ග්‍රීසියේ දේවතා රූප සමඟ ‘දෙවිගේ මාළිගාවට’ ඇති එකඟකම?
ගිම්හානේ මේ ඉතා උණුසුම් දවසේ, දිදුලන ගල් මතට හිරු රශ්මිය පහර දෙයි. කෙසේවෙතත්, කඳු මුදුනේ ඇති දෙව් මැදුර දෙසට ඇදෙන, රැස් කකා සිටින බැතිමත් ග්‍රීක් ඕ’තඩොක්ස් වන්දනාකරුවන්ගේ නොසැලෙන අධිෂ්ඨානය සහ ජ්වලිතය අඩු කරන්න අධික ගිනියමට හැකි වී නැතුවා සේ පෙනෙයි.
අතිශයින් වෙහෙසට පත් මහලු ස්ත්‍රියක් ඔබට පෙනෙයි. රටේ එහා කොනේ සිට පැමිණි ඇය, විඩාවට පත් ඇගේ පය ඔසවා ගමන් කරන්න පොරබදියි. ඊට ටිකක් එහායින්, සෙනඟ අතරින් තෙරපීගෙන ඉදිරියට ඇදෙන්න දඟලන, මහත් ඕනෑකමකින් සිටින මිනිසාගෙන්, හොඳටම දාඩිය වැක්කෙරෙයි. තවත් තරුණ කෙල්ලක්, හොඳටම ලේ ගලන දණිස් කටු දෙකෙන් ගමන් කරද්දී, මුහුණ තැවුලට පත් වෙසක් ගන්නේ, පැහැදිලිවම වේදනාව නිසායි. ඔවුන්ගේ අභිප්‍රාය? කීර්තිමත් “සාන්තුවරයාගේ” සුරුවම වෙතට නොපමාව ගොස්, ඒ ඉදිරියේ යාච්ඤා කර, හැකි නම්, එය අල්ලා සිඹින්නයි.
ලොව වටා, “සාන්තුවරුන්ට” ගරු බුහුමන් දක්වන්න කැප කරල තියෙන පෙදෙස්වල මේ වගේ දසුන් නැවත නැවතත් දකින්න ලැබෙනවා. පෙනෙන විදිහට, මේ සියලුම වන්දනාකරුවන් ඒත්තුගෙන සිටින්නේ, ඔවුන් මෙයාකාරයෙන් දෙව් වෙත ළඟාවීමට ඔහුගේ මාර්ගය අනුගමනය කරන බවයි; එහෙම කිරීමෙන් ඔවුන්ගේ භක්තිය සහ ඇදහිල්ල ප්‍රකාශ වෙනවා කියලත් ඔවුන්ට ස්ථිරයි. අව’ ඕ’තඩොක්ස් ක්‍රිස්ටියන් ෆේත් (අපේ ඕ’තඩොක්ස් ක්‍රිස්තියානි ඇදහිල්ල) කියන පොතේ මෙහෙම සඳහන් වෙනවා: “අපි ශුද්ධෝත්තමයන්ව [“සාන්තුවරයන්ව”] සිහිපත් කරන අතර, ඔවුන්ට ගෞරවයත් තේජසත් පුදනවා . . . අප වෙනුවෙන් දෙවිට යාච්ඤා කරන්නයි කියලා අපි ඔවුන්ගෙන් අයදිනවා; ඔවුන් කරන කන්නලව්, අපගේ ජීවිතයේ බොහෝ ඕනෑ එපාකම් සඳහා ආධාර වෙනවා. . . . අපගේ මාංසික සහ ආත්මික ඕනෑකම් උදෙසා . . . අපි හාස්කම් කරන සාන්තුවරයන්ගේ පිහිට පතනවා.” තවදුරටත්, රෝමානු කතෝලික පල්ලියේ සිනොඩ් නියමයට අනුව, “සාන්තුවරුන්” සිටින්නේ, දෙවි සමඟ මැදහත්කාරකම් කිරීම සඳහා අයදීමට වන අතර, “සාන්තුවරුන්ගේ” සුරුවම් සහ ඔවුන්ගේ ශරීරයේ ධාතු කොටස් ඇත්තේ, ගරු බුහුමන් කිරීමටයි.
සැබෑ ක්‍රිස්තියානියෙකුගේ මූලික සැලකිල්ල යොමු විය යුත්තේ, “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” දෙවිට නමස්කාර කිරීම වෙතටයි. (යොහන් 4:24) මේ හේතුව නිසා, ක්‍රිස්තියානි ලෝකයේ ධාර්මික පිළිවෙත්වල කොටසක් ලෙස “සාන්තුවරුන්[හට]” ගෞරවය පිදීම ඈඳුණේ කොහොමද කියලා අපි සලකා බලමු. දෙව්ට පිළිගත හැකි ආකාරයෙන් ඔහු වෙත ළඟාවීමට කැමති සියලුදෙනාටම මෙවැනි සෝදිසියක් බොහෝ ඥානාලෝකය ලබා දිය යුතුයි.
“සාන්තුවරයෝ” ඈඳාගත් හැටි
ක්‍රිස්තුස්ගේ හවුල් උරුමක්කාරයන් වීමට බලාපොරොත්තු වූ අය වශයෙන් දේවසේවය සඳහා වෙන් කරලා තියෙන සහ ක්‍රිස්තුස්ගේ ලෙයින් පිරිසිදු කරනු ලැබූ මුල් ක්‍රිස්තියානීන් සියලුදෙනාවම ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ හඳුන්වා තියෙන්නේ, “සැදැහැවතුන්” හෝ “ශුද්ධවන්තයන්” හැටියටයි. (ක්‍රියා 9:32, නව අනුවාදය; 2 කොරින්ති 1:1; 13:13)a සභාවේ සිටින පුරුෂයන් සහ ස්ත්‍රීන්, ප්‍රවීණයන් සහ යටහතුන්, ඒ සියලුදෙනාවම පොළොවේ ජීවත් වන කාලයේදී විස්තර කළේ, “ශුද්ධවන්තයන්” කියලයි. ශුද්ධ ලියවිල්ලට අනුව, ඔවුන්ව සාන්තුවරයන් ලෙස හැඳින්වීමට, පැහැදිලිවම ඔවුන් මියයන තුරු සිටියේ නැහැ.
කෙසේවෙතත්, පො.යු. 2වන සියවසෙන් පසුව, ඇදහිල්ල අත්හළ කිතු දහම වර්ධනය වනවාත් එක්කම, කිතු දහම ජනප්‍රිය, මිථ්‍යාදෘෂ්ටිකයන්ට ආකර්ෂණීය වගේම ඔවුන්ට අප්‍රමාදව පිළිගත හැකි යමක් කිරීමයි, නැඹුරුවාව වුණේ. මෙම මිථ්‍යාදෘෂ්ටිකයන් දෙවිවරු බොහොමයකට වන්දනාමාන කළ අතර, නව ධර්මය එක දෙවිකෙනෙකුට පමණයි, වන්දනා කළේ. ඒ නිසා, මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය කිරීමට හැකි වන්නේ, පුරාණ දෙවිවරු, උපදෙවිවරු සහ මිථ්‍යා විරුවන්ගේ තැන ගන්නාවූ, “සාන්තුවරයන්ව” ඈඳාගැනීමෙනුයි. මේ ගැන අදහස් දක්වමින්, එක්ලිසියාස්ටිකි ඉස්ටෝරිආ (විනයානුගත ඉතිහාසය) මෙහෙම පවසනවා: “මිථ්‍යාදෘෂ්ටික ආගම් ඇදහීමේ සිට කිතු දහමට හරවගත්ත අයට තමුන් අත්හළ විරුවන්, ප්‍රාණ පරිත්‍යාගිකයන්ගේ ස්වරූපයෙන් පෙනී සිටින ආකාරය තේරුම්ගන්න පහසු වුණා; ඒ හින්දා ඒ කලින් සිටි විරුවන්ට දුන් ගෞරවය ප්‍රාණ පරිත්යාගිකයන්ට දෙන්න පටන්ගන්න එක පහසු වුණා. . . . කෙසේවෙතත්, සාන්තුවරයන්ට හුඟක් වෙලාවට සිදු කරන මෙම ගෞරවය සම්පූර්ණයෙන්ම රූපනමස්කාරයක් බවට පත් වුණා.”
“සාන්තුවරුන්[ව]” ක්‍රිස්තියානි ලෝකය තුළට හඳුන්වා දුන්නේ කොහොමද කියලා තවත් ආශ්‍රේය කෘතියක් මේ විදිහට කරුණු දක්වනවා: “ග්‍රීක් ඕ’තඩොක්ස් දෙව් මැදුරේ, සාන්තුවරයන්ට ගෞරවය පිරිනැමීමේදී, මිථ්‍යා ආගම්වලින් පැමිණි ප්‍රබල බලපෑම්වල පැහැදිලි සාක්ෂි අපිට දැකගන්න පුළුවන්. [මිනිස්සු] කිතු දහමට හැරීමට කලින් ඔලිම්පියන් දෙවිවරුන්ට ආරූඪ කරල තිබුණ ගුණාංග, සාන්තුවරයන්ට පිරිනමන්න පටන්ගත්තා. . . . නව ධර්මයේ මුල් අවුරුදුවල සිට එහි බැතිමතුන් හිරු දෙවියාව (ෆීබස් ඇපොලෝ), ප්‍රොපේත එලියාට මාරු කර තියෙන විදිහ අපිට පේනවා. පුරාණ ග්රීක්වරු, ආලෝකය-දුන් ෆීබස් ඇපොලෝට නමස්කාර කළ සෑම තැනකම වගේ, වැඩියෙන්ම කඳුවල සහ කඳුමුදුන්වලත්, එම දෙවියාගේ සිද්ධස්ථාන සහ දේවාලවල නටඹුන් උඩත් ඒ අවටත්, දෙව් මැදුරු හදලා තියෙනවා. . . . කන්‍යා දේවතාවිය වන ඇතීනා, කන්‍ය මරියා ලෙස පවා ඔවුන් සම්බන්ධ කරගත්තා. මේ නිසා, ඇතීනාගේ පිළිමය කඩා දමද්දී බිහි වූ හිදැස, හැරුණාවූ රූපනමස්කාරකයාගේ ඇතුළාන්තයෙන් ඉවත් කරනු ලැබුවා.”—නෙඕටරෝන් එංගික්ලෝපැඩිකෝන් ලෙක්සිකෝන් (නව විශ්වකෝෂී ශබ්දකෝෂය), පළමුවන කාණ්ඩය, 270-1 පිටු.
නිදසුනකට, පො.යු. 4වන සියවස තරම් වූ පසු කාලයක් වන කොට පවා, ඇතන්ස්හි පැවතියාවූ තත්වය පරීක්ෂා කර බලන්න. එම නගරයේ විසූ බහුතරයක් මේ වන විටත් මිථ්යාදෘෂ්ටිකයන්ව සිටියා. ඔවුන්ගේ අතිශුද්ධ වූ චාරිත්‍රවලින් එකක් නම්, එලියුසිස්හි අභිරහස් මංගල්‍යයයි. අදියර දෙකකින් යුක්ත වූ මෙය,b ඇතන්ස්වලට කිලෝමීටර් 23ක් වයඹ දෙසින් පිහිටා තිබූ එලියුසිස් නම් නගරයේදී, හැම අවුරුද්දෙම පෙබරවාරි මාසයේදී පැවැත්වුණා. මෙම මංගල්‍ය සඳහා ගමන් කරන මිථ්‍යාදෘෂ්ටික ඇතන්ස් වැසියන්ට, පරිශුද්ධ මාර්ගයෙහි (හි·එ·රාʹ හො·ඩොස්ʹ) ගමන් කරන්න සිදු වුණා. වන්දනාව සඳහා විකල්ප තැනක් සැපයීමට දරපු උත්සාහයේදී, නගර පාලකයන් සෑහෙන උපාය දක්ෂ බව ඔප්පු වුණා. මිථ්යාදෘෂ්ටිකයන්ව ආකර්ෂණය කරගැනීමටත්, මංගල්‍යයට යෑමෙන් ඔවුන්ව වළක්වා ගන්නත් ඒ පාරෙම, ඇතන්ස් සිට කිලෝමීටර් 10ක් විතර එහායින් ඩැෆ්නි ආරාමය ගොඩනඟනු ලැබුවා. මේ ආරාමයේ දෙව් මැදුර ගොඩනඟා තිබුණේ, පුරාණ දේවාලයේ අත්තිවාරම උඩයි. ඒක කැප කරල තිබුණේ, ග්‍රීක් දෙවි ඩැෆ්නේඔස් නොහොත් පිතිඕස් ඇපොලෝටයි.
මිථ්‍යාදෘෂ්ටික දේවතාවන් “සාන්තුවරු” හැටියට ගරු කිරීම සමඟ සම්බන්ධ කළ බවට සාක්ෂි, ග්‍රීසියේ දූපතක් වන කිතරාහිදී හොයාගන්න පුළුවන්. දූපතේ කඳුමුදුනක, බයිසැන්ටියානු යුගයට අයත් පුංචි දෙව් මැදුරු දෙකක් තියෙනවා. ඉන් එකක් “සාන්ත” ජෝජ්ටද අනික කන්‍ය මරියාටද කැප කරලයි තියෙන්නේ. මෙය අවුරුදු 3,500කට විතර කලින්, මිනෝවන් ආගමට අයත්, වන්දනාමාන කළ කඳුමුදුන් සිද්ධස්ථානයක් බව කැණීම්වලදී හෙළි වුණා. පොදු යුගයේ හයවන හෝ හත්වන සියවසේදී, “ක්‍රිස්තියානීන්” හරියටම එම කඳුමුදුන් සිද්ධස්ථානය තියෙන තැනම “සාන්ත” ජෝජ් වෙනුවෙන් තමන්ට දෙව් මැදුරක් ගොඩනඟාගත්තා. ගත් පියවර ඉතාමත්ම සංකේතාත්මකයි; මිනෝවන් ආගමේ දියුණු වූ මෙම මධ්‍යස්ථානය පිහිටා තිබුණේ, ඒජියන් මුහුදේ සියලුම නැව් මාර්ග හමු වන තැනයි. මේ දෙව් මැදුරු දෙක ගොඩනඟා තිබුණේ, අප මාතාවගේ හා “සාන්ත” ජෝජ්ගේ අනුග්‍රහය දිනාගන්නයි. සාන්ත ජෝජ්ට ගරුබුහුමන් කළේ “නාවිකයන්ගේ ආරක්ෂකයා” වන “සාන්ත” නිකලස්ට ගරුබුහුමන් කළ දවසේදීමයි. මෙම සොයාගැනීම ගැන පුවත්පත් වාර්තාවක් කිව්වේ මෙහෙමයි: “පුරාණ කාලයේ මිනෝවන් පූජකයා කළා වගේම, අද [ග්‍රීක් ඕ’තඩොක්ස්] පූජකයා කන්ද නඟිනවා.” ඒ ආගමික වතාවත් සඳහායි!
ඇදහිල්ල අත්හළ කිතු දහම, ග්‍රීක් මිථ්‍යා ආගම්වල බලපෑමට හසු වූ තරම සාරංශ කරමින් ඓතිහාසික පර්යේෂිකාවක් කරුණු දක්වන්නේ මේ විදිහටයි: “පොදු ජනයා අදහන දේවල ක්‍රිස්තියානි ධර්මයේ මිථ්‍යාදෘෂ්ටික අත්තිවාරම බොහෝවිට නොවෙනස්ව පවතී. සම්ප්‍රදායන් කොතරම් දුරට නොනැසී පවතිනවාද කියන එකට මේක සාක්ෂියක්.”
‘අපි දන්නා දේට නමස්කාර කිරීම’
යේසුස් සමරිතානු ස්ත්‍රියට මෙහෙම කිව්වා: “අපි දන්නා දේට නමස්කාරකරමු . . . සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද [නමස්කාර කරන්නේය]. . . . මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක.” (යොහන් 4:22, 23) මෙය සැලකිල්ලට ගන්න: සැබෑකමෙන් නමස්කාර කිරීම කළ යුත්තක්මයි! එමනිසා සත්‍යය කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් සහ ඒකාන්ත දැනුම නැතුව දෙවිට පිළිගත හැකි විදිහට නමස්කාර කරන්න බැහැ. සැබෑ කිතු දහම පදනම් විය යුතු වන්නේ, සත්‍යය මත මිස, මිථ්‍යාදෘෂ්ටීන්ගෙන් ඈඳාගත් පරම්පරාගත චාරිත්‍ර සහ සිරිත් මත නොවෙයි. මිනිස්සු, යෙහෝවාට වැරදි විදිහට නමස්කාර කරන්න වෑයම් කරද්දී ඔහුට දැනෙන විදිහ අපි දන්නවා. ප්‍රේරිත පාවුල් පුරාණ ග්‍රීක් නගරයක් වූ කොරින්තියේ ක්‍රිස්තියානීන්ට මෙහෙම ලිව්වා: “බෙලියෙල් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ ඇති එකමුතුකම මොකද? . . . දේවතා රූප සමඟ දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද?” (2 කොරින්ති 6:15, 16) දෙවිගේ මාළිගාවත් දේවතා රූපත් එකඟ කරන්න දරන ඕනෑම වෑයමක් ඔහුට පිළිකුල්සහගතයි.
තවදුරටත්, දෙවි හා අතරමැදියෙකු ලෙස ක්‍රියා කිරීමට “සාන්තුවරුන්ට” යාච්ඤා කිරීමේ අදහස ශුද්ධ ලියවිලිවල අනුමත කරන්නේ නැති බව සක්සුදක් සේ පැහැදිලියි. ඔහුගේ ආදර්ශ යාච්ඤාවේදී, යේසුස් ඉගැන්නුවේ යාච්ඤාවන් යොමු කරන්න ඕනෙ, පියාට විතරයි කියලයි. ඒ නිසා ඔහු ඔහුගේ ගෝලයන්ට මඟ පෙන්නුවේ මෙහෙමයි: “එහෙයින් නුඹලා මෙසේ යාච්ඤා කරන්න:—ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා.” (මතෙව් 6:9) යේසුස් තවදුරටත් මෙහෙම කිව්වා: “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත, නුඹලා විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත්, මම ඒක ඉෂ්ට කරන්නෙමි.” ඒ වගේම ප්‍රේරිත පාවුල් මෙහෙම කිව්වා: “මක්නිසාද ඇත්තේ එක දෙවිකෙනෙක් සහ දෙවියන්වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදහත්කාරකෙනෙකුත්ය. . . . [එනම්,] මනුෂ්‍යයාවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේය.”—යොහන් 14:6, 14; 1 තිමෝති 2:5, 6.
දෙවි විසින් අපේ යාච්ඤා අසනු ලබන්න අපට ඇත්තටම ඕනෙ නම්, ඔහුගේ වචනය මඟ පෙන්වා තියෙන විදිහට ඔහු වෙත ළඟාවීම අත්‍යවශ්‍යයි. යෙහෝවා වෙත ළඟා විය හැකි එකම වලංගු මාර්ගය කාවද්දමින් පාවුල් මෙහෙමත් ලිව්වා: “මැරුණෙත්, ඒ ඇර මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවෙත්, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි සිට අප උදෙසා මැදහත්කම් කරන්නෙත් ක්‍රිස්තුස්වහන්සේය.” “උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නන් උදෙසා මැදහත්කම්කරන පිණිස උන්වහන්සේ නිරතුරුම ජීවත්වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන.”—රෝම 8:34; හෙබ්‍රෙව් 7:25
‘ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කිරීම’
මිථ්‍යාදෘෂ්ටීන්ගේ බොරු නමස්කාර අතහැර දමා, යේසුස් ක්‍රිස්තුස්ගේ සැබෑ වූ ඉගැන්වීම් අනුගමනය කිරීම සඳහා පෙලඹවීමට ආත්මික ශක්තියවත්, දෙවිගේ ශුද්ධාත්මයවත් ඇදහිල්ල අත්හළ ක්‍රිස්තියානීන්ට නැහැ. ඒ වෙනුවට එය, හරවාගැනීම, බලය සහ ජනප්‍රියත්වය සොයා යන ගමනේදී, මිථ්‍යා විශ්වාසයන් සහ සිරිත් උරාගත්තා. මේ හේතුවෙන්, එය නිපදවූයේ, දෙවිටත්, ක්‍රිස්තුස්ටත් පිළිගත හැකි ශක්තිමත් ක්‍රිස්තියානීන්ව නොවෙයි; ඒ වෙනුවට රාජ්‍යය සඳහා නුසුදුසු “කිරිඳි,” එනම් ව්‍යාජ ඇදහිලිවන්තයන්වයි.—මතෙව් 13:24-30.
කෙසේවෙතත්, මේ අන්තිම කාලය තුළදී, යෙහෝවාගේ මඟ පෙන්වීම යටතේ, සැබෑ නමස්කාරය යළි පිහිටුවීමේ බාරදූර වැඩක් ක්‍රියාත්මක වෙනවා. ලෝක ව්‍යාප්ත යෙහෝවාගේ සෙනඟ, ඔවුන්ගේ සංස්කෘතික, සමාජීය හෝ ආගමික පසුබිම මොකක් වුණත්, බයිබලයේ ප්‍රමිතීන්ට සහ විශ්වාසයන්ට අනුකූලව ඔවුන්ගේ දිවි ගෙවන්න උත්සාහ කරනවා. දෙවිට “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” නමස්කාර කරන්නේ කොහොමද කියලා ඔබට තව ඉගෙනගන්න ඕනෙ නම්, කරුණාකර ඔබ ජීවත් වන ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් හා සම්බන්ධ වන්න. ඔබගේ තර්ක කිරීමේ හැකියාව මතත්, දේවවචනයේ ඒකාන්ත දැනුම මතත් පදනම්ව, ඔහුට පිළිගත හැකි වූ පරිශුද්ධ සේවයක් පිරිනැමීමට ඔබට උදව් කිරීමට ඔවුන් බොහෝ සේ සතුටු වේවි. පාවුල් මෙහෙම ලිව්වා: “එබැවින් සහෝදරයෙනි, දෙවිගේ දයානුකම්පාව කරණකොටගෙන ඔබෙන් මෙසේ අයදින්නෙමි: ඔබේ ශරීර ජීවමාන, ශුද්ධ, දෙවිට පිළිගත හැකි වූ පූජාවක් සේ ඉදිරිපත් කරන්න; එය ඔබේ තර්ක කිරීමේ හැකියාවෙන් කරන පරිශුද්ධ සේවයයි. එමෙන්ම මේ දේවල පිළිවෙළට අනුව හැඩගැසීමෙන් අහක් වී, දෙවිගේ යහපත් සහ පිළිගත හැකි වූ පරිපූර්ණ වූ කැමැත්ත සහතික කරගන්නා පිණිස, ඔබේ මනස සකස් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න.” තවදුරටත් ඔහු කොලොස්සිවරුන්ට මෙහෙම කිව්වා: “එබැවින් අපිත් ඒ ඇසූ දා පටන් නුඹලා උදෙසා නොකඩවම යාච්ඤාකරමින්, නුඹලා සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණවී, සියලු යහපත් ක්‍රියාවලින් ඵලදරමින්ද, දෙවියන්වහන්සේ දැනගැනීමෙහි වර්ධනයවෙමින්ද, . . . ස්වාමීන්වහන්සේට ඔබිනලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරෙන ලෙස ඉල්ලමුව.”—රෝම 12:1, 2, NW; කොලොස්සි 1:9, 10, 12.
[පාදසටහන්වල]
a සමහර බයිබල් පරිවර්තකයන් හේජිඔස් කියන ග්‍රීක් වචනය “ශුද්ධවන්තයා” ලෙසද අනිත් අය “සැදැහැවතා” ලෙසද පරිවර්තනය කර තියෙනවා.
b මහා එලියුසිනියා, සෑම අවුරුද්දෙම සැප්තැම්බර් මාසයේදී, ඇතන්ස් සහ එලියුසිස්හිදී පවත්වනු ලැබුවා.
[28වන පිටුවේ කොටුව⁄පින්තූරය]
පාතිනන්ව මෙහෙමත් පාවිච්චියක්
“ක්‍රිස්තියානි” අධිරාජ්‍යයා වූ II වන තියෝඩෝසියස්, ඇතන්ස් නගරය පිළිබඳ නියෝගයක් පනවමින් (පො.යු. 438), මිථ්‍යාදෘෂ්ටික පිළිවෙත් සහ අභිරහස් අවලංගු කළා. ඒ වගේම මිථ්‍යාදෘෂ්ටික දේවාල වසා දැමුවා. ඉන්පසුව ඒවා ක්‍රිස්තියානි දෙව් මැදුරු බවට හරවන්න පුළුවන් වුණා. දෙව් මැදුරක් සාර්ථක ලෙස යළි හැරවීමකට අවශ්‍ය කරන එකම දෙය වූයේ, කුරුසයක් තබා එය පවිත්‍ර කිරීමයි! නැවත හැරවූ මුල්ම දේවාලවලින් එකක් වුණේ, පාතිනන් දේවාලයයි.
පාතිනන් ගැළපෙන “ක්‍රිස්තියානි” දෙව් මැදුරක් කිරීම සඳහා ඉතා විශාල අලුත්වැඩියා කිරීමක් සිදු වුණා. පොදු යුගයේ 869 සිට එය ඇතන්ස්හි ආසන දෙව් මැදුර ලෙස පාවිච්චි වුණා. මුලින්ම, එය “ශුද්ධ ප්‍රඥාවේ” දෙව් මැදුර ලෙස ගෞරවයට පාත්‍ර වුණා. මෙය දෙව් මැදුරේ මුල් “අයිතිකාරිය” වූ ඇතීනා, ප්‍රඥාවේ දෙව්දුව බවට හිතා මතා කළ සිහිගැන්වීමක් වෙන්න ඇති. පසුව එය “අප ඇතීනියානු මාතාව” හැටියට කැප කළා. සියවස් අටක ඕ’තඩොක්ස් පාවිච්චියෙන් පසුව, දෙව් මැදුර ඇතන්ස්හි සාන්ත මරියා කතෝලික දෙව් මැදුර බවට හැරෙව්වා. පහළොස්වන සියවසේදී ඔටොමන් තුර්කි ජාතිකයන් පාතිනන් දේවාලය මුස්ලිම් පල්ලියක් බවට හරවාගත් විට, එය ආගමික ලෙස “නැවත පාවිච්චියට ගැනීම” නොකඩවාම සිදු වුණා.
ග්‍රීක ප්‍රඥාවේ දෙව්දුව වූ ඇතීනා පාතිනොස්ගේ (කන්‍යාව) පුරාණ ඩොරික් ශෛලීය පාතිනන් දේවාලය වෙතට අදදින සංචාරකයන් දහස් ගණනක් එක්රොක් වෙන්නේ, එය ග්‍රීක් ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට ආදර්ශයක් වන නිසා විතරයි.
[26වන පිටුවේ පින්තූරය]
ඩැෆ්නි ආරාමය—මිථ්‍යාදෘෂ්ටික පුරාණ ඇතන්ස් වැසියන්ට නමස්කාරය සඳහා විකල්ප ස්ථානයක්