අප දෙවියන්වහන්සේට යාච්ඤා කළ යුත්තේ කෙසේද?
ගෝලයෙකු යාච්ඤාව සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා සිටි විට, යේසුස්වහන්සේ ඔහුට එය දීම ප්‍රතික්ෂේප නොකළසේක. ලූක් 11:2-4ට අනුව, උන්වහන්සේ මෙසේ පිළිතුරු දුන්සේක: “නුඹලා යාච්ඤාකරන කල—පියාණෙනි, ඔබගේ නාමයට ගෞරවවේවා. ඔබගේ රාජ්‍යය ඒවා. අපේ දවස්පතා භෝජනය අපට දවසින් දවස දුන මැනව. අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමුව. අප පරීක්ෂාවට නොපැමිණෙවුව මැනව.” මෙය පොදුවේ ස්වාමීන්වහන්සේගේ යාච්ඤාව ලෙස හඳුන්වනු ලැබේ. එය තොරතුරු සම්භාරයක් ගෙනහැර දක්වයි.
එක් දෙයක් නම්, අපගේ යාච්ඤා යොමු කළ යුත්තේ කා වෙතටද යන්න මුල් වචනයෙන්ම අපට පවසයි—එනම් අපගේ පියාණන්වහන්සේටය. වෙනත් පුද්ගලයෙකුට, රූපයකට, “මුනිවරුන්ට” හෝ උන්වහන්සේට පවා යාච්ඤා කිරීමට ක්‍රිස්තුස්වහන්සේ කිසිදු ඉඩක් නොදුන් බව සැලකිල්ලට ගන්න. ඇත්තෙන්ම කියනවා නම්, දෙවියන්වහන්සේ විසින් මෙසේ පවසා තිබිණ: “මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි.” (යෙසායා 42:8) එනිසා නමස්කාරකයා කෙතරම් අවංක වුවත්, අපගේ ස්වර්ගික පියාණන්ට හැර වෙනත් ඕනෑම දෙයකට හෝ ඕනෑම කෙනෙකුට යොමු කරනු ලබන යාච්ඤා උන්වහන්සේ අසන්නේ නැත. බයිබලයෙහි, ‘යාච්ඤා අසන තැනැන්වහන්සේ’ ලෙස හඳුන්වා තිබෙන්නේ යෙහෝවඃවහන්සේව පමණි.—ගීතාවලිය 65:2.
දෙවියන්වහන්සේ සමඟ මැදිහත්කරුවන් ලෙස “මුනිවරුන්” ක්‍රියා කරන බව සමහරෙකු පැවසිය හැක. එහෙත් යේසුස්වහන්සේම මෙසේ උපදෙස් දුන්සේක: “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත, නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත්, පුත්‍රයා තුළ පියාණන්වහන්සේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ටකරන්නෙමි.” (යොහන් 14:6, 13) මෙලෙස මුනිවරයෙකු ලෙස හඳුන්වනු ලබන ඕනෑම කෙනෙකුට මැදිහත්කරුගේ කාර්යභාරය දැරිය හැකිය යන අදහස යේසුස්වහන්සේ සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමූසේක. ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් පැවසූ දෙයත් සලකා බලන්න: “මැරුණෙත්, ඒ ඇර මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවෙත්, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි සිට අප උදෙසා මැදහත්කම් කරන්නෙත් ක්‍රිස්තුස්වහන්සේය.” “උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නන් උදෙසා මැදහත්කම්කරන පිණිස උන්වහන්සේ නිරතුරුම ජීවත්වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන.”—රෝම 8:34; හෙබ්‍රෙව් 7:25.
ගෞරව කළ යුතු නාමය
යේසුස්වහන්සේගේ යාච්ඤාවේ ඊළඟ වදන් වූයේ මේවාය: “ඔබගේ නාමයට ගෞරවවේවා.” කෙනෙකු දෙවියන්වහන්සේගේ නාමය දැන එය භාවිත කළොත් මිසක, නැත්නම් එයට ගෞරව කරන්නෙත්, එනම් ප්‍රශංසා කරන්නෙත්, නැත්නම් වෙන් කර දක්වන්නෙත් කෙලෙසද? “පරණ ගිවිසුම” තුළ 6,000 වාරයකටත් වඩා වැඩියෙන් දෙවියන්වහන්සේව, යෙහෝවා යන පෞද්ගලික නාමයෙන් හඳුන්වා තිබේ.
දෙවියන්වහන්සේගේ නාමය සම්බන්ධව, කතෝලික ඩුඒ වර්ෂන්හි නික්මයාම 6:3 මත පදනම් පාදසටහනක් මෙසේ පවසයි: “හෙබ්‍රෙව් ලියවිලිවල දක්නට ලැබෙන [දෙවියන්වහන්සේගේ] නාමයේ සැබෑ උච්චාරණය බොහෝ කලක සිට භාවිතයේ නොතිබීමත් දැන් සම්පූර්ණයෙන්ම පාහේ භාවිතයේ නොතිබීමත් නිසා . . . , නවීන දින අයගෙන් සමහරෙකු යෙහෝවා යන නාමය සාදාගෙන තිබේ.” එබැවින් කතෝලික නිව් ජෙරුසලම් බයිබල්හි යාහ්වේ යන නාමය භාවිත කරයි. සමහර විශාරදයන් එම උච්චාරණයට කැමැත්තක් දැක්වුවත්, “යෙහෝවා” යන්න, දිව්‍ය නාමය ඉංග්‍රීසියෙන් උච්චාරණය කරන නීත්‍යනුකූල හා බොහෝ කලක සිට පැවත තිබෙන ආකාරයකි. දිව්‍ය නාමය උච්චාරණය කිරීම සඳහා වෙනත් භාෂාවලට ඒවාටම ආවේනික වූ ක්‍රම තිබේ. ප්‍රධාන දෙය නම්, නාමයට ගෞරවය ගෙන දෙන පිණිස අප එය භාවිත කිරීමයි. යාච්ඤාවේදී යෙහෝවා යන නාමය භාවිත කිරීමට ඔබගේ පල්ලිය ඔබට උගන්වා තිබේද?
යාච්ඤාව සඳහා උචිත විෂයන්
ඊළඟට යේසුස්වහන්සේ සිය ගෝලයන්ට මෙසේ යාච්ඤා කිරීමට ඉගැන්වූසේක: “ඔබගේ රාජ්‍යය ඒවා.” මතෙව්ගේ සුවිශේෂය මෙම වචන එකතු කරයි: “ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” (මතෙව් 6:10) දෙවියන්වහන්සේගේ රාජ්‍යය යනු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ හස්තයෙහි තිබෙන ආණ්ඩුවකි. (යෙසායා 9:6, 7) බයිබල් අනාවැකිවලට අනුව, ළඟදීම එය සියලුම මනුෂ්‍ය ආණ්ඩු නැති කර දමා ලෝක ව්‍යාප්ත සමාදානයේ යුගයක් ගෙනෙනු ඇත. (ගීතාවලිය 72:1-7; දානියෙල් 2:44, 45; එළිදරව් 21:3-5) එමනිසා සැබෑ ක්‍රිස්තියානීන් රාජ්‍යයේ පැමිණීම ඔවුන්ගේ යාච්ඤාවල නැවත නැවත මතු වන මාතෘකාවක් කරගනිති. එසේ කිරීමට ඔබගේ පල්ලිය ඔබට උගන්වා තිබේද?
අපගේ යාච්ඤාවලට අපට බලපාන පෞද්ගලික කාරණාත් ඇතුළත් කළ හැකි බව යේසුස්වහන්සේ පෙන්වීම සිත්ගන්නා කරුණකි. උන්වහන්සේ මෙසේ පැවසූසේක: “අපේ දවස්පතා භෝජනය අපට දවසින් දවස දුන මැනව. අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමුව. අප පරීක්ෂාවට නොපැමිණෙවුව මැනව.” (ලූක් 11:3, 4) එදිනෙදා කාරණාවලදී අපට දෙවියන්වහන්සේගේ කැමැත්ත සෙවිය හැකි බවත්, අපව කනස්සල්ලට පත් කළ හැකි හෝ අපගේ මනසේ සමාදානයට බාධා කළ හැකි ඕනෑම දෙයක් සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේ වෙතට යා හැකි බවත් යේසුස්වහන්සේගේ වචන අඟවයි. මෙයාකාරයෙන් නිතිපතා දෙවියන්වහන්සේට කන්නලව් කිරීම, උන්වහන්සේ මත අපගේ රඳා පැවතීම අගය කිරීමට අපට උපකාර කරයි. මෙලෙස අපි අපගේ ජීවිතවලට උන්වහන්සේගේ බලපෑම තිබෙන බව වඩාත් හොඳින් දැනගන්නෙමු. අපගේ වැරදිවලට අපට සමාව දෙන මෙන් දිනපතා දෙවියන්වහන්සේගෙන් ඉල්ලාසිටීමද සමානාකාරයෙන් ප්රයෝජනවත්ය. එමගින් අපි අපගේ දුර්වලකම් ගැන වඩාත් සාවධාන වන අතර, වෙනත් අයගේ අඩුලුහුඬුකම් ගැන වඩාත් ඉවසිලිවන්තව කටයුතු කරන්නෙමු. විශේෂයෙන්ම මෙම ලෝකයේ පිරිහෙමින් පවතින සදාචාරය ගැන සලකා බැලීමේදී පරීක්ෂාවලින් ගැළවීම සඳහා අප යාච්ඤා කළ යුතු බවට වූ යේසුස්වහන්සේගේ දිරිගැන්වීමද උචිත වේ. එම යාච්ඤාවට එකඟව, වැරදි කිරීමට අපව මඟ පෙන්විය හැකි අවස්ථාවන් සහ තත්වයන්ගෙන් වැළකීමට අපි පරෙස්සම් වන්නෙමු.
එනිසා දෙවියන්වහන්සේව ප්‍රසන්න කරන යාච්ඤා ඉදිරිපත් කිරීම සඳහා ස්වාමීන්වහන්සේගේ යාච්ඤාවෙන් අපට බොහෝ දේ උගත හැකි බවට කිසිදු සැකයක් නැත. එහෙත් මෙම යාච්ඤාව, හුදෙක් නිතිපතා පුන පුනා කීම යේසුස්වහන්සේ අදහස් කළසේක්ද?
යාච්ඤාව සම්බන්ධයෙන් තවත් උපදෙස්
යේසුස්වහන්සේ යාච්ඤාව සම්බන්ධයෙන් තවත් උපදෙස් දුන්සේක. මතෙව් 6:5, 6හි මෙසේ කියවීමට තිබේ: “නුඹලා යාච්ඤාකරන කල්හි වංචාකාරයන් කරන්නාක්මෙන් නොකරල්ලා. මක්නිසාද මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔව්හු සිනගෝගවලත් මංසන්ධිවලත් සිටගෙන යාච්ඤාකිරීමට සතුටුවෙති. . . . නුමුත් නුඹ යාච්ඤාකරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට යාච්ඤාකරපන්න, එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ නුඹට විපාකදෙනසේක.” යම් කෙනෙකුගේ සිත දිනාගැනීම සඳහා ප්‍රදර්ශනයක් ආකාරයට කැපීපෙනෙන අන්දමින් යාච්ඤා ඉදිරිපත් නොකළ යුතු බව මෙම වචන අපට උගන්වයි. බයිබලය උදක්ම ඉල්ලා සිටින්නාක් මෙන්, පෞද්ගලිකව ඔබ ඔබගේ හෘදය යෙහෝවඃවහන්සේට වගුරුවන්නෙහිද?—ගීතාවලිය 62:8.
යේසුස්වහන්සේ මෙම අනතුරු ඇඟවීම දුන්සේක: “යාච්ඤාකිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවූ වචන කියාගන කියාගන නොයල්ලා. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති.” (මතෙව් 6:7) යාච්ඤා කටපාඩම් කිරීම හෝ යම් පොතකින් කියවීම යේසුස්වහන්සේ අනුමත නොකළ බව පැහැදිලිය. උන්වහන්සේගේ වචන, කොන්තය පාවිච්චි කළ නොහැකි බවත් පෙන්වයි.
කතෝලික යාච්ඤා පොතක් මෙලෙස ඒත්තුගනී: “අපගේ හොඳම යාච්ඤාව හෘද පෙලඹීමෙන් පිට වන අපගේම අදහස් විය හැකිය, එනම් එය කෘතඥතාවෙන් නැතහොත් අවශ්‍යතාවන් ඇති විටෙක, දුක්බර අවස්ථාවලදී හෝ උන්වහන්සේ සඳහා වූ අපගේ භක්ත්‍යාදරය නොකඩවා දෛනිකව පිදීමට අප උන්වහන්සේ දෙසට හැරෙන විටය.” යේසුස්වහන්සේගේ යාච්ඤා හෘද පෙලඹීමෙන් පිටවූ ඒවා මිස, කට පාඩමින් ඉදිරිපත් කළ ඒවා නොවේ. එක් නිදසුනකට, යොහන් 17වන පරිච්ඡේදයේ වාර්තා කර තිබෙන යේසුස්වහන්සේගේ යාච්ඤාව කියවා බලන්න. යෙහෝවඃවහන්සේගේ නාමය විශුද්ධ කරනවා දැකීමට වූ යේසුස්වහන්සේගේ කැමැත්ත අවධාරණය කරමින්, එය ආදර්ශ යාච්ඤාවට අනුකූල වේ. යේසුස්වහන්සේගේ යාච්ඤා හෘද පෙලඹීමෙන් මෙන්ම සිතට කාවැදුණු ඒවා විය.
යෙහෝවඃ දෙවියන්වහන්සේ සවන් දෙන යාච්ඤා
කටපාඩමින් යාච්ඤා කිරීමට, “මුනිවරුන්ට” හෝ රූපවලට යාච්ඤා කිරීමට, නැතහොත් කොන්තය වැනි ආගමික වස්තු පාවිච්චි කර යාච්ඤා ඉදිරිපත් කිරීමට ඔබට උගන්වා තිබේ නම්, යේසුස්වහන්සේ දැක්වූ ආකාරයට යාච්ඤා කිරීමේ අදහස පළමුව බිය ජනිත කරන්නාක් මෙන් පෙනෙන්ට පුළුවන. එහෙත් ප්‍රධාන දෙය වන්නේ දෙවියන්වහන්සේව, එනම් උන්වහන්සේගේ නාමය, අරමුණු සහ පෞද්ගලිකත්වය දැන හඳුනාගැනීමයි. බයිබලය හොඳින් අධ්‍යයනය කිරීමෙන් ඔබට මෙය ඉටු කරගත හැක. (යොහන් 17:3) මේ සම්බන්ධයෙන් ඔබට උපකාර කිරීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සූදානමින් හා කැමැත්තෙන් සිටිති. “ස්වාමීන් යහපත් බව රස බලා දැන” ගැනීමට ලොව පුරා මිලියන ගණන් අයට ඔවුහු උපකාර කර ඇත්තාහ! (ගීතාවලිය 34:8) ඔබ වැඩි වැඩියෙන් දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට පැමිණෙත්ම, ඒ තරමටම උන්වහන්සේට යාච්ඤාවෙන් ප්‍රශංසා කිරීමට ඔබ පෙලඹෙන්නෙහිය. ගෞරවාන්විත යාච්ඤාව මගින් ඔබ වඩ වඩා යෙහෝවඃවහන්සේට ළං වන තරමටම උන්වහන්සේ සමඟ වූ ඔබගේ සබඳතාවත් වඩාත් කිට්ටු වේ.
එබැවින්, දෙවියන්වහන්සේගේ සියලුම සැබෑ නමස්කාරකයන්ගෙන් ‘නොකඩවා යාච්ඤා’ කිරීමට උදක්ම ඉල්ලා තිබේ. (1 තෙසලෝනික 5:17) ඔබගේ යාච්ඤා, සැබවින්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපදෙස් ඇතුළුව බයිබලය සමඟ එකඟව තිබෙන බවට නිසැක වන්න. මෙයාකාරයෙන් ඔබගේ යාච්ඤාවලට දෙවියන්වහන්සේගේ අනුමැතිය ලැබෙන බවට ඔබට සහතික විය හැක.
[7වන පිටුවේ පින්තූරය]
අප යෙහෝවඃවහන්සේ ගැන වැඩි වැඩියෙන් ඉගෙනගනිත්ම, ඒ තරමටම හෘදයෙන් උන්වහන්සේට යාච්ඤා කිරීමට අපි පෙලඹෙන්නෙමු