ඔබ අගතියට ගොදුරු වූ කෙනෙක්ද?
ජාතිවාදී සාහසිකකම, වර්ගවාදය, අසාධාරණ ලෙස සැලකීම, භේදය හා වර්ගඝාතනය යනාදියේ පොදුවේ දක්නට ඇත්තේ කුමක්ද? ඒවා සියල්ලක්ම හාත්පස පැතිර පවතින මනුෂ්‍ය ප්‍රවණතාවක ප්‍රතිඵලයන්ය—එනම් අගතියයි!
අගතිය යනු කුමක්ද? එක් විශ්වකෝෂයක් එය අර්ථ දක්වන්නේ “සාධාරණ ලෙස විනිශ්චය කිරීමට ප්‍රමාණවත් කාලය හෝ සැලකිල්ල නොදැක්වීමෙන් ගොඩනැඟුණු ආකල්පයක්” යනුවෙනි. අසම්පූර්ණ මිනිසුන් වශයෙන් අපි යම් ප්‍රමාණයකට අගතිසහගත වීමට නැඹුරු වී සිටින්නෙමු. සියලුම සාධක නොමැතිව ඔබ විනිශ්චය කළ අවස්ථා ගැන සමහරවිට කල්පනා කර බැලිය හැක. එවන් අගතිසහගත හැඟීම් හා යෙහෝවඃ දෙවියන්වහන්සේ විනිශ්චය කරන ආකාරය අතර වෙනස බයිබලය පෙන්වයි. එය මෙසේ පවසයි: “ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේක.”—1 සාමුවෙල් 16:7.
අගතිය වේදනාවට තුඩු දිය හැක
සෑම පුද්ගලයෙකුවම යමෙකු විසින් යම් අවස්ථාවක වැරදි ලෙස විනිශ්චය කර තිබීම ගැන අනුමානයක් නැත. (දේශනාකාරයා 7:21, 22, සසඳන්න) පොදුවේ ගත් කල, අපි සියලුදෙනාම අගතියට ගොදුරු වූ අය වෙමු. කෙසේවෙතත්, අගතිසහගත සිතුවිලි විගසින්ම පහ කර දැමුවහොත්, ඇතැම්විට සුළු වශයෙන් වේදනාවක් ඇතිවීමට නැත්නම් කිසිම වේදනාවක් ඇති නොවීමට ඉඩ ඇත. හානිදායක ප්‍රතිඵල ගෙන දිය හැක්කේ එවන් සිතුවිලි පෝෂණය කරන විටයි. බොරුවක් විශ්වාස කිරීමට එයට අපව මුළා කළ හැක. නිදසුනක් වශයෙන්, හුදෙක් යම් ආගමික, වාර්ගික හෝ ජාතික කණ්ඩායමකට අයත් නිසා පුද්ගලයෙකු කෑදර, කම්මැළි, මෝඩ හෝ අහංකාර විය හැකි බව අගතියේ බලපෑමට ගොදුරු වූ ඇතැම් අය සැබවින්ම විශ්වාස කරති.
බොහෝ අවස්ථාවලදී එවන් වැරදි විනිශ්චයන් අන්‍යයන්ව අසාධාරණ, නින්දිත හෝ දරුණු ලෙස සැලකීමට මඟ පාදයි. සමූල ඝාතන, වර්ගඝාතන, වාර්ගික මිනිමැරුම් සහ වෙනත් ආකාර අන්ත අගතිසහගත හැඟීම් නිසා මිලියන ගණන් මිනිස්සු තම ජීවිත අහිමි කරගෙන ඇත්තාහ.
ලොව පුරාම ආණ්ඩු මගින් අගතිය ජයගෙන තිබෙන්නේ නිදහස, සුරක්ෂිතභාවය සහ සමානතාව යනාදිය උල්ලංගනය කළ නොහැකි බවට වන මෙම අයිතිවාසිකම නීත්‍යනුකූලව සහතික කිරීමෙනි. ඔබ ඔබේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ප්‍රතිපත්ති මාලාවේ නීති කියවා බැලුවහොත්, ඔවුන්ගේ ජාතිය, ලිංගය හෝ ආගම කුමක් වුවත් සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි නිර්මාණය කර තිබෙන වගන්තියක් හෝ සංශෝධනයක් ඔබ සොයාගනු නිසැකය. එනමුත්, ලෝක ව්‍යාප්ත පරිමාණයකින් අගතිය සහ අසාධාරණ ලෙස සැලකීම හාත්පස පැතිර පවතී.
ඔබ අගතියට ගොදුරු වූ කෙනෙක්ද? හුදෙක් ඔබගේ වර්ගය, වයස, ලිංගය, ජාතිය හෝ ආගමික විශ්වාසයන් නිසා ඔබව ගිජු, කම්මැළි, මෝඩ හෝ අහංකාර යනාදි වශයෙන් හංවඩු ගසා තිබේද? අගතිය නිසා නිසි අධ්‍යාපනය, රැකියාව, නිවාස සහ සමාජ සේවාවන් සඳහා තිබෙන ප්‍රස්තා ඔබගෙන් වළක්වනු ලබනවාද? එසේනම්, ඔබට සාර්ථකව කටයුතු කළ හැක්කේ කෙසේද?
[3වන පිටුවේ පින්තූරය]
අගතිය පෝෂණය කිරීම වාර්ගික වෛරයට පොලඹවයි
[හිමිකම් විස්තර]
Nina Berman/Sipa Press