වැරදි චේතනා තියෙනවායයි සිතීමෙන් වළකින්න
ප්රමුඛ පෙළේ රූපවාහිනී එවැන්ජලිස්තවරයෙක්, සෙසු ධර්ම ප්‍රචාරකයෙකුව කාමමිථ්‍යාචාරයේ යෙදීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ තදින්ම හෙළාදැක්කා. කොහොමනමුත්, අවුරුද්දක් ඇතුළතදී, චෝදනා කළ එවැන්ජලිස්තවරයාද ගණිකාවක් එක්ක ඉඳලා අහු වුණා.
තවත් අවස්ථාවකදී, පෙරමුණේ සිටි ලෝක බලයක්, යුද්ධ පක්ෂ අතරේ සාම ගිවිසුම් ඇති කරන්න දූතයන්ව යැව්වා. ඒ අතරතුර, එම රටම ඩොලර් බිලියන ගණන් වටිනා යුධෝපකරණ විකුණන්න, අවි ආයුධ වෙළඳාම්කරුවන්ව හොර රහසේම විදේශීය රටවලට පිටත් කර යැව්වා.
නිහීන කුහකකම කොයිතරම් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලාද කියනවා නම්, අනුමාන කිරීම විශාල වශයෙන් විශ්වාසයේ තැන අරගෙන තිබීම පුදුමයක්ද? බොහෝදෙනෙක්ට, අන්‍යයන්ගේ චේතනාවන් ගැන ප්‍රශ්න කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.
ක්‍රිස්තියානීන් හැටියට අපි විශ්වාසී සෙසු ඇදහිලිවන්තයන් සමඟ අපේ සබඳතාවට බලපෑමක් වෙන්න එවැනි ආකල්පවලට ඉඩ නාරින්න වගබලාගත යුතුයි. අපේ සතුරන් අතර ඉන්න විට “සර්පයන් මෙන් නුවණ ඇතිව” ඉන්න කියලා යේසුස් ක්‍රිස්තුස් අපෙන් බලවත් ලෙස ඉල්ලා සිටියත්, අපි ඔහුගේ සැබෑ අනුගාමිකයන් ගැන සැක පහළ කරගත යුතුයි කියලා ඔහු පැවසුවේ නෑ. (මතෙව් 10:16) එහෙමනම්, අනිත් අය තුළ වැරදි චේතනා තියෙනවායයි සිතීමේ අනතුරු මොනවාද? එවැනි පෙලඹීමකින් වළකින්න අපි විශේෂයෙන්ම පරෙස්සම් විය යුතු පැති මොනවාද? ඒ වගේම සෙසු ක්‍රිස්තියානීන් සමඟ අපේ අගනා සබඳතා අපට රැකගන්න පුළුවන් වෙන්නේ කොහොමද?
අතීතයෙන් පාඩමක්
කිසිම හේතුවක් නැතුව, අනිත් අයට වැරදි චේතනා තියෙනවායයි සිතීම ඔවුන්ව විනිශ්චය කරනවා හා සමානයි. ඒක හරියට, ඔවුන්ගේ වචන හෝ ක්‍රියා කියන්නේ, යම් වක්‍ර හා නපුරු දෙයක් සඟවන ප්‍රයෝගයක් විතරයි කියලා නිගමනය කරන්න අපි ඉක්මන් වෙනවා හා සමානයි. බයිබලයේ යෝෂුවා 22වන පරිච්ඡේදයේ තියෙන වාර්තාවෙන් දැකිය හැකි පරිදි, බොහෝවිට සැබෑ ගැටලුව වන්නේ කාරණා දෙස වැරදි දෘෂ්ටියකින් බැලීමයි.
ඉශ්රායෙල්වරු තම පොරොන්දු දේශය ජයගැනීම අවසන් කර, ඔවුන්ගේ ගෝත්‍රීය ප්‍රදේශ අත් පත් කරගත් විගසම, රූබෙන් හා ගාද්ගේ ගෝත්‍ර මෙන්ම මනස්සේගේ අර්ධ ගෝත්‍රය යොර්දාන් ගඟ අසබඩ “දැකීමට මහත්” පූජාසනයක් ගොඩනැඟුවා. අනිත් ගෝත්‍ර මෙය ඇදහිල්ල අත්හැරයෑමේ ක්‍රියාවක් බව වැරදි විදිහට හිතාගත්තා. නමස්කාරය සඳහා ආලේප කළ ස්ථානයක් වූ ෂීලෝහි සම්මුඛවීමේ කූඩාරමට යනවා වෙනුවට, ඒ ගෝත්‍ර තුන පූජා ඔප්පු කරන්න මේ විශාල ගොඩනැඟිල්ල පාවිච්චි කරන්න යනවයි කියා හිතුවා. ඊට එරෙහි ගෝත්‍ර යුද්ධයට අවශ්‍ය සියල්ල අප්‍රමාදව සූදානම් කළා.—යෝෂුවා 22:10-12.
තම ඉශ්රායෙල් සහෝදරයන් සමඟ කතා බහ කරගන්න පීනෙහාස් ප්රමුඛ නිල නියෝජිත කණ්ඩායමක් පිටත් කර යැවීම ඔවුන්ට යහපතක් වුණා. යෙහෝවාට විරුද්ධව ද්‍රෝහිවීම, කැරලිගැසීම හා ඇදහිල්ල අත්හැරයෑම පිළිබඳ පැමිණිලි ඇහැව්වට පස්සේ, වැරදි කළායයි පෙනෙන්න තිබුණ ගෝත්‍ර, තමන් මේ විශාල පූජාසනය හැදුව හේතුව පැහැදිලි කළා. ඒක පූජා ඔප්පු කරන පූජාසනයක් වෙනවා වෙනුවට, යෙහෝවාට නමස්කාර කරද්දී ඉශ්රායෙල් ගෝත්‍රවල එකමුතුකම දක්වන “සාක්ෂියක්” විය යුතුව තිබුණා. (යෝෂුවා 22:26, 27) නියෝජිතයන් තම සහෝදරයන්ගේ අතින් වැරැද්දක් වෙලා නැති බවට හිත හදාගෙන නැවත පැමිණුණා. මෙසේ සිවිල් යුද්ධයකුත්, දරුණු ලේ හැළීමකුත් වළක්වනු ලැබුවා.
අන් අය තුළ වැරදි චේතනා තියෙනවායයි හිතන්න ඉක්මන් නොවීම සඳහා මෙය අපට මොනතරම් කදිම පාඩමක්ද! මතුපිටින් පමණක් නිරීක්ෂණය කරද්දී සැබෑවක් ලෙස පෙනෙන දේ, හුඟ වෙලාවට වඩාත් කිට්ටුවෙන් සෝදිසි කරලා බැලුවහම සම්පූර්ණයෙන්ම වෙනස් බව සොයාගන්න ලැබී තියෙනවා. ක්‍රිස්තියානියෙකුගේ ජීවිතයේ බොහෝ පැතිවලදී මෙය ඇත්තක්.
වැඩිමහල්ලන් ගැන අපේ දෘෂ්ටිය
‘දෙවිගේ සභාව පෝෂණය කරන්න’ තමන්ට තියෙන වගකීම ඉටු කරද්දී, සභාවේ විවිධ පුද්ගලයන්ට උපදෙස් දෙන්න අවශ්‍ය බව සමහරවිට වැඩිමහල්ලන්ට පෙනී යනවා. (ක්‍රියා 20:28) නිදසුනක් හැටියට, විරුද්ධ ලිංගයේ කෙනෙක් එක්ක අපේ දරුවන්ගේ නරක ආශ්‍රය හෝ නුසුදුසු හැසිරීම වැනි කාරණා සම්බන්ධයෙන් වැඩිමහල්ලෙක් අපිට කතා කරනවා නම්, අපි කොයි විදිහටද ප්‍රතික්‍රියා කරන්නේ? ඔහු තුළ තියෙන්නේ සැඟවුණු චේතනාවක් කියලා හිතාගෙන ‘එයා කවදාවත් අපේ පවුලට කැමැත්තක් දැක්කුවේ නෑ’ කියලා අපි අපටම කියාගන්නවාද? අපට බලපෑමක් වෙන්න අපි එවැනි හැඟීම්වලට ඉඩහරිනවා නම්, පස්සේ කාලෙකදී අපිට කනගාටු වෙන්න සිද්ධ වෙයි. අපේ දරුවන්ගේ ආත්මික සුභසිද්ධිය උපද්‍රවයක තිබිය හැකියි; අපි උපකාරවත් ශුද්ධ ලියවිලිමය උපදෙස් අගය කළ යුතුයි.—හිතෝපදේශ 12:15.
සභා වැඩිමහල්ලෙක් අපිට උපදෙස් දෙන කොට, යම් සැඟවුණු චේතනාවක් තියෙන බව නොහිතන්න අපි වගබලාගමු. බයිබලය මත පදනම් ඔහුගේ උපදෙසෙන් අපිට ප්‍රයෝජන ගත හැකි යම් ක්‍රමයක් තියෙනවාදැයි අපි අපෙන්ම අහගමු. ප්‍රේරිත පාවුල් මෙහෙම ලිව්වා: “කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.” (හෙබ්‍රෙව් 12:11) ඒ නිසා අපි කෘතඥපූර්වකව, කාරණා ගැන මතුපිටින් කල්පනා නොකර ගැඹුරට කල්පනා කර බලමු. අපිට උපදෙස් ලැබීම අමාරු වගේම වැඩිමහල්ලන්ටත් උපදෙස් දෙන එක බොහෝ වෙලාවලට අමාරු බව මතක තියාගන්න.
දෙමාපියන් ගැන හැඟීම්
දෙමාපියන්ගෙන් ඇතැම් තහංචි පැනවීම් ලබන විට, සමහර යෞවනයෝ ඔවුන්ගේ දෙමාපියන්ගේ චේතනාවන් ගැන ප්‍රශ්න කරනවා. ඇතැම් යෞවනයෝ මෙහෙම කියන්න ඉඩ තියෙනවා: ‘මගේ දෙමාපියන් මේ තරම් නීති දාන්නෙ ඇයි? මම ප්‍රීතියෙන් ජීවත් වෙනවට ඒගොල්ලො කැමති නැතුව ඇති.’ කෙසේනමුත්, එවැනි නිගමනයකට එළඹෙනවා වෙනුවට, යෞවනයන් තත්වය දෙස මතුපිටින් නොබලා ගැඹුරින් විග්රහ කර බැලීම අවශ්‍යයි.
දෙමාපියන් තම දරුවන්ව රැකබලා ගන්න අවුරුදු ගානක් ගත කරලා තියෙනවා. මෙය කරලා තියෙන්නේ ද්‍රව්‍යමය සහ වෙනත් ආකාරවලින් මහත් පරිත්‍යාගයක් කරලයි. ඔවුන් දැන් තම නහඹර දරුවන්ගේ ජීවිතය කාලකණ්ණි කරන්න තීරණයක් අරං කියලා නිගමනය කරන්න හේතුවක් තියෙනවාද? තම දරුවන්ව ආරක්ෂා කරන්නත්, ඔවුන්ව රැකබලා ගන්නත් මේ දෙමාපියන්ව පොලඹවන්නේ ප්‍රේමය බව කල්පනා කිරීම වඩාත් සාධාරණ නැද්ද? ජීවිතයේ නව අභියෝගවලට දැන් මූණපාමින් ඉන්න තම දරුවන් මත යම් තහංචි පනවන්න ඔවුන්ව පොලඹවන්නෙත් එම ප්‍රේමයම නෙවෙයිද? ප්‍රේමනීය දෙමාපියන්ට වැරදි චේතනා තියෙනවායයි සිතීම මොනතරම් අකරුණාවන්ත, අකෘතඥ දෙයක්ද!—එපීස 6:1-3.
සෙසු ක්‍රිස්තියානීන් කෙරෙහි අපේ ආකල්පය
අන් අයව කලින් විනිශ්චය කර, ඔවුන්ව එක්තරා ගණයකට දාන්න බොහෝදෙනෙක් පෙලඹෙනවා. අපිට එවැනි ආකල්ප තිබුණා නම් සහ සමහර අයව යම් විදිහකින් සැක කළා නම් කුමක් කියන්න පුළුවන්ද? මේ සම්බන්ධයෙන් අපි ලෝකයේ බලපෑමට ලක් වෙලා වෙන්න පුළුවන්ද?
උදාහරණයක් වශයෙන්, අපේ ආත්මික සහෝදරයන්ගෙන් කෙනෙකුට කදිම නිවසක් සහ මිල අධික වාහනයක් තිබෙනවායයි සිතන්න. ඔහු රාජ්‍ය කටයුතු ජීවිතයේ මුල් තැනට දාන්නේ නැති ද්‍රව්‍යවාදී කෙනෙක් බව නිකම්ම නිගමනය කළ යුතුද? සමහර ක්‍රිස්තියානීන්ට කදිම දේවල් ගන්න මුදල් තියෙනවා වෙන්න පුළුවන්; නමුත් ඔවුන්ට නරක චේතනා තියෙන බවත්, ‘පළමුකොට රාජ්‍යය සොයන්නේ’ නැති බවත් ඉන් අදහස් කරන්නේ නෑ. රාජ්‍ය කටයුතු වැඩිදියුණු කරන්න ඔවුන් සමහරවිට නොපෙනෙන ආකාරයකින් තම ද්‍රව්‍යමය දේවල් ත්‍යාගශීලී ලෙස භාවිත කරමින් ආත්මික ක්‍රියාකාරකම්වල ඉතා කාර්යබහුලව සිටිනවා වෙන්න පුළුවන්.—මතෙව් 6:1-4, 33.
මුල් ශතවර්ෂයේ ක්‍රිස්තියානි සභාව දුප්පත් පෝසත් හැම ගණයකටම අයත් මනුෂ්‍යයන්ගෙන් සමන්විත වුණා. (ක්‍රියා 17:34; 1 තිමෝති 2:3, 4; 6:17; යාකොබ් 2:5) දෙවි මනුෂ්‍යයන්ව අගය කරන්නේ ඔවුන්ගේ මූල්‍යමය ස්ථාවරය මත නොවෙයි; අපිත් එහෙම වෙන්න ඕනෙ. ‘පක්ෂපාතකමින් කිසිවක් නොකර’ අපි, පරීක්ෂාවලට මූණ දුන් මෙන්ම විශ්වසනීය සෙසු ඇදහිලිවන්තයන්ට ප්‍රේම කළ යුතුයි.—1 තිමෝති 5:21.
සාතන්ගේ බලය යටතේ පවතින මේ ලෝකය විවිධ ක්‍රමවලින් එක්තරා ගණයකට ඇතුල් කිරීමක් හා සැක සහිතබවක් පිළිබිඹු කරයි. උදාහරණයක් වශයෙන්, කෙනෙකුගේ පසුබිම නිසාම ඔහු දරුණු හෝ ද්‍රව්‍යවාදී කෙනෙක් බවට සැලකිය හැකියි. කොහොමනමුත්, ක්‍රිස්තියානීන් හැටියට අපි එවැනි ආකල්පවලට ගොදුරු නොවිය යුතුයි. තම මතයේ දැඩි ලෙස එල්බසිටීම හා සැක කිරීම සඳහා යෙහෝවාගේ සංවිධානයේ තැනක් නෑ. සියලු සැබෑ ක්‍රිස්තියානීන් “අයුක්තියක්වත් මනුෂ්‍යයන්ගේ තරාතිරම් බැලීමක්වත් [නැති]” යෙහෝවා දෙවිව අනුකරණය කළ යුතුයි.—2 ලේකම් 19:7; ක්‍රියා 10:34, 35.
ප්‍රේමයෙන් පෙලඹෙන්න
“සියල්ලෝම පව්කොට [දෙවිගේ] මහිමයෙන් හීනව සිටිති” කියා ශුද්ධ ලියවිලි පැහැදිලිව පවසනවා. (රෝම 3:23) එබැවින් යෙහෝවාට පිළිගත හැකි සේවයක් ඉදිරිපත් කරන්න වෑයම් කරන අපේ සෙසු නමස්කාරකයන්ව, අප සමඟ එකමුතුව සිටින්නන් වශයෙන් අපි සැලකිය යුතුයි. ආත්මික සහෝදරයෙක් හෝ සහෝදරියක් සමඟ ඇති අපේ සබඳතාවට බලපෑම සඳහා අපි සැක සහිතබව හෝ වෙනත් නිෂේධාත්මක හැඟීම්වලට ඉඩහැර තිබෙනවා නම්, අපි සාතන්ගේ ගොදුරු බවට පත් නොවීම සඳහා එවැනි ආකල්පයකට විරුද්ධව නැඟී සිටින්න දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කරමු. (මතෙව් 6:13) යෙහෝවාට නරක චේතනා තිබුණ බවත්, ඒ වගේම ශුභසිද්ධිය ගැන සැලකිලිමත් නොවූ බවත්, ඇයව ඇත්තෙන්ම සන්තෝෂයට පත් කරන නිදහස වළක්වාගෙන සිටින බවත් ඔහු ඒවට ඒත්තුගැන්නුවා. (උත්පත්ති 3:1-5) අපේ සහෝදරයන්ට වැරදි චේතනා තියෙනවායයි සිතීම ඔහුගේ පරමාර්ථයන්ට ආවැඩීමක්.—2 කොරින්ති 2:11; 1 පේතෘස් 5:8.
අනිත් අයට වැරදි චේතනා තියෙනවායයි හිතන්න අප තුළ නැඹුරුවාවක් තිබෙනවා නම්, යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශය සලකා බලන්න. ඔහු දෙවිගේ පරිපූර්ණ පුත්‍රයා වුවත්, ඔහු තම ගෝලයන් තුළ තිබුණ නරක චේතනා දෙස බැලුවේ නෑ. ඒ වෙනුවට, යේසු බැලුවේ ඔවුන් තුළ තිබුණු යහපත් දේ දෙසයි. යේසුගේ ගෝලයෝ ප්‍රමුඛස්ථානය ලබන්නේ කව්ද කියා තරඟ කළ විට, ඔවුන්ට නරක චේතනා තිබුණ නිසා ඔවුන් වෙනුවට අලුත් ප්‍රේරිතයන් 12දෙනෙක් තෝරගන්න ඕනෙ කියලා ඔහු හිතුවේ නෑ. (මාර්ක් 9:34, 35) අසම්පූර්ණව සිටි ඔවුන් උඩඟුකම හා පංති භේද අවධාරණය කරන ඇදහිල්ල අත්හැරයෑමේ යුදෙව්වාදී සංස්කෘතිය මගින් යම් ආකාරයකින් බලපෑම් ලබා සිටියා වෙන්න පුළුවන්. තම අනුගාමිකයන්ගේ ප්‍රධාන චේතනාව යෙහෝවාට ප්‍රේම කිරීම බව යේසු දැනගෙන හිටියා. එවන් ප්‍රේමයක් විදහාපෑමෙන් හා යේසු සමඟම රැඳී සිටීමට ලැබීමෙන් ඔවුන් බොහෝ සෙයින් ආශීර්වාද ලැබුවා.—ලූක් 22: 28-30.
අපේ සෙසු ඇදහිලිවන්තයන් දෙස අපි සැකයෙන් බැලුවොත්, මෙය හරියට විකෘති කර දක්වන කාචයකින් බලනවා හා සමාන වේවි. කිසිවක් ඇති සැටියෙන්ම නොපෙනේවි. එබැවින් අපි ප්‍රේමයේ කාචය තුළින් බලමු. පක්ෂපාත සෙසු ක්‍රිස්තියානීන් අපිට ප්‍රේම කරන බවටත්, අපේ කරුණාවන්ත සැලකිල්ල ලැබීමට සුදුස්සන්ව සිටින බවටත් සාක්ෂි එමට තියෙනවා. (1 කොරින්ති 13:4-8) ඒ නිසා අපි ඔවුන්ට එවැනි ප්‍රේමයක් පෙන්වා, වැරදි චේතනා තියෙනවායයි සිතීමෙන් වැළකී ඉමු.
[26වන පිටුවේ පින්තූරය]
විශ්වාසවන්තව දෙවිට නමස්කාර කරන අයව ඔබ සලකන්නේ කෙසේද?
[27වන පිටුවේ පින්තූරය]
විශ්වාසය හා ගෞරවය, යෙහෝවාගේ සාක්ෂිකාරයන්ව එක සන්තෝෂවත් පවුලක් කරයි