සාලමොන් රජුගේ වස්තු සම්භාරය අතිශයෝක්තියක්ද?
‘සාලමොන්ට අවුරුද්දකට ලැබුණු රන්වල බර තලෙන්ත හසිය හැටහයක්ය.’—1 රාජාවලිය 10:15.
එම බයිබල් පදයට අනුව, වසරක කාලයක් තුළදී පමණක්, සාලමොන් රජ රත්රන් ටොන් 25කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගත්තේය. අදදින එහි වටිනාකම $24,00,00,000ක් වනු ඇත. එය, 1800දී ලොව පුරා කණිණු ලැබූ මුළු රත්රන් ප්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්න ප්රමාණයකි. මෙය මෙසේ විය හැකිද? පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්වන්නේ කුමක්ද? බයිබල් වාර්තාවෙහි සඳහන් සාලමොන් රජුගේ වස්තු සම්භාරය සැබවින්ම පිළිගත හැකි යමක් බව එය යෝජනා කරයි. බිබ්ලිකල් ආකියොලජි රිව්යූ මෙසේ ප්‍රකාශ කරයි:
◻ මිසරයේ IIIවන තුට්මෝස් රජ (පො.යු.පෙ. දෙවන සහස්ර වර්ෂය) කානක්හි, අමොන්-රා දේවමාළිගාවට රත්රන් භාණ්ඩ ටොන් 13.5ක පමණ ප්‍රමාණයක් ඉදිරිපත් කළේය—මෙය වනාහි ත්‍යාගයේ කොටසක් පමණි.
◻ පළමුවන ඕසෝකාන් රජු (පො.යු.පෙ. පළමු සහස්ර වර්ෂයේ මුල්භාගයේ), රත්රන් සහ රිදී ටොන් 383ක පමණ ප්‍රමාණයක තෑගි දෙවිවරුන්ට ඉදිරිපත් කළ බව මිසර අභිලේඛනවල වාර්තා වේ.
තවදුරටත්, ග්‍රේට් ඒජස් ඔෆ් මෑන් නමැති කාණ්ඩයේ, ක්ලැසිකල් ග්‍රීස් නම් වෙළුම මෙසේ වාර්තා කරයි:
◻ ත්රාස්වල පිහිටි පාන්ගෙයන් පතල්වලින්, IIවන ෆිලිප් රජු සඳහා (පො.යු.පෙ. 359-336) රත්රන් ටොන් 37ක් සෑම වසරකම කණිණු ලැබීය.
◻ ෆිලිප්ගේ පුත්‍රයා වන මහා ඇලෙක්සැන්ඩර් (පො.යු.පෙ. 336-323 දක්වා) පර්සියානු අධිරාජ්‍යයේ අගනුවර වන සූසා අල්ලාගත් විට, රත්රන් ටොන් 1,200ක පමණ වස්තු එහි තිබී සොයාගනු ලැබීය.
එබැවින් සාලමොන් රජුගේ වස්තු සම්භාරය සම්බන්ධයෙන් බයිබලයෙහි විස්තරය යථාර්ථයෙන් දුරස් යමක් නොවේ. සාලමොන් ඒ කාලයේදී, “වස්තුවෙනුත් ප්‍රඥාවෙනුත් පොළොවේ සියලු රජුන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටි” බව මතක තබාගන්න.—1 රාජාවලිය 10:23.
සාලමොන් තම වස්තු සම්භාරය පාවිච්චි කළේ කෙසේද? ඔහුගේ සිංහාසනයට “ඉතා පවිත්‍ර ර[න්]” ආලේප කර තිබිණ, ඔහුගේ පාන පාත්‍ර “රනින්” වූ අතර, “තළාපු රනින්” සෑදූ විශාල පලිස් 200ක් සහ කුඩා පලිස් 300ක් ඔහුට හිමිව තිබුණේය. (1 රාජාවලිය 10:16-21) මේ සියල්ලටම වඩා, සාලමොන්ගේ රත්රන් පාවිච්චි කරනු ලැබුවේ, යෙරුසලමේ පිහිටි යෙහෝවඃවහන්සේගේ දේවමාළිගාව සඳහාය. දේවමාළිගාවේ පහන්රුක් සහ මස් කොකු, තාලි, පාත්‍ර, තලි වැනි පරිශුද්ධ උපකරණ රනින් සහ රිදියෙන් සාදනු ලැබීය. අතිශුද්ධස්ථානයේ ඇති මීටර් 4.5ක් උසැති කෙරුබ්වරුන්, සුවඳ දුම් ඔප්පු කරන පූජාසනය සහ ගෘහයේ සම්පූර්ණ ඇතුළත පවා රනින් වසා තිබුණේය.—1 රාජාවලිය 6:20-22; 7:48-50; 1 ලේකම් 28:17.
රනින් ආලේප කරනු ලැබූ දේවමාළිගාවක් ගැන කුමක් කිව හැකිද? ඉපැරණි ලෝකයෙහි, එලෙස රත්රන් භාවිත කිරීම අසාමාන්‍ය දෙයක් නොවීම සිත්ගන්නා කරුණකි. මිසරයේ IIIවන අමීනෝෆිස්, “ ‘මුළුමනින්ම රනින් ආලේප කරනු ලැබූ, එමෙන්ම එහි පොළොව රිදීවලින්ද, එහි දොරටු සියල්ලක්ම ඉලෙක්ට්‍රම් යනුවෙන් හඳුන්වනු ලබන රත්රන් සහ රිදීවල මිශ්‍රණයකින්ද,’ සරසන ලද දේවමාළිගාවක් ශ්‍රේෂ්ඨ දෙවි වූ අමුන්ට ගෞරවයක් වශයෙන් මිසරයේ IIIවන අමීනෝෆිස්, තිබීහි ඉදි කළ බව” බිබ්ලිකල් ආකියොලජි රිව්යූ සඳහන් කරයි. තවදුරටත්, අෂූරියේ ඒසර්-හද්දොන් (පො.යු.පෙ. හත්වන සියවස), අෂූර්හි සිද්ධස්ථානයේ දොරවල් සහ බිත්ති රනින් ආලේප කළේය. හාරාන්හි සින් දේවමාළිගාව සම්බන්ධයෙන්, බබිලෝනියේ නෙබෝනීඩස් (පො.යු.පෙ. හයවන සියවස) මෙසේ වාර්තා කළේය: “මම එහි බිත්ති රත්රන් සහ රිදීවලින් සරසා, ඉර මෙන් බැබළීමට සැලැස්සුවෙමි.”
මෙලෙස, බයිබල් වාර්තාවේ සඳහන් සාලමොන් රජුගේ වස්තු සම්භාරය අතිශයෝක්තියක් නොවන බව, ඓතිහාසික වාර්තා යෝජනා කරයි.