“සහජයෙන්ම ප්‍රඥාවන්ත” සතුන්ට අපට ඉගැන්විය හැකි දේ
වායු සමීකරණය, ප්රතිහිමායකය, ලවණතාව ඉවත් කිරීම සහ සෝනා, 20වන ශතවර්ෂය තුළ මනුෂ්‍යවර්ගයා අතර ප්‍රසිද්ධ වී තිබෙන සොයාගැනීම් වේ. එහෙත් වසර දහස් ගණනකට පෙර ඒවා සත්ව ලෝකයෙහි පැවතිණ. එසේය, එවන් “සහජයෙන්ම ප්‍රඥාවන්ත” සතුන් අධ්‍යයනය කිරීමෙන් මනුෂ්‍යවර්ගයා ප්‍රයෝජන ලබති. (හිතෝපදේශ 30:24-28, NW; යෝබ් 12:7-9) ඇතැම් සතුන්, මනුෂ්‍යවර්ගයාගේ කතා නොකරන ගුරුවරුන් බවට පත් වී ඇති අතර, උන්ව පරීක්ෂා කිරීමෙන් අපට මහත් උනන්දුවක් ඇති කරගත හැකි බව පෙනෙන්ට තිබේ.
ඇතැම් සතුන්ගේ ගතිලක්ෂණ සලකා බැලීමෙන් අපට ප්‍රයෝජන ලැබිය හැකිද? ඇත්තෙන්ම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය අනුගාමිකයන්ව, බැටළුවන්ට, සර්පයන්ට, පරෙවියන්ට හා පළඟැටියන්ට පවා සමාන කළසේක. උන්වහන්සේ මෙම සතුන් හා සිය අනුගාමිකයන්ව සැසඳූ විට උන්වහන්සේගේ මනසේ තිබුණේ කුමක්ද? අපි බලමු.
“මාගේ බැටළුවෝ මාගේ හඬ අසති”
බයිබලයෙහි බැටළුවන් සම්බන්ධයෙන් වාර 200කට වඩා වැඩියෙන් සඳහන් කර තිබේ. ස්මිත්ස් බයිබල් ඩික්ෂනරි පැහැදිලි කරන ආකාරයට, “බැටළුවා මොළොක්කමේ, ඉවසීමේ හා යටත්කමේ සංකේතයකි.” යෙසායා 53වන පරිච්ඡේදයේ, අනාවැකිමය වශයෙන් යේසුස්වහන්සේවම බැටළුවෙකුට සමාන කර තිබිණ. උන්වහන්සේ එම සත්වයාටම සිය අනුගාමිකයන්ව සැසඳීම කෙතරම් උචිතද! එහෙත් යේසුස්වහන්සේ මනසේ තබාගෙන සිටියේ බැටළුවාගේ කිනම් විශේෂ ගතිලක්ෂණද?
“මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති,” යනුවෙන් යේසුස්වහන්සේ පැවසූසේක. (යොහන් 10:27) මෙලෙස උන්වහන්සේ සිය ගෝලයන්ගේ මොළොක්කම හා උන්වහන්සේව අනුගමනය කිරීමට ඇති දැඩි කැමැත්ත කැපීපෙනෙන්ට සැලැස්සූසේක. සැබෑ බැටළුවෝ තම එඬේරාට ඇහුම්කන් දෙන අතර, ඔහුව කැමැත්තෙන්ම අනුගමනය කරති. එඬේරාද රැළට සමීප ඇලුම්කමක් දක්වයි.
තණ කමින් සිටින විටදී, රැළක් තණපිටිය පුරා විසිරී සිටිය හැකි මුත්, සෑම බැටළුවෙකුම මුළු රංචුව සමඟ එකට රැඳී සිටියි. එමෙන්ම, සතුන්ට සුරක්ෂිතභාවයක් නොදැනෙන විට හෝ බිය වූ විට, “උන්ට ඉක්මනින්ම එකට එකතු විය හැකි බව” ආලෙස් ෆූර් ඩාස් ෂාෆ් (බැටළුවන් වෙනුවෙන් කැප වී) නමැති පොත ප්‍රකාශ කරයි. අනතුරකින් ගැළවීම සඳහා බැටළුවන් දිව ගියහොත්, උන් වරින් වර තත්වය සෝදිසි කිරීමට නවතින අතර, එසේ කරන්නේද රැළක් වශයෙනි. “වරින් වර නැවතෙමින් පලා යෑමෙන්, බැටළු පැටවුන්ට හා වඩාත් දුර්වල සතුන්ට රැළ සමඟ එකට ගමන් කිරීමට හැකි කරවයි. රැළ උන්ට විශේෂ ආරක්ෂාවක් පවා සලස්වයි.” මෙම හැසිරීමෙන් අපට උගත හැක්කේ කුමක්ද?
අදදින සැබෑ ක්‍රිස්තියානීන්, ක්‍රිස්තියානි ලෝකයේ නිකායන් අතර විසිරී සිටින්නේ නැත. ඒ වෙනුවට, ඔවුහු එක රැළක් තුළට එක්රැස් වී සිටිති. සෑම ක්‍රිස්තියානියෙකුටම දෙවියන්වහන්සේගේ මෙම රැළ කෙරෙහි පෞද්ගලික ඇලුම්කමක් හැඟෙන අතර, මෙය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානයේ සමඟියට දායක වේ. අර්බුදයක් හටගන්නා සෑම අවස්ථාවකදීම—එනම් එය බරපතළ අසනීපයක්, යුද්ධ හෝ ස්වාභාවික විපතක් වුවත්, සෑම නමස්කාරකයෙකුම මඟ පෙන්වීම හා ආරක්ෂාව සොයන්නේ කොතැනින්ද? ආත්මික සුරක්ෂිතභාවය ඉදිරිපත් කරන, යෙහෝවඃවහන්සේගේ සංවිධානය තුළින්ය.
බයිබල් උපදෙස් ලබාගැනීමට හැකි කරවා තිබෙන්නේ කෙසේද? මුරටැඹ හා එහි සහකාර සඟරාව වන පිබිදෙව්! වැනි ප්‍රකාශන මගින්ය. රැළක සිටින බැටළු පැටවුන්ට හා වඩාත් දුර්වල බැටළුවන්ට අවශ්‍ය වන්නාක් මෙන් අමතර සැලකිල්ලක් අවශ්‍ය කරන අයට පවා, මෙම සඟරා හා ක්‍රිස්තියානි රැස්වීම් විශේෂ උපකාර ඉදිරිපත් කරයි. නිදසුනක් වශයෙන්, තනි දෙමාපියන්ට හා විෂාදයෙන් පීඩා විඳින අයට අවධානය යොමු කරනු ලැබේ. එමනිසා, සෑම සඟරාවක්ම කියවීම, සෑම සභා රැස්වීමකටම යෑම හා අප ඉගෙනගන්නා දේ අදාළ කරගැනීම කෙතරම් ඥානවන්ත වනු ඇද්ද! එමගින් අපි දෙවියන්වහන්සේගේ රැළ කෙරෙහි මොළොක්කමක් හා දැඩි ඇලුම්කමක් විදහාපෙන්වන්නෙමු.—1 පේතෘස් 5:2.
“සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව”
ස්මිත්’ස් බයිබල් ඩික්ෂනරි මෙසේ ප්‍රකාශ කරයි: “පෙරදිග රටවල් පුරා, සර්පයාව අකීකරුකමේ ආත්මයේ, දුෂ්ට ප්‍රතිපත්තියේ සංකේතයක් වශයෙන් යොදාගැනිණ.” අනික් අතට, “මාගේ පරෙවිදෙන” යන්න ස්නේහය ප්‍රකාශ කරන යෙදුමක් විය. (සාලමොන්ගේ ගීතිකාව 5:2) එසේනම්, “සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව” සිටින්න කියා යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට දිරිගැන්වූ විට, උන්වහන්සේගේ මනසේ තිබුණේ කුමක්ද?—මතෙව් 10:16.
යේසුස්වහන්සේ දේශනා කිරීම හා ඉගැන්වීම සඳහා උපදෙස් දෙමින් සිටිසේක. උන්වහන්සේගේ ගෝලයන්ට මිශ්‍ර ප්‍රතිචාරයක් අපේක්ෂා කිරීමට හැකි විය. කිහිපදෙනෙකු උනන්දුව දක්වනු ඇති අතර, වෙනත් අය ශුභාරංචිය ප්‍රතික්ෂේප කරනු ඇත. ඇතැම් අය දෙවියන්වහන්සේගේ මෙම සැබෑ සේවකයන්ට පීඩා පවා කරනු ඇත. (මතෙව් 10:17-23) ගෝලයන් පීඩාවට ප්‍රතිචාරය දැක්විය යුතුව තිබුණේ කෙසේද?
ඩාස් ඒෆාන්ගේල්යුම් ඩෙස් මාටේඋස්හි (මතෙව් සුවිශේෂයෙහි), මතෙව් 10:16 සම්බන්ධයෙන් ෆ්රිට්ස් රිනෙකර්, මෙසේ ප්‍රකාශ කරයි: “පැමිණිලි කිරීම සඳහා සතුරන්ට වලංගු හේතු ඉදිරිපත් කිරීමට නොහැකි වන පිණිස අඛණ්ඩතාව, අවංකකම සහ ඍජුභාවය සමඟ . . . සුපරීක්ෂාකාරිභාවය සම්බන්ධ කළ යුතුය. යේසුස්වහන්සේගේ තානාපතිවරුන් සිටින්නේ, සැලකිල්ල නොදක්වන මෙන්ම දයාව නොමැතිව හා හැකි සෑම අවස්ථාවකදීම ප්‍රේරිතයන්ට පහර දෙන, අනුකම්පා විරහිත විරුද්ධවාදීන් මධ්‍යයෙහිය. මේ නිසා, සර්පයෙකු මෙන්, විරුද්ධවාදීන් කෙරෙහි නෙත් යොමු කර සිටීමත්, දෘෂ්ටියෙන් සහ අවබෝධයෙන් අවදිව සිටීමෙන් තත්වය ගැන සුපරීක්ෂාකාරිව සිටීමත්; කූට ක්‍රියාමාර්ගවලින් හෝ වංක වීමෙන් වැළකී තත්වය පාලනය කිරීමත්, වචනයෙන් හා ක්‍රියාවෙන් පවිත්‍රව හා සත්‍යවාදීව සිටීමෙන් තමා පරෙවියෙකුට සමාන බව ඔප්පු කර සිටීමත් අවශ්‍ය වේ.”
මතෙව් 10:16හි සොයාගැනීමට තිබෙන යේසුස්වහන්සේගේ වදන්වලින්, දෙවියන්වහන්සේගේ නවීන-දින සේවකයන්ට උගත හැක්කේ කුමක්ද? අදදින, මනුෂ්‍යයන් ශුභාරංචියට ප්‍රතිචාරය දක්වන්නේ, පළමු ශතවර්ෂයේදී කළා හා සමානවය. පීඩාවලට මුහුණ දීමට සිදු වූ විට, සැබෑ ක්‍රිස්තියානීන් සර්පයාගේ දූරදර්ශීභාවය, පරෙවියාගේ පවිත්රත්වය සමඟ සම්බන්ධ කළ යුතු වේ. ක්‍රිස්තියානීහු කිසිදා වංචාව හෝ වංකභාවය යොදා නොගන්නා නමුත්, දූෂ්‍ය වීමකින් තොරව, අව්‍යාජව මෙන්ම අන්‍යයන්ට රාජ්‍ය පණිවුඩය ප්‍රකාශ කිරීමේදී අවංකව සිටිති.
මෙය මෙසේ නිදර්ශනය කළ හැක: හවුල් සේවකයන්, පාසැලේ යෞවනයන් හෝ ඔබගේම පවුලේ සාමාජිකයන් පවා, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වශයෙන් ඔබගේ විශ්වාසයන් පිළිබඳව පරුෂ ප්‍රකාශයන් ඉදිරිපත් කළ හැක. එවිට ඔවුන්ගේ විශ්වාසයන් පිළිබඳවත් පරුෂ ලෙස ක්‍රියා කිරීම, විගසින් ප්‍රතිචාරය දැක්විය හැකි ආකාරය විය හැක. එහෙත් එය අහිංසක ක්‍රියාවක්ද? කිසිසේත් නැත. ඔබගේ විවේචකයන්ගේ අදහස් කිසිදු අයුරකින්වත් ඔබගේ ප්‍රසන්න හැසිරීමට බලපාන්නේ නැති බව ඔබ ඔවුන්ට දැනෙන්ට සැලැස්සුවහොත්, ඔවුන් හොඳ අතට වෙනස් වීමට ඉඩ ඇත. එවිට ඔබ ‘සර්පයෙකු මෙන් නුවණ ඇතුව, පරෙවියෙකු මෙන් අහිංසකව’—සුපරීක්ෂාකාරිව හා නිර්දෝෂව සිටිනු ඇත.
“පළඟැටියන්ගේ ආකාරය යුද්ධයට සැරසී සිටින අශ්වයන්ට සමානය”
“ඉතිහාසයෙහි වාර්තාගත වී ඇති [පළඟැටියන්ගෙන් යුත්] විශාලතම රංචුවකින්,” 1784දී දකුණු අප්‍රිකාව පහර ලැබූ බව ජීඊඕ නම් සඟරාව වාර්තා කරයි. හොංකොංහි ප්‍රමාණය මෙන් පස් ගුණයක් පමණ, එනම් වර්ග කිලෝමීටර් 5,200ක ප්‍රදේශයක් එම රංචුවෙන් වැසී ගියේය. පළඟැටියන් “යන්නාවූ රටවල්වල වෘක්ෂලතාදියට උන් දරුණු විනාශ සිදු කරන බව” ස්මිත්ස් බයිබල් ඩික්ෂනරි ප්‍රකාශ කරයි.
“ස්වාමීන්වහන්සේගේ දවසේදී” සිදුවීමට නියමිත දේවල් සම්බන්ධයෙන් ස්වකීය එළිදරව් කිරීමේදී, යේසුස්වහන්සේ පළඟැටි සේනාවක් පිළිබඳ දර්ශනය යොදාගත්සේක. උන් පිළිබඳව මෙසේ පවසා තිබිණ: “පළඟැටියන්ගේ ආකාරය යුද්ධයට සැරසී සිටින අශ්වයන්ට සමානය.” (එළිදරව් 1:1, 10, 11ආ; 9:3-7) මෙම සංකේතවත් කිරීමෙහි වැදගත්කම කුමක් වීද?
එළිදරව් පොතේ 9වන පරිච්ඡේදයේ සඳහන් පළඟැටියන්, මෙම ශතවර්ෂයෙහි පොළොව මත වෙසෙන දෙවියන්වහන්සේගේ අභිෂේක ලත් සේවකයන්ව පිළිබිඹු කරන බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ බොහෝ කලක සිට වටහාගෙන සිටිති.a මෙම ක්‍රිස්තියානීන්ට විශේෂ කාර්යයක් පවරා තිබේ—එනම් රාජ්‍ය පණිවුඩය පොළොව පුරා දේශනා කර ගෝලයන් සෑදීමයි. (මතෙව් 24:14; 28:19, 20) බාධා ජයගෙන, තම කාර්යයෙහි නොකඩවා නියැලී සිටීම, මෙමගින් ඔවුන්ගෙන් අපේක්ෂා කරනු ලැබේ. මැඩපැවැත්විය නොහැකි පළඟැටියාට වඩා, වෙන කුමකට මෙය වඩා හොඳින් නිරූපණය කළ හැකිද?
දිගින් සෙන්ටිමීටර් 5කට මඳක් වැඩි වුවත්, පළඟැටියා සාමාන්‍යයෙන් දිනකට කිලෝමීටර් 100ත් 200ත් අතර දුර ප්‍රමාණයක් පියාසර කරයි. කාන්තාර පළඟැටියා කිලෝමීටර් 1,000ක දුර ප්‍රමාණයක් පවා පියාසර කරනු ඇත. “උගේ පියාපත්, තත්පරයකට 18 වරක් සැලෙන අතර, එය දිනකට පැය 17ක කාලයක් පුරා එසේ සිදු වේ—මෙය වනාහි වෙනත් කිසිදු කෘමියෙකුට සිදු කළ නොහැකි යමක්” බව ජීඊඕ සඟරාව පැහැදිලි කරයි. එතරම් කුඩා කෘමියෙකුට මොනතරම් විශාල කාර්යයක්ද!
රාජ්‍යයේ ශුභාරංචිය පතුරුවාලීම සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ කණ්ඩායමක් වශයෙන් ස්ථිරව සිටිති. ඔවුහු මේ වන විටත් රටවල් 230කට වඩා වැඩි සංඛ්‍යාවක දේශනා කරති. මෙම සේවය ඉටු කිරීමෙහිලා හවුල්වීම සඳහා, දෙවියන්වහන්සේගේ මෙම සේවකයන් දුෂ්කරතා බොහොමයක් ජයගෙන ඇත. ඔවුන් මුහුණ දෙන්නේ කුමන ආකාරයේ ගැටලුවලටද? අගතිය, නීතිමය තහංචි, අසනීප, අධෛර්යයට පත්වීම් සහ ඥාතීන්ගෙන් විරුද්ධවාදිකම් මින් ස්වල්පයක් පමණි. එහෙත් ඔවුන්ගේ වර්ධනය නවතා දැමීමට කිසිවකට හැකි වී නැත. ඔවුහු දෙවියන්වහන්සේගෙන් ලද තම සේවයට ඇලී සිටිති.
ක්‍රිස්තියානි ගුණාංග දිගටම විදහාපෙන්වන්න
එසේය, යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ව බැටළුවන්, සර්පයන්, පරෙවියන් හා පළඟැටියන්ට සමාන කළසේක. මෙය අපගේ දවසට සැබවින්ම උචිතය. ඒ මන්ද? මෙම දේවල පිළිවෙළේ අවසානය ළඟාවීමත්, පෙරට වඩා වැඩියෙන් ගැටලු දරුණු වීමත් සිදු වන බැවිනි.
යේසුස්වහන්සේගේ උපහැරණාත්මක වදන් මනසේ තබාගෙන, සැබෑ ක්‍රිස්තියානීහු දෙවියන්වහන්සේගේ රැළට සමීපව ඇලී සිටින අතර, යෙහෝවඃවහන්සේගේ සංවිධානය මගින් සපයන උපදෙස් මෘදුකමින් පිළිගනිති. සියලුම කාරණා සම්බන්ධයෙන් දෝෂාරෝපණය කළ නොහැකි වන අයුරින් ක්‍රියා කරන අතරතුර, ඔවුහු ආරක්ෂාකාරිව මෙන්ම තම ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වලට බාධා කළ හැකි තත්වයන් ගැන සුපරීක්ෂාකාරිව සිටිති. එපමණක්ද නොව, බාධා හමුවේ පවා, ඔවුහු දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමෙහි නොකඩවා නියැලෙති. තවද “සහජයෙන්ම ප්‍රඥාවන්ත” ඇතැම් සතුන්ගෙන් ඔවුහු නොකඩවා ඉගෙනගනිති.
[පාදසටහන]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිත, එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟය! යන පොතේ 22වන පරිච්ඡේදය බලන්න.