දෙවි බයිබලයට ආනුභාවය දුන්නේ කෙසේද?
සන්නිවේදනය ඉතිහාසයේ කවරදාකටත් වඩා අද බොහෝ සේ සිත්ගන්නා දෙයක් වෙලා තියෙනවා. දූරකථන, ෆැක්ස් යන්ත්‍ර, පරිගණක—වචනයේ පරිසමාප්තියෙන්ම ලෝකෙ වටේ ඕනෑම තැනකට ක්ෂණයකින් පණිවිඩ පතුරුවා හරින කාලයක් ගැන අවුරුදු ගණනාවකට කලින් කවුද හිතුවේ.
නමුත් ඉතාමත්ම සිත්ගන්නා තොරතුරු දැනුම් දීමේ ක්‍රමය, මිනිසාට නිපුණ වෙන්න බැරි වර්ගයේ එකක්—ඒ දිව්යානුභාවයයි. ශුද්ධ බයිබලය කියන යෙහෝවාගේ ලිඛිත වාර්තාව නිමවන්න මිනිස් ලේඛකයන් 40දෙනෙකුට විතර ඔහු ආනුභාවය දුන්නා. තොරතුරු දැනුම් දෙන්න මිනිසුන්ට ක්‍රම එකකට වඩා තියෙනවා වගේ, ශුද්ධ ලියවිල්ල ලිවීම සඳහා ආනුභාවය ලබා දීමට, තොරතුරු දැනුම් දීමේ ක්‍රම කිහිපයක් යෙහෝවා පාවිච්චි කළා.
කියවන විට ලිවීම. දෙවි සුවිශේෂී පණිවිඩ දැන්වූ අතර ඒවා පසුව බයිබල් වාර්තාවට ඇතුළත් කළා.a උදාහරණයක් හැටියට, ව්‍යවස්ථා ගිවිසුම සැකසුණ නීති සලකා බලන්න. යෙහෝවා මෝසෙස්ට මෙහෙම කියනවා: “මේ වචන ලියාගන්න. මක්නිසාද මේ වචන ලෙස මම නුඹ සමගද ඉශ්රායෙල් සමගද ගිවිසුමක් කෙළෙමි.” (නික්මයාම 34:27) “දේවදූතයන් කරණකොටගෙන” ලද ඒ “වචන” මෝසෙස් විසින් පිටපත් කළ අතර, දැන් ඒවා අපිට බයිබලයේ නික්මයාම, ලෙවී කථාව, ගණන් කථාව සහ ද්විතීය කථාව කියන පොත්වලින් සොයාගන්න පුළුවන්.—ක්‍රියා 7:53.
යෙසායා, යෙරෙමියා, එසකියෙල්, ආමොස්, නාහුම් සහ මීකා ඇතුළු තව අනාගතවක්තෘවරු බොහෝදෙනෙක් දේවදූතයන් මාර්ගයෙන් දෙවිගෙන් සුවිශේෂී පණිවිඩ ලැබුවා. සමහර අවස්ථාවලදී මේ මනුෂ්‍යයෝ තම තීන්දු ප්‍රකාශ කරන්න කලින් මෙවැනි වාක්යඛණ්ඩයක් පාවිච්චි කළා: ‘යෙහෝවා මෙසේ කියන්නේය.’ (යෙසායා 37:6; යෙරෙමියා 2:2; එසකියෙල් 11:5; ආමොස් 1:3; මීකා 2:3; නාහුම් 1:12) ඉන්පසුව දෙවි ප්‍රකාශ කළ දේවල් ලිඛිත ක්‍රමයකට සකස් කළා.
දර්ශන, සිහින සහ මූර්ඡා. දර්ශනයක් කියන්නේ, චිත්තරූපයක්, දසුනක් හෝ පණිවිඩයක්, පුද්ගලයෙක් පිබිද සිටින විට යම් අසාමාන්‍ය ක්‍රමයකට ඔහුගේ මනසෙහි රැඳවීමයි. උදාහරණයකට, පේතෘස්, යොහන් සහ යාකොබ්, “ඔව්හු හොඳටම පිබිද [සිටින විට]” යේසු අන්වෙසක් වූ දර්ශනයක් දැක්කා. (ලූක් 9:28-36; 2 පේතෘස් 1:16-21) සමහර අවස්ථාවලදී පණිවිඩය සිහිනයක් හෝ රාත්‍රි දර්ශනයක් මාර්ගයෙන් ප්‍රකාශ කළා. නිදා සිටියදී දර්ශනය ලබන්නාගේ යටි සිතට එය කාවැද්දුවා. මේ අනුව දානියෙල් ලිව්වේ මෙහෙමයි: “මාගේ යහනේදී පැමිණි මාගේ හිසේ දර්ශන මෙසේය”—එහෙමත් නැත්නම් “මම දිගා වී මගේ සිහිනය දකිමින් ඉන්නා විට” කියා පරිවර්තක රෝලන්ඩ් ඒ. නොක්ස් එය ඉදිරිපත් කරනවා.—දානියෙල් 4:10.
යෙහෝවා මූර්ඡාවට පත් කළ පුද්ගලයෙක් පෙනෙන විදිහට අඩක් පිබිද සිටියත්, ගැඹුරු සමාධි තත්වයක ගිලිලයි ඉන්නේ. (ක්‍රියා 10:9-16, සසඳන්න.) බයිබලයේ “මූර්ඡා” (එක්ʹස්ටැ·සිස්) යන්න සඳහා ඇති ග්‍රීක් වචනයෙන් අදහස් කරන්නේ, ‘ඉවත ලෑම හෝ තැන මාරු කිරීමයි.’ ඉන් අඟවන්නේ, මනස එහි සාමාන්‍ය තත්වයෙන් විසි කර දැමීමක්. තවදුරටත්, මූර්ඡාවට පත් වන පුද්ගලයෙක්, දර්ශනය පූර්ණ ලෙස මනසට ගන්නා අතරේදී තම වටපිටාව ගැන සම්පූර්ණ අනවධානයෙන් යුක්ත වෙනවා. “පාරාදීසයට ඇදගනු ලැබ, කියන්ට බැරිවූ, මනුෂ්‍යයෙකු විසින් නොකිය යුතුවූ වචන ඇසූ බව දනිමි” කියා ප්‍රේරිත පාවුල් කී විට පෙනෙන විදිහට, ඔහුත් එවැනි මූර්ඡාවකට පත් වෙන්න ඇති.—2 කොරින්ති 12:2-4.
දෙවි කියවන විට ලියූ දෙය පිටපත් කළ අයට වෙනස්ව, දර්ශන හෝ සිහින හෝ මූර්ඡා හෝ අද්දුටු බයිබල් ලේඛකයන්ට ඔවුන් දුටු දේ ගැන ඔවුන්ගේම වචනයෙන් විස්තර කරන්න යම් ඉඩක් තිබුණා. හබක්කුක්ට මෙහෙම කිව්වා: “දර්ශනය කියවන්නා [ව්‍යක්ත ලෙස, NW] කියවන්ට පුළුවන් වන පිණිස එය ලෑලිවල පැහැදිලිලෙස ලියන්න.”—හබක්කුක් 2:2.
මින් අදහස් කරන්නේ, බයිබලයේ කියවන විට ලියූ කොටස්වලට වඩා මේ කොටස්වලට යම් විදිහකින් ආනුභාවය අඩුවෙන් ලැබී තියෙනවා කියාද? කොහෙත්ම නැහැ. යෙහෝවා ඔහුගේ ආත්මය මාර්ගයෙන්, එක් එක් ලේඛකයාගේ මනසේ ඔහුගේ පණිවිඩය ස්ථිර ලෙස තැබීම තුළින් මිනිසාගේ නොව, නුමුත් දෙවිගේ සිතුවිලි ප්‍රකාශ කළා. සුදුසු වචන සොයාගැනීමට යෙහෝවා ලේඛකයාට ඉඩහරින අතරතුරම, ලේඛකයාගේ මනස සහ හෘදයෙන් කිසිම වැදගත් තොරතුරක් අතහැරී නොයන්නත්, අන්තිමේදී එම වචන දෙවිගේම බව සුදුසු ලෙස පෙන්වන්නත් මඟ පෙන්වනු ලැබුවා.—1 තෙසලෝනික 2:13.
දිව්‍ය එළිදරව් කිරීම්. ඉතිහාසය එළිදරව් කළ සහ කල් ඇතුව ප්‍රකාශ කළ අනාවැකි බයිබලයේ තියෙනවා—ඒවා, හුදෙක් මිනිස් හැකියාවන්ගෙන් ඔබ්බට දිවෙනවා. එක් උදාහරණයක් නම් “ග්‍රීසියේ රජ” වූ මහා ඇලෙක්සැන්ඩර්ගේ නැඟීම සහ වැටීමයි; එය පුරෝකථනය කළේ අවුරුදු 200කට විතර කලිනුයි! (දානියෙල් 8:1-8, 20-22) කිසි මිනිස් ඇසකට නොගැටුණු සිද්ධීන් පවා බයිබලය එළිදරව් කරනවා. අහස සහ පොළොව මැවීම ඉන් එක උදාහරණයක්. (උත්පත්ති 1:1-27; 2:7, 8) ඒ වගේම යෝබ්ගේ පොතේ වාර්තා කරල තියෙනවා වගේ, ස්වර්ගයේ හටගත්තාවූ සාකච්ඡාවන් ගැන එහි තියෙනවා.—යෝබ් 1:6-12; 2:1-6.
දෙවි ලේඛකයාට කෙළින්ම එළිදරව් නොකළත්, බයිබල් වාර්තාවේ කොටසක් වන තුරු, වාචික හෝ ලිඛිත ඉතිහාසයේ කොටසක් වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ඒක පැවත ඒම සඳහා දෙවි එවැනි සිදුවීම් කාට හරි දන්වා තියෙනවා. (හත්වන පිටුවේ ඇති පෙට්ටිය බලන්න.) කෙසේවෙතත්, එවැනි සියලුම තොරතුරුවල උල්පත යෙහෝවා බවටත්, ලේඛකයන්ගේ දෝෂ සහිත බවින්, අතිශයෝක්තියෙන් හෝ මිථ්‍යාවෙන් එම වාර්තා කැළැල් නොවන පිණිස ඔවුන්ට මඟ පෙන්වූ බවටත් අපහට නිසැක වෙන්න පුළුවන්. අනාවැකි පිළිබඳව පේතෘස් මෙහෙම කියනවා: ‘මනුෂ්‍යයෝ ශුද්ධාත්මය විසින් පොලඹවනු ලැබ, දෙවිගෙන් ලැබූ ලෙස කතා කළෝය.’b—2 පේතෘස් 1:21.
වෙහෙසකර ප්රයත්නයක් ඕනෑ කරයි
බයිබල් ලේඛකයන්ව ‘ශුද්ධාත්මය විසින් පොලඹවනු ලැබ’ තිබුණත්, ඔවුන්ගේ පැත්තෙනුත් පරෙස්සමින් සිතන්න ඕනෙ වුණා. උදාහරණයක් හැටියට, සාලමොන් “බොහෝ උපදේශ [ඕනෑකමින් සිතා බලා සම්පූර්ණයෙන්ම, NW] සොයාගෙන, පිළියෙළකෙළේය. [ඔහු] දේශනාකරන ප්‍රිය වචන සොයාගන්ට උත්සාහකෙළේය, ලියා තිබෙන ඒවාද හරිවූ සත්‍යවූ කාරණාය.”—දේශනාකාරයා 12:9, 10.
සමහර බයිබල් ලේඛකයන්ට තමන් ලේඛනගත කරන්න යන ලියවිලි සම්බන්ධයෙන් සෑහෙන පර්යේෂණයක යෙදෙන්න සිදු වුණා. උදාහරණයක් වශයෙන් තම සුවිශේෂ වාර්තාව සම්බන්ධයෙන් ලූක් ලිව්වේ, ‘මම මුල පටන් ක්‍රමයකට සියලු කාරණා හරියාකාර විමසා බලා, ඒ දේ පිළිවෙළින් ලිව්වා’ කියායි. ඇත්තවශයෙන්ම, දෙවිගේ ආත්මය ලූක්ගේ ප්රයත්නයන්ට ආශීර්වාද කළා. විශ්වාස කටයුතු ඓතිහාසික ලියවිලි සොයාගත්තා. ඒ සඳහා, එවකට ජීවතුන් අතර සිටි ගෝලයන් අතර ඇසින් දුටු විශ්වාසවන්ත සාක්ෂිකරුවන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වන්න ඔහු පෙලඹුණු බවට කිසිම සැකයක් නැති අතර, බොහෝදුරට යේසුගේ මව වූ මරියා ඔවුන්ගෙන් කෙනෙක් වෙන්න ඇති. ඉන්පසුව තොරතුරු නිරවද්‍ය ආකාරයකට වාර්තා කරන්න දෙවිගේ ආත්මය ලූක්ට මඟ පෙන්වාවි.—ලූක් 1:1-4.
ලූක්ගේ සුවිශේෂයට වෙනස්ව, සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවෙක් වන යොහන් එය ලිව්වේ යේසු මැරී අවුරුදු 65කට විතර පසුවයි. කාලයාගේ ඇවෑමෙන් යොහන්ගේ මතකය මොට වී නොයෑම සඳහා යෙහෝවාගේ ආත්මය එය මුවහත් කළ බවට කිසිම සැකයක් නැහැ. යේසු ඔහුගේ අනුගාමිකයන්ට පොරොන්දු වූ දෙයට මේක එකඟයි: ‘මාගේ නාමයෙන් පියා එවන සැනසිලිකාරයා, එනම් ශුද්ධාත්මය, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරවන්නේය.’—යොහන් 14:26.
සමහර අවස්ථාවලදී, සියලුදෙනාම ආනුභාවය ලත් අය නොවුවත්, ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කරන ලියවිලි ඇති, කලින් සිටි ඓතිහාසික ලේඛකයන්ගෙන් ලබාගත් සම්පාදනයන් බයිබල් ලේඛකයන් තම වාර්තාවලට ඇතුළත් කළා. යෙරෙමියා, පළමුවන සහ දෙවන රාජාවලියෙන් වැඩි හරියක් සම්පාදනය කළේ මේ විදිහටයි. (2 රාජාවලිය 1:18) එස්රා, පළමුවන සහ දෙවන ලේකම් සඳහා කරුණු රැස් කරන්න ‘දාවිත් රජුගේ ලේකම් පොත’ සහ ‘යූදාහිද ඉශ්‍රායෙල්හිද රජුන්ගේ පොත’ ඇතුළුව අඩුම තරමින් ආනුභාවය නොලත් මූලාශ්‍ර 14කටවත් යොමු වුණා. (1 ලේකම් 27:24; 2 ලේකම් 16:11) මෝසෙස් ‘යෙහෝවාගේ යුද්ධ පොතෙන්’ පවා තොරතුරු උපුටාගත්තා—පෙනෙන විදිහට එය දෙවිගේ සෙනඟගේ යුද්ධ පිළිබඳ විශ්වාසදායක වාර්තාවක්.—ගණන් කථාව 21:14, 15.
පසු කාලයේදී ආනුභාවය ලත් බයිබල් වාර්තාවේ කොටසක් වීමට විශ්වාසදායක පිටපත් පමණක් තෝරාගන්න, මෙවැනි අවස්ථාවලදී ශුද්ධාත්මය ක්‍රියාශීලී ලෙස බයිබල් ලේඛකයන්ව මෙහෙයවීමේ යෙදුණා.
ප්‍රයෝජනදායක දැනමුතුකම්—කාගෙන්ද?
උනන්දුමත් පෞද්ගලික නිරීක්ෂණය මත පදනම් වූ ප්‍රයෝජනවත් දැනමුතුකම් බහුල ලෙස බයිබලයේ අඩංගු වෙනවා. උදාහරණයක් හැටියට සාලමොන් ලිව්වේ මෙහෙමයි: “කා බී තමාගේ වැඩෙන් සැපය භුක්තිවිඳින්ට තමාගේ ප්‍රාණයට ඉඩදෙනවාට වඩා හොඳ යසසක් මනුෂ්‍යයෙකුට නැත. මේකත් [දෙවිගේ] අතින් පැමිණෙන බව මම දුටිමි.” (දේශනාකාරයා 2:24) විවාහය ගැන ඔහුගේ උපදේශය “[ඔහුගේ] විනිශ්චයේ හැටියට” කියලයි පාවුල් සඳහන් කළේ. කෙසේවෙතත් ඔහු ඊට එකතු කරන්නේ, ‘දෙවිගේ ආත්මය මට ඇතැයි සිතමි’ කියලයි. (1 කොරින්ති 7:25, 39, 40) පාවුල්ට ස්ථිරවම දෙවිගේ ආත්මය තිබූ අතර, ඔහු ලියූ දේ, ‘ඔහුට දුන් ප්‍රඥාව ලෙස’ ලියූ බව ප්‍රේරිත පේතෘස් සඳහන් කරනවා. (2 පේතෘස් 3:15, 16, ඇල අකුරු අපේය.) මෙලෙස, ඔහු ඔහුගේ අදහස ඉදිරිපත් කරමින් සිටියේ දෙවිගේ ආත්මයේ මඟ පෙන්වීමෙනුයි.
බයිබල් ලේඛකයන් එවැනි පෞද්ගලික අදහසක් ප්‍රකාශ කරද්දී, ඔවුන් එසේ කළේ එහි පසුබිම ගැන අධ්‍යයනය කර ඔවුන්ට ලබාගැනීමට හැකිව තිබූ ශුද්ධ ලියවිලි අදාළ කරගෙනයි. ඔවුන්ගේ ලියවිලි දෙවිගේ සිතුවිලිවලට එකඟයි කියා අපිට ස්ථිර වෙන්න පුළුවන්. ඔවුන් වාර්තා කළ දෙය දෙවිගේ වචනයේ කොටසක් බවට පත් වුණා.
ඇත්තවශයෙන්ම, බයිබලයෙහි දෝෂ සහිත සිතුවිලි තියෙන අයගේ කියමන් අඩංගු වෙලා තියෙනවා. (යෝබ් 15:15 සමඟ 42:7 සසඳන්න.) කාරණයේ සම්පූර්ණ පින්තූරය ප්‍රකාශ නොකෙරුණත්, දෙවිගේ සේවකයන්ගේ දැඩි වේදනාත්මක හැඟීම් පළ කරන ප්‍රකාශන කිහිපයක්ද එහි අඩංගු වෙනවා.c එවැනි පෞද්ගලික ප්‍රකාශන ඉදිරිපත් කරද්දී වුණත්, නිරවද්‍ය වාර්තාවක් බිහි කරන්න ලේඛකයාව දෙවිගේ ආත්මය මගින් මඟ පෙන්වනු ලැබූ අතර, එය වැරදි තර්ක හඳුනාගැනීමටත් ඒවා හෙළි කිරීමටත් ඉවහල් වුණා. තවදුරටත්, එවැනි සිද්ධීන්වලදී ඕනෑම සාධාරණ පාඨකයෙකුට එහි පාඨ සම්බන්ධය තුළින් ලේඛකයාගේ සිතුවිලි වලංගුද නැද්ද කියා පැහැදිලි වෙනවා.
සාරාංශයක් හැටියට, මුළු බයිබලයම දෙවිගේ පණිවිඩය හැටියට අපිට නිසැක විය හැකියි. ඇත්තවශයෙන්ම, එහි අඩංගු සෑම දෙයක්ම දෙවිගේ අරමුණුවලට ගැළපෙන බවටත්, ඔහුට සේවය කරන්න කැමති අයට අවශ්‍ය උපදෙස් සපයන බවටත් යෙහෝවා වගබලා ගත්තා.—රෝම 15:4.
මිනිස් ලේඛකයෝ—ඒ ඇයි?
බයිබලය ලියන්න යෙහෝවා මනුෂ්‍යයන්ව පාවිච්චි කිරීම ඔහුගේ මහත් වූ ප්‍රඥාව පෙන්වනවා. මෙය සලකා බලන්න: දෙවි වැඩය දේවදූතයන්ට භාර දුන්නා නම්, බයිබලයට එම ආකර්ෂණයම තියේවිද? දෙවිගේ ගුණාංග සහ කටයුතු දේවදූතයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් කියවන්න ලැබීම සිත්ගන්නාසුලු යමක් බව ඇත්තයි. නමුත් මිනිස් අංග සම්පූර්ණයෙන්ම නැතුව ගියා නම්, බයිබල් පණිවිඩය තේරුම්ගන්න අපිට දුෂ්කර වේවි.
මෙය මේ විදිහට නිදර්ශනය කරමු: දාවිත් රජ කාමමිථ්‍යාචාරයේ යෙදී, මිනි මරා පසුව පසුතැවිලි වුණා කියා සරලව බයිබලයට වාර්තා කරන්න තිබුණා. ඒත් ඔහුගේ ක්‍රියාව ගැන හද තුළ නැඟුණාවූ දැඩි වේදනාව නිසා යෙහෝවාගෙන් සමාව අයැද සිටින දාවිත්ගේම වචනවලින් එය ප්‍රකාශ කර තියෙන එක කොච්චර හොඳද! ඔහු මෙහෙම ලිව්වා: “මාගේ පාපයද නිතරම මා ඉදිරියෙහිය.” ‘දෙවියනි, බිඳුණාවූ තැළුණාවූ සිතක් ඔබ සුළුකොට නොසිතන්නේය.’ (ගීතාවලිය 51:3, 17) මේ අනුව, මිනිස් අංග සපයන හැඟීම්බර ගතිය, විවිධත්වය සහ ආකර්ෂණය බයිබලයට තියෙනවා.
ඔව්, ඔහුගේ වචනය අපිට දෙන්න යෙහෝවා හොඳම මාර්ගය තෝරාගත්තා. දුර්වලත්වයෙන් සහ අස්ථිරත්වයෙන් යුත් මිනිසුන්ව පාවිච්චි කළත්, ඔවුන්ගේ ලේඛන තුළ කිසිම වරදක් සිදු නොවන පිණිස ඔවුන්ව ශුද්ධාත්මය මගින් පොලඹවනු ලැබුවා. ඒ හේතුවෙන්, බයිබලයට ඉහළම වටිනාකමක් තියෙනවා. එහි උපදෙස් ස්ථිරසාරයි වගේම අනාගත පාරාදීස පොළොවක් ගැන අනාවැකි මත රඳාසිටින්න පුළුවන්.—ගීතාවලිය 119:105; 2 පේතෘස් 3:13.
දෙවිගේ වචනයෙන් කොටසක් දිනපතාම කියවීම පුරුද්දක් කරගැනීම හොඳ දෙයක් නෙවෙයිද? පේතෘස් මෙහෙම ලිව්වා: “ආත්මිකවූ අමිශ්රවූ කිරිවලින්, නුඹලා ගැළවීම සඳහා වර්ධනයවන පිණිස අලුත උපන් බිලිඳුන් මෙන් එයට බොහෝ ආශාවෙන්න.” (1 පේතෘස් 2:3) මුළු ලියවිල්ල දේවානුභාවයෙන් දී ඇති නිසා, ‘දෙවිගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තියෙනවා.’—2 තිමෝති 3:16.
[පාදසටහන්වල]
a අඩුම තරමින් එක් අවස්ථාවකදී, එනම් දස පනත දෙද්දී තොරතුරු ලියනු ලැබුවේ ‘දෙවිගේ ඇඟිල්ලෙන්.’ ඊටපස්සේ, මෝසෙස් එම වචන අකුළන පොතකට නැත්නම් වෙනත් ලිවිය හැකි ද්‍රව්‍යයකට පිටපත් කළා.—නික්මයාම 31:18; ද්විතීය කථාව 10:1-5.
b මෙහි “පොලඹවනු ලැබ” කියා පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය වන ෆීʹරෝ, තවත් ආකාරයකින් ක්‍රියා 27:15, 17හි සඳහන් කරන්නේ, නැවක් හුළඟට ගහගෙන යෑම විස්තර කරන්නයි. මේ විදිහට ශුද්ධාත්මය බයිබල් ලේඛකයන්ගේ ‘ක්‍රියාමාර්ගය හැසිරෙව්වා.’ කූට වූ ඕනෑම තොරතුරක් ප්‍රතික්ෂේප කරන්නත් සත්‍ය කාරණා විතරක් ඇතුල් කරන්නත් එය ඔවුන්ව පෙලඹෙව්වා.
c උදාහරණ වශයෙන්, 1 රාජාවලිය 19:4වන ඡේදය 14 සහ 18වන ඡේද සමඟ සසඳන්න; යෝබ් 10:1-3; ගීතාවලිය 73:12, 13, 21; යෝනා 4:1-3, 9; හබක්කුක් 1:1-4, 13.
[7වන පිටුවේ කොටුව⁄පින්තූර]
මෝසෙස් තොරතුරු ලබාගත්තේ කොහෙන්ද?
මෝසෙස් බයිබලයේ උත්පත්ති පොත ලිව්වත්, ඔහු වාර්තා කළ සෑම දෙයක්ම සිදු වුණේ ඔහු ඉපදෙන්න බොහෝ කාලයකට පෙරයි. එසේනම්, මෙවැනි තොරතුරු ඔහු ලබාගත්තේ කොහෙන්ද? එක්කෝ දෙවි කෙළින්ම ඔහුට එළිදරව් කෙරුවා, එහෙම නැත්නම් සමහර සිද්ධීන් පිළිබඳ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට කටවචනයෙන් ගෙනාවා වෙන්නත් පුළුවන්. මුල් අවදියේ මිනිසුන්ගේ ජීවිතයේ ආයු කාලය දීර්ඝ නිසා උත්පත්ති පොතේ මෝසෙස් වාර්තා කර ඇති දේවල් ඇවිත් තියෙන්නේ ආදම්ගේ සිට මෝසෙස් දක්වා මිනිස් පුරුක් පහකිනුයි—මොවුන් නම් මෙතුසෙලා, ෂෙම්, ඊසාක්, ලෙවී සහ අම්රාම්.
තවදුරටත්, මෝසෙස් ලිඛිත වාර්තාවල තොරතුරු විභාග කර බලන්න ඇති. ඉතිං මේ හේතුව නිසා, සාකච්ඡා කිරීමට සිටින පුද්ගලයාව හඳුන්වා දීම සඳහා ඔහුගේ “පරම්පරා නම් මේය” කියන වාක්‍ය ඛණ්ඩය මෝසෙස් නිතර නිතර පාවිච්චි කරන එක සැලකිල්ලට ගත යුතුයි. (උත්පත්ති 6:9; 10:1; 11:10, 27; 25:12, 19; 36:1, 9; 37:2) “පරම්පරා” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය, එනම් ටොහ්·ලෙ·ධොහ්ත්ʹ, යොමු දක්වන්නේ තම ලිවීම සඳහා ප්රභවය ලෙස මෝසෙස් පාවිච්චි කළ ඒ වන විටත් පැවති ලිඛිත ඓතිහාසික ලියවිල්ලකට කියල සමහර විශාරදයන් කියනවා. ඇත්තවශයෙන්ම මෙය නිසැකමයි කියල කියන්න බැහැ.
ඉතිං, උත්පත්ති පොතේ අඩංගු තොරතුරු ලබාගත්තේ ඉහත සඳහන් කළ ක්‍රම තුනෙන්ම වෙන්නත් පුළුවන්—සමහර ඒවා කෙළින්ම එළිදරව් වීමෙන්, සමහරක් කටවචනයෙන් සහ තවත් සමහරක් ලිඛිත වාර්තාවලින්. වැදගත්ම කාරණය නම් යෙහෝවාගේ ආත්මය මෝසෙස්ට ආනුභාවය දීමයි. මේ නිසා, ඔහු ලියූ දෙය දෙවිගේ වචනය ලෙස සැලකීම වැරදි නැහැ.
[4වන පිටුවේ පින්තූරය]
බයිබලය ලියන්න විවිධ ආකාරවලින් දෙවි මනුෂ්‍යයන්ට ආනුභාවය දුන්නා