යෙහෝවඃවහන්සේගේ ප්‍රේමනීය හස්තය යටතේ සේවය කිරීම
ලැම්ප්රොස් සුම්පොස් පැවසූ පරිදි
මට තීරණාත්මක තේරීමක් කරන්ට සිදු වුණා: එනම්, මගේ පොහොසත් බාප්පාගේ විශාල නිශ්චල දේපොළ ව්‍යාපාරයේ කළමනාකරු වීම පිළිගෙන—එමගින් මගේ පවුලේ මූල්‍යමය ප්‍රශ්න විසඳීම—නැතහොත් යෙහෝවඃ දෙවියන්වහන්සේගේ පූර්ණ කාලීන දේවසේවකයෙකු වීම. මම අවසානයේදී ගත් තීරණයට කුමන හේතු සාධක ඉවහල් වූයේදැයි පැහැදිලි කිරීමට මට ඉඩ දෙන්න.
වර්ෂ 1919දී ග්‍රීසියේ වොලොස් නගරයේ මම උපත ලැබුවා. මගේ තාත්තා පිරිමි ඇඳුම් පැළඳුම් විකුණූ අතර, අපි ද්‍රව්‍යමය සමෘද්ධියක් භුක්තිවින්දා. එහෙත් 1920ගණන්වල අවසානභාගයේදී ඇති වූ ආර්ථික පරිහානියේ ප්‍රතිඵලයක් වශයෙන්, ව්‍යාපාරය බංකොලොත් වීම නිසා තාත්තාට ඔහුගේ කඩය අහිමි වුණා. මගේ තාත්තාගේ මුහුණේ වූ බලාපොරොත්තු සුන් වූ පෙනුම දකින සෑමවිටම මට හුඟාක් දුක හිතුණා.
කලකට මගේ පවුල අන්ත දිළිඳුකමින් ජීවත් වුණා. මම හැමදාම පැයකට කලින් පාසැලෙන් පිටව ඇවිත් ආහාර සලාක ගැනීම සඳහා පෝලිමේ සිටගෙන ඉන්නවා. දිළිඳුකමින් සිටියත් අපි සාමකාමී පවුල් ජීවිතයක් භුක්තිවින්දා. මම සිහින මැවුවේ වෛද්‍යවරයෙක් වීමටයි, නමුත් මගේ නහඹරවියේ මැදභාගයේදී පවුල නඩත්තු කිරීම සඳහා පාසැලෙන් අස් වී රැකියාවක් කිරීමට මට සිදු වුණා.
ඉන්පසු, IIවන ලෝක යුද්ධයේදී, ජර්මන් සහ ඉතාලි ජාතිකයන් ග්‍රීසිය අත් පත් කරගත් අතර, දරුණු සාගතයක් ඇති වුණා. මිත්‍රයන් සහ අඳුනන අය වීදිවල හාමතෙන් වැටී මියයනවා මම නොයෙක් වර දැක්කා—එය මට කිසිදා අමතක නොවන බියකරු දර්ශනයක්! වරක්, ග්‍රීසියේ ප්‍රධාන ආහාරයක් වන පාන් නොමැතිව අපගේ පවුල දින 40ක් ගත කළා. නොමැරී ජීවත්වීමට, මගේ වැඩිමහල් සහෝදරයා සහ මම අහල පහළ ගම්වලට ගොස් මිත්‍රයන්ගෙන් සහ නෑදෑයන්ගෙන් අල ඉල්ලාගත්තා.
රෝගයක් ආශීර්වාදයක් බවට පත් වෙයි
වර්ෂ 1944 මුල්භාගයේදී, මම එක් ආකාරයක ප්ලූරා ප්‍රදාහයක් වැළඳීමෙන් ඉතා රෝගාතුර වුණා. රෝහලේ මා නතර වී සිටි මාස තුන අතරතුර, මගේ ඥාති සහෝදරයෙකු පොත් පිංච දෙකක් ගෙනත් දී මෙසේ පැවසුවා: “මේවා කියවන්න; ඔයා ඒවාට කැමති වන බව මට නිසැකයි.” හූ ඉස් ගෝඩ්? හා ප්‍රොටෙක්ෂන් නමැති එම පොත් පිංච, වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි මගින් ප්‍රකාශයට පත් කර තිබුණා. ඒවා කියවීමෙන් පසු, එහි අඩංගු තොරතුරු සහකාර රෝගීන් සමඟ මම බෙදාගත්තා.
රෝහලෙන් පිටත්වීමෙන් පසු, මම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වොලොස් සභාව සමඟ ආශ්‍රය කිරීමට පටන්ගත්තා. කෙසේවෙතත්, නේවාසික නොවූ රෝගියෙකු හැටියට, මාසයකට මට නිවසට සීමා වී සිටින්ට සිදු වුණා, එමනිසා, දිනකට පැය හයත් අටත් අතර කාලයකට මම මුරටැඹ සඟරාවල පැරණි කලාප මෙන්ම වොච් ටවර් සොසයටි මගින් ප්‍රකාශයට පත් කරන ලද අනිකුත් ප්‍රකාශන කියෙව්වා. ප්‍රතිඵලයක් ලෙස, මගේ ආත්මික වර්ධනය සම්පූර්ණයෙන්ම වාගේ තරමක් වේගවත්ව සිදු වුණා.
ජීවිතය ගැළවුණු අවස්ථා
එක්දහස් නවසිය හතලිස්හතරේ මැදභාගයේදී, දිනක් මම වොලොස්හි උද්‍යානයක බංකුවක් මත වාඩි වී සිටියා. ජර්මානු තාවකාලික හමුදාවට උපකාර කළ පරාහමුදා කණ්ඩායමක් හිටිහැටියේම එම ස්ථානය වටලා, එහි සිටි සියලුදෙනාවම අත්අඩංගුවට ගත්තා. අපෙන් විසිහතරදෙනෙක්ව දුම්කොළ තැන්පත් කරන නිවසක පිහිටි ගෙස්ටාපො මූලස්ථානයට වීදි දිගේ ගෙන යනු ලැබුවා.
විනාඩි කිහිපයකට පසුව, මගේ නම සහ උද්‍යානයේදී මා සමඟ කතා කරමින් සිටි පුද්ගලයාගේ නම කියා කව්දෝ අඬගහනවා මට ඇහුණා. ග්‍රීක හමුදා නිලධාරියෙක් අපව කැඳවා, සෙබළුන් අපව කැඳවාගෙන යනවා මගේ නෑදෑයන්ගෙන් කෙනෙක් දුටු විට, අපි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් බව ඔහු ඔවුන්ට පවසා තිබූ බව ඔහු කීවේය. පසුව ග්‍රීක නිලධාරියා අපට නිවසට යන්ට හැකි බව පැවසූ අතර, නැවත වරක් අපව අත්අඩංගුවට ගනු ලැබුවහොත්, ඔහුගේ නිලයට අයත් නාම පත්‍රය ප්‍රයෝජනයට ගන්ට කියා ඉන් එකක් අපට දුන්නා.
ග්‍රීක විරෝධතා සටන්කරුවන් විසින් ජර්මන් සෙබළුන් දෙදෙනෙකුව මරණයට පත් කිරීම නිසා, පළිගැනීමක් වශයෙන් ජර්මානුවන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අයගෙන් වැඩි පිරිසක් මරණයට පත් කළ බව ඊළඟ දිනයේ අපට දැනගන්ට ලැබුණා. මරණයෙන් ගළවනු ලැබීමට අමතරව, එම අවස්ථාවේදී ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවයේ වටිනාකම මම ඉගෙනගත්තා.
වර්ෂ 1944 ශරත් ඍතුවේදී, යෙහෝවඃවහන්සේට කළ කැපවීමේ සංකේතයක් වශයෙන් මම බව්තීස්ම වුණා. ඊළඟ ගිම්හානයේදී, මගේ සෞඛ්‍යය නැවත යථා තත්වයට පත් කරගත හැකි වන පරිදි කඳුකරයේ පිහිටි, ස්ක්ලිත්රෝ සභාව සමඟ ආශ්‍රය කිරීමට සාක්ෂිකරුවන් කටයුතු පිළියෙල කර දුන්නා. පදිංචියෙන් පසුව ඇති වූ සිවිල් සටන ඒ වන විට, ග්‍රීසියේ දරුණු ලෙස පැවතුණා. මම පදිංචිව සිටි ගම ගරිල්ලා භටයන්ගේ ක්‍රියාන්විත මූලස්ථානයක් ලෙස භාවිත කරනු ලැබුවා. ප්‍රාදේශීය පූජකයා සහ තවත් කුරිරු පුද්ගලයෙක්, මම ආණ්ඩුවේ භටයන්ට ඔත්තු සපයනවා කියා චෝදනා කර, ඔවුන් විසින්ම පත් කරන ලද ගරිල්ලා යුද හමුදා අධිකරණයක ප්‍රශ්න කිරීමකටද මාව යටත් කළා.
එම ව්‍යාජ අධිකරණ නඩුවට පැමිණ සිටියේ එම ප්‍රදේශයේ ගරිල්ලා භටයන්ගේ නායකයායි. එම නගරයේ මම නැවතී සිටි කාරණය සහ ක්‍රිස්තියානියෙක් හැටියට, සිවිල් සටන්වලදී මම සම්පූර්ණයෙන්ම මධ්‍යස්ථව සිටි බව පෙන්වා, පැහැදිලි කිරීම අවසන් කළ පසු නායකයා අනිකුත් අයට මෙසේ පැවසුවා: “කවුරුවත් මෙම පුද්ගලයාට හිංසා කර තිබුණොත්, ඔහුට මා සමඟ කටයුතු හසුරුවන්ට සිදු වේවි!”
පසුව ශාරීරික සෞඛ්‍යයට වඩා ඇදහිල්ලෙන් ශක්තිමත්ව මම මගේ ගම වන වොලොස්ට නැවත පැමිණියා.
ආත්මික ප්‍රගතිය
නොබෝ කලකින් සභාවේ ගිණුම් සේවක ලෙස මාව පත් කරනු ලැබුවා. අන්‍ය ආගමකට හරවනවා යන පූජකයන්ගේ පෙලඹවීමෙන් වූ චෝදනා නිසා අනේක වර අත්අඩංගුවට ගනු ලැබීම ඇතුළුව, සිවිල් යුද්ධයෙන් ඇති කරන ලද දුෂ්කරතා තිබියදීත් ක්‍රිස්තියානි දේවසේවයේ හවුල්වීම, මට සහ අපේ සභාවේ සිටි ඉතිරි අයටත් මහත් සතුටක් ගෙන දුන්නා.
පසුව, 1947 මුල්භාගයේදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂකයෙක් අපව බැහැදැකීමට පැමිණියා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව කළ පළමු බැහැදැකීම මෙයයි. ඒ වන විට වොලොස්හි සඵල වෙමින් පැවති අපගේ සභාව දෙකට බෙදනු ලැබුවා, එමෙන්ම එම සභාවලින් එකක මුලසුන භාර අවේක්ෂක ලෙස මාව පත් කරනු ලැබුවා. එවිට පරාහමුදාව සහ දේශාභිමාන සංවිධාන ජනයා අතර බිය පතුරුවමින් සිටියා. තත්වයෙන් පූජකයන් ප්‍රයෝජන ගත්තා. අප කොමියුනිස්ට්වරුන් නැතහොත් වාමාංශික කණ්ඩායම්වලට අනුබල දෙන්නන්යයි ඔවුන් බොරු ආරංචි පැතිරවීමෙන්, අධිකාරීන්ව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට විරුද්ධ වීමට සැලැස්වුවා.
අත්අඩංගුවට ගැනීම් සහ සිරගත වීම්
වර්ෂ 1947 අතරතුරේදී, මාව දහ වරක් පමණ අත්අඩංගුවට ගනු ලැබූ අතර, අධිකරණ නඩු තුනකට පෙනී සිටියා. සෑම වතාවකම මාව චෝදනාවෙන් නිදහස් කරනු ලැබුවා. වර්ෂ 1948 ගිම්හානයේදී, අන්‍ය ආගමකට හරවාගැනීමේ චෝදනාව මත මාස හතරකට මට සිරදඬුවම් නියම කළා. එම කාලය මම වොලොස් බන්ධනාගාරයේ ගත කළා. මේ අතරතුරේදී අපගේ සභාවේ රාජ්‍ය ප්‍රචාරකයන්ගේ ගණන දෙගුණ වුණා, එමනිසා සහෝදරයන්ගේ හෘද සන්තෝෂයෙන් හා ප්‍රීතියෙන් පිරුණා.
වර්ෂ 1948 ඔක්තෝබර් මාසයේදී, අපගේ සභාවේ පෙරමුණ ගත් තවත් සහෝදරයන් හයදෙනෙක් සමඟ රැස්වීමක් පවත්වමින් සිටින විට, පොලිස් නිලධාරීන් පස්දෙනෙක් නිවසට කඩාවැදී අප වෙත තුවක්කුව එල්ල කර, අපව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගැනීමට හේතුව පැහැදිලි නොකර ඔවුන් අපව පොලීසියට ගෙන ගිය අතර, එහිදී පහර දෙනු ලැබුවා. කලින් මුෂ්ටි ප්රහාරකයෙකුව සිටි පොලිස් නිලධාරියෙකු මගේ මුහුණට මිටෙන් කිහිප වරක්ම ගැසුවා. පසුව අපව කුටියකට දමනු ලැබුවා.
ඉන්පසුව වැඩ බලන නිලධාරියා මාව ඔහුගේ කාර්යාලයට කැඳෙව්වා. මම දොර ඇරිය විට, මා දෙසට ඔහු තීන්ත බෝතලයක් විසි කළා, ඉලක්කයෙන් ඉවතට ගිය එය බිත්තියේ වැදී බිඳී ගියා. ඔහු මෙය කළේ මාව බියගැන්වීමේ අදහසින්. ඊළඟට ඔහු මට කොළ කැබැල්ලක් හා පෑනක් දී මෙසේ අණ කළා: “වොලොස්වල සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සියලුදෙනාගේම නම් ලියා, උදේට ඒ ලැයිස්තුව මට ගෙනත් දෙන්න. ඔබ එසේ නොකළොත්, දන්නවානේ මොනවාද වෙන්නේ කියලා!”
මම උත්තරයක් දුන්නේ නැහැ, නමුත් නැවත කුටියට පැමිණි විගස, ඉතිරි සහෝදරයන් සමඟ මා යෙහෝවඃවහන්සේට යාච්ඤා කළා. මම මගේ නම පමණක් කොළයේ ලියා නිලධාරියා අඬගසන තෙක් බලා සිටියා. එහෙත් තවදුරටත් ඔහුගෙන් කිසිවක් මට අසන්ට ලැබුණේ නැහැ. එදා රාත්රියේදී, ප්‍රතිවිරුද්ධ හමුදා භටයන් පැමිණ තිබූ අතර, ඔවුන්ට විරුද්ධව තම මිනිසුන්ව ඔහු විසින් මෙහෙයවා තිබුණා. අනතුරුව සිදු වූ සුළු සටනෙන් ඔවුන් බරපතළ ලෙස තුවාල ලැබූ අතර, ඔහුගේ කකුල් දෙකෙන් එකක් ඉවත් කිරීමට සිදු වුණා. අපගේ නඩුව විභාග කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ අතර, අනීතික රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් අපට චෝදනා කරනු ලැබුවා. අපි හත්දෙනාටම වසර පහක සිර නියමයක් ලැබුණා.
බන්ධනාගාරයේ ඉරිදා පූජාවට යන්ට මම ප්‍රතික්ෂේප කළ නිසා, මාව එකලාව සිර කොට තැබුවා. තුන්වන දින, සිරබාරයේ කටයුතු මෙහෙයවන්නා සමඟ කතා කිරීමට මම ඉල්ලා සිටියා. “මම මෙහෙම කියනවාට සමාවෙන්න, නමුත් තමාගේ ඇදහිල්ල වෙනුවෙන් අවුරුදු පහක් සිරබාරයේ සිටීමට එකඟ වන කෙනෙකුට දඬුවම් කිරීම තේරුමක් නැති යමක් බවයි මට හැඟෙන්නේ,” යනුවෙන් මම ඔහුට පැවසුවා. ඒ පිළිබඳව ඔහු බරපතළ ලෙස සිතා, අවසානයේදී මෙසේ පැවසුවා: “හෙට ඉඳන්, ඔබ මෙහි මගේ කාර්යාලයේ මා ළඟ සේවය කරාවි.”
අවසානයේදී, සිරබාරයේ වෛද්‍යවරයාගේ සහකාර සේවකයෙකු ලෙස වැඩ කිරීමට මට ලැබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පසු වසරවලදී ඉතා ප්‍රයෝජනවත් යමක් බවට පත් වී තිබෙන සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව මම සෑහෙන්න ඉගෙනගත්තා. සිරබාරයේදී, දේශනා කිරීමට බොහෝ අවස්ථා මට තිබූ අතර, තුන්දෙනෙක් ප්‍රතිචාරය දක්වා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් බවට පත් වුණා.
වසර හතරකට පමණ සිරබාරයේ සේවය කිරීමෙන් පසු, අවසානයේදී 1952දී පරිවාසය මත මාව නිදහස් කරනු ලැබුවා. පසු කලකදී, මධ්‍යස්ථභාවයේ ප්රශ්නය හේතුවෙන් මට කොරින්තියේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදු වුණා. (යෙසායා 2:4) එහිදී හමුදා සිරබාරයේ කෙටි කලකට මාව තැබූ අතර, තවත් නින්දා කිරීමේ වාරයක් ආරම්භ වුණා. ඇතැම් නිලධාරීන්ට නොයෙක් ආකාර අලුත් තර්ජන එල්ල කිරීමේ හැකියාව තිබුණා, ඔවුන් මෙසේ පැවසුවා: “මම කිනිස්සකින් ඔබේ හදවත කීතු කීතුවලට ඉරලා දානවා,” නැත්නම්, “වෙඩි උණ්ඩ හයකින් ඉක්මන් මරණයක් වෙයි කියලා හිතන්න එපා”
වෙනත් ආකාරයක පරීක්ෂණයක්
කෙසේවෙතත්, ඉක්මනින්ම වාගේ මම නිවසට පැමිණියා, එමෙන්ම නැවත වරක් වොලොස් සභාවේ සේවය කරන අතරම අර්ධ-කාලීන බාහිර රැකියාවක්ද කරමින් සිටියා. දිනක්, ඇතන්ස්හි පිහිටි වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයෙන් මට ලිපියක් ලැබුණා, සති දෙකක පුහුණුවක් ලැබීමෙන් පසුව චාරිකා අවේක්ෂකයෙකු ලෙස යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභා බැහැදැකීම ආරම්භ කිරීමට එහි මට ආරාධනා කර තිබුණා. ඒ සමඟම, දරුවන් නැති නමුත් විශාල නිශ්චල දේපොළ අයිතිවාසිකම් තිබූ බාප්පා තම වත්කම් හසුරුවන මෙන් මගෙන් ඉල්ලා සිටියා. මගේ පවුල තවමත් දිළිඳුකමින් ජීවත් වූ නිසා, මෙම රැකියාව පවුලේ ආර්ථික ගැටලු විසඳන්ට ඉඩ තිබුණා.
බාප්පා ඉදිරිපත් කළ රැකියාව සඳහා මගේ කෘතඥතාව ප්‍රකාශ කිරීමට මම ඔහුව බැහැදැකීමට ගියත්, ක්‍රිස්තියානි දේවසේවයේ විශේෂ පැවරුමක් භාරගැනීමට මා තීරණය කර තිබූ බව මම ඔහුට දැන්නුවා. එය ඇසූ විගස, ඔහු නැඟිට, සන්සුන්ව මා දෙස යන්තමින් බලා, ඉක්මනින්ම කාමරයෙන් පිට වී ගියා. මගේ පවුලට මාස ගණනකට උපකාරවත් විය හැකි ආකාරයේ නොමසුරු මුදල් දීමනාවක් රැගෙන ඔහු නැවත පැමිණියා. ඔහු මෙසේ පැවසුවා: “මේක අරගෙන, ඔයාට කැමති දෙයක් කරන්න.” මෙදින දක්වා, එම මොහොතේදී මට ඇති වූ හැඟීම විස්තර කිරීමට මට අපහසුයි. එය හරියට ‘ඔබ හරි තේරීම කළා. මම ඔබ සමඟ සිටිනවා,’ කියා මට යෙහෝවඃවහන්සේගේ කටහඬ ඇසුණාක් මෙන් වුණා.
මගේ පවුලේ අයගේ ආශීර්වාදය ඇතුව මම 1953දී ඇතන්ස් බලා පිටත් වුණා. මගේ මව පමණක් සාක්ෂිකාරියක් බවට පත් වුණත්, පවුලේ අනිකුත් සාමාජිකයන් මගේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වලට විරුද්ධත්වයක් පළ කළේ නැහැ. ඇතන්ස්හි පිහිටි ශාඛා කාර්යාලයට මම ගිය විට, මා බලාපොරොත්තු නොවූ තවත් දෙයක් මට දැනගන්ට ලැබුණා. සුභසාධන විශ්‍රාම වැටුපක් ලබාගැනීම සඳහා වූ පියාගේ වසර දෙකක සටන එදින සාර්ථක ප්‍රතිඵල ලැබූ බව දන්වමින් මගේ සහෝදරියගෙන් විදුලි පණිවුඩයක් ලැබී තිබුණා. තවත් මොනවාද මට ඉල්ලන්න තිබුණේ? යෙහෝවඃවහන්සේගේ සේවයේ ඉහළටම පියාසර කිරීමට පියාපත් තිබුණාක් මෙන් මට හැඟුණා!
අනතුරු ගැන විපරම් සහිත වීම
ආගමික හා දේශපාලන අධිකාරීන් විසින් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව දරුණු පීඩාවට ලක් කරනු ලැබූ නිසා, චාරිකා වැඩයේ මගේ මුල් වසර තුළ, මට ඉතා සුපරීක්ෂාකාරි වීමට සිදු වුණා. අපගේ ක්‍රිස්තියානි සහෝදරයන්ව, විශේෂයෙන්ම කුඩා නගර හා ගම්වල ජීවත් වූ අය බැහැදැකීම සඳහා අඳුර වැටුණාට පසු මම පැය ගණන් ඇවිද්දා. අත්අඩංගුවට ගැනීමේ අවදානම තිබියදීත්, සහෝදරයන් මම එන තෙක් නිවසක එකතු වී ඉවසිලිවන්තව බලා සිටියා. එම බැහැදැකීම් අප සියලුදෙනාටම මොනතරම් කදිම අන්‍යොන්‍ය දිරිගැන්වීමක් සැපයුවාද!—රෝම 1:11, 12.
රහස් හසුවීම වැළැක්වීමට, සමහර අවස්ථාවලදී මම වෙස්මාරු කරගත්තා. වරෙක, ආත්මික එඬේර බැහැදැකීමකට මහත් අවශ්‍යතාවක් තිබූ සහෝදර කණ්ඩායමක් වෙතට යන ගමනේදී, තිබූ මාර්ග බාධකයක් පසු කිරීම සඳහා මම එඬේරෙකු මෙන් ඇඳගෙන ගියා. තවත් අවස්ථාවක, 1955දී, පොලීසියේ සැකය ඇවිස්සීම වැළැක්වීම සඳහා, හවුල් සාක්ෂිකරුවෙකු සහ මම සුදුලූණු වෙළෙන්දන් ලෙස පෙනීසිටියා. අපේ පැවරුම වූයේ ආර්ගාස් ඔරෙස්ටෙකොන් නම් කුඩා නගරයේ අක්‍රියාශීලීව සිටි සමහර ක්‍රිස්තියානි සහෝදරයන්ව හමුවීමයි.
අපි නගරයේ පොදු වෙළඳපොළේ අපේ වෙළඳ බඩු තබාගෙන සිටියා. කෙසේවෙතත්, එම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙමින් සිටි තරුණ පොලිස් භටයෙක් සැකයෙන් සිටි අතර, අප පසු කර ගිය සෑම අවස්ථාවකදීම, ඔහු අප දෙස කුතුහලයෙන් යුතුව රවා බැලුවා. අවසානයේදී, ඔහු මට මෙසේ පැවසුවා: “ඔබ සුදුලූණු වෙළෙන්දෙක් වගේ පෙනෙන්නේ නැහැ.” ඒ මොහොතේදීම, තරුණ කාන්තාවන් තුන්දෙනෙක් ඇවිත් සුදුලූණු ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර සිටියා. වෙළෙඳ භාණ්ඩ පෙන්වමින් මම මෙසේ කිව්වා: “බලන්න, මේ තරුණ පොලිස් නිලධාරියා මේ වගේ සුදුලූණු තමයි කන්නේ, ඔහු මෙතරම් ශක්තිමත් හා කඩවසම් වීමට හේතුව ඒකයි!” කාන්තාවන් පොලිස් නිලධාරියා දෙස බලා සිනාසුනා. ඔහුත් සිනාසී, අනතුරුව එතැනින් අතුරුදහන් වුණා.
ඔහු ගියාට පසු, අපගේ ආත්මික සහෝදරයන් ඇඳුම් මසන්නන් ලෙස වැඩ කළ සාප්පුවට යෑමේ ප්‍රස්තාව මම අල්ලාගත්තා. මගේ කමිසයෙන් මා ගැළවූ බොත්තමක් මසන්ට කියා මම ඔවුන්ගෙන් කෙනෙකුගෙන් ඉල්ලා සිටියා. ඔහු මෙය කරන අතරතුර, මම ඔහු දෙසට නැමී මෙසේ රහසින් කීවා: “ඔබ බැලීමට මම ශාඛා කාර්යාලයේ සිට පැමිණියා.” මුලදී සහෝදරයන් බිය වුණා, එයට හේතුව නම්, වසර ගණනාවකට සහකාර සාක්ෂිකරුවන් සමඟ ඔවුන් සබඳකම් නොපැවැත්වීමයි. මට පුළුවන් උපරිමයෙන් මම ඔවුන්ව දිරිගැන්වූ අතර, තවදුරටත් කතා කිරීමට නගරයේ සුසාන භූමියේදී ඔවුන්ව හමුවීමට විධිවිධාන යොදාගත්තා. එම බැහැදැකීම දිරිගන්වනසුලු වීම සතුටට කරුණක් වූ අතර, ඔවුන් නැවතත් ක්‍රිස්තියානි සේවය තුළ ජ්වලිත වුණා.
විශ්වාසවන්ත සහකාරියක් දිනාගැනීම
වර්ෂ 1956දී, සංචාරක සේවය ආරම්භ කර අවුරුදු තුනකට පසු, දේශනා වැඩයට දැඩි ප්‍රේමයක් මෙන්ම පූර්ණ කාලීන දේවසේවයේ තමාගේ ජීවිත කාලය ගත කිරීමට කැමැත්තක් දැක්වූ යෞවන ක්‍රිස්තියානි කාන්තාවක් වන නිකීව මට හමු වුණා. අපි ප්‍රේමයෙන් බැඳී, 1957 ජූනි මස විවාහ වුණා. ග්‍රීසියේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට පැවති විරුද්ධවාදී තත්වයන් යටතේ සංචාරක සේවයේ අභියෝගවලට මුහුණ දීමට නිකීට හැකි වේද කියා මම කල්පනා කරන්ට වුණා. යෙහෝවඃවහන්සේගේ උපකාර ඇතුව ඇයට එසේ කිරීමට හැකි වුණා, මෙලෙස ග්‍රීසියේ තම පුරුෂයා සමඟ සංචාරක සේවයේ යෙදුණු පළමු කාන්තාව බවට ඇය පත් වුණා.
ග්‍රීසියේ බොහෝ සභාවල සේවය කරමින්, වසර දහයක් පුරා අප දෙදෙනා එකට සංචාරක සේවයේ යෙදුණා. බොහෝ වර අපි වෙස්මාරු කරගෙන, සූට්කේස් අතින් ගෙන සභාවක් වෙත යෑමට පැය ගණන් අන්ධකාරයේ ඇවිද්දා. අපි නිතර මුහුණ දුන් මහත් විරුද්ධවාදිකම් තිබියදීත්, සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාවෙහි විශිෂ්ට වර්ධනය දැකීමෙන් අපි ඉමහත් ප්‍රීතියට පත් වුණා.
බෙතෙල් සේවය
වර්ෂ 1967 ජනවාරි මස, නිකී සහ මම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය වන බෙතෙල්හි සේවයට ආරාධනයක් ලැබුවා. ආරාධනය අපි දෙදෙනාවම පුදුමයට පත් කළා, නමුත් යෙහෝවඃවහන්සේ කාරණා හසුරුවමින් සිටි බවට නිසැකකමෙන් යුතුව අපි එය පිළිගත්තා. කාලය ගෙවී යනවාත් සමඟම, දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම් සිදු වන මෙම මධ්‍යස්ථානයේ සේවය කිරීම කෙතරම් ආශීර්වාදයක්ද කියා අගය කිරීමට අප පටන්ගත්තා.
අපි බෙතෙල් සේවයට ඇතුල් වී මාස තුනකට පසුව, කුමන්ත්‍රණ කණ්ඩායමක් බලයට පැමිණි නිසා, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ සේවය දිගටම කරගෙන යන්ට වූයේ රහසිගතවයි. කුඩා කණ්ඩායම් ලෙස රැස්වීමටත්, අපගේ එක්රැස්වීම් කැලයේ පැවැත්වීමටත්, විචාර පූර්වකව දේශනා කිරීමටත්, එමෙන්ම බයිබල් පොත් පත් රහසිගතව මුද්‍රණය කර බෙදාහැරීමටත් අපි පටන්ගත්තා. මෙම තත්වයන්ට හැඩගැසීම අමාරු දෙයක් වුණේ නැහැ, මන්දයත් ඉකුත් වසර තුළ අපගේ ක්‍රියාකාරකම් අප සිදු කළ ආකාරය අප හුදෙක් නැවත ක්‍රියාත්මක කළා පමණයි. තහංචි තිබියදීත්, 1967දී සාක්ෂිකරුවන් 11,000කට වඩා අඩු සංඛ්‍යාවක සිට 1974දී 17,000කට වඩා වැඩි සංඛ්‍යාවක් දක්වා වර්ධනය වුණා.
බෙතෙල් සේවයේ අවුරුදු 30ක් පමණ ගත කිරීමෙන් පසුවත් සෞඛ්‍ය තත්වය හා වයස් සීමාවන් තිබියදීත්, නිකී සහ මම අපගේ ආත්මික ආශීර්වාද දිගටම භුක්තිවිඳිමින් සිටිනවා. ඇතන්ස්හි කාර්ටාලේ වීදියේ පිහිටි ශාඛා කාර්යාල ගොඩනැඟිල්ලේ අපි අවුරුදු දහයකට වඩා වැඩි කාලයක් ජීවත් වුණා. වර්ෂ 1979දී ඇතන්ස්හි උප නගරයක් වන මැරූසේහි නව ශාඛාවක් කැප කරනු ලැබුවා. එහෙත් 1991 සිට ඇතන්ස්වලට කිලෝමීටර 60ක් උතුරින් වූ එලියෝනා නගරයේ ඉඩ කඩ සහිත නව ශාඛා ගොඩනැඟිලි පහසුකම් අප විසින් භුක්තිවිඳ තිබෙනවා. එහි අපගේ බෙතෙල් ප්‍රථමාධාර අංශයේ මා සේවය කරමින් සිටින අතර, සිරබාරයේ වෛද්‍යවරයෙකුගේ සහයකයෙකු ලෙස මම ලැබූ පුහුණුව ඉතා ප්‍රයෝජනවත් වී තිබෙනවා.
පූර්ණ කාලීන සේවයේ මා ගත කළ දශක හතරකට වඩා වැඩි කාලය අතරතුර, යෙරෙමියාට මෙන් මටත් යෙහෝවඃවහන්සේගේ පොරොන්දුවේ සත්‍යතාව අවබෝධ වී තිබෙනවා: “ඔව්හු නුඹට විරුද්ධව යුද්ධකරන්නෝය; නුමුත් නුඹෙන් ජයගන්ට ඔවුන්ට බැරිවන්නේය. මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක.” (යෙරෙමියා 1:19) එසේය, නිකී සහ මම යෙහෝවඃවහන්සේගෙන් උතුරා යන ආශීර්වාද භුක්තිවිඳ තිබෙනවා. අපි උන්වහන්සේගේ ප්‍රේමනීය කරුණාවේ බහුලත්වය සහ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව තුළ නිරතුරුවම සතුටු වෙනවා.
යෙහෝවඃවහන්සේගේ සංවිධානයේ සිටින යෞවන අයට මම දෙන දිරිගැන්වීම නම්, පූර්ණ කාලීන දේවසේවය ලුහුබඳින්න යන්නයි. මෙසේ ‘අහසේ කවුළු ඇර ඉඩම් මදි වෙන තරම් නුඹලාට ආශීර්වාදයක් වගුරුවනවා’ යන යෙහෝවඃවහන්සේගේ පොරොන්දුව උන්වහන්සේ සත්‍ය වශයෙන්ම ඉටු කරාවිද කියා බැලීමට ඔවුන්ට යෙහෝවඃවහන්සේගේ ආරාධනය පිළිගෙන පරීක්ෂා කළ හැකියි. (මලාකි 3:10) මෙලෙස උන්වහන්සේ කෙරෙහි මුළුමනින්ම විශ්වාස කරන ඔබ සියලුදෙනාටම ඇත්තෙන්ම උන්වහන්සේ ආශීර්වාද කරන බව, මට මගේම අද්දැකීමෙන් ඔබ සියලුදෙනාට සහතික කරන්ට පුළුවන්.
[26වන පිටුවේ පින්තූරය]
ලැම්ප්රොස් සුම්පොස් සහ ඔහුගේ බිරිඳ නිකී