‘වැඩ කරන්න, නැති වී යන කෑම පිණිස නොව’
ඩේවිඩ් ලන්ස්ට්රම් පැවසූ පරිදි
මගේ බාල සහෝදරයා වන එල්වුඩ් සහ මම මීටර 9ක් උස පලංචියක සිට වොච්ටවර් කර්මාන්ත ශාලා ගොඩනැඟිල්ලේ අලුත් සංඥා පුවරුවකට තීන්ත ගාමින් සිටියා. අවුරුදු 40කට වඩා වැඩි කාලයකට පසුවත් මෙසේ උනන්දු කරමින් එය තවමත් එහි තිබෙනවා: “දෙවියන්වහන්සේගේ වචනය වන ශුද්ධ බයිබලය දිනපතා කියවන්න.” සෑම සතියකම, ප්‍රසිද්ධ බෘක්ලීන් පාලම හරහා රිය පදවන්නාවූ දහස් ගණන් මිනිසුන් මෙම සංඥා පුවරුව දකිනවා.
මගේ මුල් කාලයේ මතක සටහන්වලට පවුලේ රෙදි සෝදන දවසද ඇතුළත් වෙනවා. අපේ විශාල පවුලේ ඇඳුම් සේදීම පිණිස පාන්දර පහ වන විට අම්මා නැඟිටිනවා, තාත්තා වැඩට යෑමට සුදානම් වෙනවා. සුපුරුදු පරිදි ඔවුන් තවත් උණුසුම් වාදයක නිරත වෙනවා, මිනිසා වසර මිලියන ගණනාවකට පෙර කෙසේ හෝ පරිණාමය වූ බවට, තාත්තා තර්ක කරනවා, මිනිසා කෙළින්ම දෙවියන්වහන්සේ විසින් මවන ලද බව ඔප්පු කිරීම සඳහා අම්මා බයිබලයෙන් උපුටා දක්වනවා.
මට අවුරුදු හතක්ව තිබියදී පවා, අම්මා ළඟ සත්‍යය තිබෙන බව මම අවබෝධ කරගත්තා. මම තාත්තාට කොපමණ ආදරය කළත්, ඔහුගේ විශ්වාසය අනාගතය සඳහා කිසිම බලාපොරොත්තුවක් ඉදිරිපත් කරන්නේ නැති බව මට පෙනී ගියා. වසර ගණනාවකට පසුව තම පුතුන් දෙදෙනෙකු ඇය එතරම් ආදරය කළ පොත වන බයිබලය කියවීමට මිනිසුන්ව දිරිගන්වන පිණිස පුවරුවකට තීන්ත ගෑ බව දැනගත්තා නම් අම්මා කෙතරම් සතුටු වනු ඇද්ද!
නමුත් මගේ කතාව මා කියන්නේ හරි පිළිවෙළකට නෙවෙයි. එතරම් වරප්‍රසාද ලත් කාර්යයක් කිරීමට මා පැමිණියේ කෙසේද? මම ඉපදෙන්ට අවුරුදු තුනකට කලින් එනම් 1906ට මට නැවත යන්ට සිදු වෙනවා.
අම්මාගේ විශ්වාසවන්ත ආදර්ශය
ඒ වන විට අම්මා සහ තාත්තා අලුත විවාහ වුණු අය වූ අතර, ඇරිසෝනාහි කූඩාරමක ජීවත් වුණා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ නමින් පසුව හඳුන්වනු ලැබූ බයිබල් ශිෂ්‍යයෙක් ඇවිත් චාල්ස් ටේස් රසල් විසින් ලියූ ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස් නම් මාතෘකාවෙන් යුත් පොත් මාලාවක් අම්මාට ඉදිරිපත් කළා. ඈ ඒවා කියවීමට මුළු රාත්‍රියම ගත කළ අතර, සොයමින් සිටි සත්‍යය මෙයයයි ඈ ඉක්මනින්ම අවබෝධ කරගත්තා. රැකියාවක් සොයා ගිය තාත්තා නැවත පැමිණෙන තෙක් අම්මා නොසන්සුන්ව සිටියා.
පල්ලිවල උගන්වන්නාවූ දේවලින් තාත්තාද සෑහීමට පත් වූයේ නැති නිසා, යම් කලකට මෙම බයිබල් සත්‍යයන් ඔහු පිළිගත්තා. කෙසේවෙතත්, පසුව, ඔහුටම ආවේනික වූ ආගමික මාර්ගයක ඔහු ගිය අතර, අම්මාටද නමස්කාරය සම්බන්ධයෙන් ගැටලු ඇති කළා. එහෙත් තම දරුවන්ගේ ශාරීරික මෙන්ම ආත්මික අවශ්‍යතා සම්බන්ධයෙන් සැලකීම කිසිදාක ඇය නතර කළේ නැහැ.
මුළු දවසේම මහන්සි වී වැඩ කළාට පසුව, බයිබලයේ කොටසක් කියවීමට හෝ ආත්මික වටිනාකමින් යුත් දේවල් සමහරක් අප සමඟ බෙදාගැනීමට සෑම රාත්‍රියකම අම්මා පහත මහලට පැමිණෙනවා මට කිසිදාක අමතක කරන්න බැහැ. තාත්තාත් මහන්සි වී වැඩකරන්නෙක් වූ අතර, මම වැඩෙනවාත් සමඟ තීන්ත ගෑමේ වෘත්තිය ඔහු මට ඉගැන්වුවා. ඔව්, තාත්තා මට වැඩ කරන්ට ඉගැන්වුවා, නමුත් යේසුස්වහන්සේ උපදෙස් දුන්නාක් මෙන් “නැතිවී යන කෑම පිණිස නොව”, නමුත් වැඩ කළ යුත්තේ කුමක් සඳහාද කියා අම්මා මට ඉගැන්වුවා.—යොහන් 6:27.
පසුකලකදී අපේ පවුල වොෂිංටන් ජනපදයේ සියැට්ල් නගරයට කිලෝමීටර 110ක් නැඟෙනහිරින් පිහිටි කුඩා නගරයක් වන එලෙන්ස්බර්ග්හි පදිංචි වුණා. අප බාලයන්ව සිටියදී අම්මා සමඟ බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම්වලට යෑමට පටන්ගත් විට, පෞද්ගලික නිවෙස්වල අපි හමුවුණා. ගෙයින් ගෙට සේවයේ සහභාගි වීමට වූ අවශ්‍යතාව කාවැද්දවූ විට, සියලුම පුරුෂයන් අපගේ පාඩම් කණ්ඩායම අතහැර ගියා. නමුත් අම්මා කිසිදාක අත්හැරියේ නැහැ. යෙහෝවඃවහන්සේගේ සංවිධානයේ මඟ පෙන්වීම සෑමවිටම විශ්වාස කිරීමට මෙය කල්පවතින හැඟීමක් මා තුළ ඇති කළා.
පසුකලකදී අම්මාට සහ තාත්තාට දරුවන් නවදෙනෙක් සිටියා. ඔවුන්ගේ තුන්වන දරුවා වන මම, 1909 ඔක්තෝබර් මස 1වනදා උපත ලැබුවා. මුළුමනින්ම අපි හයදෙනෙක්ම අම්මාගේ හොඳ ආදර්ශය අනුගමනය කළ අතර, යෙහෝවඃවහන්සේගේ ජ්වලිත සාක්ෂිකරුවන් බවට පත් වුණා.
කැපවීම සහ බව්තීස්මය
මගේ නව යොවුන්වියේ අගභාගයේදී යෙහෝවඃවහන්සේට කැපවීමක් කළ අතර, 1927දී වතුර බව්තීස්මය මගින් මම එය සංකේතවත් කළා. කලින් බැප්ටිස්ට් පල්ලියක්ව තිබී ඇති සියැට්ල්හි පිහිටි පැරණි ගොඩනැඟිල්ලක මගේ බව්තීස්මය පැවැත්වුවා. පැරණි උස්කොත ඔවුන් අහක් කර තිබීම ගැන මම සන්තෝෂ වුණා. දිග කළු ලෝග්ගු අඳින්ට දී පහළම මහලේ ජල තටාකයට අපිව ගෙන ගියා. එය පෙනුමෙන් හරියට අපි අවමංගල්‍යයකට යනවා වාගෙයි.
මාස කිහිපයකට පසුව නැවතත් මම සියැට්ල්හි සිටි අතර, මේ කාලයේදී ගෙයින් ගෙට සාක්ෂිදැරීමේ පළමු රසය මම අද්දුටුවා. පෙරමුණ ගත් තැනැත්තා “ඔයා මේ කොටස වටේට යන්න, මම ඒ කොටස වටේට යන්නම්,” යනුවෙන් පවසමින් මට මඟ පෙන්වුවා. කෝලයෙන් සිටියත්, මිත්‍රශීලී කාන්තාවක් සමඟ පොත් පිංච යුගල දෙකක් මම තබා ආවා. එලෙන්ස්බර්ග්වලට මම නැවත පැමිණි විට, ගෙයින් ගෙට දේශනා සේවයේ දිගටම නිරත වූ අතර, දැන් ආසන්න වශයෙන් අවුරුදු 70කට පසුවත් එවන් සේවය මට තවමත් ඉමහත් සතුටක් ගෙන දෙනවා.
ලෝක මූලස්ථානයේ සේවය
ඉන් වැඩි කලක් යන්ට පෙර, වොච් ටවර් සමිතියේ ලෝක මූලස්ථානය වන බෘක්ලින් බෙතෙල්හි සේවය කළ එක් පුද්ගලයෙක් එහි ස්වේච්ඡාවෙන් සේවය කිරීමට මට දිරිගැන්වුවා. එම සාකච්ඡාවෙන් ටික කලකට පසු, බෙතෙල් සේවයට උපකාර අවශ්‍ය බව දන්වමින් මුරටැඹ සඟරාවේ දැන්වීමක් දක්නට ලැබුණා. ඉතින් මම අයැදුම් කළා. එක්දහස් නවසිය තිහේ මාර්තු මස 10වනදා බෘක්ලින් නිව් යෝර්ක්හි බෙතෙල් සේවය සඳහා වාර්තා කරන්න කියා ලද ලිපියෙන් මා ලැබූ සතුට මම කිසිදාක අමතක කරන්නේ නැහැ. මෙලෙස ‘නැති වී නොයන කෑම’ සඳහා සේවය කරන මගේ පූර්ණ කාලීන වෘත්තිය ආරම්භ වුණා.
පින්තාරු කරන්නෙකු ලෙස මා ලැබූ අද්දැකීම් හේතුවෙන්ම, යමක් පින්තාරු කිරීමට මට පැවරුම් ලැබෙයි කියා යමෙකුට සිතිය හැකියි. ඒ වෙනුවට, මගේ පළමු වැඩය වූයේ, කර්මාන්ත ශාලාවේ අමුණන යන්ත්‍රයේ වැඩ කිරීමයි. මෙය ඉතා ඒකාකාරි වැඩක් වුවත්, වසර හයකට වැඩි කාලයක් මෙම වැඩයෙන් මම ආස්වාදයක් ලැබුවා. පරණ යුද්ධ නැව යන නමින් සෙනෙහසින් යුතුව අපි හැඳින්වූ විශාල මුද්‍රණ යන්ත්‍රය මගින් නිෂ්පාදිත පොත් පිංච නොනවත්වා ගමන් කරන පටියක් මගින් අපගේ පහත මාලයට යවනු ලබනවා. පරණ යුද්ධ නැවෙන් පොත් පිංච ලැබෙන වේගයෙන්ම අපටත් ඇමිණිය හැකිදැයි බලමින් අපි විනෝදයක් ලැබුවා.
පසුව අපි ශබ්දවාහිනි සාදන තැන ඇතුළුව අංශ ගණනාවකම වැඩ කළා. පටිගත කළ බයිබල් පණිවුඩ, නිවැසියන්ගේ දොරකඩ අසල වාදනය කිරීමට අපි මෙම යන්ත්‍ර පාවිච්චි කළා. අපගේ අංශයේ ස්වේච්ඡා සේවකයන් විසින් සිරස් ශබ්දවාහිනියක් නිර්මාණය කර නිෂ්පාදනය කරනු ලැබුවා. මෙම ශබ්දවාහිනිය කලින් පටිගත කළ පණිවුඩ වාදනය කළා පමණක් නොව, එහි පොත් පිංච සහ සමහරවිට සැන්ඩ්විච් එකක් ගෙන යෑමට හැකි වන පිණිස විශේෂ කොටස්ද තිබුණා. වර්ෂ 1940දී, ඩිට්රොයිට්, මිචිගන්හි සමුළුවකදී මෙම අලුත් උපකරණය පාවිච්චි කරන ආකාරය නිරූපණය කර පෙන්වීමේ වරප්‍රසාදය මට ලැබුණා.
කෙසේවෙතත්, අපි නිපුණ යන්ත්‍රවලට වඩා දේවල් සාදමින් සිටියා. වැදගත් ආත්මික සකස්වීම්ද අපි කරමින් සිටියා. එක් උදාහරණයකට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ කටුවකින් සවි කළ යුතු කුරුසයක් සහ ඔටුන්නකින් යුත් පදක්කමක් පැළඳීමට පුරුදුව සිටියා. නමුත් යේසුස්වහන්සේව මරණයට පත් කරන ලද්දේ කුරුසයක් මත නොව, කෙළින් අතට සිටවූ වධකණුවක බව අපි පසුව තේරුම්ගත්තා. (ක්‍රියා 5:30) ඉන්පසු පදක්කම් පැළඳීම තවදුරටත් සිදු වූයේ නැහැ. පදක්කම්වලට සවි කරන ලද දෑ ගැළවීම මගේ වරප්‍රසාදය වුණා. පසුව මෙම රත්රන් උණු කර විකුණනු ලැබුවා.
සතිපතා දින පහමාරක කාර්ය බහුල වැඩසටහනක් අපට තිබුණත්, සති අන්තයේ ක්‍රිස්තියානි දේවසේවයේ අපි සහභාගි වුණා. එක් දවසක, අපගෙන් 16දෙනෙකුව අත්අඩංගුවට ගෙන බෘක්ලින්හි සිරබාරයට දමනු ලැබුවා. ඇයි? එම කාලයේදී සාමාන්‍යයෙන් ආගම් සියල්ලම බොරු ආගම් ලෙස අපි සැලකුවා. ඉතින් අපි එක් පැත්තක “ආගම උගුලක් හා වංචාවකි” යනුවෙන්ද, අනිත් පැත්තේ “දෙවියන්වහන්සේට සහ රජාණන් වන ක්‍රිස්තුස්වහන්සේට සේවය කරන්න” යනුවෙන්ද ලියා තිබූ සංඥා රැගෙන ගියා. මෙම සංඥා ගෙන යෑම නිසා අපිව සිරබාරයට ගනු ලැබුවා, නමුත් වොච් ටවර් සමිතියේ නීතිඥවරයා වන හේඩන් කොවිංටන් අපිව ඇප තබා ඉවතට ගත්තා. එම කාලයේ නමස්කාරයේ නිදහස හා සම්බන්ධ නඩු බොහොමයක්ම එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කරනු ලැබූ අතර, බෙතෙල්හි සිට අපගේ ජයග්‍රහණ සම්බන්ධයෙන් කෙළින්ම ලැබුණු වාර්තා ඇසීම පුදුම සන්තෝෂයක් වුණා.
පසුකාලයේදී මගේ පින්තාරු කිරීමේ අද්දැකීම් ප්‍රයෝජන ගැනීමට හැකි වැඩ කොටස් මට පවරනු ලැබුවා. නිව් යෝර්ක් නගරයේ නාගරික සභා පහෙන් එකක් වන ස්ටේටන් දිවයිනේ, අපගේ ගුවන් විදුලි සංස්ථාව වන WBBR පිහිටා තිබුණා. සංස්ථාවේ ගුවන් විදුලි ටැඹවල් උසින් මීටර 60කට වඩා වැඩි වුණා, තවත් ඒවාට කඹ යුගල් තුනක් තිබුණා. සෙන්ටිමීටර 90ක් දිග සෙන්ටිමීටර 20ක් පළල ලෑල්ලක් මත මම ඉඳගත් අතර, හවුල් වැඩකරන්නෙක් මාව උඩට ඉස්සුවා. පොළොවට ඉතා ඉහලින්, කුඩා ආසනයක ඉඳගෙන, එම කඹ සහ ටැඹවල් මම පින්තාරු කළා. එම රැකියාව කරන අතරතුර අපි හුඟාක් යාච්ඤා කළේ නැද්ද කියා සමහරු මගෙන් අසා තිබෙනවා!
ග්‍රීෂ්ම ඍතුවේ කළ වැඩක් වන කර්මාන්ත ශාලා ගොඩනැඟිල්ලේ ජනෙල් සේදීම සහ ජනෙල්වල එළිපත්තට තීන්ත ගෑම මට කිසිදාක අමතක වෙන්නේ නැහැ. අපි එය හැඳින්වූයේ ග්‍රීෂ්ම කාල නිවාඩු කියලයි. තාවකාලිකව සාදා තිබුණු ලී පලංචි මතට නැග, ලෑල්ලකට සවිකළ බොලොක්කවලට කඹ හෝ ලණු දමා අපව තට්ටු අටේ ගොඩනැඟිල්ලේ ඉහළට සහ පහළට ඇදගෙන ගියා.
උදව් දෙන පවුලක්
වර්ෂ 1932දී, මගේ තාත්තා මැරුණු අතර, මට ගෙදර ගිහින් අම්මාට උදව් වෙන්ට සිදු වේවිද කියා මම කල්පනා කළා. එක් දවසක දහවල් ආහාරයට පෙර, සමිතියේ සභාපති වන සහෝදර රදර්ෆඩ් ඉඳගන්න ප්‍රධාන මේසයේ මම කුඩා ලිපියක් තබා ගියා. ඔහු සමඟ කතා කිරීමට අවශ්‍ය බව එහි මම ඉල්ලා සිටියා. මගේ සැලකිල්ල ගැනත්, තවමත් සහෝදර සහෝදරියන් ගෙදර සිටින බවත් දැන, “බෙතෙල්හි නැවතී සිට ඔබට ස්වාමින්වහන්සේගේ වැඩය කිරීමට අවශ්‍යද?” කියා ඔහු ඇසුවා.
“ඇත්තෙන්ම ඔව්,” යනුවෙන් මම උත්තර දුන්නා.
එමනිසා නැවතී සිටීමට වූ මගේ තීරණය සමඟ අම්මා එකඟ වෙනවාද කියා බැලීමට ලිපියක් ලිවීමට ඔහු මට යෝජනා කළා. මම කළේ එයයි, මගේ තීරණයට සම්පූර්ණ එකඟවීම ප්‍රකාශ කරමින් ඇය මට ආපසු ලිව්වා. සහෝදර රදර්ෆඩ්ගේ කරුණාවන්තකම සහ උපදෙස් මම සැබවින්ම අගය කරනවා.
බෙතෙල්හි සිටි වසර ගණනාව අතරතුර, මගේ අම්මා මාව දිරිගැන්වූවා සේම, මමත් නිතිපතා මගේ පවුලේ අයට ලිපි ලියා යෙහෝවඃවහන්සේට සේවය කිරීමට ඔවුන්ව දිරිගැන්වූවා. අම්මා 1937 ජූලි මස මියගියා. අපගේ පවුලේ මහත් දිරිගැන්වීමට ඈ කෙතරම් හේතු වූවාද! සාක්ෂිකරුවන් බවට පත් වූයේ නැත්තේ මගේ වැඩිමහල් සහෝදරයා වන පෝල්ද වැඩිමහල් සහෝදරිය වන එස්තර් හා බාල සහෝදරිය වන ලොයිස් පමණයි. කෙසේවෙතත්, පෝල්, අපගේ වැඩය ගැන හිතකර ආකල්පයක් දැක්වූවා, තවද අපගේ පළමු රාජ්‍ය ශාලාව ගොඩනැඟූ ඉඩම් කැබැල්ලද ඔහු විසින් සපයන ලද්දක් වුණා.
වර්ෂ 1936දී මගේ සහෝදරිය වන ඊවා පුරෝගාමියෙක්, නැතහොත් පූර්ණකාලීන දේශනාකරන්නියක් බවට පත් වුණා. එම අවුරුද්දේම ඈ රැල්ෆ් ටොමස් සමඟ විවාහ වුණා, තවද 1939දී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සංචාරක සේවයේ නිරතවීම ඔවුන්ට පවරනු ලැබුවා. පසුව ඔවුන් මෙක්සිකෝවට ගියා, රාජ්‍ය වැඩයට උපකාර කරමින් අවුරුදු 25ක කාලයක් ඔවුන් එහි ගත කළා.
වර්ෂ 1939දී මගේ බාල සහෝදරියන් වන ඇලිස් සහ ෆ්රාන්සස්ද පුරෝගාමී සේවය කරන්ට පටන්ගත්තා. එක්දහස් නවසිය හතළිස්එකේ සෙන්ට් ලොයිස්හිදී, ඇලිස් සමුළුවක කවුන්ටරයක් පිටුපස සිට නිපදවීමට මාද උපකාර කළ ශබ්දවාහිනී උපකරණය පාවිච්චි කරන්නේ කෙසේද කියා නිරූපණය කර පෙන්වනවා දැකීම මොනතරම් ප්‍රීතියක්ද! පවුලේ වගකීම් නිසා ඇලිස්ට පුරෝගාමී සේවය සමහර අවස්ථාවල අතර මඟදී නවත්වන්න සිදු වුවත්, සම්පූර්ණයෙන්ම වසර 40කට වඩා වැඩි කාලයක් ඈ පූර්ණ කාලීන දේවසේවයේ ගත කර තිබෙනවා. වර්ෂ 1944දී ෆ්රාන්සස්, වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්වලට සහභාගි වීමට ගිය අතර, යම් කාලයකට පුවටෝ රිකෝහි මිෂනාරිවරයෙකු ලෙස පූර්ණ කාලීනව සේවය කළා.
එක්දහස් නවසිය හතළිස් ගණන්වල මුල්භාගයේදී පවුලේ බාලම දෙදෙනා වන ජොවෙල් සහ එල්වුඩ් මොන්ටානාහි පුරෝගාමීන් බවට පත් වුණා. ජොවෙල් විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක් ලෙස දිගටම සිටි අතර, දැන් උපස්ථායක සේවකයෙක් ලෙස සේවය කරනවා. මගේ සිතට බලවත් සන්තෝෂයක් ගෙන දෙමින් එල්වුඩ් 1944දී බෙතෙල්හි මා සමඟ සම්බන්ධ වුණා. මම ගෙදරින් පිටත්ව යන විට ඔහු අවුරුදු පහටත් වඩා අඩු වයසක සිටියා. මුලදී සඳහන් කළාක් මෙන් “දෙවියන්වහන්සේගේ වචනය වන ශුද්ධ බයිබලය දිනපතා කියවන්න,” යන සංඥා පුවරුව කර්මාන්ත ශාලා ගොඩනැඟිල්ලේ අපි දෙදෙනා එකතුව තමයි පින්තාරු කළේ. ගත වූ වසර ගණනාව පුරා එම සංඥා පුවරුව දුටු කොපමණ දෙනෙකු බයිබලය කියවීමට දිරිගන්වනු ලැබුවාද කියලා මම නිතරම කල්පනා කර තිබෙනවා.
වර්ෂ 1956දී එමා ෆ්ලයිට් සමඟ විවාහ වන තෙක් එල්වුඩ් බෙතෙල්හි සේවය කළා. යම් කලකට අප්‍රිකාවේ කෙන්යාවෙහිද එමෙන්ම ස්පාඤ්ඤයේද වසර ගණනාවකට එල්වුඩ් සහ එමා පූර්ණ කාලීන දේවසේවයේ එකට යෙදුණා. එල්වුඩ් පිළිකාවකින් පහර ලැබ 1978දී ස්පාඤ්ඤයේදී මිය ගියා. මේ වන තෙක් එමා ස්පාඤ්ඤයේ පුරෝගාමී සේවයේ යෙදී සිටිනවා.
විවාහය සහ පවුලක්
මම සහභාගි වන බෘක්ලින් මධ්‍යම සභාවේ පුරෝගාමියක වන මේරි ඇලිස් රිවේරා සමඟ විවාහ වීමට, වර්ෂ 1953, සැප්තැම්බර් මාසයේදී මම බෙතෙල් සේවය අත්හැරියා. මට ස්වර්ගික බලාපොරොත්තුවක් තිබෙන බව මම ඇලිස්ට දැනගැනීමට සැලැස්වුවා, එනමුත් ඈ මා සමඟ විවාහ වීමට තවදුරටත් කැමැත්තෙන් සිටියා.—පිලිප්පි 3:14.
බෙතෙල්හි වසර 23ක් ජීවත් වූ පසු, ඇලිස්ව සහ මාව පුරෝගාමී සේවයේ දිගටම යෙදවීම පිණිස පින්තාරු කරන්නෙක් හැටියට බාහිර රැකියාවක් ආරම්භ කිරීම යම් දුරකට සකසා ගැනීමක් වුණා. සෞඛ්‍යමය හේතු නිසා පුරෝගාමී සේවය නතර කිරීමට සිදු වූ විට පවා, ඇලිස් සෑමවිටම උපකාරි වුණා. වර්ෂ 1954දී අපි අපගේ පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටියා. අපේ පුතා ජොන් හොඳ සනීපයෙන් සිටියත්, ප්‍රසූතිය එතරම් හොඳින් සිදු වූයේ නැහැ. සීසර් සැත්කම කරන අතරතුරේදී ඇලිස්ට හුඟාක් ලේ අහිමි වීම නිසා ඇය ජීවත් වෙයිද කියලාවත් වෛද්‍යවරු හිතුවේ නැහැ. එක් අවස්ථාවකදී ඔවුන්ට නාඩි වැටීම පවා සොයාගන්ට බැරි වුණා. එහෙත් ඇය රාත්‍රිය ගත කර කාලයත් සමඟ සම්පූර්ණයෙන්ම සුවය ලබාගත්තා.
වසර කිහිපයකට පසු, ඇලිස්ගේ තාත්තා මැරුණු විට, ඇගේ මව සමඟ සිටීම පිණිස අපි ලෝං අයිලන්ඩ්වලට ගොස් පදිංචි වුණා. අපට මෝටර් රථයක් තිබුණේ නැති නිසා, ගමනාගමනය සඳහා ඇවිදීම හෝ බසයක් නැතහොත් පොළොව යටින් යන දුම්රිය මාර්ග මම උපයෝගි කරගත්තා. එමගින් මට පුරෝගාමී වැඩය දිගටම කිරීමට සහ මගේ පවුල නඩත්තු කිරීමට හැකි වුණා. ඕනෑම පරිත්‍යාගවලට වඩා පූර්ණ කාලීන දේවසේවයේ තිබෙන ප්‍රීතිය වැඩියි. සාක්ෂිකරුවෙක් වීම පිණිස බලාපොරොත්තු උපදවන බේස්බෝල් වෘත්තිය අතහැරිය ජෝ නාටාලී වැනි මිනිසුන්ට උපකාර කිරීම මා ලැබූ බොහෝ ආශීර්වාදවලින් එකක් වී තිබෙනවා.
වර්ෂ 1967දී, නිව් යෝර්ක් ප්‍රදේශයේ තත්වය වඩාත් නරක් වූ හෙයින්, ඇලිස්ව සහ ජොන්ව නැවත මගේ ගම වන එලෙන්ස්බර්ග්හි ජීවත්වීම පිණිස ගෙන යෑමට මම තීරණය කළා. මගේ අම්මාගේ මුනුපුරු මිනිපිරියන් සහ ඔවුන්ගේ දරුවන් දැන් පූර්ණ කාලීන දේවසේවයේ සහභාගි වෙනවා දකින්ට ලැබීම මම විපාකයක් ලෙස සලකනවා. සමහරු බෙතෙල්හි පවා සේවය කරනවා. ජොන් තම භාර්යාව සහ දරුවන් සමඟ විශ්වාසවන්තව යෙහෝවඃවහන්සේට සේවය කරනවා.
කනගාටුදායක ලෙස, 1989දී මගේ ආදරණීය භාර්යාව මරණයෙන් මට අහිමි වුණා. අහිමි වීම විඳදරාගැනීමට පූර්ණ කාලීන දේවසේවයේ කාර්ය බහුලව සිටීම මට උපකාරි වුණා. දැන් මගේ සහෝදරි ඇලිස් සහ මම එක්ව පුරෝගාමී සේවයේ යෙදීමෙන් ආස්වාදයක් ලබනවා. නැවත එකම වහල යටට වී වඩාත් වැදගත් වැඩයේ කාර්ය බහුලව සිටිනවා දැකීම මොනතරම් හොඳද!
එක්දහස් නවසිය අනූහතරේ වසන්තයේදී, වසර 25ක තරම් කලකට පසු පළමු වතාවට මම බෙතෙල් ගෘහය බැහැදකින්ට ගියා. වසර 40කට වඩා වැඩි කාලයකට පෙර මා සමඟ වැඩ කළාවූ කිහිපදෙනෙකු දැකීම කොපමණ ප්‍රීතියක් වූවාද! වර්ෂ 1930දී මම බෙතෙල්වලට යන විට පවුලේ සිටියේ 250ක් පමණයි, නමුත් අදදින බෘක්ලින් බෙතෙල් පවුලේ සංඛ්‍යාව 3,500කටත් වඩා වැඩියි!
ආත්මික ආහාර මගින් උසුලනු ලැබීම
බොහෝ උදෑසනවල මම අපේ නිවස අසල තිබෙන යැකිමා ගං ඉවුර දිගේ ඇවිදින්ට යනවා. එතැන් සිට ඉහළට මීටර 4,300කටත් වඩා වැඩි උසකින් තිබෙන හිමෙන් වට වූ ප්රතාපවත් රෙයිනියර් කන්ද මට දැකගන්න පුළුවන්. වන සතුන් බහුලයි. සමහරවිට මම මුවන් දකිනවා, වතාවක මම ගෝනෙකු පවා දැක තිබෙනවා.
තනිව ගත කරන මෙම නිස්කලංක වේලාව යෙහෝවඃවහන්සේගේ පුදුමාකාර සැපයුම් පිළිබඳව මෙනෙහි කිරීමට මට අවස්ථාව දෙනවා. අපගේ දෙවි වන යෙහෝවඃවහන්සේට විශ්වාසවන්තව දිගටම සේවය කිරීමට ශක්තිය ඉල්ලා මම යාච්ඤා කරනවා. ඇවිදිනවාත් සමඟම, “යෙහෝවඃවහන්සේගේ හද සතුටු කිරීම,” යන ගීතිකාවේ මෙලෙස පවසන වචන විශේෂයෙන් ගයන්න මම කැමතියි: “සව් දෙව් ඔ-බ-ට කැ-ප-වී; සේ-වේ ඔ-බේ නැ-ණින් යෙ-දී, හෘ-දේ-ට දෙව් ප්‍රී-ති දෙන්-න, ප්‍ර-ස්තා දා-ස-යන්-ට දෙන්-න.”
මම යෙහෝවඃවහන්සේගේ හෘදය සතුටු කරන්නාවූ වැඩක් තෝරාගැනීම ගැන සන්තෝෂ වෙනවා. පොරොන්දු වූ ස්වර්ගික විපාකය මට ලැබෙන තෙක්, මෙම වැඩය දිගටම කරගෙන යෑම සඳහා මම යාච්ඤා කරනවා. ‘නැති වී නොයන කෑම පිණිස වැඩ කිරීමට’ මෙම විස්තරය අනිකුත් අයවත් පොලඹවත්වා කියා මම ප්‍රාර්ථනා කරනවා.—යොහන් 6:27.
[23වන පිටුවේ පින්තූර]
එල්වුඩ් “දෙවියන්වහන්සේගේ වචනය වන ශුද්ධ බයිබලය දිනපතා කියවන්න” යන සංඥා පුවරුව පින්තාරු කරමින්
[24වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1940දී සමුළුවක ග්‍රාන්ට් සූටර් සහ ජොන් කුර්සන් සමඟ අලුත් ශබ්දවාහිනිය නිරූපණය කරමින්
[25වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1944දී අප අතර සත්‍යය තුළ සිටිමින් පූර්ණ කාලීන දේවසේවයේ යෙදුණු අය: ඩේවිඩ්, ඇලිස්, ජොවෙල්, ඊවා, එල්වුඩ් සහ ෆ්රාන්සස්
[25වන පිටුවේ පින්තූරය]
දැන් සිටින සහෝදර සහෝදරියන් වමේ සිට: ඇලිස්, ඊවා, ජොවෙල්, ඩේවිඩ් සහ ෆ්රාන්සස්