යෙහෝවා—රහස් එළිදරව් කරන දෙවිකෙනෙක්
“රහස් එළිදරව්කරන දෙවිකෙනෙක් ස්වර්ගයෙහි සිටි[යි].”—දානියෙල් 2:28.
1, 2. (අ) යෙහෝවා තම ප්‍රධාන විරුද්ධකාරයාට වඩා වෙනස් වෙන්නේ කොහොමද? (ආ) මනුෂ්‍යයන් මෙම වෙනස පිළිබිඹු කරන්නේ කොහොමද?
විශ්වයේ පරම ප්‍රේමනීය දෙවිද, එකම එක මැවුම්කරුද වන යෙහෝවා ප්‍රඥාවේ සහ යුක්තියේ දෙවිකෙනෙක්. තම අනන්යතාවවත්, තම ක්‍රියා හෝ අරමුණුවත් සඟවන්න ඔහුට කිසිම අවශ්‍යතාවක් නැහැ. තමාගේ නියම කාලයේදී මෙන්ම තම අභිමතය පරිදි, ඔහු තමාව එළිදරව් කරනවා. මෙයාකාරයෙන්, තමාගේම සැබෑ අනන්‍යතාව සහ අභිප්රායන් වසං කරන්න වෑයම් කරන විරුද්ධකාරයා වන සාතන් නමැති යක්ෂයාට වඩා ඔහු වෙනස්.
2 යෙහෝවා සහ සාතන් ප්රතිවිරුද්ධව සිටින්නාක් මෙන්, ඔවුන්ගේ නමස්කාරකයන්ද එසේම සිටිනවා. සාතන් පිටුපස ගමන් කරන අය, දෙපිටකාට්ටු සහ මුළාව කියන ගතිලක්ෂණ විදහාපෙන්වනවා. අන්ධකාරයට අයත් ක්‍රියා කරන අතරතුරේදී, තමුන් හොඳයි කියලා මවාපාන්න ඔවුන් වෑයම් කරනවා. මේ කාරණය ගැන පුදුම වෙන්න එපා කියලා කොරින්තියේ ක්‍රිස්තියානීන්ට පවසනු ලැබුවා. මන්ද “එබඳු මනුෂ්‍යයෝ බොරු ප්‍රේරිතයෝය, [ක්‍රිස්තුස්ගේ] ප්‍රේරිතයන්ගේ වෙස් ගන්නාවූ වංචාකාර සේවකයෝය. ඒක පුදුමයක් නොවේ; මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි.” (2 කොරින්ති 11:13, 14) අනික් අතට, ක්‍රිස්තියානීන් තම නායකයා වශයෙන් ක්‍රිස්තුස් දෙස බලා සිටිනවා. පොළොවේ ඉන්නකොට, ඔහු තම පිය වූ යෙහෝවා දෙවිගේ පෞද්ගලිකත්වය පරිපූර්ණ ආකාරයකින් පිළිබිඹු කළා. (හෙබ්‍රෙව් 1:1-3) මේ අනුව, ක්‍රිස්තුස්ව අනුගමනය කිරීමෙන්, සැබෑවේ, විවෘතභාවයේ සහ ආලෝකයේ දෙවි වන යෙහෝවාව ක්‍රිස්තියානීන් අනුකරණය කරමින් සිටිනවා. ඔවුන්ටත් තමන්ගේ අනන්යතාවවත්, තමුන්ගේ ක්‍රියා සහ අරමුණුවත් සඟවාගන්න කිසිම අවශ්‍යතාවක් නැහැ.—එපීස 4:17-19; 5:1, 2.
3. යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් වන අයව “රහස්‍ය නිකායකට” බැඳෙන්න බලෙන් පොලඹවාගෙන තියෙනවා කියන චෝදනාව නිෂ්ප්‍රභ කරන්න අපිට පුළුවන් වෙන්නේ කොහොමද?
3 වඩාත් හොඳ බවට තමා දන්නා කාලවලදී, තම අරමුණු ගැනත්, අනාගතය ගැනත් මනුෂ්‍යයන් කලින් දැනගෙන නොසිටි තොරතුරු යෙහෝවා එළිදරව් කරනවා. මේ අදහසින් ගත්තොත් ඔහු රහස් එළිදරව් කරන දෙවිකෙනෙක්. මේ අනුව, ඔහුට සේවය කරන්න වුවමනාව තියෙන ජනයාට ආරාධනා කර තියෙන්නේ—ඔව්, ඇත්තෙන්ම ඔවුන්ගෙන් උදක්ම ඉල්ලලා තියෙන්නේ—එළිදරව් කරලා තියෙන එවැනි තොරතුරු ඉගෙනගන්නයි. එක් යුරෝපීය රටක සාක්ෂිකරුවන් 1,45,000කට වඩා වැඩි සංඛ්‍යාවක්ව සමීක්ෂණයකට භාජන කිරීමෙන් හෙළි වූයේ, සාක්ෂිකරුවෙක් වෙනවා කියලා තීරණය ගැනීමට කලින්, හැම කෙනෙක්ම වගේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් පෞද්ගලිකව අවුරුදු තුනක් සොයා විමසා බැලූ බවයි. ඔවුන් බල කිරීමක් නැතුව තම නිදහස් කැමැත්ත අනුව තේරීම කළා. එමෙන්ම කැමැත්ත සහ ක්‍රියාව සම්බන්ධයෙන් ඔවුන්ට දිගටම නිදහස තිබුණා. උදාහරණයක් හැටියට, ක්‍රිස්තියානීන් සඳහා තියෙන උසස් සදාචාර ප්‍රමිතිවලට එකඟ නොවෙන්න කිහිපදෙනෙක් පටන්ගත් හින්දා, සාක්ෂිකරුවන් හැටියට කටයුතු කරන්න තමුන්ට තවදුරටත් ඕනෙ නැති බව මේ අය පසුව තීරණය කළා. කොහොම වුණත්, පසුගිය අවුරුදු පහ තුළදී, කලින් සාක්ෂිකරුවන්ව හිටි මොවුන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් සාක්ෂිකරුවන් වශයෙන් තමුන්ගේ ආශ්‍රය සහ ක්‍රියාකාරකම් නැවත අරඹන්න පියවර ගත් එක සිත්ගන්නා දෙයක්.
4. විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් කලබල වීමට අවශ්‍ය නැත්තේ මොකකින්ද? ඒ ඇයි?
4 ඇත්තටම කලින් සාක්ෂිකරුවන් වෙලා හිටපු හැම කෙනෙක්ම ආපසු පැමිණෙන්නේ නැති අතර, ඔවුන් අතර ක්‍රිස්තියානි සභාව තුළ වරක් වගකීම් දැරූ කිහිපදෙනෙකුත් සිටිනවා. යේසුගේ කිට්ටුම අනුගාමිකයන්ගෙන් එක් කෙනෙක් වන ප්‍රේරිත යූදස් ඉවතට හැරී ගිය නිසා, මෙය පුදුමයට හේතුවක් විය යුතු නැහැ. (මතෙව් 26:14-16, 20-25) ඒත් ක්‍රිස්තු ධර්මය ගැන කලබල වීමට මෙය හේතුවක්ද? යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කරද්දී ලබන සාර්ථකත්වය මෙයින් නිෂ්ප්‍රභ වෙනවාද? නැහැ; යූදස් ඉස්කාරියොත්ගේ ද්‍රෝහී ක්‍රියාවෙන් දෙවිගේ අරමුණු නතර නොවුණා හා සමානව එහෙම නිෂ්ප්‍රභ වෙන්නේ නැහැ.
සර්වබලධාරියි, ඒත් ප්‍රේමනීයයි
5. යෙහෝවා සහ යේසු මනුෂ්‍යයන්ට ප්‍රේම කරනවා කියලා අපි දන්නේ කොහොමද? එමෙන්ම ඔවුන් මෙම ප්‍රේමය විදහාපෙන්වා තියෙන්නේ කොහොමද?
5 යෙහෝවා ප්‍රේමයේ දෙවිකෙනෙක්. ඔහු ජනයා කෙරෙහි සැලකිල්ල දක්වනවා. (1 යොහන් 4:7-11) ඔහු ඉතා උතුම් තත්වයක සිටියත්, මනුෂ්‍යයන්ව තම මිතුරන් කරගැනීමෙන් ඔහු සතුටක් ලබනවා. ඔහුගේ පුරාණ සේවකයන්ගෙන් කෙනෙක් ගැන අපිට මෙහෙම කියවන්න තියෙනවා: “ආබ්‍රහම් [යෙහෝවා] විශ්වාස කෙළේය, එය ධර්මිෂ්ඨකම කොට ඔහුට ගණන්ගනු ලැබුවේය කියා තිබෙන ලියවිල්ල සම්පූර්ණවුණේය; තවද ඔහු [යෙහෝවාගේ] මිත්‍රයායයි කියනු ලැබුවේය.” (යාකොබ් 2:23; 2 ලේකම් 20:7; යෙසායා 41:8) මනුෂ්‍ය මිතුරන් රහස්‍ය කාරණා හෝ රහස් හවුලේ බෙදාගන්නවා වගේම, යෙහෝවා තම මිතුරන් සමඟ එහෙම කරනවා. මේ සම්බන්ධයෙන් යේසු තම පියාව අනුකරණය කළා; මන්ද ඔහු ගෝලයන් සමඟ මිතුරු වී ඔවුන් සමඟ රහස් හවුලේ බෙදාගත්තා. ඔහු ඔවුන්ට මෙහෙම කිව්වා: “දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ [පියාගෙන්] මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි.” (යොහන් 15:15) යෙහෝවා, ඔහුගේ පුත්‍රයා සහ ඔවුන්ගේ මිත්‍රයන් පොදුවේ බෙදාගන්න පෞද්ගලික තොරතුරු නොහොත් “රහස්,” ප්‍රේමයේ සහ භක්තියේ නොබිඳෙන සබඳතාවක් තුළ ඔවුන්ව එක්සත් කරවනවා.—කොලොස්සි 3:14.
6. තම අභිප්රායන් සඟවාගෙන ඉන්න යෙහෝවාට කිසිම අවශ්‍යතාවක් නැත්තේ ඇයි?
6 යෙහෝවාගේ නමේ තේරුම, “ඔහු සිදුවීමට සලස්වයි” කියන එකයි; තම අරමුණ ඉටු කරගන්න තමාට ඕනෑ විදිහකට හැඩගැහෙන්න පුළුවන් කියලා එය අඟවනවා. මනුෂ්‍යයන් මෙන් නොව, තම අභිප්රායන් ඉටු කරගන්න වෙනත් අය තමාව බාධාවට පත් කරයිදෝ කියන භයින්, යෙහෝවාට තම අභිප්රායන් සඟවන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. ඔහු කොහොමටවත් අසාර්ථක වෙන්න බැහැ; ඒ හින්දා තම වචනය වන බයිබලයෙහි ඔහු කරන්න අරමුණු කරන දෙයින් බොහොමයක්ම නොවළහා එළිදරව් කරනවා. ඔහු මෙහෙම පොරොන්දු වෙනවා: “මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදුකොට, මා නියමකළ කාරණය [සහතිකවම, NW] සඵලකරනවා ඇත.”—යෙසායා 55:11.
7. (අ) යෙහෝවා ඒදන්හිදී පුරෝකථනය කළේ මොකක්ද? එමෙන්ම දෙවි සැබෑ බව සාතන් ඔප්පු කළේ කොහොමද? (ආ) දෙවන කොරින්ති 13:8හි ප්‍රතිපත්තිය හැමවිටම සත්‍යය බව ඔප්පු වෙන්නේ කොහොමද?
7 ඒදන්හි සිදු වුණ කැරැල්ලෙන් ටිකකට පස්සේ, යෙහෝවා තමා සහ තම විරුද්ධකාරයා වන සාතන් අතර දිගටම පැවති විවාදයේ අවසාන ප්‍රතිඵලය දළ වශයෙන් එළිදරව් කළා. දෙවිගේ පොරොන්දු වංශය වේදනාසහගත නමුත් සදහටම මාරක නොවන ආකාරයකින් පොඩි කරනු ලබනවා; ඒත් සාතන්ව අන්තිම මාරක පොඩි කිරීමකට ගොදුරු වෙනවා. (උත්පත්ති 3:15) පොදු යුගයේ 33දී, ක්‍රිස්තුස් යේසුස්ගේ මරණයට හේතු වෙමින් යක්ෂයා ඇත්තටම වංශය පොඩි කර දැමුවා. මෙයාකාරයෙන්, සාතන් ශුද්ධ ලියවිල්ල ඉටු කළ අතර, එය සාතන්ගේ අභිප්‍රාය නොවුණත් ඒත් සමඟම යෙහෝවා සැබෑවේ දෙවිකෙනෙක් බව ඔප්පු කළා. සත්‍යය සහ ධර්මිෂ්ඨකම සඳහා ඔහුගේ වෛරය මෙන්ම ඔහුගේ උඩඟු, පසුතැවිල්ලට මැළි ආකල්පය, ඔහු කරනවා කියලා දෙවි පුරෝකථනය කළ දේම කිරීමට ඔහුව මඟ පෑදුවා. ඔව්, සත්‍යයට විරුද්ධ වන සෑම කෙනෙක්ටම, සාතන්ට පවා, මෙම ප්‍රතිපත්තිය සැබෑ වෙනවා: “සැබෑව උදෙසා මිස සැබෑවට විරුද්ධව කිසිවක් කරන්ට අපට බැරිය.”—2 කොරින්ති 13:8.
8, 9. (අ) සාතන් මොකක්ද දන්නේ? ඒත් මෙම දැනුම යෙහෝවාගේ අරමුණු ඉටුවීමට බාධා පමුණුවනවාද? (ආ) යෙහෝවාට විරුද්ධ වන අය නොසලකා හරින්නේ මොන පැහැදිලි අනතුරු ඇඟවීමද? ඒ ඇයි?
8 දේවරාජ්‍යය 1914දී අදෘශ්‍යමානව පිහිටෙවූ දා පටන්, එළිදරව් 12:12 අදාළ වෙලා තියෙනවා: “ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීතිවෙන්න. ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.” ඒත්, තමාගේ කාලය කෙටි බව දැනගෙන සිටියත් සාතන් තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කරන්න බලනවාද? එහෙම කළොත්, යෙහෝවා සැබෑවේ දෙවිකෙනෙක් බවත්, පරම පාලකයා බවත්, නමස්කාරය ලබන්න වටිනා එකම තැනැත්තා බවත් සාතන්ගේ පැත්තෙන් ඒක පිළිගැනීමක් වෙනවා. කොහොම වුණත්, ඒ දැනුම හමුවේ පවා පරාජය පිළිගන්න යක්ෂයා කැමති නැහැ.
9 සාතන්ගේ ලෝක පිළිවෙළ මත විනිශ්චය ක්‍රියාත්මක කරන්න ක්‍රිස්තුස් එන කොට සිදු වෙන්නේ මොනවාද කියලා යෙහෝවා නොවළහා එළිදරව් කරනවා. (මතෙව් 24:29-31; 25:31-46) මේ සම්බන්ධයෙන්, ලෝක පාලකයන් ගැන ඔහුගේ වචනය මෙහෙම නිවේදනය කරයි: “සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භිණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ.” (1 තෙසලෝනික 5:3) සාතන්ගේ මඟ පෙන්වීම අනුගමනය කරන අය මෙම පැහැදිලි අනතුරු ඇඟවීම නොසලකා හරිනවා. ඔවුන් අන්ධ වී සිටින්නේ ඔවුන්ගේ දුෂ්ට හෘදයන් නිසයි; එමෙන්ම ඔවුන්ගේ දුෂ්ට මාර්ග සම්බන්ධයෙන් පසුතැවිලි වෙන්න සහ යෙහෝවාගේ අරමුණුවලට බාධා පමුණුවන්න ඔවුන් යොදාගන්න සැලසුම් සහ ක්‍රියාපිළිවෙත් වෙනස් කරන්න මෙය ඔවුන්ට බාධාවක් වෙනවා.
10. (අ) පළමුවන තෙසලෝනික 5:3 කොතරම් දුරට ඉටු වෙලා තියෙන්න පුළුවන්ද? නමුත් යෙහෝවාගේ ජනයා ප්‍රතික්‍රියා කළ යුත්තේ කොහොමද? (ආ) ඇදහිල්ලක් නැති ජනයා අනාගතයේදී දෙවිගේ සෙනඟට විරුද්ධවාදිකම් පෑමේදී වඩාත් එඩිතර විය හැක්කේ ඇයි?
10 අන්තර්ජාතික ලෝක සාම වර්ෂය බවට ප්‍රකාශ කළ 1986 ඉඳන් විශේෂයෙන්ම සාමය සහ සුරක්ෂිතභාවය ගැන ලෝකයා මහ හයියෙන් කතා කරලා තියෙනවා. ලෝක සාමය ස්ථිර කරගන්න නිශ්චිත පියවර ගෙන තියෙන අතර, යම් දුරකට සාර්ථකත්වයක් ලැබිලා තියෙනවා වගේ පේනවා. මෙම අනාවැකියේ සම්පූර්ණ ඉටුවීම මේකද? එහෙම නැත්තං, අනාගතයේදී යම් තැතිගන්වන නිවේදනය කිරීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්ද? යෙහෝවා තම නියම කාලයේදී ඒ කාරණය පැහැදිලි කරාවි. ඒ අතරතුර, “[යෙහෝවාගේ] දවස පැමිණීම බලාසිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියාකරමින්ද” ආත්මික ලෙස අවදිව සිටීමට බලමු. (2 පේතෘස් 3:11) සාමය සහ සුරක්ෂිතභාවය ගැන තව තවත් අදහස් පළ වෙමින් කාලය ගෙවී යන අතරතුරේදී, මෙම අනතුරු ඇඟවීම ගැන දන්න නමුත්, එය නොසලකා හැරීමට තෝරාගන්න ඇතැම් පුද්ගලයන්, යෙහෝවා තමාගේ වචනය ඉටු කරන්නේ නැති බව හෝ ඔහුට එය ඉටු කරන්න බැරි බව හෝ උපකල්පනය කිරීමේදී තවත් මුරණ්ඩු වෙන්න පුළුවන්. (සසඳන්න දේශනාකාරයා 8:11-13; 2 පේතෘස් 3:3, 4.) ඒත් යෙහෝවා තම අරමුණ ක්‍රියාත්මක කරන වග සැබෑ ක්‍රිස්තියානීන් ස්ථිරෙන්ම දන්නවා.
යෙහෝවා භාවිත කරන නියෝජ්‍ය ආයතනවලට නිසි ගෞරවය
11. දානියෙල් සහ යෝසෙප් යෙහෝවා ගැන ඉගෙනගත්තේ මොකක්ද?
11 එවකට පැවති නව බබිලෝනීය අධිරාජ්‍යයේ පාලක නෙබුකද්නෙශර් රජ, මතකයට නඟන්න බැරි වූ කැලඹිලි කරවන සිහිනයක් දුටු විට, ඔහු උපකාර ඉල්ලා සිටියා. සිහිනය මොකක්ද කියලා කියන්නවත් එහි තේරුම මොකක්ද කියලා පැහැදිලි කරන්නවත් ඔහුගේ මන්ත්‍රකාරයන්ට, අනවිනකාරයන්ට සහ මායාකාරයන්ට බැරි වුණා. කොහොම වුණත්, දෙවිගේ සේවක දානියෙල්ට එය පැහැදිලි කරන්න පුළුවන් වුණා; ඒත් සිහිනය සහ එහි තේරුම එළිදරව් කිරීම තමාගේම ප්‍රඥාවේ ප්‍රතිඵලයක් වශයෙන් නොවූ බව ඔහු අප්‍රමාදව පිළිගත්තා. දානියෙල් මෙහෙම කිව්වා: “රහස් එළිදරව්කරන දෙවිකෙනෙක් ස්වර්ගයෙහි සිටි[යි]. [ඔහු] මතු දවස්වල සිද්ධවෙන්ට තිබෙන කාරණා නෙබුකද්නෙශර් රජුට දන්වා තිබේ.” (දානියෙල් 2:1-30) සියවස් කිහිපයකට කලින්, දෙවිගේ තවත් අනාගතවක්තෘවරයෙක් වූ යෝසෙප්, යෙහෝවා රහස් එළිදරව් කරන්නෙක් බව ඒ හා සමානව අද්දැකලා තිබුණා.—උත්පත්ති 40:8-22; ආමොස් 3:7, 8.
12, 13. (අ) දෙවිගේ ශ්‍රේෂ්ඨතම අනාගතවක්තෘ වුණේ කවුද? ඔබ එහෙම පිළිතුරු දෙන්නේ ඇයි? (ආ) අදදින, ‘දෙවිගේ පරිශුද්ධ රහස්වල ගබඩාකාරයන්’ වශයෙන් සේවය කරන්නේ කවුද? එමෙන්ම අපි ඔවුන් දෙස බැලිය යුත්තේ කොහොමද?
12 පොළොව මත සේවය කළ යෙහෝවාගේ ශ්‍රේෂ්ඨතම අනාගතවක්තෘ වුණේ යේසුයි. (ක්‍රියා 3:19-24) පාවුල් මෙහෙම පැහැදිලි කළා: ‘දෙවි ආදි කාලයෙහි බොහෝ කොටස්වලින්ද බොහෝ අන්දම්වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කතා කරවා, මේ දවස්වල කෙළවරදී තමන්ගේ පුත්‍රයා ලවා අපට කතා කෙරෙව්වේය. ඔහුව සියල්ලට උරුමක්කාරයා කළේය, ඔහු කරණකොටගෙන ලෝකවල් සෑදුවේය.’—හෙබ්‍රෙව් 1:1, 2.
13 යෙහෝවා මුල් ක්‍රිස්තියානීන්ට තම පුත්‍ර යේසු මාර්ගයෙන් කතා කළ අතර, යේසු ඔවුන්ට දිව්‍ය රහස් දැන්වූවා. යේසු ඔවුන්ට මෙහෙම කිව්වා: “[දෙවිගේ] රාජ්‍යයේ [පරිශුද්ධ, NW] රහස් දැනගැනීම නුඹලාට දී තිබේ.” (ලූක් 8:10) ආලේප ලත් ක්‍රිස්තියානීන් ‘ක්‍රිස්තුස්ගේ සේවකයන්ද දෙවිගේ පරිශුද්ධ රහස්වල ගබඩාකාරයන්ද’ වන බව පාවුල් පසුව පැවසුවා. (1 කොරින්ති 4:1) අදදින, ආලේප ලත් ක්‍රිස්තියානීන් දිගටම එවැන්නන් හැටියට සේවය කරනවා; ඔවුන්ගෙන් විශ්වාස වූ නුවණ ඇති දාස පංතියක් සෑදී ඇති අතර, එහි පාලක මණ්ඩලය තුළින් නියම වේලාවට ආත්මික ආහාර සපයනු ලබනවා. (මතෙව් 24:45-47) යටගිය දවස්වල හිටපු දෙවිගේ ආනුභාවය තිබුණු අනාගතවක්තෲන්වද, විශේෂයෙන්ම දෙවිගේ පුත්‍රයාවද අපි බොහෝ සෙයින් අගය කරනවා නම්, මේ අර්බුදකාරි කාලවලදී තම සෙනඟ සඳහා මෙතරම් අත්‍යවශ්‍ය වූ බයිබලය මත පදනම් තොරතුරු එළිදරව් කරන්න යෙහෝවා අදදින භාවිත කරන මනුෂ්‍ය නියෝජ්‍ය ආයතනයටත් අපි ගෞරවය නොකළ යුතුද?—2 තිමෝති 3:1-5, 13.
විවෘතභාවයද නැත්නං රහස්‍යභාවයද?
14. ක්‍රිස්තියානීන් ක්‍රියාකාරකම් රහසින් කරන්නේ මොන අවස්ථාවේදීද? මෙයින් ඔවුන් අනුගමනය කරන්නේ කාගේ ආදර්ශයද?
14 දේවල් එළිදරව් කිරීමේදී යෙහෝවා දක්වන විවෘතභාවයෙන් අදහස් වෙනවාද, ක්‍රිස්තියානීන් හැමවිටම සියලුම තත්වයන් යටතේ ඔවුන් දන්නා හැම දෙයක්ම එළිදරව් කළ යුතු බව? ඇත්තටම, “සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න” කියා යේසු තම ප්‍රේරිතයන්ට දුන් අවවාදය ක්‍රිස්තියානීන් අනුගමනය කරනවා. (මතෙව් 10:16) තමන්ගේ හෘදය සාක්ෂීන්ට එකඟව දෙවිට නමස්කාර කරන්න බැහැයි කියලා ක්‍රිස්තියානීන්ට කිව්වොත්, යෙහෝවාගේ නමස්කාරය සීමා කරන්න කිසිම මනුෂ්‍ය නියෝජ්‍ය ආයතනයකට බැරි බව ඔවුන් තේරුම්ගන්න හින්දා, ඔවුන් දිගටම ‘දෙවිට කීකරු වෙනවා.’ (ක්‍රියා 5:29) මෙහි යෝග්‍යතාව යේසුම විදහාපෙන්නුවා. අපිට මෙහෙම කියවන්න තියෙනවා: “ඉන්පසු [යේසු] ගලීලයෙහි සංචාරණයක[ළේය]. මක්නිසාද යුදෙව්වරු [ඔහුව] මරන්ට සෙවූ බැවින් [ඔහු] යුදයෙහි සංචාරණයකරන්ට නොකැමැති [වුණේය]. එකල යුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍යය ළංව තිබුණේය. ඒ නිසා [යේසු] ඔවුන්ට [ඔහුගේ නොඇදහිලිකාර මාංසික සහෝදරයන්ට] කිය[න්නේ]: . . . නුඹලා මංගල්‍යයට යන්න. මාගේ කාලය තවම සම්පූර්ණනුවූ හෙයින් මේ මංගල්‍යයට දැන්ම නොයමි. . . . [ඔහු] මෙසේ ඔවුන්ට කියා, ගලීලයේ නැවතී සිටි[යේය]. නුමුත් තමන් සහෝදරයන් මංගල්‍යයට ගියායින් පසු [ඔහුද] ප්‍රසිද්ධයෙන් නොව රහසින් මෙන් මංගල්‍යයට ගි[යේය].”—යොහන් 7:1, 2, 6, 8-10.
කියන්නද, නොකියන්නද?
15. රහසක් තබාගැනීම සමහරවිට කළ යුතු වූ ප්‍රේමනීය දෙයක් කියලා යෝසෙප් දැක්වූයේ කොහොමද?
15 යම් අවස්ථාවන්වලදී, කාරණයක් රහසිගතව තබාගැනීම නුවණට හුරු දෙයක් විතරක් නොව, නමුත් ප්‍රේමනීය දෙයකුත් වෙනවා. උදාහරණයක් හැටියට, යේසුගේ සුරැකි පියා වූ යෝසෙප්, විවාහ ගිවිසගෙන සිටි තම භාර්යාව වූ මරියා ‘ශුද්ධාත්මය කරණකොටගෙන ගර්භිණී වූ’ බව දැනගත් විට, ප්‍රතික්‍රියා කළේ කොහොමද? අපිට මෙහෙම කියවන්න තියෙනවා: “ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයාවූ යෝසෙප් ඈ නින්දාවට පමුණුවන්ට නොකැමතිව, රහසින් ඈ අත්හරින්ට සිතුවේය.” (මතෙව් 1:18, 19; ඇල අකුරු අපේය.) ඇයව ප්‍රසිද්ධියේ නින්දාවට පමුණුවන එක මොනතරම් අකරුණාවන්ත දෙයක් වන්න තිබුණාද!
16. රහස්‍ය කාරණා සම්බන්ධයෙන්, වැඩිමහල්ලන්ට මෙන්ම සභාවේ වෙනත් සියලුම සාමාජිකයන්ට තියෙන්නේ මොන වගකීමද?
16 ලජ්ජාවට හෝ වේදනාවට හේතු වන රහස්‍ය කාරණා අයිතියක් නැති පුද්ගලයන්ට එළිදරව් නොකළ යුතුයි. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සෙසු ක්‍රිස්තියානීන්ට පෞද්ගලික උපදෙස් හෝ සැනසීම පිරිනමන විට හෝ ඇතැම්විට යෙහෝවාට විරුද්ධව බරපතළ ලෙස පව් කර ඇති විටක ඔවුන්ව හික්මවන විට, මෙය මනසෙහි තබාගන්නවා. මේ කාරණා ශුද්ධ ලියවිල්ලට එකඟ වන ආකාරයකින් හැසිරවීම අත්‍යවශ්‍යයි; කාරණයට සම්බන්ධ නැති අයට රහස්‍ය තොරතුරු එළිදරව් කිරීම අනවශ්‍ය මෙන්ම අනාදර දෙයක්. ඇත්තවශයෙන්ම, රහස්‍ය තොරතුරු වැඩිමහල්ලන්ගෙන් බලෙන්ම වගේ ලබාගැනීමට ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් වෑයම් කරන්නේ නැහැ; ඒ වෙනුවට, රහස්‍ය දේවල් රහසිගතව තබාගැනීම සඳහා වැඩිමහල්ලන්ට තියෙන වගකීම ඔවුන් අගය කරනවා. හිතෝපදේශ 25:9 මෙහෙම සඳහන් කරනවා: “නුඹේ අසල්වාසියා සමගම නුඹේ කාරණය කථාකරන්න, අනිකෙකුගේ රහස ප්‍රකාශ නොකරන්න.”
17. බොහෝ අවස්ථාවන්වලදී ක්‍රිස්තියානීන් රහස්‍ය කාරණා රහසිගතව තබාගන්නේ ඇයි? ඒත් ඔවුන්ට හැම තිස්සේම එහෙම කරන්න බැරි ඇයි?
17 මෙම ප්‍රතිපත්තිය පවුල් කවය තුළ හෝ කිට්ටු මිත්‍රයන් අතරත් අදාළ වෙනවා. යම් කාරණා රහසිගතව තබාගැනීම, වරදවා තේරුම්ගැනීම් සහ පීඩනයට ලක් වූ සබඳතා වළක්වාගැනීමට අත්‍යවශ්‍ය වෙනවා. “උතුරු හුළඟ වර්ෂාව ගෙනෙයි; එසේම කේලාම්කියන දිව තරහ මුහුණක් උපදවයි.” (හිතෝපදේශ 25:23) යෙහෝවාටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්රතිපත්තිවලටත් පක්ෂව සිටීම මෙන්ම වැරදි කරන පුද්ගලයන්ට තියෙන ප්‍රේමය නිසා, දෙමාපියන්ට, ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට හෝ දැනගන්න අයිතියක් තියෙන වෙනත් අයට රහස්‍ය කාරණා පවා කියන්න අවශ්‍ය බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.a ඒත් බොහෝ අවස්ථාවලදී, ක්‍රිස්තියානීන් අනුන්ගේ පෞද්ගලික රහස් රහසිගතව තබාගනිමින්, තමුන්ගේම රහස් මෙන් ඒවා ආරක්ෂා සහිතව තබාගන්නවා.
18. කිව යුතු දේ සහ නොකිව යුතු දේ තීරණය කරගන්න අපට උපකාර කරන්නේ මොන ක්‍රිස්තියානි ගුණාංග තුනද?
18 සාරාංශයක් වශයෙන් ගත්තොත්, ක්‍රිස්තියානියෙක් යෙහෝවාව අනුකරණය කරන්නේ ඇතැම් කාරණා අවශ්‍ය විටකදී රහස්‍යව තබාගැනීමෙන් සහ යෝග්‍ය අවස්ථාවන්හිදී පමණක් ඒවා එළිදරව් කිරීමෙන්. කිව යුතු දේ සහ නොකිව යුතු දේ මොකක්ද කියලා තීරණය කරද්දී, ඔහු නිහතමානිකමින්, ඇදහිල්ලෙන් සහ ප්‍රේමයෙන් මඟ පෙන්වීම ලබනවා. තමාගේ වැදගත්කම ගැන ඕනාවට වඩා කියාපාමින්, තමුන් දන්න හැම දෙයක්ම කියා ඔවුන්ව විස්මයට පත් කිරීමෙන් හෝ කියන්න බැරි රහස් ගැන ඉඟි පළ කරමින් ඔවුන්ගේ කුතුහලය අවුස්සමින් කටයුතු කිරීමෙන් ඔහුව වළක්වන්නේ නිහතමානීකමයි. යෙහෝවාගේ වචනය සහ ක්‍රිස්තියානි සභාව කෙරෙහි තියෙන ඇදහිල්ල, දිව්‍යමය ආකාරයකින් සපයා තියෙන බයිබලය මත පදනම් තොරතුරු දේශනා කිරීමට ඔහුව පොලඹවන අතරවාරයේදී, අනුන්ව අමනාප කළ හැකි දේවල් මුලදීම කීමෙන් වැළකී සිටීමටත් ඔහු පරෙස්සම් වෙනවා. ඔව්, දෙවිට ගෞරවය ගෙන දෙන සහ ජීවනය අත් කරගන්න ජනයා දැනගත යුතු දේවල් විවෘතව කියන්න, ප්‍රේමය ඔහුව පොලඹවනවා. අනික් අතට, රහස්‍ය කාරණා ඔහු රකින්නේ, බොහෝ අවස්ථාවලදී එවැනි කාරණා එළිදරව් කිරීම ප්‍රේමයේ ඌනතාවක් පෙන්නුම් කිරීමක් වන බව ඔහු තේරුම්ගන්න නිසයි.
19. සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීම සඳහා මොන ක්‍රියාමාර්ගයද අපිට උපකාර වෙන්නේ? එමෙන්ම එහි ප්‍රතිඵලය මොකක්ද?
19 සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමට මෙම සමබර එළඹීම උපකාර වෙනවා. ඔවුන් දෙවිගේ අනන්‍යතාව නිර්නාමිකකමේ වෙස් මුහුණක් පිටුපසවත්, අභිරහස්, පහදා දිය නොහැකි ත්‍රිත්ව ඉගැන්වීමක් පිටුපසවත් සඟවන්නේ නැහැ. නොහඳුනන දෙවිවරුන් සැබෑ ආගමේ නොව බොරු ආගමේ ගතිලක්ෂණයක්. (ක්‍රියා 17:22, 23, බලන්න.) ‘දෙවිගේ පරිශුද්ධ රහස්වල ගබඩාකාරයන්’ වීමේ වරප්‍රසාදය යෙහෝවාගේ ආලේප ලත් සාක්ෂිකරුවන් සැබවින්ම අගය කරනවා. මෙම රහස් අනුන්ට විවෘතව එළිදරව් කිරීමෙන්, යෙහෝවාගේ මිත්‍රත්වය සොයන්න අවංක හෘද ඇති අයව පොලඹවන්න ඔවුන් උපකාර කරනවා.—1 කොරින්ති 4:1; 14:22-25; සෙකරියා 8:23; මලාකී 3:18.
[පාදසටහන්වල]
a 1987 පෙබරවාරි 1, මුරටැඹහි “අන්‍යයන්ගේ පාපවලට හවුල් නොවන්න” යන ලිපිය බලන්න.
කොහොමද පිළිතුරු දෙන්නේ?
◻ යෙහෝවාට තම අභිප්රායන් සඟවාගන්න අවශ්‍යතාවක් නැත්තේ ඇයි?
◻ යෙහෝවා තම රහස් එළිදරව් කරන්නේ කාටද?
◻ රහස්‍ය කාරණා සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන්ට තියෙන්නේ මොන වගකීමද?
◻ කිව යුතු සහ නොකිව යුතු දේවල් මොනවාද කියලා තීරණය කරගන්න ක්‍රිස්තියානීන්ට උපකාරවත් වෙන්නේ මොන ගුණාංග තුනද?
[8, 9වන පිටුවේ පින්තූර]
යෙහෝවා තම වචනය තුළින් රහස් එළිදරව් කරයි