අවංකකම—අහම්බෙන්ද නැත්නම් තේරීමෙන්ද?
“මම ස්වභාවෙන්ම අවංක නැති වුණත්, සමහර වෙලාවට අහම්බෙන් අවංක වෙලා තියෙනවා.” එහෙම කියන්නේ, විලියම් ෂේක්ස්පිය’ගේ ද වින්ට’ස් ටේල්හි (සිසිරේ කතාව) රඟන, ඕටාලක’ස් කියන තක්කඩියායි. එය මූලික මිනිස් දුර්වලතාවක් ඉස්මතු කරනවා—ඒ තමයි, ‘රැවටිලිකාර හෘදයෙහි’ ප්‍රතිඵලයක් වන වැරදි කිරීමට වූ නැඹුරුවාව. (යෙරෙමියා 17:9; ගීතාවලිය 51:5; රෝම 5:12) නමුත් මේ කාරණයේදී අපිට කිසිම තෝරාගැනීමක් නැහැයි කියන එකද අදහස් වෙන්නේ? ගුණාත්මක හැසිරීම නිකම්ම අහම්බෙන් සිදු වන්නක්ද? කොහෙත්ම නැහැ!
ඉශ්රායෙල් පුත්‍රයන් පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඉස්සෙල්ලා, ඔවුන් මෝවබ් තැනිතලාවේ කඳවුරු බැඳගෙන ඉද්දී මෝසෙස් ඔවුන්ට කතා කළා. ඔහු ඔවුන් ඉදිරියේ පැහැදිලි තේරීම් දෙකක් තැබුවා. ඒවා නම්, ඔවුන් දේව අණපනත්වලට කීකරු වී ආශීර්වාදය ලබාගැනීම හෝ ඒවා ප්‍රතික්ෂේප කර පාපයේ තිත්ත ඵල නෙළාගැනීම. (ද්විතීය කථාව 30:15-20) තේරීම ඔවුන් සතුව තිබුණා.
නිදහස් සදාචාර තීරකයන් හැටියට අපිටත් තේරීමක් තියෙනවා. දෙවි ඇතුළුව කිසිම කෙනෙක් හරි දේ හෝ වැරදි දේ හෝ කරන්න අපිට බල කරන්නේ නැහැ. ඒක කොහොමවුණත්, ‘අපේ හෘදය වැරදි දේ කරන්න නැඹුරු වෙනවා නම්, අපි හරි දේ කරන්නේ කොහොමද?’ කියල සමහරෙක් නිවැරදි ලෙස අහන්න පුළුවන්. හොඳයි, දන්ත වෛද්‍යවරයෙක්, පරෙස්සමින් දත් සෝදිසි කරන්නේ, වැඩිය දුරදිග යන්න ඉස්සෙල්ලා දත් දිරීම හෝ නරක් වීම හොයාගන්නයි. ඒ හා සමානව, අපිත් අපේ සංකේතාත්මක හෘදය තුළ දුර්වලකම් සහ සදාචාර නරක් වීම් තියෙනවාද කියල සෙවීමට ඒක හොඳට සෝදිසි කරල බලන්න ඕනෙ. ඒ ඇයි? මොකද යේසු කිව්වේ, “නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය” කියලයි.—මතෙව් 15:18-20.
දන්ත වෛද්‍යවරයෙක් දතක් ආරක්ෂා කරන්න, හමු වන ඕනෑම නරක් වීමක් සහමුලින්ම උගුල්ලා දැමිය යුතු වෙනවා. ඒ වගේ, හෘදයෙන් එන වැරදි ආශාවල් සහ “නපුරු සිතිවිලි” සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමට තීරණාත්මක පියවර ගැනීම අවශ්‍යයි. අපි දේවවචනය වන බයිබලය කියවීමෙන් සහ එය මත මෙනෙහි කිරීමෙන්, අපේ මැවුම්කාරයාගේ මාර්ග දැනගැනීමට පැමිණෙනවා විතරක් නෙවෙයි, හරි දේ කරන්නත් ඉගෙනගන්නවා.—යෙසායා 48:17.
හරි දේ කිරීමට කරන සටනේදී තවදුරටත් අවශ්‍ය උපකාරය ඉල්ලීමෙන්, ඉශ්රායෙල්හි දාවිත් රජ තමාටම ප්‍රයෝජන ලබාගත්තා. ඔහු මෙහෙම යාච්ඤා කළා: “[දෙවියනි], පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.” (ගීතාවලිය 51:10) ඔව්, යාච්ඤාපූර්වකව යෙහෝවා මත රඳා සිටීමෙන්, වැරදි කිරීමට තියෙන නැඹුරුවාවෙන් ගොඩ ඇවිත්, හරි දේ කිරීමට ‘අලුත් ආත්මයක්’ වගා කරගන්න අපිටත් පුළුවන්. මේ විදිහට, අවංකකම අහම්බෙන් සිදු වන දෙයක් වෙන්න අපි ඉඩහරින්නේ නැහැ. නමුත් එය තේරීමට අයිති කාරණයක් වේවි.
[21වන පිටුවේ පින්තූරය]
දාවිත්ගේ සිද්ධියේදී වගේ, යෙහෝවාට කරන යාච්ඤාවට පුළුවන් අපට යහපත කරන්න