ත්‍යාගය කෙරෙහි නෙත් සහ හෘදය යොමු කර තැබීම
ඊඩිත් මයිකල් පැවසූ පරිදි
එක්දහස් නවසිය තිස් ගණන්වල මුල්භාගයේදී, අපි අ.එ.ජ., මිසුරී නගරයේ, ශා. ලුවිස්ට කිට්ටුව ජීවත් වෙමින් සිටින විට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් අපිව මුණගැසීමට පැමිණියා. ඒ අවස්ථාවේදීම, අම්මාගේ බබළන සුදු ඇඳුම් මඩට වට්ටවමින් රෙදි වැල කැඩී වැටුණා. ස්ත්රියව පිටත් කර යවන්න ඕනෑ නිසාම, ඈ ඉදිරිපත් කළ පොත් ලබාගෙන, ඒවා රාක්කයක් මත දැමූ පසු ඇයට ඒ ගැන අමතක වුණා.
ඒ කාලය ආර්ථික පරිහානිය සිදු වුණු කාලපරිච්ඡේදය වූ අතර, තාත්තාට රැකියාවක් තිබුණේ නැහැ. නිවසේ කියවීමට යමක් තිබෙනවාද කියා ඔහු දිනක් ඇසුවා. අම්මා ඔහුට එම පොත් ගැන කිව්වා. ඔහු ඒවා කියවීමට පටන්ගත් අතර, ටික වේලාවකට පසු පුදුමයෙන් මෙසේ ප්‍රකාශ කළා: “අම්මේ, මෙයයි සත්‍යය!”
“ආහ්, මේ ඔය අනිත් හැම ආගමක්ම වගේ නිකම් සල්ලි එකතු කරන ආගමක්” කියා ඈ පිළිතුරු දුන්නා. කෙසේවෙතත්, ඔහු සමඟ වාඩි වී ශුද්ධ ලියවිලි පද එකට පෙරළා බැලීමට තාත්තා ඇගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියා. එසේ කළ විට, ඇයටත් ඒත්තුගියා. ඉන්පසු, ඔවුන් සාක්ෂිකරුවන් සෙවීමට පටන්ගත් අතර, ශා. ලුවිස්හි මැද හරියට වෙන්න පිහිටි, නැටුම් සහ වෙනත් උත්සවවලටද පාවිච්චි කළ ශාලාවක් ඔවුන් කුලියට ගෙන එහි හමු වන බව සොයාගත්තා.
තාත්තා සහ අම්මා මාවත් රැගෙන ගියා—මට වයස අවුරුදු තුනක් පමණ වූ අතර, අපට ශාලාව සොයාගැනීමට හැකි වුවත්, ඒ අවස්ථාවේදී නැටුමක් ඉදිරිපත් කරමින් තිබුණා. තාත්තා රැස්වීම් පවත්වන වේලාවන් දැනගත් අතර, පසුව අප එතැනට ගියා. අප පදිංචිව සිටි ප්‍රදේශයට කිට්ටු ස්ථානයකට අපි සතිපතා බයිබල් පාඩමකටද සහභාගි වීමට පටන්ගත්තා. එය පවත්වනු ලැබුවේ, අපව පළමුවෙන්ම මුණගැසීමට පැමිණි ස්ත්‍රියගේ නිවසෙයි. “ඔබගේ පුතාලවත් නොගෙනෙන්නේ ඇයි?” කියා ඈ ඇසුවා. ඔවුන්ට සපත්තු නොතිබුණු බව පැවසීමට අම්මා ලජ්ජා වුණා. අවසානයේදී අම්මා ඒ ගැන පැවසූ විට, ඔවුන්ට සපත්තු සපයනු ලැබූ අතර, මගේ සහෝදරයන්ද අප සමඟ රැස්වීම්වලට යෑමට පටන්ගත්තා.
අම්මාට අපේ නිවස අසල දේශනා කිරීමේ බලප්‍රදේශයක් දී තිබුණු අතර, ඇය ගෙයින් ගෙට සේවයේ යෙදෙන්ට පටන්ගත්තා. ඇය පිටුපස හැංගෙමින් මාත් ගියා. ඇය රිය පැදවීමට ඉගෙනගන්න ඉස්සෙල්ලා, රැස්වීම්වලට යෑමට ශා. ලුවිස්වලට යන බස් රථයක නැඟීම සඳහා, අපිට කිලෝමීටරයකට වඩා වැඩි දුරක් පයින් ගමන් කරන්ට සිදු වුණා. අයිස් සහ හිම වැටෙන කාලයේදී පවා අප රැස්වීම් කිසිදිනක අතපසු කළේ නැහැ.
එක්දහස් නවසිය තිස්හතරේදී, අම්මයි තාත්තයි බව්තීස්ම වුණා. මටත් බව්තීස්ම ලැබීමට අවශ්‍ය වූ අතර, මා සමඟ ඒ ගැන කතා කිරීමට වැඩිහිටි සාක්ෂිකරුවෙකුගෙන් අම්මා ඉල්ලා සිටින තුරුම මා අම්මාට පෙරැත්ත කළා. මට වටහාගැනීමට හැකි ආකාරයකින් ඔහු මගෙන් ප්‍රශ්න බොහොමයක් ඇසුවා. බව්තීස්මය වැළැක්වීම මගේ ආත්මික වර්ධනයට හානියක් විය හැකි නිසා මාව එයින් වැළැක්වීම නොකළ යුතු බව එවිට ඔහු මගේ දෙමාපියන්ට පැවසුවා. එනිසා මට වයස අවුරුදු හයක්ව තිබියදී, ඊළඟට පැමිණි ග්‍රීෂ්ම ඍතුවේදී මා බව්තීස්ම වුණා.
මා සෑම අවස්ථාවකදීම ළඟ තබාගත් හෝම් ඇන්ඩ් හැපිනස් නම් පොත්පිංචයට මා ප්‍රිය කළ අතර, එය මගේ කොට්ටය යට තියාගෙන පවා නිදාගත්තා. මට කටපාඩමින් එය කියවන්න පුළුවන් වන තුරුම, නැවත නැවතත් මා වෙනුවෙන් එය කියවන මෙන් මා අම්මාගෙන් ඉල්ලා සිටියා. පාරාදීසයෙහි සිංහයෙකු සමඟ සිටින කුඩා දැරියකගේ පින්තූරයක් එහි පිටුපස කවරයේ තිබුණා. එම කුඩා දැරිය මා බව මම කියා සිටියා. දෙවියන්වහන්සේගේ නව ලොවෙහි ජීවිතය නමැති ත්‍යාගය මත මගේ නෙත් යොමු කර තබාගැනීම සඳහා එම පින්තූරය මට උපකාර කර තිබෙනවා.
මා බොහෝ සෙයින් ලජ්ජාශීලී වුණත්, එමෙන්ම සමහරවිට වෙව්ලුවත්, මා සෑමවිටම සභා මුරටැඹ පාඩමේදී ප්‍රශ්නවලට උත්තර දෙනවා.
තාත්තාට තම රැකියාව අහිමි වේයයි බියක් තිබුණු නිසා, ඔහු සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය නතර කරදැමීම කනගාටුවට කරුණක්. මගේ සහෝදරයන්ද එසේම කළා.
පූර්ණ-කාලීන දේවසේවය
පුරෝගාමීන්ට නැතහොත් පූර්ණ-කාලීන දේවසේවකයන්ට තම ට්‍රේලර් රථ අපගේ නිවසේ පිටුපස මිදුලේ නවතා තැබීමට අම්මා ඉඩ දුන් අතර, පාසැල් වේලාවෙන් පසු මා ඔවුන් සමඟ දේවසේවයෙහි හවුල් වුණා. මට ඉතා ඉක්මනින්ම පුරෝගාමී සේවයේ නියැලීමට අවශ්‍ය වුවත්, මා වැඩි දුරට ලෞකික අධ්‍යාපනය ලබාගත යුතු බව විශ්වාස කරමින් තාත්තා මෙයට විරුද්ධ වුණා. අවසානයේදී, මට පුරෝගාමී සේවයේ නියැලීමට අවසර දීමට අම්මා ඔහුට කරුණු පැහැදිලි කළා. එනිසා, 1943 ජූනි මාසයේදී, මට වයස අවුරුදු 14ක්ව තිබියදී මා පූර්ණ-කාලීන දේවසේවය ආරම්භ කළා. ගෙදර වියහියදම්වලට දායක වීම සඳහා මා අර්ධ-කාලීන බාහිර රැකියාවක් කළ අතර, ඇතැම් අවස්ථාවලදී පූර්ණ-කාලීනවද වැඩ කළා. එහෙත්, දේශනා සේවයේ මාසික ඉලක්කය වන පැය 150 කරා ළඟාවීමට මට හැකි වුණා.
ඇයට වයස අවුරුදු 17ක්ව තිබියදී, 1943 ජනවාරි මාසයේ සිට පුරෝගාමී සේවය ආරම්භ කළ ඩොරති ක්රේඩන්ව මගේ පුරෝගාමී සහකාරිය වශයෙන් මට සම්බ වුණා. ඇය භක්තිවන්ත කතෝලිකයෙක්ව සිටි නමුත්, මාස හයක් බයිබලය පාඩම් කිරීමෙන් පසු ඇයව බව්තීස්ම කරනු ලැබුවා. බොහෝ වසර ගණනාවකට, ඇය මට දිරිගැන්වීමේ හා ශක්තියේ ප්‍රභවයක් වූ අතර, මාත් ඇයට එසේම වුණා. අපි සහෝදරියන්ටත් වඩා කිට්ටු වුණා.
වර්ෂ 1945 පටන්, සභාවන් නොතිබූ මිසුරීයේ කුඩා නගරවල අපි එකට පුරෝගාමී සේවයේ යෙදුණා. අපි බෝලිං ග්‍රීන්හි රැස්වීම් ශාලාවක් සකස් කරගත් අතර, අම්මා ඇවිත් අපට උපකාර කළා. ඊටපසු සෑම සතියකම අපි නගරයේ සෑම නිවසකටම ගොස්, ශා. ලුවිස්හි සිටි සහෝදරයන්ට පැමිණ ඉදිරිපත් කිරීමට අප සැලසුම් කර තිබුණු ප්‍රසිද්ධ කථාවකට පැමිණීමට මනුෂ්‍යයන්ට ආරාධනා කළා. සතිපතා 40 සිට 50 අතර සංඛ්‍යාවක් පැමිණියා. පසුව, අපි ලුයිෂියානාහි ගුප්ත ආගමික කණ්ඩායමක දේවස්ථානයක් කුලියට ගෙන ඒ දෙයම කළා. ශාලා කුලියට ගැනීමේ වියදම පියවීම සඳහා, අපි සම්මාදම් පෙට්ටි තැබූ අතර, සෑම සතියකම වියදම් සියල්ලම පියවනු ලැබුවා.
ඊළඟට අපි මෙක්සිකෝවේ මිසුරී නගරයට ගිය අතර, එහි කඩ කාමරයක් කුලියට ගත්තා. එම ප්‍රදේශයේ කුඩා සභාවට පාවිච්ච් කිරීම සඳහා අප එය සකස් කරගත්තා. එම ගොඩනැඟිල්ලටම සම්බන්ධ වූ කාමර තිබුණු අතර, අපි එතැන පදිංචි වුණා. මෙක්සිකෝවෙහි ප්‍රසිද්ධ කථා පැවැත්වීමට සැලසුම් කිරීමටත් අපි උපකාර කළා. ඉන්පසු අපි ජනපදයේ අගනුවර වන ජෙෆර්සන් නගරයට ගිය අතර, සෑම සතියේ දවස්වල උදෑසනකම අපි තම කාර්යාලවල සිටි මහජන නිලධාරීන්ව මුණගැසීමට ගියා. අපට අම්මා කෙනෙක් වගේ සිටි ස්ටෙලා විලී සමඟ, රාජ්‍ය ශාලාවට ඉහලින් තිබූ කාමරයක අපි ජීවත් වුණා.
අපි තුන්දෙනා එම ස්ථානයෙන්, ෆෙස්ටස් සහ ක්‍රිස්ටල් යන එකිනෙකට ළඟින් පිහිටි නගරවලට ගියා. උනන්දුව දැක්වූ පවුලක් ජීවත් වූ නිවසක පිටුපස, වාසය කිරීමට හැකි ආකාරයකට පරිවර්තනය කරනු ලැබූ කුකුල් කූඩුවක අපි ජීවත් වුණා. බව්තීස්ම ලත් පුරුෂයන් කිසිවෙක් නොසිටි නිසා, රැස්වීම් සියල්ලක්ම අපි පැවැත්වුවා. අර්ධ-කාලීන රැකියාවක් ලෙස අපි ආලේපන ද්‍රව්‍ය විකුණුවා. අපට ද්‍රව්‍යමය වශයෙන් තිබුණේ ටිකයි. ඇත්තෙන්ම, අපේ හිල් වූ සපත්තු අඩි සාදාගැනීමට අවශ්‍ය තරම්වත් මුදල් වැය කිරීමට අපට නොහැකි වූ නිසා, අපි සෑම උදෑසනකම එයට අලුත් කාඩ්බෝඩ් කැබැල්ලක් දමාගත් අතර, රාත්රියේදී අපි දෙදෙනාම අපට තිබුණු එකම ගවුම සෝදා දැමුවා.
එක්දහස් නවසිය හතළිස්අටේ මුල්භාගයේදී, මට වයස අවුරුදු 19ක්ව තිබියදී, ඩොරතිට සහ මට, මිෂනාරිවරුන් සඳහා පැවැත්වූ වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි 12වන පංතියට ආරාධනාවක් ලැබුණා. මාස පහකින් යුත් පාඨමාලාවෙන් පසු, ශිෂ්‍යයන් සියදෙනා 1949 පෙබරවාරි 6වනදා උපාධි ලබාගත්තා. එය ඉතා සතුටුදායක අවස්ථාවක් වුණා. මගේ දෙමාපියන් පදිංචිය සඳහා කැලිෆෝනියාවට ගොස් තිබුණු අතර, ඒ අවස්ථාවට සහභාගි වීම සඳහා අම්මා එතරම් දුරක් ආවා.
අපගේ පැවරුම වෙත
උපාධිලාභීන් විසිඅටදෙනෙක් ඉතාලියට පැවරුම් ලැබූ අතර, ඩොරති සහ මා ඇතුළු හයදෙනෙක්ව මිලාන් නගරයට යවනු ලැබුවා. වර්ෂ 1949 මාර්තු 4වනදා, අප වුල්කානිආ නම් ඉතාලියානු නැවෙන් නිව් යෝර්ක් නගරයෙන් පිටත් වුණා. එම ගමනට දින 11ක් ගත වූ අතර, රළු මුහුදු අප බොහෝදෙනෙකුට ඔක්කාරය ඇති කළා. අපව මුණගැසීමට හා නැවතත් මිලාන් නගරයට දුම්රියෙන් ගෙනයෑමට සහෝදර බේනාන්ටි, ජෙනොවා මුහුදු තොටට පැමිණියා.
අප මිලාන් නගරයේ මිෂනාරි නිවසට පැමිණි විට, අපගේ කාමරවලට ඉතාලි ජාතික යෞවනියක් දමා තිබූ මල් අපට සොයාගැනීමට හැකි වුණා. මරියා මේරාෆිනා නම් මෙම යෞවනිය, වසර ගණනාවකට පසු ගිලියඩ් පාසැලට ගොස් ඉතාලියට පැමිණි අතර, ඇයයි මමයි මිෂනාරි නිවසක එකට සේවය කළා.
අපි මිලාන් නගරයට ගිය දිනට පසු දින උදෑසන, අප නානකාමරයේ ජනේලයෙන් පිටත බැලුවා. එයට පිටුපස වීථියේ බෝම්බයකින් විනාශ වූ විශාල මහල් නිවාසවලින් යුත් ගොඩනැඟිල්ලක් දකින්ට තිබුණා. අමෙරිකානු බෝම්බ හෙළන අහස් යානයක්, එහි ජීවත් වෙමින් සිටි පවුල් 80වම ජීවිතක්ෂයට පත් කරවමින් වැරදීමකින් බෝම්බයක් හෙළා තිබුණා. වෙනත් අවස්ථාවකදී, කර්මාන්ත ශාලාවකට ඉලක්ක කරනු ලැබූ බෝම්බ, පාසැලකට එල්ල වීමෙන් ළමයින් 500ක් මරුමුවට පත් වී තිබුණා. එනිසා එම මනුෂ්‍යයන් අමෙරිකානුවන්ව එතරම් ප්‍රිය කළේ නැහැ.
මනුෂ්‍යයන් යුද්ධවලින් වෙහෙසට පත් වී සිටියා. තවත් යුද්ධයක් පටන්ගත්තොත්, ඔවුන් බෝම්බවලින් ආරක්ෂා වීමට සපයා ඇති ස්ථානවලට නොගොස්, තමන්ගේම නිවසේ රැඳී, ගෑස් පිටවීමට සලස්වා එතැනම මියයන බව බොහෝදෙනෙක් පැවසුවා. අප එහි පැමිණියේ, එක්සත් ජාතීන්ව හෝ වෙනත් කිසිම මනුෂ්‍ය ආණ්ඩුවක් නියෝජනය කිරීමට නොවන බවත්, අප නියෝජනය කරන්නේ සියලුම යුද්ධ හා එයින් ඇති වන්නාවූ පීඩා අවසන් කරනු ඇති දෙවියන්වහන්සේගේ රාජ්‍යය බවත් අප ඔවුන්ට සහතික කළා.
මිලාන් නම් විශාල නගරයේ, 20දෙනෙකුගෙන් පමණ යුත් එකම සභාව මිෂනාරි නිවසේදී හමු වුණා. දේශනා කිරීම සඳහා බලප්‍රදේශ ඒ වන විටත් සැලසුම් කර නොතිබුණු නිසා, අපි මහල් නිවාසවලින් යුත් විශාල ගොඩනැඟිල්ලකින් සාක්ෂිදැරීම පටන්ගත්තා. පළමු නිවසේදී, තම බිරිඳ පල්ලියෙන් ඉවත් වනවාට කැමැත්තක් දැක්වූ ජාන්ඩිනෝටි මහත්මයා අපට මුණගැසුණු අතර, එනිසා ඔහු අපගේ ප්‍රකාශනවලින් එකක් පිළිගත්තා. ජාන්ඩිනෝටි මහත්මිය, ප්‍රශ්න රාශියක් ඇසීමට සූදානම්ව සිටි අවංක ස්ත්‍රියක්. “ඔබ ඉතාලි භාෂාව ඉගෙනගන්නවා නම් මා සතුටු වෙනවා, එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මට බයිබලය උගන්වන්න” කියා ඈ පැවසුවා.
ඔවුන්ගේ නවාතැනේ සිවිලිම වඩාත් ඉහළින් තිබූ අතර, මද ආලෝකයක් තිබූ නිසා, බයිබලය කියවීම සඳහා ප්‍රමාණවත් ආලෝකය ලබාගැනීමට ඈ රාත්‍රි කාලයේදී පුටුව මේසය උඩ තබා එහි හිඳගන්නවා. “මා ඔබ සමඟ බයිබලය පාඩම් කළොත් මට පල්ලියට යන්න පුළුවන් වෙයිද?” කියා ඇය ඇසුවා. තීරණයක් ගැනීම ඇය සතු බව අප ඇයට පැවසුවා. ඈ ඉරිදා උදේට පල්ලි ගිය අතර, හවස අපගේ රැස්වීම්වලට පැමිණියා. ඊටපසු, දිනක් ඈ මෙසේ පැවසුවා, “මා මීට පස්සේ පල්ලි යන්නේ නැහැ.”
“ඒ ඇයි?” කියා අපි ඇසුවා.
“ඔවුන් බයිබලය උගන්වන්නේ නැති නිසයි, ඒ වගේම මම ඔයගොල්ලන් සමඟ බයිබලය පාඩම් කර සත්‍යය සොයාගෙන තිබෙන නිසයි.” ඇය බව්තීස්ම වූ අතර, සෑම දිනකම පල්ලි යන බොහෝ ස්ත්‍රීන් සමඟ පාඩම් කළා. ඇයට පල්ලි නොයන ලෙස අප පවසා තිබුණා නම්, ඇය පාඩම් කිරීම නතර කිරීමට ඉඩ තිබූ අතර, එනිසාම කිසිදිනක සත්‍යය ඉගෙනගැනීමට නොහැකි වීමට ඉඩ තිබුණු බවත් ඈ පසුව අපට පැවසුවා.
නව පැවරුම්
පසු කලකදී, ඩොරතිට හා මට මෙන්ම තවත් මිෂනාරිවරුන් හතරදෙනෙකුට, එවකට බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු යුද භටයන් විසින් අල්ලාගෙන සිටි ඉතාලියේ ට්‍රිඑස්ට් නම් නගරයට පැවරුම් ලැබුණා. සිටියේ සාක්ෂිකරුවන් දහදෙනෙකු පමණක් වුවත්, පසුව එම සංඛ්‍යාව වර්ධනය වුණා. අපි අවුරුදු තුනක කාලයක් ට්රිඑස්ට්හි දේශනා කළ අතර, එතැනින් ඉවත් වන විට රාජ්‍ය ප්‍රචාරකයන් 40දෙනෙක් සිටි අතර, ඔවුන්ගෙන් 10දෙනෙක් පුරෝගාමීන්ව සිටියා.
අපගේ ඊළඟ පැවරුම වූයේ, සභාවක් නොතිබූ වෙරෝනා නගරයයි. එහෙත් පල්ලිය ලෞකික අධිකාරීන්ව පීඩනයට ලක් කළ විට, අපට එතැනින් ඉවත්වීමට බල කරනු ලැබුවා. ඩොරතිට හා මට රෝමයට පැවරුම් ලැබුණා. එහිදී අපි ගෘහභාණ්ඩ සහිත කාමරයක් කුලියට ගත් අතර, වතිකානුව අසල බලප්‍රදේශයේ වැඩ කළා. ඩොරති, ජෝන් චිමික්ලිස් සමඟ විවාහ වීමට ලෙබනනයට ගියේ අප එහි සිටින අතරතුරේදියි. අපි වසර 12ක තරම් කාලයක් එකට සිටි අතර, මට ඇත්තෙන්ම ඇය නැති පාළුව දැනුණා.
වර්ෂ 1955දී, රෝමයේ වෙනත් ප්‍රදේශයක නව මිෂනාරි නිවසක් නිව් ඇපියන් වේ නමින් හැඳින්වෙන වීථියක විවෘත කරනු ලැබුවා. අප මිලාන් නගරයට පැමිණි රාත්රියේදී, අපගේ කාමරවලට මල් දමා තිබූ මරියා මේරාෆිනා එම නිවසේ සිටි හතරදෙනාගෙන් කෙනෙක්. නගරයේ එම ප්‍රදේශයේ අලුත් සභාවක් පිහිටුවනු ලැබුවා. එම ග්‍රීෂ්ම ඍතුවේ රෝමයේ පැවති ජාත්‍යන්තර සමුළුවෙන් පසු, ජර්මනියේ නූරම්බර්ග් සමුළුවට සහභාගි වීමට මට වරප්‍රසාද ලැබුණා. හිට්ලර්ගේ පාලනය යටතේ බොහෝ පීඩා විඳදරාගත් අය මුණගැසීම කෙතරම් ප්‍රීතියක්ද!
යළි එක්සත් ජනපදයට
වර්ෂ 1956දී, සෞඛ්‍ය ගැටලු නිසා, අසනීප නිවාඩු පිට මා යළි එක්සත් ජනපදයට පැමිණියා. එහෙත් දැන් මෙන්ම උන්වහන්සේගේ නව ලොවෙහිත් සදහටම යෙහෝවඃවහන්සේට සේවය කිරීමේ ත්‍යාගය කෙරෙන් මා මාගේ නෙත් කිසිදිනක අහකට ගත්තේ නැහැ. මා ඉතාලියට නැවත යෑමට සැලසුම් කළා. කෙසේවෙතත්, මට නිව් යෝර්ක් බෘක්ලින්හි පිහිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයෙහි සේවය කළ ඕර්වල් මයිකල්ව මුණගැසුණා. වර්ෂ 1958දී, නිව් යෝර්ක් නගරයේ පැවති ජාත්‍යන්තර සමුළුවෙන් පසු අපි විවාහ වුණා.
ටික කාලයකට පසු පදිංචිය සඳහා වර්ජිනියාවේ, ෆ්රන්ට් රෝයල් වෙත ගිය අතර, අප එහි කුඩා සභාවක් සමඟ සේවය කිරීමෙන් මහත් ආස්වාදයක් ලැබුවා. අපි රාජ්‍ය ශාලාව පිටුපස පිහිටි කුඩා කාමරයක ජීවත් වුණා. අවසානයේදී, 1960 මාර්තු මාසයේදී, අපගේ බිල්පත් ගෙවීම සඳහා ලෞකික රැකියාවක් සොයාගැනීමට අපට බෘක්ලින් වෙත නැවත පැමිණීමට සිදු වුණා. අපට පූර්ණ-කාලීන සේවයෙහි රැඳී සිටීමට හැකිවීම සඳහා, අපි රාත්‍රි කාලයේදී විවිධ බැංකු පිරිසිදු කරමින් වැඩ කළා.
අපි බෘක්ලින්හි සිටි විට, මගේ පියා මියගිය අතර, මගේ පුරුෂයාගේ මව සුළු වශයෙන් ආඝාතයකින් පහර ලැබුවා. එනිසා අපේ අම්මලත් එක්ක සිටීම සඳහා ඔරිගන්හි පදිංචියට යෑමට අප තීරණය කළා. අපි දෙන්නාම එතැන අර්ධ-කාලීන ලෞකික රැකියාවක් සොයාගෙන පුරෝගාමී සේවයේ දිගටම යෙදුණා. වර්ෂ 1964 ශරත් ඍතුවේදී, පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග්හි වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටිහි වාර්ෂික රැස්වීමට සහභාගි වීම සඳහා අප අපගේ අම්මලත් එක්ක රට හරහා ගමන් කළා.
අපි රෝඩ් දූපතට ගිය කාලයේදී, ආර්ලන් මියර් නම් චාරිකා අවේක්ෂකයා හා ඔහුගේ බිරිඳ, අපට රාජ්‍ය ප්‍රචාරකයන් සඳහා වැඩි අවශ්‍යතාවක් තිබූ එහි අගනුවර වන ප්‍රොවිඩන්ස් වෙත යෑමට දිරිගැන්වුවා. මෙම නව පැවරුම පිළිගන්නා ලෙස අම්මලා අපෙන් ඉල්ලා සිටි නිසා, අපි ඔරිගන්වලට නැවත පැමිණි විට, අපගේ ගෘහභාණ්ඩ වැඩි හරියක් විකුණා එතැනට ගියා.
නැවතත් ගිලියඩ් පාසැලට
වර්ෂ 1965 ග්‍රීෂ්ම ඍතුවේදී, අපි යැංකි ස්ටේඩියම්හි සමුළුවකට සහභාගි වුණා. එතැනදී, විවාහක යුවළක් වශයෙන් අපි ගිලියඩ් පාසැලට අයැදුම් කළා. ඊට මසකට පමණ පසු, දින 30කින් නැවත භාර දිය යුතු අයැදුම්පත් ලැබීමෙන් අපි පුදුමයට පත් වුණා. අම්මා යහපත් සෞඛ්‍ය තත්වයකින් නොසිටි නිසා, ඈත එපිට රටකට යෑම සම්බන්ධයෙන් මට කල්පනා කිරීමට සිදු වුණා. එහෙත් මෙසේ පවසමින් ඈ මාව දිරිගැන්වුවා: “ඒ අයැදුම්පත් පුරවන්න. යෙහෝවඃවහන්සේ ඉදිරිපත් කරන ඕනෑම සේවා වරප්‍රසාදයක් සෑමවිටම පිළිගත යුතු බව ඔබ දන්නවා.”
ප්රශ්නය විසඳුණා. අපි අයැදුම්පත් පුරවා යැව්වා. වර්ෂ 1966, අප්‍රියෙල් 25වනදා ආරම්භ වූ 42වන පන්තියට ආරාධනා ලැබීම මොනතරම් පුදුමයක් වුණාද! ඒ කාලයේදී ගිලියඩ් පාසැල පවත්වනු ලැබුවේ, බෘක්ලින්හි නිව් යෝර්ක්වලය. ඊට මාස පහකට වඩා අඩු කාලයකට පසු, 1966 සැප්තැම්බර් 11වන දින 106දෙනෙක් උපාධි ලබාගත්තා.
ආර්ජන්ටීනාවට පැවරුම් ලැබීම
උපාධි ලබාගෙන දින දෙකකින් පසු, අප පේරූහි ගුවන් මාර්ගයකින් ආර්ජන්ටීනාව බලා පිටත් වුණා. අප බුවේනස් අයිරස් වෙත පැමිණි විට, එහි ශාඛා අවේක්ෂක චාර්ල්ස් අයිසන්හවර් අපව ගුවන්තොටුපොළේදී මුණගැසීමට පැමිණ සිටියා. රේගුවේ වැඩ සම්බන්ධයෙන් අපට උපකාර කළ පසු, ඔහු අපව ශාඛා කාර්යාලයට ගෙන ගියා. බඩු අස් කර ගෙන සැලසුම් කරගැනීමට අපට තිබුණේ එක දවසයි; ඊටපසු අපගේ ස්පාඤ්ඤ භාෂා පන්ති ආරම්භ වුණා. පළමු මාසය තුළදී අපි දිනකට පැය 11ක් ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගත්තා. අප දෙවන මාසයේදී, දිනකට පැය හතරක් එම භාෂාව ඉගෙනගෙන, ක්ෂේත්‍ර සේවයේ හවුල්වීමට පටන්ගත්තා.
බුවේනස් අයිරස්හි අපි මාස පහක් සිටි අතර, ඉන්පසු අපව දුම්රියෙන් පැය හතරක් පමණ දුරක් ඇති උතුරු දිශාවේ රොසාරියෝ නම් විශාල නගරයකට යවනු ලැබුවා. එතැන මාස 15කට සේවය කිරීමෙන් පසු, අපව උෂ්ණ කාන්තාර ප්‍රාන්තයක, එනම් උතුරු ප්‍රදේශයේ වඩාත් ඈත නගරයක් වන සැන්ඩියාගෝ ඩෙල් අස්ටෙඅරෝ වෙත යවනු ලැබුවා. අප එහි සිටියදී, මගේ අම්මා 1973 ජනවාරි මාසයේදී මියගියා. මා ඇයව අවුරුදු හතරකින් දැක තිබුණේ නැහැ. ශෝකයට පත් වූ අවස්ථාවේදී මට එය දරාගැනීමට හැකි කරවූයේ, නැවත නැඟිටීම පිළිබඳ ස්ථිර බලාපොරොත්තුව හා අම්මාට අවශ්‍ය වූ ස්ථානයක මා සේවය කරමින් සිටීමයි.—යොහන් 5:28, 29; ක්‍රියා 24:15.
සැන්ඩියාගෝ ඩෙල් අස්ටෙඅරෝහි සිටි මනුෂ්‍යයන් මිත්‍රශීලී අය වූ නිසා, බයිබල් පාඩම් ආරම්භ කිරීමට පහසු වුණා. අපි 1968දී මෙහි පැමිණි විට, රැස්වීම්වලට 20දෙනෙක් හෝ 30දෙනෙක් පමණ පැමිණි නමුත්, ඊට වසර අටකට පසු අපගේ සභාවේ සියදෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සිටියා. මීට අමතරව, ප්‍රචාරකයන් 25ත්, 50ත් අතර සංඛ්‍යාවක් සිටි අලුත් සභා දෙකක් ළඟපාත නගරවල තිබුණා.
නැවතත් එක්සත් ජනපදයට පැමිණීම
සෞඛ්‍ය ගැටලු නිසා, 1976දී නැවතත් පුරෝගාමීන් වශයෙන් අපව එක්සත් ජනපදයට යවනු ලැබුවා—එනම් උතුරු කැරොලිනාවේ ෆේයාර්වෙල් වෙතට. එතැන ස්පාඤ්ඤ භාෂාව කතා කරන බොහෝ මනුෂ්‍යයන්, මධ්‍යම හා දකුණු අමෙරිකාවෙන්, ඩොමිනිකානු සමූහාණ්ඩුවෙන්, පුවටෝ රිකෝවෙන් සහ ස්පාඤ්ඤයෙන් පවා පැමිණ සිටියා. අපට බයිබල් පාඩම් බොහොමයක් තිබූ අතර, ටික කලකට පසු ස්පාඤ්ඤ භාෂා සභාවක් ආරම්භ කරනු ලැබුවා. අවුරුදු අටක තරම් කාලයක් අපි එම පැවරුමෙහි ගත කළා.
කෙසේවෙතත්, බොහෝ මහලුව මෙන්ම ආබාධිතව සිටි මගේ නැන්දම්මා පදිංචි ස්ථානයට කිට්ටුවෙන් ඉන්න අපට අවශ්‍ය වුණා. ඇය පෝර්ට්ලන්ඩ්හි ඔරිගන් නගරයේ ජීවත් වූ නිසා, අපට පෝර්ට්ලන්ඩ්වලට නුදුරින්, වොෂින්ටන්හි වැන්කූවර් නගරයේ ස්පාඤ්ඤ භාෂා සභාවට නව පැවරුමක් ලැබුණා. අපි 1983 දෙසැම්බර් මාසයේ පැමිණෙන විට, සභාව කුඩාවට තිබූ නමුත්, දැන් බොහෝ නවකයන් පැමිණෙන බව අපට පේනවා.
වර්ෂ 1996 ජූනි මාසයේදී, මා පූර්ණ-කාලීන සේවයේ යෙදී අවුරුදු 53ක් සම්පූර්ණ කළ අතර, මගේ පුරුෂයා 1996 ජනවාරි 1වනදා අවුරුදු 55ක් සම්පූර්ණ කළා. මෙම වසර ගණනාව ඇතුළත, සියගණනකට දේවවචනයේ සත්‍යය පිළිබඳ දැනුම ලබාගැනීමට හා ඔවුන්ගේ ජීවිත යෙහෝවඃවහන්සේට කැප කිරීමට උපකාර කිරීමේ වරප්‍රසාදය මට ලැබී තිබෙනවා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් දැන් වැඩිමහල්ලන් සහ පූර්ණ-කාලීන දේවසේවකයන් ලෙස සේවය කරනවා.
ඇතැම් අවස්ථාවලදී, දරුවන් නැති නිසා මට පාළුවක් දැනෙන්නේ නැද්ද කියා මගෙන් අසනු ලබනවා. සැබෑව නම්, යෙහෝවඃවහන්සේ මට බොහෝ ආත්මික දරුවන් මෙන්ම මුනුපුරන් හා මිනිපිරියන් සමඟින් ආශීර්වාද කර තිබෙන බවයි. ඔව්, යෙහෝවඃවහන්සේගේ සේවය තුළ මගේ ජීවිතය අර්ථවත් මෙන්ම විපාකදායි එකක් වී තිබෙනවා. දේවමාළිගාවේ සේවය කිරීම සඳහා තම ජීවිතය කැප කළ එමෙන්ම මහත් වරප්‍රසාද ලත් ඇගේ සේවය නිසා කිසි දිනක දරුවන් නොලත්, යෙප්තාගේ දියණියගේ තත්වය මට තේරුම්ගන්න පුළුවන්.—විනිශ්චයකාරයන් 11:38-40.
මා කුඩා දැරියක්ව සිටියදී මගේ කැපවීම යෙහෝවඃවහන්සේට කළ බව මට තවමත් මතකයි. පාරාදීසය පිළිබඳ චිත්‍රය එදා මෙන් අදත් මගේ මනසේ විචිත්රව තියෙනවා. දෙවියන්වහන්සේගේ නව ලොවෙහි නිමක් නැති ජීවිත ත්‍යාගය කෙරෙහි මගේ නෙත් සහ හෘදය තවමත් යොමු කර තිබෙනවා. ඔව්, මගේ අධිෂ්ඨානය යෙහෝවඃවහන්සේට සේවය කරන්නයි, එය අවුරුදු 50ක පමණ කාලයකට නොවේ, නමුත් උන්වහන්සේගේ රාජ්‍ය පාලනය යටතේ—සදාකාලයටමයි.
[23වන පිටුවේ පින්තූරය]
මගේ උරහිස් මත අත් තබාගෙන සිටින ඩොරති ක්රේඩන් සහ සෙසු පුරෝගාමීන්, වර්ෂ 1943දී
[23වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1953දී, ඉතාලියේ රෝම නගරයේ සෙසු මිෂනාරිවරියන් සමඟ
[25වන පිටුවේ පින්තූරය]]
මගේ සැමියා සමඟ