකාවේ ප්‍රේමවන්ත එඬේරා මෙසේ ප්‍රකාශ කරයි: “මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, නුඹේ ප්‍රේමය [සෙනෙහසින් පිරුණු ප්‍රකාශයන්, NW] කොපමණ මිහිරිද! නුඹේ ප්‍රේමය මුද්‍රිකපානයටත්, නුඹේ විලවුන්වල සුවඳ සියලු සුවඳ ද්‍රව්‍යවලටත් වඩා කොපමණ හොඳද!”—සාලමොන්ගේ ගීතිකාව 4:10.
“ගැඹුරු ලෙස ගෞරවය කිරීමටත්”: ශතවර්ෂ ගණන් පුරා ස්ත්‍රීන්ව පීඩාවට පත් කරමින්, පහත් කොට සලකා ඇති පුරුෂයන් සිට ඇත. අදදින පවා, වර්ල්ඩ් හෙල්ත් සඟරාවට අනුව “සෑම රටක, සෑම සමාජයක සහ ආර්ථික පන්තියක ස්ත්රීන්ට විරුද්ධව සාහසිකකම් සිදු වේ. බොහෝ සංස්කෘතීන්වල භාර්යාවන්ට පහර දීම මිනිසාගේ අයිතිවාසිකමක් ලෙස සලකනු ලැබේ.” බොහෝ පුරුෂයන් එලෙස නොහැසිරෙනවා විය හැක. එහෙත්, ස්ත්‍රීන් හා බැඳි ප්‍රශ්න ගැන අව්‍යාජ උනන්දුවක් දැක්වීමට බොහෝ පුරුෂයන් අසමත් වන බව පෙනේ. ප්‍රතිඵලයක් ලෙස, බොහෝ ස්ත්‍රීන් පුරුෂයන් සම්බන්ධයෙන් නිෂේධාත්මක ආකල්පයක් වර්ධනය කරගෙන තිබේ. “මම මගේ පුරුෂයාට ප්‍රේම කරනවා, නමුත් මට ඔහුට ගෞරව කරන්ට බැහැ!” යනුවෙන් සමහර භාර්යාවන් පවසනවා ඇසී තිබේ.
කෙසේවෙතත්, කලින් කලට ඇගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීමට ඔහුට නොහැකි වුවත්, තම පුරුෂයාට ගෞරව කිරීමට වෑයම් කරන කාන්තාවට යෙහෝවඃ දෙවියන්වහන්සේ, ප්‍රශංසාව ලබා දෙනසේක. ඔහුට දෙවියන්වහන්සේගෙන් ලද පැවරුමක් හෝ තනතුරක් තිබෙන බව ඈ පිළිගනී. (1 කොරින්ති 11:3; එපීස 5:23) මෙලෙස පුරුෂයාට ගැඹුරු ගෞරවය පිරිනැමීම යෙහෝවඃවහන්සේට වූ ඇගේ නමස්කාරයේ සහ කීකරුකමේ කොටසකි. දේවභයැති කාන්තාවන්ගේ කීකරුකම දෙවියන්වහන්සේ නොසලකා නොහරිනසේක.—එපීස 5:33; 1 පේතෘස් 3:1-6; සසඳන්න හෙබ්‍රෙව් 6:10.
විවාහය තුළ ගෞරවය කිරීම අන්‍යොන්‍ය වශයෙන් සිදු විය යුතු අතර, නිකම් අපේක්ෂා කරනවාට හෝ තර්ජනය කරනවාට වඩා, එය උපයාගත යුතුය. එක් උදාහරණයකට, විවාහ විධිවිධානය තුළ ඇනුම් පදවලට හෝ කෝපය උපදවන කතාවට කිසිම තැනක් නොමැත. ඔබගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව පිළිබඳ නින්දා ඇති කරන අදහස් ප්‍රකාශ කිරීම ප්‍රේමනීය හෝ ගෞරවනීය නොවේ. ඔබගේ කලත්‍රයාගේ දෝෂයන් අන් අයට පැවසීමෙන් හෝ ඒවා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් හෝ යහපතක් සිදු නොවේ. මේ සම්බන්ධයෙන් විහිළු කිරීමේදී පවා යමෙකු බෙහෙවින් ගෞරවයේ ඌනතාවක් පෙන්විය හැක. එපීස 4:29, 32හි සඳහන් වචන ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාටම අදාළ වේ. බයිබලය මෙසේ පවසයි: “නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා . . . ගුණවන්තව අනුකම්පා ඇතුව” සිටපල්ලා.
“ශුද්ධ ලියවිලිවල දක්වා තිබෙන දිව්‍යමය නීතියට අනුකූලව”: තෝරාගැනීමේ හා ක්‍රියා කිරීමේ නිදහස අප භුක්තිවිඳීම දෙවියන්වහන්සේට අවශ්‍යය. විවාහ ජීවිතය පාලනය කරන දීර්ඝ නීති ලැයිස්තුවක් සමඟින් උන්වහන්සේ අප මත අධික බර පටවන්නේ නැත. එහෙත්, අපගේම ප්‍රයෝජනය සඳහා උන්වහන්සේ මාර්ග දර්ශක සමහරක් පනවා තිබේ.
විවාහය සම්බන්ධයෙන් මුද්‍රිත තොරතුරු රැසක් අදදින තිබෙන අතර, බොහෝ මිනිසුන්ට ඔවුන්ගේම දර්ශනයන් තිබේ. එහෙත් පරෙස්සම් වන්න! විවාහය නමැති විෂය සම්බන්ධයෙන් පළ වන්නාවූ තොරතුරුවලින් බොහොමයක් බයිබලයට පටහැනිය.
යුවළෙන් යුවළට තත්වයන් වෙනස් වන බවද අවබෝධ කරගන්න. එක් ආකාරයකින්, විවාහ වී සිටින යුවළයන් හිමමල් මෙන්ය; දුරින් ඒවා එක සමාන මෙන් පෙනුණත්, යථාර්ථයෙන් සෑම එකක්ම අද්විතීයයි, අන් සැමෙකකට වඩා වෙනස්ය. ඔබේ පෞද්ගලිකත්වය හා ඔබේ කලත්‍රයාගේ පෞද්ගලිකත්වය එකතුවීමෙන් ලද සම්බන්ධය, ලෝකයේ විවාහ වී සිටින වෙනත් කිසිදු යුවළකට සම නොවේ. එනිසා අන් අයගේ පෞද්ගලික දෘෂ්ටිකෝණ පිළිගැනීමට ඉක්මන් නොවන්න. සෑම විවාහයකටම අදාළ වන පරිදි, මනුෂ්‍යයා විසින් සාදන ලද සූත්‍රයක් නොමැත!
ඊට පටහැනිව, බයිබලයේ සියලුම ආඥා සැබෑ හා අදාළ කරගත හැකි ඒවාය. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් . . . ප්‍රයෝජනවත්ව තිබේ.” (2 තිමෝති 3:16; ගීතාවලිය 119:151) එදිනෙදා ජීවිතයට මඟ පෙන්වීමක් ලෙස ඔබ බයිබලය කියවා එහි ඉගැන්වීම පිළිගන්නේ නම්, ඔබගේ විවාහ පොරොන්දුවට අනුව ඔබට ජීවත්වීමට හැකි වේ.—ගීතාවලිය 119:105.
“අප දෙදෙනා එක්ව පොළොව මත ජීවත්ව සිටින තාක් කල්”: දිගුකාලීන එක්වීමකට මෙය යොමු දක්වයි. “පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය” යනුවෙන් දෙවියන්වහන්සේ ආඥා කරනසේක. (උත්පත්ති 2:24) ඔබ එක්ව සිටීම යෙහෝවඃවහන්සේට අවශ්‍යය. එක්ව දෙවියන්වහන්සේට සේවය කරන්න. උන්වහන්සේගේ වචනය එක්ව ඉගෙනගන්න. එක්ව ඇවිදින්ට, එක්ව ඉඳගැනීමට, එක්ව ආහාර ගැනීමට කාලය ගන්න. එක්ව ජීවිතය භුක්තිවිඳින්න!
සෑම දිනම එකිනෙකාට කතා කිරීමට සමහර යුවළයන් යම් කාලයක් වෙන් කර තැබීමට උත්සාහ කරයි. විවාහ වී වර්ෂ බොහොමයක් ගතවූවායින් පසුව පවා, විවාහයේ සන්තෝෂයට මෙම එකමුතුබව ඉතා වැදගත්ය.
“දෙවියන්වහන්සේගේ විවාහ විධිවිධානයට අනුව”: විවාහය, විවාහ විධිවිධානය පිහිටෙව්වාවූ යෙහෝවඃ දෙවියන්වහන්සේගෙන් ලද ත්‍යාගයකි. (හිතෝපදේශ 19:14) උන්වහන්සේගේ විධිවිධානය අනුගමනය කිරීමට අසමත් වීම ඔබගේ විවාහ සන්තෝෂයට පමණක් නොව, නමුත් මැවුම්කරුවාණන් සමඟ ඇති ඔබගේ සබඳතාවටද තර්ජනයකි. අනික් අතට, යෙහෝවඃවහන්සේගේ විධිවිධානවලට කීකරු වීම තුළින්, ස්වාමිපුරුෂයා හා භාර්යාව උන්වහන්සේ සමඟ හොඳ සබඳතාවක් වගා කරන විට, ඔවුහු එකිනෙකා අතරත් අනුන් සමඟත් සාමකාමී සබඳතා ඇති කරගන්නෝය.—හිතෝපදේශ 16:7.
ඔබගේ විවාහ පොරොන්දුවට ප්‍රධානතම සාක්කිකරුවාණන් යෙහෝවඃවහන්සේ බව කිසිදාක අමතක නොකරන්න. මෙම විධිමත් පොරොන්දුවට අනුකූලව දිගටම ජීවත් වන්න, එවිට යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ප්‍රශංසාවට හා මහිමයට ඔබගේ විවාහය රුකුලක් වනු නියතය.
[පාදසටහන]
a මෙම පොරොන්දුව යම් දුරට සකස් කර භාවිත කිරීමේ අවශ්‍යතාවක් සමහර ප්‍රදේශවල තිබිය හැක. (මතෙව් 22:21) කෙසේවෙතත්, බොහෝ රටවල්වල ක්‍රිස්තියානි යුවළයෝ ඉහත පොරොන්දුව භාවිත කරති.
[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
එක් ආකාරයකින්, විවාහ වී සිටින යුවළයන් හිමමල් මෙන්ය; දුරින් ඒවා එක සමාන මෙන් පෙනුණත්, ඇත්තෙන්ම, සෑම යුවළක්ම අද්විතීය ලෙස එකිනෙකාට වෙනස්ය
[හිමිකම් විස්තර]
Snow Crystals/Dover