යේසුස්වහන්සේ පිළිබඳ සත්‍යය
යේසුස්වහන්සේ කවරෙක් වූවාද යන්න පිළිබඳව හා උන්වහන්සේ ඉටු කළ දේ පිළිබඳ සිද්ධාන්ත හා අනුමාන කිරීම්වල කිසිදු අඩුවක් නොමැති බව පෙනෙන්ට තිබේ. එහෙත් බයිබලය පිළිබඳව කුමක් කිව හැකිද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධයෙන් එය අපට පවසන්නේ කුමක්ද?
බයිබලය පවසන දේ
බයිබලය පරෙස්සමින් කියවන විට, මෙම මූලික කරුණු ඔබේ අවධානයට ලක් වනවා ඇත:
◻ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ඒක-ජාතක පුත්‍රයාණෝය; මුළු මැවිල්ලේ කුලුඳුලාණෝය.—යොහන් 3:16; කොලොස්සි 1:15.
◻ අවුරුදු දෙදහසකට පමණ පෙර, මනුෂ්‍යයෙකු හැටියට උපත ලැබීම සඳහා, දෙවියන්වහන්සේ යේසුස්වහන්සේගේ ජීවිතය යුදෙව් ජාතික කන්‍යාවකගේ ගර්භාශයට මාරු කළසේක.—මතෙව් 1:18; යොහන් 1:14.
◻ යේසුස්වහන්සේ යහපත් මනුෂ්‍යයෙක් පමණක් නොවූසේක. උන්වහන්සේ සෑම ආකාරයකින්ම, සිය පියාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේගේ අලංකාර පෞද්ගලිකත්වයේ විශ්වාසවන්ත ප්‍රතිරූපය වූසේක.—යොහන් 14:9, 10; හෙබ්‍රෙව් 1:3.
◻ යේසුස්වහන්සේගේ භූමික දේවසේවයේදී, හිංසා පීඩාවලට ලක්වූවන්ගේ අවශ්‍යතාවන්ට උන්වහන්සේ ප්‍රේමනීය ලෙස සැලකිල්ල දැක්වූසේක. උන්වහන්සේ ප්රාතිහාර්යමය ලෙස රෝගාතුරව සිටි අයව සුව කර, මළවුන්ව පවා නැවත නැඟිටවූසේක.—මතෙව් 11:4-6; යොහන් 11:5-45.
◻ මානසික පීඩනයට ලක් වී සිටින මනුෂ්‍යවර්ගයාට ඇති එකම බලාපොරොත්තුව දේවරාජ්‍යය බව යේසුස්වහන්සේ ප්‍රකාශ කළ අතර, මෙම දේශනා කිරීමේ වැඩය දිගටම කරගෙන යෑමට උන්වහන්සේ සිය ශ්රාවකයන්ව පුහුණු කළසේක.—මතෙව් 4:17; 10:5-7; 28:19, 20.
◻ පොදු යුගයේ 33 නීසාන් 14වනදා (අප්‍රියෙල් 1වනදා පමණ), යේසුස්වහන්සේව අත්අඩංගුවට ගෙන, නඩු විභාගයකට භාජන කොට, දණ්ඩනයක් නියම කරනු ලැබ, රාජ්‍ය ද්‍රෝහියෙකු බවට වූ වැරදි චෝදනාව පිට මරණයට පත් කරනු ලැබීය.—මතෙව් 26:18-20, මතෙ 26:48–27:50.
◻ යේසුස්වහන්සේගේ මරණය මිදීමේ මිලයක් ලෙස ක්‍රියා කරයි; අදහන මනුෂ්‍යවර්ගයාව, තමන්ගේ පව්කාර තත්වයෙන් නිදහස් කර, උන්වහන්සේ මත ඇදහිල්ල තබන සියලුදෙනාටම එතුළින් සදා ජීවනයේ මාර්ගය විවෘත කරනු ලැබේ.—රෝම 3:23, 24; 1 යොහන් 2:2.
◻ නීසාන් මස 16වනදා, යේසුස්වහන්සේව නැවත නැඟිටුවනු ලැබූ අතර, ඉන් කෙටි කලකට පසුව සිය පරිපූර්ණ මිනිස් ජීවිතයේ මිදීමේ මිලයේ වටිනාකම තම පියාණන්ට ඔප්පු කිරීම සඳහා උන්වහන්සේ යළි ස්වර්ගයට නැංගේය.—මාර්ක් 16:1-8; ලූක් 24:50-53; ක්‍රියා 1:6-9.
◻ යෙහෝවඃවහන්සේගේ පත් කරන ලද රජු වශයෙන්, දෙවියන්වහන්සේ මනුෂ්‍යයා උදෙසා මුලින් අරමුණු කරගෙන තිබුණු දෑ කිරීමට නැවත නැඟිටුවනු ලැබූ යේසුස්වහන්සේට සම්පූර්ණ අධිකාරය තිබේ.—යෙසායා 9:6, 7; ලූක් 1:32, 33.
මෙලෙස දෙවියන්වහන්සේගේ අරමුණු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යේසුස්වහන්සේට ප්‍රධාන වැඩ කොටසක් හිමි බව බයිබලය පෙන්නුම් කරයි. එහෙත් මෙය වනාහි, සැබෑ යේසුස්වහන්සේ—එනම් බෙත්ලෙහෙමේ උපත ලැබ, අවුරුදු 2,000කට පමණ පෙර පොළොව මත ජීවත් වූ ඉතිහාසයේ යේසුස්වහන්සේ බවට ඔබට නිසැක විය හැක්කේ කෙසේද?
නිසැකකම සඳහා පදනම
ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි විවෘත මනසකින් යුක්තව කියවීමෙන් පමණක්ම, සැක බොහොමයක් ඉවත් කළ හැකිය. එසේ කිරීමෙන් ඔබ සොයාගනු ඇත්තේ, මිථ්‍යා ප්‍රබන්ධ මෙන්, බයිබල් වාර්තා අපැහැදිලි ආකාරයකින් සිද්ධීන් විස්තර කර තිබෙන්නක් නොවන බවය. ඒ වෙනුවට, නම්, නිශ්චිත කාලය හා නියමිත ස්ථාන සඳහන් කර තිබේ. (නිදසුනක් වශයෙන් ලූක් 3:1, 2, බලන්න.) එපමණක්ද නොව, යේසුස්වහන්සේගේ ශ්රාවකයන්ව පුදුම දනවන අවංකභාවයකින්, එනම් පාඨකයා තුළ නිසැකකමක් කාවැද්දවීමට සලස්වන නොවළහා කරුණු දැක්වීමකින් පිළිබිඹු කොට තිබේ. විශ්වාසවන්ත වාර්තාවක් පිළියෙළ කිරීමේ අදහසින්, ලේඛකයෝ කිසිවෙකුගේ හෝ තමන්ගේ හෝ වැරදි වසං කිරීමට උත්සාහ නොකළෝය. ඔව්, බයිබලය තුළ සත්‍යතාවක් ගැබ්ව තිබෙන බව ඔබ සොයාගනු ඇත.—මතෙව් 14:28-31; 16:21-23; 26:56, 69-75; මාර්ක් 9:33, 34; ගලාති 2:11-14; 2 පේතෘස් 1:16.
එහෙත් තව බොහෝ දේ තිබේ. පුරාවිද්‍යාත්මක සොයාගැනීම් යළි යළිත් බයිබල් වාර්තාව සහතික කර තිබේ. නිදසුනක් වශයෙන්, ඔබ යෙරුසලමේ ඉශ්රායෙල් කෞතුකාගාරය නැරඹීමට ගියහොත්, පොන්තියුස් පිලාත්ව නමින් සඳහන් කරන ශිලාලේඛනයක් ඔබට දැකගත හැක. මුල් ක්‍රිස්තියානීන්ගේ මිථ්‍යා නිර්මාණ ලෙස සලකනවා වෙනුවට සැබෑ පුද්ගලයන් ලෙස බයිබලය සඳහන් කරන ලූසානියස් හා සර්ගියස් පාවුලස්ව, වෙනත් පුරාවිද්‍යාත්මක සොයාගැනීම් මගින් සහතික කෙරේ. ජුවනාල්, ටැසිටස්, සෙනෙකා, සුටෝනියස්, කනිෂ්ඨ ප්ලිනි, ලූෂන්, කෙල්සස් හා යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් ඇතුළු ඉපැරණි ලේඛකයන්ගේ යොමු දැක්වීම් තුළ, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල (අලුත් ගිවිසුම) වාර්තා කර තිබෙන සිද්ධීන් සම්බන්ධයෙන් තහවුරු කිරීම් බහුල වශයෙන් සොයාගැනීමට තිබේ.a
ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල ඉදිරිපත් කර ඇති වාර්තා, පළමුවන සියවසේ ජීවත් වූ දහස් ගණන් අය විසින් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව පිළිගනු ලැබීය. ක්‍රිස්තියානි ධර්මයේ සතුරන් පවා, යේසුස්වහන්සේ පැවසූ හා කළ බවට වාර්තා කළ දේවල සත්‍යතාව ප්‍රතික්ෂේප කළේ නැත. යේසුස්වහන්සේගේ මරණින් පසු, සිය ශ්‍රාවකයන් විසින් උන්වහන්සේගේ චරිතයට අමතර දේවල් එකතු කළ බවට තිබෙන ඉඩ කඩ සම්බන්ධයෙන්, මහාචාර්ය එෆ්. එෆ්. බෲස් මෙසේ අදහස් ප්‍රකාශ කරයි: “ඇතැම් ලේඛකයන් සිතන බව පෙනෙන ආකාරයට, යේසුස්වහන්සේ පැවසූ වචන හා කළ ක්‍රියා අමුතුවෙන් ගෙතීම, මුල් කාලවලදී සිතන තරම් පහසු දෙයක් නොවීය; ඒ මන්ද කිවහොත්, ඇත්තෙන්ම සිදු වූ මෙන්ම නොවූ දේ ඒ වන විටත් මතකයේ තිබූ උන්වහන්සේගේ ගෝලයන් බොහෝදෙනෙකු ජීවත්ව සිටි බැවිනි. . . . ගෝලයන්ට වැරදි දේ ඇතුළත් කිරීමේ (එපමණක් නොව, කෙනෙකුගේ කැමැත්ත පරිදි සිද්ධීන් වෙනස් කිරීමේ) අවදානම දැරිය නොහැකි විය; ඒ මන්ද කිවහොත්, බොරුවක් හෙළි කිරීමට කැමැත්තෙන් සිටින අය විසින් එය වහාම හෙළි කරනු ලබන බැවිනි.”
ඔවුහු විශ්වාස නොකිරීමට හේතුව
කෙසේවෙතත්, ඇතැම් විශාරදයෝ මේ සම්බන්ධයෙන් සැක සහිතව සිටිති. බයිබල් වාර්තාව මිථ්‍යාවක් ලෙස උපකල්පනය කරන ඔවුහු, ද්විතීය සම්මත ග්රන්ථ ඉතා ඕනෑකමින් සොයන අතර, මේවා විශ්වාස කළ හැකි ඒවා ලෙස පිළිගනිති! ඒ මන්ද? නවීන බුද්ධිමතුන් බොහෝදෙනෙකු විශ්වාස කිරීමට අකමැති දේවල් බයිබලයෙහි අඩංගු බව පැහැදිලි බැවිනි.
වර්ෂ 1871හි ප්‍රකාශිත යූනියන් බයිබල් කම්පැනියන් නම් තම පොතෙහි, එස්. ඔස්ටින් ඇලබොන් අනුමාන කරන්නන්ට අභියෝගයක් ඉදිරිපත් කළේය. ඔහු මෙසේ ලීවේය: “සුවිශේෂයේ සත්‍යතාවන් සම්බන්ධයෙන් සැක කරනවායයි කියා සිටින ඕනෑම කෙනෙකුගෙන් මෙසේ විමසන්න: කැපිටෝල් මන්දිරයේදී සීසර් මියගිය බව හෝ 800දී IIIවන ලියෝ පාප් විසින් ෂාලිමන් අධිරාජ්‍යයාව බටහිර දිශාවේ අධිරාජ්‍යයා වශයෙන් ඔටුනු පළඳවනු ලැබූ බව හෝ විශ්වාස කිරීමට තිබෙන හේතු මොනවාද? . . . මෙම මිනිසුන් සම්බන්ධයෙන් කරනු ලැබූ සියලු ස්ථිරසාර ප්‍රකාශයන් අපි විශ්වාස කරන්නෙමු; . . . ඒ මන්දයත් ඒවායේ සත්‍යතාව ගැන අපට ඓතිහාසික සාක්ෂි තිබෙන බැවිනි. . . . එසේනම්, තහවුරු කරනු ලැබූ මෙවැනි සාක්ෂි තිබියදීත්, යමෙකු තවමත් ඒවා ගැන විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, මුරණ්ඩු මෝඩයන් හෝ වැදගැම්මකට නැති නූගතුන් ලෙස සලකා අපි ඔවුන්ව පසෙකට දමන්නෙමු. එසේනම්, ශුද්ධ ලියවිලිවල නිවැරදිභාවය සම්බන්ධයෙන් දැන් බහුල සාක්ෂි තිබියදීත්, තමන්ට ඒවා ඒත්තුගන්ට නොහැකියයි පවසා සිටින අය ගැන අපි කුමක් කියමුද? . . . තමන්ගේ අහංකාරය යටපත් කරන දේ, එනම් වෙනස් අන්දමේ ජීවිත ගත කිරීමට තමන්ට බල කරවන දේ පිළිගැනීමට ඔවුන් කැමති නැත.”
ඔව්, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි ප්‍රතික්ෂේප කිරීම සඳහා අනුමාන කරන ඇතැම් අයට දුෂ්ට චේතනාවන් තිබේ. ඔවුන්ට ඒ සම්බන්ධයෙන් පැනනඟින ගැටලුව එහි විශ්වාසවන්තභාවය නොව, නමුත් එහි සඳහන් ප්රමිතීන්ය. නිදසුනක් වශයෙන්, යේසුස්වහන්සේ සිය අනුගාමිකයන් සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළසේක: “මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැ[ත].” (යොහන් 17:14) කෙසේවෙතත්, ක්‍රිස්තියානීන්යයි කියා සිටින බොහෝදෙනෙක් මෙම ලෝකයේ දේශපාලනික කටයුතුවලට මෙන්ම ලේ තැවරුණු යුද්ධවලට පවා තදින්ම සම්බන්ධ වී ඇත්තාහ. බයිබල් ප්‍රමිතිවලට යටත් වනවා වෙනුවට, බයිබලය තමන්ගේ ප්‍රමිතිවලට යටත් වනවාට බොහෝ මනුෂ්‍යයන් කැමති වනු ඇත.
සදාචාරය නමැති කාරණයද සලකා බලන්න. වේශ්‍යාකම නමැති ක්‍රියාව පැවතීමට ඉඩහැරීම සම්බන්ධයෙන් යේසුස්වහන්සේ තියාතිරා සභාවට දැඩි උපදෙස් දුන්සේක. “මා වනාහි අදහස්ද [වකුගඩුද, NW] හෘදයන්ද විමසන තැනැත්තා[ය]. . . . මම නුඹලා එක් එක්කෙනාට නුඹලාගේ ක්‍රියා හැටියට දෙන්නෙමි.”b (එළිදරව් 2:18-23) එහෙත් ක්‍රිස්තියානීන්යයි කියා සිටින බොහෝදෙනෙකු සදාචාර ප්‍රමිති ප්‍රතික්ෂේප කිරීම සත්‍යයක් නොවේද? ඔවුන් තමන්ගේ දුරාචාර හැසිරීමේ මාර්ගය ප්‍රතික්ෂේප කරනවා වෙනුවට, යේසුස්වහන්සේ පැවසූ දේ ප්‍රතික්ෂේප කරනු ඇත.
බයිබලයේ සඳහන් යේසුස්වහන්සේව නොපිළිගැනීමට නැඹුරුවීම තුළින්, විශාරදයෝ තමන්ගේම සිතේ මවාගත් යේසුස් කෙනෙකුව නිර්මාණය කර ඇත්තාහ. සුවිශේෂ ලේඛකයන් මිථ්‍යා ප්‍රබන්ධ කරන බව බොරුවට කියා සිටින වරදටම ඔවුහු හසු වෙති. ඔවුහු, යේසුස්වහන්සේගේ ජීවිතයෙහි ඔවුන්ට පිළිගැනීමට වුවමනා කොටස් පමණක් අල්ලාගෙන, ඉතිරි ඒවා ප්‍රතික්ෂේප කර තමන්ගේ අදහස්වලින් යුත් විස්තර කිහිපයක්ද එකතු කරගනිති. සැබෑ තත්වය නම්, ඔවුන්ගේ තැනින් තැන සංචාරය කරන උගතා හෝ සමාජ විප්ලවකාරියා වනාහි ඔවුන් සොයමින් සිටින බව කියා සිටින ඉතිහාසයේ යේසුස්වහන්සේ නොවීමයි; ඒ වෙනුවට ඔවුන්ගේ අදහසට අනුව උන්වහන්සේ ආඩම්බර විශාරදයන්ගේ සිතිවිලිවල යම් ප්‍රබන්ධ කරන ලද කල්පමාත්රයක් පමණි.
සැබෑ යේසුස්වහන්සේව සෙවීම
සත්‍යයට හා ධර්මිෂ්ඨකමට අවංකවම සාපිපාසිතව සිටින්නන්ගේ හෘද අවදි කිරීමට යේසුස්වහන්සේ උත්සාහ කළසේක. (මතෙව් 5:3, NW, මතෙ 5:6; 13:10-15) එවැනි අය යේසුස්වහන්සේගේ මෙම ආරාධනාවට ප්‍රතිචාර දක්වති: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.”—මතෙව් 11:28-30.
සැබෑ යේසුස්වහන්සේ පිළිබඳ තොරතුරු, නවීන විශාරදයන් විසින් ලියනු ලැබූ පොත්වලින් සොයාගත නොහැක; මිනිසා විසින් සාදන ලද සම්ප්රදායන්වලට උත්පාදක භූමියක් වී තිබෙන ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි තුළ පවා උන්වහන්සේව සොයාගත නොහැක. ඔබට ඓතිහාසික යේසුස්වහන්සේව ඔබගේ පෞද්ගලික බයිබල් පිටපතෙන් සොයාගත හැකිය. ඔබ උන්වහන්සේ පිළිබඳ වැඩි විස්තර ඉගෙනගැනීමට සතුටුද? එසේ කිරීම සඳහා ඔබට උපකාර කිරීමට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සතුටු වනු ඇත.
[පාදසටහන්වල]
a වැඩි විස්තර සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිත ද බයිබල්—ගෝඩ්ස් වර්ඩ් ඕර් මෑන්ස් යන ප්රකාශනයේ 5වන පරිච්ඡේදයේ පිටු 55-70 දක්වා බලන්න.
b බයිබලයේ වකුගඩු යොදනු ලබන්නේ, යමෙකුගේ ගැඹුරුම සිතුවිලි හා හැඟීම් දැක්වීමටය.
[6වන පිටුවේ කොටුව]
සියවස් ගණනක විවේචන
“ප්‍රේරිතයන්ගේ ලියවිලිවල තම ඉගැන්වීම් හා යේසුස්වහන්සේ තම ජීවිත කාලයේදී ප්‍රකාශ කළ හා ඉගැන්වූ දේවල් අතර සම්පූර්ණ වෙනසක් දැක්වීමට අපට හොඳ හේතු තිබේ” යනුවෙන් ජර්මානු දර්ශනවාදියෙකු වන හෙර්මාන් සාමූඑල් රයිමාරුස් (1694-1768) ප්‍රකාශ කරද්දී, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි විවේචනය කිරීම මීට අවුරුදු 200කට ඉහතදී ආරම්භ විය. රයිමාරුස්ගෙන් පසුව, ඒ හා සමාන හැඟීම් දැරීමට බොහෝ විශාරදයන්ට උගන්වා තිබේ.
අතීතයේ විසූ විවේචකයන් බොහෝදෙනෙකු, තමන්ව ඇදහිල්ල අත්හැර ගියවුන් ලෙස නොසැලකූ බව සැබෑ යේසුස්වහන්සේ (ඉංග්‍රීසියෙන්) යන පොත සඳහන් කරයි. ඒ වෙනුවට, “මූලධර්ම හා මිථ්‍යා විශ්වාසයේ විලංගුවලින් නිදහස් වීමේ හේතුවෙන්, ඔවුන් තමන්වම දුටුවේ වඩාත් අව්‍යාජ ක්‍රිස්තියානීන් හැටියටය.” ඉහළ පරිමාණයේ විවේචනයක් වනාහි, “ක්‍රිස්තියානි ධර්මයේ නිර්මල වූ ස්වරූපයක්” බව ඔවුන්ට හැඟිණ.
ක්‍රිස්තියානි ලෝකය, මිනිසා විසින් සාදන ලද සම්ප්රදාය සඳහා තෝතැන්නක් වීම කනගාටුවට කරුණකි. අමරණීය ප්‍රාණය, ත්‍රිත්වය හා ගිනිමය නිරය වැනි මූලධර්මයන් වනාහි, බයිබලයට පටහැනි ඉගැන්වීම්වලින් සමහරක් පමණි. එහෙත් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල ලේඛකයෝ, සත්‍යය මෙසේ දූෂණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තෝ නොවූහ. මීට පටහැනිව, ක්‍රිස්තියානීන් බව කියා සිටින අය අතර ඇදහිල්ල අත්හැර යෑම “දැනටම ක්‍රියාකර[න]” බව පාවුල් ලියූ විට, පළමුවන ශතවර්ෂයේ මැදභාගයේදී, ඔවුහු බොරු ඉගැන්වීම්වල ප්‍රථම අංශුමාත්‍රයට විරුද්ධව ක්‍රියා කළෝය. (2 තෙසලෝනික 2:3, 7) ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල වාර්තා කර තිබෙන දෑ ඓතිහාසික හා මූලධර්මීය සත්‍යතාවක් බව අපට සහතික විය හැක.
[7වන පිටුවේ කොටුව]
සුවිශේෂ ලිව්වේ කවදාද?
අලුත් ගිවිසුම විවේචනය කරන බොහෝදෙනෙකු කියා සිටින්නේ, සුවිශේෂවල විස්තර කර තිබෙන සිද්ධීන් ලියනු ලැබුවේ, ඒවා ඉටුවීමෙන් බොහෝ කලකට පසුව බැවින්, ඒවාවල නිසැකවම වැරදි තොරතුරු අඩංගු වන බවයි.
කෙසේවෙතත්, මතෙව්, මාර්ක් හා ලූක් සුවිශේෂ, ඊට වඩා කලින් දිනයක ලියනු ලැබූ බව සාක්ෂිවලින් පෙන්නුම් කරයි. මතෙව් සුවිශේෂයේ ඇතැම් අත්පිටපත්හි පසුසටහන්වල අඟවන්නේ, එහි මුල්ම ලියවිල්ල පො.යු. 41 තරම් මුල් කාලයක ලියනු ලැබූ බවයි. ලූක් සුවිශේෂය ඇතැම්විට පො.යු. 56 සිට 58 අතර කාලයේදී ලියනු ලැබුවා විය හැකිය; මන්ද කිවහොත්, (පො.යු. 61දී සම්පූර්ණ කරනු ලැබුවා විය හැකි) ක්‍රියා පොතෙහි අඟවන්නේ, ලේඛකයා වන ලූක්, තම “ප්‍රථම පොත” එනම් සුවිශේෂය ඒ වන විටත් සම්පූර්ණ කර තිබුණු බවයි. (ක්‍රියා 1:2) මාර්ක්ගේ සුවිශේෂය, ප්‍රේරිත පාවුල්ගේ පළමු හෝ දෙවන සිරගත වීමේ කාලය තුළදී, රෝමයේදී රචනා කරනු ලැබූ බව සලකනු ලැබේ; එනම් පො.යු. 60 සිට 65 අතරතුර කාලය විය හැකිය.
ඊටත් වඩා කලින් දිනයකදී එම සුවිශේෂ රචනා කළ බවට මහාචාර්ය ක්‍රේග් එල්. බ්ලෝම්බෙග් එකඟ වන්නේය. පළමුවන සියවස අවසානයේදී රචනා කරනු ලැබූ යොහන්ගේ සුවිශේෂ එකතු කළ විට පවා, “බොහෝ ඉපැරණි ජීවලේඛන සමඟ සැසඳීමේදී, අපි මුල් සිද්ධීන්වලට බෙහෙවින් සමීපව සිටිනවා,” කියා ඔහු සඳහන් කරයි. නිදසුනක් වශයෙන්, මහා ඇලෙක්සැන්ඩර් පිළිබඳ පැරණිතම ජීවන චරිත ලියූ රචකයෝ දෙදෙනෙක් වන ඇරිඅන් හා ප්ලූටාච්, ඇලෙක්සැන්ඩර්ගේ මරණින් අවුරුදු හාරසියකට වැඩි කාලයකට පසු ක්‍රි.පූ. 323දී ඒවා ලිව්වත්, ඒවා විශ්වාස කළ හැකි යමක් බවට ඉතිහාසඥයෝ සලකති. ඇලෙක්සැන්ඩර්ගේ ජීවිතය පිළිබඳ විස්මය දනවන පුරාවෘත්ත පසු කලකදී වර්ධනය වුවත්, මෙම පුරාවෘත්ත බොහොමයක් බිහි වූයේ, මෙම ලේඛකයන් දෙදෙනාගෙන් පසු ශතවර්ෂ කිහිපය තුළදී පමණි. ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල ඓතිහාසික කොටස්වලට, සැබවින්ම, අඩුම තරමින් ලෞකික පුරාවෘත්තවලට පිරිනමන තරම් විශ්වාසයක්වත් පිරිනැමීම වටී.
[8වන පිටුවේ පින්තූරය]
මතු පැමිණෙන භූමික පාරාදීසයේදී සියල්ලන් තුළ ප්‍රීතිය රජයනවා ඇත