ඔබ දෙවිගේ මිත්‍රයාද? ඔබේ යාච්ඤා හෙළි කරන දේ
පුද්ගලයන් දෙදෙනෙක් කතා බහක යෙදිල ඉන්නවා අහම්බෙන්වත් ඔබට ඇහිල තියෙනවාද? ඔවුන් අතරේ ඇති සබඳතාව මොන වගේද—ඔවුන් සමීප අයද නැත්නම් අමුත්තන්ද, නිකම් හඳුනන අයද නැත්නම් විශ්වාසවන්ත කිට්ටු මිතුරන්ද—කියල නිශ්චය කරගන්න ඔබට වැඩි වේලාවක් ගත වන්නේ නැති බවට කිසිම සැකයක් නැහැ. ඒ හා සමානව අපේ යාච්ඤාවලට, දෙවි සමඟ ඇති අපේ සබඳතාව හෙළි කරන්න පුළුවන්.
දෙවි “අප එකිනෙකාට නුදුරුව සිටින” බව බයිබලය අපිට සහතික වෙනවා. (ක්‍රියා 17:27) ඇත්තෙන්ම ඔහුව හඳුනාගන්න ඔහු අපිට ආරාධනා කරනවා. අපිට ඔහුගේ මිතුරන් වෙන්න පවා පුළුවන්. (ගීතාවලිය 34:8; යාකොබ් 2:23) අපිට ඔහු සමඟ සැබෑ සමීපකමක් භුක්ති විඳින්න පුළුවන්! (ගීතාවලිය 25:14) පැහැදිලිවම, අසම්පූර්ණ මිනිසුන් හැටියට අපිට උරුම කරගන්න පුළුවන් ඉතා වටිනාම දෙය නම් දෙවි සමඟ ඇති අපේ සබඳතාවයි. ඒ විතරක් නෙවෙයි යෙහෝවා අපේ මිත්‍රත්වය ඉතා අගේ කොට සලකනවා. අපේ මිත්‍රත්වය රඳා පවතින්නේ අප වෙනුවෙන් තම ජීවිතය දුන් ඔහුගේ ඒකජාතක පුත්‍රයා කෙරෙහි දක්වන අපේ ඇදහිල්ල මත නිසා, මෙය පැහැදිලියි.—කොලොස්සි 1:19, 20.
එමනිසා, අපේ යාච්ඤා තුළින් යෙහෝවා සඳහා ගැඹුරු ආදරයක් සහ අගය කිරීමක් පිළිබිඹු විය යුතුයි. කෙසේවෙතත්, ඔබේ යාච්ඤා ගෞරවාන්විත වුණත්, එහි හැඟීම්වල ගැඹුරුකමේ අඩුවක් ඔබට කවදා හෝ හැඟී ගොස් තියෙනවාද? ඒක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. දියුණු කරගැනීමට යතුර මොකක්ද? යෙහෝවා දෙවි සමඟ ඇති ඔබේ මිත්‍රත්වය පෝෂණය කිරීමයි.
යාච්ඤාව සඳහා කාලය සොයාගැනීම
මුලින්ම, මිත්‍රත්වයක් පෝෂණය කර වගා කරගන්න කාලයක් ගත වෙනවා. ඔබ දිනපතා—අසල්වාසීන්, හවුල් සේවකයන්, බස් රියැදුරන් සහ ගබඩා ලිපිකරුවන් වැනි ඕන තරම් මිනිසුන්ට සුභපතා කතා කරනවා වෙන්න පුළුවන්. එහෙම කළත් ඔවුන් ඔබේ හොඳ යහළුවන් කියා අදහස් කරන්න අමාරුයි. මිත්‍රත්වයක් වර්ධනය වෙන්නේ, නිකම් දොඩමලු වීමෙන් බැහැර වෙලා ඇතුළාන්ත හැඟීම් සහ සිතුවිලි ප්‍රකාශ කරමින් කෙරෙන තේරුම්ගැනීමෙන් යුත් පුළුල් කතා බහක් මගිනුයි.
ඒ හා සමානව, යාච්ඤාව යෙහෝවා ළඟට ඇදෙන්න අපිට අත්වැලක්. ඒත් ඒ සඳහා අවශ්‍ය තරම් කාලයක් කැප කළ යුතුයි; කෑම වේලාවන්වල හදිසියෙන් නිකම්ම ඔබට-ස්තුතියි කියනවාට වඩා වැඩි යමක් මෙහිදී ඕන කරනවා. ඔබ වැඩියෙන් යෙහෝවාට කතා කරන තරමට, වඩා වැඩියෙන් ඔබේම හැඟීම්, චේතනා සහ ක්‍රියාවන් තෝරාබේරා ගන්න පුළුවන් වෙනවා. දෙවිගේ ආත්මය ඔහුගේ වචනය මාර්ගයෙන් ප්‍රතිපත්ති අපේ මතකයට නංවද්දී දුෂ්කර ගැටලුවලට විසඳුම් ලැබෙන්න පටන්ගන්නවා. (ගීතාවලිය 143:10; යොහන් 14:26) තවදුරටත්, ඔබ යාච්ඤා කරද්දී යෙහෝවා ඔබට තව තවත් සැබෑ කෙනෙක් වෙන්න පටන්ගන්නා අතර, ඔහු ඔබ වෙනුවෙන් දක්වන ප්‍රේමනීය උනන්දුව සහ සැලකිල්ල ගැන ඔබ තවත් සාවධානී වෙන්න යනවා.
ඔබ ඔබේ යාච්ඤාවකට උත්තරයක් ලබද්දී මෙය විශේෂයෙන්ම සැබෑ වෙනවා. ඒකට හේතුව තමයි, යෙහෝවාට “අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට” පුළුවන් වීම! (එපීස 3:20) මෙයින් අදහස් කරන්නේ නැහැ, දෙවි ඔබ වෙනුවෙන් ප්රාතිහාර්ය සිදු කරනවයි කියලා. කෙසේවෙතත්, ඔහු ඔහුගේ ලිඛිත වචනයෙන්, විශ්වාස වූ දාස පංතියේ ප්‍රකාශන තුළින් හෝ ආදරණීය සහෝදර සහෝදරියන්ගේ වචනවලින් අවශ්‍ය කරන දැනමිතිකම හෝ මඟ පෙන්වීම ඔබට සපයාවි. එහෙමත් නැත්නම් පරීක්ෂාවකට විරුද්ධව සිටින්න හෝ විඳදරාගන්න අවශ්‍ය ශක්තිය ඔහු ඔබට දෙන්න පුළුවන්. (මතෙව් 24:45; 2 තිමෝති 4:17) එවැනි අද්දැකීම් අපේ ස්වර්ගීය මිතුරා සඳහා අගය කිරීමෙන් අපේ හදවත් පුරවනවා!
ඒ නිසා කෙනෙක් යාච්ඤාව සඳහා කාලයක් හදාගන්න ඕනෙ. මේ දුෂ්කර දවස්වලදී ලබාගන්න පුළුවන් කාලය බොහොම අල්ප බව ඇත්තයි. නමුත් ඔබ යම් කෙනෙක් ගැන ඇත්තටම සලකනවා නම්, ඔබ සාමාන්‍යයෙන් ඒ තැනැත්තා එක්ක ගත කරන්න කාලයක් සොයාගන්නවා. ගීතිකාකරු තම හැඟීම් පළ කළ ආකාරය සලකා බලන්න: ‘දෙවියනි, මුවා දිය දොළවලට ඉතා ආශා වන්නාක් මෙන් මාගේ ප්‍රාණය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය. දෙවි කෙරෙහි එනම් ජීවමාන දෙවි කෙරෙහි මාගේ ප්‍රාණය පිපාස වේ. මම කවදා ඇවිත් දෙවි ඉදිරියෙහි පෙනෙම්ද?’ (ගීතාවලිය 42:1, 2) දෙවිට කතා කරන්න ඔබටත් ඒ හා සමාන දැඩි ආශාවක් තියෙනවාද? එසේනම්, එහෙම කරන්න කාලය මිල දී ගන්න!—එපීස 5:16, සසඳන්න.
උදාහරණයක් හැටියට, ඔබට යාච්ඤා කරන්න යම් පෞද්ගලික කාලයක් සොයාගන්න අලුයමින්ම නැඟිටින්න පුළුවන්. (ගීතාවලිය 119:147) නිදාගන්න බැරුව ඔබ සමහරවිට රාත්‍රිය ගත කරනවාද? එහෙමනම්, ගීතිකාකාරයා වගේ එවැනි ගැටලු මුසු අවස්ථා, ඔබේ අවශ්‍යතාවන් දෙවිට ප්‍රකාශ කරන්න ප්‍රස්තාවක් හැටියට සලකන්න ඔබට පුළුවන්. (ගීතාවලිය 63:6) එහෙමත් නැත්නම් දවස පුරා කෙටි යාච්ඤා කිහිපයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ගීතිකාකරු දෙවිට මෙහෙම කිව්වා: ‘දවස මුළුල්ලේම ඔබට අඬ ගසමි.’—ගීතාවලිය 86:3.
අපේ යාච්ඤාවල ගුණය දියුණු කිරීම
ඔබේ යාච්ඤාවල දිග ප්‍රමාණය වැඩි කිරීම උපකාරවත් බව සමහර අවස්ථාවල ඔබට පෙනී යාවි. කෙටි යාච්ඤාවකදී, නොගැඹුරු කරුණු ගැන විතරක් කියන්න ඔබ නැඹුරු වෙන්න පුළුවන්. නමුත් ඔබ වඩා දිග සහ ගැඹුරු යාච්ඤාවන් කරද්දී ඔබ ඔබේ ඇතුළාන්ත හැඟීම් සහ සිතුවිලි වඩා නිදහසේ ප්‍රකාශ කරනවා. අඩුම තරමින් එක වතාවක්වත් යේසු යාච්ඤා කරමින් මුළු රැයක් පහන් කළා. (ලූක් 6:12) ඔබ ලහිලහියේ යාච්ඤා කිරීමෙන් වැළකුණොත්, ඔබේම යාච්ඤා වඩා සමීප සහ අර්ථවත්බවක් ගන්න බව ඔබට පෙනී යන බවට කිසිම සැකයක් නැහැ.
ඔබට වැඩි යමක් කියන්න නැති විටදී වැල්වටාරම් දෙඩීමවත්, නිරර්ථක ලෙස නැවත නැවත කීමට යොමුවීමවත් මින් අදහස් කරන්නේ නැහැ. යේසු අනතුරු ඇඟවූයේ මෙහෙමයි: “යාච්ඤාකිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවූ වචන කියාගන කියාගන නොයන්න. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති. එබැවින් ඔවුන්ට සමාන නොවෙන්න. මක්නිසාද නුඹලාගේ [පියාගෙන්] නුඹලා යමක් ඉල්ලන්ට පළමුවෙන් නුඹලාට වුවමනා දේ කුමක්දැයි [ඔහු දන්නේය.]”—මතෙව් 6:7, 8.
සාකච්ඡා කරන්න ඕනෑ කරන විෂයන් මොනවද කියා කලින්ම කල්පනා කර බැලුවොත් යාච්ඤාව වඩා අර්ථවත් වෙනවා. එවන් විෂයන් අනන්තප්රමාණයි—කිහිපයක් නම් කරනවා නම්, සේවය තුළ අපේ ප්‍රීතිය, අපේ දුර්වලකම් සහ අසාර්ථක වීම්, අපේ බලාපොරොත්තු කඩවීම්, අපේ ආර්ථික අවශ්‍යතා, වැඩපොළේදී හෝ පාසැලේදී ඇති වන පීඩන, අපේ පවුල්වල ශුභසාධනය සහ අපේ ප්‍රාදේශීය සභාවේ ආත්මික තත්වය වගේ දේවල්.
ඔබ යාච්ඤා කරද්දී සමහරවිට ඔබේ මනස ගසාගෙන යන්න නැඹුරු වෙනවාද? එවිට සිත එක්තැන් කරගන්න වැඩි වෑයමක් දරන්න. කොහොම වුණත්, ‘අපේ හඬගැසීමට අවධානය යොමන්න’ යෙහෝවා කැමතියිනෙ. (ගීතාවලිය 17:1) එහෙමනම් අපි අපේම යාච්ඤාවලට අවධානය යොමු කරන්න අවංක ප්රයත්නයක් නොදැරිය යුතුද? ඔව්, ‘ආත්මික දේවල් මත ඔබේ මනස රඳවාගන්න,’ ගසාගෙන යෑමට ඉඩ දීමෙන් වළකින්න.—රෝම 8:5.
අපි යෙහෝවාව අමතන ආකාරයත් වැදගත්. අපි ඔහුව මිතුරෙක් හැටියට සලකනවාට ඔහුට ඕන කළත්, අපි කතා කරන්නේ විශ්වයේ පරමාධිපතිට බව අපි කිසිවිටෙක අමතක නොකළ යුතුයි. එළිදරව් 4 සහ 5වන පරිච්ඡේදවල වචනයෙන් විස්තර කර ඇති ගරුබිය-දනවන දර්ශනය කියවා ඒ මත මෙනෙහි කරන්න. අපි යාච්ඤාවෙන් ළඟා වන්නාවූ මහානුභාවසම්පන්න පුද්ගලයාව යොහන් එහිදී දර්ශනයකින් දැක්කා. ‘සිංහාසනයෙහි සිටින එම තැනැත්තා’ සමඟ සබඳතාවක් අත් කරගන්නත්, ඔහු වෙත ළඟා වෙන්නත් අපිට හැකිවීම මොනතරම් වරප්‍රසාදයක්ද! නුසුදුසු හෝ අගෞරව වන ආකාරයේ භාෂාවක් පාවිච්චි කරන්න අපිට කොහෙත්ම අවශ්‍ය නැහැ. ඊටත් වඩා, ‘අපේ මුඛයෙහි වචන හා සිතෙහි භාවනාද යෙහෝවා ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු’ වන ආකාරයෙන් ඉදිරිපත් කරන්න විශේෂ උත්සාහයක් දැරිය යුතුයි.—ගීතාවලිය 19:14.
කෙසේවෙතත් අලංකෘත භාෂාවෙන් අපි යෙහෝවාගේ සිත ඇදගන්න යන්නේ නැති බව වටහාගත යුතුයි. ඒවා කොපමණ සරල ආකාරයට ඉදිරිපත් කළත්, අපේ ගෞරවාන්විත සහ හෘදයාංගම ප්රකාශනවලට ඔහු කැමතියි.—ගීතාවලිය 62:8.
අවශ්‍යතා ඇති කාලවලදී සැනසුම සහ තේරුම්ගැනීම
අපිට උපකාරය සහ සැනසුම ඕන කරද්දී, අපි බොහෝවිට සහය ලබන්න සහ අපි එක්ක දුක් වෙන්න, කිට්ටු මිතුරෙකු වෙත හැරෙනවා. හැබැයි, යෙහෝවා තරම් වඩා ලේසියෙන් පිවිසෙන්න පුළුවන් මිතුරෙක් නැහැ. ඔහු “දුකේදී ඉතා ළංවූ පිහිටක්.” (ගීතාවලිය 46:1) “සෑම සැනසිල්ලේ දෙවි” හැටියට, අපි විඳිමින් සිටින සියලුම දේවල් ඔහුට තේරෙනවා. (2 කොරින්ති 1:3, 4; ගීතාවලිය 5:1; 31:7) යන එන මං නැති ඉතා දුෂ්කර තත්වයන්වල සිටින අයට ඔහු සැබෑ ලෙස අනුකම්පා කරන අතර, ඔවුන් සමඟ දුක් වෙනවා. (යෙසායා 63:9; ලූක් 1:77, 78) යෙහෝවා තේරුම්ගන්නාසුලු මිතුරෙක් කියල දැනෙන අපිට, ඉතා උනන්දුවෙන් සහ අධික ලෙස ඔහු හා කතා කරන්න නිදහසක් දැනෙනවා. අපේ දැඩි භය සහ කනස්සලු වීම් ප්‍රකාශ කරන්න අපි පෙලඹෙනවා. තවදුරටත් යෙහෝවාගේ ‘සැනසීම අපේ ප්‍රාණයට සැප දෙන’ හැටි අපි කෙළින්ම අද්දකිනවා.—ගීතාවලිය 94:18, 19.
සමහර වෙලාවට අපේ වැරදි නිසා දෙවි වෙත ළඟා වෙන්න වටින්නේ නැහැ කියල අපිට හැඟෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔබේ කිට්ටු මිතුරෙක් ඔබට වරදක් කරල පසුව සමාව අයැද සිටියොත් තත්වය මොකක්ද? ඔබ ඔහුව සනසා භය සැක දුරු කරන්න පෙලඹෙන්නේ නැද්ද? ඉතිං එහෙමනම්, ඔබ යෙහෝවාගෙන් ඊට අඩුවෙන් බලාපොරොත්තු විය යුත්තේ ඇයි? මනුෂ්‍ය අසම්පූර්ණත්වයේ ප්‍රතිඵලයක් හැටියට වැරදි කරන ඔහුගේ මිතුරන්ට ඔහු ත්‍යාගශීලී ලෙස සමාව දෙනවා. (ගීතාවලිය 86:5; 103:3, 8-11) මෙය දැන සිටීම, අපේ වැරදි නිදහසේ කියා දී ඔහු ඉදිරියේ පසුතැවිලි වීමෙන් අපව වළක්වන්නේ නැහැ; ඔහුගේ ආදරය සහ දයාව ගැන අපිට නිසැක වෙන්න පුළුවන්. (ගීතාවලිය 51:17) අපි අපි කරන වැරදි නිසා කලකිරී සිටිනවා නම්, 1 යොහන් 3:19, 20 ඇති වචනවලින් අපිට සැනසුම ලබාගන්න පුළුවන්: ‘මෙයින් අප සැබෑකමෙන් වන බව දැනගෙන, අපේ සිත් අපට දෝෂාරෝපණය කරන විට ඔහු ඉදිරියෙහි අපේ සිත් සහතික කරගන්නෙමු; මක්නිසාද දෙවි අපේ සිතට වඩා උතුම්ව සියලු දේම දන්න නිසාය.’
කෙසේවෙතත් දෙවිගේ ප්‍රේමනීය සැලකිල්ල ලබන්න, යන එන මං නැති තත්වයකට පත් වෙන්නම ඕනෙ නැහැ. අපේ ආත්මික හෝ චිත්තවේගීය ශුභසාධනය සඳහා බලපාන ඕනෑම දෙයක් ගැන යෙහෝවා උනන්දු වෙනවා. ඔව්, අපේ හැඟීම්, සිතුවිලි සහ අවශ්‍යතාවන් යාච්ඤාවෙන් සඳහන් කරන්න තරම් වැදගැම්මකට නැහැ කියල හිතන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. (පිලිප්පි 4:6) ඔබ කිට්ටු මිතුරෙක් එක්ක කතා කරද්දී ජීවිතයේ ප්‍රධාන සිද්ධීන් ගැන විතරද සාකච්ඡා කරන්නේ? ඔබේ සැලකිල්ලට ලක් වන සුළු සුළු දේවලුත් බෙදාගන්නේ නැද්ද? ඒ හා සමානව ‘ඔහු ඔබ ගැන සලකන’ බව දැන, යෙහෝවා සමඟ ඔබේ ජීවිතයේ ඕනෑම අංගයක් ගැන භය නැතුව නිදහසේ කතා කරන්න පුළුවන්.—1 පේතෘස් 5:7.
ඇත්තෙන්ම ඔබ, ඔබ ගැන විතර නම් කතා කරන්නේ මිත්‍රත්වයක් වැඩි කල් පවතින්නේ නැහැ. ඒ වගේ, අපේ යාච්ඤාවන් ආත්මාර්ථකාමී නොවිය යුතුයි. යෙහෝවා සහ ඔහුගේ අවශ්‍යතා කෙරෙහි අපේ ආදරය සහ උනන්දුව ප්‍රකාශ කළ යුතුයි. (මතෙව් 6:9, 10) යාච්ඤාව දෙවිගෙන් උපකාර ඉල්ලන්න විතරක් නෙවෙයි, නමුත් ස්තුති සහ ප්‍රශංසා පුද කරන්නත් අවස්ථාවක්. (ගීතාවලිය 34:1; 95:2) නිතිපතා කෙරෙන පෞද්ගලික පාඩම තුළින් “දැනුම ලබාගැනීම,” මේ කාරණය සම්බන්ධයෙන් අපට උපකාර වෙන්න යන අතර, යෙහෝවා සහ ඔහුගේ මාර්ගවලට වඩා හොඳින් හුරු වෙන්නත් අපිට උපකාර වෙනවා. (යොහන් 17:3, NW) ගීතාවලිය පොත කියවා, අනිත් විශ්වාසවන්ත සේවකයන් යෙහෝවාට තම අදහස් පළ කළ ආකාරය සැලකිල්ලට ගැනීම විශේෂයෙන්ම උපකාර වන බව ඔබට පෙනී යාවි.
යෙහෝවාගේ මිත්‍රත්වය සැබවින්ම වටිනා ත්‍යාගයක්. අපේ යාච්ඤාවන් තව සමීපවත්, හෘදයාංගම සහ පෞද්ගලික එකක් කරගැනීමෙන් අපි එය අගය කරන බව පෙන්වමු. මෙලෙස ගීතිකාකරු කියා සිටි සන්තෝෂය අපි භුක්ති විඳිමු. ඔහු කිව්වේ මෙහෙමයි: “ඔබ තෝරාගන්නාවූ, ඔබට ළංවෙන්ට සලස්වන්නාවූ තැනැත්තේ ආශීර්වාදලද්දේය.”—ගීතාවලිය 65:4.
[28වන පිටුවේ පින්තූර]
අවස්ථාව එළඹෙන විදිහට දවස පුරා දෙවිට යාච්ඤා කරන්න අපිට පුළුවන්