‘ජනයෙනි යාඃට ප්‍රශංසා කරන්න!’
“හුස්ම ඇති සියල්ලෝම ස්වාමීන්ට [යාඃට, NW] ප්‍රශංසාකෙරෙත්වා.”—ගීතාවලිය 150:6.
1, 2. (අ) පළමු සියවසේ සැබෑ ක්‍රිස්තියානි ධර්මය සමෘද්ධිමත් වූයේ කොපමණ දුරකටද? (ආ) ප්‍රේරිතයන් කල් තියා දී තිබුණේ කුමන අනතුරු ඇඟවීමද? (ඇ) ඇදහිල්ල අත්හැර යෑම විකසනය වූයේ කෙසේද?
පළමු සියවසේ සඵල වූ ක්‍රිස්තියානි සභාව වශයෙන් යේසුස්වහන්සේ සිය ගෝලයන්ව සංවිධානය කළසේක. තදබල ආගමික විරුද්ධවාදිකම් හමුවේ, “ශුභාරංචිය . . . අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශවුණේය.” (කොලොස්සි 1:23) එහෙත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසු, සාතන් කූට ලෙස ඇදහිල්ල අත්හැර යෑමට පෙලඹවීය.
2 මේ සම්බන්ධයෙන් ප්‍රේරිතයන් කලින් අනතුරු ඇඟවීමක් දී තිබිණ. උදාහරණයක් වශයෙන්, පාවුල් එපීසයේ වැඩිමහල්ලන්ට මෙසේ පැවසීය: “දෙවියන්වහන්සේ විසින් තමන්ගේම [පුත්‍රයාගේ, NW] රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන්වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙයල්ලා. මාගේ පිටත්ව යාමෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍රවූ වෘකයන් නුඹලා අතරට පැමිණෙන බව දනිමි. නුඹලා අතරෙන්ම මනුෂ්‍යයන් නැගිට, තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරළා කථාකරනවා ඇත.” (ක්‍රියා 20:28-30; තවද 2 පේතෘස් 2:1-3; 1 යොහන් 2:18, 19 බලන්න.) මෙසේ සිව්වන සියවසේදී, ඇදහිල්ල අත්හළ ක්‍රිස්තියානි ධර්මය, රෝම අධිරාජ්‍යය හා සම්බන්ධ වීමට පටන්ගති. සියවස් කිහිපයකට පසු, රෝමයේ පාප් හා සම්බන්ධ වූ, ශුද්ධ රෝම අධිරාජ්‍යය, මිනිස්වර්ගයාගෙන් විශාල කොටසක් පාලනය කිරීමෙහි නිරත විය. කල් යත්ම, රෙපරමාදු ප්‍රතිසංස්කරණය කතෝලික සභාවේ දුෂ්ට අවකල් ක්‍රියාවලට එරෙහිව කැරලි ගැසුවත්, සැබෑ ක්‍රිස්තියානි ධර්මය යළි ස්ථාපිත කිරීමට එය අසමත් විය.
3. (අ) මුළු මැවිල්ල පුරා ශුභාරංචිය දේශනා කරන ලද්දේ කවදාද, කෙසේද? (ආ) වර්ෂ 1914දී සැබෑ වූ, බයිබලය මත පදනම් අපේක්ෂා කවරේද?
3 කෙසේවෙතත්, 19වන සියවසේ අවසානය එළඹීමත් සමඟම, දේශනා කිරීමෙහි කඩිසරව යෙදී සිටි අවංක බයිබල් ශිෂ්‍ය කණ්ඩායමක්, ‘ශුභාරංචියේ බලාපොරොත්තුව අහසින් යට මුළු මැවිල්ලේ’ බෙදාහැරීමෙහි නිරත වූයේය. බයිබල් අනාවැකි සම්බන්ධයෙන් ඔවුන් කළ අධ්‍යයන, පදනමක් වශයෙන් ගෙන, මෙම කණ්ඩායම අවුරුදු 30කට කලින් පැහැදිලි කළේ වර්ෂ 1914 වූ කලි, “අන්‍යජාතීන්ගේ [නියම කරන ලද, NW] කාලවල්[වල]” අවසානය සලකුණු කරන බවය, මෙය වනාහි පො.යු.පෙ. 607දී යෙරුසලම විනාශ වීමත් සමඟම ඇරඹූ “කාලවල් සතක්” නොහොත් අවුරුදු 2,520ක කාලපරිච්ඡේදයකි. (ලූක් 21:24; දානියෙල් 4:16) ඔවුන්ගේ අපේක්ෂා සැබෑ කරමින්, මිහිපිට මිනිසාගේ කටයුතු සම්බන්ධයෙන් 1914 සන්ධිස්ථානයක් බවට ඔප්පු විය. ස්වර්ගයෙහිද ඓතිහාසික සිද්ධීන් සිදු විය. මේ පොළොවෙන් සෑම දුෂ්ටකමක්ම අතු ගා දැමීමට හා පාරාදීසය යළි පිහිටුවාලීමට සූදානමක් වශයෙන්, සදාකාල රජාණන් ස්වකීය සහකාර රජු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ස්වර්ගික සිහසුනක් මත සිංහාසනාරූඪ කළේ එවිටය.—ගීතාවලිය 2:6, 8, 9; 110:1, 2, 5.
මෙසියානු රජු දෙස බලව!
4. මිකායෙල් යන සිය නමට එකඟව යේසුස්වහන්සේ විශ්වාසවන්තව කටයුතු කළේ කෙසේද?
4 වර්ෂ 1914දී මෙම මෙසියානු රජ වන යේසුස්වහන්සේ ක්‍රියා කිරීමට පටන්ගත්සේක. “දෙවියන්වහන්සේ හා සමාන වන්නේ කවුද?,” යන අරුත දෙන, මිකායෙල් යන නමද බයිබලයෙහි උන්වහන්සේට දී තිබේ, මන්දයත් යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කිරීමට උන්වහන්සේ මහත් ප්‍රයත්නයක් දරන බැවිනි. එළිදරව් 12:7-12හි වාර්තා වී ඇති පරිදි ප්‍රේරිත යොහන් සිදුවනු ඇති දේ ගැන මෙසේ දර්ශනයකින් විස්තර කළේය: “ස්වර්ගයෙහි යුද්ධයක් විය. ඒ වනාහි මිකායෙල් සහ ඔහුගේ දූතයන් මහ සර්පයාට විරුද්ධව යුද්ධයට යාමය. මහ සර්පයාද තමාගේ දූතයෝද සටන්කොට, ජය නොලැබුවෝය, ඔවුන්ට ස්වර්ගයෙහි ස්ථානයක් තවත් නොවීය. මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය, ඔහුගේ දූතයෝද ඔහු සමඟ හෙළනු ලැබුවෝය.” මොනතරම් ප්‍රබල වැටීමක්ද!
5, 6. (අ) වර්ෂ 1914න් පසු, ස්වර්ගයේ සිට කරන ලද්දේ කවර උනන්දුව ගෙන දෙන ප්‍රකාශයද? (ආ) මතෙව් 24:3-13 මේ සමඟ සම්බන්ධ වන්නේ කෙසේද?
5 ඊළඟට ස්වර්ගයෙහි ප්‍රබල කටහඬක් මෙසේ ප්‍රකාශ කළේය: “අපගේ දෙවියන්වහන්සේගේ ගැළවීමද බලයද රාජ්‍යයද තමන් ක්‍රිස්තුස්වහන්සේගේ ආණ්ඩුබලයද දැන් පැමුණුණේය. මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරිපිට රෑ දාවල් අපේ සහෝදරයන්ට වරදතබන්නාවූ, ඔවුන්ගේ වරදතබන්නා පහත හෙළනු ලැබුවේය. ඔව්හු [විශ්වාසවන්ත ක්‍රිස්තියානීහු] බැටළුපැටවාණන්ගේ [ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ] ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය.” යේසුස්වහන්සේගේ අනර්ඝ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල දක්වා තිබෙන අඛණ්ඩතාව පවත්වන්නන් සඳහා මින් ගැළවීම අදහස් කෙරේ.—හිතෝපදේශ 10:2; 2 පේතෘස් 2:9, 10අ.
6 ස්වර්ගයෙහි මහත් හඬ තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය: “එබැවින් ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීතිවෙයල්ලා. ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.” මෙසේ මේ පොළොව සඳහා පුරෝකථනය කර තිබෙන ‘දුක,’ මේ සියවස තුළදී පොළොවට පීඩා පමුණුවා තිබෙන, ලෝක සංග්‍රාම, සාගත, වසංගත, භූමිකම්පා හා නොපනත්කම තුළින් ප්‍රත්‍යක්ෂ වී තිබේ. මතෙව් 24:3-13 විස්තර කරන පරිදි, මේවා වනාහි ‘දේවල පිළිවෙළේ සමාප්තියේ ලකුණේ’ කොටසක් වන බව යේසුස්වහන්සේ පුරෝකථනය කළේය. අනාගතවාක්‍ය සැබෑ කරමින්, කලින් ඉතිහාසය පුරා පෙර නොදුටු විරූ දුකක් මිනිස්වර්ගයා 1914 සිට මිහිපිට අද්දැක තිබේ.
7. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හදිසිතාවෙන් යුතුව දේශනා කරන්නේ මන්ද?
7 සාතන් බලපවත්වන දුකින් සමන්විත මෙම යුගයේදී, අනාගතය සඳහා බලාපොරොත්තුවක් මිනිස්වර්ගයාට සොයාගත හැකිද? ඇත්තවශයෙන්ම එසේ කළ හැකිය, මන්දයත් යේසුස්වහන්සේ ගැන මතෙව් 12:21 මෙසේ පවසන බැවිනි: “ඔහුගේ නාමය කෙරෙහි අන්‍ය ජාතීහු බලාපොරොත්තුවන්නෝය”! ජාතීන් අතර තිබෙන පීඩාකාරි තත්වයන් ‘දේවල පිළිවෙළේ සමාප්තියේ ලකුණ’ සලකුණු කරනවා පමණක් නොව, නමුත් මෙසියානු රාජ්‍යයේ ස්වර්ගික රජු වශයෙන් ‘යේසුස්වහන්සේගේ පැමිණ සිටීමේ ලකුණද’ සලකුණු කරන්නේය. එම රාජ්‍යය සම්බන්ධයෙන් යේසුස්වහන්සේ තවදුරටත් මෙසේ පවසනසේක: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) දේවරාජ්‍යයේ පාලනය පිළිබඳ උදාර බලාපොරොත්තුව ගැන අදදින මිහිපිට දේශනා කරන එකම සෙනඟ කවරහුද? යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝය! ධර්මිෂ්ඨකමින් හා සමාදානයෙන් යුත් දේවරාජ්‍යය පොළොවේ කටයුතු භාරගැනීමට සැදී පැහැදී සිටින බව, ඔවුහු ප්‍රසිද්ධියේ මෙන්ම ගෙයින් ගෙට ගොස් හදිසිතාවකින් යුතුව ප්‍රකාශ කරති. ඔබ මෙම සේවයෙහි සහභාගි වෙමින් සිටින්නෙහිද? මීට වඩා විශිෂ්ට වරප්‍රසාදයක් ඔබට තිබිය නොහැක!—2 තිමෝති 4:2, 5.
“අන්තිමය” පැමිණෙන්නේ කෙසේද?
8, 9. (අ) විනිශ්චය “දෙවියන්වහන්සේගේ ගෘහයේ” සිට පටන්ගත්තේ කෙසේද? (ආ) ක්‍රිස්තියානි ලෝකය දේවවචනය උල්ලංගනය කර තිබෙන්නේ කෙසේද?
8 මිනිස්වර්ගයා විනිශ්චයේ කාලපරිච්ඡේදයකට පිවිස තිබේ. පළමු පේතෘස් 4:17හි එම විනිශ්චය “දෙවියන්වහන්සේගේ ගෘහයේ” සිට පටන්ගත් බව අපට දන්වා තිබේ—එනම්, 1914-18 අතරතුර පළමු ලෝක සංග්‍රාමයේ ඝාතනයත් සමඟ ඇරඹූ “අන්තිම දවස්” පටන්, ක්‍රිස්තියානියයි කියා ගන්නාවූ සංවිධාන විනිශ්චයකට ලක් වී තිබෙන බව ප්‍රත්‍යක්ෂ වී තිබේ. ක්‍රිස්තියානි ලෝකය මේ විනිශ්චයේදී ලබා තිබෙන ප්‍රතිඵල කවරේද? හොඳයි, 1914 පටන් සිදු වූ යුද්ධවලට අනුබල දීමේදී පල්ලි ගත් ස්ථාවරය සලකා බලන්න. යුද්ධ පෙරමුණට යන්ට කියා පොලඹවාගත් “නිර්දෝෂවූ දිළිඳුන්ගේ ප්‍රාණවල ලේ[වලින්]” පූජක පක්ෂය කැළැල් වී නැද්ද?—යෙරෙමියා 2:34.
9 මතෙව් 26:52ට අනුව, යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය.” මේ සියවසේ යුද්ධවලදී මෙය මොනතරම් සැබෑ වී ඇද්ද! වෙනත් තරුණ පුරුෂයන්ව, එනම් තමාගේම ආගමේ අයව පවා ඝාතනය කිරීමට පූජක පක්ෂය තරුණ පුරුෂයන්ගෙන් උදක්ම ඉල්ලා සිට තිබේ—කතෝලිකයෝ කතෝලිකයන්ද, රෙපරමාදුවෝ රෙපරමාදුවන්ද ඝාතනය කරති. දෙවියන්වහන්සේට හා ක්‍රිස්තුස්වහන්සේට වඩා ජාතිවාදය උසස් කර තිබේ. මෑතකදී, ඇතැම් අප්‍රිකානු රටවල, බයිබල් ප්‍රතිපත්තිවලට වඩා වාර්ගික සබඳතාවලට තැන දී තිබේ. ජනගහනයෙන් බහුතරයක් කතෝලික වන රුවන්ඩාවේ, අඩුම තරමින් ලක්ෂ පහක් වාර්ගික සාහසිකකම් හේතුකොටගෙන ඝාතනය කරනු ලැබූහ. ලොසේර්වාටෝරේ රොමානෝ යන වතිකානු පුවත්පතේ, පාප් මෙසේ පිළිගත්තේය: “අභාග්‍යයකට මෙන් කතෝලිකයන් පවා වගකිව යුතු මෙය, සහමුලින්ම වාර්ගික ඝාතනයකි.”—සසඳන්න යෙසායා 59:2, 3; මීකා 4:3, 5.
10. යෙහෝවඃවහන්සේ බොරු ආගම මත ඉටු කරනු ඇත්තේ කවර විනිශ්චයක්ද?
10 එකිනෙකාව ඝාතනය කිරීමට දිරිගන්වන හෝ සිය රැළේ සාමාජිකයන් තවත් සාමාජිකයන් ඝාතනය කරන අතරතුර, නිකම්ම බලාගෙන සිටින ආගම්, සදාකාල රජාණන් විසින් සලකන්නේ කෙසේද? බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහ බබිලෝනිය සම්බන්ධයෙන් එළිදරව් 18:21, 24 අපට මෙසේ පවසයි: “බලවත්වූ දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක් වැනිවූ ගලක් ගෙන මුහුදේ හෙළා: ඒ මහත් නුවරවූ බබිලෝනිය මහත් වැටීමකින් මෙසේ හෙළනු ලබන්නීය, තවත් කිසිසේත් සම්බ නොවන්නීය. ප්‍රොපේතවරුන්ගේද ශුද්ධවන්තයන්ගේද පොළොවේ මරනලද සියල්ලන්ගේද ලේ ඈ තුළ සම්බවුණේය.”
11. ක්‍රිස්තියානි ලෝකය තුළ සිදු වී තිබෙන බිහිසුණු දේවල් මොනවාද?
11 බයිබල් අනාවැකි ඉටු කරමින්, ක්‍රිස්තියානි ලෝකය තුළ බිහිසුණු දේවල් සිදු වී තිබේ. (සසඳන්න යෙරෙමියා 5:30, 31; 23:14.) බොහෝදුරට පූජක පක්ෂයේ නිර්බාධ ආකල්පය හේතුකොටගෙන, ඔවුන්ගේ රැළවල් දුරාචාරයෙන් දූෂ්‍ය වී තිබේ. ක්‍රිස්තියානි රටක්යයි කියාගන්නා එක්සත් ජනපදයේ, සියලු විවාහවලින් අඩක්ම දික්කසාදවලින් කෙළවර වේ. නහඹරවියේ ගැබ්ගැනීම් හා සමලිංගිකතාව පල්ලි සාමාජිකයන් අතර ඉතා පොදු දෙයකි. පූජකයෝ පුළුල් ලෙස කුඩා දරුවන්ව ලිංගිකව දූෂණය කරමින් සිටිත්. මෙවන් සිද්ධීන් හා සම්බන්ධ උසාවි නඩු සඳහා, එක්සත් ජනදයේ කතෝලික සභාවට දශකයක් ඇතුළත ඩොලර් බිලියනයක් වැය කිරීමට සිදු විය හැකි බව පවසා තිබේ. පළමුවන කොරින්ති 6:9, 10හි තිබෙන ප්‍රේරිත පාවුල්ගේ අවවාදය ක්‍රිස්තියානි ලෝකය නොසලකා හැර තිබේ: “නොහොත් අධර්මිෂ්ඨයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? නොරැවටෙල්ලා. වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත්, සොරුවත් ලෝභයෝවත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ලකන්නෝවත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකර නොගන්නෝය.”
12. (අ) සදාකාල රජාණන් මහ බබිලෝනියට විරුද්ධව ක්‍රියා කරනු ඇත්තේ කෙසේද? (ආ) ක්‍රිස්තියානි ලෝකයට වෙනස්ව, දෙවියන්වහන්සේගේ ජනයා “හලෙලූයා” සමූහ ගීත ගායනය කරනු ඇත්තේ කවර හේතුවක් සඳහාද?
12 වැඩි කලක් යන්ට මත්තෙන්, සදාකාල රජාණන් වන යෙහෝවඃවහන්සේ, ස්වකීය ස්වර්ගික අග මහසෙනෙවි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළින් ක්‍රියා කොට මහත් පීඩාව මුදාහරිනවා ඇත. පළමුව ක්‍රිස්තියානි ලෝකයද, මහ බබිලෝනියේ වෙනත් සියලු ශාඛාද යෙහෝවඃවහන්සේගේ විනිශ්චයෙන් අත් වන විනාශය අද්දකින්නෝය. (එළිදරව් 17:16, 17) යෙහෝවඃවහන්සේ, යේසුස්වහන්සේගේ මිදීමේ පූජාව තුළින් සපයා තිබෙන ගැළවීම ලබන්ට නුසුදුසු තත්වයක ඔවුන් සිටින බව ඔප්පු වී තිබේ. ඔවුහු දෙවියන්වහන්සේගේ ශුද්ධ නාමය කෙලෙසා ඇත්තාහ. (එසකියෙල් 39:7 සසඳන්න.) ඔවුන් සිය නම්බුකාර ආගමික ගොඩනැඟිලිවල “හලෙලූයා” සමූහ ගීත ගායනා කිරීම මොනතරම් විහිළුවක්ද! සිය බයිබල් පරිවර්තනවලින් යෙහෝවඃවහන්සේගේ පරිශුද්ධ නාමය ඉවත් කළත්, “හලෙලූයා” යන්නෙහි අර්ථය “යාඃට ප්‍රශංසා කරත්වා” යන්න බව ඔවුන්ගේ අවධානයෙන් ගිලිහී යන බව පෙනේ—“යාඃ” යනු “යෙහෝවා” යන්න කෙටි කර දැක්වීමකි. දෙවියන්වහන්සේ මහ බබිලෝනිය කෙරෙහි විනිශ්චය ඉටු කරද්දී, එය සැමරීම පිණිස ගායනා කරනු ලබන “හලෙලූයා” සමූහ ගීත එළිදරව් 19:1-6හි වාර්තා කර තිබීම යෝග්‍යය.
13, 14. (අ) ඊළඟට සිදුවනු ඇත්තේ කවර භාරදූර සිදුවීම්ද? (ආ) දේවභයැති මිනිසුන්ට අත් වන සන්තෝෂදායක විපාකය කුමක්ද?
13 අනුපිළිවෙළින් ඊළඟට සිදු වන දෙය වන්නේ, ජාතීන් හා ජනයා කෙරෙහි විනිශ්චය ප්‍රකාශ කිරීමටත්, එය ඉටු කිරීමටත් යේසුස්වහන්සේගේ ‘පැමිණීමය’. උන්වහන්සේම මෙසේ පුරෝකථනය කළසේක: “මනුෂ්‍ය පුත්‍රයා [ක්‍රිස්තුස් යේසුස්වහන්සේ] සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ [විනිශ්චය] සිංහාසනයෙහි වැඩ හිඳිනසේක. එවිට [පොළොව මත] සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක්මෙන් ඔවුන් වෙන්කොට, බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවනසේක. එවිට රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක්: මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, වරෙල්ලා, ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගනිල්ලා.” (මතෙව් 25:31-34) එළු පංතිය, “සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝයයි” මතෙ 25:46වන පදය තවදුරටත් විස්තර කරයි.
14 “ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේ” වන අපේ ස්වර්ගික ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එම අවස්ථාවේදී, අර්මගෙදොන්හි යුද්ධයට ගොස්, සාතන්ගේ දේශපාලනමය හා වාණිජ්‍ය මූලධාතු විනාශ කරන අන්දම බයිබලයේ එළිදරව් පොතෙහි විස්තර කර තිබේ. මෙසේ ක්‍රිස්තුස්වහන්සේ විසින්, “සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස” සාතන්ගේ මුළු භූමික පාලන ක්ෂේත්‍රය කෙරෙහි වගුරුවා තිබෙනු ඇත. මෙම ‘පළමු දේවල් පහව යනවාත්’ සමඟම, දෙවියන්වහන්සේ “ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන” තේජාන්විත නව ලොවකට දේවභයැති මිනිසුන්ව පිළිගනු ලබනවා ඇත.—එළිදරව් 19:11-16; 21:3-5.
යාඃට ප්‍රශංසා කිරීම සඳහා කාලයක්
15, 16. (අ) අප යෙහෝවඃවහන්සේගේ අනාවැකිමය වචනයට අවනත වීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද? (ආ) අනාගතවක්තෲන් හා ප්‍රේරිතයන් අඟවන පරිදි, ගැළවීම ලබාගැනීමට අප කුමක් කළ යුතුද, තවද අදදින සිටින ජන සමූහයන් සඳහා මෙය කුමක් අදහස් කළ හැකිද?
15 විනිශ්චය ඉටු කිරීම සඳහා එම දවස අතළඟය! එමනිසා, අප සදාකාල රජාණන්ගේ අනාවැකිමය වදන්වලට අවනත වීම යහපති. බොරු ආගමේ ඉගැන්වීම් හා චාරිත්‍ර තුළ තවමත් පැටලී සිටින අයට ස්වර්ගික හඬක් මෙසේ ප්‍රකාශ කරයි: “මාගේ සෙනගෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව වරෙල්ලා.” එහෙත් පලායන්නන් යා යුත්තේ කොතැනටද? තිබිය හැක්කේ එකම සත්‍යයක් පමණි, එබැවින් තිබෙන්නේ එකම සැබෑ ආගමකි. (එළිදරව් 18:4; යොහන් 8:31, 32; 14:6; 17:3) සදා ජීවනය අත් කරගැනීම රඳා පවතින්නේ, අප එම ආගම සෙවීම හා එහි දෙවියන්වහන්සේට කීකරුවීම මතය. ගීතාවලිය 83:17හි බයිබලය අපව උන්වහන්සේ වෙත යොමු දක්වයි, එහි මෙසේ කියවේ: “යෙහෝවා නම්වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාණන්[ය].”
16 කෙසේවෙතත් නිකම්ම සදාකාල රජාණන්ගේ නම දැනසිටීමට වඩා වැඩි යමක් අප කළ යුතුය. බයිබලය අධ්‍යයනය කිරීමත් උන්වහන්සේගේ උදාර ගුණාංග හා අරමුණු ගැන ඉගෙනගැනීමත් අපට අවශ්‍යය. ඊළඟට රෝම 10:9-13හි අඟවා ඇති පරිදි, මේ වර්තමාන කාලය සඳහා උන්වහන්සේගේ කැමැත්ත කිරීම අපට අවශ්‍යය. ප්‍රේරිත පාවුල් දේවානුභාවය ලත් අනාගතවක්තෲන් උපුටා දක්වමින් මෙසේ නිගමනය කළේය: “ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය.” (යෝවෙල් 2:32; ශෙපනියා 3:9) ගළවනු ලැබේ? එසේය, මන්දයත් මතු පැමිණෙන මහත් පීඩාවේදී සාතන්ගේ දූෂිත ලෝකය පිට විනිශ්චය ඉටු කරනු ලබන විට, ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන යෙහෝවඃවහන්සේගේ මිදීමේ පූජා සැපයුම කෙරෙහි දැන් ඇදහිල්ල දක්වන මහත් ජනසමූහයන්, ගළවනු ලබන බැවිනි.—එළිදරව් 7:9, 10, 14.
17. මෝසෙස්ගේද බැටළුපැටවාගේද ගීතය ගායනා කිරීමට දැන් එක්වීම සඳහා අපව පෙලඹිය යුත්තේ කවර උදාර බලාපොරොත්තුවද?
17 බේරී ජීවත්වීමට බලාපොරොත්තු වන අය සඳහා දෙවියන්වහන්සේගේ කැමැත්ත කුමක්ද? එය වූ කලි, සදාකාල රජාණන් අත් කරගන්නා ජයග්‍රහණය අපේක්ෂාවෙන් උන්වහන්සේට ප්‍රශංසා කිරීමේ අටියෙන්, මෝසෙස්ගේද බැටළුපැටවාගේද ගීතය ගායනා කිරීමට දැන් පවා අප සහභාගි වීමය. ස්වකීය තේජාන්විත අරමුණු ගැන අනුන්ට පැවසීමෙන් අපි මෙසේ කරන්නෙමු. බයිබල් අවබෝධය සම්බන්ධයෙන් අප ප්‍රගතියක් ලබන අතරතුර, අපි සදාකාල රජාණන්ට අපේ ජීවිත කැප කරන්නෙමු. යෙසායා 65:17, 18හි සඳහන් වන පරිදි, මෙම බලසම්පන්න රජාණන් විස්තර කරන විධිවිධානය යටතේ අප සදහටම ජීවත්වීම කරා එය මඟ පාදනු ඇත: “මක්නිසාද, බලව, මම අලුත් අහසක්ද [යේසුස්වහන්සේගේ මෙසියානු රාජ්‍යය] අලුත් පොළොවක්ද [මිනිස්වර්ගයාගෙන් යුත් ධර්මිෂ්ඨ වූ අලුත් සමාජයක්] මවමි. පළමු දේ මතක්කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත. එසේය, මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීතිවෙයල්ලා.”
18, 19. (අ) ගීතාවලිය 145හි දාවිත්ගේ වදන් අපව පෙලඹිය යුත්තේ කුමක් කිරීමටද? (ආ) යෙහෝවඃවහන්සේගේ පැත්තෙන් අපට නිසැකකමින් යුතුව කුමක් අපේක්ෂා කළ හැකිද?
18 ගීතිකාකාර දාවිත් සදාකාල රජාණන්ව මෙම වදන්වලින් විස්තර කළේය: “ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ සෙයින් ප්‍රශංසා ලැබිය යුතුය; උන්වහන්සේගේ උතුම්කමද සොයා දැනගත නොහැකිය.” (ගීතාවලිය 145:3) අවකාශයේ හා සදාකාලයේ සීමා මෙන් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයද සොයාගත නොහැකි තරම්ය! (රෝම 11:33) අපේ මැවුම්කරුවාණන් මෙන්ම ස්වකීය පුත්‍ර ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කරණකොටගෙන ස්වකීය මිදීමේ මිල සැපයුම පිළිබඳ අප දිගටම දැනුම ලබන අතරතුර, අපේ සදාකාල රජාණන්ව තව තවත් ප්‍රශංසාවට ලක් කිරීමට අපට වුවමනා වේ. ගීතාවලිය 145:11-13 දක්වන දේ කිරීමට අපට වුවමනා වනු ඇත: “දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියාත් උන්වහන්සේගේ රාජ්‍යයේ තේජෝමහිමයත් මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වන පිණිස, ඔව්හු ඔබගේ රාජ්‍යයේ මහිමය වර්ණනාකරන්නෝය, ඔබගේ බලය ගැනද කථාකරන්නෝය. ඔබගේ රාජ්‍යය සදාකාලික රාජ්‍යයක්ය, ඔබගේ අධිපතිකමද සියලු පරම්පරාවලම පවත්නේය.”
19 අපේ දෙවියන්වහන්සේ මතු සඳහන් වන ස්වකීය පොරොන්දුව ඉටු කරන බව අපට නිසැකකමින් යුතුව අපේක්ෂා කළ හැක: “ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරනසේක.” මේ අන්තිම දවස්වල අවසානය තුළින් ගමන් කිරීමට, සදාකාල රජාණන් අපට මෘදු මොළොක් අන්දමින් මඟ පෙන්වනවා ඇත, මන්දයත් දාවිත් අපට මෙසේ සහතික කළ බැවිනි: “ස්වාමීන්වහන්සේ තමන්ට ප්‍රේමකරන සියල්ලන් ආරක්ෂාකරනසේක; නුමුත් සියලු දුෂ්ටයන් විනාශ කරනසේක.”—ගීතාවලිය 145:16, 20.
20. අවසාන ගීතිකා පහ තුළ ප්‍රකාශ කර ඇති පරිදි, සදාකාල රජාණන්ගේ ඇරයුමට ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
20 බයිබලයේ අවසාන ගීතිකා පහම “හලෙලූයා” ආරාධනයකින් ආරම්භ වේ, එමෙන්ම නිමාවකට පත් වේ. මෙසේ ගීතාවලිය 146 [NW] අපට මෙසේ ඇරයුම් කරයි: “ජනයෙනි යාඃට ප්‍රශංසා කරත්වා! අහෝ මාගේ ආත්මය යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරත්වා. මගේ ජීවිත කාලය පුරා යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරන්නෙමි. මා පවතින තුරු මගේ දෙවියන්වහන්සේට ගී කියන්නෙමි.” ඔබ එම ඇරයුමට අවනත වන්නෙහිද? උන්වහන්සේට ප්‍රශංසා කිරීමට ඔබට වුවමනා බවට කිසිදු සැකයක් නැත! ගීතාවලිය 148:12, 13හි විස්තර කර තිබෙන අය අතර ඔබත් සිටිත්වා: “තරුණයන් හා තරුණියෙනි, මහල්ලන් හා බාලයෙනි, පොළොවේ සිට ස්වාමීන්ට ප්‍රශංසාකරව්. මොව්හු ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා කෙරෙත්වා; මක්නිසාද උන්වහන්සේගේ නාමය පමණක් උසස්ය. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය.” “ජනයෙනි යාඃට ප්‍රශංසා කරත්වා!” යන ඇරයුමට අපි පූර්ණ හෘදයකින් ප්‍රතිචාර දක්වමු. අපි එක්සත්ව සදාකාල රජාණන්ට ප්‍රශංසා පිරිනමමු!
ඔබේ අදහස කුමක්ද?
◻ යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන් කලින් අනතුරු ඇඟවූයේ කුමක් පිළිබඳවද?
◻ වර්ෂ 1914 පටන්, සිදු වී තිබෙන තීරණාත්මක ක්‍රියා කවරේද?
◻ යෙහෝවඃවහන්සේ කවර විනිශ්චයන් ඉටු කිරීමට සැදී පැහැදී සිටිනසේක්ද?
◻ සදාකාල රජාණන්ට ප්‍රශංසා පිරිනැමීමට මෙය වඩාත්ම උචිත කාලය වන්නේ මන්ද?
[19වන පිටුවේ කොටුව]
මෙම ව්‍යසනකාරි ආරවුල් සහිත යුගය
ආරවුල් සහිත යුගයක් 20වන සියවසේදී උදා වූ බව බොහෝදෙනෙකු පිළිගෙන ඇත. උදාහරණයක් වශයෙන්, 1993දී පළ වූ, එ.ජ. සෙනෙට් සභික ඩැනියල් පැට්‍රික් මොයිනිහන් විසින් රචිත පැන්ඩිමෝනියම් යන පොතේ පෙරවදනෙහි, “1914හි ව්‍යසනය” පිළිබඳ අදහස් ප්‍රකාශයක මෙසේ කියවේ: “යුද්ධය පැමිණ, ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් විය. වර්ෂ 1914දී පැවති මෙන්ම එවක් පටන් ප්‍රචණ්ඩකාරිත්වයෙන් සිය ආණ්ඩුක්‍රම පිළිවෙත වෙනසකට භාජන වී නැති රාජ්‍යයවල් පොළොව මත ඇත්තේ අටක් පමණි. . . . සෙසු වර්තමාන රාජ්‍යවල් 170ක් අතරින් සමහරක් ඉතා මෑතකදී බිහි වූ නිසා, ආරවුල් අද්දැකීමට ඒවාට සිදු වී නැත.” වර්ෂ 1914 පටන් වකවානුවේ ව්‍යසනයක් පිට ව්‍යසනයක් අද්දැක තිබීම මොනවට පැහැදිලිය! වර්ෂ 1993දී පළ වූ තවත් පොතකි, අවුට් ඔෆ් කන්ට්‍රෝල්—ග්ලෝබල් ටර්මොයිල් ඔන් දි ඊව් ඔෆ් ද ට්වෙන්ටි-ෆස්ට් සෙන්චරි.
එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ හිටපු ප්‍රධානියා වන සූබිග්නෙෆ් බ්‍රේසින්ස්කි එහි කර්තෘ වේ. ඔහු මෙසේ ලියයි: “විසිවන සියවසේ මූලාරම්භය බුද්ධි යුගයේ සැබෑ ආරම්භය වශයෙන් බොහෝ විවරණවල පැසසුමට ලක් කර තිබිණ. . . . තිබූ අපේක්ෂාවන්ට වෙනස්ව විසිවන සියවස, මිනිස්වර්ගයාගේ, වඩාත්ම ලෙයින් නැහැවුණු වෛරයෙන් බැඳුණු සියවස බවටත්, රැවටිලිකාර දේශපාලනයෙන් හා බිහිසුණු ඝාතනවලින් යුත් සියවසක් බවටත් පත්ව තිබේ. කෲරකම පෙර නොවූ විරූ අන්දමකට සැලසුම් කරන ලදි, ඝාතනය කිරීම් මහ පරිමාණ පදනමක් මත සංවිධානය කරන ලදි. යහපත කිරීමට විද්‍යාවට තිබෙන හැකියාව හා සැබවින්ම මුදා හරින ලද දේශපාලන නපුරුකම් අතර වෙනස තැතිගන්වනසුලුය. ඉතිහාසයේ වෙන කවරදාකවත්, ඝාතනය කිරීම් මෙතරම් ලෝක ව්‍යාප්ත වූයේවත්, ඉන් මෙතරම් ජීවිත ගණනක් විනාශ කළේවත් නැත, එතරම් ආඩම්බර වූ අතාර්කික ඉලක්ක ලුහුබැඳ යෑම සඳහා මිනිසුන් ඝාතනය කිරීමට, මෙතරම් ප්‍රබල අඛණ්ඩ උත්සාහයක්ද දරා නැත.” එය මොනතරම් සැබෑද!
[17වන පිටුවේ පින්තූරය]
මිකායෙල් විසින් සාතන් හා ඔහුගේ දූත පිරිස පොළොවට හෙළනු ලැබුවේ 1914දීය