මනුෂ්‍ය දුර්වලකමෙන් විශාල කර දක්වයි යෙහෝවාගේ බලය
“හැමෝම හිතුවේ මම හරි සතුටෙන්, උනන්දුවෙන් පූර්ණ-කාලීන සේවයේ යෙදෙන කෙනෙක් කියලයි. අනිත් අයගේ ගැටලුවලදී හැම වෙලාවෙම ඒ අයට උපකාර කරපු කෙනා මමයි. නමුත්, ඒ අතරතුරම, මම ඇතුළාන්තයෙන් මියයන බවක් මට හැඟුණා. නොසන්සුන් සිතුවිලි හා මානසික වේදනාව මට නරක බලපෑමක් සිදු කරමින් තිබුණා. මිනිස්සුන්ගෙන් ඈත් වෙලා කියලා මට දැනෙන්න පටන්ගත්තා. මට ඕන වුණේ ඔහේ ගෙදරට වෙලා ඇඳේම ඉන්නයි. මට මැරෙන්න ඉඩඅරින්නයි කියලා මම මාස ගානක් තිස්සේ යෙහෝවගෙන් ඉල්ලුවා.”—ව’නෙසා.
ඉහත සඳහන් සිද්ධියේදී මෙන්, සමහර අවස්ථාවලදී යෙහෝවාගේ සේවකයන්ට ‘කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි මේ කාලවල’ ජීවත් වීමේ බලපෑම් දැනෙන්න පුළුවන්. (2 තිමෝති 3:1, NW) සමහරු කලකිරෙන්න පවා පුළුවන්. (පිලිප්පි 2:25-27) දීර්ඝ කාලයක් පුරා තිබෙන විට, කලකිරීමට පුළුවන් අපේ ශක්තිය උදුරගන්න; මන්ද බයිබලය මෙහෙම පවසනවා: “නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.” (හිතෝපදේශ 24:10) එසේය, අපි අධෛර්යයට පත් වෙලා ඉන්න විට, බලය—එනම් ප්‍රේරිත පාවුල් පැවසුව විදිහට “සාමාන්‍ය ඉක්මවූ බලය” පවා අපිට අවශ්‍යයි.—2 කොරින්ති 4:7, NW.
සීමා රහිත බලයේ උල්පත යෙහෝවා දෙවියි. දෙවිගේ මැවිල්ල සෝදිසි කර බලන විට ඒ බව පැහැදිලියි. (රෝම 1:20) උදාහරණයක් වශයෙන්, ඉර ගැන සලකා බලන්න. ඉරෙන් එකදිගට ගලා එන ට්‍රිලියන 240ක විතර අශ්වබලයක් පෘථිවිය මගින් නවත්වනවා. එනමුත්, මේ ගණනෙන් පෙන්නුම් කෙරෙන්නේ ඉරෙන් නිකුත් කරන ශක්තියෙන් බිලියනයකින් එක කොටසකිනුත් අඩක් විතරයි. තවද යෝධ තරු ලෙසින් ප්‍රසිද්ධ තරු එක්ක සසඳද්දී ඉර කුඩායි. මේවා අතුරෙන් ඔරයන් රාශියේ පිහිටි රිගල් තරුව අපේ ඉර මෙන් 50 ගුණයක් විශාල වන අතර, 1,50,000 වාරයකින් විශාල ශක්ති ප්‍රමාණයක් නිකුත් කරනවා!
එවැනි අහස් බලශක්ති බලාගාරවල මැවුම්කාරයාට “බලයේ මහත්කම” හිමිව තිබිය යුතුයි. (යෙසායා 40:26; ගීතාවලිය 8:3, 4) ඇත්තෙන්ම, යෙහෝවා “ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත්” යෙසායා අනාගතවක්තෘවරයා ප්‍රකාශ කළා. එමෙන්ම මනුෂ්‍ය දුර්වලකම නිසා තමන් වෙහෙසට පත් වන බවක් හැඟෙන ඕනෑම කෙනෙක් එක්ක දෙවි තම බලය බෙදාගන්න කැමැත්තෙන් ඉන්නවා. (යෙසායා 40:28, 29) ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල්ගේ සිද්ධියේදී ඔහු මෙය කරන ආකාරය නිදර්ශනය වෙනවා.
පරීක්ෂාවලට සාර්ථකව මූණ දීම
පාවුල්ට විඳදරාගන්න සිද්ධ වුණ බාධාවක් ගැන පාවුල් කොරින්තිවරුන්ට පැවසුවා. ඔහු එය හැඳින්වූයේ ‘මාංසයේ උලක්’ වශයෙනුයි. (2 කොරින්ති 12:7) මේ “උල” සෞඛ්‍ය ගැටලුවක්, සමහරවිට දුර්වල වූ දෘෂ්ටිය වෙන්න ඇති. (ගලාති 4:15; 6:11) නැත්නම්, ඔහුගේ ප්‍රේරිතකම හා වැඩයට අභියෝග කළ බොරු ප්‍රේරිතයන් හා බාධා කරන වෙනත් අයට පාවුල් යොමු දක්වමින් සිටියා වෙන්න පුළුවන්. (2 කොරින්ති 11:5, 6, 12-15; ගලාති 1:6-9; 5:12) එය මොකක් වුණත්, ඒ ‘මාංසයේ උල’ පාවුල්ව සෑහෙන්න විඩාවකට පත් කළ අතර, ඔහුගෙන් එය පහ කරන මෙන් ඔහු යළි යළිත් යාච්ඤා කළා.—2 කොරින්ති 12:8.
කොහොමනමුත්, යෙහෝවා පාවුල්ගේ ඉල්ලීම ඉටු කර දුන්නේ නෑ. ඒ වෙනුවට ඔහු පාවුල්ට මෙහෙම කිව්වා: “මාගේ කරුණාව [ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව, NW] නුඹට සෑහේ.” (2 කොරින්ති 12:9) යෙහෝවා මෙයින් අදහස් කළේ මොකක්ද? ඇත්තෙන්ම, ක්‍රිස්තියානීන්ට පීඩා කිරීමේ පාවුල්ගේ අතීත ක්‍රියාමාර්ගය සලකා බලද්දී, ප්‍රේරිතයෙක් වශයෙන් සේවය කරනවා තියා දෙවි සමඟ සබඳතාවක් තබාගන්නවත් ඔහුට හැකි වුණේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව නිසා විතරයි!a (සසඳන්න සෙකරියා 2:8; එළිදරව් 16:5, 6.) ගෝලකමේ වරප්‍රසාදය ‘සෑහෙන’ බව යෙහෝවා පාවුල්ට කියන්න හැදුවා වෙන්න පුළුවන්. ජීවිතයේ පෞද්ගලික ගැටලු ප්රාතිහාර්යයක් මගින් ඉවත් කිරීමක් සිදු වෙන්නෙ නෑ. ඇත්තෙන්ම, සමහර දුෂ්කරතාවන් පවා අමතර වරප්රසාදවල ප්‍රතිඵලයක් වශයෙන් පැමිණෙන්න පුළුවන්. (2 කොරින්ති 11:24-27; 2 තිමෝති 3:12) කොහොමවුණත්, පාවුල්ට තමාගේ ‘මාංසයේ උල’ විඳදරාගන්නයි සිද්ධ වුණේ.
ඒත්, යෙහෝවා හිතක් පපුවක් නැති විදිහට කොයිම විදිහකින්වත් පාවුල්ව අත්අරිමින් සිටියා නෙවෙයි. ඒ වෙනුවට ඔහු ඔහුට මෙහෙම කිව්වා: “දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේය.” (2 කොරින්ති 12:9) ඔව්, පාවුල්ට තමාගේ තත්වයට මූණ දෙන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා ප්‍රේමනීය ලෙස දුන්නා. මෙලෙස, පාවුල්ගේ ‘මාංසයේ උල’ නිදර්ශන පාඩමක් බවට පත් වුණා. තමා මතම නොපිහිටා යෙහෝවාගේ ශක්තිය මත රඳා පවතින්න එය ඔහුට ඉගැන්නුවා. පාවුල් මේ පාඩම හොඳින් ඉගෙනගත් බව පැහැදිලියි; මන්ද වසර කීපයකට පස්සේ ඔහු පිලිප්පිවරුන්ට මෙහෙම ලියූ නිසයි: “මම මොන ස්වභාවක සිටිම් නුමුත්, ඊට සතුටුවෙන්ට මම ඉගෙනගෙන සිටිමි. මා බලවත්කරන්නාවූ [තැනැත්තා] තුළ මට සියලුදේ කරන්ට පුළුවන.”—පිලිප්පි 4:11, 13.
ඔබ ගැන කොහොමද? සමහරවිට ඔබට මහත් කනස්සල්ලක් ඇති කරවන අසනීපයක් හෝ ජීවිතයේ තත්වයක්, එනම් යම් ආකාරයක ‘මාංසයේ උලක්’ ඔබ විඳදරාගනිමින් ඉන්නවාද? එහෙමනම්, අස්වැසිල්ලක් ලබාගන්න. යෙහෝවා ප්රාතිහාර්යමය ලෙස බාධා ඉවත් නොකරනවා විය හැකි වුවත්, ඔබට ප්‍රඥාව සපයන්නත්, ඔබ නොකඩවා රාජ්‍ය කටයුතු ජීවිතයේ පළමු තැනට දමද්දී එයට මූණ දෙන්න ඔබව සන්නද්ධ කරන්නත් ඔහුට පුළුවන්.—මතෙව් 6:33.
ඔබ ආශා වන පරිදි ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල යෙදෙන්න අසනීප හෝ මහලු වයස බාධාවක් නම් බලාපොරොත්තු නැති කරගන්න එපා. ඔබේ පරීක්ෂාව යෙහෝවාට කරන ඔබේ සේවය සීමා කිරීමක් වශයෙන් සලකනවා වෙනුවට, ඔබට ඔහු මත වැඩියෙන් රඳා සිටිය හැකි ප්‍රස්තාවක් ලෙස එය සලකන්න. ක්‍රිස්තියානියෙකුගේ වටිනාකම මනින්නේ ඔහුගේ දේවසේවයේ මට්ටම අනුව නොවන මුත්, ඔහුගේ ඇදහිල්ල සහ ප්‍රේමයේ ගැඹුර මත බව මතක තබාගන්න. (මාර්ක් 12:41-44, සසඳන්න.) යෙහෝවාට ඔබේ මුළු ප්‍රාණයෙන් ප්‍රේම කිරීම යන්නෙන් අදහස් කරන්නේ, වෙනත් කෙනෙකුගේ හැකියාව නොව, නමුත් ඔබට හැකි උපරිමයෙන් ඔබ ඔහුට සේවය කිරීමයි.—මතෙව් 22:37; ගලාති 6:4, 5.
ප්රේමනීයයෙකුගේ මරණය වැනි ජීවිතයේ ශෝකජනක තත්වයක් ඔබේ ‘මාංසයේ උලට’ ඇතුළත් නම්, බයිබලයේ අවවාදය අනුගමනය කරන්න: “ඔබේ බර යෙහෝවා පිට තබන්න, ඔහු ඔබව උසුලයි. ඔහු කිසි කලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට ඉඩ නොහරියි.” (ගීතාවලිය 55:22, NW) සිල්වියා නම් ක්‍රිස්තියානි ස්ත්‍රිය මෙය කළා. විවාහ වී අවුරුදු 50කට පස්සේ ඇගේ සැමියාත්, යෞවන මුනුබුරු මිනිබිරියන් දෙදෙනෙක් ඇතුළු පවුලේ වෙනත් සාමාජිකයන් නවදෙනෙකුත් අවුරුදු කිහිපයක් තුළදී මියගියා. “යෙහෝවා නොහිටින්න මට මගේ දුක පාලනය කරගන්න බැරි වෙනවා. නමුත් යාච්ඤාවෙන් මට ලොකු සහනයක් ලැබෙනවා. වචනයේ අර්ථයෙන්ම ගත්තොත් මම යෙහෝවා එක්ක නොකඩවාම කතා කරනවා. ඔහු මට විඳදරාගන්න ශක්තිය දෙන බව මම දන්නවා” කියලා සිල්වියා පවසනවා.
ශෝක වන අයට විඳදරාගන්න ශක්තිය දෙන්න “සෑම සැනසිල්ලේ දෙවි[ට]” හැකි බව දැනං ඉන්න එක කොයිතරම් බිය සැක දුරු කරවන්නක්ද! (2 කොරින්ති 1:3; 1 තෙසලෝනික 4:13) මෙය අගය කිරීමෙන්, කාරණය සම්බන්ධයෙන් පාවුල්ගේ නිගමනය තේරුම්ගන්න අපිට හැකියි. ඔහු මෙහෙම කිව්වා: “[ක්‍රිස්තුස්] උදෙසා පැමිණෙන දුර්වලකම්වලටත් අන්තරායවලටත් හිඟකම්වලටත් පීඩාවලටත් විපත්තිවලටත් ප්‍රසන්නව සිටිමි. මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි.”—2 කොරින්ති 12:10.
අසම්පූර්ණකම්වලට සාර්ථකව මූණ දීම
අපේ මුල් මනුෂ්‍ය දෙමාපියන්ගෙන් අපි හැමෝම අසම්පූර්ණත්වය උරුම කරගෙන තියෙනවා. (රෝම 5:12) ප්‍රතිඵලයක් වශයෙන්, දුර්වල මාංසික ආශාවලට එරෙහිව අපි සටනක යෙදෙමිනුයි ඉන්නේ. අපි හිතුවාටත් වඩා “පරණ පෞද්ගලිකත්වයේ” ගතිලක්ෂණවලට අපව වඩාත් බලවත් ලෙස ග්‍රහණය කරගන්න පුළුවන් බව සොයාගන්න ලැබීම කොයිතරම් අධෛර්යයට පත් කරවන්නක්ද! (එපීස 4:22-24, NW) එවැනි අවස්ථාවලදී ප්‍රේරිත පාවුල්ට හැඟුණ විදිහටම අපිටත් හැඟෙන්න පුළුවන්; ඔහු මෙසේ ලිව්වා: “අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම [දෙවිගේ] ව්‍යවස්ථාවට ප්‍රියවෙමි. නුමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ.”—රෝම 7:22, 23.
මෙවිටත්, අපිට යෙහෝවාගෙන් ශක්තිය ලබාගන්න පුළුවන්. පෞද්ගලික දුර්වලකමක් එක්ක පොරබදන විට, යාච්ඤාවෙන් ඔහු වෙත හැරීම කිසිවිටකත් නතර කරන්න එපා; එකම ගැටලුව රැගෙන ඔහු වෙත කොච්චර වාරයක් යන්න සිද්ධ වුණත් ඉතා උනන්දුවෙන් ඔහුගේ සමාව සොයන්න. ලබන්ට නොවටිනා තරම් වූ තම කරුණාව හේතුවෙන් “සිත් කිරාබලන” මෙන්ම ඔබේ අවංකත්වයේ ගැඹුර දැකිය හැකි ඔහු, ඔබට පවිත්‍ර කළ හෘදය සාක්ෂියක් දානය කරාවි. (හිතෝපදේශ 21:2) යෙහෝවාට පුළුවන් ඔහුගේ ශුද්ධාත්මය මගින්, මාංසික දුර්වලකම්වලට එරෙහිව කරන සටන යළි පණගන්වන්න ශක්තිය දෙන්න.—ලූක් 11:13.
අන්‍යයන්ගේ අසම්පූර්ණකම් එක්ක කටයුතු කරද්දීත් අපිට යෙහෝවාගෙන් ශක්තිය අවශ්‍යයි. උදාහරණයක් වශයෙන්, සෙසු ක්‍රිස්තියානියෙක් අපිට “කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස්” කියන්න පුළුවන්. (හිතෝපදේශ 12:18) විශේෂයෙන්ම වඩා ඥානාන්විතව කටයුතු කරන්න තිබුණායයි අපි හිතන කෙනෙක්ගෙන් එහෙම සිද්ධ වෙනවා නම් ඒක අපිට මහත් වේදනාවක් වෙන්න පුළුවන්. අපි හුඟක් කැලඹෙන්න පුළුවන්. සමහරු යෙහෝවාව අත්හරින තරමටම එවැනි වැරදි යුක්තිසහගත ඒවා හැටියට ඉදිරිපත් කරලා තියෙනවා—මේක ලොකුම ලොකු වැරදීමක්!
කෙසේනමුත්, අනිත් අයගේ දුර්වලකම් හරි කෝණයකින් දකින්න සමබර ආකල්පයක් අපට උපකාර කරනවා. අසම්පූර්ණ මනුෂ්‍යයන්ගෙන් සම්පූර්ණත්වය අපේක්ෂා කරන්න අපිට බෑ. “පව් නොකරන මනුෂ්‍යයෙක් නැත” කියා ඥානවන්ත සාලමොන් අපිට මතක් කර දෙනවා. (1 රාජාවලිය 8:46) දශක හතක් විතර පක්ෂපාතව යෙහෝවාට සේවය කළ ආලේප ලත් ක්‍රිස්තියානියෙක් වූ ආත’ මෙසේ නිරීක්ෂණය කළා: “සෙසු සේවකයන් තුළ තියෙන දුර්වලකම් අපේ ක්‍රිස්තියානි ස්වභාවය පරීක්ෂා කරමින්, අඛණ්ඩතාව ඔප්පු කරන්න අපිට මාර්ගයක් සාදා දෙනවා. යෙහෝවාට කරන අපේ සේවයට බාධාවක් වෙන්න මනුෂ්‍යයන් කරන කියන දේවලට අපි ඉඩහරිනවා නම්, අපි සේවය කරන්නේ මනුෂ්‍යයන්ටයි. ඇරත්, අපේ සහෝදරයනුත් යෙහෝවාට ප්‍රේම කළ යුතුයි. අපි ඔවුන් ළඟ තියෙන හොඳ ගතිගුණ දිහා බලනවා නම්, අපි හිතුව තරම් ඔවුන් නරක නැති බව අපිට වැඩි කල් යන්න ඉස්සෙල්ලා දකින්න පුළුවන් වෙයි”.
දේශනා කරන්න බලය
ස්වර්ගයට යන්න කලින් යේසු තම ගෝලයන්ට මෙහෙම කිව්වා: “[ශුද්ධාත්මය] නුඹලා කෙරෙහි පැමිණිකල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය.”—ක්‍රියා 1:8.
යේසුගේ වචනවලට එකඟව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් මේ වැඩය දැන් ලොව පුරා රටවල් 233ක සිදු කෙරෙමින් පවතිනවා. සමස්තයක් වශයෙන්, යෙහෝවා ගැන දැනුමක් ලබාගන්න අන්‍යයන්ට උපකාර කරමින් ඔවුන් හැම වසරකම පැය බිලියනයකටත් වඩා ගත කරනවා. මේ වැඩය සම්පූර්ණ කරන එක හැමවිටම පහසු නෑ. සමහර රටවල රාජ්‍ය දේශනා කිරීමේ වැඩය තහනම් කර හෝ සීමා කර තිබෙනවා. වැඩය කරන අය ගැනත් සලකා බලන්න—ඔවුන් දුර්වල, අසම්පූර්ණ මනුෂ්‍යයන්; මේ හැම තැනැත්තෙකුටම හෝ තැනැත්තියකටම තමන්ගේම ගැටලු හා කාන්සාවන් තියෙනවා. එනමුත් වැඩය දිගටම සිදු වන අතර ප්‍රතිඵලයක් වශයෙන්, ඉකුත් වසර තුන තුළදී, මිලියනයකට අධික පිරිසක් තම ජීවිත යෙහෝවාට කැප කර, වතුර බව්තීස්මයෙන් තම කැපවීම සංකේතවත් කර තියෙනවා. (මතෙව් 28:18-20) සත්‍යයෙන්ම, මෙම වැඩය සම්පූර්ණ කෙරෙන්නේ දෙවිගේ ශක්තියෙන් පමණයි. අනාගතවක්තෘ සෙකරියා මගින් යෙහෝවා මෙසේ පැවසුවා: “බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්ය.”—සෙකරියා 4:6.
ඔබ ශුභාරංචියේ ප්‍රචාරකයෙක් නම්, ඔබ කරන වැඩය කොයි තරම් කුඩා එකක් ලෙස පෙනුණත්—ඔබ එම උතුම් සම්පූර්ණ කිරීමේ හවුල් වෙමින් ඉන්නවා. ඔබට විඳින්න වෙන ‘උල්’ මොනවා වුණත්, යෙහෝවා ‘ඔබගේ වැඩයත්, ඔහුගේ නාමයට ඔබ පෙන්නූ ප්‍රේමයත්’ අමතක නොකරන බවට සහතික වෙන්න ඔබට හැකියි. (හෙබ්‍රෙව් 6:10) ඒ නිසා, උපකාරය සඳහා සෑම බලශක්තියකම උල්පත මත නිරතුරුවම රඳාපවතින්න. අපිට විඳදරාගන්න පුළුවන් වෙන්නේ යෙහෝවාගේ ශක්තිය තුළින් පමණක් බව මතක තබාගන්න; අපේ දුර්වලකම්වලදී ඔහුගේ බලය පරිපූර්ණයි.
[පාදසටහන]
a “සියල්ලෝම පව්කොට [දෙවිගේ] මහිමයෙන් හීනව සිටි[න]” නිසා, කිසියම් මනුෂ්‍යයෙකුට දෙවි සමඟ යම් විදිහක සබඳතාවක් ඇති කරගන්න පුළුවන් වීම දෙවිගේ දයාවේ සාක්ෂියක් බවට නිසැකයි.—රෝම 3:23.
[26වන පිටුවේ පින්තූරය]
දේශනා වැඩය සම්පූර්ණ කෙරෙන්නේ යෙහෝවාගේ බලයෙන් පමණයි