අන්තියෝකියේ තෙයෝෆිලස් කවරෙක් වීද?
“ඔබ මට ක්‍රිස්තියානියෙකු කියා අමතන්නේ, එය හරියට මට දරාගැනීමට සිදු වන යම් අපහාසාත්මක නමක් වශයෙන් සලකමිනි, මම නම්, ක්‍රිස්තියානියෙකු බව දිවුරා කියමි, තවද දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ලැබීම හා දෙවියන්වහන්සේ වෙනුවෙන් සේවය කිරීම සඳහා මම එම නම දරමි.”
ඔටොලිකස් වෙත තෙයෝෆිලස් වෙතින් යන මැයින් යුත් කොටස් තුනක කෘතියක් තෙයෝෆිලස් මෙසේ ආරම්භ කරයි. මෙය වූ කලි, දෙවන සියවසේ තිබූ ඇදහිල්ල අත්හැරයෑමට විරුද්ධව ඔහු කළ විත්ති ප්‍රකාශයේ ආරම්භයයි. තමා ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු කියා තෙයෝෆිලස් නිර්භීතව කියා සිටී. සිය නමේ ග්‍රීක් භාෂා අර්ථයට එකඟව, “දෙවියන්වහන්සේට ප්‍රිය” යමෙකු වීමට, හෙතෙම තම කටයුතු මෙහෙයවීමට අධිෂ්ඨාන පූර්වකව සිටින බව පෙනේ. ඇත්තෙන්ම තෙයෝෆිලස් යනු කවරෙක්ද? ඔහු ජීවත් වූයේ කවදාද? තවද ඔහු ඉටු කළේ කුමක්ද?
පෞද්ගලික ඉතිහාසය
තෙයෝෆිලස්ගේ පෞද්ගලික ඉතිහාසය පිළිබඳ දන්නා කරුණු අල්පය. ක්‍රිස්තියානි නොවන දෙමාපියන් විසින් ඔහුව ඇති දැඩි කරනු ලැබීය. තෙයෝෆිලස් පසුව ක්‍රිස්තියානි භක්තිකයෙකු වූ නමුත්, එසේ වූයේ ශුද්ධ ලියවිලි පරෙස්සමින් අධ්‍යයනය කළායින් පසුව පමණි. අදදින තුර්කියේ ආන්ටාක්යා යනුවෙන් හඳුන්වන, සිරියාවේ අන්තියෝකියේ සභාවෙහි නායක දේවගැති බවට හෙතෙම පත් වූයේය.
යේසුස්වහන්සේගේ ආඥාවට එකඟව, පළමු සියවසේ විසූ ක්‍රිස්තියානීහු අන්තියෝකියේ ජනයා අතර දේශනා කළහ. ලූක් ඔවුන්ගේ සාර්ථකත්වය වාර්තා කරමින් මෙසේ පවසයි: “ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන් සමඟ වූයේය. විශ්වාස කළාවූ විශාල ගණනක් ස්වාමීන්වහන්සේ වෙතට හැරුණෝය.” (ක්‍රියා 11:20, 21) දිව්‍ය මඟ පෙන්වීම පරිදි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෝ ක්‍රිස්තියානීන් වශයෙන් ප්‍රචලිත වූහ. මෙම යෙදුම මුලදීම භාවිත කරන ලද්දේ සිරියාවේ අන්තියෝකියේදීය. (ක්‍රියා 11:26) පොදු යුගයේ පළමු සියවසේ, ප්‍රේරිත පාවුල් සිරියාවේ අන්තියෝකිය දක්වා ගමන් කළ අතර, එය ඔහුගේ මධ්‍යස්ථානය බවට පත් විය. බාර්ණබස්ද පාවුල්ද, යොහන් මාර්ක් සමඟින්, සිය පළමු මිෂනාරි ගමන ආරම්භ කළේ අන්තියෝකියේ සිටය.
අන්තියෝකියේ මුල් ක්‍රිස්තියානීන්ව බැහැදැකීමට ඔවුන්ගේ නගරයට ප්‍රේරිතයන් පැමිණි විට, ඔවුන් මහත් දිරිගැන්වීමක් ලබන්ට ඇත. පළමු සියවසේ පාලක මණ්ඩලයේ නියෝජිතයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරවන බැහැදැකීම්, ඔවුන් දේවවචනයේ සත්‍යතාවට උනන්දුවෙන් ප්‍රතිචාරය දැක්වීමට යම් දුරකට හේතු වූ බවට කිසිදු සැකයක් නැත. (ක්‍රියා 11:22, 23) අන්තියෝකියේ වැසියන් එතරම් ප්‍රමාණයක් යෙහෝවඃ දෙවියන්වහන්සේට සිය ජීවිත කැප කරනවා දැකීම ඔවුන්ට මොනතරම් දිරිගැන්වීමක් වන්ට ඇද්ද! කෙසේවෙතත්, තෙයෝෆිලස් අන්තියෝකියේ ජීවත් වූයේ ඉන් අවුරුදු 100කටත් වඩා පසුවය.
ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ කාලයේ සිට ගත් කල, තෙයෝෆිලස් අන්තියෝකියේ හයවන නායක දේවගැතියා වූ බව ඉතිහාසඥ යූසීබියස් ප්‍රකාශ කළේය. මිථ්යාවාදයට විරුද්ධව හෙතෙම වාචික සාකච්ඡා හා නිෂ්ප්‍රභ කිරීම් කිහිපයක් ලේඛනගත කළේය. සිය කාලයේ විසූ ක්‍රිස්තියානි අපොලජිස්තවරුන් හෙවත් ක්‍රිස්තියානි ඇදහිල්ල රැකගැනීමට ක්‍රියා කළ දොළොස්දෙනාට හෝ ඊට වැඩි ගණනට ඔහුද ඇතුළත්ය.
ඔහුගේ ලියවිලි දෙස බැල්මක්
කලින් සඳහන් දෙබසට ප්‍රතිචාරයක් වශයෙන්, තෙයෝෆිලස් මිථ්‍යාදෘෂ්ටික ඔටොලිකස්ට මෙම ප්රාරම්භක වදන් සමඟින් ලියයි: “ව්‍යක්ත දිවක් හා ආටෝප අලංකාර කතා ශෛලියක්, මනසින් දූෂිතව සිටින කාලකණ්ණි මිනිසුන්ට ආස්වාදය හා පුහුමානය තවත් වැඩි කරන ප්‍රශංසාව ලබා දෙයි.” තෙයෝෆිලස් පැහැදිලි කරන්නේ මෙසේ පවසමිනි: “සත්‍යයට ප්‍රේමකරන්නා වැල්වටාරම්වලින් යුත් කතාවලට අවධානය යොමු නොකරයි, නමුත් කතාවේ සැබෑ සාරය පරීක්ෂාවට ලක් කරයි . . . මිටි පහරින් සහ වාත්තු කිරීමෙන්ද, කැටයමින් හා කැපීමෙන්ද තැනූ, මිනිසාගේ හස්ත කර්මාන්තය වන දකින්ටවත් ඇසීමටත් බැරි රූප වූ, ලී හා ගලින් තැනූ ඔබගේ දෙවිවරුන් ගැන පුරසාරම් දොඩමින් ඔබ මා වෙත හිස් වචනවලින් ප්‍රහාර එල්ල කර තිබේ.”—ගීතාවලිය 115:4-8, සසඳන්න.
රූප වන්දනාවේ මුළාව තෙයෝෆිලස් නිරාවරණය කරයි. ඔහුට ආවේනික වූ ලිඛිත ශෛලිය උපයෝගි කරගනිමින්, හෙතෙම ප්‍රමාණය ඉක්මවා වුවත්, වාග් චාතුර්යය උපයෝගි කරමින් සැබෑ දෙවියන්වහන්සේගේ නියම ස්වභාවය පැහැදිලි කිරීමට වෑයම් කරයි. ඔහු මෙසේ ප්‍රකාශ කරයි: “දෙවියන්වහන්සේගේ පෙනුම විස්තර කළ නොහැකි තරම්ය, තවද මාංසික ඇස්වලට උන්වහන්සේව දැකිය නොහැක. මන්දයත්, උන්වහන්සේගේ තේජශ්‍රීය අවබෝධ කරගැනීමටවත්, ශ්‍රේෂ්ඨත්වය මැනීමටවත්, උසස්කම වටහාගැනීමටවත්, බලය සැසඳීමටවත් නොහැකි තරම්ය, ප්‍රඥාව අසමසමය, යහපත්කම අද්විතීයය, කරුණාවන්තකම වචනින් විස්තර කළ නොහැකි තරම්ය.”
දෙවියන්වහන්සේ පිළිබඳ මෙම විස්තරයට අමතරව, තෙයෝෆිලස් තවදුරටත් මෙසේ පවසයි: “එහෙත් උන්වහන්සේ විශ්වය පාලනය කරන නිසා උන්වහන්සේ ස්වාමීන්වහන්සේය; උන්වහන්සේ සියලු දේට ප්‍රථමව සිටින බැවින්, පියාණන්වහන්සේය; උන්වහන්සේ විශ්වයේ මැවුම්කරුවාණන් මෙන්ම සෑදුම්කරුවාණන් වන බැවින්, නිර්මාතෘවරයාණෝ සහ සෑදුම්කරුවාණෝය; උන්වහන්සේ සියල්ලට වඩා උසස්ව සිටින බැවින් උත්තරිතර තැනැන්වහන්සේය; තවද උන්වහන්සේම සියල්ල පාලනය කරමින් බලපවත්වන බැවින් සර්වබලධාරී තැනැන්වහන්සේ වනසේක.”
ඊළඟට දෙවියන්වහන්සේ විසින් සිදු කරන ලද නිශ්චිත දේවල් කෙරෙහි අවධානය යොමු කරමින්, තමාට ආවේනික වූ සම්පූර්ණ මෙන්ම යම් දුරකට නැවත නැවත කීමේ විලාසය උපයෝගි කරගෙන, තෙයෝෆිලස් මෙසේ පවසයි: “මන්ද ස්වර්ගය වනාහි උන්වහන්සේගේ කර්මාන්තයද, පොළොව උන්වහන්සේගේ මැවිල්ලද, සමුද්‍රය උන්වහන්සේගේ හස්ත කර්මාන්තයද වේ; මිනිසා උන්වහන්සේගේ ස්වරූපය දරන, උන්වහන්සේ විසින් නිර්මාණය කරන ලද්දෙකි; මිනිසාට දාසයන් ලෙස සේවය කරන පිණිස, ලකුණු, ඍතු හා අවුරුදු සඳහා සාදන ලද ඉර, සඳ හා තාරකා උන්වහන්සේගේ මැවිල්ල වේ; තවද ස්වකීය කර්මාන්ත තුළින් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය දැන තේරුම්ගැනීමට හැකි වන පිණිස, දෙවියන්වහන්සේ පවතින සියල්ල නොපැවති දේවලින් සෑදූසේක.”
සිය කාලයේ පැවති බොරු දෙවිවරුන්ට විරුද්ධව තෙයෝෆිලස් කළ ප්‍රහාරය පිළිබඳ තවත් උදාහරණයක් ඔටොලිකස්ට පැවසූ මතු වචනවලින් නිරීක්ෂණය කළ හැක: “ඔබ වන්දනා කරන අයගේ නම්, මළ මිනිසුන්ගේ නම්ය. . . . ඇරත් ඔවුහු කෙබඳු මිනිස්සු වෙත්ද? සිය දරුවන් විනාශ කරමින් අනුභව කළ සෙනසුරු, මිනීමස් කන්නෙක් නොවේද? ඇරත් ඔබ ඔහුගේ පුත්‍ර බ්‍රහස්පති ගැන සඳහන් කරන්නෙහි නම්, . . . එනම් ඔහු එළුවෙකුගෙන් කිරි බිවූ හැටි . . . ඇරත් ඔහුගේ වෙනත් ක්‍රියා ගැන කිව්වොත්,—එනම් ඔහුගේ ව්‍යභිචාරය, කාමමිථ්‍යාචාරය හා කාමරාගය මොනතරම්ද!”
සිය තර්කය තවදුරටත් පුළුල් කරමින්, මිථ්‍යාදෘෂ්ටික රූපවන්දනාවට එරෙහිව සිය ස්ථාවරය තෙයෝෆිලස් යළි තහවුරු කරයි. හෙතෙම මෙසේ ලියයි: “මිසර ජාතිකයන් විසින් වන්දනා කරනු ලබන සත්ව සමූහය ගැන, එනම්, උරගයන්, ගවයන්, වනමෘගයන්, පක්ෂීන් හා මිරිදිය මසුන් ගැන වැඩි යමක් කිව යුතුද? . . . ග්‍රීක්වරුන් මෙන්ම වෙනත් ජාතීහු, ගල්, ලී හා වෙනත් ද්‍රව්‍යමය වස්තූන්ට වන්දනාමාන කරති.” “එහෙත් මම දෙවියන්වහන්සේට, ජීවමාන සැබෑ දෙවියන්වහන්සේට නමස්කාර කරමි,” යි තෙයෝෆිලස් ප්‍රකාශ කරයි.—සසඳන්න 2 සාමුවෙල් 22:47; ක්‍රියා 14:15; රෝම 1:22, 23.
වැදගත් සාක්ෂියකි
ඔටොලිකස්ගේ තර්කවලට එරෙහිව නිර්භයව ලියන ලද කොටස් තුනකින් සමන්විත කෘතියේ, තෙයෝෆිලස්ගේ අවවාද හා දිරිගැන්වීම්වල පැති බොහොමයක්ද විස්තර රාශියක්ද අන්තර්ගතය. තෙයෝෆිලස්ගේ වෙනත් ලියවිලි, හර්මෝජනීස් හා මාර්සියන්ට එරෙහිව ලියන ලද කෘතීන් විය. තවද උපදෙස් හා අවවාද ඇතුළත් පොත් රචනා කළ හේ, සුවිශේෂ පිළිබඳ අර්ථ දැක්වීම්ද එකතු කළේය. කෙසේවෙතත්, මින් ඉතිරිව ඇත්තේ එක අත් පිටපතක් වශයෙන්, ඔටොලිකස් වෙත ලියන ලද පොත් තුන පමණි.
ක්‍රිස්තියානි ආගමට පක්ෂව, ඔටොලිකස් වෙත ලියන ලද පළමු පොත එහි නිරවද්‍යතාව ඔප්පු කරන්නකි. ඔටොලිකස් වෙත ලියන ලද දෙවන පොත, ජනප්‍රිය මිථ්‍යාදෘෂ්ටික ආගම, සමපේක්ෂණය, දර්ශනවාදීන් හා කවීන්ට එරෙහිව තර්ක ඉදිරිපත් කරයි. තෙයෝෆිලස්ගේ තුන්වන පොතෙහි මිථ්‍යාදෘෂ්ටික සාහිත්‍යය ශුද්ධ ලියවිලි සමඟ සසඳා තිබේ.
තෙයෝෆිලස්ගේ තුන්වන පොත ලිවීමේ ආරම්භයේදී, සත්‍යතාවේ වචනය සුරංගනා කතාවක් බවට වූ මතය ඔටොලිකස් ඒ වන විටත් දරමින් සිටි බව පෙනේ. මෙසේ පවසමින් තෙයෝෆිලස් ඔටොලිකස්ව විවේචනයට ලක් කරයි: “ඔබ මහත් සතුටින් මෝඩයන් ගැන ඉවසා සිටින්නෙහිය. එසේ නැත්නම්, හිස් වචනවලට නැඹුරු වීමටත්, පවතින ජන ප්රවාදයට අනුග්‍රහ දැක්වීමටත් ඔබ සිහි නැති මිනිසුන්ගේ පෙලඹීම්වලට යටත් නොවනු ඇත.”
එම “පවතින ජන ප්‍රවාදය” කුමක් වීද? තෙයෝෆිලස් එහි මූලාශ්‍රය හෙළි කරයි. “දෙවියන්වහන්සේට නමස්කාර කරන්නාවූද, ක්‍රිස්තියානීන් ලෙස හඳුන්වා දෙන්නාවූද [අප], අභක්තික තොල් ඇති” ද්වේෂසහගත බොරුකාරයන්ගේ “චෝදනාවලට ලක් වේ, අප සියලුදෙනාගේ භාර්යාවන් සියල්ලන්ට පොදුවේ තබාගෙන සිටින බවත්, ඔවුන් අනාචාරයේ යෙදෙන බවත්; අප අපේම සහෝදරියන් සමඟ ව්‍යභිචාරයේ යෙදෙන බවත්, වඩාත්ම අභක්තික මෙන්ම ම්ලේච්ඡ අදහසක් වන, මිනිසුන්ගේ මස් මාංස අප කන බවත් ඔවුහු කියා සිටිති.” දෙවන සියවසේ ක්‍රිස්තියානීන්යයි කියාගත් අයගේ මෙම අතිශයින් වැරදිසහගත වූ මිථ්‍යාදෘෂ්ටික මතයට එරෙහිව කරුණු දැක්වීමට තෙයෝෆිලස් වෙහෙස මහන්සිය නොබලා උත්සාහ කළේය. දෙවියන්වහන්සේගේ ආනුභාවය ලත් වචනයෙහි අන්තර්ගත සත්‍යය නමැති ආලෝකය හේ භාවිත කළේය.—මතෙව් 5:11, 12.
තෙයෝෆිලස් නිතර නිතර හෙබ්‍රෙව් හා ග්‍රීක් බයිබල් පද භාවිත කිරීමෙන් හා ඒවාට යොමු දැක්වීමෙන් පැහැදිලි වන්නේ, තෙයෝෆිලස්ට දේවවචනය ගැන හසළ දැනුමක් තිබූ බවය. හෙතෙම සුවිශේෂ පිළිබඳ මුලින්ම අදහස් දැක්වූ අයගෙන් කෙනෙකි. ශුද්ධ ලියවිලිවලට තෙයෝෆිලස් බොහෝ වරක් යොමු දැක්වීම හේතුවෙන්, ඔහුගේ කාලයේ පැවති චින්තනය පිළිබඳ අපට දැනුම් සම්භාරයක් ලැබේ. දේවානුභාවයෙන් ලද ලියවිලි මිථ්‍යාදෘෂ්ටික දර්ශනයට වඩා බෙහෙවින් උසස් බව දැක්වීමට හෙතෙම එම ලියවිලි පිළිබඳ තම හසළ දැනුම භාවිත කළේය.
තෙයෝෆිලස්ගේ තොරතුරු සකස් කර තිබෙන අන්දම, ඔහුගේ උපදේශාත්මක ස්වරය හා නැවත නැවත කීමේ ශෛලිය බොහෝදෙනාගේ සිත් ඇද නොගන්නවා විය හැක. පුරෝකථනය කරන ලද ඇදහිල්ල අත්හැරයෑම, ඔහුගේ මතවල නිරවද්‍යතාවට කෙතරම් බලපෑවාද කියා අපට දැනට පැවසිය නොහැක. (2 තෙසලෝනික 2:3-12) කෙසේවෙතත්, පො.යු. 182 තෙයෝෆිලස් මියගිය කාලය වන විට, නවීන යුගයේ ජීවත් වන අව්‍යාජ ක්‍රිස්තියානීන්ගේ උනන්දුවට බඳුන් විය යුතු ලියවිලි රචනය කළ හෙතෙම, යුතුකම් නොපිරිහෙළා ඉටු කළ අපොලජිස්තවරයෙකුව සිටි බව පෙනේ.
[30වන පිටුවේ පින්තූරය]
තෙයෝෆිලස්, ඔටොලිකස්ගේ තර්කවලට එරෙහිව නිර්භයව කරුණු දැක්වීය
[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පිටු 28 සහ 30හි පින්තූරු Illustrirte Pracht - Bibel/Heilige Schrift des Alten und Neuen Testments, nach der deutschen Uebersetzung D. Martin Luther’s වෙතින් ප්රතිනිෂ්පාදිතය