ඉදිරියේදී ශුභාරංචි!
අපට පෞද්ගලිකව බලපාන අශුභාරංචියක් ලැබෙන විට, අපි සියලුදෙනාම ශෝකයට පත් වන්නෙමු. අනික් අතට, අපට හෝ අපගේ ප්‍රේමනීයයන්ට ප්‍රීතිය ගෙන දෙන ආරංචි—එනම් ශුභාරංචි ලැබෙන විට අපි ප්‍රීතිමත් වන්නෙමු. එහෙත් අශුභාරංචි අපට නොව, වෙනත් අයට බලපාන විට, බොහෝ අවස්ථාවලදී යම් කුතුහලයක් ඇති වේ; වෙනත් අයගේ අවාසනාවන්තකම ගැන දැනගැනීමෙන් ඇතැම්හු ආස්වාදයක් පවා ලබති. අශුභාරංචි මෙතරම් හොඳින් ප්‍රසිද්ධ වීමට හේතුව මෙමගින් යම් දුරකට පැහැදිලි විය හැක!
විපත්ති සම්බන්ධයෙන් ඇතැම් මනුෂ්‍යයන්ට තිබෙන දැඩි උනන්දුව ගැන පැහැදිලි නිදසුනක්, දෙවන ලෝක යුද්ධයේ මුල්භාගයේදී තිබිණ. ටොන් 10,000ක් බර, වේගවත් මෙන්ම බොහෝ අවි ආයුධ අඩංගු ග්‍රාෆ් ශ්පේ නම් ලත් යුද නැවක්, 1939දී ජර්මනියේ නැව් කණ්ඩායමේ ආඩම්බරයට හේතුවක් විය. මෙම යුද නැව සති ගණනාවකට, දකුණු අත්ලන්තික් සහ ඉන්දියන් සාගරයේ මිත්‍ර වෙළඳ නැව් අතර ව්‍යසනකාරි තත්වයක් ඇති කර තිබිණ. අන්තිමේදී, බ්‍රිතාන්‍ය යුද නැව් තුනක් ග්‍රාෆ් ශ්පේ නැව සොයා එයට ප්‍රහාර එල්ල කර ජීවිත හානියක්ද සිදු කළ අතර, එම නැවට අලුත්වැඩියා කිරීම් සඳහා උරුගුවේහි මොන්ටිවීඩියෝ වරායට මන්දගාමීව යෑමටද සිදු විය. එම යුද නැව වහාම නැවත මුහුදට ගෙන යනු නොලැබුවහොත්, එය තහනම් කරනු ලබන බව උරුගුවේ ආණ්ඩුව මගින් නියම කරන ලදි. එබැවින් දරුණු මෙන්ම ඒකපාක්ෂික සටනක් ආසන්න බව පෙනෙන්ට තිබිණ.
මේ බව දැනගත් විට, ලේ තැවරුණු මේ සටන නැරඹීමට, එක් කෙනෙකුට ඩොලර් 2,500ක් පමණ වැය කරමින් එක්සත් ජනපදයේ ධනවත් ව්‍යාපාරිකයෝ කණ්ඩායමක්, උරුගුවේට යෑමට ගුවන් යානයක් කුලියට ගත්හ. එම සටන කිසිදිනක හට නොගැනීම ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීමට හේතුවක් විය. ග්‍රාෆ් ශ්පේ නැව ගිල්වීමට ඇඩොල්ෆ් හිට්ලර් අණ දුන්නේය. බිහිසුණු මුහුදු සටනක දර්ශනයක් දැකගැනීමේ බලාපොරොත්තුවෙන් වරායේ රැස් වී සිටි ප්‍රේක්ෂකයන් දහස් ගණනකට, ඒ වෙනුවට අසන්ට හා දකින්ට ලැබුණේ කන් බිහිරි කරවන පිපිරුමකින් සිය නාවික පිරිස විසින්ම ග්‍රාෆ් ශ්පේ නැව ගිල්වනු ලැබූ ආකාරයයි. එම නැවේ කපිතාන් තම හිසට වෙඩි තබාගෙන සිය දිවි නසාගත්තේය.
ඇතැම් මනුෂ්‍යයන් තුළ බිහිසුණු දේවල් සඳහා යම් ළැදිකමක් තිබුණත්, තමන් අශුභාරංචිවලට වඩා ශුභාරංචි අසන්ට වැඩි කැමැත්තක් දක්වන බවට බොහෝදෙනෙකු එකඟ වනු ඇත. ඔබටත් එලෙස හැඟෙන්නේ නැද්ද? එසේනම්, ඉතිහාසය තුළ අශුභාරංචි එතරම් වැඩි ප්‍රමාණයකුත්, ශුභාරංචි මෙතරම් ස්වල්පයකුත් වාර්තා කරනු ලබන්නේ මන්ද? තත්වය කවදා හෝ වෙනස් කළ හැකිද?
සියලුම අශුභාරංචිවලට හේතු
ශුභාරංචි පමණක් බහුලව පැවතුණ කාලයක් ගැන බයිබලය පවසයි. අශුභාරංචි වනාහි, කලින් නොදැන සිටි හා නොඅසා තිබුණු යමක් විය. යෙහෝවඃ දෙවියන්වහන්සේ ස්වකීය මැවිල්ලේ ක්‍රියාවලිය අවසන් කළ විට, මනුෂ්‍යයාට සහ සත්වයාට භුක්තිවිඳීම සඳහා පෘථිවි ග්‍රහයා සූදානම්ව තිබිණ. උත්පත්ති වාර්තාව අපට මෙසේ පවසයි: “දෙවියන්වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක, බලව ඒ ඉතා යහපත්ව තිබුණේය.”—උත්පත්ති 1:31.
මනුෂ්‍යයන්ව මැවීමෙන් පසු අශුභාරංචි අසන්ට නොලැබීම බොහෝකල් නොපැවතුණේය. ආදම් හා ඒවට දරුවන් ලැබීමට පෙර, දෙවියන්වහන්සේට හා යහපත උදෙසා උන්වහන්සේගේ ක්‍රමවත් විශ්වනීය විධිවිධානයට එරෙහිව කැරලිගැසීමේ අශුභාරංචිය වාර්තා කරනු ලැබීය. උසස් නිලයක් දරන ආත්ම පුත්‍රයෙකු ඔහුට විශ්වාසයෙන් නියම කරන ලද තත්වයට ද්‍රෝහි වූ අතර, ඔහුගේ කැරලිකාර ද්‍රෝහි ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට ප්‍රථම මනුෂ්‍ය යුවළ හරවාගැනීමෙහිද සාර්ථක විය.—උත්පත්ති 3:1-6.
මනුෂ්‍යවර්ගයා විසින් අද්දැක තිබෙන අශුභාරංචිවල බහුලත්වය, ඒ කාලයේදී ආරම්භ විය. ඒ කාලය පටන් ලෝකයේ පැතිර පවතින අශුභාරංචිය තුළ, වංචාව, රැවටීම, බොරුව, අසත්‍යයන් හා අඩ සත්‍යයන් එතරම් ප්‍රසිද්ධ ලෙස හුවා දක්වා තිබීම පුදුමයට කාරණයක් නොවේ. අශුභාරංචියේ මූලාරම්භකයා වීමේ වරද, ඍජුව සාතන් නමැති යක්ෂයා මත තබමින්, තම කාලයේ සිටි ආගමික නායකයන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පැවසූසේක: “නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.”—යොහන් 8:44.
මිනිස් ජනගහනය සංඛ්‍යාවෙන් වැඩි වෙත්ම, අශුභාරංචිද ඒ සමඟම වැඩි විය. ඇත්තවශයෙන්ම, ප්‍රීතිමත් මෙන්ම සන්තෝෂවත් කාලවල් නොතිබුණ බව මින් අදහස් නොකෙරේ, මන්දයත් ප්‍රීතියට හේතු වූ දේවල් බොහොමයක් ජීවිතයේ තිබිණ. එහෙත්, ගැටලු හා ශෝකයේ බහුලත්වය, අද දක්වා සෑම මනුෂ්‍ය පරම්පරාවකම පෙනෙන්ට තිබේ.
මෙම දුක්ඛදායක තත්වය සඳහා තවත් මූලික හේතුවක් තිබේ. එනම්, වැරදි කිරීමට හා විපත්තිය පැමිණවීමට අප උරුම කර තිබෙන නැඹුරුවාවයි. අශුභාරංචි සඳහා වූ මෙම නොවැළැක්විය හැකි හේතුව, යෙහෝවඃවහන්සේම මෙසේ හඳුන්වා දෙනසේක: “බාල වයසේ පටන් ඔහුගේ සිතේ කල්පනා නපුරුව තිබේ.”—උත්පත්ති 8:21.
අශුභාරංචි වේගයෙන් වැඩි වන්නේ මන්ද?
කෙසේවෙතත්, මෙම 20වන ශතවර්ෂය තුළ අශුභාරංචි වේගයෙන් ඉහළ යෑම සඳහා හේතුවක් තිබේ. මෙම හේතුව බයිබලය තුළ පැහැදිලි ආකාරයකින් ප්‍රකාශ කර තිබේ, 20වන ශතවර්ෂයේ වෙසෙන මනුෂ්‍යවර්ගයා “අන්තිම දවස්” හෝ “අන්තිම කාලය” ලෙස හැඳින්වෙන අද්විතීය කාලපරිච්ඡේදයකට ඇතුල් වන බව එය පුරෝකථනය කළේය. (2 තිමෝති 3:1; දානියෙල් 12:4) වර්ෂ 1914දී ආරම්භ වූ, මෙම “අවසාන කාලපරිච්ඡේදය” බයිබල් අනාවැකි හා බයිබල් කාලනිර්ණය මගින් හඳුන්වා දෙනු ලැබේ. මේ සම්බන්ධයෙන් විස්තරාත්මක ශුද්ධ ලියවිලිමය සාක්ෂි සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නම් පොතෙහි 11වන පරිච්ඡේදය කරුණාකර බලන්න.
අන්තිම දවස් ආරම්භ වීමට නියමිතව තිබුණේ, පොළොව මත අශුභාරංචි නිරායාසයෙන්ම වේගයෙන් ඉහළ යෑමට හේතු වන සිද්ධියක් සමඟින්ය. එය කුමක් වීද? එය වනාහි, සාතන් නමැති යක්ෂයා හා ඔහුගේ භූත සේනාව ස්වර්ගයෙන් පහළට හෙළීමේ සිද්ධියයි. අශුභාරංචි වැඩිවීමට හේතු වන නොවැළැක්විය හැකි කාරණය පිළිබඳ මෙම පැහැදිලි විස්තරය එළිදරව් 12:9, 12හි ඔබට කියවීමට හැක: “මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය, ඔහුගේ දූතයෝද ඔහු සමඟ හෙළනු ලැබුවෝය. . . . ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.”
එබැවින් අන්තිම දවස් එහි සමාප්තිය කරා එන තෙක් ඉතිරි වී තිබෙන කාලයේදී, අශුභාරංචි දිගටම අසනු ලබන බවට හා එය ප්‍රමාණයෙන් සහ ප්‍රබලත්වයෙන් පවා වැඩි වනු ඇති බවට බලාපොරොත්තු වීමට අපට හැක.
එය සැමවිටම එසේ නොවනු ඇත
අදදින අශුභාරංචි වසංගතයට හේතු වන මෙම දුක්ඛිත තත්වය, පොළොවේ වැසියන්ට සැමවිටම නොපැවතීම සතුටට හේතුවකි. ඇත්තවශයෙන්ම, නොකඩවා පවතින අශුභාරංචියේ දවස් ඉතා ඉක්මනින්ම අවසන් වනු ඇති බව අපට නිසැකවම පැවසිය හැක. තත්වය බලාපොරොත්තු රහිත එකක් මෙන් පෙනෙන්ට තිබුණත්, එය එසේ නොවේ. සියලු අශුභාරංචිවල අවසානය අත ළඟය, තවද එය දෙවියන්වහන්සේගේ නියමිත කාලයේදී නොවරදවාම පැමිණෙනු ඇත.
දෙවියන්වහන්සේගේ විනාශය සහ අශුභාරංචිවල සියලු හේතු ඉවත් කරනු ලැබීමත් සමඟම, අන්තිම දවස් උච්චාවස්ථාවකට පැමිණෙන බව හෝ අවසන් වන බව පුරෝකථනය කර තිබෙන බැවින්, අපට මේ ගැන සහතික විය හැක. සතුරුකමට අනුබල දෙන, වෙනස්වීමට හා ඔවුන්ගේ වැරදිසහගත ක්‍රියාමාර්ගයෙන් හැරීමට ප්‍රතික්ෂේප කරන දුෂ්ට මිනිසුන්ව උන්වහන්සේ ඉවත් කරනු ඇත. පොදුවේ අර්මගෙදොන් යුද්ධය යනුවෙන් හඳුන්වනු ලබන, සර්වපරාක්‍රම වූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධයෙන් මෙය උච්චාවස්ථාවකට පැමිණෙනු ඇත. (එළිදරව් 16:16) ඉන්පසු සාතන් නමැති යක්ෂයා සහ ඔහුගේ භූත සේනාව වහාම අක්‍රිය තත්වයකට පත් කරනු ලබනවා ඇත. සියලු අශුභාරංචිවල මූලාරම්භකයා වන සාතන්ගේ බැඳීම, එළිදරව් 20:1-3හි මෙසේ විස්තර කරයි: “පාතාලයේ යතුරුද අතේ මහත් දම්වැළක්ද ඇතුව දේවදූතයෙක් ස්වර්ගයෙන් බැස එනවා දුටිමි. ඔහු යක්ෂයාද සාතන්දවූ පුරාණ සර්පයා වන ඒ මහා සර්පයා අල්ලා අවුරුදු දහසකට බැන්දේය, . . . ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙළා, ඒක වසා, ඔහු මතුයෙහි ඒක මුද්‍රාකළේය.”
මෙම විස්මයජනක සිද්ධීන්වලට පසුව, පොළොව හා එහි වැසියන් සඳහා පෙර නොවූ විරූ අයුරින් ශුභාරංචි බහුල කාලයක් පැමිණෙනු ඇත. අර්මගෙදොන් නමැති අවසාන යුද්ධයෙන් බේරී ජීවත් වන මිලියන සංඛ්‍යාත අය හා මිනී වළවල මරණය නමැති නින්දෙන් නැවත නැඟිටුවනු ලබන බිලියන සංඛ්‍යාත අයද මෙම වැසියන්ට ඇතුළත් වනු ඇත. මෙම වඩාත්ම යහපත් ශුභාරංචිය බයිබලයේ අවසාන පොතෙහි මෙසේ විස්තර කර තිබේ: “දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, උන්වහන්සේ ඔවුන් සමඟ වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනග වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක. උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:3, 4.
ඒ සන්තෝෂවත් කාලය ඔබට සිතේ මවාගත හැකිද? සැබවින්ම අශුභාරංචි තවදුරටත් නොපවතින තේජාන්විත අනාගතයකි. එසේය, සියලුම අශුභාරංචි අවසන් වනු ඇති අතර, නැවත කිසිදා අසන්ට නොලැබෙනු ඇත. එවිට ශුභාරංචි රජයන අතර, එය සදහටම බහුලව පවතිනු නියතය.