යෙහෝවාගේ සංවිධානය සමඟ පක්ෂපාතව සේවය කිරීම
“පක්ෂපාත කෙනෙක් සමඟ ඔබ පක්ෂපාතිත්වයෙන් ක්‍රියා කරන්නෙහිය.”—2 සාමුවෙල් 22:26, NW.
1, 2. අප හැමදෙනෙකුටම සභාව තුළ දැකිය හැකි පක්ෂපාතකමේ උදාහරණ සමහරක් නම් කරන්න.
එක් සැන්දෑවක වැඩිමහල්ලෙක් සෑහෙන රෑ වන තුරු ක්‍රිස්තියානි රැස්වීමක් සඳහා කතාවක් සූදානම් කරයි. නැවතී විඩාව නිවාගන්න ඔහු කැමතියි; ඒ වෙනුවට, රැළේ හදවත්වලට ළඟා වන, දිරිගන්වන ශුද්ධ ලියවිලිමය උදාහරණ සහ උපහැරණ සොයමින්, ඔහු එම වැඩයෙහි දිගටම නිරත වෙයි. රැස්වීම පවත්වන සැන්දෑවේදී, එම සභාවෙම හෙම්බත් වූ මාපියන් දෙදෙනෙක්, සන්ධ්‍යා වරුව නිවසේ ගත කරන්න මහත් ආශාවකින් සිටියත්, රැස්වීමට යෑම සඳහා තම දරුවන්ව ඉවසිලිවන්තව සූදානම් කරයි. රැස්වීමෙන් පස්සේ, ක්‍රිස්තියානීන් කණ්ඩායමක් වැඩිමහල්ලාගේ කතාව සාකච්ඡා කරයි. ඒ සහෝදරයාම කලින් තමාගේ සිත රිදෙවූ බව සඳහන් කරන්න එක් සහෝදරියකට පෙලඹීමක් ඇති වෙයි; ඒ වෙනුවට ඇය උද්යෝගයෙන් කතා කරන්නේ ඔහු ගෙනහැර දැක්වූ එක් කාරණයක් ගැනයි. මෙම ජවනිකා තුළින් දිවයන පොදු සම්බන්ධය ඔබ දකිනවාද?
2 ඒ සම්බන්ධය පක්ෂපාතිත්වයයි. වැඩිමහල්ලා දෙවිගේ රැළ වෙනුවෙන් සේවය කිරීමට පක්ෂපාතව වැඩ කරයි; දෙමාපියන් පක්ෂපාතව සභා රැස්වීම්වලට යයි; සහෝදරිය වැඩිමහල්ලන්ට පක්ෂපාතව සහයෝගය දෙයි. (හෙබ්‍රෙව් 10:24, 25; 13:17; 1 පේතෘස් 5:2) ඔව්, ජීවිතයෙහි හැම පාර්ශ්වයකදීම, දෙවිගේ සෙනඟ යෙහෝවාගේ සංවිධානය සමඟ පක්ෂපාතව සේවය කිරීමට අදිටන් කරගෙන සිටින ආකාරය අපි දකිනවා.
3. අපි යෙහෝවාගේ භූමික සංවිධානයට පක්ෂපාතව සිටීම එතරම් වැදගත් වෙන්නේ ඇයි?
3 යෙහෝවා මෙම දූෂිත ලොව දෙස බලන විට, ඔහු පක්ෂපාතිත්වයේ අල්පමාත්රයක් පමණයි දකින්නේ. (මීකා 7:2, NW) තම සෙනඟගේ පක්ෂපාතිත්වය දකිද්දී, ඔහුගේ හෘදය මොනතරම් ප්‍රීතියකින් ප්‍රතිචාරය දක්වනවා ඇද්ද! ඔව්, ඔබේම පක්ෂපාතිත්වය ඔහුට මහත් සතුටක් ගෙන දෙනවා. කොහොම වුණත්, මුල් කැරලිකාරයා වන සාතන් එයින් කෝපයට පත් වන අතර, ඔහු බොරුකාරයෙක් බවට ඔප්පු වෙනවා. (හිතෝපදේශ 27:11; යොහන් 8:44) යෙහෝවා සඳහාත් ඔහුගේ භූමික සංවිධානය සඳහාත් ඔබට තිබෙන පක්ෂපාතිත්වය දුබල කරවන්න සාතන් වෑයම් කරන බවට අපේක්ෂා කරන්න. සාතන් මේ දෙය කරන ඇතැම් විධි අපි සලකා බලමු. මේ ආකාරයට අන්තිමය දක්වා පක්ෂපාතව සිටින්න අපිට පුළුවන් වෙන්නේ කොහොමද කියා අපිට වඩාත් හොඳින් දැකගන්න පුළුවන් වේවි.—2 කොරින්ති 2:11.
අසම්පූර්ණකම් දෙසම බැලීම පක්ෂපාතිත්වය කාදැමිය හැකියි
4. (අ) අධිකාරයක් හොබවන අය ගැන නිෂේධාත්මක මතයක් දැරීම පහසු වෙන්නේ ඇයි? (ආ) කෝරා යෙහෝවාගේ සංවිධානයට විපක්ෂපාතී වුණේ කොහොමද?
4 සහෝදරයෙක් වගකීමක් හසුරුවන තත්වයක සිටින විට, ඔහුගේ වැරදි වඩාත් පහසුවෙන් දැකගන්න හැකියාව තිබෙනවා. ‘අපේ ඇසේ තිබෙන දැවය නොසලකා හරිමින්, අපේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ’ විවේචනයට ලක් කිරීම කොතරම් පහසුද! (මතෙව් 7:1-5) ඒ වුණත්, වැරදි දෙසම බැලීම විපක්ෂපාතිත්වය බෝ කරන්න පුළුවන්. මෙය නිදර්ශනය කිරීමට, කෝරා සහ දාවිත් අතර තිබූ වෙනස සලකා බලන්න. කෝරා සෑහෙන වගකීමක් දැරූ අතර, අවුරුදු ගණනාවක් පුරා පක්ෂපාතව සිටින්න ඇති; ඒත් ඔහු අභිලාෂකාමියෙක් බවට පත් වුණා. ඔහු ඔහුගේ ඥාති සහෝදරයන් වූ මෝසෙස් සහ ආරොන්ගේ අධිකාරය නුරුස්සන්න පටන්ගත්තා. මෝසෙස් මනුෂ්‍යයන් අතුරින් ඉතා මෘදු කෙනෙක් වුවත්, පෙනෙන ප්‍රකාරයට කෝරා ඔහු දෙස විවේචනාත්මක ඇස්වලින් බලන්න පටන්ගත්තා. ඇතැම්විට ඔහු මෝසෙස්ගේ වැරදි දකින්න ඇති. කොහොම වුණත්, එම වැරදි යෙහෝවාගේ සංවිධානයට කෝරා දැක්වූ විපක්ෂපාතිත්වය යුක්තිසහගත කළේ නැහැ. ඔහුව සභාව අතරෙන් විනාශ කරනු ලැබුවා.—ගණන් කථාව 12:3; 16:11, 31-33.
5. සාවුල්ට එරෙහිව කැරලි ගසන්න දාවිත්ට මහත් පෙලඹීමක් ඇති වෙන්න ඉඩ තිබුණේ ඇයි?
5 අනික් අතට, දාවිත් සාවුල් රජ යටතේ සේවය කළා. කලින් හොඳ රජෙක්ව සිටියත්, සාවුල් ඇත්තටම දුෂ්ටයෙක් බවට පත් වී තිබුණා. ඊර්ෂ්යාවන්ත සාවුල්ගේ ප්‍රහාරවලින් බේරීමට, දාවිත්ට ඇදහිල්ල, විඳදරාගැනීම සහ යම් ආකාරයක උපාය දක්ෂකමක් අවශ්‍ය වුණා. ඒත්, පළිගන්න අවස්ථාවක් දාවිත්ට උදා වුණ විට, ‘යෙහෝවාගේ දෘෂ්ටිකෝණයට අනුව,’ යෙහෝවා අභිෂේක කර තිබුණු කෙනෙකුට විරුද්ධව විපක්ෂපාතී ක්‍රියාවක් සිදු කිරීම ‘සිතාගත නොහැකි තරම්’ දෙයක් බව ඔහු කියා සිටියා.—1 සාමුවෙල් 26:11, NW.
6. අපිට වැඩිමහල්ලන්ගේ දුර්වලකම් සහ වැරදි අවබෝධ වුණත්, අපි කිසිදාක කුමක් නොකළ යුතුද?
6 අප අතරේ පෙරමුණ ගන්නා සමහරෙක්, තීරණ ගැනීමේදී යම් වරදක් කරන බව පෙනේ නම්, නැතහොත් කර්කශ වචනවලින් කතා කරනවා නම්, එසේ නැතහොත් යම් අයට අනිසි පක්ෂකමක් දක්වනවා කියා පෙනේ නම්, සභාව තුළ විවේචනාත්මක ස්වභාවයකට ඇතැම්විට දායක වෙමින්, අපි ඔවුන් ගැන පැමිණිලි කරන්න යනවාද? විරෝධය දැක්වීමේ මාර්ගයක් හැටියට අපි ක්‍රිස්තියානි රැස්වීම්වලට යන්නේ නැතුව ඉන්න යනවාද? ඇත්තෙන්ම නැහැ! දාවිත් මෙන්, යෙහෝවා සහ ඔහුගේ සංවිධානයට විපක්ෂපාතී වීමට අපිව පොලඹවන්න අපි වෙනත් කෙනෙකුගේ වැරදිවලට කිසිදාක ඉඩ දෙන්නේ නැහැ!—ගීතාවලිය 119:165.
7. යෙරුසලමේ දේවමාළිගාව සම්බන්ධයෙන් වර්ධනය වූ දූෂිත ව්‍යවහාරයන් සමහරක් මොනවාද? එමෙන්ම යේසුට මේ ගැන හැඟුණේ කොහොමද?
7 යෙහෝවාගේ “පක්ෂපාත තැනැත්තා” වශයෙන් අනාවැකිමය ලෙස විස්තර කරනු ලැබූ යේසුස් ක්‍රිස්තුස්, පක්ෂපාතිත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය ආදර්ශයයි. (ගීතාවලිය 16:10, NW) යෙරුසලමේ දේවමාළිගාවේ දූෂිත අනිසි භාවිතය, පක්ෂපාතිත්වය අභියෝගයක් කරන්න ඇති. උත්තම පූජකයාගේ කාර්යය සහ පූජාවන්, තමාගේම දේවසේවය සහ පූජනීය මරණය කල්තියාම පිළිබිඹු කළ බව යේසු දැනසිටි අතර, මේ දේවලින් ජනයා ඉගෙනගැනීම කොතරම් වැදගත්ද කියා දැනසිටියා. එබැවින් දේවමාළිගාව “සොරුන්ගේ ගුහාවක්” බවට පත්ව තිබුණු බව දුටු විට, ඔහු ධර්මිෂ්ඨ කෝපයකින් ඇවිළුණා. දෙවිගෙන් ලැබූ අධිකාරය ඇතුව, එය පවිත්‍ර කරන්න ඔහු දෙවතාවක්ම පියවර ගත්තා.a—මතෙව් 21:12, 13; යොහන් 2:15-17.
8. (අ) යේසු දේවමාළිගා විධිවිධානයට පක්ෂපාතිත්වය පෙන්නුවේ කොහොමද? (ආ) යෙහෝවාගේ පවිත්‍ර සංවිධානය සමඟ ඔහුට නමස්කාර කිරීම අපි අගය කරන බව අපිට පෙන්නුම් කළ හැක්කේ කොහොමද?
8 කොහොම නමුත්, යේසු දේවමාළිගා විධිවිධානයට පක්ෂපාතව සහයෝගය දුන්නා. කුඩා කල සිට, දේවමාළිගාවේ උත්සවවලට ඔහු ගිය අතර, එහිදී නොයෙක් විට ඉගැන්නුවා. දේවමාළිගා බද්ද ගෙවීමට ඇත්තෙන්ම ඔහු බැඳී නොසිටියත්, එය පවා ඔහු ගෙව්වා. (මතෙව් 17:24-27) දුප්පත් වැන්දඹුව “තමාගේ රක්ෂාවීමට තිබුණු සියල්ලම” දේවමාළිගා ගබඩාවට දැමූ බැවින්, යේසු ඇයව පැසසුමට ලක් කළා. ඉන් කෙටි කාලයකට පස්සේ, යෙහෝවා නිත්‍ය ලෙස එම දේවමාළිගාව ප්‍රතික්ෂේප කළා. ඒත් ඒ වන තාක් කල්, යේසු එයට පක්ෂපාතව සිටියා. (මාර්ක් 12:41-44; මතෙව් 23:38) අදදින දෙවිගේ භූමික සංවිධානය, දේවමාළිගාව ඇතුළු යුදෙව් පිළිවෙළට වඩා බොහෝ සෙයින් උසස්. එය පරිපූර්ණ නැති බව පිළිගත යුතුයි; කලින් කලට සකස් කිරීම් සිදු කරන්නේ එනිසයි. ඒත් එය දූෂිතකමින් පිරී තිබෙන තත්වයක පවතින්නේ නැහැ; ඒ වගේම ඒ වෙනුවට තවෙකක් යෙහෝවා දෙවි පිහිටුවන්න යන්නෙත් නැහැ. එතුළ අපි දකින ඕනෑම අසම්පූර්ණකමක්, අප තුළ තික්තකමක් ඇති කිරීමට හෝ විවේචනාත්මක, නිෂේධාත්මක ස්වභාවයක් ඇති කරගැනීම සඳහා පෙලඹීමට අපි කිසිදාක ඉඩනෑරිය යුතුයි. ඒ වෙනුවට, අපි යේසුස් ක්‍රිස්තුස්ගේ පක්ෂපාතිත්වය අනුකරණය කරමු.—1 පේතෘස් 2:21.
අපේම අසම්පූර්ණකම්
9, 10. (අ) විපක්ෂපාතී ලෙස හැසිරීමට අපිව ඇදගැනීම සඳහා සාතන්ගේ දේවල පිළිවෙළ අපේ අසම්පූර්ණකම් සූරාකන්නේ කොහොමද? (ආ) බරපතළ පාපයක් සිදු කර තිබෙන යමෙක් කළ යුත්තේ කුමක්ද?
9 අපේ අසම්පූර්ණකම් සූරාකෑමෙන් විපක්ෂපාතිත්වය වඩවන්නත් සාතන් වෑයම් කරනවා. ඔහුගේ දේවල පිළිවෙළ අපේ දුර්වලකම් මත වැඩි පීඩනයක් එල්ල කරමින්, යෙහෝවාගේ ඇස් ඉදිරියෙහි වැරදි දේවල් කිරීම සඳහා අපිව පරීක්ෂාවට හසු කරගන්න බලනවා. හැම අවුරුද්දකම දහස් ගණනක් දුරාචාරයට ගොදුරු වීම කනගාටුවට හේතුවක්. ඇතැම් අය මෙම විපක්ෂපාතිත්වය තවත් වැඩි කරන්නේ දෙබිඩි ජීවිතයක් ගත කිරීමෙන්; එසේ කරන්නේ විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් ලෙස සිටින බවට මවාපාමින්, වැරදි මාර්ගයක දිගටම නියැලීමෙන්. පිබිදෙව්! සඟරාවේ “යෞවන අය අසති . . . ” යන ලිපි මාලාවේ මේ විෂය ගැන පළ වූ ලිපිවලට ප්‍රතිචාරයක් වශයෙන්, එක් තරුණ ස්ත්‍රියක් මෙසේ ලිව්වා: “ඒ ලිපිවල තිබුණේ මගේ ජීවිත කතන්දරය.” යෙහෝවාට කිසිම ප්‍රේමයක් තිබුණේ නැති යෞවන යෞවනියන් එක්ක ඇය රහසින් මිත්‍රකම් වර්ධනය කරගෙන තිබුණා. ප්‍රතිඵලය? ඇය මෙසේ ලියයි: “මගේ ජීවිතය අඩියටම බැස්සා; මම දුරාචාරයෙහි යෙදුණු අතර, මට තරවටු කරන්න සිදු වුණා. යෙහෝවා සමඟ මට තිබුණු සම්බන්ධයට හානි සිදු වුණ අතර, මගේ දෙමාපියන් සහ වැඩිමහල්ලන්ට මා ගැන තිබුණු විශ්වාසය නැති වෙලා ගිහිල්ලා තිබුණා.”b
10 මෙම තරුණ ස්ත්‍රියට වැඩිමහල්ලන්ගෙන් උපකාර ලැබුණු අතර, ආපසු යෙහෝවාට පක්ෂපාතව සේවය කරන්න හැකි වුණා. ඒත්, බොහෝදෙනෙකුට ඊටත් වඩා දරුණු ප්‍රතිඵල විඳින්න සිදුවීම මහත් දුකක් වන අතර, සමහරුන් ආයෙත් රැළට එකතු වෙන්නේ නැහැ. පක්ෂපාත වී මේ දුෂ්ට ලෝකයෙහි පරීක්ෂාවන්ට විරුද්ධව සිටීම ඊටත් වඩා කොපමණ හොඳද! ලෞකික ඇසුර සහ නීච විනෝදාස්වාදය වැනි කාරණා සම්බන්ධයෙන් මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවලින් ලැබෙන අනතුරු ඇඟවීම්වලට ඇහුම්කන් දෙන්න. ඔබ කිසිදාක විපක්ෂපාතී හැසිරීම තුළට ඇද නොවැටේවා! ඒත් එසේ ඇද වැටුණොත්, ඔබේ නියම ස්වභාවය සඟවන්න වෑයම් කරන්න එපා. (ගීතාවලිය 26:4) ඒ වෙනුවට, උපකාර ලබන්න. ක්‍රිස්තියානි දෙමාපියන් සහ වැඩිමහල්ලන් සිටින්නේ ඒ උපකාර දෙන්නයි.—යාකොබ් 5:14.
11. ගොඩගන්න බැරි තරමටම අපි නරකයි කියලා අපි ගැනම සිතීම වැරදි වන්නේ ඇයි? එමෙන්ම අපේ මතය නිවැරදි කරන්න මොන බයිබල් පූර්වාදර්ශයට අපිට උපකාර කළ හැකිද?
11 අපේ අසම්පූර්ණකම් තවත් ආකාරයකින් අපිව අනතුරට පත් කළ හැකියි. විපක්ෂපාතී ක්‍රියාවක් සිදු කරන ඇතැම් අය, යෙහෝවාට සතුට ගෙන දෙන්න වෑයම් කිරීම අත්හරිනවා. දාවිත් ඉතා බරපතළ පාප කළ බව මතක තබාගන්න. ඒත්, දාවිත්ගේ මරණයෙන් බොහෝ කාලයකට පස්සේ, යෙහෝවා ඔහුව සිහි කළේ විශ්වාසවන්ත සේවකයෙකු හැටියටයි. (හෙබ්‍රෙව් 11:32; 12:1) ඇයි? මන්ද යෙහෝවාට සතුට ගෙන දීමේ උත්සාහය ඔහු කිසිදාක අත්හැරියේ නැති නිසයි. හිතෝපදේශ 24:16 මෙසේ කියයි: “ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය.” සටන් කරමින් සිටින යම් දුර්වලකමක් නිසා, අපි සුළු පාපවලට නිතර නිතර ඇද වැටුණත්, අපි දිගටම ‘නැඟිට්ටොත්,’ ඒ කියන්නේ, අවංකව පසුතැවිලි වී, පක්ෂපාත සේවයක් ඇතුළත් ගමන් මාර්ගයක් යළි ඇරඹුවොත්, යෙහෝවාගේ ඇස් ඉදිරියෙහි අපිට තවදුරටත් ධර්මිෂ්ඨව සිටින්න පුළුවන්.—2 කොරින්ති 2:7, සසඳන්න.
විපක්ෂපාතිත්වයේ සියුම් ස්වරූපයන්ගෙන් පරෙස්සම් වන්න!
12. ඵරිසිවරුන්ගේ ක්‍රියාකලාපය බැලුවොත්, දැඩි නීතිවාදී දෘෂ්ටිකෝණයක් දැරීම විපක්ෂපාතී වීමට මඟ පෑදුවේ කොහොමද?
12 විපක්ෂපාතිත්වය වඩාත් සියුම් ස්වරූපත් ගන්නවා. ඇතැම්විට එය පක්ෂපාතිත්වය නමැති බොරු වේශයෙන් පෙනී සිටින්නත් පුළුවන්! උදාහරණයක් හැටියට, යේසුගේ දවසේ ඵරිසිවරුන් සිතන්න ඇති, තමුන් පක්ෂපාතිත්වයේ හිණි පෙත්තටම නැඟී සිටිය බව.c ඒත් පක්ෂපාත වීම සහ නොනැමී, මනුෂ්‍යයන් සාදා තිබෙන නීතිවලට ඇලී සිටින්නෙකු වීම අතර වෙනස දැකගන්න ඔවුන් අසමත් වුණා; මන්ද ඔවුන් දැඩි, අනුන්ගේ චේතනා කර්කශ ලෙස විනිශ්චය කළ අය වූ නිසයි. (දේශනාකාරයා 7:16, සසඳන්න.) මේ ආකාරයට ඔවුන් සේවය කළ යුතු වූ ජනයාටත්, ඔවුන් උගන්වන බවට කියා සිටි ව්‍යවස්ථාවේ සාරයටත්, යෙහෝවාටත් ඔවුන් ඇත්තටම විපක්ෂපාතීව කටයුතු කළා. ඊට වෙනස්ව, යේසු ප්‍රේමය මත පදනම් වූ ව්‍යවස්ථාවේ සාරයට පක්ෂපාතව සිටියා. මේ අනුව, මෙසියානු අනාවැකිවල පුරෝකථනය කර තිබුණු පරිද්දෙන්ම, ඔහු ජනයාව ගොඩනැංවුවා, ඔවුන්ව දිරිගැන්නුවා.—යෙසායා 42:3; 50:4; 61:1, 2.
13. (අ) ක්‍රිස්තියානි දෙමාපියන් විපක්ෂපාතී විය හැක්කේ කොහොමද? (ආ) තම දරුවන්ව හික්මවද්දී, ඕනෑවට වඩා කර්කශ වීමෙන්, විවේචනාත්මක වීමෙන් හෝ නිෂේධාත්මක වීමෙන් දෙමාපියන් වැළකී සිටිය යුත්තේ ඇයි?
13 යම් අධිකාරයක් හොබවන ක්‍රිස්තියානීන්, මේ සම්බන්ධයෙන් යේසු තැබූ ආදර්ශයෙන් ඉමහත් ලෙස ප්‍රයෝජන ලබනවා. උදාහරණයක් හැටියට, පක්ෂපාත දෙමාපියන් දන්න දෙයක් තමයි, ඔවුන් තම දරුවන්ව හික්මවිය යුතු බව. (හිතෝපදේශ 13:24) ඒත් කෝපාවිෂ්ටව පිරිනමන කර්කශ හික්මවීමක් දීමෙන් හෝ එක දිගටම විවේචනය කිරීමෙන් හෝ තම දරු දැරියන්ව කුපිත නොකරන්න ඔවුන් වගබලා ගන්නවා. තම දෙමාපියන්ව කවදාකවත් සතුටු කරන්න බැරි බව හැඟෙන, එසේ නැතහොත් තම දෙමාපියන්ගේ නමස්කාරය දෙමාපියන්ව නිෂේධාත්මක කිරීමට හා විවේචනාත්මක වීමට පමණක් දායක වන බව හැඟෙන දරුවන් කලකිරෙන්න පුළුවන් අතර, ප්‍රතිඵලයක් වශයෙන්, සැබෑ ඇදහිල්ලෙන් ඉවත් වෙන්න පවා පුළුවන්.—කොලොස්සි 3:21.
14. ක්‍රිස්තියානි එඬේරුන්ට තමන් සේවය කරන රැළට පක්ෂපාත බව ඔප්පු කළ හැක්කේ කොහොමද?
14 ඒ හා සමානව, රැළට මුහුණ දෙන්න සිදු වන ගැටලු සහ අන්තරාවන්ට ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සහ සංචාරක අවේක්ෂකයන් අවධානය දෙනවා. පක්ෂපාත එඬේරුන් වශයෙන්, අවශ්‍ය විටක ඔවුන් උපදෙස් ඉදිරිපත් කරන අතරම, එසේ කිරීමට කලින් හැම තොරතුරක්ම ඔවුන් දන්නා බවට සහතික වෙමින්, ඔවුන් කියන දේ බයිබලය සහ සමිතියේ ප්‍රකාශන මත පරෙස්සමින් පදනම් කරගන්නවා. (ගීතාවලිය 119:105; හිතෝපදේශ 18:13) ආත්මික ගොඩනැංවීම සහ පෝෂණය සඳහා බැටළුවන් ඔවුන් මත රඳා සිටින බවත් ඔවුන් දන්නවා. ඒ හින්දා ඔවුන් කදිම එඬේරා වන යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කරන්න බලනවා. සතියක් සතියක් පාසා ක්‍රිස්තියානි රැස්වීම්වලදී, බැටළුවන්ව බිඳදමන්නේ නැතුව, ඔවුන්ව ගොඩනැංවීමෙන් සහ ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමෙන් ඔවුන් බැටළුවන්ට පක්ෂපාතව උපස්ථාන කරනවා.—මතෙව් 20:28; එපීස 4:11, 12; හෙබ්‍රෙව් 13:20, 21.
15. පළමුවන සියවසේ සමහරදෙනෙක්, වැරදි තැන තැබූ පක්ෂපාතිත්වයේ හැඟීම් තමන්ට තිබුණු බව පෙන්නුම් කළේ කොහොමද?
15 විපක්ෂපාතිත්වයේ තවත් සියුම් ස්වරූපයක් තමයි, නුසුදුසු තැන තබන පක්ෂපාතිත්වය. බයිබලයෙහි අර්ථයෙන් ගත්තොත්, සැබෑ පක්ෂපාතිත්වය, යෙහෝවා දෙවි සඳහා අපිට තිබෙන පක්ෂපාතිත්වයට ඉහළින් කිසිම දෙයකට බැඳීමකින් සිටින්න අපිට ඉඩ සලසන්නේ නැහැ. පළමුවන සියවසේ යුදෙව්වන් බොහෝදෙනෙක්, අත්හරින්නේ නැතුව මෝසෙස්ගේ ව්‍යවස්ථාවට සහ යුදෙව් දේවල පිළිවෙළට ඇලී සිටියා. ඒත් තම ආශීර්වාදය එම කැරලිකාර ජාතියේ සිට ආත්මික ඉශ්රායෙල් ජාතිය දක්වා මාරු කරන්න යෙහෝවාගේ කාලය පැමිණ තිබුණා. යෙහෝවාට පක්ෂපාත වී මෙම බැරෑරුම් වෙනසට අනුව සකස් වුණේ සාපේක්ෂ වශයෙන් ස්වල්පදෙනෙක් පමණයි. සැබෑ ක්‍රිස්තියානීන් අතර පවා, යුදෙව් වාදයට අනුග්‍රහය දැක්වූ සමහරදෙනෙක්, ක්‍රිස්තුස් තුළ ඉටු වී තිබුණු මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ඒ “දුර්වලවූ නිෂ්ඵලවූ ගුරුකම්වලට” නැවතත් වහල් වෙන්න පෙරැත්ත කළා.—ගලාති 4:9; 5:6-12; පිලිප්පි 3:2, 3.
16. යෙහෝවාගේ පක්ෂපාත සේවකයන් සකස්වීම්වලට ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද?
16 ඊට වෙනස්ව, නූතන කාලවල යෙහෝවාගේ ජනයා, වෙනස්කම් සිදු වන කාලවලදී තමුන් පක්ෂපාත බව ඔප්පු කර තිබෙනවා. හෙළි කරන ලද සත්‍යය නමැති ආලෝකය දිගටම දීප්තියෙන් වැඩි වෙත්ම, සකස් කිරීම් සිදු කෙරෙනවා. (හිතෝපදේශ 4:18) මෑතකදී, මතෙව් 24:34හි පාවිච්චි කර ඇති “පරම්පරාව” යන යෙදුම ගැනත්, මතෙව් 25:31-46හි “බැටළුවන්” සහ ‘එළුවන්ගේ’ විනිශ්චය සිදු වන කාලය ගැනත්, ඇතැම් සිවිල් ජන සේවාවන් පිළිබඳ අපේ මතය ගැනත් අපේ අවබෝධය ශෝධනය කරන්න “විශ්වාසවූ නුවණ ඇති දාසයා” උපකාර කර තිබෙනවා. (මතෙව් 24:45) යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් එවැනි විෂයන් පිළිබඳව කලින් අවබෝධ වී තිබුණු දේවලට දැඩි ලෙස ඇලී සිට, ප්‍රගතියක් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබුණා නම්, ඇදහිල්ල අත්හළ ඇතැම් අය එයින් මහත් සතුටක් ලබනවාට සැකයක් නැහැ. එයට සමාන කිසිම දෙයක් සිදු වී නැහැ. ඒ ඇයි? යෙහෝවාගේ ජනයා පක්ෂපාතයි.
17. ප්‍රේමනීයයන් ඇතැම් අවස්ථාවලදී අපේ පක්ෂපාතිත්වය පරීක්ෂාවට ලක් කළ හැක්කේ කොහොමද?
17 කොහොම වුණත්, නුසුදුසු තැන තබන පක්ෂපාතිත්වය අපිට වඩාත් කිට්ටුවෙන් බලපාන ක්ෂේත්රයකට බලපෑම් කරන්න පුළුවන්. හිතේෂි මිත්‍රයෙකු හෝ පවුලේ සාමාජිකයෙකු පවා බයිබල් ප්‍රතිපත්ති උල්ලංගනය කරන මාර්ගයක් තෝරාගන්නා විට, අපේ පක්ෂපාතිත්වයේ හැඟීම් දෙපැත්තටම ඇදෙනවා කියා අපිට හැඟෙන්න පුළුවන්. පවුලේ සාමාජිකයන්ට පක්ෂපාත බවක් හැඟීම ස්වාභාවිකයි. ඒත් කිසිදාක අපි යෙහෝවා සඳහා තිබෙන පක්ෂපාතිත්වයට ඉහළින් ඔවුන් සඳහා තිබෙන බැඳීම නොතැබිය යුතුයි! (1 සාමුවෙල් 23:16-18, සසඳන්න.) බරපතළ වරදක් සඟවන්න වරදකරුවන්ට අපි උපකාර නොකරනවා වගේම, ‘ඔවුන්ව මෘදුකමේ ආත්මයකින් යළි සකස් කරන්න’ බලන වැඩිමහල්ලන්ට විරුද්ධව වරදකරුවන්ගේ පැත්ත ගන්න යන්නෙත් නැහැ. (ගලාති 6:1) එසේ කිරීම, යෙහෝවාට, ඔහුගේ සංවිධානයට සහ ප්රේමනීයයෙකුට විපක්ෂපාතිත්වය දැක්වීමක්. ඇත්තටම, පව්කාරයෙක් සහ ඔහුට අවශ්‍ය හික්මවීම අතර බාධා පැමිණවීම කියන්නේ, යෙහෝවාගේ ප්‍රේමයේ ප්‍රකාශයක් ඔහු වෙතට ළඟාවීම ඇත්තවශයෙන්ම අවහිර කිරීමක්. (හෙබ්‍රෙව් 12:5-7) “මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින්” කරන බවත් මතක තබාගන්න. (හිතෝපදේශ 27:6) දේවවචනය මත පදනම් වූ ඍජු, ප්‍රේමනීය උපදෙස්, වරදක් කළ ප්රේමනීයයෙකුගේ අභිමානයට පහරක් වෙන්න පුළුවන් වුණත්, දිගුකාලීනව බලන කල ජීවිත ගළවන යමක් බව ඔප්පු විය හැකියි!
පක්ෂපාතිත්වය පීඩාවලට උර දෙයි
18, 19. (අ) ආහබ්ට නාබොත්ගෙන් ඕනෑ වුණේ මොකක්ද? නාබොත් ප්‍රතික්ෂේප කළේ ඇයි? (ආ) විඳින්න සිදු වුණ පාඩුව ගත්තොත්, නාබොත්ගේ පක්ෂපාතිත්වයට වටිනාකමක් තිබුණාද? පැහැදිලි කරන්න.
18 ඇතැම්විට අපේ පක්ෂපාතිත්වය මතට සාතන් එල්ල කරන ප්‍රහාර ඍජු ඒවායි. නාබොත්ගේ අද්දැකීම සලකා බලන්න. තමාගේ මිදිවත්ත විකුණන්න කියා ආහබ් රජු ඔහුව පීඩනයට ලක් කළ විට, ඔහු මෙසේ පිළිතුරු දුන්නා: “මගේ ආදිපියවරුන්ගේ පරම්පරාගත භුක්තිය ඔබට දීම, යෙහෝවාගේ දෘෂ්ටිකෝණයට අනුව, මට සිතාගත නොහැකි තරම් දෙයකි.” (1 රාජාවලිය 21:3, NW) නාබොත් මුරණ්ඩුව කටයුතු කළා නෙවෙයි; ඔහු කටයුතු කරමින් සිටියේ පක්ෂපාතවයි. උරුමයෙන් ලැබූ භුක්තියක් කිසිදාක නොවිකුණන්න කියා මෝසෙස්ගේ ව්‍යවස්ථාව නියෝග කළා. (ලෙවී කථාව 25:23-28) ආහබ් ඒ වන විටත් යෙහෝවාගේ ප්‍රොපේතවරුන් බොහෝදෙනෙක්ව ඝාතනය කරන්න තම භාර්යාව වූ යෙසෙබෙල්ට ඉඩහැර තිබුණු නිසා, මේ කුරිරු රජුට ඔහුගේ මරණය සිදු කරන්න පුළුවන් බව නාබොත් ස්ථිරයෙන්ම දැන සිටින්න ඇති! ඒත් නාබොත් ස්ථිරව සිටියා.—1 රාජාවලිය 18:4.
19 පක්ෂපාතිත්වය නිසා ඇතැම්විට පාඩුවක් විඳින්න සිදු වෙනවා. “දුර්ජන මනුෂ්‍යයන්” කිහිපදෙනෙකුගේ උපකාරය ඇතුව, යෙසෙබෙල්, නාබොත් සිදු නොකළ වරදකට ඔහුට විරුද්ධව චෝදනාවක් සකස් කළා. ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුවත් ඔහුගේ පුත්‍රයන්වත් මරනු ලැබුවා. (1 රාජාවලිය 21:7-16; 2 රාජාවලිය 9:26) නාබොත්ගේ පක්ෂපාතිත්වය වැරදි තැන තැබූ එකක් බව එයින් අදහස් කරනවාද? නැහැ! මේ දැනුත් යෙහෝවාගේ මතක ශක්තියේ “ජීවත්ව” සිටින පක්ෂපාත පුරුෂයන් සහ ස්ත්‍රීන් බොහෝදෙනා අතර නාබොත් සිටිනවා; නැවත නැඟිටීමේ කාලය තෙක් ඔවුන් සියලුදෙනා මිනිවළෙහි සුරැකිව සැතපී සිටිනවා.—ලූක් 20:38; ක්‍රියා 24:15.
20. අපේ පක්ෂපාතිත්වය පවත්වාගැනීමට, බලාපොරොත්තුව අපිට උපකාර කළ හැක්කේ කොහොමද?
20 ඒ පොරොන්දුවම අදදින යෙහෝවාගේ පක්ෂපාත අයට සහතිකයක් ලබා දෙයි. මේ ලෝකයෙහි අපේ පක්ෂපාතිත්වය ඉමහත් පාඩුවක් විඳීමට හේතුවක් විය හැකි බව අපි දන්නවා. යේසුස් ක්‍රිස්තුස් තම පක්ෂපාතිත්වයට ගෙව්වේ තම ජීවිතයෙනුයි; එමෙන්ම ඔහුගේ අනුගාමිකයන් ඒ හා සමානව සලකනු ලබන බව පැවසුවා. (යොහන් 15:20) අනාගතය සඳහා ඔහුගේ බලාපොරොත්තුව ඔහුව උසුලාගත් සේම, අපේ බලාපොරොත්තුව අපිව උසුලාගනියි. (හෙබ්‍රෙව් 12:2) මේ අනුව ඕනෑම ආකාරයේ පීඩාවක් හමුවේ පක්ෂපාතව සිටින්න අපිට පුළුවන්.
21. යෙහෝවා තම පක්ෂපාත අයට ඉදිරිපත් කරන්නේ මොන සහතික කිරීම්ද?
21 අපේ පක්ෂපාතිත්වයට එරෙහිව එවැනි ඍජු ප්රහාරයන් විඳින්න සිදු වෙන්නේ අපෙන් සාපේක්ෂ වශයෙන් ස්වල්පදෙනෙකුට පමණක් බව පිළිගත යුතුයි. ඒත් අන්තිමය පැමිණෙන්න කලින්, දෙවිගේ ජනයා තව තවත් පීඩාවලට මුහුණ දෙයි කියලා කියන්න පුළුවන්. අපේ පක්ෂපාතිත්වය පවත්වාගන්නා බවට අපිට සහතික විය හැක්කේ කොහොමද? අපේ පක්ෂපාතිත්වය දැන් පවත්වාගැනීමෙන්. යෙහෝවා අපිට මහත් බලපැවරුමක් දී තිබෙනවා, ඔහුගේ රාජ්‍යය ගැන දේශනා කිරීමට සහ ඉගැන්වීමට. මේ අතිවැදගත් වැඩයෙහි පක්ෂපාතව අපි නිරත වී සිටිමු. (1 කොරින්ති 15:58) යෙහෝවාගේ සංවිධානය සඳහා අපිට තිබෙන පක්ෂපාතිත්වය කාදැමීමට අපි මනුෂ්‍ය අසම්පූර්ණකම්වලට ඉඩ නොදුන්නොත්, වැරදි තැන තබන පක්ෂපාතිත්වයේ හැඟීම් වැනි විපක්ෂපාතී වීමේ වඩාත් සියුම් ස්වරූපයන්ගෙන් අපි පරෙස්සම් වී සිටියොත්, අපේ පක්ෂපාතිත්වය වඩාත් බරපතළ ලෙස පරීක්ෂාවට බඳුන් වෙද්දී, වඩාත් හොඳින් සූදානම්ව සිටින්න අපිට හැකි කරවනවා. මොනව වුණත්, යෙහෝවා තම පක්ෂපාත සේවකයන්ට නොවරදින ආකාරයකින් පක්ෂපාතව සිටින බවට අපිට හැමවිටම නිසැක වන්න පුළුවන්. (2 සාමුවෙල් 22:26) ඔව්, ඔහු තම පක්ෂපාත අයව රක්ෂා කරන්නේය!—ගීතාවලිය 97:10, NW.
[පාදසටහන්වල]
a එවැනි ලාභ ලබන වාණිජ්‍ය ව්‍යාපාරයකට පහර දීම සඳහා යේසුට එඩිතරකමක් තිබුණා. එක් ඉතිහාසඥයෙකුට අනුව, දේවමාළිගා බද්ද, යම් විශේෂ යුදෙව් කාසියකින් ගෙවන්න තිබුණා. මේ අනුව දේවමාළිගාව බැහැදැකීමට පැමිණි බොහෝදෙනෙක්ට, බද්ද ගෙවීමට තමුන්ගේ මුදල් මාරු කරගන්න සිදු වෙනවා. හුවමාරුව සඳහා නියමිත ගාස්තුවක් අය කරන්න මුදල් මාරුකරන්නන්ට අවකාශයක් දී තිබුණු අතර, මෙයින් විශාල මුදල් සම්භාරයක් උපයාගැනීමට හැකි වුණා.
b පිබිදෙව්! 1994 අප්‍රියෙල් 8 සහ 1994 මැයි 8 බලන්න.
c ඔවුන්ගේ සහෝදරත්වය හැසිඩිම්වරුන්ගෙන් පැවත ආවා; මේ කණ්ඩායම සියවස් ගණනාවකට පෙර ග්‍රීක් බලපෑමට එරෙහිව කටයුතු කරන්න නැඟී සිටියාවූ කණ්ඩායමක්. හැසිඩිම්වරුන් තම නාමය “පක්ෂපාත අය” නැතහොත් “ධාර්මික අය” යන තේරුම ඇති චැසිඪිම්ʹ යන හෙබ්‍රෙව් වචනයෙන් ගත්තා. යෙහෝවාගේ “පක්ෂපාත අය” ගැන සඳහන් කරන ශුද්ධ ලියවිලි පද, ඔවුන්ට යම් විශේෂ ආකාරයකින් අදාළ වුණ බව ඔවුන් සිතාගත්තා වෙන්න පුළුවන්. (ගීතාවලිය 50:5, NW) ඔවුන්ද, ඔවුන්ට පස්සේ හිටපු ඵරිසිවරුන්ද, තමුන් විහින්ම පත් වුණ, ව්‍යවස්ථාව අකුරටම රක්ෂා කළ උන්මත්තකයෝ.
ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?
◻ අනුන්ගේ අසම්පූර්ණකම් හේතුවෙන් අපව විපක්ෂපාතී වීමට මඟ පෑදීමෙන් වළකින්න අපිට පුළුවන් වෙන්නේ කොහොමද?
◻ අපේම අසම්පූර්ණකම් විපක්ෂපාතී හැසිරීමට මඟ පෑදිය හැකි මාර්ග නම් කරන්න.
◻ අපේ පක්ෂපාතිත්වයේ හැඟීම් වැරදි තැන තැබීමේ නැඹුරුවාවට එරෙහි වීමට අපිට පුළුවන් කොහොමද?
◻ පීඩා ඇති කාලවලදී පවා අපේ පක්ෂපාතිත්වය පවත්වාගැනීම සඳහා අපිට කුමක් උපකාර කරාවිද?
[9වන පිටුවේ කොටුව]
බෙතෙල්හි පක්ෂපාතව සේවය කිරීම
“සියල්ල ඔබිනාලෙසද පිළිවෙළින්ද කරනු ලැබේවා.” එසේ ලිව්වේ ප්‍රේරිත පාවුල්. (1 කොරින්ති 14:40) සභාවක් ක්‍රියාත්මක වෙන්න නම් ‘පිළිවෙළක්,’ ඒ කියන්නේ සංවිධානව සිටීම සඳහා අවශ්‍යතාවක් තිබෙන බව පාවුල් දැන සිටියා. එසේම අදදින, විවිධ පොත්පාඩම් ස්ථානවලට සභා සාමාජිකයන්ව යොමු කිරීම, ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම් පිළියෙළ කිරීම සහ බලප්‍රදේශය පියවන ආකාරය පරීක්ෂා කිරීම වැනි ප්‍රායෝගික කාරණා සම්බන්ධයෙන් තීරණ ගැනීමට වැඩිමහල්ලන්ට සිදු වෙනවා. එවැනි විධිවිධාන ඇතැම්විට පක්ෂපාතකම සම්බන්ධයෙන් පරීක්ෂණ වෙන්න පුළුවන්. ඒවා දිව්‍යානුභාවයෙන් ලැබූ ආඥා නොවන අතර, හැම පුද්ගලයෙකුගේම මනාපයන්ට ගැළපෙන්නේ නැහැ.
ක්‍රිස්තියානි සභාවේ සිදු කර තිබෙන ඇතැම් ප්‍රායෝගික විධිවිධානවලට පක්ෂපාත වීම, ඇතැම් අවස්ථාවලදී ඔබට අභියෝගයක් මෙන් පෙනෙනවාද? අභියෝගයක් වගේ නම්, බෙතෙල්හි ආදර්ශය ඔබට උපකාරයක් බව පෙනී යන්න පුළුවන්. “දෙවිගේ ගෘහය” යන අර්ථය ඇති හෙබ්‍රෙව් යෙදුමක් වන බෙතෙල් කියන නම, එ.ජ. මූලස්ථානය ඇතුළුව, වොච් ටවර් සමිතියේ ශාඛා 104ටම දී තිබෙනවා.* බෙතෙල් සංකීර්ණවල ජීවත් වන සහ වැඩ කරන ස්වේච්ඡා සේවකයන්ට ඕනෑකමක් තිබෙනවා, මෙම තැන්වල යෙහෝවා සඳහා ප්රණාමයකුත් ගරුබියකුත් පිළිබිඹු වෙනවා දකින්න. මේ සඳහා සෑම කෙනෙකුගෙන්ම පක්ෂපාතිත්වය ඕනෑ කරනවා.
බෙතෙල් බැහැදකින්න යන අය විටින් විට ඔවුන් එහි දකින පිළිවෙළ සහ පිරිසිදුකම ගැන අදහස් දක්වනවා. සේවකයන් සංවිධාන වී සන්තෝෂයෙන් සිටිනවා; ඔවුන්ගේ කතා බහෙන් සහ ගති පැවතුම්වලින් මෙන්ම ඔවුන්ගේ පෙනුමෙන් පවා මේරූ, බයිබලයේ ඉගැන්වීම්වලට අනුව සකස් වූ ක්‍රිස්තියානි හෘදය සාක්ෂීන් පිළිබිඹු කරනවා. බෙතෙල් පවුලක සියලුම සාමාජිකයන් දේවවචනයෙහි ප්‍රමිතිවලට පක්ෂපාතව අනුකූල වෙනවා.
මීට අමතරව, පාලක මණ්ඩලය එකමුතුව එකට විසීම යන මැයින් යුත් අත්පොතක් ඔවුන්ට සපයනවා; එතරම් විශාල පවුලකට එකට හොඳින් වැඩ කරන්න අවශ්‍ය ප්‍රායෝගික විධිවිධාන කිහිපයක් එහි කාරුණිකව දක්වා තිබෙනවා. (ගීතාවලිය 133:1) නිදසුනක් හැටියට, කාමර පහසුකම්, ආහාර වේල්, සනීපාරක්ෂාව, ඇඳුම් හා හිසකෙස් ආදිය පිළිවෙළකට තබාගැනීම මෙන්ම ඒ සමාන කාරණා එහිදී සැලකිල්ලට බඳුන් වෙනවා. බෙතෙල් පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලික මනාපයන්, ඔවුන්ව වෙන දිශාවක් අනුව යන්න මඟ පෙන්නුවත්, ඔවුන් ඉහත කී විධිවිධානවලට පක්ෂපාතව අනුබල දී ඒවාට අනුකූල වෙනවා. ඔවුන් මෙම අත්පොත, දැඩි නීති සහ රෙගුලාසි සමූහයක් හැටියට නොව, නමුත් එකමුතුකම සහ සමඟියට රුකුලක් වන වැඩදායක මාර්ගදර්ශක රාශියක් හැටියට සලකනවා. මෙම බයිබලය මත පදනම් ක්‍රියාපිළිවෙත් රැකීමට අවේක්ෂකයන් පක්ෂපාතව කටයුතු කරන අතර, බෙතෙල් පවුලට තම පරිශුද්ධ බෙතෙල් සේවය ලුහුබැඳීම සඳහා ඔවුන්ව ගොඩනැංවීමට සහ දිරිගැන්වීමට ඒවා ඒකාන්ත ආකාරයකින් යොදාගන්නවා.
* මෙම කර්මාන්ත ශාලා, කාර්යාල සහ නිවාස සංකීර්ණවලින් දෙවිගේ ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගාව හෝ ගෘහය සෑදී නැහැ. දෙවිගේ ආත්මික දේවමාළිගාව කියන්නේ නිර්මල නමස්කාරය සඳහා ඔහුට තිබෙන විධිවිධානයයි. (මීකා 4:1) එවැනි දෙයක් ලෙස, එය පොළොව මත තිබෙන කිසිම භූමික ගොඩනැඟිල්ලකට සීමා වී නැහැ.
[10වන පිටුවේ කොටුව]
පක්ෂපාතියා සහ නීතිවාදියා
“පක්ෂපාතියා සහ නීතිවාදියා අතර තිබෙන මෙම වෙනස, ඕනෑම කාලයක සහ ඕනෑම තැනකදී සොයාගන්න පුළුවන්” බව 1916දී එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් ඇන්ඩ් එතික්ස් යන විශ්වකෝෂය සඳහන් කළා. එහි මෙසේ පැහැදිලි කර තිබුණා: “නීතිවාදියා කියන තැනැත්තා කියන දේ කරනවා; කිසිම නීතියක් කඩ කරන්නේ නැහැ; ලිඛිත මෙන්ම කියවිය හැකි වචනයට ඔහු විශ්වාසවන්තව ඇලී සිටිනවා. මේ දෙයම කරන පක්ෂපාතියා කියන තැනැත්තෙකුත් ඉන්නවා; එනමුත් . . . ඔහුගෙන් වැඩි යමක් අපේක්ෂා කරන්න පුළුවන්; ඔහු තම යුතුකමට මුළු මනසම යොදාගන්නවා; ඉටු විය යුතු අරමුණේ ස්වභාවයට එකඟව ඔහු තම ස්වභාවය සකස් කරගන්නවා.” පසුව, මේ කෘතියම මෙම නිරීක්ෂණය කළා: “පක්ෂපාතයි කියන්නේ නීතිගරුක වීමට වඩා බෙහෙවින් වැඩි යමක්. . . . පක්ෂපාත මනුෂ්‍යයා නීතිගරුක මනුෂ්‍යයාට වඩා වෙනස් වෙන්නේ, පක්ෂපාත මනුෂ්‍යයා මුළු හෘදයෙන් සහ මනසින් සේවය පිරිනමන නිසයි. . . . හිතාමතා නොකළ යුතු දෙයක් කිරීමෙන් පව් කරන්නවත්, කළ යුතු දෙයක් නොකිරීමෙන් පව් කරන්නවත්, නොදැනුවත්කමේ පව් කරන්නවත් ඔහු තමාටම කිසිම අවකාශයක් නොදෙයි.”