හොඳ හා නරක කාලවලදී දේවසේවයේ එක්සත්ව
මිෂෙල් සහ බැබෙට් ම්යලර් පැවසූ පරිදි
“මට ඔබට කියන්ට කනගාටුදායක ආරංචියක් තිබෙනවා,” යනුවෙන් වෛද්‍යවරයා පැවසුවා. “අප්‍රිකාවේ ඔබගේ මිෂනාරි ජීවිතය ඔබට අමතක කළ හැකියි.” මගේ බිරිඳ බැබෙට් දෙස බලා ඔහු මෙසේ පැවසුවා, “ඔබට පියයුරු පිළිකාව තිබෙනවා.”
අපි විස්තර කළ නොහැකි තරම් පුදුම වුණා. අපගේ මනස් බොහෝ කාරණාවලින් පිරී ගියා. වෛද්‍යවරයා බැහැදකින්ට එන මේ අවස්ථාව අවසාන වෛද්‍ය පරීක්ෂාව විය හැකියි කියා අපි සිතුවා. බටහිර අප්‍රිකාවේ බෙනින් නගරයට නැවත යෑම සඳහා ප්‍රවේශ පත්‍ර අප මිල දී ගෙන තිබුණා. මේ සතිය ඇතුළත අපි එහි සිටීමට බලාපොරොත්තු වුණා. අපි විවාහ වී වසර 23ක කාලය අතරතුර, හොඳ හා නරක කාලවල් අද්දැක තිබුණා. ව්‍යාකූලව සහ බියෙන්, පිළිකාවට එරෙහිව අපගේ සටනට අපි දැන් සූදානම් වුණා.
අපි මුල සිටම පටන්ගනිමු. මිෂෙල් 1947 සැප්තැම්බර් මසද, බැබෙට් 1945 අගෝස්තු මසද උපත ලැබුවා. අපි ප්‍රංශයේ හැදී වැඩී 1967දී විවාහ වුණා. අපි ජීවත් වුණේ පැරීසියේ. එක්දහස් නවසිය හැටඅටේ මුල්භාගයේ එක් උදෑසනක, බැබෙට් රැකියාවට යෑමට පරක්කු වුණා. කාන්තාවක් දොරකඩට ඇවිත් ආගමික විවරණිකාවක් ඇයට ඉදිරිපත් කළා; ඇය එය පිළිගත්තා. ඉන්පසුව කාන්තාව මෙසේ පැවසුවා: “ඔබට සහ ඔබේ සැමියාට කතා කරන්ට මම මගේ සැමියා සමඟ නැවත එන්නද?”
බැබෙට් ඇගේ රැකියාව පිළිබඳව සිතමින් සිටියා. ඇයට වුවමනා වූයේ මෙම කාන්තාව යැවීමටයි, ඉතින් එමනිසා ඈ මෙසේ පැවසුවා, “හරි, හරි.”
මිෂෙල් මෙසේ ප්‍රකාශ කළා: “මට ආගම කෙරෙහි කිසි උනන්දුවක් තිබුණේ නැහැ, නමුත් විවරණිකාව මගේ අවධානය අල්ලාගත් අතර, මම එය කියෙව්වා. දින කිහිපයකට පසු, එම කාන්තාව, එනම් ජොසලින් ලම්වැන්, ඇගේ සැමියා ක්ලෝඩ් සමඟ නැවත පැමිණියා. ඔහු බයිබලය පාවිච්චි කිරීමෙහි අතිදක්ෂ කෙනෙක්. මගේ සියලුම ප්‍රශ්නවලට උත්තර ඔහුට තිබුණා. මෙය මගේ සිත්ගත්තා.
බැබෙට් හොඳ කතෝලිකයෙකු වුවත්, ඇයට බයිබලයක් තිබුණේ නැහැ, මෙය නම් කතෝලිකයන් අතර සාමාන්‍ය දෙයක් වූවා. දෙවියන්වහන්සේගේ වචනය බැලීමෙන් සහ කියවීමෙන් ඈ වඩාත් උද්යෝගවත් වුණා. අපට උගන්වා තිබෙන ආගමික අදහස්වලින් බොහොමයක් බොරු බව අපේ පාඩමෙන් අපි ඉගෙනගත්තා. අපි ඉගෙනගනිමින් සිටි දේවල් පිළිබඳව අපේ නෑදෑයන්ට සහ මිත්‍රයන්ට කතා කිරීමට පටන්ගත්තා. වර්ෂ 1969 ජනවාරි මාසයේදී, අපි යෙහෝවඃවහන්සේගේ බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් බවට පත් වුණා. අපගේ නෑදෑයන්ගෙන් සහ මිත්‍රයන්ගෙන් නවදෙනෙක් ඉන් ටික කලකට පසුව බව්තීස්ම ලැබුවා.
දේශනාකරුවන් අවශ්‍ය ස්ථානවල සේවය කිරීම
අපගේ බව්තීස්මයෙන් පසු විගසම වාගේ අපි මෙසේ සිතුවා: ‘අපට දරුවෙක්වත් නැහැ. පූර්ණ-කාලීන දේවසේවය නොකරන්නේ ඇයි?’ එමනිසා 1970දී අපි අපේ රැකියාවන් අතහැර ස්ථාවර පුරෝගාමීන් ලෙස බැඳුණු අතර, ප්‍රංශයේ මධ්‍යම පළාතේ නවර් අසල මැන්යි-ලොර්ම් නම් කුඩා නගරයට පිටත්ව ගියා.
එය දුෂ්කර පැවරුමක් වුණා. බයිබලය අධ්‍යයනය කිරීමට වුවමනා වූ මිනිසුන් සොයාගැනීම අමාරු වුණා. අපට ලෞකික රැකියාවක් සොයාගැනීමට නොහැකි වුණා, එනිසා අපට තිබුණේ මුදල් ටිකයි. සමහරවිට අපට කෑම සඳහා තිබුණේ අල පමණයි. ශීත ඍතුව අතරතුරේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුවටත් වඩා හොඳටම පහත වැටුණා. එහි ගත කළ කාලය අපි හඳුන්වන්නේ, කෙට්ටු වූ එළදෙනුන් සත්දෙනාගේ කාලය යනුවෙන්.—උත්පත්ති 41:3.
නමුත් යෙහෝවඃවහන්සේ අපව උසුලා ගත්තා. සම්පූර්ණයෙන්ම වාගේ ආහාර හිඟව පැවති එක් දිනයක, බැබෙට්ගේ සහෝදරිය එවූ ලොකු චීස් පෙට්ටියක් තැපැල්කරු අපට භාර දුන්නා. තවත් දවසක දේශනා සේවයෙන් පසු නිවසට පැමිණි විට, අපව බලන්ට කිලෝමීටර 500ක් දුරගෙවා ආ සමහර මිත්රයන්ව අපිට දකින්ට ලැබුණා. තත්වය අපට කෙතරම් අමාරුද කියා දැනගෙන, මෙම සහෝදරයෝ ඔවුන්ගේ මෝටර් රථ දෙකේම ආහාර පටවාගෙන පැමිණියා.
වසර එකහමාරකට පසුව, සමිතිය අපව විශේෂ පුරෝගාමීන් ලෙස පත් කළා. ඊළඟ වසර හතර තුළදී නවර්, ඉන්පසු ට්රවා සහ අවසානයේදී මොන්ටීන්යි ලෙ-මෙට්ස්හි සේවය කළා. වර්ෂ 1976දී, නිරිත දිග ප්‍රංශයේ චාරිකා අවේක්ෂකයෙක් ලෙස සේවය කිරීමට මිෂෙල්ව පත් කරනු ලැබුවා.
වසර දෙකකට පසු, චාරිකා අවේක්ෂකයන්ගේ පාසැලක් අතරතුර, මිෂනාරිවරුන් ලෙස විදේශ රටකට යෑමට ආරාධනා කරමින් වොච් ටවර් සමිතියෙන් අපට ලිපියක් ලැබුණා; චැඩ් සහ බර්කිනා ෆසො අතර (එදා නම ඉහළ වෝල්ටා) අපට තෝරාගත හැකි බව ලිපිය පැවසුවා. අපි චැඩ් තෝරාගත්තා. ඉන් වැඩි කලක් යන්ට පෙර ටහිටි ශාඛාව යටතේ සේවය කරන්ට කියා පවරමින් තවත් ලිපියක් අපිට ලැබුණා. අපි විශාල මහාද්වීපයක් වන අප්‍රිකාව ඉල්ලා සිටියා, නමුත් වැඩි කලක් යන්ට පෙර අපි කුඩා දිවයිනක සිටියා!
දකුණු ශාන්තිකරයේ සේවය කිරීම
දකුණු ශාන්තිකරයේ තිබෙන අලංකාර නිවර්තන දිවයිනකි, ටහිටි. අපි පැමිණි විට, ගුවන් තොටුපොළේදී අපව හමුවන්ට සහෝදරයන් සියදෙනෙක් පමණ පැමිණ සිටියා. ඔවුන් අපව මල් මාලා දමා පිළිගත්තා, ප්‍රංශයේ සිට පැමිණි දිගු ගමනට පසුව මහන්සියෙන් සිටියත්, අපි සිටියේ ඉතා සන්තෝෂයෙන්.
අපි ටහිටිවලට පැමිණ මාස හතරකට පසුව, වියළි පොල් පටවන ලද කුඩා රුවල් බෝට්ටුවකට නැග්ගා. දින පහකට පසුව, අපි අපගේ අලුත් පැවරුම සඳහා මාර්කේසාස් දිවයින්වල පිහිටි නුකු හිවා දිවයින කරා ළඟා වුණා. මිනිසුන් 1,500ක් පමණ එම දිවයිනේ ජීවත් වුණා, නමුත් කිසිම සහෝදරයෙක් එහි සිටියේ නැහැ. අපි විතරයි.
එම කාලයේ තත්වයන් පරණ තාලේ ඒවා වුණා. කොන්ක්‍රීට් සහ උණබම්බුවලින් සාදන ලද කුඩා නිවසක අපි ජීවත් වුණා. එහි විදුලිබලය තිබුණේ නැහැ. සමහර අවස්ථාවලදී පමණක් ක්‍රියා කරන වතුර පයිප්පයක් අපට තිබුණා, නමුත් වතුර මඩ සහිතයි. වැඩි හරියක්ම අපි පාවිච්චි කළේ, ජල භාජනයක් තුළ එක්රැස් වූ වැහි වතුරයි. ගුරු පාරවල් මිසක හොඳින් සකස් කරන ලද පාරවල් තිබුණේ නැහැ.
දිවයිනේ ඈත ප්‍රදේශවලට ළඟාවීමට අපට අශ්වයන් කුලියට ගැනීමට සිදු වුණා. සෑදල සාදා තිබුණේ ලීයෙන්—විශේෂයෙන්ම කිසිදාක අශ්වයෙකු මත නොගිය බැබෙට්ට එය වඩාත් අපහසු වුණා. අඩි පාර හරහා වැටී තිබෙන උණබම්බු කැපීමට අපි පළල් පිහියක් ගෙන ගියා. ප්‍රංශයේ ජීවිතයට වඩා එය විශාල වෙනසක් වුණා.
අපි දෙදෙනා පමණක් සිටියත්, අපි ඉරිදා රැස්වීම් පැවැත්වුවා. මුලින් අප දෙදෙනා පමණක් සිටි නිසා අනිකුත් රැස්වීම් අපට තිබුණේ නැහැ. ඒ වෙනුවට අපි රැස්වීමේ තොරතුරු එකට කියෙව්වා.
මාස කිහිපයකට පසු, එලෙස මෙය දිගටම කරගෙන යෑම හොඳ නැති බව අපි තීරණය කළා. මිෂෙල් මෙසේ ප්‍රකාශ කළා: “මම බැබෙට්ට කිව්වා, ‘අපි සුදුසු ලෙස ඇඳ පැළඳ සිටිය යුතුයි. ඔයා ඔතන ඉඳගන්න, මම මෙතන ඉඳගන්නම්. මම යාච්ඤාවකින් ආරම්භ කරන්නම්, ඉන්පසුව දිව්‍යාණ්ඩු සේවා පාසැල සහ සේවා රැස්වීම අපි පවත්වමු. මම ප්‍රශ්න අහන්නම්, කාමරයේ සිටින එකම පුද්ගලයා ඔයා වුණත් ඔයා උත්තර දෙන්න.’ අපි එසේ කිරීම යහපත් දෙයක් වුණා, මන්ද සභාවක් නොමැති විට ආත්මික නොසැලකිලිමත්භාවයට පැමිණීමට ඉතා පහසුයි.”
අපගේ ක්‍රිස්තියානි රැස්වීම්වලට මිනිසුන් ගෙන්වා ගැනීමට කාලයක් ගත වුණා. පළමු මාස අට තුළ සිටියේ අප දෙදෙනා විතරයි. පසුව, සමහරවිට වෙනත් අය එක් කෙනෙක්, දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් සමඟ අපි සම්බන්ධ වුණා. එක් වසරක, වාර්ෂිකව පවත්වන ස්වාමීන්වහන්සේගේ සන්ධ්‍යා භෝජන උත්සවය අපි දෙදෙනා පමණක් ආරම්භ කළා. විනාඩි 10කට පසුව, වෙනත් අයද පැමිණියා, එමනිසා මම කතාව නවත්වා නැවත වරක් පටන්ගත්තා.
අදදින, ප්‍රචාරකයන් 42ක් සිටින අතර, සභාවන් තුනක් මාර්කේසාස් දිවයින්වල තිබෙනවා. වැඩයේ වැදගත්ම කොටස අපගේ අනුප්රාප්තිකයන් සිදු කළත්, ඒ කාලයේදී අප හමු වූ සමහරදෙනෙක් දැන් බව්තීස්ම ලබා සිටිනවා.
අපගේ සහෝදරයෝ අනර්ඝය
නුකු හිවාහිදී අපි ඉවසිලිවන්තකම ඉගෙනගත්තා. වඩාත් මූලික අවශ්‍යතාවලට අමතරව සෑම දෙයකටම බලා සිටින්ට අපට සිදු වුණා. එක් උදාහරණයකට, ඔබට පොතක් වුවමනා නම්, ඒ සඳහා ඔබ ලියා ඇණවුම් කළ යුතු අතර, පසුව එය පැමිණීමට පෙර මාස දෙකක් හෝ තුනක් ඔබ බලා සිටිය යුතුයි.
අපි ඉගෙනගත්ත තවත් පාඩමක් වූයේ, අපගේ සහෝදරයෝ අනර්ඝ බවයි. අපි ටහිටිවලට ගොස් රැස්වීමට පැමිණ, සහෝදරයන් ගායනා කරනවා ඇසූ විට, අපේ ඇස්වලට කඳුළු ආවා. සමහර සහෝදරයන් සමඟ කල් ගෙවීමට අපහසු වීම ඇත්ත වෙන්ට පුළුවන්, නමුත් ඔබ තනිව සිටින විට, සහෝදරයන් සමඟ සිටීම කෙතරම් හොඳද කියා ඔබ අවබෝධ කරගන්නවා. වර්ෂ 1980දී, අපි ටහිටිවලට නැවත පැමිණ චාරිකා සේවයේ යෙදිය යුතු බව සමිතිය තීරණය කළා. එහිදී සහෝදරයන්ගේ උණුසුම් ආගන්තුක සත්කාරයෙන් සහ දේශනා සේවය සඳහා වූ ඔවුන්ගේ ප්‍රේමය මගින් අපි බලවත් ලෙස දිරිගැන්වීම් ලැබුවා. ටහිටිවල චාරිකා වැඩයේ අපි වසර තුනක් ගත කළා.
දිවයිනෙන් දිවයිනට
ඊළඟට, තවත් ශාන්තිකර දිවයිනක් වන රයියටෙයියාහි පිහිටි මිෂනාරි නිවසකට අප පැවරුම් ලැබුවා, එහි අපි වසර දෙකක් පමණ කාලයක් ගත කළා. රයියටෙයියාවලට පසුව, ටුවාමෝටු දිවයින් සමූහයේ චාරිකා වැඩය සඳහා අප පැවරුම් ලැබුවා. අපි දිවයින් 80න් 25කට බෝට්ටුවෙන් ගමන් කළා. බැබෙට්ට එය දුෂ්කර දෙයක් වුණා. බෝට්ටුවෙන් ගමන් කළ සෑම වතාවකම ඈ අසනීප වුණා.
බැබෙට් මෙසේ පවසනවා: “එය හරි අමාරුයි! බෝට්ටුවේ ගත කළ සෑම වේලාවකම මම අසනීපෙන් තමයි සිටියේ. අපි මුහුදේ දින පහක් ගත කළා නම්, මම දින පහේම අසනීපෙන් සිටියා. කිසිම බෙහෙතක් මට හරි ගියේ නැහැ. එහෙත්, මගේ අසනීපය මධ්‍යයෙහි, සාගරය අලංකාරයයි මම සිතුවා. එය පුදුමාකාර දර්ශනයක්. බෝට්ටුව සමඟ තරඟයට මෙන් ඩොල්ෆිනයන් ගමන් කරනවා. ඔබ අත්පුඩි ගැසූ විට, උන් වරින් වර වතුරෙන් උඩට පනිනවා!”
චාරිකා වැඩයේ වසර පහක් සහභාගි වීමෙන් පසු, අපි ටහිටිවලට නැවත පැවරුම් ලැබූ අතර, නැවතත් දේශනා සේවයේ හොඳ කාලයක් ගත කළා. වසර එකහමාරක් තුළ අපගේ සභාවේ ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව 35 සිට 70 දක්වා දෙගුණ වුණා. මොවුන්ගෙන් අපි සමඟ බයිබලය පාඩම් කළ දොළොස්දෙනෙක් අපි පිටත්ව යෑමට පෙර බව්තීස්ම ලැබුවා. ඔවුන්ගෙන් සමහරෙක් දැන් සභාවේ වැඩිමහල්ලන්ව සිටිනවා.
සම්පූර්ණයෙන්ම දකුණු ශාන්තිකරයේ අපි වසර 12ක් ගත කළා. සභාවන් දැන් ශක්තිමත්ව තිබෙන බැවින්, තවදුරටත් දිවයින්වලට මිෂනාරිවරුන්ගේ අවශ්‍යතාවක් නොමැති බව පවසමින් සමිතියෙන් අපට ලිපියක් ලැබුණා. අපි ටහිටිවලට පැමිණි විට ප්‍රචාරකයන් 450ක් පමණ සිටියා, අපි පිටත්ව එන විට 1,000කටත් වැඩියෙන් සිටියා.
අන්තිමේදී අප්‍රිකාවේ!
අපි ප්‍රංශයේ සිට පැමිණ මාස එකහමාරකට පසුව, සමිතිය අපට අලුත් පැවරුමක් ලබා දුන්නා—එනම් බටහිර අප්‍රිකාවේ බෙනින්. අවුරුදු 13කට පෙර අපට අප්‍රිකාවට යෑමට වුවමනා වූ නිසා, අපි ඉතා සන්තෝෂ වුණා.
වර්ෂ 1990 නොවැම්බර් 3වන දින බෙනින්වලට පැමිණි අප, රාජ්‍ය දේශනා කිරීමේ වැඩය මත පැනවූ අවුරුදු 14ක තහනම ඉවත් කිරීමෙන් පසු, එහි පැමිණි පළමු මිෂනාරිවරුන් අතර සිටියා. එය මහත් උනන්දුවකට හේතුවක් වුණා. ශාන්තිකර දිවයින්වලට සමාන ජීවිත ක්‍රමයක් තිබෙන බැවින්, පදිංචිය සම්බන්ධයෙන් අපට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මිනිසුන් වඩාත් මිත්‍රශීලී සහ ආගන්තුක සත්කාරශීලී වුණා. වීදියේ ඕනෑම කෙනෙක් සමඟ ඔබට නැවතී කතා කරන්ට පුළුවන්.
බෙනින්වලට පැමිණ සති කිහිපයකට පසුව, බැබෙට් ඇගේ පියයුරුවල ගැටිත්තක් තිබෙනවා දැක්කා. එමනිසා අලුතින් පිහිටුවන ලද ශාඛා කාර්යාලය අසල තිබූ කුඩා සායනයකට අපි ගියා. වෛද්‍යවරයා ඈ පරීක්ෂා කර, ඉතා ඉක්මනින්ම ඇයට ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය බව පැවසුවා. ඊළඟ දින අපි තවත් සායනයකට ගිය අතර, එහිදී ප්‍රංශයේ සිට පැමිණි ස්ත්‍රී චිකිත්සා වෛද්‍යවරියක් වන යුරෝපීය වෛද්‍යවරියක් බැලීමට අපි ගියා. බැබෙට්ට ශල්‍යකර්මයක් කිරීමට ඉක්මනින්ම අපි ප්‍රංශයට යායුතුයයි ඈද පැවසුවා. දින දෙකකට පසු, ප්‍රංශයට යෑම පිණිස අපි ගුවන් යානයක සිටියා.
බෙනින් අතහැර යෑම අපට කනගාටුවක් වුණා. රට තුළ නැවතත් අලුතින් ලද ආගමික නිදහස සමඟ, සහෝදරයන්ට මිෂනාරිවරු තබාගැනීමට හැකිවීම ඉමහත් ප්‍රීතියක් වූ අතර, එහි සිටීම අපටද මහත් සතුටක් වුණා. සති කිහිපයක් පමණක් සිට, රට හැර යෑමට සිදුවීම ගැන අපි සිත්තැවුලෙන් සිටියා.
අපි ප්‍රංශයට පැමිණි විට, ශල්‍ය වෛද්‍යවරයා බැබෙට්ව පරීක්ෂා කර ඇයට ශල්‍යකර්මයක් අවශ්‍ය බව ස්ථිර ලෙස පැවසුවා. වෛද්‍යවරු ඉක්මනින් ක්‍රියා කර, කුඩා ශල්‍යකර්මයක් කර බැබෙට්ව රෝහලෙන් ඊළඟ දින නිදහස් කළා. ප්රශ්නයේ අවසානය මෙයයි කියා අපි සිතුවා.
දින අටකට පසු, ශල්‍ය වෛද්‍යවරයාව අපි හමු වුණා. බැබෙට්ට පියයුරු පිළිකාව තිබෙන බවට වූ ආරංචිය එවිට ඔහු පැවසුවා.
එම අවස්ථාවේදී ඇයට හැඟුණේ කෙසේද කියා කල්පනා කර බැලීමේදී, බැබෙට් මෙසේ පැවසුවා: “මුලින්ම මම මිෂෙල්ට වඩා අඩුවෙන් සිත්තැවුලට පත් වුණා. නමුත් අශුභ ආරංචියෙන් පසු දිනයේදී, මට කිසිම හැඟීමක් තිබුණේ නැහැ. මට අඬන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මට සිනාසෙන්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. මම මැරෙන්න යනවා කියා මම සිතුවා. මට පිළිකාව මරණයට සමාන වුණා. මගේ ආකල්පය වූයේ, අපි කළ යුතු දෙය අපි කළ යුතුයි” යන්නයි.
පිළිකාව සමඟ පොරබැදීම
අශුභ ආරංචිය අපට සිකුරාදා අසන්ට ලැබුණු අතර, බැබෙට්ගේ දෙවන ශල්‍ය කර්මය සඳහා අඟහරුවාදා නියම කර තිබුණා. අපි නැවතී සිටියේ, බැබෙට්ගේ සහෝදරිය සමඟයි, නමුත් ඇයද අසනීපයෙන් සිටි නිසා, අපට තවදුරටත් ඇගේ කුඩා නිවසේ රැඳී සිටිය නොහැකි වුණා.
කොහේ යන්නද කියා අපි කල්පනා කළා. මින් පෙර අපි නැවතී සිටි එක් යුවළක් වන ඊව් සහ බ්රිෂේට් මෙර්ඩ අපට මතක් වුණා. මෙම යුවළ අපට හුඟාක් ආගන්තුක සත්කාරශීලීව කටයුතු කර තිබුණා. ඉතින් අපි දූරකථනයෙන් ඊව් අමතා බැබෙට්ට ශල්‍ය කර්මයක් සිදු කිරීමට අවශ්‍ය බවත්, අපි නැවතීමට යන්නේ කොහේද කියා නොදන්නා බවත් ඔහුට කිව්වා. මිෂෙල්ට රැකියාවක් අවශ්‍ය බවද අපි කියා සිටියා.
ඔහුගේ නිවස අවට වැඩ කිරීමට ඊව් මිෂෙල්ට සලසා දුන්නා. බොහෝ කරුණාවන්ත ක්‍රියාවලින් සහෝදරයෝ අපට උපකාරය හා දිරිගැන්වීම දුන්නා. ඔවුන් අපට මුදල් අතින්ද උපකාර කළා. බැබෙට්ගේ වෛද්‍ය බිල්පත් සමිතිය ගෙව්වා.
ශල්‍යකර්මය බරපතළ එකක් වුණා. වෛද්‍යවරුන්ට වසා ගැටිති සහ පියයුර ඉවත් කිරීමට සිදු වුණා. ඔවුන් වහාම රසචිකිත්සාව ආරම්භ කළා. සතියකට පසුව, බැබෙට්ට රෝහලෙන් ඒමට හැකි වුණා, නමුත් චිකිත්සාව දිගටම කරගෙන යෑමට ඈට සෑම සති තුනකට වරක්ම නැවත යෑමට සිදු වුණා.
බැබෙට් ප්‍රතිකාර ලබන කාලය අතරතුර, සභාවේ සහෝදරයෝ ඉතා උපකාරවත් වුණා. පියයුරු පිළිකාව තිබූ එක් සහෝදරියක් බොහෝ සෙයින් දිරිගන්වනසුලු වුණා. බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද කියා බැබෙට්ට කියූ අතර, එය ඈට සෑහෙන සැනසිල්ලක් ගෙන දුන්නා.
කෙසේවෙතත්, අපි අපගේ අනාගතය පිළිබඳ කනස්සලු වුණා. මෙය වටහාගෙන මිෂෙල් සහ ජානෙට් සෙලෙර්යෙ ආහාර වේලක් සඳහා අපව ආපන ශාලාවකට ගෙන ගියා.
අප මිෂනාරි සේවය අතහැර තිබූ බවත්, නැවත කිසිදාක අප්‍රිකාවට යෑමට නොහැකි බවත් අපි ඔවුන්ට කිව්වා. කෙසේවෙතත්, සහෝදර සෙලෙර්යෙ මෙසේ පැවසුවා: “මොනවා, ඔයාට අතහැරිය යුතුයි කියලා කියන්නේ කව්ද? පාලක මණ්ඩලයද? ප්‍රංශයේ සිටින සහෝදරයෝද? එය කිව්වේ කවුද?”
“කවුරුත් කිව්වේ නැහැ,” කියා මම පිළිතුරු දුන්නා, “එය මමයි කියන්නේ.”
“නැහැ, නැහැ!” යනුවෙන් සහෝදර සෙලෙර්යෙ පැවසුවා. “ඔබ නැවත යනවා!”
විකිරණ චිකිත්සාවට පසුව රසචිකිත්සාව කළා, එය 1991 අගෝස්තු මස අවසානයේදී පමණ අවසන් වුණා. නැවත අපි අප්‍රිකාවට යෑම සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නොමැති බව වෛද්‍යවරු පැවසුවා, එකම කොන්දේසිය නිතිපතා පරීක්ෂා කිරීම් සඳහා බැබෙට්ට ප්‍රංශයට යෑමට සිදුවීමයි.
බෙනින්වලට නැවතත්
එමනිසා මිෂනාරි සේවයට නැවත පැමිණීමට අවසර ඉල්ලා බෘක්ලින් මූලස්ථානයට අපි ලිව්වා. ඔවුන්ගේ පිළිතුර ඇසීමට අපි අපේක්ෂාවෙන් පසු වුණා. දවස් ගෙවී ගියා. අවසානයේදී, තවදුරටත් මිෂෙල්ට ඉවසන්ට නොහැකි වුණා, එමනිසා ඔහු දූරකථනයෙන් බෘක්ලින් අමතා අපගේ ලිපිය ලැබුණාද කියා ඇසුවා. ඔවුන් එය සලකා බැලූ බව ඔවුන් පැවසුවා—අපිට බෙනින්වලට නැවත යා හැකියි කියා පැවසුවා! අපි යෙහෝවඃවහන්සේට කෙතරම් ස්තුතිවන්ත වුණාද!
ආරංචිය උත්සවාකාරයෙන් සැමරීමට මෙර්ඩ පවුල සුහද හමුවක් සංවිධානය කළා. වර්ෂ 1991 නොවැම්බර් මස අපි බෙනින්වලට පැමිණි අතර, සහෝදරයෝ අපව උත්සවාකාරයෙන් පිළිගත්තා!
දැන් බැබෙට් හොඳින් සිටින බව පෙනෙනවා. කලින් කලට අපි සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණ කිරීමට ප්‍රංශයට පැමිණි අතර, පිළිකාවේ අංශු මාත්‍රයක්වත් දක්නට නොමැති බව වෛද්‍යවරුන්ට පෙනී ගොස් තිබෙනවා. අපගේ මිෂනාරි පැවරුමට නැවත පැමිණීමට හැකිවීම ගැන අපි සන්තෝෂ වෙනවා. අපි බෙනින්හි සිටීම අවශ්‍ය බව හැඟෙන අතර, යෙහෝවඃවහන්සේ අපගේ වැඩයට ආශීර්වාද කර තිබෙනවා. අපි නැවත ආ දා පටන් 14දෙනෙකුට බව්තීස්මය කරා ඒමට උපකාර කළා. ඔවුන්ගෙන් පස්දෙනෙක් දැන් ස්ථාවර පුරෝගාමීන් වන අතර, එක් අයෙක් උපස්ථායක සේවකයෙක් ලෙස පත් කර තිබෙනවා. අපගේ කුඩා සභාව වර්ධනය වී සභාවන් දෙකකට බෙදී යෑමත් අපට දකින්ට ලැබුණා.
පසුගිය වර්ෂයන් පුරා, ස්වාමිපුරුෂයා සහ භාර්යාව වශයෙන් අපි යෙහෝවඃවහන්සේට සේවය කර ඇති අතර, මහත් ආශීර්වාද භුක්තිවින්දා, ඒවගේම කදිම පුද්ගලයන් හුඟදෙනෙකුව දැනහඳුනා ගැනීමටද හැකි වුණා. නමුත්, පීඩාවන් සාර්ථකව විඳදරාගැනීමට අපිව යෙහෝවඃවහන්සේ විසින් පුහුණු කර සහ ශක්තිමත් කර තිබෙනවා. යෝබ් මෙන්, කාරණා මෙසේ සිදු වූයේ මන්ද කියා අපි සෑමවිටම තේරුම්ගත්තේ නැහැ, නමුත් යෙහෝවඃවහන්සේ අපට උපකාර කිරීමට සෑමවිටම සිටින බව අපි දැන සිටියා. එය දෙවියන්වහන්සේගේ වචනය පවසන්නාක් මෙන්ය: “බලව, ගළවන්ට බැරි ලෙස ස්වාමීන්වහන්සේගේ අත කොටවෙලාවත් නෑසෙන ලෙස උන්වහන්සේගේ කන බිහිරි වෙලාවත් නැත.”—යෙසායා 59:1.
[23වන පිටුවේ පින්තූරය]
බෙනින්වල සම්ප්‍රදායික ඇඳුම් ඇඳගෙන මිෂෙල් සහ බැබෙට් ම්යලර්
[25වන පිටුවේ පින්තූර]
නිවර්තන ටහිටිහි පොලිනේසියානුවන් අතර මිෂනාරි සේවයේදී