බලාපොරොත්තු සුන්භාවය මැද බලාපොරොත්තුව සොයන අයුරු
ඔබට මතු දැක්වෙන අද්දැකීම් අද්දකින්න සිදු වුණායයි සිතන්න: ඔබව නැති බැරි තත්වයකට ඇද දාලා; ඔබේ ද්‍රව්‍යමය සැප සම්පත් සියල්ල විනාශ වෙලා. ඔබේ ජීවිතයේ ප්‍රීතිය වන ඔබේ දරුවන් නැති වෙලා. ඔබේ කලත්‍රයා ඔබට අවශ්‍ය දිරිගැන්වීම දෙන්නේ නෑ. ඔබේ සෞඛ්‍යය ඇත්තෙන්ම පිරිහිලා. හැම දවසක්ම වේදනාකාරි දුෂ්කර අද්දැකීමක්.
ඔබේ ජීවිතය ඒ වගේ තත්වයකට පත් වුණා නම්, දිගටම ජීවත් වෙන්න හේතුවක් හොයාගන්න ඔබට පුළුවන් වෙයිද? එහෙමත් නැත්නම් ඔබ බලාපොරොත්තු සුන්භාවයට යටපත් වෙනවාද?
මොහොතකට කලින් විස්තර කළ ඒ කනගාටුදායක තත්වය, බයිබල් කාලවල ජීවත් වුණ මිනිසෙක් වූ යෝබ්ගේ සැබෑ-ජීවිත අද්දැකීමයි. (යෝබ් 1, 2 පරිච්ඡේද) අඩියටම කලකිරුණු තත්වයකදී, යෝබ් මෙහෙම ශෝකයෙන් පැවසුවා: “මාගේ ආත්මයට [ප්‍රාණයට, NW] මාගේ ජීවිතය වෙහෙසක්ය.” සහනයක් හැටියට මැරෙනවා නම් වඩා හොඳයි කියලා ඔහු හිතන්න ඇති. (යෝබ් 10:1; 14:13) කොහොමවුණත්, යෝබ් තම අතිමහත් වේදනා විඳීම මැද වුණත් දෙවි කෙරෙහි තම අඛණ්ඩතාව දිගටම පවත්වගත්තා. ඒ නිසා යෙහෝවා “යෝබ්ගේ පටන්ගැන්මට වඩා ඔහුගේ අන්තිමයට ආශීර්වාදක[ළා].” මේ හේතුවෙන්, ඔහු “මහලුව වයසින් පූර්ණව” සැනසීමෙන් මියගියා.—යෝබ් 42:12, 17.
අද දක්වාම ගෞරවයෙන් පිළිගැනෙන, විඳදරාගැනීම පිළිබඳ ආදර්ශයක් යෝබ් තැබුවා. ඔහුගේ පීඩා ඔහුගේ පෞද්ගලිකත්වය වඩාත් යහපත් අතට හැරෙව්වා විතරක් නෙවෙයි, අනිත් අයවත් හොඳ දේවල් කරන්න පෙලඹෙව්වා. (යාකොබ් 5:10, 11) සියල්ලටමත් වඩා, යෝබ්ගේ නිකැළැල් අඛණ්ඩතාව යෙහෝවාගේ හෘදය ප්‍රීතිමත් කළා. (හිතෝපදේශ 27:11) මෙලෙස වේදනාකාරි නපුරු සිහිනයක්, අන්තිමේදී යෝබ්ටත්, ඔහුගේ ආදර්ශයෙන් පෙලඹුණ සියලුදෙනාටමත් ආශීර්වාද ගෙනා භක්තිවන්තකමේ, ඇදහිල්ලේ සහ අඛණ්ඩතාවේ විශාල ජයග්‍රහණයක් බවට පත් වුණා.
නානාවිධ පීඩා මැද බලාපොරොත්තුව
යෝබ් අද්දුටු ඒවා හා සමාන පීඩා ඔබ විඳින්ට පුළුවන්. ප්රේමනීයයෙකුගේ වියෝව ඔබව චෛතසිකව අඩපණ කළා වෙන්න පුළුවන්. දරුණු අසනීපය ඔබේ ජීවත් වීම වේදනාකාරි දුෂ්කර අද්දැකීමක් කළා වෙන්න පුළුවන්. හෘදය පලුදු කරන දික්කසාදයක් හේතුවෙන් ඔබේ මුළු ජීවිත මාර්ගයම කැඩිලා බිඳිලා ගිහිල්ලා තියෙනවා වගේ දිස් වෙන්න පුළුවන්. ආර්ථිකය නොපිට පෙරළීමෙන් ඔබව නැති බැරි තත්වයකට ඇද වැටිලා වෙන්න පුළුවන්. සැබෑ නමස්කාරයේ වෛරක්කාර එදිරිවාදීන් ගෙනෙන කුරිරු පීඩාවල ගොදුර ඔබ විය හැකියි. ඔබේ පීඩාවලට මූණ දෙන්න වලි කන්න සිදු වුණ නිසා, ඔබේ අනාගතය බලාපොරොත්තු සුන් එකක් බවට හැඟෙන්න ඔබට සැලැස්සුවා වෙන්න පුළුවන්.—1 පේතෘස් 1:6.
බලාපොරොත්තු සුන්භාවයට ඉඩ දෙනවා වෙනුවට, ‘මං දුක් විඳින්නේ ඇයි’ කියලා ඔබෙන්ම අහගන්න. ඔබ දුක් විඳින්නේ යක්ෂයා වූ සාතන් නමැති ‘නපුරා තුළ තිබෙන ලෝකයෙහි’ ඔබ ජීවත් වෙන හින්දයි. (1 යොහන් 5:19) ප්‍රතිඵලයක් වශයෙන්, හැමකෙනාම දුක් විඳිනවා. රාජ්‍ය පණිවිඩය කෙරෙහි සාතන් බිහි කළ වෛරය, අන්‍යයන්ගේ අකරුණාවන්ත වචන නැත්නම් මේ “අර්බුදකාරි කාලවල්” තුළ පොදුවේ දකින්න තියෙන අභක්තික හැසිරීමේ භයානක ක්‍රියා අපි හැමෝටම යම් විදිහකින් හෝ බලපාලා තියෙනවා.—2 තිමෝති 3:1-5, NW.
ඔබේ ජීවිතයේ යම් ඛේදජනක සිද්ධියක් ඇති වෙලා තියෙනවා නම්, ඔබ “කාලයත් හදිසි කාරණා[වලත්]” ගොදුරක් බවට පත් වුණා විය හැකියි. (දේශනාකාරයා 9:11) අනික් අතට, අපිටම උරුම වෙලා තියෙන පාපය නිසා ජීවිතයේ යම් දේවල් සමහර වෙලාවල වැරදෙනවා. (රෝම 5:12) ඔබ බරපතළ වරදක් කළ නමුත් පසුතැවිලි වී, ආත්මික උපකාරය පතද්දී, ඔබව දෙවි අත්ඇරලා කියලා හිතන්න එපා. (ගීතාවලිය 103:10-14; යාකොබ් 5:13-15) වෙන කවරෙකුටත් වඩා, ඔහු අප සඳහා සැලකිල්ලක් දක්වනවා. (1 පේතෘස් 5:6, 7) “[යෙහෝවා] බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටි[න්නේය], තැළුණු ආත්ම ඇත්තන් ගළව[න්නේය]” යන නිසැකකම ඔබට තබාගත හැකියි. (ගීතාවලිය 34:18) ඔබේ පීඩාව මොනතරම් දුක්දායක හෝ දරුණු එකක් වුණත් කමක් නෑ, ඒ සමඟ කටයුතු කරන්න ඔබට ප්‍රඥාව දෙන්න යෙහෝවාට පුළුවන්. (යාකොබ් 1:5-8) යෙහෝවාට හැම තුවාලයක්ම සුව කරන්න පුළුවන් බව මතක තියාගන්න. ඔබට ඔහුගේ අනුග්‍රහය තියෙන විට, ජීවනයේ ත්‍යාගය ලබාගැනීමෙන් ඔබව වළක්වන්න කිසි දෙයකට බැහැ.—රෝම 8:38, 39.
පීඩාවලින් යම් සෙතක් සැලසෙයිද?
“සැමදා නියං එකදා වැහි වලාවේ” කියලා පැරණි කියමනක් තියෙනවා. දේවල් කොච්චර අප්‍රසන්න තත්වයකට පත් වුණත්, ඔබට හැම වෙලාවෙම බලාපොරොත්තුව සඳහා හේතුවක් හොයාගන්න පුළුවන්. දේවවචනයේ ලියලා තියෙන හැමදෙයක් පිටුපසම තිබෙන අරමුණ වන්නේ “අප බලාපොරොත්තු ඇතුව [සිටීමයි].” (රෝම 15:4) ඔබේ තත්වය කොච්චර දරුණු වුණත්, බයිබලයේ තියෙන පොරොන්දු හා ප්‍රතිපත්තිවලට හැකියි ඔබට අලුත් කළ ප්‍රීතියක් හා බලාපොරොත්තුවක් ලබා දෙන්න.
දෙවිට ප්‍රේම කරන අය ඉදිරියේ තබා තියෙන සදාකාල ආශීර්වාද හා සසඳද්දී ‘තිබෙන පීඩා පවතින්නේ මොහොතකට වගේම ඒවා සැහැල්ලුයි’ කියලා ශුද්ධ ලියවිලි පෙන්වනවා. (2 කොරින්ති 4:16-18) පරීක්ෂා මැද වර්ධනය වෙලා තියෙන භක්තිමත් ගුණාංග, කීර්තිය හෝ ද්‍රව්‍යමය වස්තුවලට වඩා හුඟක් වටින බවත් බයිබලයේ අඟවනවා. (1 යොහන් 2:15-17) මෙබැවින්, දුක් විඳීමෙන් පවා සෙතක් ඇති වෙන්න පුළුවන්. (හෙබ්‍රෙව් 5:8) ඇත්තෙන්ම, පීඩා විඳින කොට ඉගෙනගත් දේ අදාළ කරගැනීමෙන් ඔබට අනපේක්ෂිත ආශීර්වාද ලබාගන්න පුළුවන්.
දුෂ්කර පීඩාවකින් ඔබව වඩාත් මෘදු කෙනෙක් කළ හැකියි. අනිත් අයට කරදරයක් වුණ, ඒ වගේම ඔබේ ආත්මික ප්‍රගතිය පවා වැළැක්කුව පෞද්ගලික ගුණාංග ඔබට අතීතයේදී තිබුණ බවට ඔබ පිළිගත හැකියි. සමහරවිට එහෙම වුණේ වුවමනාවට වඩා නිසැකකම ඇතුව සිටි නිසා වෙන්න පුළුවන්. යම් විපත්තියකින් හිරිහැර වින්දයින් පස්සේ, ඔබ කොයිතරම් දුර්වල කෙනෙක්ද, ඔබට කොයිතරම් අන්‍යයන්ව අවශ්‍ය කරනවාද කියන එක හදිසියේම ඔබට වැටහෙන්න ඉඩ තියෙනවා. ඔබේ පීඩාව ඔබට ඒ පාඩම උගන්වලා තියෙනවා නම් සහ ඔබ අවශ්‍ය කරන වෙනස්කම් කරලා තියෙනවා නම්, ඒක ඔබට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.
අතීතයේදී ඔබේ කෝපය පාලනය කරගැනීමේ අසීරුතාවක් ඔබට තිබුණ නිසා ඔබ එක්ක කටයුතු කරන්න අමාරු බව අන් අයට පෙනීගියා නම් කුමක්ද? මෙය ඔබේ සෞඛ්‍යය සම්බන්ධයෙන් පවා ඔබට යම් චිත්ත පීඩාවක් ඇති කළා වෙන්න පුළුවන්. (හිතෝපදේශ 14:29, 30) කොහොමවුණත්, ආත්ම-දමනය පවත්වගන්න ඔබට උපකාර කරන්න දෙවිගේ ආත්මය මත ඔබ රඳා පවතින නිසා, දැන් තත්වය වඩාත් හොඳ අතට හැරිලා වෙන්න පුළුවන්.—ගලාති 5:22, 23.
අනිත් අය වගේ, ඔබත් එක කාලෙකදී වැරදි කරන අය කෙරෙහි දයානුකම්පාව නොදැක්කුවා වෙන්න පුළුවන්. නමුත් දයාව බොහෝ සෙයින් උවමනා කරන බව හැඟුණ තත්වයකට ඔබවම වැටුණා නම්, අනිත් අය කෙරෙහි දයාව දක්වන්න දැන් ඔබ වැඩියෙන් නැඹුරු වෙනවා විය හැකියි. ඔබට දැක්වූ හද උණුසුම් කරවන අනුකම්පාව, සැලකිල්ල සහ දයාව මගින්, ඔබත් පසුතැවිලි වන වැරදිකරුවන් වෙත එවැනිම ගුණාංග විදහා පෑ යුතු බව වටහාගන්න ඔබට සලස්වලා තියෙනවා. ඔබ වින්ද වේදනාව, ඔබේ පෞද්ගලිකත්වය තුළ තිබෙන මේ දුර්වලතා නිවැරදි කරගන්න ඔබව පොලඹවලා තියෙනවා නම්, ඔබේ අද්දැකීමෙන් ඔබ ලබා තියෙන එක ප්රයෝජනයකි මෙය. “දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය” කියලා ඔබ ඉගෙනගෙන තියෙනවා.—යාකොබ් 2:13; මතෙව් 5:7.
ක්‍රිස්තියානි සභාව මගින් හික්මවීම හේතුවෙන්, ආදරයෙන් රැකගත් ඔබේ වරප්‍රසාද සහ අන්‍යයන්ගේ ගෞරවය ඔබට අහිමි වුණොත් තත්වය මොකක්ද? බලාපොරොත්තු සුන්භාවයට යට වෙන්න එපා. හික්මවීමේ ක්‍රියාව සභාව පිරිසිදුව තබාගන්න උපකාර වන නමුත්, එහි පරමාර්ථයන් පිටුපස වරදකරුගේ ආත්මික යළි ගොඩනැංවීම ඇතුළත්ව තිබෙනවා. “කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්[නා]” බව පිළිගන්න පුළුවන්. (හෙබ්‍රෙව් 12:11) හික්මවීම බලවත් පහරක් විය හැකි වුවත්, එය පසුතැවිලි වන යටහත් පහත් පුද්ගලයාට බලාපොරොත්තුවක් නැතුව ඉන්න සලස්වන්නේ නෑ. වැරදි කිරීම නිසා පුරාණ ඉශ්රායෙලයේ දාවිත් රජට දැඩි හික්මවීමක් දුන්නත්, ඔහු පසුතැවිලි වූ අතර, අන්තිමේදී විශිෂ්ට ඇදහිල්ලක් ඇති මනුෂ්‍යයෙකු වශයෙන් විශේෂ ප්‍රශංසාවක් ලැබුවා.—2 සාමුවෙල් 12:7-12; ගීතාවලිය 32:5; හෙබ්‍රෙව් 11:32-34.
ඔබේ බලාපොරොත්තුව සම්බන්ධයෙන් ගැඹුරු බලපෑමක් කරන්න පීඩාවකට පුළුවන්. මේ ලෝකයේ පිළිගැනීම හා සමාජ තත්වය ඔබට ගෙන දුන් ද්‍රව්‍යමය ඉලක්ක හා අත් කරගැනීම් වෙත අතීතයේදී ඔබේ අවධානය යොමු වෙලා තියෙන්න ඇති. සමහරවිට මුදල් පරිහානියක් හෝ ද්‍රව්‍යමය දේවල් අහිමි වීමක් සම්බන්ධව පවතින පීඩාවක් ඔබේ සිතුවිලි වඩාත් වැදගත් දේවල් වෙත යොමු කර තිබෙනවා. (පිලිප්පි 1:10, සසඳන්න.) සැබෑ ප්‍රීතිය හා කල්පවතින තෘප්තිය ගෙනෙන්නේ ආත්මික සාරධර්ම සහ පරිශුද්ධ සේවයේ ඉලක්ක විතරයි කියන එක දැන් ඔබට වැටහෙනවා.
යෙහෝවා තුළ විශ්වාසය තබන්න
යෙහෝවාට පරිශුද්ධ සේවය පිරිනැමීමේදී, ඔබේ ක්‍රිස්තියානි විශ්වාසයන්ට විරුද්ධ අය අතින් පීඩා හා දුක් විඳීම ප්‍රතිඵල විය හැකියි. මේ පීඩා නිසා ඔබ පීඩිතව ඉන්න බවක් හැඟෙන්න පුළුවන් නමුත්, එයින් යහපතක් සිද්ධ වෙන්න පුළුවන්. මේ පීඩාවට ඔබේ ඇදහිල්ල ශක්තිමත් කළ හැකියි. එපමණක්ද නොවෙයි, පීඩා විඳින අන් අයට ඔබේ අඛණ්ඩතාව දැකීමෙන් දිරිගැන්වීම හා ශක්තිය ලබාගන්න පුළුවන් වෙයි. ඔබේ මනා හැසිරීම සියැසින්ම දකින අය දෙවිව මහිමවත් කරන්න පෙලඹෙන්න ඉඩ තියෙනවා. ඔබේ විරුද්ධකාරයන් පවා ලජ්ජාවට පත් වෙලා, ඔබේ හොඳ ක්‍රියා පිළිගන්න පුළුවන්.—1 පේතෘස් 2:12; 3:16.
පීඩා විඳි විට බලාපොරොත්තු සුන් කරගැනීමෙන් වළකින්න ඔබ යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න අවශ්‍යයි. පීඩාවකින් සහනය ස්ථිරයෙන්ම පැමිණෙයි; නමුත් ඔබ හිතන පරක්කුවටම එය නොපැමිණෙන්න පුළුවන් බව ඔහුගේ වචනය පෙන්වයි. ඒ අතරතුර, “යහපත කිරීමට මැළි නොවෙන්න.” (2 තෙසලෝනික 3:13) පීඩාවලට මූණ දෙන්නත්, විඳදරාගන්නත් ක්‍රම සොයමින් ඉන්න. බලාපොරොත්තුවක් තියාගන්න බැහැයි කියලා හිතෙන දේවලදී පවා, ‘ඔබේ බර යෙහෝවා පිට තබන්න; ඔහු ඔබ උසුලන්නේය. ඔහු කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය.’ (ගීතාවලිය 55:22) ඔබව ආත්මානුකම්පිත තත්වයක ගිල්වනවා වෙනුවට, යෙහෝවාව දැනගන්න ලැබීම, ඔහුගේ ජනයා අතර තැනක් තිබීම හා නිම නොවන ජීවිතයක් සඳහා බලාපොරොත්තුවක් ඇතුව සිටීම ඔබට මොනතරම් ආශීර්වාදයක්ද කියලා හිතලා බලන්න.—යොහන් 3:16, 36.
අත්‍යවශ්‍ය දේ මත ඔබේ මනස යොමු කර තබාගන්න. විඳදරාගන්න ශක්තිය ඉල්ලමින් යාච්ඤාව තුළින් දිනපතාම යෙහෝවා වෙත යන්න. (පිලිප්පි 4:6, 7, 13) ඔබට දුක් විඳින්න සලස්වන අයගෙන් පළිගැනීමට නිකමටවත් හිතන්න එපා. සියල්ල යෙහෝවාගේ දෑතට භාර කරන්න. (රෝම 12:19) ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගනිමින් ඔබේ පෞද්ගලිකත්වය යහපත් අතට හරවන ක්‍රම දිගටම සොයන්න. (2 පේතෘස් 1: 5-8) ඔබේ ආත්මික අවශ්‍යතා වෙත ප්‍රේමනීය සැලකිල්ලක් දක්වන වැඩිමහල්ලන් ඇතුළු, අන්‍යයන් ඔබ වෙනුවෙන් කරන හැම දෙයක්ම අගය කරන්න. (හෙබ්‍රෙව් 13:7, 17) දෙවිට විශ්වාසවන්තව සිට, මරණයටවත් ජීවනයේ තෑග්ග ඔබෙන් සොරාගත නොහැකි බවට නිසැක වෙමින්, ඒ වෙත ඔබේ නෙත යොමු කර තබාගන්න.—යොහන් 5:28, 29; 17:3.
ඔබ දැන් මහත් දුකක් හෝ දරුණු පීඩා විඳිමින් ඉන්නවා නම්, ‘ඔබේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න;’ එවිට අන්තිමේදී ඔබේ දුක හා දුෂ්කරතාව වෙනුවට අතිමහත් ප්‍රීතියක් ලැබෙයි. (හිතෝපදේශ 3:5, 6; යොහන් 16:20) යෝබ්ට කළා වගේම දෙවි ඔබට ආශීර්වාද කරන කොට කලකිරීමේ තත්වය ප්‍රීතියකට හැරෙයි. ඔබේ ත්‍යාගය එක්ක සසඳලා බලන කොට අදදින දුක් විඳීම් මොනවද කියලා හිතෙන්න පුළුවන්. (රෝම 8:18, සසඳන්න.) අන්‍යයන්ව දිරිගන්වන්නත්, “අලුත් පෞද්ගලිකත්වය” තුළින් ඇති වන යහපත් ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගන්න ඔබට උපකාර කරන්නත් ඔබේ විශ්වාසී විඳදරාගැනීමට පුළුවන්. (එපීස 4:23, 24, NW; කොලොස්සි 3:10, 12-14) එහෙමනම්, ප්‍රේරිත පේතෘස්ගේ මේ ඥානවන්ත උපදෙසෙන් ධෛර්යය ලබාගන්න: “[දෙවිගේ] කැමැත්ත ලෙස දුක්විඳින්නෝ යහපත කරමින්, විශ්වාස [මැවුම්කාරයාට] තමුන්ගේ ආත්ම භාරදෙත්වා.”—1 පේතෘස් 4:19.
[23වන පිටුවේ පින්තූරය]
යෝබ් මෙන් වන්න. කිසිදා බලාපොරොත්තු සුන් කර නොගන්න
[24වන පිටුවේ පින්තූරය]
ඔබේ මුළු හෘදයෙන් යෙහෝවාව විශ්වාස කරන්න