දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම යන්නෙහි අර්ථය කුමක්ද?
ප්‍රථම මිනිස් බිළිඳා, අවුරුදු හයදාහකට පමණ පෙර ඉපදුණේය. ඔහුගේ උපතින් පසු, ඔහුගේ මව වන ඒව මෙසේ පැවසුවාය: “යෙහෝවඃවහන්සේගේ උපකාරයෙන් මම මනුෂ්‍යයෙකු බිහි කළෙමි.” (උත්පත්ති 4:1, NW) ඒව හා ඇගේ ස්වාමිපුරුෂයා වන ආදම්ගේ කැරලිගැසීම හේතුවෙන් ඔවුන්ව ඒ වන විටත් මරණයට නියම කරනු ලැබ තිබුණත්, ඔවුන් ඒ අවස්ථාවේදී යෙහෝවඃවහන්සේගේ දේවත්වය සම්බන්ධයෙන් දැන සිටි බව ඇගේ ප්‍රකාශයෙන් හෙළි වේ. පසුව ඔවුහු දෙවන පුත්‍රයෙකු බිහි කළෝය. එම පිරිමි ළමුන්ව, කායින් හා ආබෙල් ලෙස නම් කරනු ලැබීය.
එම පුත්‍රයෝ වයසින් වැඩෙත්ම, යෙහෝවඃවහන්සේගේ මැවිල්ල පරීක්ෂා කිරීමෙන් පමණක්ම, ඔවුන් උන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳව බොහෝ දේ ඉගෙනගත් බවට කිසිදු සැකයක් නැත. ඔවුහු ස්වභාවධර්මයේ අලංකාරවත් වර්ණ හා නානාවිධ සතුන් හා පැළෑටිවලින් මහත් ආස්වාදයක් ලැබූහ. දෙවියන්වහන්සේ ඔවුන්ට ජීවිතය දානය කළා පමණක් නොව, නමුත් ජීවිතය තුළින් සන්තෝෂය සොයාගැනීමේ හැකියාවද දානය කළසේක.
තම දෙමාපියන්ව පරිපූර්ණ ආකාරයකින් මවනු ලැබූ බවත්, යෙහෝවඃවහන්සේගේ මුල් අරමුණ වූයේ මනුෂ්‍යයන් සදහටම ජීවත්වීම බවත් ඔවුහු ඉගෙනගත්තෝය. බොහෝදුරට, ආදම් හා ඒව ඔවුන්ට අලංකාර ඒදන් උයන පිළිබඳව විස්තර කළ අතර, එවන් පාරාදීසමය නිවසකින් පිටමං කිරීමට හේතුවද කෙසේ හෝ ඔවුන්ට පැහැදිලි කිරීමට සිදු විය. කායින් හා ආබෙල්, උත්පත්ති 3:15හි වාර්තා කර තිබෙන දිව්‍ය අනාවැකිය සම්බන්ධයෙන්ද දැන සිටියා විය හැක. නියමිත කාලයේදී, යෙහෝවඃවහන්සේ තමන්ට ප්‍රේම කරන හා පක්ෂපාතකම ඔප්පු කරන අය උදෙසා කාරණා හරිගැස්වීමට යන බවට වූ ස්වකීය අරමුණ, එම අනාවැකිය තුළින් ප්‍රකාශ කළසේක.
යෙහෝවඃවහන්සේ හා උන්වහන්සේගේ ගුණාංග ගැන ඉගෙනගැනීමෙන්, දෙවියන්වහන්සේගේ අනුමැතිය ලබාගැනීමට කායින් හා ආබෙල් තුළ ආශාවක් හටගන්ට ඇත. එනිසා ඔවුහු යෙහෝවඃවහන්සේට පඬුරු ඔප්පු කිරීමෙන් උන්වහන්සේ වෙතට එළඹුණෝය. බයිබල් වාර්තාව මෙසේ පවසයි: “කාලයකට පසු කායින් භූමියේ ඵලයෙන් ස්වාමීන්වහන්සේට පඬුරක් ගෙනායේය. ආබෙල්ද තමාගේ රැළේ කුලුඳුලන්ගෙන්ද උන්ගේ තෙලින්ද ගෙනායේය.”—උත්පත්ති 4:3, 4.
දෙවියන්වහන්සේගේ අනුමැතිය ලබාගැනීමේ ඔවුන්ගේ ආශාව, උන්වහන්සේ සමඟ සබඳතාවක් ඇති කරගැනීම සඳහා පදනමක් පිහිටුවීය. අවසානයේදී කායින් දෙවියන්වහන්සේට විරුද්ධව කැරලිගැසුවත්, ආබෙල් පොලඹවනු ලැබුවේ දෙවියන්වහන්සේ කෙරෙහි නොකඩවා තිබූ අව්‍යාජ ප්‍රේමය මගිනි. යෙහෝවඃවහන්සේගේ පෞද්ගලිකත්වය හා අරමුණු පිළිබඳව ප්‍රථමයෙන්ම දැනුම ලබා නොගත්තා නම්, උන්වහන්සේ සමඟ එවන් සබඳතාවක් ගොඩනඟාගැනීමට ආබෙල්ට කිසිදිනක නොහැකි වීමට ඉඩ තිබිණ.
ඔබටත් යෙහෝවඃවහන්සේව දැන හඳුනාගත හැක. නිදසුනක් වශයෙන්, දෙවියන්වහන්සේ සැබෑ පුද්ගලයෙකු වන අතර, උන්වහන්සේ නිකම්ම අහම්බෙන් දේවල් මවන අජීවී බලවේගයක් නොවන බව ඔබට බයිබලය තුළින් උගත හැකිය. (යොහන් 7:28; හෙබ්‍රෙව් 9:24; එළිදරව් 4:11, සසඳන්න.) යෙහෝවඃවහන්සේ “අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවිකෙනෙ[කු]” බවද බයිබලය උගන්වයි.—නික්මයාම 34:6.
“පූජාවට වඩා කීකරුවීම . . . හොඳය”
කායින් හා ආබෙල්ගේ වාර්තාවෙන් නිදර්ශනය කර ඇති ආකාරයට, දෙවියන්වහන්සේ පිළිබඳව දැනුම ඇතුව සිටීම හා උන්වහන්සේ සමඟ සමීප සබඳතාවකට ආශාවීම පමණක් ප්‍රමාණවත් නොවේ. එම සහෝදරයන් දෙදෙනා ඔප්පු කිරීම් සමඟ දෙවියන්වහන්සේට ළඟා වූ බව සැබෑය. එහෙත්, “ස්වාමීන්වහන්සේ ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකූසේක. එහෙත් උන්වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර නොසැලකූසේක. එවිට කායින් අතිශයෙන් කෝපවිය, ඔහුගේ මුහුණද වෙනස්විය.”—උත්පත්ති 4:3-5.
යෙහෝවඃවහන්සේ කායින්ගේ පූජාව ප්‍රතික්ෂේප කළේ මන්ද? ඔහු ඔප්පු කළ දෙයෙහි ගුණාත්මකභාවයේ යම් වැරැද්දක් තිබුණාද? සත්ව පූජාවක් වෙනුවට, කායින් “භූමියේ ඵල” ඔප්පු කළ නිසා යෙහෝවඃවහන්සේ අමනාප වූසේක්ද? අනිවාර්යයෙන්ම එසේ නොවේ. පසු කාලයේදී, දෙවියන්වහන්සේ ස්වකීය නමස්කාරකයන් බොහෝදෙනෙකුගෙන් ආහාර හා වෙනත් භූමියේ ඵලවල පූජාවන් සතුටින් පිළිගත්සේක. (ලෙවී කථාව 2:1-16) එසේනම්, කායින්ගේ හෘදයෙහි යම් වැරැද්දක් තිබුණු බව පැහැදිලිය. යෙහෝවඃවහන්සේට කායින්ගේ හෘදය විමසා බැලීමට හැකියාව තිබුණු අතර, උන්වහන්සේ ඔහුට මෙසේ අනතුරු ඇඟවූසේක: “නුඹ කෝපව සිටින්නේ මන්ද? නුඹේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක්නිසාද? නුඹ යහපත කෙරෙහිනම් පිළිගනු නොලබන්නෙහිද? යහපත නොකෙරෙහි නම් පාපය දොරකඩ ලැග සිටියි; ඒකේ ආශාව නුඹ කෙරෙහි වන්නේය.”—උත්පත්ති 4:6, 7.
යෙහෝවඃවහන්සේට අව්‍යාජ ලෙස ප්‍රේම කිරීම, හුදෙක් පූජා ඔප්පු කිරීමට වඩා යමක් අදහස් කරයි. ‘යහපත කරන්ට’ කියා යෙහෝවඃවහන්සේ කායින්ට දිරිගැන්වූයේ ඒ හේතුව නිසාය. දෙවියන්වහන්සේට අවශ්‍ය වූයේ කීකරුකමය. දෙවියන්වහන්සේට එවන් කීකරුකමක් දැක්වීම, කායින්ට මැවුම්කරුවාණන් සමඟ ප්‍රේමනීය සබඳතාවක් පවත්වාගැනීම සඳහා හොඳ අත්තිවාරමක් ගොඩනඟාගැනීමට උපකාරයක් වන්ට තිබිණ. බයිබලයෙහි, මෙම වදන්වලින් කීකරුකමේ ඇති වටිනාකම අවධාරණය කරයි: “ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක්ද? පූජාවට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය.”—1 සාමුවෙල් 15:22.
පසුව, මෙම සංකල්පය 1 යොහන් 5:3හි තිබෙන වදන් මගින් හොඳින් ස්ථාපිත කරනු ලැබීය: “දෙවියන්වහන්සේට ප්‍රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය. උන්වහන්සේගේ ආඥා බර නැත.” යෙහෝවඃවහන්සේට ඇති අපගේ ප්‍රේමය පෙන්වීම සඳහා, උන්වහන්සේගේ අධිකාරයට යටත්වීමට වඩා වෙනත් හොඳ ක්‍රමයක් නොමැත. බයිබලයේ සදාචාර නීති මාලාවට කීකරුවීම මින් අදහස් කෙරේ. (1 කොරින්ති 6:9, 10) ඉන් යහපතට ප්‍රේම කිරීමත්, නපුරට ද්වේෂ කිරීමත් අදහස් කෙරේ.—ගීතාවලිය 97:10; 101:3; හිතෝපදේශ 8:13.
අප අසල්වැසියාට දක්වන ප්‍රේමය, දෙවියන්වහන්සේට ප්‍රේමය විදහාපෙන්වීමේ එක් වැදගත් අංගයකි. බයිබලය අපට මෙසේ පවසයි: “යමෙක්: දෙවියන්වහන්සේට ප්‍රේමකරමියි කියා තමාගේ සහෝදරයාට වෛරකෙරේ නම්, ඔහු බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම්, තමා නුදුටු දෙවියන්වහන්සේට ප්‍රේමකරන්ට ඔහුට නුපුළුවන.”—1 යොහන් 4:20.
දෙවියන්වහන්සේ සමඟ සමීප සබඳතාවක් පැවැත්විය හැක
සමහරුන් ඇතැම්විට පවසන්නේ, ‘මම යෙහෝවඃවහන්සේට නමස්කාර කරනවා. උන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු වෙනවා. මගේ අසල්වැසියන්ට සාධාරණව සලකනවා. මම මේ හැම දෙයක්ම කරනවා. ඒත්, මට ඇත්තටම දෙවියන්වහන්සේට සමීපබවක් හැඟෙන්නේ නැහැ. මට උන්වහන්සේ කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් හැඟෙන්නේ නැති අතර, මෙය මට වරදකාරිබවක් හැඟීමට සලස්වනවා,’ කියාය. යෙහෝවඃවහන්සේ සමඟ එවන් සමීප සබඳතාවක් පවත්වාගැනීම සඳහා තමන් නොවටිනා බව සමහරුන් කල්පනා කළ හැක.
අවුරුදු 37කට ආසන්න කාලයක් පුරා යෙහෝවඃවහන්සේට කැප වූ සේවයක් පිරිනැමීමෙන් පසු, එක් ක්‍රිස්තියානියෙක් මෙසේ ලීවේය: “බොහෝවිට, මගේ ජීවිතය තුළ මම යෙහෝවඃවහන්සේට කරන සේවයේදී නොසැලකිලිමත් ලෙස ක්‍රියා කරන බව මට හැඟී ඇති අතර, ඒ මම උන්වහන්සේට මුළු හදින්ම සේවය නොකළ නිසා විය හැකිය. එහෙත් කරන්ට තිබූ නිවැරදි දේ යෙහෝවඃවහන්සේට සේවය කිරීම බව මා දැන සිටි අතර, එය නැවැත්වීමට මා ඉඩහරින්නේ නැත. කෙසේවෙතත්, ඔහුගේ හෝ ඇයගේ ‘හෘදය යෙහෝවඃවහන්සේට ඇති ප්‍රේමයෙන් පිරුණු’ බව පවසන යමෙකු ගැන මා කියවන සෑමවිටකම, මා මෙසේ කල්පනා කරමි, ‘මට කිසිදා එසේ හැඟී නැති නිසා, මට කුමක් සිදු වී තිබේද?’ ” අපට දෙවියන්වහන්සේ සමඟ සමීප සබඳතාවක් ඇති කරගත හැක්කේ කෙසේද?
ඔබ කෙනෙකුට සැබවින්ම ප්‍රේම කරන විට, සෑමවිටම එම පුද්ගලයා ගැන කල්පනා කරන්නේය. ඔබ ඔහු කෙරෙහි සැලකිල්ල දක්වන බැවින්, ඔහුට සමීපව සිටීමට ඔබට දැඩි ආශාවක් තිබේ. ඔබ ඔහුව වැඩියෙන් දකින තරමට, ඔහු සමඟ කතා කරන හා ඔහු ගැන කල්පනා කරන තරමටම, ඔහු සඳහා ඇති ඔබේ ප්‍රේමයද වර්ධනය වේ. දෙවියන්වහන්සේ සඳහා ඔබගේ ප්‍රේමය වර්ධනය කිරීම සම්බන්ධයෙන්ද මෙම ප්රතිපත්තියම අදාළ වේ.
ගීතාවලිය 77:12හි, ආනුභාවය ලත් ලේඛකයා මෙසේ ප්‍රකාශ කරයි: “ඔබගේ කර්මාන්ත සියල්ල ගැන භාවනාකරන්නෙමි, ඔබගේ ක්‍රියා ගැන මෙනෙහි කරන්නෙමි.” දෙවියන්වහන්සේට ප්‍රේමය වර්ධනය කිරීමේදී, මෙනෙහි කිරීම අතිවැදගත් දෙයක් වේ. උන්වහන්සේ අදෘශ්‍යමාන වන නිසා මෙය විශේෂයෙන්ම සැබෑවකි. එහෙත් ඔබ උන්වහන්සේ ගැන වඩාත් වැඩියෙන් කල්පනා කරන තරමටම, උන්වහන්සේ ඔබට වඩාත් සැබෑ කෙනෙකු වනු ඇත. උන්වහන්සේ ඔබට සැබෑ පුද්ගලයෙකු වන බැවින්, ඔබට උන්වහන්සේ සමඟ හෘදයාංගම හා ස්නේහවන්ත සබඳතාවක් ගොඩනඟාගත හැක්කේ එවිට පමණි.
යෙහෝවඃවහන්සේගේ මාර්ග හා උන්වහන්සේ කටයුතු කරන ආකාරය මත නිතර මෙනෙහි කිරීමට ඔබට ඇති නැඹුරුවාව, ඔබ උන්වහන්සේට කෙතරම් වාර ගණනක් ඇහුම්කන් දෙනවාද යන්න මත රඳා පවතී. උන්වහන්සේගේ වචනය වන බයිබලය නිතිපතා කියවීමෙන් හා අධ්‍යයනය කිරීමෙන් ඔබ ඇහුම්කන් දෙන්නේය. ගීතිකාකරු සන්තෝෂවත් මිනිසෙකුව විස්තර කරන්නේ, “ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ” කෙනෙකු වශයෙන්ය.—ගීතාවලිය 1:1, 2.
යාච්ඤාව තවත් වැදගත් අංගයකි. “සියලු කාලවලදී,” “යාච්ඤාවේ යෙදීසිටීම,” “යාච්ඤාවෙහි නොකඩව පැව[තීම]” සහ “නොකඩව යාච්ඤාකරපල්ලා” යනුවෙන් බයිබලය අපට නැවත නැවතත් අවවාද කරන්නේ ඒ හේතුව නිසාය. (එපීස 6:18; 1 කොරින්ති 7:5; රෝම 12:12; 1 තෙසලෝනික 5:17) අප යෙහෝවඃවහන්සේට නොකඩවා යාච්ඤා කිරීමෙන්, උන්වහන්සේ කෙරෙහි අප තුළ ස්නේහයක් ඇති කරවන අතර, උන්වහන්සේ අපට ඇහුම්කන් දෙන බවට වූ සහතිකය අපව උන්වහන්සේ වෙතට සමීප කරවයි. ගීතිකාකරු විසින් මෙසේ ප්‍රකාශ කරනු ලැබූ විට, මෙය සනාථ කරනු ලැබීය: “ස්වාමීන්ට ප්‍රේමකරමි, මක්නිසාද උන්වහන්සේ මාගේ ශබ්දයද මාගේ කන්නලව්වද ඇසූසේක. උන්වහන්සේ මා දෙසට කන් නැමූ බැවින් ජීවත්ව සිටින තෙක් මම උන්වහන්සේට යාච්ඤාකරන්නෙමි.”—ගීතාවලිය 116:1, 2.
ප්‍රේමයේ දෙවියන්වහන්සේව අනුකරණය කිරීම
යෙහෝවඃවහන්සේ අපට යහපත්ය. විශ්වයේ මැවුම්කරුවාණන් වශයෙන්, සැබවින්ම උන්වහන්සේට මනසේ තබාගැනීමට සහ සැලකිල්ල දැක්වීමට බොහෝ කාරණා තිබේ. එහෙත්, කෙතරම් මහිමාන්විත වුවත්, උන්වහන්සේ තවමත් ස්වකීය මනුෂ්‍ය මැවිල්ලට සැලකිල්ල දක්වන බව බයිබලය අපට පවසයි. උන්වහන්සේ අපට ප්‍රේම කරනසේක. (1 පේතෘස් 5:6, 7) තම වදන්වලින් ගීතිකාකරු මෙය මෙසේ සනාථ කරයි: “අපගේ ස්වාමිවූ ස්වාමීන්වහන්ස [යෙහෝවඃවහන්ස, NW], ඔබගේ නාමය පෘථිවිය මුළුල්ලෙහි කොපමණ උතුම්ද! ඔබ ස්වකීය මහිමය අහස්තල මත්තෙහි තැබූසේක. ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල; ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?”—ගීතාවලිය 8:1, 3, 4.
යෙහෝවඃවහන්සේ මැරෙනසුලු මනුෂ්‍යයාව මතකයේ තබාගෙන සිටින්නේ කෙසේද? බයිබලය මෙසේ පිළිතුරු දෙයි: “අප කෙරෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප ජීවත්වන පිණිස උන්වහන්සේ ලෝකයට එවූ කාරණයෙන්ය. ප්‍රේමය මේය, එනම් අප දෙවියන්වහන්සේට ප්‍රේමකළා නොව උන්වහන්සේ අපට ප්‍රේමකොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය.”—1 යොහන් 4:9, 10.
මෙම ශාන්තිකර පූජාව දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැක්වීමේ ශ්‍රේෂ්ඨතම සාක්ෂිය වන්නේ කෙසේද? ඒදන් උයනේ සිදු වූ දේ අපි සලකා බලමු. සදහටම පරිපූර්ණ ජීවිතයක අපේක්ෂාවකින් යුතුව යෙහෝවඃවහන්සේගේ ව්‍යවස්ථාවට යටත්වීම හෝ මරණය ප්‍රතිඵල වන ආකාරයකින් යෙහෝවඃවහන්සේට විරුද්ධව කැරලිගැසීම යන තීරණයට මුහුණ දීමට ආදම් සහ ඒවට සිදු විය. ඔවුහු කැරලිගැසීමට තෝරාගත්තෝය. (උත්පත්ති 3:1-6) එසේ කිරීමෙන් ඔවුහු සියලු මනුෂ්යවර්ගයාවද මරණයට තීන්දු කළෝය. (රෝම 5:12) අපටම තීරණ ගැනීමට ඇති ප්‍රස්තාව ඔවුහු හිතුවක්කාර ලෙස අපෙන් උදුරා ගත්තෝය. අප කිසි කෙනෙකුට මේ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි විය.
කෙසේවෙතත්, යෙහෝවඃවහන්සේ මැරෙනසුලු මනුෂ්‍යයාගේ විපත්තිය වටහාගෙන, ඔහුව ප්‍රේමනීය ලෙස ස්වකීය මතකයේ තබාගෙන සිටිනසේක. යෙහෝවඃවහන්සේ ස්වකීය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ යාගික මරණය තුළින්, අප එකිනෙකාට ජීවනය හෝ මරණය, කීකරුකම හෝ කැරලිගැසීම තෝරාගැනීමට නීත්‍යනුකූල පදනමක් සපයා දී තිබෙනසේක. (යොහන් 3:16) එය යෙහෝවඃවහන්සේ අධිකරණයෙහි අපට අපේම දිනයක් නියම කළා හා සමානය—එනම් උපමාලංකාරයෙන් පවසනවා නම්, ඒදන් උයනට නැවත ගොස් අපටම තීරණ ගැනීමට හැකියාවක් ලැබුණා හා සමානය. මෙය වනාහි, ප්‍රේමය දැක්වීමෙහිලා කරන ලද ශ්‍රේෂ්ඨතම විදහාපෑම වේ.
ස්වකීය කුලුඳුලාව අවමානයට ලක් කර, වධහිංසා කර, අපරාධකරුවෙකු මෙන් වධ කණුවක එල්ලූ ආකාරය දුටු විට, යෙහෝවඃවහන්සේ විඳදරාගත් වේදනාව සම්බන්ධයෙන් කල්පනා කර බලන්න. තවද දෙවියන්වහන්සේ එය විඳදරාගත්තේ අප වෙනුවෙන්ය. යෙහෝවඃවහන්සේ අපට පළමුව ප්‍රේම කිරීමට මුලපිරීම පිළිබඳ අපගේ අවබෝධය, උන්වහන්සේට ප්‍රේම කිරීමටත්, උන්වහන්සේව සෙවීමටත් අපව පෙලඹවිය යුතුය. (යාකොබ් 1:17; 1 යොහන් 4:19) බයිබලය අපට මෙසේ ආරාධනා කරයි, “ස්වාමීන් හා උන්වහන්සේගේ ශක්තිය සොයව්; උන්වහන්සේගේ මුහුණ නිතරම සොයව්. උන්වහන්සේ කළ පුදුම ක්‍රියාද උන්වහන්සේගේ ආශ්චර්යයන්ද උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු විනිශ්චයන්ද සිහිකරව්.”—ගීතාවලිය 105:4, 6.
දෙවියන්වහන්සේ සමඟ පෞද්ගලික ඇලුම්කමක් හා ප්‍රේමනීය සබඳතාවක් ඇතුව සිටීම මෙන්ම උන්වහන්සේගේ මිතුරෙකුව සිටීම යථාර්ථවාදී නොවන යමක් නොවේ. එය අත් කරගත හැකිය. දෙවියන්වහන්සේට ඇති අපගේ ප්‍රේමය, මනුෂ්‍ය සබඳතා සමඟ ස්ථිර ලෙස සමාන කිරීමට අපට නොහැකි බව සැබෑය. අප අපගේ කලත්‍රයාට, දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට, දරුවන්ට හෝ මිතුරන්ට දක්වන ප්‍රේමය, දෙවියන්වහන්සේට දක්වන ප්‍රේමයට වඩා වෙනස්ය. (මතෙව් 10:37; 19:29) යෙහෝවඃවහන්සේට ප්‍රේම කිරීමෙහි, උන්වහන්සේට අපගේ භක්තිය, නමස්කාරය හා කොන්දේසි විරහිත කැපවීමක් පිරිනැමීම ඇතුළත් වේ. (ද්විතීය කථාව 4:24) වෙනත් කිසිදු සබඳතාවකට එවැනි දේ ඇතුළත් නොවේ. එහෙත් අපට දෙවියන්වහන්සේ සඳහා ගෞරවාන්විත මෙන්ම ගරුබිය දනවන ආකාරයකින් දැඩි හා ගැඹුරු චිත්තවේග වර්ධනය කළ හැකිය.—ගීතාවලිය 89:7.
අසම්පූර්ණ වුවත්, ඔබටත් කායින් හා ආබෙල් මෙන් ඔබගේ මැවුම්කරුවාණන්ට ප්‍රේම කිරීමට හැකියාව තිබේ. කායින් තම තේරීම කළ අතර, ඔහු සාතන් සමඟ හවුල් වී, මනුෂ්‍යයන් අතරින් ප්‍රථම මිනීමරන්නා බවට පත් වූයේය. (1 යොහන් 3:12) මීට පටහැනිව, ආබෙල්ව ඇදහිලිවන්ත හා ධර්මිෂ්ඨ මිනිසෙකු ලෙස යෙහෝවඃවහන්සේ විසින්ම සිහි කරනු ඇති අතර, පැමිණෙන පාරාදීසයෙහි ජීවනයේ විපාකය ඔහුට දෙනු ඇත.—හෙබ්‍රෙව් 11:4.
ඔබටත් තේරීමක් තිබේ. දෙවියන්වහන්සේගේ ආත්මය හා වචනය උපකාරයෙන්, ඔබට සැබවින්ම “ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු ශක්තියෙන්ද” දෙවියන්වහන්සේට ප්‍රේම කළ හැකිය. (ද්විතීය කථාව 6:5, NW) යෙහෝවඃවහන්සේ වනාහි, උන්වහන්සේව “සොයන්නන්ට විපාකදෙන කෙනෙකු” වන බැවින්, උන්වහන්සේද ඔබට නොකඩවා ප්‍රේම කරනු ඇත.—හෙබ්‍රෙව් 11:6.
[7වන පිටුවේ පින්තූරය]
ආබෙල්ගේ පූජාව දෙවියන්වහන්සේගේ පිළිගැනීමට පාත්‍ර විය