ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 4/15 28-31 පි.
  • ඔබ ආත්මිකව හොඳින් අනුභව කරනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ ආත්මිකව හොඳින් අනුභව කරනවාද?
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ආත්මික වර්ධනය සඳහා ආහාර
  • ආත්මික ශක්තිය සඳහා ආහාර
  • ආත්මික නිරෝගිකම සඳහා ආහාර
  • ආත්මිකව දූෂ්‍ය වීම
  • ආත්මික ආහාරවල බහුලත්වයක්
  • ආහාර ගැනීමේ යහපත් පුරුදු
  • ඔබ ආත්මික ආහාර කොතරම් හොඳින් අනුභව කරනවාද?
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • ආරක්ෂිත ආහාර සැමටම
    2002 පිබිදෙව්!
  • ‘සැබෑවේ වචනය හරියාකාරව පහදා දීම’
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගුණයෙන් සපිරි ආහාර සැමට!
    2012 පිබිදෙව්!
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 4/15 28-31 පි.

ඔබ ආත්මිකව හොඳින් අනුභව කරනවාද?

“හොඳ ආහාර වේලක් මූලිකතම මිනිස් අවශ්‍යතාවක්. . . . ප්‍රමාණවත් ආහාර නැත්නම් අපි මියයන්න පුළුවන්.”-ෆූඩ් ඇන්ඩ් න්‍යුට්‍රිෂන් (ආහාර සහ පෝෂණය).

මේ “මූලිකතම මිනිස් අවශ්‍යතාව” අහිමි කරලා තියෙන සාගින්නෙන් පෙළෙන පුරුෂයන්ගේ, ස්ත්‍රීන්ගේ හා දරුවන්ගේ වෑරුණු සිරුරුවලින්, ඒ මූලික සත්‍යය විචිත්‍රවත්ව නිරූපණය කෙරෙනවා. වෙනත් අයට යම් ප්‍රමාණයකට මේ අවශ්‍යතාව සපුරාගන්න හැකි වුණත්, ඔවුන් තවමත් සිටින්නේ බරපතළ ලෙස ඌන පෝෂණ මට්ටමකයි. ඒත් හොඳට අනුභව කරන්න පුළුවන් හුඟදෙනෙක් බොහෝවිට තෘප්තිමත් වන්නේ, නියම පෝෂණයෙන් අඩු කඩචෝරු වැනි ආහාරවලිනුයි. “අප සතු දේවල් අතුරින් වඩාත්ම වැරදි විදිහට පාවිච්චි කරන දෙයක් වන්නේ ආහාරයි” කියා හෙල්ති ඊටිං (සෞඛ්‍ය වඩවන ආහාර ගැනීම) නමැති සඟරාවේ පවසනවා.

දේවවචනය, එනම් බයිබලයේ තිබෙන සත්‍යය වන ආත්මික ආහාර සම්බන්ධයෙන්ද වැඩි වෙනසක් නැහැ. සමහර අයට මූලිකතම ආත්මික පෝෂණය පවා නැහැ; ඔවුන් ආත්මිකව සාගින්නෙන් පෙළෙනවා. වෙනත් අය, සැපයෙන ආත්මික ආහාරවලින් ප්‍රයෝජන ගැනීම කෙරෙහි එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔබ ගැන කියන්න පුළුවන් මොනවද? ඔබ පෞද්ගලිකව ආත්මිකව හොඳින් අනුභව කරනවාද? එහෙම නැත්නම් ආත්මික පෝෂණය ලැබීමෙන් ඔබ ඔබවම වළක්වගන්නවා වෙන්න පුළුවන්ද? අපිට ශාරීරික ආහාර අවශ්‍ය කරනවාට වඩා වැඩියෙන් ආත්මික ආහාර අවශ්‍ය නිසා, මේ කාරණය සම්බන්ධයෙන් අපි අපටම අවංක වීම වැදගත් වෙනවා.—මතෙව් 4:4.

ආත්මික වර්ධනය සඳහා ආහාර

පෝෂ්‍යදායී ආහාර ගැනීමේ වැදගත්කම සාකච්ඡාවට ලක් කරන පාඩම් පොතක් වන ආහාර සහ පෝෂණය කියන පොතේ, නිසි පරිදි ආහාර ගැනීම සඳහා හොඳ හේතු තුනක් අපට ඉදිරිපත් කරනවා. අපිට ආහාර අවශ්‍ය වීමට එක් හේතුවක් නම්, “වර්ධනයට සහ සිරුරේ ගෙවී යන සෛල අලුත්වැඩියා කරන්න අනුබලය සැපයීමටයි.” ඔබේ ජීවිතයේ සෑම දවසකදීම ඔබේ සිරුරේ සෛල ට්‍රිලියනයක් විනාශ වී යන බවත්, ඒවා වෙනුවට වෙනත් ඒවා නිපදවන්න අවශ්‍ය බවත් ඔබ දැන සිටියාද? නිසි වර්ධනයටත් ශරීරය සෞඛ්‍යසම්පන්නව තබාගැනීමටත් පෝෂ්‍යදායී ආහාර අවශ්‍යයි.

මෙය ආත්මිකත්වය සම්බන්ධයෙන්ද සැබෑවක්. උදාහරණයක් හැටියට, ප්‍රේරිත පාවුල් එපීස සභාවට ලියද්දී, “සම්පූර්ණ පුරුෂකමට” වැඩීම සඳහා සෑම ක්‍රිස්තියානියෙකුටම හොඳ ආත්මික ආහාර අවශ්‍ය වීම ගැන අවධාරණය කළා. (එපීස 4:11-13) අපි නිසි පරිදි පෝෂ්‍යදායී ආත්මික ආහාරවලින් අපවම පෝෂණය කරගන්නා විට, අපි තවදුරටත් සියලු ආකාර අනතුරුවලට ගොදුරු වීමෙන් ආරක්ෂා කරගන්න බැරි දුර්වල ළදරුවන් මෙන් නොවෙමු. (එපීස 4:14) ඒ වෙනුවට, අපි ‘ඇදහිල්ලේ වචනවලින් පෝෂ්‍ය’ වෙන නිසා, ඇදහිල්ල වෙනුවෙන් කරන දුෂ්කර සටනක අඛණ්ඩව නිරත විය හැකි ශක්තිමත් වැඩිහිටියන් බවට අපි පත් වෙනවා.—1 තිමෝති 4:6.

එය ඔබ සම්බන්ධයෙන් සැබෑවක්ද? ඔබ ආත්මිකව වර්ධනය වෙලා තියෙනවාද? එහෙම නැත්නම්, ඔබ තවමත් පහසුවෙන්ම ගොදුරු බවට පත් වෙන, සම්පූර්ණයෙන්ම අනිත් අය මත රඳා සිටින හා ක්‍රිස්තියානියෙක් වශයෙන් සම්පූර්ණ වගකීම් බාරගත නොහැකි ආත්මික ළදරුවෙක් වගේද? අපි ආත්මිකව ළදරුවන් වගෙයි කියා කැමැත්තෙන්ම කියන්නේ ටිකදෙනෙක් බව පැහැදිලියි; කොහොම වුණත් අවංකවම ආත්ම සෝදිසියක් කිරීම හොඳයි. පළමු සියවසේ සමහර ආලේප ලත් ක්‍රිස්තියානීන්ද ඒ හා සමාන තත්වයක සිටියා. ඔවුන්ම ‘ගුරුවරුන්ව’ හා දේවවචනයේ පවසන දේවල් අනිත් අයට උගන්වන්න කැමැත්තෙන් සිටිය යුතුව තිබුණත්, ප්‍රේරිත පාවුල් මෙහෙම ලිව්වා: “[දෙවිගේ] වාක්‍යවල මුල් ගුරුකම් නැවත යමෙකු විසින් නුඹලාට උගන්වන්ට ඕනෑව තිබේ; නුඹලා ඝන ආහාර නොව කිරි ඕනෑකරන අයව සිටින්නෝය.” ආත්මිකව වැඩෙන්න ඔබට වුවමනා නම්, හොඳ ඝන ආත්මික ආහාර සඳහා රුචියක් වර්ධනය කරගන්න. ආත්මික ළදරු ආහාරවලින් සෑහීමට පත් නොවන්න.—හෙබ්‍රෙව් 5:12.

සතුරු ලෝකයක අප දිනපතා මුහුණ දෙන පරීක්ෂා මගින් සිදු වන ඕනෑම හානියක් අලුත්වැඩියා කරගැනීම සඳහාත් මේ ඝන ආත්මික ආහාර අපිට අවශ්‍යයි. ඒවා අපේ ආත්මික ශක්තිය දුර්වල කරන්න පුළුවන්. ඒ වුණත් දෙවිට පුළුවන් නැවත ප්‍රාණවත් කරන්න. පාවුල් මෙහෙම කිව්වා: “අපි ක්ලාන්ත නොවමුව; අපේ පිටත මනුෂ්‍යයා ක්ෂයවෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත්කරනු ලබන්නේය.” (2 කොරින්ති 4:16) අපිව “දවසින් දවස අලුත්කරනු ලබන්නේ” කොහොමද? පෞද්ගලිකව සහ කණ්ඩායමක් හැටියට ශුද්ධ ලියවිලි හා බයිබලය මත පදනම් ප්‍රකාශන අධ්‍යයනය කිරීම මගින් නිතිපතා දේවවචනයෙන් පෝෂණය ලැබීමෙනුයි.

ආත්මික ශක්තිය සඳහා ආහාර

“උණුසුම සහ ශක්තිය නිපදවන්න” ආහාර අවශ්‍යයි. අපේ ශරීර හොඳින් ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ආහාර මගින් සැපයෙනවා. අපේ අනුභව කිරීම දුර්වල නම්, අපිට ශක්තිය ලැබෙන්නේ ටිකයි. අපේ ආහාරයේ ඛනිජ අඩුවීම හේතුවෙන්, අප තුළ වෙහෙසකාරි හා අලස ගතියක් ඇති කරන්න පුළුවන්. ආත්මික කටයුතු සම්බන්ධයෙන් ගත් කල, සමහර අවස්ථාවලදී ඔබට හැඟෙන්නේ ඒ ආකාරයටද? ක්‍රිස්තියානියෙක් වීම නිසා පැමිණෙන වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමට ඔබට අපහසුතාවක් දැනෙනවාද? යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්යයි කියාගන්නාවූ සමහර අය යහපත කිරීමේදී දුර්වලයන් බවට පත් වන අතර, ක්‍රිස්තියානි වැඩ සඳහා ඔවුන්ට තියෙන ශක්තිය අඩුයි. (යාකොබ් 2:17, 26) මෙය ඔබ සම්බන්ධයෙන් සැබෑවක් කියා ඔබට වැටහෙනවා නම්, ප්‍රතිකාරය බොහෝදුරට රඳා පවතිනු ඇත්තේ, ඔබේ ආත්මික ආහාර ගැනීම වැඩිදියුණු කිරීම හෝ ඔබට ලබාගත හැකි ආත්මික ආහාර ධාරිතාව වැඩි කිරීම මතයි.—යෙසායා 40:29-31; ගලාති 6:9.

ආත්මික ආහාර ගැනීමේ දුර්වල පුරුදු වර්ධනය කරගන්න තරමට මෝඩ වෙන්න එපා. සියවස් ගණනාවක් පුරා සාතන් විසින් යොදාගෙන තිබෙන ප්‍රබලතම මුළා කිරීම්වලින් එකක් නම්, බයිබලය කියවා, එයින් ඒකාන්ත දැනුම ලබාගන්න තමන්ට අවශ්‍ය නැති බව මිනිසුන්ට ඒත්තුගැන්වීමයි. සතුරු නගර යටත් කරගැනීම සඳහා ආක්‍රමණශීලී හමුදාවන් විසින් යොදාගත් පැරණි උපාය මාර්ගයක් වන ආහාර ඔවුන්ගෙන් ඉවත් කර, සාගින්නෙන් සිටින්න සලස්වා යටත් කරගැනීම, ඔහු යොදාගන්නවා. ඒත් ඔහු මේ උපාය මාර්ගය තවත් පියවරකින් ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. සාතන් “වටලාගෙන” ඉන්න අය පෝෂ්‍යදායී ආත්මික ආහාර බහුලත්වයකින් වට වී සිටියත්, තමන්වම සාගින්නෙන් සිටීමට ඉඩහරින පරිද්දෙන් ඔහු ඔවුන්ව මුළා කරවනවා. හුඟදෙනෙක් ඔහුගේ ප්‍රහාරයන්ට ගොදුරු වීම ගැන පුදුම විය යුතු නැහැ.—එපීස 6:10-18.

ආත්මික නිරෝගිකම සඳහා ආහාර

අපිට ආහාර අවශ්‍ය වීමට තුන්වන හේතුව වන්නේ, “සිරුරේ නිරෝගිකම ක්‍රමවත්ව පවත්වාගැනීමට . . . හා රෝග වැළැක්වීමට” කියා ආහාර සහ පෝෂණය නමැති පොතේ පවසනවා. හොඳ ආහාරවල තියෙන සෞඛ්‍යමය ප්‍රයෝජන ක්ෂණිකව දැකගන්න බැහැ. අපි හොඳ ආහාර වේලක් ගත් පසු, ‘ඒ ආහාරවලින් මගේ හෘද වස්තුවට (හෝ මගේ වකුගඩුවලට හෝ මගේ මාංශ පේශීන්වලට හා එවැනි දේවලට) හොඳ පෝෂණයක් ලැබුණා’ කියා අපි හිතන්නේ කලාතුරකින්. එහෙත්, දිගු කාලයක් ආහාර ගන්නේ නැතුව ඉඳලා බලන්න; එතකොට ඔබේ සෞඛ්‍යයට ඇති කරන ප්‍රතිවිපාක පැහැදිලිව දැකගන්න පුළුවන් වෙයි. මොන ප්‍රතිවිපාකද? “පොදුවේ දක්නට තිබෙන දෙය හානිකර එකක්: ශක්තිමත්ව වැඩෙන්න නොහැකි වීම, සුළු ආසාදනයකට පවා ඔරොත්තු දීමට නොහැකි වීම, ශක්තිය නොමැති වීම හෝ මුලපුරා දේවල් කරන්න නොහැකි වීම” යනාදි දේවල් කියා එක් වෛද්‍ය ආශ්‍රේය ග්‍රන්ථයක් පවසනවා. ඉශ්‍රායෙල්වරු සාමානාකාරයක ආත්මික රෝගී සෞඛ්‍ය තත්වයකට යම් කලකදී නිරාවරණය වුණා. අනාගතවක්තෘ යෙසායා ඔවුන් ගැන මේ විදිහට කිව්වා: “මුළු හිස රෝගාතුරව, මුළු සිත දුර්වලව තිබේ. පතුලේ සිට හිස දක්වා කොයි තැනකවත් කිසි සනීපයක් නැ[ත].”—යෙසායා 1:5, 6.

එවැනි ආත්මික බෙලහීනතා හා ආත්මික ආසාදනයන්ගේ ප්‍රතිවිපාක සමඟ සටන් කරන්න අවශ්‍ය ශක්තිය, හොඳ ආත්මික ආහාර මගින් අපට සැපයෙනවා. ආත්මිකව හොඳ තත්වයක සිටින්න දෙවිගෙන් ලැබෙන දැනුම අපට උදව් වෙනවා—හැබැයි, අපි එයින් පෝෂණය ලබනවා නම් විතරයි! තමා ජීවත් වූ කාලයේ සිටි අයගෙන් වැඩිදෙනෙක්, නිසි පරිදි ආත්මිකව පෝෂණය වීමේ කාරණය ගැන ඔවුන්ගේ පියවරුන්ගේ නොසැලකිලිමත්කමින් ඉගෙන නොගත් ආකාරය ගැන යේසු ක්‍රිස්තුස් අදහස් දැක්වුවා. ඔහු උගන්වමින් සිටි සත්‍යයන්ගෙන් පෝෂණය ලැබීම ඔවුනුත් ප්‍රතික්ෂේප කළා. මොන ප්‍රතිඵලයක් ඇතුවද? යේසු මෙහෙම කිව්වා: “තමුන්ගේ ඇස්වලින් නොදැක, කන්වලින් නොඅසා, සිතින් තේරුම් නොගෙන, නොහැරී, මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස, මේ සෙනගගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔවුන්ගේ ඇස් පියාගෙන සිටිති.” (මතෙව් 13:15) දේවවචනය සතු සුව කිරීමේ බලයෙන් වැඩිදෙනෙක් කවදාවත් ප්‍රයෝජන ගත්තේ නැහැ. ඔවුන් දිගටම ආත්මිකව රෝගාතුරව සිටියා. සමහර ආලේප ලත් ක්‍රිස්තියානීන් පවා “දුර්වලව ලෙඩව” සිටියා. (1 කොරින්ති 11:30) දෙවි සපයමින් තිබෙන ආත්මික ආහාර සඳහා අපි කවදාවත් අරුචියක් ඇති කර නොගනිමු.—ගීතාවලිය 107:20.

ආත්මිකව දූෂ්‍ය වීම

ආත්මික සාගින්න මගින් ඇති කරවන තර්ජනයට අමතරව, අපි සුපරීක්ෂාකාරිව සිටිය යුතු තවත් අනතුරක් තියෙනවා; ඒ තමයි අපි අනුභව කරන ආහාර වර්ගය දූෂණය වෙලා තියෙන්න පුළුවන් වීම. අනතුරුදායක භූතමය අදහස්වලින් ආසාදිත ඉගැන්වීම්වලට අවධානය යොමු කිරීමෙන්, විෂ බීජ හා විෂ ද්‍රව්‍යවලින් දූෂ්‍ය වී තිබෙන ශාරීරික ආහාර අනුභව කිරීමේදී සිදු වන්නාක් මෙන් ඒවා මගින් අප තුළ විෂ ඇති කළ හැකියි. (කොලොස්සි 2:8) විෂ සහිත ආහාර හඳුනාගැනීම සැමවිටම පහසු දෙයක් නොවෙයි. “ආහාර සමහර අවස්ථාවලදී සම්පූර්ණයෙන්ම හිතකර වගේ පෙනුණත්, එය රෝගකාරක බැක්ටීරියාවලට රැකවරණය සපයන ස්ථානයක් වෙන්න පුළුවන්” කියා එක් මුලාශ්‍රයක පවසනවා. එනිසා ශුද්ධ ලියවිලිවලට පටහැනි ඉගැන්වීම් හා දර්ශනයන් හඳුන්වා දෙන ඇදහිල්ල අත්හැර යන්නන්ගේ පොත් පත් වැනි සමහර ප්‍රකාශනවලින් ආසාදිත තත්වයන් ඇති කළ හැකි බව මතක තබාගනිමින්, අපේ උපමේය ආහාරවල ප්‍රභවය පරීක්ෂා කර බැලීම සඳහා කිට්ටු අවධානයක් දෙමු. සමහර ආහාර නිපදවන්නන්, ඔවුන්ගේ නිෂ්පාදනවල අඩංගු දෑ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ව රවට්ටන්න නොමඟ යවන ලේබල පවා යොදාගන්නවා. ප්‍රධානතම රවටන්නා වන සාතන් ඒ හා සමානව ක්‍රියා කරයි කියා අපිට නිසැකවම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා, ඔබට “ඇදහිල්ලේ සෞඛ්‍යසම්පන්නව” [NW] සිටින්න හැකි වන පරිදි, උපමේය ආහාර විශ්වාසදායක ප්‍රභවයකින් ඔබ ලබාගන්නා බවට සහතික වන්න.—තීතස් 1:9, 14.

දහහත්වන සියවසේ විසූ දේශනාකරුවෙක් වූ තොමස් ඇඩම්ස්, තමා ජීවත් වූ කාලයේ සිටි මිනිස්සු ගැන මේ විදිහට කිව්වා: “ඔවුන් තමන්ගේම දත්වලින් තමුන්ගේ මිනිවළවල් හාරාගෙන තියෙනවා.” වෙනත් වචනවලින් කියනවා නම්, ඔවුන් අනුභව කළ දේවල් ඔවුන්ව මරණයට පත් කළා. ඔබ ආත්මිකව අනුභව කරන දේවල් ඔබව මරණයට පත් නොකරන ඒවා බවට සහතික වන්න. හොඳ ආත්මික ආහාර සැපයුම් සොයාගන්න. “කෑම නොවන දේට මුදල් . . . වියදම්කරන්නේ මක්නිසාද?” කියා, තම සෙනඟයයි කියා සිටි අය බොරු ගුරුවරුන් හා අනාගතවක්තෘවරුන් වෙතට හැරුණු විට යෙහෝවා දෙවි ඇසුවා. “හොඳාකාරයෙන් මට ඇහුම්කන්දී හොඳව තිබෙන දේ කන්න, නුඹලාගේ ප්‍රාණයද තරකම භුක්තිවිඳීවා. නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය.”—යෙසායා 55:2, 3; සසඳන්න යෙරෙමියා 2:8, 13.

ආත්මික ආහාරවල බහුලත්වයක්

ඇත්තෙන්ම හොඳ ආත්මික ආහාරවල කිසි හිඟයක් නැහැ. යේසු ක්‍රිස්තුස් පුරෝකථනය කළාක් මෙන්, අවශ්‍ය හැම කෙනෙකුට “නියම වේලාවට කෑම” සැපයීමේ කාර්ය බහුලව සිටින විශ්වාස හා නුවණ ඇති දාස පන්තියක් දැන් ඔහුට ඉන්නවා. (මතෙව් 24:45) අනාගතවක්තෘ යෙසායා මගින් යෙහෝවා මෙහෙම පොරොන්දු වුණා: “මෙන්න, මාගේ මෙහෙකරුවන්ට කන්ට තිබෙද්දී නුඹලාට බඩගිනි වන්නේය. . . . මාගේ මෙහෙකරුවන් සිතේ ප්‍රීතියෙන් ගීකිය[න්නේය].” ඇත්තෙන්ම, අනුභව කරන්න ආශා කරන අයට ඔහු මංගල භෝජනයක් පිළියෙළ කරන්න පොරොන්දු වෙනවා. “සේනාවල [යෙහෝවා] . . . සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් සාද[නු ඇත].”—යෙසායා 25:6; 65:13, 14.

කොහොම වුණත්, මේ ගැන කල්පනා කර බලන්න: මංගල භෝජනයකදී අපි හාමතෙන් මැරෙන්න පුළුවන්. අපි අවට ආහාර බහුලව තිබුණත්, ඒවායින් අනුභව කරන්න අපි තුළ පෙලඹවීමක් නැත්නම්, අපි බරපතළ ඌන පෝෂණයකින් පෙළෙන්න පුළුවන්. මෙම සැබෑ තත්වය ගැන හිතෝපදේශ 26:15හි මේ විස්තරය සපයනවා: “අලසයා තමාගේ අත තලියේ තබන නුමුත් නැවත එය තමාගේ කටට ගැනීම ඔහුට වෙහෙසක්ය.” මොනතරම් කනගාටුදායක තත්වයක්ද! ආත්මික ආහාර ලබාගැනීම සඳහා අපට උපකාර කරන්න පිළියෙළ කර තියෙන දේවවචනය සහ බයිබල් ප්‍රකාශන පෞද්ගලිකව අධ්‍යයනය කිරීමෙහි වෙර දැරීමට අපි ඒ හා සමානවම හොඳටම කම්මැළි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රිස්තියානි සභා රැස්වීම්වලට සූදානම් වීම හෝ සහභාගි වීම අපට වෙහෙසකාරි දෙයක් වෙන්න පුළුවන්.

ආහාර ගැනීමේ යහපත් පුරුදු

එසේනම්, ආහාර ගැනීමේ යහපත් පුරුදු වර්ධනය කරගන්න අපිට සෑම හේතුවක්ම තියෙනවා. කොහොම වුණත්, සැබෑ තත්වය වන්නේ හුඟදෙනෙක් තමන් ගන්න ආත්මික ආහාර තේරීමයි, එහෙම නැත්නම් සමහර අය සම්පූර්ණයෙන්ම තමන්වම හාමතෙන් සිටීමට පවා ඉඩහැරීමයි. ජීවිතයේ පසු කාලයේදී අහිතකර ප්‍රතිවිපාකවලින් වේදනා විඳින තෙක්, නියම ආහාර වේලක වැදගත්කම තේරුම්ගන්නේ නැති අයට ඔවුන් සමාන වෙන්න පුළුවන්. ජීවිතයේ පැවැත්ම සඳහා හොඳට ආහාර ගැනීම අත්‍යවශ්‍ය බව අපි දැන සිටියත්, අපේ ආහාර ගැනීමේ පුරුදු ගැන අපි නොසැලකිලිමත් විය හැකිවීමට හේතුව මෙය හැටියට සෞඛ්‍ය වඩවන ආහාර ගැනීම පෙන්වනවා: “ගැටලුව වන්නේ, නොසැලකිලිමත්ව පාර හරහා මාරුවීමෙන් ඇති වන හදිසි ප්‍රතිඵල වගේ නොව, [ආහාර ගැනීමේ දුර්වල පුරුදුවල ප්‍රතිඵලයක් හැටියට ඇති වන] සෞඛ්‍ය පිරිහීම වේගවත්ව සිදු නොවීමයි. ඒ වෙනුවට, සැඟවුණු ආකාරයකට යමෙකුගේ සෞඛ්‍ය පිරිහීම ඉතා සෙමින් සිදු විය හැකියි; පහසුවෙන්ම ආසාදනයන්ට ගොදුරු විය හැකියි; අස්ථි හුඟක් දුර්වල විය හැකියි; තුවාල සුවවීම හා රෝගවලින් සුවවීම සෙමින් සිදු විය හැකියි.”

තත්වය උත්සන්න වුණොත්, තමාගේ සිරුරේ බාහිර වෙනසක් ඇති වේදෝ යන මානසික බිය හේතුවෙන් අරුචියෙන් පෙළෙන තරුණ කාන්තාවකගේ තත්වයකට කෙනෙක් පත් වෙන්න පුළුවන්. ඇගේ සිරුර වැහැරෙමින් තියෙනවා කියන සත්‍යය නොසලකා, තමා සම්පූර්ණයෙන්ම නිරෝගිව සිටින බවත් තමාට ආහාර අවශ්‍ය නැති බවත් ඇය ඇයටම ඒත්තුගන්වනවා. අන්තිමේදී ඈ ආහාර සඳහා තියෙන රුචිය සම්පූර්ණයෙන්ම නැති කරගන්නවා. “ඒක අනතුරුදායක තත්වයක්” කියා වෛද්‍ය ආශ්‍රේය ග්‍රන්ථයක් පවසනවා. ඒ ඇයි? “රෝගියෙක් ඇත්තටම හාමතෙන් මියයන්නේ කලාතුරකින් වුවත්, ඈ බරපතළ ලෙස ඌන පෝෂණයට පත් වන අතර, ඉතා සුළු ආසාදනයකටවත් ඔරොත්තු නොදෙන්න පුළුවන්.”

එක් ක්‍රිස්තියානි ස්ත්‍රියක් මෙසේ පිළිගත්තා: “හැමදාම රැස්වීම්වලට සූදානම් වෙන එකෙත් පෞද්ගලිකව අධ්‍යයනය කරන එකෙත් ඇති අවශ්‍යතාව දැනගෙන හිටියත්, ඒක කරන්න කවදාවත් බැරි වෙච්ච එක අවුරුදු ගණනාවක් තිස්සේ මගේ හිතට වධ දුන්නා.” දේවවචනයේ හොඳ ශිෂ්‍යාවක් වීම සඳහා ඈ අවසානයේදී වෙනස්කම් කළා; ඒත් ඈ එසේ කළේ, ඇගේ තත්වයේ හදිසිතාව ඈ සම්පූර්ණයෙන්ම තේරුම්ගත් පසුව පමණයි.

එසේනම්, ප්‍රේරිත පේතෘස් දුන් උපදේශය හෘදයට ගන්න. “අලුත උපන් බිලිඳුන්” මෙන් වී, “ආත්මිකවූ අමිශ්‍රවූ කිරිවලින්, නුඹලා ගැළවීම සඳහා වර්ධනයවන පිණිස . . . එයට බොහෝ ආශාවෙන්න.” (1 පේතෘස් 2:3) ඔව්, “ආශාවෙන්න”—දෙවි ගැන දැනුමෙන් ඔබේ මනස සහ හෘදය පුරවාගැනීම සඳහා දැඩි ආශාවක් වර්ධනය කරගන්න. ආත්මික වැඩිහිටියන්ද දිගටම පෝෂණය ලැබීමට ආශාවක් ඇතුව සිටීම අවශ්‍යයි. ‘ඔබ සතු දේවල් අතුරින් වඩාත්ම වැරදි විදිහට පාවිච්චි කරන එකක්’ වෙන්න ආත්මික ආහාරවලට ඉඩ තියන්න එපා. ආත්මික ආහාර හොඳට අනුභව කරන්න; දේවවචනය වන බයිබලයේ සඳහන් වී තිබෙන “සාරවූ වචනව[ලින්]” පූර්ණ ප්‍රයෝජන ගන්න.—2 තිමෝති 1:13, 14.

[28වන පිටුවේ පින්තූරය]

ඔබගේ ආහාර ගැනීම වැඩිවර්ධනය කරගන්න ඔබට අවශ්‍යද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න