පාස්කුවද නැතහොත් සිහිකිරීමද—ඔබ පැවැත්විය යුත්තේ මින් කුමක්ද?
ක්ෂිතිජයට ඉහළින්, අප්‍රියෙල් 7වන දින හිමිදිරියේ හිරුරැස් විහිදෙන විට, මිලියන ගණන් අය වසර තුළ තමන්ගේ අතිශුද්ධ දිනය වන පාස්කුව නොහොත් ඊස්ටර් පිළිගන්නවා ඇත. සෙප්ටූජෙසිමා නම් නිවාඩු දිනයත් සමඟ ඇරඹෙන හා ත්‍රිත්ව දිනයෙන් අවසන් වන, දින 120ක කාලපරිච්ඡේදයකින් යුත් මංගල්‍ය සහ නිරාහාරව සිටීම්වලට එම නාමය කලක් අදාළ විය. අදදින එම නාමය, යේසුස්වහන්සේගේ නැවත නැඟිටීම සිහිකරන එක් දිනයක් වන පාස්කු ඉරිදාට අදාළ කෙරේ.
කෙසේවෙතත්, එම සතියේම ඊට කලින් දිනයක සැන්දෑවකදී, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජන උත්සවය ලෙසද හඳුන්වනු ලබන, ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහිකිරීම පැවැත්වීම සඳහා වෙනත් මිලියන ගණන් අය එක්රැස් වෙති. මෙය වනාහි, යේසුස්වහන්සේ පොළොව මත සිටි අන්තිම රාත්රියේදී, උන්වහන්සේ විසින්ම ස්ථාපිත කළ සැමරීමකි. එවිට උන්වහන්සේ සිය ගෝලයන්ට මෙසේ පැවසූසේක: “මා සිහිකිරීම පිණිස මේක කරපල්ලා.”—ලූක් 22:19.
ඔබ පැවැත්විය යුත්තේ මින් කුමක්ද?
පාස්කුව නොහොත් ඊස්ටර්හි මූලාරම්භය
බොහෝ දේශවල භාවිත කරනු ලබන ඊස්ටර් යන යෙදුම, බයිබලයෙහි සොයාගැනීමට නොමැත. “අරුණෝදයේ සහ වසන්ත සමයේ මිථ්‍යාදෘෂ්ටික ඊස්ටර් දේවතාවියගේ නමින් එම නිවාඩු දිනය හැඳින්වෙන” බව මෙඩීවල් හොලිඩේස් ඇන්ඩ් ෆෙස්ටිවල්ස් නම් පොත අපට පවසයි. තවද මෙම දේවතාවිය කවරෙකු වීද? “ප්‍රබන්ධ කථාවලට අනුව, පවිත්රත්වය නිසා සුදු දෙවියා ලෙසද, තම නළලින් මනුෂ්‍යවර්ගයාට ආලෝකය සපයන බැවින් ඉරු දෙවියා ලෙසද හැඳින්වෙන බෝල්ඩර්ව පිළිගැනීම සඳහා, ඊස්ටර් වැල්හැලාහි දොරටු විවර කළ” බව දි අමෙරිකන් බුක් ඔෆ් ඩේස් පිළිතුරු දෙයි. එය තවදුරටත් මෙසේ සඳහන් කරයි: “පල්ලිය එහි මුල් කාලය තුළදී, පැරණි මිථ්‍යාදෘෂ්ටික චාරිත්‍ර ඈඳාගෙන එයට ක්‍රිස්තියානි අරුතක් දුන් බවට කිසිදු සැකයක් නොමැත. වසන්ත සමයේදී ජීවිතය අලුත් කිරීම ඊස්ටර් මංගල්‍යය මගින් සමරනු ලැබූ බැවින්, යේසුස්වහන්සේගේ සුවිශේෂය දේශනා කළ ඔවුන්ට, උන්වහන්සේගේ මළවුන්ගෙන් නැවත නැඟිටීම උත්සවාකාරයෙන් සැමරීමට එය යොදාගැනීම පහසු දෙයක් විය.”
මෙවන් දෙයක් ඈඳාගැනීමෙන් පැහැදිලි වන්නේ, පාස්කු බිත්තර, පාස්කු හාවුන් සහ කුරුස සලකුණ තිබෙන බනිස් වැනි පාස්කු චාරිත්‍ර, ඇතැම් දේශවල ඇති වූ ආකාරයයි. “දිලිසෙන දුඹුරු පැහැති මතුපිටක කුරුසයක් . . . ලකුණු කර තිබෙන” කුරුස සලකුණ තිබෙන බනිස් සෑදීමේ චාරිත්‍රය සම්බන්ධයෙන්, ඊස්ටර් ඇන්ඩ් ඉට්ස් කස්ටම්ස් නම් පොත මෙසේ සඳහන් කරයි: “ප්‍රථම මහ සිකුරාදා දිනයේ සිද්ධීන් තුළින් කල්පවතින වැදගත්කමක් ලබාගැනීමට බොහෝ කලකට පෙර, කුරුසය මිථ්‍යාදෘෂ්ටික සංකේතයක් විය, එමෙන්ම පූර්ව ක්‍රිස්තියානි කාලවල පාන් සහ කේක්වල ඇතැම් අවස්ථාවලදී එම සලකුණ දමනු ලැබීය.”
ශුද්ධ ලියවිලිවල අපට මේ දේවල් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් සොයාගැනීමට නොමැති අතර, යේසුස්වහන්සේගේ මුල් ගෝලයන් ඒවා විශ්වාස කළ බවටද කිසිදු සාක්ෂියක් නැත. ඇත්තවශයෙන්ම, ප්‍රේරිත පේතෘස් අපට පවසන්නේ, “අමිශ්රවූ කිරිවලින්, [අප] ගැළවීම සඳහා වර්ධනයවන පිණිස . . . එයට බොහෝ ආශාවෙයල්ලා,” කියාය. (1 පේතෘස් 2:3) එසේනම් ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි මගින් එවැනි පැහැදිලිව පෙනෙන මිථ්‍යාදෘෂ්ටික සංකේත තමන්ගේ විශ්වාසයන් සහ පිළිපැදීම් තුළට ඈඳාගත්තේ මන්ද?
ක්යෝරියෝසිටීස් ඔෆ් පොපියුලර් කස්ටම්ස් නම් පොත මෙසේ පිළිතුරු දෙයි: “ඉවත් කළ නොහැකි වූ එවැනි විද්‍යමාන මිථ්‍යාදෘෂ්ටික උත්සවවලට ක්‍රිස්තියානි විශේෂත්වයක් දීම, මුල් පල්ලියේ තිබුණු වෙනස් නොවනසුලු ප්‍රතිපත්තිය විය. පාස්කුව සම්බන්ධයෙන් නම් හරවාගැනීම විශේෂයෙන්ම පහසු දෙයක් විය. ස්වාභාවික ඉරු උදාවීමෙහි සහ ශීත ඍතුවේ මළ ස්වභාවයෙන් පිබිදීමේ ප්‍රීතිය, ක්‍රිස්තුස්වහන්සේ මිනි වළෙන් නැවත නැඟිටුවීමේදී ධර්මිෂ්ඨකමේ ඉරු උදාවීමේ ප්‍රීතිය බවට හැරිණ. මැයි මස 1වනදා පමණ පැවැත්වූ ඇතැම් මිථ්‍යාදෘෂ්ටික සැමරීම්ද, පාස්කු සැමරීම සමඟ අනුරූප වන ලෙසට වෙනස් කරන ලදි.” ප්‍රසිද්ධ මිථ්‍යාදෘෂ්ටික චාරිත්‍රවලින් සහ විජ්ජා පිළිවෙත්වලින් ඉවත් වනවා වෙනුවට, ආගමික නායකයෝ ඒවා නොසලකා හැර ඒවාට “ක්‍රිස්තියානි වැදගත්කමක්” දුන්නෝය.
‘එහෙත් ඒවාහි යම්කිසි හානියක් තිබේද?’ කියා ඔබ කල්පනා කළ හැක. එසේ නැති බව සමහරු සිතති. “ක්‍රිස්තියානි ධර්මය වැනි ආගමක්, ජනයා වෙතට වෙනත් සංස්කෘතියකින් පැමිණෙන විට, වඩාත් පැරණි ආගම්වලින් ඈඳාගන්නාවූ ඇතැම් ජන චාරිත්‍ර එය පිළිගෙන ඒවාට අවසර දෙන,” බවට ඊස්ටර්—ඉට්ස් ස්ටෝරි ඇන්ඩ් මීනිං නමැති ඔහුගේ පොතෙහි, කුලගුරු බිෂොප් ඇලන් ඩබ්. වොට්ස්, පැවසුවේය. “පල්ලියේ උගන්වනු ලබන නිත්‍ය ප්‍රතිපත්තිවලට සමාන වැදගත්කමක් තිබෙන බවට අඟවන පිළිවෙත් තෝරා දේවමෙහෙය පවත්වන ක්‍රමයට හඳුන්වා දෙයි.” බොහෝදෙනෙකුට, තම පල්ලිය මගින් මෙම උත්සව අනුමත කර, ඒවා ශුද්ධ ලෙස සැලකූ කාරණයම, එය පිළිගැනීමට ප්‍රමාණවත් හේතුවක් වී තිබේ. එහෙත් වැදගත් ප්‍රශ්න නොසලකා හරිනු ලැබේ. මෙම චාරිත්‍ර සම්බන්ධයෙන් දෙවියන්වහන්සේට හැඟෙන්නේ කෙසේද? මේ කාරණය සම්බන්ධයෙන් අනුගමනය කිරීම සඳහා උන්වහන්සේ අපට යම්කිසි මාර්ගදර්ශක සපයා තිබෙනසේක්ද?
දෙවියන්වහන්සේගේ දෘෂ්ටිකෝණය වටහාගැනීම
“පාස්කු දිනය, එනම් අපගේ ස්වාමීන්වහන්සේගේ නැවත නැඟිටුවීමේ මංගල්‍යය වනාහි, ක්‍රිස්තියානි පල්ලියේ මංගල්‍යයන් අතුරින් ශ්‍රේෂ්ඨතම එකය,” කියා ඊස්ටර් ඇන්ඩ් ඉට්ස් කස්ටම්ස් නමැති ඇයගේ පොත තුළ ක්‍රිස්ටීනා හෝල් පැවසුවාය. ඒ සම්බන්ධයෙන් වෙනත් කර්තෘවරු එකඟ වෙති. “පාස්කු ඉරිදාවට තිබෙන වැදගත්කම සමඟ ක්‍රිස්තියානි වර්ෂයේ තිබෙන වෙනත් කිසිදු ශුද්ධ දිනයක් හෝ මංගල්‍යයක් සැසඳිය නොහැක,” කියා සෙලිබ්‍රේෂන්ස් නම් පොතෙහි රොබට් ජේ. මයියර්ස් සටහන් කරයි. කෙසේවෙතත්, එය ඇතැම් ප්‍රශ්න මතු කරයි. පාස්කු ඉරිදා පැවැත්වීම එතරම්ම වැදගත් වන්නේ නම්, එසේ කිරීම සඳහා බයිබලයෙහි නිශ්චිත ආඥාවක් නොමැත්තේ මන්ද? යේසුස්වහන්සේගේ මුල් ගෝලයන් විසින් පාස්කු ඉරිදා පැවැත්වීම සම්බන්ධයෙන් යම්කිසි වාර්තාවක් තිබේද?
පැවැත්විය යුතු හෝ නොයුතු දේ සම්බන්ධ මාර්ගදර්ශක සැපයීමට බයිබලය අසමත් වනවා නොවේ. ඉපැරණි ඉශ්රායෙල් ජාතියට මෙය පැවසීමේදී දෙවියන්වහන්සේ බෙහෙවින් නිශ්චිත වූ අතර, කලින් සඳහන් කළ පරිදි, ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහිකිරීමේ උත්සවය පැවැත්වීම දිගටම කරගෙන යෑම සඳහා ක්‍රිස්තියානීන්ට පැහැදිලි උපදෙස් දෙනු ලැබීය. (1 කොරින්ති 11:23-26; කොලොස්සි 2:16, 17) දි එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකාහි මුල් සංස්කරණයක් අපට මෙසේ පවසයි: “අලුත් ගිවිසුම තුළ හෝ අපොස්තලික පියවරුන්ගේ ලියවිලි තුළ හෝ පාස්කු ඉරිදා පැවැත්වීම ගැන කිසිදු ඉඟියක් නැත. මංගල්‍ය දින ශුද්ධ බවට වූ අදහස මුල් ක්‍රිස්තියානීන්ගේ මනස්වල තිබුණේ නැත. . . . ස්වාමීන්වහන්සේ හෝ උන්වහන්සේගේ ප්‍රේරිතයන් හෝ මෙම මංගල්‍යය හෝ වෙනත් කිසිදු මංගල්‍යයක් පැවැත්වීමට අණ කර නොමැත.”
එවැනි මංගල්‍යවල ප්‍රීතිමත්භාවය සහ එයින් ලැබෙන්නාවූ සන්තෝෂය, ඒවා පැවැත්වීම යුක්තිසහගත කිරීමට ප්‍රමාණවත් බව ඇතැම් අයට හැඟේ. කෙසේවෙතත්, ඉශ්‍රායෙලිතයන් මිසර ආගමික ව්‍යවහාරයක් ඈඳාගෙන එය ‘යෙහෝවඃවහන්සේට මංගල්‍යයක්’ ලෙස නැවත නම් කළ අවස්ථාවෙන් අපට පාඩමක් උගත හැක. ඔවුහු “කන්ටත් බොන්ටත් ඉඳ . . . සෙල්ලම් කරන්ට නැගුටුණෝය.” එහෙත් ඔවුන්ගේ ක්‍රියා යෙහෝවඃ දෙවියන්වහන්සේව බොහෝ සෙයින් කෝප කළ බැවින්, උන්වහන්සේ ඔවුන්ට දැඩි සේ දඬුවම් කළසේක.—නික්මයාම 32:1-10, 25-28, 35.
දේවවචනය ඉතාමත් පැහැදිලිය. සත්‍ය විශ්වාසයේ “ආලෝක[ය]” සහ සාතන්ගේ ලෝකයේ “අන්ධකාරය” අතර කිසිදු පංගුකාරකමක් තිබිය නොහැක; ක්‍රිස්තුස්වහන්සේ සහ මිථ්‍යාදෘෂ්ටික නමස්කාරය අතර “එකමුතුකම[ක්]” තිබිය නොහැක. අපට මෙසේ පවසා තිබේ: “එබැවින්—නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටපල්ලා, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටපල්ලායයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළි[ගනිමි].”—2 කොරින්ති 6:14-18.
බයිබලය තුළ ක්‍රිස්තියානීන් සඳහා—පාස්කුව නොහොත් ඊස්ටර් නොව—සිහිකිරීමේ උත්සවය පමණක් අණ කර තිබෙන නිසා, එය පැවැත්විය යුතුය. එසේනම් අපට එය ඔබින අන්දමින් පැවැත්විය හැක්කේ කෙසේද?
[5වන පිටුවේ පින්තූරය]
ඉශ්‍රායෙලිතයන්ගේ ‘යෙහෝවඃවහන්සේට මංගල්‍යය’ උන්වහන්සේව බෙහෙවින් කෝප කළේය
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කවරය: M. Thonig/H. Armstrong Roberts