මුල් ක්‍රිස්තියානි ධර්මය හා රජය
සිය මරණයට පැය ස්වල්පයකට කලින්, යේසුස්වහන්සේ සිය ගෝලයන්ට මෙසේ පැවසූසේක: “නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛරවෙති.” (යොහන් 15:19) කෙසේවෙතත්, ක්‍රිස්තියානීන් මේ ලෝකයේ අධිකාරීන් කෙරෙහි එදිරිවාදී ආකල්පයක් වර්ධනය කරගත යුතු බව මින් අදහස් කරයිද?
ලෞකික නොවුවත්, එදිරිවාදීකමකුත් නැත
රෝමයේ වෙසෙන ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවේය: “හැමදෙනාම බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා.” (රෝම 13:1) එයාකාරයෙන්ම, ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය: “උත්තමයාව සිටින රජුට වේවා, නපුර කරන්නන්ට දඬුවම පිණිසත් යහපත කරන්නන්ට ප්‍රශංසාව පිණිසත් රජු විසින් එවනලද්දාවූ ආණ්ඩුකාරයන්ට වේවා, සියලු මනුෂ්‍ය නියෝගවලට ස්වාමීන්වහන්සේ නිසා යටත්වෙයල්ලා.” (1 පේතෘස් 2:13, 14) රජයට හා එය මගින් යුතු ලෙස පත් කර සිටින නියෝජිතයන්ට යටත්වීම, මුල් ක්‍රිස්තියානීන් අතර පිළිගත් ප්‍රතිපත්තියක් වූ බව පැහැදිලිය. නීතිගරුක පුරවැසියන් වීමට හා සියලුම මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටීමට ඔවුහු වෙර දැරූහ.—රෝම 12:18.
“පල්ලිය හා රජය” යන මාතෘකාව යටතේ, දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් මෙසේ ප්‍රකාශ කරයි: “ක්‍රිස්තියානි පල්ලිය, ක්‍රිස්තු වර්ෂයේ පළමු ශතවර්ෂ තුන තුළදී, රෝම නිල සමාජයෙන් විශාල වශයෙන්ම වෙන් වී තිබිණ . . . කෙසේවෙතත්, ක්‍රිස්තියානි ඇදහිල්ල මගින් තබා තිබෙන සීමා තුළ, රෝම ව්‍යවස්ථාවට කීකරුවීමට මෙන්ම අධිරාජ්‍යයාට පක්ෂපාතකම දැක්වීමට . . . ක්‍රිස්තියානි නායකයෝ ඉගැන්වූහ.”
ගෞරවය මිස නමස්කාරය නොවේ
ක්‍රිස්තියානීන් රෝම අධිරාජ්‍යයාට විරුද්ධව සිටියේ නැත. ඔවුහු ඔහුගේ අධිකාරයට ගෞරව කළ අතර, ඔහුගේ නිලයට සුදුසු ගෞරවය පිරිනැමූහ. නීරෝ අධිරාජ්‍යයාගේ පාලන සමයේදී, රෝම අධිරාජ්‍යයේ විවිධ ප්‍රදේශවල විසූ ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය: “සියල්ලන්ටම ගෞරවකරපල්ලා. . . . රජ්ජුරුවන්ට ගෞරවකරපල්ලා.” (1 පේතෘස් 2:16ආ, 17) ග්‍රීක් භාෂාව කතා කරන ප්රමුඛ පෙළේ ජනයා අතරේ “රජ්ජුරුවන්” යන වදන රජවරුන්ට පමණක් නොව, නමුත් රෝම අධිරාජ්‍යයාටද භාවිත කරනු ලැබීය. රෝම අධිරාජ්‍ය අගනුවරෙහි වෙසෙන ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පාවුල් මෙසේ උපදෙස් දුන්නේය: “සියල්ලන්ට දෙන්ට යුතු දේ දීපල්ලා. . . . ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරපල්ලා.” (රෝම 13:7) රෝම අධිරාජ්‍යයා අනිවාර්යයෙන්ම ගෞරවය ඉල්ලා සිටියේය. කල්යෑමේදී, ඔහු නමස්කාරය පවා ඉල්ලා සිටියේය. කෙසේවෙතත්, මුල් ක්‍රිස්තියානීහු මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ සීමාව කුමක්ද කියා වටහාගත්තෝය.
පොදු යුගයේ දෙවන ශතවර්ෂයේදී, රෝම ආණ්ඩුකාරයා ඉදිරියේ තම පරීක්ෂණයකදී, වාර්තා අනුව පොලිකාර්ප් මෙසේ ප්‍රකාශ කළේය: “මම ක්‍රිස්තියානිවරයෙක්. . . . දෙවියන්වහන්සේ විසින් පත් කර තිබෙන බලවේගයන්ට හා අධිකාරීන්ට . . . අපගේ නිසි ගෞරවය දීමට අපට උගන්වා තිබෙනවා.” කෙසේවෙතත්, අධිරාජ්‍යයාට නමස්කාර කරනවා වෙනුවට පොලිකාර්ප් මියයෑම තෝරාගත්තේය. අන්තියෝකියේ තෙයෝෆිලස් නමැති දෙවන ශතවර්ෂයේ විසූ අපොලජිස්තවරයා මෙසේ ලීවේය: “මම අධිරාජ්‍යයාට ගරු කළද, ඔහුට නමස්කාර නොකරමි, නමුත් ඔහු සඳහා යාච්ඤා කරමි. එහෙත් දෙවියන්වහන්සේට, එනම් ජීවමාන හා සැබෑ දෙවියන්වහන්සේට මම නමස්කාර කරමි.”
අධිරාජ්‍යයා වෙනුවෙන් යෝග්‍ය යාච්ඤා, අධිරාජ්‍ය නමස්කාරයට හා ජාතිවාදයට කිසිදු අයුරකින් සම්බන්ධ නොවීය. ප්‍රේරිත පාවුල් මෙසේ ඔවුන්ගේ අරමුණ පැහැදිලි කළේය: “ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගතකරන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව, සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත්කම්ද ස්තුතිදීම්ද පවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාදකරමි.”—1 තිමෝති 2:1, 2.
“සමාජය සමඟ වැඩි සම්බන්ධතාවක් නොපවතින ආකාරයට”
මුල් ක්‍රිස්තියානීන්ගේ මෙම ගෞරවනීය හැසිරීම, ඔවුන් ජීවත් වෙමින් සිටි ලෝකයේ මිත්‍රත්වය ලබා දුන්නේ නැත. මුල් ක්‍රිස්තියානීන් “ජීවත් වූයේ සමාජය සමඟ වැඩි සම්බන්ධතාවක් නොපවතින ආකාරයට” බව ප්‍රංශ ඉතිහාසඥ ඒ ආමන් විස්තර කරයි. ඔවුන් සැබවින්ම, යුදෙව් හා රෝම යන සමාජ දෙක සමඟ වැඩි සම්බන්ධතාවක් නොපවතින ආකාරයට ජීවත් වූ අතර, ඔවුන්ට මේ දෙකින්ම බොහෝ අගතියට හා වරදවා වටහාගැනීම්වලටද මුහුණ දීමට සිදු විය.
නිදසුනක් වශයෙන්, ප්‍රේරිත පාවුල්ට යුදෙව් නායකයන් බොරුවට චෝදනා කරනු ලැබූ විට, ඔහු තමා වෙනුවෙන්ම කතා කරමින්, රෝම ආණ්ඩුකාරයා ඉදිරියේ මෙසේ ප්‍රකාශ කළේය: “මම යුදෙව්වරුන්ගේ ව්‍යවස්ථාවටවත් දේවමාළිගාවටවත් කායිසර්ටවත් විරුද්ධව කිසි වරදක් නොකෙළෙමි. . . . මම කායිසර්ගේ විනිශ්චය ඉල්ලමි.” (ක්‍රියා 25:8, 11) යුදෙව්වරුන් ඔහුව මරණයට පත් කිරීම සඳහා කුමන්ත්‍රණය කරමින් සිටි බව දැනගෙන සිටි පාවුල්, රෝම අධිරාජ්‍යයාගේ අධිකාරය වටහාගෙන, නීරෝට අභියාචනයක් ඉදිරිපත් කළේය. පසු කලකදී, රෝමයේ පැවති පාවුල්ගේ ප්‍රථම පරීක්ෂණය තුළදී, ඔහුව චෝදනාවෙන් නිදහස් කරනු ලැබූ බව පෙනෙන්ට තිබිණ. එහෙත් පසුව ඔහුව නැවත වරක් සිරගත කරනු ලැබූ අතර, සම්ප්‍රදායට අනුව නීරෝගේ නියෝගය පරිදි මරණයට පත් කරනු ලැබීය.
රෝම සමාජය තුළ, මුල් ක්‍රිස්තියානීන්ගේ දුෂ්කර තත්වය සම්බන්ධයෙන් සමාජ විද්‍යාඥයෙකු හා දේවධර්මාචාර්යවරයෙකු වූ අර්නස්ට් ට්රෝල්ච් මෙසේ ලීවේය: “පිළිම නමස්කාරය, අධිරාජ්‍යයාට නමස්කාරය කිරීම, ලේ වැගිරවීම්, මරණීය දඬුවම් හෝ ක්‍රිස්තියානීන්ව මිථ්‍යාදෘෂ්ටික දුරාචාරය සමඟ සම්බන්ධ කරන සියලුම කාර්යාල හා ව්‍යාපාර සමඟ සම්බන්ධය තහනම් කරනු ලැබීය.” මෙම ස්ථාවරය මගින් ක්‍රිස්තියානීන් හා රජය අතර, සාමකාමී හා අන්‍යොන්‍ය වශයෙන් ගෞරවනීය සබඳතාවක් සඳහා කිසිදු ස්ථානයකට ඉඩහරිනු නොලැබීද?
කායිසර්ට “යුතු දේ” ඔහුට දීම
“කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දීපල්ලා” කියා යේසුස්වහන්සේ ප්‍රකාශ කළ විට, රෝම රජයට හෝ වෙනත් ඕනෑම ආණ්ඩුවක් වෙත ක්‍රිස්තියානි හැසිරීම පාලනය කරන නියමයක් උන්වහන්සේ සැපයූසේක. (මතෙව් 22:21) යේසුස්වහන්සේගේ අනුගාමිකයන්ට දෙන ලද මෙම උපදෙස, රෝම ආධිපත්‍යය නොරිස්සූ, විදේශ බලයකට බදු ගෙවීමේ යුක්තිසහගතභාවය ගැන සටන් කළ යුදෙව් ජාතිවාදීන් බොහෝදෙනෙකුගේ ආකල්පයට වඩා හාත්පසින්ම වෙනස් විය.
පසුව, රෝමයේ විසූ ක්‍රිස්තියානීන්ට පාවුල් මෙසේ පැවසුවේය: “එබැවින් උදහස නිසා පමණක් නොව හෘදයසාක්ෂිය නිසාද යටත්වෙන්ට ඕනෑය. එසේය, නුඹලා සුංගම් දෙන්නෙත් මේ නිසාය; මක්නිසාද ඔව්හු [ආණ්ඩුමය “බලයලත් මුලාදෑනීන්”] මේ කාරණයෙහිම නොකඩව යෙදී සිටින්නාවූ දෙවියන්වහන්සේගේ සේවකයෝය. එබැවින් සියල්ලන්ට දෙන්ට යුතු දේ දීපල්ලා. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද දීපල්ලා.” (රෝම 13:5-7) ක්‍රිස්තියානීන් ලෝකයේ කොටසක් නොවූ අතර, ඔවුන්ට පිරිනමන ලද සේවය සඳහා රජයට බදු ගෙවන අවංක පුරවැසියන් වීමට ඔවුහු බැඳී සිටියෝය.—යොහන් 17:16.
එහෙත් යේසුස්වහන්සේගේ වදන් බදු ගෙවීමට පමණක් සීමා වීද? කායිසර්ගේ හා දෙවියන්වහන්සේගේ දේ කුමක්ද කියා යේසුස්වහන්සේ හරියටම සඳහන් නොකළ බැවින්, පාඨ සම්බන්ධයට අනුව හෝ සම්පූර්ණ බයිබලය සම්බන්ධයෙන් අපගේ අවබෝධයට අනුව තීරණය කළ යුතු පිළිගත හැකි සඳහන් කිරීම් තිබිය යුතුය. වෙනත් වචනවලින් කිවහොත්, ක්‍රිස්තියානියෙකුට කායිසර්ට ගෙවිය හැක්කේ කුමක්ද කියා තීරණය කිරීමෙහිලා, සමහරවිට බයිබල් ප්‍රතිපත්ති මගින් ලැබූ ඥානාලෝකයට ක්රිස්තියානිවරයෙකුගේ හෘදය සාක්ෂිය සම්බන්ධ විය හැක.
තරඟවදින ඉල්ලීම් දෙකක් අතර සුපරීක්ෂාකාරි සමබරතාවක්
කායිසර්ගේ දේ කායිසර්ට ගෙවිය යුතු බව සඳහන් කිරීමෙන් පසු, “දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේට [දිය යුතු]” බවටද යේසුස්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළ බව අමතක කිරීමට බොහෝදෙනෙක් නැඹුරු වෙති. ක්‍රිස්තියානීන් ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමකටද කියා ප්‍රේරිත පේතෘස් පෙන්නුම් කළේය. “රජුට” එසේ නැතහොත් අධිරාජ්‍යයාට හා ඔහුගේ “ආණ්ඩුකාරයන්ට” යටත්වීම සම්බන්ධයෙන් උපදෙස් දීමෙන් පසු අප්‍රමාදව, පේතෘස් මෙසේ ලීවේය: “එසේය, නුඹලා නිදහස් අය නුමුත්, ඒ නිදහස නපුරට වැස්මක් කොට නොව දෙවියන්වහන්සේගේ දාසයන් මෙන් ව්යවහාරකරපල්ලා. සියල්ලන්ටම ගෞරවකරපල්ලා. සහෝදර සමාගමට ප්‍රේමකරපල්ලා. දෙවියන්වහන්සේට භයවෙයල්ලා. රජ්ජුරුවන්ට ගෞරවකරපල්ලා.” (1 පේතෘස් 2:16, 17) ක්‍රිස්තියානීන් දෙවියන්වහන්සේගේ මිස, මනුෂ්‍ය පාලකයෙකුගේ දාසයන් නොවන බව ප්‍රේරිතවරයා පෙන්නුම් කළේය. රජයේ නියෝජිතයන්ට නිසි ගෞරවය හා සැලකිල්ල දැක්විය යුතු අතර, ඔවුන් එසේ කළ යුතු වන්නේ, ශ්‍රේෂ්ඨ ව්‍යවස්ථා ඇති දෙවියන්වහන්සේ කෙරෙහි බිය ඇතුවය.
දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා මනුෂ්‍යයාගේ ව්‍යවස්ථාවලට වඩා අතිවිශිෂ්ට ස්ථානයක් ගන්නා බව පේතෘස් වසර ගණනාවකට පෙර සහතික කළේය. රෝමවරුන් විසින් සිවිල් හා ආගමික අධිකාරය දානය කර තිබූ යුදෙව් මන්ත්‍රණ සභාව, පරිපාලක මණ්ඩලයක් විය. ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඉගැන්වීම නතර කරන ලෙසට, එය යේසුස්වහන්සේගේ අනුගාමිකයන්ට නියෝග කළ විට, පේතෘස් හා වෙනත් ප්‍රේරිතයෝ ගෞරවනීයව නමුත් ස්ථිරව මෙසේ පිළිතුරු දුන්නෝය: “මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.” (ක්‍රියා 5:29) දෙවියන්වහන්සේට කීකරුවීම හා මනුෂ්‍ය අධිකාරීන්ට නිසි යටත්කම දැක්වීම අතර සුපරීක්ෂාකාරි සමබරතාවක් පවත්වාගැනීමට මුල් ක්‍රිස්තියානීන්ට සිදු වූ බව පැහැදිලිය. පොදු යුගයේ තුන්වන ශතවර්ෂයේ මුල්භාගයේ, ටර්ටූලියන් එය මෙසේ ප්‍රකාශ කළේය: “සෑම දෙයක්ම කායිසර්ට නම්, දෙවියන්වහන්සේට ඉතිරි වන්නේ කුමක්ද?”
රජය සමඟ සමගි සන්ධානයකට පැමිණීම
කාලය ගතවීමත් සමඟම, පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් රජය සම්බන්ධයෙන් රැගෙන තිබූ ස්ථාවරය ක්‍රමක්‍රමයෙන් දුර්වල විය. යේසුස්වහන්සේ හා ප්‍රේරිතයන් විසින් පුරෝකථනය කර තිබූ ඇදහිල්ල අත්හැර යෑම පො.යු. දෙවන හා තුන්වන ශතවර්ෂවල සඵල වෙමින් මතු විය. (මතෙව් 13:37, 38; ක්‍රියා 20:29, 30; 2 තෙසලෝනික 2:3-12; 2 පේතෘස් 2:1-3) ඇදහිල්ල අත්හළ ක්‍රිස්තියානි ධර්මය රෝමානු ලෝකය සමඟ සමගි සන්ධානයකට පැමිණ, එහි මිථ්‍යාදෘෂ්ටික මංගල්‍යයන් හා දර්ශනවාදය ඈඳාගත් අතර, රජයේ සේවය පමණක් නොව නමුත් හමුදා සේවයද පිළිගත්තේය.
මහාචාර්ය ට්රෝල්ච් මෙසේ ලීවේය: “තුන්වන ශතවර්ෂය පටන් තත්වය වඩාත් දුෂ්කර විය, ඒ මන්ද කිවහොත් සමාජයේ ඉහළ පෙළේ තනතුරුවල හා වඩාත් විශිෂ්ට වෘත්තීන්වල මෙන්ම යුද හමුදා හා නිල ක්ෂේත්රවල යෙදෙන ක්‍රිස්තියානීන්ගේ සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි වූ බැවිනි. [බයිබලයට පටහැනි] ක්‍රිස්තියානි ලියවිලිවල ඡේද ගණනාවක, මේ දේවල්වල හවුල්වීමට එරෙහිව කුපිත කරවන විරෝධතාවන් තිබේ; අනික් අතට, නොසන්සුන් හෘදය සාක්ෂි සන්සුන් කිරීමට නිර්මිත තර්කයන් තුළින් සමගි සන්ධානයකට පැමිණීමට කර ඇති වෑයම්ද අපට සොයාගැනීමට තිබේ. . . . කොන්ස්ටන්ටයින්ගේ කාලයේ පටන්, මෙම දුෂ්කරතා අතුරුදහන් විය; ක්‍රිස්තියානීන් හා මිථ්‍යාදෘෂ්ටීන් අතර පැවති ගැටුම් නතර වූ අතර, රජයේ සෑම කාර්යාලයක්ම විවෘත කරනු ලැබීය.”
පොදු යුගයේ හතරවන ශතවර්ෂයේ අගභාගය වන විට, මෙම දූෂිත ඇදහිල්ල පාවා දෙන ආකාරයේ ක්‍රිස්තියානි ධර්මය රෝම අධිරාජ්‍යය තුළ රාජ්‍ය ආගම බවට පත් විය.
කතෝලික, ඔර්තඩොක්ස් හා රෙපරමාදු පල්ලි මගින් නියෝජනය කරනු ලබන ක්‍රිස්තියානි ලෝකය, එහි ඉතිහාසය පුරා රජයේ දේශපාලනයෙහි මහත් සේ නියැලෙමින් හා එහි යුද්ධවලට අනුබල දෙමින් දිගටම සමගි සන්ධානයකට පැමිණ තිබේ. මෙයින් පුදුමයට පත් වී සිටින අවංක පල්ලි සාමාජිකයන් බොහෝදෙනෙකු, පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් රජය සමඟ තම සබඳතාවේදී ගත් ස්ථාවරයම ගන්නාවූ ක්‍රිස්තියානීන් අදදිනද සිටින බව දැනගැනීමෙන් සතුටු වන බවට කිසිදු සැකයක් නැත. ඊළඟ ලිපි දෙකෙහි මෙම කාරණය වඩාත් විස්තරාත්මකව සාකච්ඡා කරනු ඇත.
[5වන පිටුවේ පින්තූරය]
“රජ්ජුරුවන්ට ගෞරවකරපල්ලා” යනුවෙන් ලියද්දී පේතෘස් යොමු දැක්වූ කායිසර් නීරෝ
[හිමිකම් විස්තර]
Musei Capitolini, Roma
[6වන පිටුවේ පින්තූරය]
අධිරාජ්‍යයාට නමස්කාර කරනවා වෙනුවට, පොලිකාර්ප් මියයෑම තෝරාගත්තේය
[7වන පිටුවේ පින්තූරය]
මුල් ක්‍රිස්තියානීහු සාමකාමී, අවංක බදු ගෙවූ පුරවැසියෝ වූහ