ඔවුහු යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කළහ
පෙන්තකොස්ත දිනයේදී පේතෘස් දේශනා කරයි
එය පොදු යුගයේ 33 වසරේ වසන්ත සමයේ සෞම්‍ය උදෑසනක් විය. කලබල සහිත වාතාවරණයකි! ප්‍රබෝධිත යුදෙව්වන්ගෙන් මෙන්ම අන්‍ය ආගමකට හරවන ලද සෙනඟගෙන් යෙරුසලමේ වීදි පිරී තිබිණ. ඔවුහු එලාම්, මෙසොපොතාමියාව, කපදෝකියාව, මිසරය සහ රෝමය වැනි ප්‍රදේශවලින් පැමිණ සිටියහ. තම දේශීය ඇඳුමෙන් සැරසී සිටි ඔවුන්ව දැකීමත්, ඔවුන්ගේ විවිධ භාෂාවන් ඇසීමත් කෙතරම් චමත්කාරජනක දෙයක් වීද! මෙම විශේෂ අවස්ථාවට පැමිණීම සඳහා සමහරු කිලෝමීටර දෙදහකට වැඩියෙන් ගමන් කර තිබුණාහ. එය කුමක් වීද? එය වනාහි පෙන්තකොස්ත දිනයයි—එනම් බාර්ලි අස්වැන්නේ අවසානය සංකේතවත් කරන ප්‍රීතිමත් යුදෙව් උත්සවයකි.—ලෙවී කථාව 23:15-21.
දේවමාළිගාවේ පූජාසනය මත ඔප්පු කළ දේවලින් දුම් වළලු ඉහළට නැඟිණ, එමෙන්ම ලෙවීවරු හලෙල් නමැති ප්‍රශංසා ගීතිකා ගායනා කළහ. (ගීතාවලිය 113 සිට 118) පෙරවරු 9ට මදකට පෙර පුදුම දනවන යමක් සිදු විය. “තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක්” ස්වර්ගයෙන් පැමිණියේය. එයින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් 120දෙනෙකු පමණ රැස්ව සිටි මුළු නිවසම පිරුණේය. ශුද්ධ ලියවිලිමය විස්තරය මෙසේ පවසයි: “ගිනි වැනිවූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය; එය ඔවුන් එක්එක්කෙනා කෙරෙහි පිහිටුණේය. ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මය . . . ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.”—ක්‍රියා 2:1-4.
එක් එක්කෙනා තම තමාගේ භාෂාවෙන් අසයි
ඉක්මනින්ම වාගේ, ගෝලයෝ නිවසින් පිටතට පැමිණියෝය. ජනයාට අයත් විවිධ භාෂාවලින් ඔවුන්ට කතා කිරීමට හැකිවීම පුදුමයකි! පර්සියාවෙන් පැමිණි අමුත්තෙකුට හා මිසරයේ වැසියෙකුට තමන්ගේ භාෂාවලින්ම ගලීල ජාතිකයන් කතා කරනවා ඇසෙද්දී, ඔවුන්ට ඇති වූ පුදුමය සිතා බලන්න. සෙනඟ විස්මයට පත්වීමට හේතුව පිළිගත හැකි දෙයකි. ‘මේ කිමෙක්ද?’ කියා ඔවුහු ඇසුවෝය. සමහරෙක් ගෝලයන්ට මෙසේ සරදම් කළෝය: “මොවුන් අලුත් මුද්‍රිකපානයෙන් පිරිලා.”—ක්‍රියා 2:12, 13.
ඊළඟට ප්‍රේරිත පේතෘස් නැඟිට සෙනඟ ඇමතුවේය. අන්‍ය භාෂාවලින් කතා කිරීමේ මෙම ආශ්චර්යවත් ත්‍යාගය “මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි” කියා අනාගතවක්තෘ යෝවෙල් කරණකොටගෙන දෙවියන්වහන්සේ කළ පොරොන්දුවේ ඉටුවීමක් බව ඔහු පැහැදිලි කළේය. (ක්‍රියා 2:14-21; යෝවෙල් 2:28-32) එසේය, දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධාත්මය යේසුස්වහන්සේගේ ගෝලයන් මත මේ දැන් වැගිරෙව්වා පමණි. යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිටවනු ලැබූ බවටත්, දැන් දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටින බවටත් මෙය පැහැදිලි සාක්ෂියක් විය. “එබැවින් නුඹලා විසින් කුරුසියෙහි ඇණගැසුවාවූ මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් ස්වාමීන්වහන්සේද ක්‍රිස්තුස්වහන්සේද කරනු ලැබූ බව ඉශ්‍රායෙල්ගේ මුළු වංශය නිසැකව දැනගනී[වා]” කියා පේතෘස් පැවසුවේය.—ක්‍රියා 2:22-36.
සවන්දෙන්නන් ප්‍රතික්‍රියා කළේ කෙසේද? විස්තරය මෙසේ පවසයි, “අනිනලද සිත් ඇතුව: සහෝදරයෙනි, අප විසින් මක්කරන්ට ඕනෑදැයි පේතෘස්ගෙන්ද අනික් ප්‍රේරිතයන්ගෙන්ද ඇසුවෝය.” පේතෘස් මෙසේ පිළිතුරු දුන්නේය: “නුඹලා සියල්ලෝම පසුතැවිලිව . . . බව්තීස්මය ලබන්න” තුන්දාහක් පමණ එලෙසම කළෝය! ඉන්පසුව, “ඔව්හු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහි . . . ස්ථිරලෙස පැවතුණහ.”—ක්‍රියා 2:37-42.
මෙම ඉතා වැදගත් අවස්ථාවේදී පෙරමුණ ගැනීමෙන්, යේසුස්වහන්සේ පේතෘස්ට දීමට පොරොන්දු වූ “ස්වර්ගරාජ්‍යයේ යතුරු[වලින්]” පළමු එක ඔහු පාවිච්චි කළේය. (මතෙව් 16:19) මෙම යතුරු විවිධ මිනිස් කණ්ඩායම්වලට විශේෂ වරප්‍රසාද විවෘත කළේය. මෙම පළමු යතුර, යුදෙව්වන්ට ආත්මයෙන් ආලේප ලත් ක්‍රිස්තියානීන් බවට පත්වීමට හැකි කරවීය. පසුව, දෙවන හා තෙවන යතුරුවලින් මෙම ප්රස්ථාවම පිළිවෙළින් සමාරිතානුවන්ට හා අන්‍යජාතීන්ට ලබාගැනීමට හැකි කරවීය.—ක්‍රියා 8:14-17; 10:44-48.
අපට උගත හැකි පාඩම්
මෙම යුදෙව් හා අන්‍ය ආගමකට හරවන ලද සෙනඟ දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ මරණයට ප්‍රජා වගකීම දැරුවත්, පේතෘස් ඔවුන්ව ගෞරවයෙන් යුතුව “සහෝදරයෙනි” කියා ඇමතුවේය. (ක්‍රියා 2:29) ඔහුගේ ඉලක්කය වූයේ ඔවුන්ව හෙළාදැකීම නොව, පසුතැවිලි වීමට පෙලඹවීමය. එනිසා, ඔහුගේ එළඹීම ඒකාන්ත විය. ඔහු සත්‍ය කරුණු ඉදිරිපත් කළ අතර, ශුද්ධ ලියවිලි උපුටා දැක්වීම් මගින් තම කරුණුවලට අනුබල දුන්නේය.
අදදින ශුභාරංචිය දේශනාකරන්නන් පේතෘස්ගේ ආදර්ශය අනුගමනය කිරීමට වෑයම් කිරීම යෙහෙකි. ඔවුන් තම සවන්දෙන්නන් සමඟ පොදු අත්තිවාරමක් ගොඩනැංවීමට උත්සාහ කළ යුතු අතර, අනතුරුව ඔවුන්ට ශුද්ධ ලියවිලි තුළින් තර්කානුකූලව හේතු පහදා දිය යුතුය. බයිබල් සත්‍යයන් ඒකාන්ත ආකාරයකින් ඉදිරිපත් කරනු ලබන විට, හරිහෘද ඇත්තන් ප්‍රතිචාර දක්වනු ඇත.—ක්‍රියා 13:48.
පෙන්තකොස්ත දිනයේදී පේතෘස්ට තිබූ ජ්වලිතය හා නිර්භීතකම, සති හතකට පමණ පෙර තමා යේසුස්වහන්සේව ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී තිබුණාට වඩා හාත්පසින්ම වෙනස්ව කැපීපෙනෙන්ට විය. එම අවස්ථාවේදී පේතෘස් මිනිසුන්ට තිබූ බිය නිසා කිසිවක් කරකියා ගත නොහැකිව සිටියේය. (මතෙව් 26:69-75) එහෙත් යේසුස්වහන්සේ පේතෘස් වෙනුවෙන් කන්නලව් කර තිබිණ. (ලූක් 22:31, 32) යේසුස්වහන්සේගේ නැවත නැඟිටීමෙන් පසුව පේතෘස්ට පෙනී සිටීම තුළින් මෙම ප්‍රේරිතයා ශක්තිමත් වූ බවට කිසිදු සැකයක් නැත. (1 කොරින්ති 15:5) ප්‍රතිඵලයක් වශයෙන්, පේතෘස්ගේ ඇදහිල්ල නිවී ගියේ නැත. කෙටි කාලයක් ඇතුළත, ඔහු නිර්භීතව දේශනා කරමින් සිටියේය. පෙන්තකොස්ත දිනයේදී පමණක් නොව, නමුත් මුළු ජීවිත කාලය පුරාම ඔහු දේශනා කළේය.
පේතෘස් කළාක් මෙන්, අපත් යම් ආකාරයකින් වැරදි කර තිබෙනවා නම් කුමක්ද? අපි පසුතැවිල්ල පිළිබිඹු කර, කමාව සඳහා යාච්ඤා කර, අනතුරුව ආත්මික උපකාරය ලබාගැනීමට පියවර ගනිමු. (යාකොබ් 5:14-16) එවිට, අපගේ පරිශුද්ධ සේවය අපගේ දයාවන්ත ස්වර්ගික පියාණන් වන යෙහෝවඃවහන්සේට පිළිගත හැකි එකක් බවට වූ නිසැකභාවය ඇතුව ඉදිරියට ගමන් කිරීමට අපට හැක.—නික්මයාම 34:6.