ආගමික නිදහස යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?
එක්සත් ජනපදයේ, ආගමික නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස සලකනු ලැබුවත්, 1940 ගණන්වලදී, එම රටේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට එරෙහිව කැරලිකාර කණ්ඩායම්වල සාහසිකකම් පැතිර ගියා
මිලියන ගණනක් ඒ වෙනුවෙන් සටන් කරලා තිබෙනවා. ඇතැම් අය ඒ වෙනුවෙන් දිවි පුදලත් තිබෙනවා. ඇත්තෙන්ම එය මනුෂ්‍යවර්ගයාගේ අනර්ඝතම වස්තූන්වලින් එකක්. ඒ මොකක්ද? නිදහස! නිදහස යන වචනය, ද ව’ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියාහි නිර්වචනය කරලා තිබෙන්නේ මේ ආකාරයටයි: “තෝරාගැනීම් කිරීමට හා ඒවා ඉටු කිරීමට තිබෙන හැකියාව.” එය තවදුරටත් මෙහෙම ප්‍රකාශ කරනවා: “නීත්‍යනුකූල දෘෂ්ටියකින් ගත් කල, සමාජය විසින් ඔවුන් මත අයුක්තිසහගත, අනවශ්‍ය හෝ අසාධාරණ සීමා පනවන්නේ නැත්නම් මනුෂ්‍යයන් නිදහස්ය. සමාජය ඔවුන්ගේ අයිතිවාසිකම්ද ආරක්ෂා කළ යුතුයි; ඒ කියන්නේ, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම්, බලය හා වරප්‍රසාද වේ.”
සංකල්පය සරල එකක් හැටියටයි පේන්නේ. හැබැයි ප්‍රායෝගිකව නම්, නිදහස සඳහා හරියටම මොන සීමා තැබිය යුතුද කියන එක ගැන මනුෂ්‍යයන්ට එකඟ වෙන්න බැරි බවයි පේන්නේ. උදාහරණයක් වශයෙන්, එහි පුරවැසියන්ගේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩු මගින් නීති පැනවිය යුතු බව සමහරු විශ්වාස කරනවා. නමුත්, පුරවැසියන්ව නිදහස් කළ යුතු වන්නේ මෙම නීති නමැති විලංගුවලින් බවට තවත් අය තර්ක කරන්න පුළුවන්. නිදහස යන්න, විවිධ මනුෂ්‍යයන්ට විවිධ දේ අදහස් කරන බව පැහැදිලියි.
ආගමික නිදහස පිළිබඳව කුමක් කිව හැකිද?
වැඩියෙන්ම විවාදයට ලක් වී තිබෙන එකම නිදහස, ආගම පිළිබඳ නිදහස කියලා කියන්න පුළුවන්; එය නිර්වචනය කර තිබෙන්නේ, “කෙනෙකු කැමති ඇදහිල්ල තෝරාගෙන, එය විශ්වාස කිරීමට හා පිළිපැදීමට තිබෙන අයිතිය” හැටියටයි. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයට අනුව, “සෑම කෙනෙකුටම සිතීමට, හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමට මෙන්ම ආගම තේරීමටද නිදහසක් තිබේ.” මෙයට පුද්ගලයෙකුගේ “ආගම හෝ විශ්වාසය වෙනස් කිරීම” වගේම “ඉගැන්වීමෙන්, පිළිපැදීමෙන්, නමස්කාරයෙන් හා පැවැත්වීමෙන් ඔහුගේ ආගම හෝ විශ්වාසය පිළිබිඹු කිරීමද” ඇතුළත් වෙනවා.—දහඅටවන වගන්තිය.
තම යටත්වැසියන්ට අවංකව සැලකිල්ල දක්වන ඕනෑම දේශයක්, එවැනි නිදහසක් දෙයි කියලා අපි අපේක්ෂා කරන බව නම් සහතිකයි. මෙය සැමවිටම සිදු නොවීම කනගාටුවට කාරණයක්. “ආගම, මනුෂ්‍යයන් බොහෝදෙනෙකුගේ ඇතුළාන්ත හැඟීම්වලට බලපායි” යනුවෙන් ද ව’ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා සඳහන් කරනවා. “ඇතැම් ආණ්ඩු එක ආගමකට තදින් බැඳී සිටින අතර, වෙනත් ඇදහිලිවල සිටින මනුෂ්‍යයන් දේශපාලනික අධිකාරියට තර්ජනයක් හැටියට සලකනු ලැබේ. ආගම දේශපාලනයට අන්තරාදායකයි කියාද ආණ්ඩුවක් සැලකිය හැක; මන්දයත්, ආගම් රජයට කීකරුකම දක්වනවාට වඩා, දෙවිට පක්ෂපාතකම දැක්වීම වඩාත් වැදගත් ලෙස සැලකිය හැකි බැවිනි.”
මේ හේතූන් නිසා, ඇතැම් ආණ්ඩු ආගම පිළිපැදීම මතට සීමාවන් පනවනවා. කිහිපයක්, ඕනෑම ඇදහිල්ලක් ඇතුව සිටීම සම්බන්ධයෙන් අධෛර්යය කරනවා. නමස්කාර සඳහා නිදහස දෙන බවට වෙනත් ආණ්ඩු ප්‍රකාශ කර සිටියත්, ඔවුන් සෑම ආගමික ක්‍රියාකාරකමක්ම තදින් පාලනය කරනවා.
නිදසුනක් වශයෙන්, අවුරුදු ගණනාවක් පුරා මෙක්සිකෝවේ පැවතුණ තත්වය සලකා බලන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආගමික නිදහස ලබා දුන්නත්, එය මෙහෙම නියම කළා: “ප්‍රසිද්ධ නමස්කාරය සඳහා භාවිත කරනු ලබන පල්ලි, ෆෙඩරල් ආණ්ඩුව මගින් නියෝජනය කෙරෙන දේශයේ දේපොළයි; තවද කුමන ඒවා ඒ සඳහා දිගටම පාවිච්චි කළ හැකිද යන්න එයින් තීරණය කෙරෙනු ඇත.” වර්ෂ 1991දී, මෙම සීමා තහංචිය ඉවත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලැබුවා. කෙසේවෙතත්, ආගමික නිදහස විවිධ රටවල වෙනස් ආකාරවලින් අර්ථ දක්වන්න පුළුවන් බව මෙම නිදසුන පැහැදිලි කරයි.
වෙනත් ආකාරයක ආගමික නිදහසක්
ඔබ ජීවත් වන රටේ ආගමික නිදහසක් තිබෙනවාද? එසේ තිබෙනවා නම්, එය නිර්වචනය කර තිබෙන්නේ කොහොමද? ඔබ කැමති ආකාරයකට දෙවිට නමස්කාර කරන්න පුළුවන්ද? එසේ නැතහොත් රාජ්‍ය ආගමේ සාමාජිකයෙක් වීමට ඔබට බල කිරීමක් තිබෙනවාද? ඔබට ආගමික පොත් පත් කියවීමට හා බෙදා දීමට අවසර තිබෙනවාද? එසේ නැතහොත් එවැනි මුද්‍රිත තොරතුරු ආණ්ඩුව මගින් තහනම් කර තිබෙනවාද? ඔබගේ ඇදහිල්ල ගැන අනික් අයට කතා කිරීමට ඔබට පුළුවන්ද? එසේ නැතහොත් එවැනි දෙයක් කිරීම ඔවුන්ගේ ආගමික අයිතිවාසිකම පැහැර ගැනීමක් ලෙස සලකනු ලබනවාද?
මෙම ප්‍රශ්නවලට උත්තර රඳා පවතින්නේ, ඔබ ජීවත් වන ස්ථානය මතයි. කෙසේවෙතත්, ස්ථානය බලපාන්නේ නැති ආකාරයේ ආගමික නිදහසක් තිබීම සිත්ගන්නා කරුණක්. පොදු යුගයේ 32වන වර්ෂයේදී, යෙරුසලමේ සිටින අතරතුර, යේසු තම අනුගාමිකයන්ට මෙහෙම කිව්වා: “නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය; නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේය.”—යොහන් 8:31, 32.
මෙම ප්‍රකාශයෙන් යේසු කුමක් අදහස් කළාද? ඔහුට සවන් දුන් යුදෙව්වන්, රෝමානු පාලනයෙන් නිදහසක් ලබාගැනීමට දැඩි ආශාවකින් සිටියා. ඒත් යේසු සාකච්ඡා කරමින් සිටියේ, දේශපාලනික පීඩනයන්ගෙන් නිදහසක් ගැන නෙවෙයි. ඒ වෙනුවට, අපි ඊළඟ ලිපියෙන් බලන්න යන ආකාරයට, ඔහු තම ශ්‍රාවකයන්ට ඊටත් වඩා හොඳ දෙයක් පොරොන්දු කරමින් සිටියා.