දෙවියන්වහන්සේගේ වචනය කියවා උන්වහන්සේට සැබෑකමින් සේවය කරන්න
“ස්වාමිනි, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි.”—ගීතාවලිය 86:11.
1. සාරයක් වශයෙන්, මේ සඟරාවේ පළමු කලාපය සත්‍යය ගැන පැවසුවේ කුමක්ද?
යෙහෝවඃවහන්සේ ආලෝකය හා සැබෑකම විහිදුවනසේක. (ගීතාවලිය 43:3) ස්වකීය වචනය වන බයිබලය කියවා සත්‍යය ඉගෙනගැනීමේ හැකියාවද උන්වහන්සේ අපට දානය කරනසේක. මෙම ජර්නලයේ පළමු කලාපය—එනම් 1879 ජූලි කලාපය—මෙසේ පැවසීය: “ජීවිතය නමැති වන රොදෙහි තිබෙන සුවිනීත කුඩා මලක් බඳු සැබෑව, සරු ලෙස වැඩුණු බොරුව නමැති වල් පැළවලින් වට වී, යට කරනු ලැබීමට ආසන්න තත්වයක පවතී. එය සොයාගැනීමට නම්, ඔබ නිතර සුපරීක්ෂාවෙන් සිටිය යුතුය. එහි අලංකාරය දකින්ට නම්, බොරුවේ වල්පැළ හා තම මතයේ එල්බගත් කටු පඳුරු ඉවත් කළ යුතුය. එය සතු කරගැනීමට ඔබ කැමති නම්, එය ලබාගැනීමට පහත් විය යුතුය. සැබෑවේ එක් මලකින් පමණක් සෑහීමට පත් නොවන්න. එකක් ප්‍රමාණවත් වූයේ නම් තවත් ඒවා නොපවතින්ට තිබිණ. එකතු කරමින් සිටින්න, තවත් ඒවා සොයමින් සිටින්න.” දෙවියන්වහන්සේගේ වචනය කියවා අධ්‍යයනය කිරීම අපහට ඒකාන්ත දැනුම අත් කර දෙමින්, උන්වහන්සේසේගේ සැබෑකමෙහි ගමන් කිරීමට අවකාශ සලසා දෙයි.—ගීතාවලිය 86:11.
2. එස්රා හා වෙනත් අය පුරාණ යෙරුසලමෙහි යුදෙව්වන්ට දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කියෙවු විට, එහි ප්‍රතිඵලය කුමක් වීද?
2 පොදු යුගයට පෙර 455දී යෙරුසලමේ පවුරු නැවත ගොඩනඟනු ලැබූ විට, පූජක එස්රා සහ වෙනත් අය දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව යුදෙව්වන්ට කියෙව්වෝය. ඉන් අනතුරුව, ප්‍රීතිමත් කූඩාරම් මංගල්‍යයක්ද, පව් කියා දීමක්ද, “ස්ථිරවූ ගිවිසුමක්[ද]” පවත්වන ලදි. (නෙහෙමියා 8:1–9:38) අපට මෙසේ කියවීමට තිබේ: “ඔව්හු [සැබෑ, NW] දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාපොත පැහැදිලිලෙස කියවා අර්ථය තෝරාදුන්නෝය, මිනිස්සුද කියෙවු දේ තේරුම්ගත්තෝය.” (නෙහෙමියා 8:8) යුදෙව්වන්ට හෙබ්‍රෙව් නොතේරුණු බවත්, ඇරමයික භාෂාවෙන් අර්ථය පැහැදිලි කරනු ලැබූ බවත් ඇතැම්හු අඟවති. එහෙත් භාෂාමය යෙදුම්වල නිකම්ම පැහැදිලි කිරීමක් සිදු වූ බව පාඨය අඟවන්නේ නැත. ජනයාට ව්‍යවස්ථාවේ ප්‍රතිපත්ති ග්‍රහණය කරගෙන අදාළ කරගත හැකි වන පරිද්දෙන්, එස්රා හා වෙනත් අය එය සවිස්තරව පැහැදිලි කළෝය. දේවවචනයේ අර්ථය තෝරා දීමට ක්‍රිස්තියානි ප්‍රකාශන හා රැස්වීම්ද උපකාරවත් වේ. “උගන්වන්ට සමර්ථවූ” පත් කරන ලද වැඩිමහල්ලන්ද එසේ උපකාරවත් වේ.—1 තිමෝති 3:1, 2; 2 තිමෝති 2:24.
කල්පවතින ප්‍රයෝජන
3. බයිබලය කියවීමෙන් අත් කරගත හැකි ප්‍රයෝජන සමහරක් කවරේද?
3 ක්‍රිස්තියානි පවුල් එකට බයිබලය කියවන විට, ඔවුන් කල්පවතින ප්‍රයෝජන අද්දැකීමට ඉඩ කඩ ඇත. දෙවියන්වහන්සේගේ නීති ගැන අවබෝධයක් ලබන ඔවුහු, ධර්මයන්, අනාවැකිමය කාරණා හා වෙනත් විෂයන් ගැන සත්‍යතාව ඉගෙනගනිති. බයිබලයෙහි කොටසක් කියවා නිම කිරීමෙන් පසු, ගෘහ මූලිකයාට මෙසේ ඇසිය හැක: මෙය අපට බලපෑ යුත්තේ කෙසේද? වෙනත් බයිබල් ඉගැන්වීම්වලට මෙය සම්බන්ධ වන්නේ කෙසේද? ශුභාරංචිය දේශනා කරද්දී, අපට මෙම කාරණා භාවිත කළ හැක්කේ කෙසේද? බයිබලය කියවද්දී, වොච් ටවර් පබ්ලිකේෂන්ස් ඉන්ඩෙක්ස් හෝ වෙනත් සූචි භාවිත කරමින් පවුලක් පර්යේෂණවල නිරත වේ නම්, ඔවුන්ගේ තීක්ෂ්ණ බුද්ධිය තව තවත් වැඩි වේ. වෙළුම් දෙකකින් යුත් ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් ප්‍රයෝජනදායක ලෙස භාවිත කළ හැක.
4. යෝෂුවා 1:8හි වාර්තා වී ඇති උපදෙස් යෝෂුවා විසින් කෙසේ අදාළ කරගත යුතුව තිබිණද?
4 ශුද්ධ ලියවිලිවලින් උකහා ගන්නා ලද ප්‍රතිපත්ති අපේ ජීවිතයට මඟ පෙන්වීමක් ලබා දිය හැක. එපමණක්ද නොව, ශුද්ධ ලියවිලි කියවීම හා අධ්‍යයනය කිරීම, ‘ගැළවීම පිණිස අපව නැණවත් කරන්ට පුළුවන.’ (2 තිමෝති 3:15) අපට මඟ පෙන්වීමට අපි දේවවචනයට ඉඩහරින්නෙමු නම්, අප උන්වහන්සේගේ සැබෑකමෙහි දිගටම හැසිරෙන අතර, අපේ ධර්මිෂ්ඨ ආශාවන් සැබෑ වනු ඇත. (ගීතාවලිය 26:3; 119:130) කෙසේවෙතත්, මෝසෙස්ගේ අනුප්‍රාප්තිකයා වූ යෝෂුවා කළාක් මෙන්, අප අවබෝධය සෙවිය යුතුය. “ව්‍යවස්ථා පොත” ඔහුගේ මුඛයෙන් පහ නොවිය යුතු වූ අතර, එය දිවා රෑ කියවීම ඔහුගෙන් අපේක්ෂා කෙරිණ. (යෝෂුවා 1:8) ඔහුගේ මුඛයෙන් “ව්‍යවස්ථා පොත” පහවීමට ඉඩ නොදීම යන්නෙන් අදහස් කළේ, එහි සඳහන්ව තිබූ ඥානාලෝකය ගෙන දෙන දේවල් අනුන්ට කීමෙන් යෝෂුවා නතර නොවිය යුතු වූ බවය. දිවා රෑ ව්‍යවස්ථාව කියවීමෙන් අදහස් වූයේ, එමත මෙනෙහි කොට අධ්‍යයනය කිරීම යෝෂුවාගෙන් අපේක්ෂා කළ බවය. ඒ හා සමානව, තම හැසිරීමෙහි, සේවයෙහි හා ඉගැන්වීමෙහි ‘යෙදී සිටින්ට’—ඒ මත මෙනෙහි කරන්ට—ප්‍රේරිත පාවුල් තිමෝතිගෙන් උදක්ම ඉල්ලා සිටියේය. ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු වශයෙන්, තම ජීවිතය ආදර්ශවත්ව ගත කිරීමටත්, ශුද්ධ ලියවිලිමය සත්‍යතාව උගන්වමින් සිටීමටත් තිමෝති විශේෂයෙන්ම සුපරීක්ෂාකාරිව සිටිය යුතු විය.—1 තිමෝති 4:15.
5. දෙවියන්වහන්සේගේ සත්‍යතාව සොයාගැනීමට නම්, කුමක් අවශ්‍යද?
5 දෙවියන්වහන්සේගේ සත්‍යතාව අමිල නිධානයකි. එය සෙවීමට නම්, හෑරීම එනම් ශුද්ධ ලියවිලි අත්නෑර සොයාබැලීම අවශ්‍යය. අප ප්‍රඥාව ලබා යෙහෝවඃවහන්සේ පිළිබඳව ගෞරවාන්විත භයක් අවබෝධ කරගත හැකි වන්නේ, ශ්‍රේෂ්ඨ උපදේශකයාණන්ගේ දරුවන් බඳු ශිෂ්‍යයන් ලෙස කටයුතු කරනවා නම් පමණි. (හිතෝපදේශ 1:7; යෙසායා 30:20, 21) ශුද්ධ ලියවිල්ලට අනුකූලව අප දේවල් ඔප්පු කළ යුතු බවට කිසිදු සැකයක් නැත. (1 පේතෘස් 2:1, 3) බෙරීයයෙහි යුදෙව්වෝ “තෙසලෝනිකයෙහි අයවලුන්ට වඩා උතුම්වූවෝය. මක්නිසාද ඔව්හු [පාවුල් විසින් පවසන ලද] මේ කාරණා මෙසේදැයි දැනගන්නා පිණිස දවස්පතා ලියවිලි සොයමින්, සිතේ මුළු කැමැත්තෙන් වචනය පිළිගත්තෝය.” බෙරීයයන් මෙසේ කළ නිසා ඔවුන්ට තරවටු කරනවා වෙනුවට ඔහු ඔවුන්ව ප්‍රශංසාවට ලක් කළේය.—ක්‍රියා 17:10, 11.
6. ශුද්ධ ලියවිලි සෝදිසි කිරීමෙන් ඇතැම් යුදෙව්වන්ට යහපතක් සිදු නොවූ බව ඇඟවීමට යේසුස්වහන්සේට හැකි වූයේ මන්ද?
6 යේසුස්වහන්සේ ඇතැම් යුදෙව්වන්ට මෙසේ පැවසූසේක: “ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි; නුමුත් නුඹලා ජීවනය ලබන පිණිස මා ළඟට එන්ට කැමැති නැත.” (යොහන් 5:39, 40) තමුන්ව ජීවනය කරා මඟ පෙන්වීමට ශුද්ධ ලියවිලිවලට හැකි බවට වූ නිවැරදි අදහස ඇතුව ඔවුහු ඒවා විමසා බැලුවෝය. ඇත්තෙන්ම, ජීවනයේ මාර්ගය වශයෙන් යේසුස්වහන්සේට යොමු දැක්වූ මෙසියස් ආශ්රිත අනාවැකි ශුද්ධ ලියවිලිවල අන්තර්ගත වී තිබිණ. එහෙත් යුදෙව්වෝ උන්වහන්සේව ප්‍රතික්ෂේප කළෝය. එමනිසා ශුද්ධ ලියවිලි පිරික්සීමෙන් ඔවුන්ට යහපතක් අත් නොවීය.
7. බයිබලය පිළිබඳ අවබෝධයෙන් වැඩිවර්ධනය වීම සඳහා කුමක් අවශ්‍යද, තවද ඒ මන්ද?
7 බයිබලය පිළිබඳ අපේ අවබෝධයෙන් වැඩිවර්ධනය වීමට නම්, දෙවියන්වහන්සේගේ ආත්මය නොහොත් ක්‍රියාකාරක බලයේ මඟ පෙන්වීම අපට අවශ්‍යය. ඒවායෙහි අර්ථය ගෙනහැර දැක්වීමට, ‘ආත්මය සියලු දේ, එසේය, දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් විමසයි.’ (1 කොරින්ති 2:10) තම අවධානයට ලක් වූ ඕනෑම අනාවැකියක “සියල්ල සෝදිසිකර” බැලීම තෙසලෝනිකයේ ක්‍රිස්තියානීන්ගෙන් අපේක්ෂා කෙරිණ. (1 තෙසලෝනික 5:20, 21) පාවුල් තෙසලෝනිකවරුන්ට (පො.යු. 50දී පමණ) ලිවූ විට, එවිටමත් ග්‍රීක් ලියවිල්ලෙහි නිම වී තිබූ එකම කොටස මතෙව්ගේ සුවිශේෂය පමණි. එනිසා හෙබ්‍රෙව් ලියවිලිවල ග්‍රීක් සෙප්ටුඅජින්ට් පරිවර්තනය ඇතැම්විට සෝදිසි කර බැලීමෙන්, සියලු දේ සනාථ කරගැනීමට තෙසලෝනිකවරුන්ට හා බෙරීයයන්ට හැකි විය. ශුද්ධ ලියවිලි කියවා අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව ඔවුන්ට තිබිණ, අපටත් එම අවශ්‍යතාවම තිබේ.
සියල්ලන්ට අත්‍යවශ්‍යය
8. පත් කරන ලද වැඩිමහල්ලන් බයිබලය පිළිබඳව හසළ දැනුමක් ඇතුව සිටිය යුත්තේ මන්ද?
8 පත් කරන ලද වැඩිමහල්ලන් බයිබලය පිළිබඳ හසළ දැනුමක් ඇතුව සිටිය යුතුය. ඔවුන් “උගන්වන්ට සමර්ථවූ” අය විය යුතු අතර, “විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්ට ඕනෑය.” “සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ” කෙනෙකු වීම අවේක්ෂක තිමෝතිගෙන් අවශ්‍ය කෙරිණ. (1 තිමෝති 3:2; තීතස් 1:9; 2 තිමෝති 2:15) ඔහුගේ ළදරුවියේ පටන් මව වූ එවුනීකි හා ආච්චි වූ ලොයිස් ඔහුට ශුද්ධ ලියවිලි උගන්වා තිබූ අතර, පියා නොඇදහිලිකාරයෙකු වුවද, ඔවුහු ඔහු තුළ “අවංක ඇදහිල්ල[ක්]” පැලපදියම් කළෝය. (2 තිමෝති 1:4, 5; 3:15) ඇදහිලිවන්ත පියවරුන් සිය දරු දැරියන් “ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද” ඇති දැඩි කළ යුතු අතර, වැඩිමහල්ලන් වන පියවරුන් “අවකල් ක්‍රියාව ගැන දෝෂාරෝපණය නොලත් කීකරුවූ ඇදහිලිවන්ත දරුවන් ඇතුව” සිටීම විශේෂයෙන් වැදගත්ය. (එපීස 6:4; තීතස් 1:6) එසේනම් අපේ තත්වයන් කුමක් වෙතත්, දේවවචනය කියවා, අධ්‍යයනය කොට, අනතුරුව අදාළ කිරීමේ අවශ්‍යතාව අප බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුය.
9. සෙසු ක්‍රිස්තියානීන් සමඟ බයිබලය අධ්‍යයනය කළ යුත්තේ මන්ද?
9 අප සෙසු ඇදහිලිවන්තයන් සමඟද බයිබලය අධ්‍යයනය කළ යුතුය. තෙසලෝනික ක්‍රිස්තියානීන්ට දුන් උපදෙස් ඔවුන් විසින් එකට සාකච්ඡා කරනවා දැකීම පාවුල්ට වුවමනා විය. (1 තෙසලෝනික 4:18) සත්‍යය පිළිබඳ අපේ අවබෝධය තියුණු කිරීම සඳහා, ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීමෙහිලා වෙනත් කඩිසර ශිෂ්‍යයන් හා එක්වීම තරම් හොඳ දෙයක් තවත් නැත. “යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි,” යන හිතෝපදේශය සැබෑවකි. (හිතෝපදේශ 27:17) භාවිතයට නොගෙන, මුවහත් නොකර තැබුවහොත්, යකඩ ආයුධයක මල බැඳිය හැක. ඒ හා සමානව, නිතිපතා එකට රැස්වී, දෙවියන්වහන්සේගේ සත්‍යතාවේ වචනය කියවීමෙන්, අධ්‍යයනය කිරීමෙන් හා එමත මෙනෙහි කිරීමෙන් අප ලබන දැනුම, අනුන්ට බෙදා දීම මගින් අප එකිනෙකාව මුවහත් කිරීමෙහි නිරත විය යුතුය. (හෙබ්‍රෙව් 10:24, 25) එපමණක්ද නොව, ආත්මික ආලෝකයේ විහිදුවීම්වලින් අප ප්‍රයෝජන ලබන බව සහතික කිරීමට මෙය එක් මඟකි.—ගීතාවලිය 97:11; හිතෝපදේශ 4:18.
10. සත්‍යයෙහි හැසිරීම යන්නෙහි අර්ථය කුමක්ද?
10 අප ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරන විට, ගීතිකාකරු කළාක් මෙන් දෙවියන්වහන්සේට යාච්ඤා කිරීම උචිතය: “ඔබගේ එළියත් සැබෑකමත් එවුව මැනව; ඒවා මා ගෙනයෙත්වා.” (ගීතාවලිය 43:3) දෙවියන්වහන්සේගේ අනුමැතිය ඇතුව සිටීමට කැමති නම්, අප උන්වහන්සේගේ සැබෑකම අනුව හැසිරිය යුතුය. (3 යොහන් 3, 4) උන්වහන්සේගේ අවශ්‍යතා අනුව කටයුතු කිරීමත්, විශ්වාසවන්තකමින් හා අවංකකමින් උන්වහන්සේට සේවය කිරීමත් මීට ඇතුළත්ය. (ගීතාවලිය 25:4, 5; යොහන් 4:23, 24) යෙහෝවඃවහන්සේගේ වචනයෙහි එළිදරව් කොට ඇති ආකාරයට, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සපයන ප්රකාශනවල පැහැදිලි කර ඇති සත්‍යතාව අනුව අප උන්වහන්සේට සේවය කළ යුතුය. (මතෙව් 24:45-47) ශුද්ධ ලියවිලි පිළිබඳව ඒකාන්ත දැනුම මේ සඳහා අවශ්‍යය. එසේනම්, අප දේවවචනය කියවා එය අධ්‍යයනය කළ යුත්තේ කෙසේද? උත්පත්ති 1වන පරිච්ඡේදයේ 1වන ඡේදයේ පටන් කියවීම අරඹා, පොත් 66හි අවසානය දක්වා අප එය කියවා නිම කළ යුතුද? එසේය, තම භාෂාවෙන් සම්පූර්ණ බයිබලය තිබෙන සෑම ක්‍රිස්තියානියෙකුම උත්පත්ති සිට එළිදරව් දක්වා එය කියවිය යුතුය. තවද බයිබලය හා ක්‍රිස්තියානි ප්‍රකාශන කියවීමේදී අපේ පරමාර්ථය විය යුත්තේ, ‘විශ්වාසවන්ත දාසයා’ තුළින් දෙවියන්වහන්සේ සපයා තිබෙන ශුද්ධ ලියවිලිමය සත්‍ය සම්භාරය පිළිබඳ අපේ අවබෝධය වැඩිදියුණු කිරීමය.
දේවවචනය හඬ නඟා කියවන්න
11, 12. රැස්වීම්වලදී හඬ නඟා බයිබලය කියවීම ප්‍රයෝජනදායක වන්නේ මන්ද?
11 තනිව සිටින විට අපට නිහඬව කියවිය හැක. කෙසේවෙතත්, පුරාණ කාලවල පෞද්ගලික කියවීම කරනු ලැබුවේ හඬ නඟාය. එතියෝපිය නපුංසකයා සිය රථයෙහි ගමන් කරද්දී, ඔහු යෙසායාගේ අනාගතවාක්‍යය කියවනවා එවැන්ජලිස්ත පිලිප්ට ඇසිණ. (ක්‍රියා 8:27-30) “කියවීම” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයෙහි මූලික අර්ථය “හඬ නැඟීම” වේ. එනිසා, මුලදී නිහඬව කියවා, කියවන දෙයෙහි අර්ථය ගැනීමට බැරි අය, එක් එක් වචනය ශබ්ද නඟා උච්චාරණය කිරීම ගැන අධෛර්යයට පත් නොවිය යුතුය. දෙවියන්වහන්සේගේ ලිඛිත වචනය කියවීමෙන් සත්‍යය ඉගෙනගැනීම මූලික දෙයයි.
12 ක්‍රිස්තියානි රැස්වීම්වල බයිබලය හඬ නඟා කියවීම ප්‍රයෝජනදායකය. ප්‍රේරිත පාවුල් සිය සෙසු සේවක තිමෝතිගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියේය: “මා එන තුරු ප්‍රසිද්ධියේ ශුද්ධලියවිලි කියවීමට ද අනුශාසනා කිරීමට ද ඉගැන්වීමට ද අවධානය යොමු කරන්න.” (1 තිමෝති 4:13, න.අ.) පාවුල් කොලොස්සිවරුන්ට මෙසේ පැවසීය: “මේ ලියුම නුඹලා අතරෙහි කියෙවූ පසු, මේක ලවොදිකයන්ගේ සභාවෙහිද කියවනු ලබන්ට සලස්වාපල්ලා; ලවොදිකයෙන් ලැබෙන ලියුම නුඹලාත් කියවන්ට බලාගනිල්ලා.” (කොලොස්සි 4:16) තවද එළිදරව් 1:3 මෙසේ පවසයි: “මේ අනාගතවාක්‍යයේ වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියනලද කාරණා පවත්වන්නෝද ආශීර්වාදලද්දෝය. මක්නිසාද කාලය ළඟය.” එනිසා, තමා සභාවට කියන දේ තහවුරු කිරීම සඳහා ප්‍රසිද්ධ කථිකයෙකු බයිබලයෙන් පාඨ කියවිය යුතුය.
විෂයක් අනුව පාඩම් ක්‍රමය
13. බයිබල් සත්‍යතා ඉගෙනීමෙහි වඩාත්ම ප්රගතිශීලී ක්‍රමය කුමක්ද, තවද ශුද්ධ ලියවිලි පාඨ සොයාගැනීමට අපට උපකාර කළ හැක්කේ කුමකටද?
13 ශුද්ධ ලියවිලිමය සත්‍යතා ඉගෙනීමේ වඩාත්ම ප්රගතිශීලී ක්‍රමය වූ කලි, යම් විෂයක් අනුව පාඩම් කිරීමය. පොත, පරිච්ඡේදය හා ඡේදය වශයෙන්, අවස්ථා සම්බන්ධය දක්වමින් හෝඩියට අනුව ලැයිස්තුගත කර ඇති ශබ්ද සූචි, යම් විෂයකට සම්බන්ධ පාඨ සෙවීම පහසු කරවයි. තවද බයිබලයේ කර්තෘ පරස්පරවිරෝධී අදහස් ඉදිරිපත් නොකරන නිසා, එවන් ශුද්ධ ලියවිලිමය පාඨ එකිනෙක හා ගළපාගත හැක. ශුද්ධාත්මය කරණකොටගෙන, සියවස් 16ක කාලපරිච්ඡේදයක් පුරා බයිබලය ලිවීමට පුරුෂයන් 40දෙනෙකුට පමණ ස්වකීය ආනුභාවය දුන් අතර, යම් විෂයකට අනුව එය අධ්‍යයනය කිරීම සත්‍යය ඉගැන්වීමෙහිලා නොවරදින ක්‍රමයක් වේ.
14. හෙබ්‍රෙව් හා ග්‍රීක් ලියවිලි එකට අධ්‍යයනය කළ යුත්තේ මන්ද?
14 බයිබල් සත්‍යතාව සඳහා අපේ අගය, හෙබ්‍රෙව් ලියවිලි සමඟින් ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි කියවා අධ්‍යයනය කිරීමට අපව පෙලඹවිය යුතුය. ග්‍රීක් ලියවිලි දෙවියන්වහන්සේගේ අරමුණ හා සම්බන්ධ වී ඇති අන්දම එය පෙන්නුම් කරන අතර, හෙබ්‍රෙව් ලියවිලිවල අනාවැකි මත ආලෝකය හෙළනු ලැබේ. (රෝම 16:25-27; එපීස 3:4-6; කොලොස්සි 1:25) මේ සම්බන්ධයෙන් නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් මහෝපකාරි වේ. මුල් බයිබල් පාඨය මෙන්ම එහි පසුතලය හා සම්ප්‍රදායික යෙදුම් පිළිබඳව ලබාගත හැකි වැඩිමනත් දැනුමෙන් ප්‍රයෝජන ලබාගත් දෙවියන්වහන්සේට කැප වූ සේවකයන් විසින් එය සූදානම් කරන ලදි. එමෙන්ම, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් යෙහෝවඃවහන්සේ සපයා තිබෙන බයිබල් පාඩම් ආධාරකද අතිවැදගත්ය.
15. බයිබලයෙහි තැන් තැන්වලින් උපුටා දැක්වීම යෝග්‍ය බව ඔබ ඔප්පු කරනු ඇත්තේ කෙසේද?
15 ඇතමුන් මෙසේ පවසනවා විය හැක, ‘ඔයාලගේ ප්‍රකාශන බයිබලයෙන් දහස් ගණන් උපුටා දැක්වීම් කරනවා, නමුත් තැන් තැන්වලින් එහෙම අරගන්නේ ඇයි?’ බයිබලයේ පොත් 66හි විවිධ තැන්වලින් උපුටා දැක්වීම මගින්, ඉගැන්වීමක සැබෑකම ඔප්පු කිරීමට, මෙම ප්‍රකාශන දේවානුභාවය ලත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුගේ සාක්ෂි ලබාගනියි. යේසුස්වහන්සේම මෙම ඉගැන්වීමේ ක්‍රමය භාවිත කළසේක. සිය කන්ද උඩ දේශනාවේදී, උන්වහන්සේ හෙබ්‍රෙව් ලියවිලිවලින් උපුටා දැක්වීම් 21ක් කළසේක. නික්මයාම පොතෙන් උපුටා දැක්වීම් තුනක්ද, ලෙවී කථාවෙන් දෙකක්ද, ගණන් කථාවෙන් එකක්ද, ද්විතීය කථාවෙන් සයක්ද, දෙවන රාජාවලියෙන් එකක්ද, ගීතාවලියෙන් සතරක්ද, යෙසායාගෙන් තුනක්ද, යෙරෙමියාගෙන් එකක්ද එම දේශනයෙහි අන්තර්ගතය. මෙසේ කිරීමෙන්, යේසුස්වහන්සේ ‘ඔහේ ඕනෑම දෙයක් ඔප්පු කිරීමට වෑයම් කරමින්’ සිටිසේක්ද? නැත, මන්දයත් “උන්වහන්සේ ඔවුන්ගේ ලියන්නන් මෙන් නොව, බලය ඇති කෙනෙකු මෙන් ඔවුන්ට ඉගැන්වූ” බැවිනි. තත්වය එසේ වූයේ, යේසුස්වහන්සේ සිය ඉගැන්වීම දෙවියන්වහන්සේගේ ලිඛිත වචනයෙහි අධිකාරය සමඟින් තහවුරු කළ බැවිනි. (මතෙව් 7:29) ප්‍රේරිත පාවුල්ද එසේ කළේය.
16. පාවුල් රෝම 15:7-13හි කළ ශුද්ධ ලියවිලිමය උපුටා දැක්වීම් කවරේද?
16 රෝම 15:7-13හි සොයාගත හැකි ශුද්ධ ලියවිලිමය කොටසෙහි, පාවුල් හෙබ්‍රෙව් ලියවිල්ලේ කොටස් තුනකින්, එනම් ව්‍යවස්ථාවෙන්, අනාගතවක්තෲන්ගෙන් හා ගීතාවලියෙන් උපුටා දැක්වීය. යුදෙව්වන් හා අන්‍යජාතිකයන් දෙවියන්වහන්සේට ගෞරවය දක්වන බව පෙන්වූ ඔහු, මෙසේ ක්‍රිස්තියානීන් සියලු ජාතීන්ට අයත් ජනයා සාදරයෙන් පිළිගත යුතු බව සනාථ කළේය. පාවුල් මෙසේ පැවසීය: “දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස ක්‍රිස්තුස්වහන්සේ නුඹලා පිළිගත් ලෙසම නුඹලාත් එකිනෙකා පිළිගනිල්ලා. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ සත්‍යතාව උදෙසා චර්මඡේද්‍යයේ මෙහෙකරුවෙක් වූසේකැයි කියමි. කුමටද, පියවරුන්ට දුන් පොරොන්දු ස්ථිරකරන පිණිසත්, අන්‍යජාතීන් විසින් දෙවියන්වහන්සේගේ දයාව ගැන උන්වහන්සේට ගෞරවකරන පිණිසත්ය. ඒ හැටියට: එබැවින් අන්‍යජාතීන් අතරේ ඔබ වර්ණනාකරන්නෙමි, ඔබගේ නාමයට ගීතිකා කියන්නෙමියි [ගීතාවලිය 18:49හි] ලියා තිබේ. නැවතත්: අන්‍යජාතීනි, උන්වහන්සේගේ සෙනග සමඟ ප්රීතිවෙයල්ලායයි [ද්විතීය කථාව 32:43හි] කියා තිබේ. නැවතත්: සියලු අන්‍යජාතීනි, ස්වාමීන්වහන්සේට ප්රශංසාකරපල්ලා; සියලු වර්ගයෝ උන්වහන්සේට ප්රශංසාකරපල්ලායයි [ගීතාවලිය 117:1හි] කියා තිබේ. නැවතත් යෙසායා [11:1, 10]: යෙස්සේගේ මුලවූද අන්‍යජාතීන් කෙරෙහි රජකම්කරන්ට නැගිටින්නාවූද තැනන්වහන්සේ එනසේක; උන්වහන්සේ කෙරෙහි අන්‍යජාතීහු බලාපොරොත්තුවන්නෝයයි කියයි. ඉදින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.” විෂයක් අනුව සාකච්ඡා කිරීමේ මෙම ක්‍රමය තුළින්, බයිබල් සත්‍යතා සනාථ කිරීමට ශුද්ධ ලියවිලි පාඨ උපුටා දැක්විය යුතු අන්දම පාවුල් පෙන්වීය.
17. ක්‍රිස්තියානීන් බයිබලයේ තැන් තැන්වලින් උපුටා දැක්වීම් කරන්නේ කුමන පූර්වාදර්ශයට එකඟවද?
17 ව්‍යවස්ථාවට, අනාගතවක්තෲන්ට හා ගීතිකාවලට ඇතුළත් පොත් දහයක උපුටා දැක්වීම් 34ක්, ප්‍රේරිත පේතෘස්ගේ දේවානුභාවය ලත් පළමු ලිපියේ තිබේ. සිය දෙවන ලිපියෙහි, පේතෘස් පොත් තුනකින් සය වරක් උපුටා දක්වයි. උත්පත්ති සිට මලාකී දක්වා පොත්වලින් උපුටා දැක්වීම් 122ක් මතෙව්ගේ සුවිශේෂයෙහි අන්තර්ගතය. ග්‍රීක් ලියවිල්ලෙහි පොත් 27 තුළ, උත්පත්ති සිට මලාකී දක්වා පොත්වලින් ඍජු උපුටා දැක්වීම් 320ක්ද, හෙබ්‍රෙව් ලියවිලිවලට වෙනත් යොමු දැක්වීම් සිය ගණනක්ද තිබේ. යේසුස්වහන්සේ විසින් පිහිටුවනු ලැබුවාවූද, සිය ප්‍රේරිතයන් විසින් අනුගමනය කරනු ලැබුවාවූද පූර්වාදර්ශයට එකඟව, නවීන-දින ක්‍රිස්තියානීන් ශුද්ධ ලියවිලිමය විෂයක් ක්‍රමානුකූලව අධ්‍යයනය කරන විට, ඔවුහු සම්පූර්ණ බයිබලයේ විවිධ තැන්වලින් උපුටා දැක්වීම් කරති. හෙබ්‍රෙව් හා ග්‍රීක් ලියවිලිවල කාරණා රාශියක් ඉටු වන මෙම “අන්තිම දවස්වල” මෙය විශේෂයෙන් යෝග්‍ය දෙයකි. (2 තිමෝති 3:1) ‘විශ්වාසවන්ත දාසයා’ තම ප්‍රකාශන සඳහා බයිබලය එලෙස භාවිත කරන මුත්, ඔවුන් අමතර යමක් එකතු කරන්නේ හෝ ඉන් ඉවත් කරන්නේ හෝ නැත.—හිතෝපදේශ 30:5, 6; එළිදරව් 22:18, 19.
සෑම කල්හිම සත්‍යයෙහි හැසිරෙන්න
18. ‘සත්‍යතාවෙහි හැසිරිය’ යුත්තේ මන්ද?
18 අප බයිබලයෙන් කිසිවක් ඉවත් නොකළ යුතුය, මන්දයත් දෙවියන්වහන්සේගේ වචනයෙහි අන්තර්ගත ක්‍රිස්තියානි ඉගැන්වීම් සම්භාරයම “සත්‍යතාව” නොහොත් “ශුභාරංචියේ සත්‍යතාව” වන බැවිනි. මෙම සත්‍යයට අවනත වීම—එනම් ඒ අනුව ‘හැසිරීම’—ගැළවීම සඳහා අතිවැදගත්ය. (ගලාති 2:5; 2 යොහන් 4; 1 තිමෝති 2:3, 4) ක්‍රිස්තියානි ධර්මය “සත්‍යතාවේ මාර්ගය” වන බැවින්, ඊට අදාළ කටයුතු දියුණු කිරීමට අනුන්ට සහය වීමෙන් අපි “සත්‍යතාවට හවුල් වැඩකාර[යෝ]” වන්නෙමු.—2 පේතෘස් 2:2; 3 යොහන් 8.
19. අපට ‘සත්‍යතාවෙහි දිගටම හැසිරිය’ හැක්කේ කෙසේද?
19 දිගටම “සත්‍යතාවෙහි හැසි[රීමට]” නම්, අප බයිබලය කියවිය යුතු අතර, දෙවියන්වහන්සේ ‘විශ්වාසවන්ත දාසයා’ තුළින් සපයන ආත්මික උපකාරයට අවනත විය යුතුය. (3 යොහන් 4) අපේම යහපත සඳහාත්, අනුන්ට යෙහෝවඃ දෙවියන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා දිව්‍යමය අරමුණ ගැන ඉගැන්වීමට හැකි තත්වයක සිටීම සඳහාත් අපි මෙසේ කරමු. තවද යෙහෝවඃවහන්සේගේ වචනය තේරුම්ගැනීමටත්, සත්‍යය තුළ උන්වහන්සේට සේවය කිරීමෙහි සාර්ථක වීමටත් උන්වහන්සේගේ ආත්මය අපට උපකාරවත් වීම ගැන අපි ස්තුතිපූර්වක වෙමු.
ඔබේ පිළිතුරු කවරේද?
◻ බයිබල් කියවීමෙන් ලැබෙන කල්පවතින ප්‍රයෝජන සමහරක් මොනවාද?
◻ සෙසු ඇදහිලිවන්තයන් සමඟ බයිබලය අධ්‍යයනය කළ යුත්තේ මන්ද?
◻ බයිබලයේ විවිධ තැන්වලින් උපුටා දැක්වීම උචිත වන්නේ මන්ද?
◻ ‘සත්‍යතාවෙහි හැසිරීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද, තවද අපට එසේ කළ හැක්කේ කෙසේද?
[17වන පිටුවේ පින්තූරය]
දෙමාපියෙනි, ඔබේ දරුවන්ට ශුද්ධ ලියවිලි උගන්වන්න
[18වන පිටුවේ පින්තූරය]
සිය කන්ද උඩ දේශනාවේදී, යේසුස්වහන්සේ හෙබ්‍රෙව් ලියවිල්ලේ නොයෙක් තැන්වලින් උපුටා දැක්වීම් කළසේක