තර්තියස් පාවුල්ගේ විශ්වාසවන්ත ලේකම්
තර්තියස් අභියෝගයකට මුහුණ දුන්නා. රෝමයේ විසූ සෙසු ක්‍රිස්තියානීන්ට දීර්ඝ ලිපියක් ලියන විට, තමාගේ ලේකම් හැටියට මොහුව යොදාගන්න ප්‍රේරිත පාවුල්ට ඕනැ වුණා. මේක අමාරු වැඩක්.
පොදු යුගයේ පළමු සියවසේදී, ලේකම් කෙනෙක් හැටියට කටයුතු කිරීම ඒ තරම්ම අමාරු දෙයක් වුණේ ඇයි? ඒ වගේ වැඩක් කළේ කොහොමද? ඒ කාලයේදී මේ වැඩය සඳහා භාවිත කරන්න තිබුණේ මොන වගේ ද්‍රව්‍යද?
පුරාණ කාලයේ විසූ ලේකම්වරු
පුරාණ ග්‍රීක-රෝම සමාජයේ, විවිධාකාර ලේකම්වරු සිටියා. සමහර පුරුෂයන් රජයේ ලේකම්වරු—අමාත්‍යාංශවල වැඩ කළ රජයේ නිලධාරීන් හැටියට සේවය කළා. පොදු වෙළඳසැල්වලට එන මහජනයාට තමන්ගේ සේවය සලසා දෙන ප්‍රජා ලේකම්වරුද සිටියා. ධනවත් අය පෞද්ගලික ලේකම්වරුන්ගේ (බොහෝවිට වහලුන්) සේවය ලබාගත්තා. ඊට අමතරව, අනිත් අය වෙනුවෙන් සතුටින් ලිපි ලියන්න කැමැත්තෙන් සිටි මිතුරන්ද සිටියා. විශාරද රැන්ඩාල්ෆ් රිචඩ් කියන විදිහට, මේ නිල නොලත් ලේකම්වරුන්, “භාෂාව හෝ ලිවීමේ ක්‍රියා පිළිවෙළ ගැන අඩුම නිපුණත්වයක් ඇති පුද්ගලයෙකුගේ සිට නිවැරදි, විධිමත් හා ප්‍රියමනාප ලිපියක් උසස්ම දක්ෂතාවයකින් යුතුව ඉක්මනින් සකස් කිරීමට හැකි පුද්ගලයෙකු දක්වා විහිදී යන්න පුළුවන්.”
ලේකම්වරුන්ගේ සේවය ලබාගන්න ඇත්තේ කවුද? සියල්ලටම කලින්, ඒ අයගේ සේවය ලබාගත්තේ, ලියන්න කියන්න දැනගෙන සිටියේ නැති අයයි. පුරාණ කාලයේ ගිවිසුම් සහ ව්‍යාපාරික ලිපි බොහොමයක් සම්පූර්ණ කළේ සටහන් තැබීමෙනුයි; එම සටහන් තැබීමේදී, තමාට ලිවීමේ කාර්යය පැවරූ තැනැත්තාට ඒ කාර්යය කරන්න නොහැකි නිසා, අදාළ ලියවිල්ල තමා විසින් සකස් කළ බව ලේකම් සහතික කළා. ලේකම්වරයෙකුගේ සේවය ලබාගැනීමට බලපෑ දෙවන හේතුව, මිසරයේ තිබිස් නමැති ප්‍රදේශයෙන් ලැබුණු පැරණි ලිපියකින් පැහැදිලි වෙනවා. ආස්ක්ලීපීආඩීස් කියන තැනැත්තෙකුට ලියා තිබූ ඒ ලිපියේ අවසානයේ මෙසේ පවසා තිබුණා: “එර්මාට ලියන්න වැඩි කාලයක් ගත වන නිසා, ඔහුගේ පුත්‍රයා වන එව්මෙලීස් ඔහු වෙනුවෙන් මෙය ලිව්වා.”
ඒ වුණත්, ලියන්න කියන්න දැන සිටීම, ලේකම් කෙනෙකුගේ සේවය ලබාගැනීම තීරණය කරන සාධකයක් වුණා කියලා හිතන්න අමාරුයි. බයිබල් විචාරකයෙකු වන ජොන් එල්. ම’කෙන්සිට අනුව, “පෙනෙන විදිහට, සැලකිල්ල දැක්වූයේ කියවීමේ පහසුවට විතරක්ම නොවෙයි, නමුත් ලේකම් කෙනෙකුගේ සේවය ලබාගැනීමට මිනිසුන් තුළ පෙලඹවීමක් ඇති කරන දෙයක් වූ අකුරුවල අලංකාරය හෝ අඩුම තරමින් එහි පිළිවෙළ ගැනත් සැලකිල්ල දැක්වුවා.” දැන උගත් අයට පවා ලිවීම, විශේෂයෙන්ම බොහෝ කරුණුවලින් යුත් දිග ලියවිලි ලිවීම වෙහෙසකාරි දෙයක් වුණා. ලේකම් කෙනෙකුගේ සේවය ලබාගන්න හැකියාවක් තිබූ ඕනෑම කෙනෙක් “ඒ වැඩය දාසයන්ට, එනම් වෘත්තීමය ලියන්නන්ට බාර දී, එයින් සතුටින් වැළකී සිටි” බව විශාරද ජේ. ඒ. එෂ්ලිමාන් පවසනවා. තවදුරටත්, ලිවීම සඳහා භාවිත කළ ද්‍රව්‍ය හා එම කාර්යයේ ස්වභාවය සලකා බලද්දී, මිනිසුන් ලිවීමට කැමැත්තක් නොදැක්වීමට හේතුව තේරුම්ගැනීම එතරම් අමාරු නැහැ.
පොදු යුගයේ පළමු සියවසේදී, ලිවීම සඳහා බහුලව යොදාගත් ද්‍රව්‍යය වූයේ පැපිරස්. මේ ගසේ දිග අතට වැඩුණු මෝරපු කඳ කපාගෙන, එයින් සිහින් පටි ලබාගත්තා. ඒ පටිවලින් ලබාගත් පට්ටයක් බිම අතුරණු ලැබුවා. තව පට්ටයක් කලින් බිම ඇතුරූ පට්ටය මත හරහට තැබුවා. මේ පට්ට දෙක මත බර යොදා තදින් අලවා, “කඩදාසි” කොළයක් සෑදුවා.
මෙහි මතුපිට ලිවීම ඒ තරම් පහසු දෙයක් වුණේ නැහැ. ඒක ගොරෝසුයි; කෙඳිවලින් යුක්තයි. විශාරදයෙකු වන ආන්ජෙලෝ පෙන්නා කියන විදිහට, “පැපිරස් ගසේ තියෙන ජලය උරාගන්නා කෙඳි, තීන්ත විසිර යෑමට, විශේෂයෙන්ම සිහින් පටි අතර තිබුණු ඉතා කුඩා වළවල් දිගේ තීන්ත ගලා යෑමට හේතු වුණා.” ලේකම් කකුල් දෙක නවාගෙන බිම වාඩි වී, පැපිරස්වලින් සාදාගත් කඩදාසි කොළය ලෑල්ලක් මත තබා, එය එක අතකින් අල්ලාගෙන ලියන්න ඇති. ඔහු පළපුරුදු කෙනෙක් නොවූවා නම් හෝ ලිවීමට භාවිත කළ ද්‍රව්‍ය හොඳම තත්වයේ නොතිබුණා නම්, ඔහු ලිවීමට භාවිත කළ පිහාටු කූරේ හෝ පන්හිඳේ තුඩ කැඩෙන්න ඉඩ තිබුණා, කඩදාසි කොළය ඉරෙන්න ඉඩ තිබුණා, එහෙම නැත්නම් ලියූ අකුරු අපැහැදිලි වීමට ඉඩ තිබුණා.
දැලි සහ මැලියම් මිශ්‍ර කිරීමෙන් ලිවීමට අවශ්‍ය තීන්ත සාදාගත්තා. මේ මැලියම් විකුණන්න තිබුණේ ඝනකම් කෑලි හැටියට හින්දා, ලියන්න පාවිච්චි කරන්න කලින්, ඒක තීන්ත කුප්පියක දමා වතුර එක්ක දිය කරන්න අවශ්‍ය වුණා. තර්තියස් වගේ ලේකම් කෙනෙක් ළඟ සමහරවිට පන්හිඳ උල් කරන පිහි තලයක් හා තමා අතින් සිදු වන වැරදි මකා දමන්න පාවිච්චි කළ තෙත ස්පොන්ජියක් තියෙන්න ඇති. සෑම අකුරක්ම හුඟාක් සැලකිල්ලෙන් ලියන්න සිදු වුණා. එනිසා, ලිවීම කරගෙන ගියේ සෙමින් හා ටිකක් අමාරුවෙන්.
‘තර්තියස් නම් මම, නුඹලාට ආචාර කරමි’
රෝමවාසීන්ට ලියූ ලිපිය අවසානයේදී ඇතුළත් වී තිබෙන ආචාර කිරීම් අතර, පාවුල්ගේ ලේකම් ලියූ මේ ආචාර කිරීමද දකින්න තියෙනවා: “මේ ලියුම ලියන තර්තියස් නම් මම [ස්වාමීන්] තුළ නුඹලාට ආචාරකරමි.” (රෝම 16:22) පාවුල්ගේ ලේකම්වරුන්ගෙන් කෙනෙකු ගැන කළ පැහැදිලි යොමු දැක්වීමක් සම්බන්ධයෙන් ඔහුගේ ලියවිලිවල දක්නට තියෙන එකම අවස්ථාව මෙයයි.
තර්තියස් ගැන වැඩි විස්තර අපි දන්නේ නැහැ. ඔහු විශ්වාසවන්ත ක්‍රිස්තියානියෙක්ව සිටි බව, ඔහුගේ ආචාර කිරීමේ සඳහන් කර තියෙන “[ස්වාමීන්] තුළ” යන යෙදුමෙන් අපිට නිගමනය කරන්න පුළුවන්. සමහරවිට ඔහු කොරින්ති සභාවේ සාමාජිකයෙක්ව සිටියා වෙන්න පුළුවන්; ඒ වගේම රෝමයේ සිටි කොරින්තිවරුන් හුඟදෙනෙක් ඔහුව අඳුනන්න ඇති. තර්තියස් වහලෙක් හෝ නිදහස ලැබූ කෙනෙක් කියා බයිබල් විශාරදයෙක් වන ජූසෙප්පා බාබාල්යො අදහස් දක්වනවා. ඒ ඇයි? මුලින්ම, “සාමාන්‍යයෙන් ලියන්නන් මේ පන්තියට අයත්ව සිටි [නිසා හා] දෙවනුව ඔහුගේ ලතින් නම . . . වහලුන් හා නිදහස ලැබූ මිනිසුන් අතර හුඟාක් පොදු දෙයක් වූ” නිසයි. “එනිසා ඔහු ‘ප්රමුඛ පෙළේ’ වෘත්තීමය ලේඛකයෙක් නෙමෙයි; මේ විදිහට පාවුල්ට තමාගේ දිගු මෙන්ම පැහැදිලිව කියවිය හැකි ලියවිල්ල සකස් කිරීමට හවුල් වෙමින්ද, පාවුල්ට තමාගේ කාලය හා ශ්‍රමය ඉතුරු කරගන්න උපකාර කරමින්ද, ඔහු අනර්ඝ සේවයක් කළ හවුල් සේවකයෙක්ව සිටියා” කියා බාබාල්යො පවසනවා.
තර්තියස් කළ මේ වැඩය ඉතා වටිනා දෙයක් වූ බවට කිසිම සැකයක් නැහැ. මේ හා සමාන වැඩක් බාරුක් යෙරෙමියා වෙනුවෙන්ද සිල්වානස් පේතෘස් වෙනුවෙන්ද කළා. (යෙරෙමියා 36:4; 1 පේතෘස් 5:12) ඒ වගේ හවුල් සේවකයන්ට තිබුණේ මොනතරම් වරප්‍රසාදයක්ද!
රෝමවාසීන්ට ලිවීම
රෝමවාසීන්ට මේ ලිපිය ලිව්වේ, පෙනෙන විදිහට පාවුල් කොරින්තියේ පිහිටි ගායස්ගේ නිවසේ නැවතී සිටි කාලයේදී විය හැකියි. ඒ කාලය පො.යු. 56, එනම් ප්‍රේරිතවරයාගේ තුන්වන මිෂනාරි ගමන සිදු කළ කාලය වූවා. (රෝම 16:23) මේ ලිපිය ලියන්න පාවුල් තමාගේ ලේකම් හැටියට තර්තියස්ව යොදාගත් බව අපිට නිසැක දෙයක් වුණත්, පාවුල් ඔහුව යොදාගත් ආකාරය අපි හරියටම දන්නේ නැහැ. භාවිත කළ ක්‍රමය මොකක් වුණත්, මේ වැඩය ඒ තරම් ලෙහෙසියෙන් කරන්න බැරි වෙන්න ඇති. ඒත් මේ ගැන අපිට සහතික වෙන්න පුළුවන්: බයිබලයේ අනිත් කොටස් වගේම, රෝමවාසීන්ට ලියූ පාවුල්ගේ මේ ලිපියත් “දේවානුභාවයෙන්” ලියවුණා.—2 තිමෝති 3:16.
මේ ලිපිය ලියා අවසන් වෙද්දී, පැපිරස් කඩදාසි සැලකිය යුතු ගණනක් යොදාගනිමින් තර්තියස් හා පාවුල් වචන දහස් ගණනක් ලියා තිබුණා. ලියූ කඩදාසිවල කෙළවරවල් එකට එක් කර මැලියම් ගා තදින් ඇලවීමෙන් පසු, මේ කඩදාසි කොළ, සමහරවිට මීටර් 3-4 දක්වා දිගකින් යුත් ඇකිළිය හැකි ලියවිල්ලක් සේ සකස් කළා. මේ ලිපිය පරෙස්සමින් ඔතා මුද්‍රා කර තිබුණා. පසුව, සමහරවිට පාවුල්, කෙංක්‍රයේ සිට රෝමයට යන්න සූදානමින් සිටි, පේබීට මේ ලිපිය භාර දෙන්න ඇති.—රෝම 16:1, 2.
ලිඛිත ලියවිල්ලක් සකස් කිරීම සඳහා භාවිත කළ ක්‍රම, පළමු සියවසේ සිට විශාල ලෙස වෙනස් වෙලා තියෙනවා. ඒ වුණත්, රෝමයේ විසූ ක්‍රිස්තියානීන්ට ලියූ ලිපිය සියවස් ගණනාවක් පුරා දෙවි විසින් ආරක්ෂා කර තියෙනවා. පාවුල්ගේ විශ්වාසවන්ත මෙන්ම වෙහෙස මහන්සි වී වැඩ කළ ලේකම් වූ තර්තියස්ගේ උපකාරයෙන් ලියූ, යෙහෝවාගේ වචනයේ අඩංගු වන මේ කොටස සඳහා අපිට මොනතරම් ස්තුතිවන්ත විය හැකිද!