වඩා උතුම් දෙයක් වෙනුවෙන් බොහෝ දේ අත්හැරීම
ජූල්යස් ඕවෝ බෙලෝ පැවසූ පරිදි
අවුරුදු 32ක් තිස්සේ මං ආලාඩරා කෙනෙක්ව හිටියා.a ඇදහිල්ලෙන් කරන සුව කිරීමෙන් හා යාච්ඤා කිරීමෙන් මගේ ගැටලු හා ලෙඩ රෝග ඔක්කොම සුව වෙයි කියලා මං විශ්වාස කළා. මං එක බෙහෙතක්වත්, වේදනාව නැති කරන්න ගන්න පෙතිවත් කවදාක්වත් සල්ලිවලට ගත්තේ නැහැ. ඒ අවුරුදු ගණනාව තුළදී, මගේ පවුලේ කාවවත් ඉස්පිරිතාලයක නැවැත්තුවේ නැහැ. මගේ දරුවෙක් ලෙඩ වුණාම, ඒගොල්ලන්ට හොඳ වෙනකං මං රෑ දවල් නොබලා යාච්ඤා කරනවා. දෙවියන්වහන්සේ මගේ යාච්ඤාවලට උත්තර දෙමින් මට ආශීර්වාද කරනවා කියලා මං විශ්වාස කළා.
බටහිර නයිජීරියාවේ ආකුරි නම් නගරයක එක්බෙ ජොලි නම් ප්‍රසිද්ධ සමාජීය ක්ලබ් එකකට මං අයිති වෙලා හිටියා. මගේ යාළුවෝ අපේ නගරයේ හිටපු පොහොසත්ම හා බලවත්ම මිනිස්සු. ඩෙජි, ඒ කියන්නේ ආකුරියේ රජු, ගොඩක් වෙලාවට මාව බැහැදකින්න මගේ ගෙදරට එනවා.
ඒ විතරක් නෙවෙයි, මං භාර්යාවන් හයදෙනෙක් හා උපභාර්යාවන් හුඟදෙනෙක් ඉන්න බහු විවාහකයෙක්. මගේ ව්‍යාපාරය හොඳට සඵල වුණා. මං කළ හැම දෙයක්ම සාර්ථක වුණා. ඒත්, මුතු ඇටය පිළිබඳ යේසුස්වහන්සේගේ උපමාවේ සංචාරක වෙළෙන්දා වගේ, මමත් හොයාගත් දේ කොච්චර අනර්ඝද කිව්වොත්, මගේ භාර්යාවන් පස්දෙනෙකුත්, මගේ උපභාර්යාවන්, පල්ලිය, සමාජීය ක්ලබ් එක ඒ වගේම ලෞකික ප්‍රසිද්ධියත් මං ඒ වෙනුවෙන් අතහැරියා.—මතෙව් 13:45, 46.
මං ආලාඩරා කෙනෙක් වුණු විදිහ
මට ආලාඩරාලා ගැන මුල් වතාවට ආරංචි වුණේ 1939දියි; එතකොට මට වයස අවුරුදු 13යි. ගාබ්රිඑල් නම් මගේ යාළුවෙක් මට මෙහෙම කිව්වා: “ඔයා ක්‍රිස්තු අපෝස්තලික සභාවට ගියා නම්, දෙවියන්වහන්සේ කතා කරනවා අහගන්න පුළුවන්.”
“දෙවියන්වහන්සේ කතා කරන්නේ කොහොමද?” කියලා මං එයාගෙන් ඇහැව්වා.
ඔහු මෙහෙම කිව්වා: “එන්න, එතකොට ඔයාට බලාගන්න පුළුවන්.”
දෙවියන්වහන්සේට සවන් දෙන්න මං ආශාවෙන් හිටියා. ඒ හින්දා, එදා රෑ, මං ගාබ්රිඑල් එක්ක පල්ලියට ගියා. ඒ කුඩා ගොඩනැඟිල්ල නමස්කාරකයන්ගෙන් පිරිලා තිබුණා. සභාව මෙහෙම ගීතිකා කියන්න පටන්ගත්තා: “එන්න, ජනයෙනි! යේසුස්වහන්සේ ඉන්නේ මෙතනයි!”
මෙම ගී ගැයීම අතරතුරේදී, කවුදෝ මෙහෙම කෑගැහුවා: “ශුද්ධාත්මයාණන්වහන්ස, අප පිට වැඩිය මැනව!” වෙන කවුදෝ කෙනෙක් සීනුවක් නාද කෙරුවා; එතකොට මුළු සභාවම නිශ්ශබ්ද වුණා. ඊට පස්සේ, ස්ත්‍රියක් අමුතු භාෂාවකින් දොඩවන්න පටන්ගත්තා. හදිසියෙන්ම වගේ එයා මෙහෙම කිව්වා: “ජනයෙනි, දෙවියන්වහන්සේගේ පණිවිඩයට සවන් දෙන්න! දෙවියන්වහන්සේ මෙහෙම කියනවා: ‘මනුෂ්‍යයන්ව නොමරන ලෙස දඩයක්කරුවන් වෙනුවෙන් යාච්ඤා කරන්න!’” රැස්වී සිටි හැමෝම බලවත් හැඟීමකින් හිටියා.
දෙවියන්වහන්සේ ඇය තුළින් කතා කළා කියලා මං විශ්වාස කෙරුවා; ඒ හින්දා ඊළඟ අවුරුද්දේ ක්‍රිස්තු අපෝස්තලික සභාවේ සාමාජිකයෙක් හැටියට මාව බව්තීස්ම කරනු ලැබුවා.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව මුලින් මුණගැසීම
වර්ෂ 1951දී, ආඩෙඩෙජි බොබොයේ නම් සාක්ෂිකරුවෙක්ගෙන් මං මුරටැඹ සඟරාවේ පිටපතක් ලබාගත්තා. ඒ සඟරාව රසවත් එකක් වුණ හින්දා, මං ඒකට දායකයක් අරගෙන නිතිපතා කියෙව්වා. වර්ෂ 1952දී, ආඩෝ ඉකිටි නම් නගරයක පැවැත්වූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දින හතරක දිස්ත්‍රික් සමුළුවකට මං ගියා.
සමුළුවේ මං දැකපු දේවල්වලට මගේ සිත ඇදිලා ගියා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක් වීමේ අදහස ගැන මං ගැඹුරට කල්පනා කෙරුවත්, ඒ අදහස හිතින් අයින් කෙරුවා. මගේ ගැටලුවකට තිබුණේ, ඒ කාලය වන විට මට භාර්යාවන් තුන්දෙනෙකුත් උපභාර්යාවකුත් හිටපු එකයි. එක භාර්යාවක් එක්ක විතරක් ජීවත් වෙන එක මට කොහෙත්ම හිතාගන්න බැරි වුණා.
මං ආකුරිවලට ආපුවම මාව හමු වෙන්න එන්න එපා කියලා මං ආඩෙඩෙජිට කිව්වා; මගේ මුරටැඹ දායකයත් මං අලුත් කරගත්තේ නැහැ. මගේ පල්ලියේ වැඩවල මං ගොඩාක් ක්‍රියාශීලීව හවුල් වුණා. කොහොම වුණත් මං මෙහෙම තර්ක කළා; මං ක්‍රිස්තු අපෝස්තලික සභාවට එකතු වූ දවසෙ ඉඳලා දෙවියන්වහන්සේ මට ආශීර්වාද කරලා තියෙනවා. මං භාර්යාවන් තුන්දෙනෙක්ව විවාහ කරගෙන ගොඩාක් දරුවන් බිහි කරලා තිබුණා. මගේම ගේ මං ගොඩනඟාගෙන තිබුණා. මාව කවදාකවත් ඉස්පිරිතාලයකට ඇතුළත් කරලා තිබුණේ නැහැ. දෙවියන්වහන්සේ මගේ යාච්ඤාවලට උත්තර දෙන බව පේන්න තිබුණු හින්දා, මගේ ආගම වෙනස් කරන්නේ මොකටද?
වැඩි වන ප්‍රසිද්ධියත් සමඟම බලාපොරොත්තු සුන්වීම
පල්ලියට ගොඩාක් සල්ලි පරිත්‍යාග කරන්න මං පටන්ගත්තා. ඉක්මනින්ම ඒගොල්ලෝ මාව පල්ලියේ වැඩිමහල්ලෙක් ලෙස පත් කෙරුවා; මේ තනතුරේ ඉඳගෙන මට පල්ලියේ ඇතුළේ වෙන දේවල් දැකගන්න පුළුවන් වුණා. මං දැකපු දේවල් මාව කලබලයට පත් කළා. දේවගැතිවරයා හා “දිවැසිවරුන්” සල්ලිවලට ආශා කළා; ඒගොල්ලන්ගේ තණ්හාව මාව තැතිගැන්නුවා.
උදාහරණයක් හැටියට, 1967 මාර්තු මාසයේදී, විවිධ භාර්යාවන්ගෙන් මට දරුවන් තුන්දෙනෙක් ඉපදුණා. නම් තැබීමේ උත්සවයක් පල්ලියේ පැවැත්වීම සිරිතක්ව තිබුණා. ඒ හින්දා උත්සවය සඳහා සූදානම් කිරීමක් වශයෙන් මං දේවගැතිවරයාට මාළු, ලෙමනේඩ් බීම, ශීත කළ බීම වැනි තෑගි ගෙනිච්චා.
පල්ලියේ පූජාව තිබුණු දවසේදී, දේවගැතිවරයා මුළු සභාවම ඉදිරියේ මෙහෙම කිව්වා: “මේ පල්ලියේ ඉන්න පොහොසත් අය මාව පුදුමයට පත් කරලා තියෙනවා. ඒගොල්ලන්ට නම් තැබීමේ උත්සවයක් පවත්වන්න ඕනෙලු; ඒත් ඒගොල්ලෝ ඒකට ගේන්නේ ශීත කළ බීමයි මාළුයි විතරයි. මස් නැහැ! එළු මස් නැහැ! හිතල බලන්න! කායින් දෙවියන්වහන්සේට අලවර්ග විශාල ප්‍රමාණයක් පූජාවක් හැටියට ඔප්පු කළත්, ඒකෙ ලේ තිබුණෙ නැති හින්දා දෙවියන්වහන්සේ ඒ පූජාව පිළිගත්තේ නැහැ. දෙවියන්වහන්සේට ඕනෙ කරන්නේ ලේ තියෙන දේවල්. ආබෙල් සතෙක්ව ගෙනාවා, එයාගේ පූජාව පිළිගත්තා.”
ඒ එක්කම මං තරහෙන් නැඟිටලා එළියට ගියා. ඒ වුණත්, මං දිගටම පල්ලියට ගියා. හුඟාක් අය එක්ක ආශ්‍රය කරන්නත් මගේ ක්ලබ් එකේ රැස්වීම්වලට යන්නත් මං වෙන් කරපු කාලය වැඩි වුණා. සමහර වෙලාවට මං රාජ්‍ය ශාලාවේ පැවැත්වූ රැස්වීම්වලටත් යනවා; ඒ විතරක් නෙවෙයි මං මුරටැඹ සඟරාවට මගේ දායකයත් අලුත් කරගත්තා. ඒ වුණත්, මං යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක් වෙන්න තවමත් සූදානම් වෙලා හිටියේ නැහැ.
යෙහෝවඃවහන්සේට සේවය කරන්න තීරණය කිරීම
වෙනස් වීමට මට කාලය එළඹුණේ, 1968දියි. මලාවි රටේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට දරුණු ලෙස පීඩා කළ විදිහ විස්තර කරන මුරටැඹ සඟරාවක ලිපියක් මං දවසක් කියවන්න පටන්ගත්තා. තමන්ගේ ඇදහිල්ල පාවා දීම ප්‍රතික්ෂේප කරපු හින්දා, ගහකට බැඳලා හය පාරක් දූෂණය කරනු ලැබූ අවුරුදු 15ක ගැහැනු ළමයෙක් ගැන ඒකෙ සඳහන් වෙලා තිබුණා. ඒ ගැන ගොඩාක් කම්පනයට පත් වෙලා මං සඟරාව පැත්තකට දැම්මා; ඒත් ඒ ගැන කල්පනා කරන්න වුණා. මගේ පල්ලියේ කිසිම ගැහැනු ළමයෙක් ඒවගේ ඇදහිල්ලක් පෙන්නන්නේ නැති බව මට තේරුණා. මං ඒ දවසේම හැන්දෑ වෙලා, ඒ සඟරාව අරගෙන ඒ පිටුව ආයෙත් කියෙව්වා.
මං බයිබලය ගැඹුරට පාඩම් කරන්න පටන්ගත්තා. මං දැනුම ලබාගනිමින් වර්ධනය වෙද්දී, පල්ලිය අපිව කොච්චර දුරට මුළා කරලා තියෙනවද කියන එක දකින්න පටන්ගත්තා. පුරාණ කාලයේදී මෙය සත්‍යයක් වුණා වගේ, අපේ පූජකයන් ‘සල්ලාලකම්වල නියැලී තියෙනවා.’ (හොෂෙයා 6:9) එවැනි පුරුෂයන්, යේසුස්වහන්සේ අනතුරු ඇඟවූ බොරු අනාගතවක්තෘවරුන් අතරෙහි සිටියා. (මතෙව් 24:24) මං ඊට පස්සේ කිසි දවසක ඒගොල්ලන්ගේ දර්ශන හා බලවත් ක්‍රියා කෙරෙහි ඇදහිල්ල තැබුවේ නැහැ. බොරු ආගමෙන් නිදහස් වෙලා, අනික් අයටත් ඒවගේම නිදහස් වෙන්න උදව් කරන්න මං තීරණය කළා.
මාව පල්ලියේ තබාගන්න ගත් උත්සාහය
මං පල්ලියෙන් ඉවත් වෙන්න අධිෂ්ඨාන කරගෙන ඉන්න බව පල්ලියේ වැඩිමහල්ලන් තේරුම්ගත් විට, මගෙන් කන්නලව් කරන්න කියලා ඒගොල්ලෝ නියෝජිත මණ්ඩලයක් එව්වා. ඒගොල්ලන්ට වැදගත් ආදායම් මාර්ගයක් නැති කරගන්න වුවමනා වුණේ නැහැ. ඒගොල්ලෝ මට බාබා එග්බෙ පදවියක්, ඒ කියන්නේ ආකුරියේ ක්‍රිස්තු අපෝස්තලික සභාවක අනුග්‍රාහකයෙක් කිරීමට කැමැත්ත පළ කළා.
මං ඒක ප්‍රතික්ෂේප කරලා ඒකට හේතුව ඒගොල්ලන්ට කිව්වා. “පල්ලිය අපිට බොරු කියනවා” කියලා මං කිව්වා. “හොඳ කරන ඔක්කොම ස්වර්ගයට යනවා කියලා ඒගොල්ලෝ කියනවා. ඒත් මං බයිබලය කියවලා තියෙනවා; ස්වර්ගයට යන්නේ 1,44,000දෙනෙක් විතරක් කියලා මට සහතිකයි. ධර්මිෂ්ඨ අනික් අය පාරාදීස පොළොවක ජීවත් වේවි.”—මතෙව් 5:5; එළිදරව් 14:1, 3.
පල්ලියේ දේවගැතිවරයා මගේ භාර්යාවන්ව මට විරුද්ධව කටයුතු කරවන්න උත්සාහ කළා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අපේ ගෙදරට එන එක වළක්වන්න කියලා ඔහු ඒගොල්ලන්ට කිව්වා. මගේ භාර්යාවන්ගෙන් එක්කෙනෙක් මගේ කෑමට වහ දැම්මා. පල්ලියේදී ඔවුන් දැකපු දර්ශනයක් ගැන දෙන්නෙක් මට අනතුරු ඇඟෙව්වා. ඒ දර්ශනයේදී පෙන්නුම් කෙරුවේ, මං පල්ලිය අත්හැරියොත් මැරෙයි කියලයි. එහෙම තිබියදීත්, මා එක්ක රැස්වීම්වලට එන්න කියලා ආරාධනා කරමින්, මං මගේ භාර්යාවන්ට දිගටම සාක්ෂිදැරුවා. “ඔයගොල්ලන්ට එතන තවත් ස්වාමිපුරුෂයන් හොයාගන්න පුළුවන්” කියලා මං කිව්වා. ඒ වුණත්, එක්කෙනෙක්වත් උනන්දුවක් දැක්වුවේ නැහැ; ඒගොල්ලෝ දිගටම මාව අධෛර්යය කරන්න උත්සාහ කරමින් සිටියා.
අන්තිමේදී, 1970 පෙබරවාරි මාසයේ 2වනදා, මං අසල නගරයකට ගිහිල්ලා නැවත ගෙදර ආවහම, ගේ හිස් වෙලා තියෙන බව මං දැක්කා. මගේ භාර්යාවන් සියලුදෙනාම දරුවනුත් එක්ක ගේ අතහැරලා ගිහිල්ලා තිබුණා.
එක් භාර්යාවකට ඇලී සිටීම
‘මගේ විවාහ ජීවිතය දැන් මට හරිගස්සගන්න පුළුවන්’ කියලා මං හිතුවා. මගේ මුල්ම භාර්යාව වූ ජැනට්ට ආයෙත් ගෙදර එන්න කියලා මං ආරාධනා කළා. ඈ ඒකට එකඟ වුණා. ඒ වුණත් ඇගේ පවුලේ අය ඒ අදහසට තදින්ම විරුද්ධ වුණා. මං ජැනට්ට ආයෙත් එන්න කියලා ආරාධනා කරලා තිබුණු බව මගේ අනික් භාර්යාවන් දැනගත්තායින් පස්සේ, ඒගොල්ලෝ එයාගේ තාත්තාගේ ගෙදරට ගිහිල්ලා එයාට ගහන්න උත්සාහ කළා. ඊට පස්සේ, එයාගේ පවුලේ අය මාව රැස්වීමකට කැඳෙව්වා.
අසූදෙනෙක් විතර රැස්වීමට ඇවිල්ලා හිටියා. පවුලේ මූලිකයා වූ ජැනට්ගේ බාප්පා, මෙහෙම කිව්වා: “ඔයාට අපේ දුවව ආයෙත් විවාහ කරගන්න ඕනෙ නම්, ඔයා අනික් ස්ත්‍රීන්වත් ආයෙත් භාර ගන්න ඕනෙ. ඒත් ඔයාට ඔයාගේ අලුත් ආගම පිළිපැදගෙන, එක භාර්යාවකට විතරක් ඇලිලා ඉන්න ඕනෙ නම්, ඔයාට තවත් ස්ත්‍රියක්ව හොයාගන්න වෙයි. ඔයා ජැනට්ව ආයෙත් ගත්තොත්, ඔයාගේ අනික් භාර්යාවන් ටික එයාව මරල දායි; අපේ දුව මැරෙනවට අපි කැමති නැහැ.”
ගොඩක් වෙලා කතා කළායින් පස්සේ, මම එක භාර්යාවකට විතරක් ඇලී ඉන්න අධිෂ්ඨාන කරගෙන ඉන්න බව ඒ පවුලේ අය තේරුම්ගත්තා. අන්තිමේදී, ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ උත්සාහය අත්හැරියා. ඒ බාප්පා මෙහෙම කිව්වා: “ඔයාගේ භාර්යාව අපි ඔයාගෙන් ගන්නේ නැහැ. එයාට ඔයත් එක්ක යන්න පුළුවන්.”
වර්ෂ 1970 මැයි 21වනදා ජැනට් හා මම නීත්‍යනුකූලව විවාහ වුණා. ඊට දින නවයකට පස්සේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක් වශයෙන් මාව බව්තීස්ම කරනු ලැබුවා. ඒ අවුරුද්දේම දෙසැම්බර් මාසයේදී, ජැනට්වද බව්තීස්ම කරනු ලැබුවා.
යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද භුක්තිවිඳීම
අපි සාක්ෂිකරුවන් වුණොත් අපි මැරෙයි කියලා අපේ කලින් පල්ලියේ සාමාජිකයන් පුරෝකථනය කරලා තිබුණා. ඒ දැනට අවුරුදු 30කට විතර ඉස්සරයි. මං දැන් මැරුණොත්, ඒක මං යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක් වුණ හින්දද? මගේ බිරිඳ දැන් මැරුණොත්, එයා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක් වුණ හින්දා කියලා කාටවත් කියන්න පුළුවන්ද?
මගේ දරුවන් 17දෙනාට සත්‍යයේ මාර්ගය පෙන්නුම් කරන්න මං මහත් උත්සාහයක් දරලා තියෙනවා. මං සාක්ෂිකරුවෙක් වෙන කොට ඒගොල්ලන්ගෙන් හුඟදෙනෙක් ලොකු ළමයි වෙලා හිටියත්, මං බයිබලය පාඩම් කරන්න ඒගොල්ලන්ට දිරිගන්වලා, රැස්වීම් හා සමුළුවලට අරගෙන ගියා. පස්දෙනෙක් මා එක්ක යෙහෝවඃවහන්සේට සේවය කරනවා දකින්න ලැබීම ඇත්තටම ප්‍රීතියක්. එක්කෙනෙක් මා එක්ක සභාවේ වැඩිමහල්ලෙක් හැටියට සේවය කරනවා. තවත් එක්කෙනෙක් ළඟ සභාවක උපස්ථායක සේවකයෙක්. මගේ දරුවන් දෙන්නෙක් ස්ථාවර පුරෝගාමීන් හැටියට සේවය කරනවා.
මගේ පසුගිය කාලය දෙස හැරී බලද්දී, යෙහෝවඃවහන්සේගේ සේවකයෙක් වීමට මට උදව් කළ උන්වහන්සේගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව ගැන මං පුදුම වෙනවා. යේසුස්වහන්සේ පැවසූ මෙම වචන මොනතරම් සත්‍යයක්ද: “මා එවූ පියාණන්වහන්සේ විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය.”—යොහන් 6:44.
[පාදසටහන]
a “යාච්ඤා කරන කෙනෙක්” යන අර්ථය ඇති යොරූබා භාෂාවේ වචනයකිනි. ආත්මික සුව කිරීම් සිදු කරන අප්‍රිකානු පල්ලියක සාමාජිකයෙකුට එය යොමු දක්වයි.