මගේ බාලවියේ ඉඳලම ඉවසිලිවන්තව යෙහෝවා දෙස බලා ඉන්නවා
රූඩොල්ෆ් ග්රයිචන් පැවසූ පරිදි
මට අවුරුදු 12 වුණ ගමන්ම, හරියට විදුලියක් කොටනවා වගේ එකපාරටම මගේ පවුල ඛේදවාචකයකින් පහර ලැබුවා. ඉස්සෙල්ලම, මගේ තාත්තාව සිරභාරයට ගත්තා. ඊට පස්සේ, මගේ සහෝදරියවයි මාවයි බලෙන් පැහැරගෙන ගිහින් නාඳුනන අය එක්ක නැවැත්තුවා. ඊටත් පස්සේ, මගේ අම්මවයි, මාවයි ගෙස්ටාපෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. මාව හිරේ දැම්මා; ඇයව ගාල් කඳවුරකට දැම්මා.
එක පෙළට ආව ඒ සිද්ධීන් සලකුණු කළේ, යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් වශයෙන් මගේ බාලවියේදී මට විඳින්න සිද්ධ වුණ වේදනාකාරි පීඩා කාලපරිච්ඡේදයක පටන්ගැන්ම පමණයි. අතිශයින් නින්දිත නාට්සි ගෙස්ටාපෝ පොලිසිය සහ නැඟෙනහිර ජර්මනියේ ෂ්ටාසි පොලිසිය මා තුළ දෙවිට තිබූ අඛණ්ඩතාව බිඳීමට වෑයම් කළා. ඔහුට අවුරුදු 50ක කැප වූ සේවයක් කරලා තියෙන මට දැන් ගීතිකාකරු පැවසූ ආකාරයට කියන්න පුළුවන්: “මාගේ තරුණ වයසේ පටන් ඔව්හු බොහෝ වර මට පීඩාකළෝය. එහෙත් මාගෙන් ජය නොගත්තෝය.” (ගීතාවලිය 129:2) මම යෙහෝවාට මොනතරම් ස්තුතිවන්ත වෙනවාද!
මම ඉපදුණේ 1925 ජූනි 2වෙනිදා ජර්මනියේ ලයිප්සිග් අසල කුඩා ලූකා නගරයේදීයි. මම ඉපදෙන්නත් ඉස්සෙල්ලා, මගේ දෙමාපියන් වූ ආල්ෆ්රෙට් සහ ටෙරෙසා, බයිබල් ශිෂ්‍යයන්ගේ ප්රකාශනවල තිබෙන බයිබල් සත්‍යයේ හඬ තේරුම්ගත්තා; යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව එවකට හැඳින්නුවේ ඒ නමිනුයි. අපේ නිවසේ බිත්තිවල එල්ලලා තිබුණ බයිබල් දර්ශනවල පින්තූරු දිහා හැම දවසකම බලනවා මට මතකයි. වෘකයා බැටළුවා සමඟත්, පොඩි දරුවා දිවියා සමඟත්, වසු පැටියා සිංහයා සමඟත් ඉන්න විදිහ එක පින්තූරයක දකින්න තිබුණා; කුඩා පිරිමි ළමයෙක්, සාමයෙන් සිටි මේ හැම සත්වයෙක්වම ගෙන ගියා. (යෙසායා 11:6-9) එවැනි පින්තූරු මගේ සිතේ නොමැකෙන සටහනක් තැබුවා.
හැකි හැම අවස්ථාවකදීම මගේ දෙමාපියන් මාවත් සභා ක්‍රියාකාරකම්වලට හවුල් කරගත්තා. උදාහරණයක් වශයෙන්, 1933 පෙබරවාරිවලදී, හිට්ලර් බලයට ඇවිත් ටික දවසකට පස්සේ “මැවීම පිළිබඳ ඡායාරූප-නාට්‍යය” (ඉංග්‍රීසියෙන්)—ස්ලයිඩ් කාච, සචල පින්තූරු සහ පටිගත විස්තරයක් එක්ක—අපේ කුඩා නගරයේදී පෙන්නුවා. අවුරුදු හතක පිරිමි ළමයෙකුව සිටි මට, “ඡායාරූප-නාට්‍යය” සඳහා ප්‍රචාරණ පෙළපාලියක පංගුකාරයෙක් වශයෙන් පිකප් රථයක පිටුපස නැඟී නගරය මැදින් යන්න ලැබීම කොයිතරම් ප්‍රීතියක්ද! මේ අවස්ථාවේ සහ තවත් අවස්ථාවල, මම බාල වියේ සිටියත් සහෝදරයන් මම සභාවේ ප්‍රයෝජනවත් සාමාජිකයෙක් බව මට හැඟීමට සැලැස්සුවා. එනිසා ඉතා කුඩා අවදියේ ඉඳලම, මට යෙහෝවා ඉගැන්නුව අතර ඔහුගේ වචනයෙන් බලපෑමක් ලැබුවා.
යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට පුහුණුව ලැබ
දැඩි ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය නිසා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් නාට්සි දේශපාලනයට හවුල් වුණේ නෑ. ප්‍රතිඵලයක් වශයෙන්, දේශනා කිරීම, රැස්වීම සහ අපේම බයිබල් පොත් පත් කියවීම පවා තහනම් කරමින් 1933දී නාට්සිවරු නීතියක් පැනෙව්වා. මගේ තාත්තා ඇතුළු, අපේ සභාවේ සිටි සියලුම සහෝදරයන්ව 1937 සැප්තැම්බර්වලදී, ගෙස්ටාපෝ විසින් අත්අඩංගුවට ගත්තා. මට ලොකු දුකක් ඇති වුණා. මගේ තාත්තාව අවුරුදු පහකට සිරබාරයට දැම්මා.
ගෙදර කටයුතු කරගෙන යන්න අපිට සෑහෙන අමාරු වුණා. නමුත් යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න අපි ඉක්මනින්ම ඉගෙනගත්තා. දිනක් මම පාසැල ඇරී ගෙදර එනකොට, මගේ අම්මා මුරටැඹ සඟරාව කියව කියවා හිටියා. මට ඉක්මනට දවල් කෑම ටික හදලා දෙන්න ඕන වුණ නිසා කුඩා රාක්ක අල්මාරියක් උඩ ඇය සඟරාව තැබුවා. දවල් කෑමෙන් පස්සේ, අපි දීසි අස් කරන කොට හයියෙන් දොරට ගහනවා ඇහුණා. අපේ නිවසේ බයිබල් පොත් පත් තියෙනවද කියලා සෝදිසි කරන්න ඕන වුණ පොලිස් භටයෙකුයි ඒ. මට හරි බයක් දැනුණා.
එදා අසාමාන්‍ය විදිහට රස්නේ දවසක්. ඒ නිසා පොලිස් භටයා මුලින්ම ඔහුගේ හෙල්මට් එක ගළවලා මේසයක් උඩ තැබුවා. ඊට පස්සේ ඔහු සෝදිසි කරන්න පටන්ගත්තා. ඔහු මේසෙ යට බලද්දී ඔහුගේ හෙල්මට් එක ලිස්සලා වැටෙන්න ගියා. ඉතින් මගේ අම්මා ඉක්මනටම හෙල්මට් එක ඇදලා අරං, රාක්ක අල්මාරිය උඩ තිබුණ මුරටැඹ සඟරාව උඩින්ම ඒක තැබුවා! පොලිස් භටයා අපේ නිවාස කෑල්ලේ අස්සක් මුල්ලක් නෑර හැම තැනක්ම සෝදිසි කළත් කිසිම පොත පතක් හොයාගන්න බැරි වුණා. ඔහුගේ හෙල්මට් එක යට බලන්න ඔහු කොහොමටවත්ම හිතුවේ නෑ. ඔහු පිටත් වෙන්න සූදානම් වුණහම, ඔහුගේ පිටුපස්සට අත දිගු කර, පිටුපස තිබුණ හෙල්මට් එක ගන්න ගමන්ම, කරදර කළාට සමාවෙන්න කියලා ඔහු මගේ අම්මාට හීන්හඬින් මිමුණුවා. මට මොනතරම් සහනයක් දැනුණද!
එවැනි අද්දැකීම් ඊට වඩා අමාරු පරීක්ෂා සඳහා මාව සූදානම් කළා. නිදසුනක් වශයෙන්, හිට්ලර් යොවුන් සංවිධානයට බැඳෙන්න කියලා පාසැලේදී මට බල කරා; එහිදී ළමයින්ට යුධ පුහුණුව ලබා දුන් අතර, නාට්සි දර්ශනයන් හෘදයට කාවද්දවන්න වෑයම් කළා. සමහර ගුරුවරුන්ට 100-සීයක ශිෂ්‍ය සහභාගිත්වයක් අත් කරගන්න පෞද්ගලික ඉලක්කයක් තිබුණා. මගේ ගුරුතුමා, ෂ්නයිඩ’ මහත්මයාට හැඟෙන්න ඇති ඔහු සම්පූර්ණයෙන්ම අසමත් වුණා කියලා; හේතුව, මගේ පාසැලේ ඉන්න අනිත් හැම ගුරුවරයාටම වෙනස්ව ඔහුට එක ශිෂ්‍යයෙක්ගෙන් 100-සීයක සහභාගිත්වය ලැබුණේ නෑ. ඒ ශිෂ්‍යයා මමයි.
ෂ්නයිඩ’ මහත්මයා මුළු පංතියටම මෙහෙම නිවේදනය කළා: “ළමයි, හෙට අපේ පංතිය විනෝද ගමනක් යනවා.” හැමෝම ඒ අදහසට කැමති වුණා. එවිට ඔහු මෙහෙමත් කිව්වා: “හැමෝම ඕගොල්ලන්ගේ හිට්ලර් යොවුන් නිල ඇඳුම ඇඳගෙන එන්න ඕනෙ; එතකොට අපි වීදිවල ගමන් කරන කොට ඕගොල්ලෝ හොඳ-හැදිච්ච හිට්ලර් ළමයි බව හැමෝටම දැකගන්න පුළුවන්.” ඊළඟ දවසේදී මම හැරෙන්න අනිත් හැම ළමයෙක්ම ඔවුන්ගේ නිල ඇඳුමෙන් සැරසිලා ආවා. ගුරුතුමා පංති කාමරය ඉස්සරහට එන්න කියලා මට මෙහෙම කිව්වා: “අනිත් ළමයි දිහා බලලා, ඊට පස්සේ ඔයා දිහාම බලන්න.” ඔහු මෙහෙමත් කිව්වා: “මං දන්නවා ඔයාගේ දෙමාපියන් දුප්පත්, ඔයාට නිල ඇඳුමක් අරන් දෙන්න බැරි බව; ඒත් පොඩ්ඩක් ඉන්න මං ඔයාට බඩුවක් පෙන්නනකම්.” ඔහු මාව ඔහුගේ මේසය වෙත එක්කගෙන ගිහින් ලාච්චුවක් ඇරලා මෙහෙම කිව්වා: “ඔයාට මේ අලුත්ම නිල ඇඳුම දෙන්න මම කැමතියි. මේක ලස්සනයි නේද?”
නාට්සි නිල ඇඳුම දාගන්නවාට වඩා මම මැරෙන එක හොඳයි කියලා හිතුණා. ඒක අඳින්න මගේ කිසිම අදහසක් නැති බව මගේ ගුරුතුමා දැක්කහම ඔහුට කේන්ති ගියා; මුළු පංතියම මට හූ කිව්වා. ඊට පස්සේ ඔහු අපිව විනෝද ගමන එක්කගෙන ගියා; නමුත් නිල ඇඳුම්වලින් සැරසිලා හිටිය අනිත් ළමයි හැමෝම මැද්දෙන් මට ඇවිදින්න සලස්වමින් මාව සැඟවීමට වෑයම් කළා. කෙසේවුවත්, නගරයේ හිටි හුඟදෙනෙක්ට මාව දැකගන්න පුළුවන් වුණා, මගේ පංතියේ ළමයි අතර මං හිටගත්තහම මගේ වෙනස කැපීපෙනුණු නිසා. මමත්, මගේ දෙමාපියනුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බව හැමෝම දැනගෙන හිටියා. මගේ බාල වියේදී මට අවශ්‍ය වූ ආත්මික ශක්තිය ලබා දීම වෙනුවෙන් මම යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා.
පීඩා වැඩි වෙයි
එක්දාස් නවසිය තිස්අටේ මුල්භාගයේදී දිනක්, මගේ සහෝදරියව සහ මාව පාසැලෙන් රැගෙන, කිලෝමීටර් 80ක් විතර දුරක පිහිටි ෂ්ටාට්රෝඩ්හි චරිත ශෝධනාගාරයකට පොලිස් රථයකින් ගෙන ගියා. ඇයි? අපේ දෙමාපියන්ගේ බලපෑමෙන් ඈත් කරලා, අපිව නාට්සි දරුවන් කිරීමට අධිකරණය තීරණය කරලා තිබුණ නිසයි. මගේ සහෝදරිය සහ මම, අපේ ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවයේ ස්ථිරව සිටියත්, ගෞරවනීයව හා කීකරුව සිටින බව චරිත ශෝධනාගාරය භාරව සිටි කාර්ය මණ්ඩලය වැඩි කල් නොගොස් දැක්කා. අධ්යක්ෂිකාවගේ සිත කොයිතරම් ඇදී ගියාද කියනවා නම්, මගේ අම්මව පෞද්ගලිකව මුණගැහෙන්න ඇයට ඕනෙ වුණා. සහනයක් ලබා දෙමින් මගේ අම්මාට අපිව බලන්න ඉඩ සලසා දුන්නා. මුළු දවස පුරාම අන්‍යොන්‍ය දිරිගැන්වීම සඳහා එකට සිටීමට අපට අවස්ථාව සලසා දීම ගැන මගේ සහෝදරිය, මගේ අම්මා සහ මම හුඟක් සතුටු වුණ අතර, යෙහෝවාට අනේකවාරයක් ස්තුතිවන්ත වුණා. අපිට ඇත්තෙන්ම ඒක අවශ්‍යව තිබුණා.
මාස හතරක් විතර අපි චරිත ශෝධනාගාරයේ හිටියා. ඉන්පස්සේ අපිව පානාවෙ සිටි පවුලක් එක්ක ජීවත් වෙන්න යැව්වා. අපේ නෑදෑයන්ගෙන් අපිව ඈත් කර තබන්න ඔවුන්ට උපදෙස් දීලා තිබුණා. මගේ අම්මටවත් බලන්න එන්න ඉඩ දුන්නේ නෑ. ඒත්, වතාවක් දෙකක් අපිව මුණගැහෙන්න ඇය මාර්ගයක් සොයාගත්තා. යෙහෝවා සිදු වෙන්න ඉඩ දෙන ඕනෑම පරීක්ෂාවක් හා තත්වයක් යටතේ ඔහුට විශ්වාසවන්තව ඉන්න අධිෂ්ඨානයක් අප තුළ පැලපදියම් කිරීමට, ඉඳ හිට ලැබුණ ඒ අවස්ථාවල් අල්ලගනිමින් මගේ අම්මා කළ හැකි උපරිමය කළා.—1 කොරින්ති 10:13.
ඇත්තෙන්ම ඒ වගේ පරීක්ෂා පැමිණියා. මට අවුරුදු 17ක්ව සිටියදී, 1942 දෙසැම්බර් 15වෙනිදා ගෙස්ටොපෝ මාව ගෙන ගිහින් ගේරහි පිහිටි රැඳවුම් කඳවුරකට දැම්මා. සතියකට විතර පස්සේ, මගේ අම්මවත් අත්අඩංගුවට ගෙන මම සිටි සිරගෙයිම සිර කළා. ඒ වන විට මම බාලවයස්කාරයෙකුව සිටි නිසා මට විරුද්ධව නඩු දාන්න අධිකරණයට පුළුවන් වුණේ නෑ. ඉතින් මගේ 18වෙනි උපන්දිනය එන තෙක් අධිකරණය බලා ඉඳිද්දී, අම්මායි මායි රැඳවුම් කඳවුරේ මාස හයක් ගත කළා. මට අවුරුදු 18 වුණ දවසෙම මගේ අම්මව සහ මාව නඩු අහන්න ගෙනාවා.
මට හෙල්ලෙන්නවත් අවස්ථාවක් ලැබුණේ නැහැ, නඩු තීන්දුව දීලා ඉවරයක් කළා. මගේ අම්මව මට ආයිත් දකින්න නොලැබෙන බව මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ. මට මතක හැටියට ඇයව අන්තිම වතාවට දැක්කේ අධිකරණයේදී මා ළඟම කළු බංකුවක වාඩි වෙලා ඉන්දැද්දීයි. අපි දෙන්නවම වරදකරුවන් බවට තීන්දු කළා. මාව අවුරුදු හතරකටත්, මගේ අම්මව අවුරුදු එකහමාරකටත් හිරේට නියම කළා.
ඒ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් දහස් ගණනක් සිරබාරයේ සහ කඳවුරුවල රඳවාගෙන සිටියා. කෙසේවුවත්, ෂ්ටෝල්බ’ග්හි සිරබාරයකට මාව යැව්වා; එහි සිටි එකම සාක්ෂිකරුවා මමයි. අවුරුද්දකට වැඩි කාලයක් මාව එහි තනියෙන් සිරකොට තැබුවත් යෙහෝවා මා සමඟ සිටියා. මගේ බාල වියේදී මා ඔහු වෙත වර්ධනය කරගෙන තිබුණ ප්‍රේමය, මට ආත්මිකව නොනැසී ඉන්න උදව් වූ ප්‍රධාන දෙය වුණා.
මම අවුරුදු දෙකහමාරක් සිරබාරයේ හිටියට පස්සේ, 1945 මැයි 9වෙනිදා අපිට ශුභ ආරංචියක් ලැබුණා—යුද්ධෙ අවසන් වෙලා! එදා මාව නිදහස් කළා. කිලෝමීටර් 110ක දුරක් ඇවිදලා මම ගෙදර එන කොට වෙහෙස හා හාමත නිසා ඇත්තෙන්ම අසනීප වෙලයි හිටියේ. මගේ සෞඛ්‍යය යථා තත්වයට එන්න මාස කීපයක් ගත වුණා.
මම ආව විගසම, මට ඉතා ශෝකජනක ආරංචි ලැබුණා. ඉස්සෙල්ලම මගේ අම්මා ගැන. ඇය සිරබාරයේ අවුරුදු එකහමාරක් හිටියට පස්සේ යෙහෝවා කෙරෙහි ඇගේ විශ්වාසය අත්හරින බවට ලියවිල්ලක් අත්සන් කරන්න කියලා නාට්සිවරුන් ඇයගෙන් ඉල්ලා සිටියා. ඇය ප්‍රතික්ෂේප කළා. එවිට ගෙස්ටාපෝ ඇයව රාවන්ස්බෲක්හි කාන්තා ගාල් කඳවුරට ගෙන ගියා. යුද්ධය අවසන් වෙන්න සුළු කාලයකට ඉස්සෙල්ලා ටයිපස් උණෙන් එහිදී ඇය මියගියා. ඇය කිසිවිටකත් අත් නොහැර, දැඩි සටනක යෙදුණ හුඟක් ධෛර්යසම්පන්න ක්රිස්තියානිවරියක්. යෙහෝවා ඇයව කරුණාවන්ත ලෙස මතක් කරයි කියලා මම පතනවා.
කවදාවත් යෙහෝවාට කැප නොවූ මගේ වැඩිමල් සහෝදරයා, ව’න ගැනත් ආරංචියක් තිබුණා. ඔහු ජර්මානු හමුදාවට බැඳිලා තිබුණ අතර රුසියාවේදී මැරුණා. මගේ තාත්තා? ඔහු ගෙදර ආවත්, ඔහු තම ඇදහිල්ල අත්හරින බවට ඒ නින්දිත ලියවිල්ල අත්සන් කළ සාක්ෂිකරුවන් ටිකදෙනාගෙන් කෙනෙක්ව සිටීම කනගාටුදායක දෙයක්. මම ඔහුව දකින විට, ඔහු කනස්සල්ලෙන් සහ මානසික වියවුල් තත්වයකින් සිටියා.—2 පේතෘස් 2:20.
ජ්වලිත ආත්මික ක්‍රියාකාරකම්වල කෙටි කාලපරිච්ඡේදයක්
යුද්ධයෙන් පස්සේ ලයිප්සිග්වල තිබුණ මගේ මුල්ම එක්රැස්වීමට 1946 මාර්තු 10වෙනිදා මම ගියා. ඒ දවසෙම බව්තීස්මයක් සිදු වන බව නිවේදනය කළ විට මොනතරම් සතුටක් ඇති වුණාද! මම යෙහෝවාට මගේ ජීවිතය කැප කර තිබුණේ අවුරුදු ගාණකට පෙර වුණත්, බව්තීස්ම වීමට මට ලැබෙන මුල්ම අවස්ථාව මෙය වුණා. මට කවදාවත් ඒ දවස අමතක වෙන එකක් නෑ.
මාසයක් පුරෝගාමී සේවයේ යෙදුණාට පස්සේ 1947 මාර්තු 1වෙනිදා, මට මැග්ඩබ’ග්වල බෙතෙල් එකට ආරාධනයක් ලැබුණා. බෝම්බ හෙළීමෙන් සමිතියේ කාර්යාලවලට හොඳටම හානි සිද්ධ වෙලා තිබුණා. ඒවා අලුත්වැඩියා කරන්න උපකාර කිරීමට ලැබීම කොයිතරම් වරප්‍රසාදයක්ද! ඒ ගිම්හානයෙන් පස්සේ මට විටන්බ’ග් නගරයට විශේෂ පුරෝගාමියෙකු වශයෙන් පැවරුමක් ලැබුණා. සමහර මාසවල දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ගැන දේශනා කරමින් මම පැය 200කට වඩා ගත කළා. මට නැවතත් නිදහසක් ලැබීම ගැන මම කොයිතරම් සතුටු වෙනවද—යුද්ධ නෑ, පීඩා නෑ, සිරදඬුවම් නෑ!
කනගාටුයි කියන්න, ඒ නිදහස වැඩිකල් පැවතුණේ නෑ. යුද්ධයෙන් පස්සේ ජර්මනිය දෙකට බෙදුණු අතර, මම ජීවත් වුණ ප්‍රදේශය කොමියුනිස්ට්වාදීන්ගේ පාලනය යටතට පත් වුණා. ෂ්ටාසි ලෙස ප්‍රසිද්ධ, නැඟෙනහිර ජර්මානු රහස් පොලිසිය 1950 සැප්තැම්බර්වලදී සහෝදරයන්ව ක්‍රමානුකූලව අත්අඩංගුවට ගැනීමට පටන්ගත්තා. මට විරුද්ධව කළ පැමිණිලිවලට කිසිම හරයක් තිබුණේ නැහැ. අමෙරිකානු ආණ්ඩුවට ඔත්තු සැපයුවා කියන චෝදනාව මට එල්ල කර තිබුණා. ඔවුන් මාව රටේ දරුණුතම ෂ්ටාසි සිරගෙයට, ඒ කියන්නේ බ්රැන්ඩන්බ’ග්හි තියෙන එකට යැව්වා.
මගේ ආත්මික සහෝදරයන්ගෙන් සහාය
එහි ෂ්ටාසි මට දවල් කාලයේදී නිදාගන්න ඉඩ දුන්නේ නෑ. ඊට පස්සේ මුළු රාත්‍රිය පුරාම ඔවුන් මගෙන් ප්‍රශ්න කරමින් සිටියා. මේ වධහිංසාවට මාව ටික දවසකට යටත් කළාට පස්සේ දේවල් තවත් නරක අතට හැරුණා. එක උදෑසනක, මාව මගේ සිරකුටියට ගෙනයනවා වෙනුවට, ඔවුන් මාව ඔවුන්ගේ අතිශයින් නින්දිත යූ-බෝට් ට්සෙලන් (ඒවා සෑහෙන ගැඹුරක පිහිටි නිසා සබ්මැරීන් කුටි වශයෙන් ප්‍රසිද්ධයි) සිරබාරයට ගෙන ගියා. පරණ, මලකඩ කාපු දොරක් ඇරලා ඒකෙ ඇතුළට යන්න කියලා ඔවුන් මට කිව්වා. මට උස කණ්ඩියකින් ඇතුල් වෙන්න සිද්ධ වුණා. මම මගේ කකුල බිම තිබ්බහම, මුළු බිමම වතුරෙන් පිරිලා තියෙන බව මට වැටහුණා. භයානක හඬක් නංවමින් දොර තදින් වහලා දැම්මා. කිසි එළියක්වත්, ජනේලයක්වත් තිබුණේ නෑ. ඒක තිත්ත කළුවරයි.
බිම අඟල් කීපයක් උඩට වතුරෙන් වැහිලා තිබුණ නිසා මට ඉඳගන්නවත්, හාන්සි වෙන්නවත්, නිදාගන්නවත් බැරි වුණා. නිමක් නැහැයි කියලා පෙනුණු කාලයක් බලා සිටියායින් පස්සේ මාව ආයිත් සැර ආලෝක යටතේ තවදුරටත් ප්‍රශ්න කරන්න අරගෙන ගියා. වඩාත් දරුණු මොකක්ද—සම්පූර්ණයෙන්ම වගේ අඳුරු තැනක මුළු දවස පුරාම වතුරේ හිටගෙන ඉන්න එකද, එහෙමත් නැත්නම් මුළු රැය පුරාම කෙළින්ම මා වෙත එල්ල කරලා තිබුණ සැර ආලෝකය විඳදරාගෙන ඉන්න එකද—කියලා මම දන්නේ නෑ.
කීපවිටකම ඔවුන් මට වෙඩි තියන බවට තර්ජනය කළා. රාත්‍රී කීපයක්ම දිගටම ප්‍රශ්න කළාට පස්සේ, එක උදෑසනක රුසියානු හමුදා උසස් නිලධාරියෙක් මාව බලන්න ආවා. ජර්මානු ෂ්ටාසි නාට්සි ගෙස්ටාපෝට වඩා දරුණු විදිහටයි මට සලකන්නේ කියලා ඔහුට කියන්න මට ප්‍රස්තාව ලැබුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් නාට්සි රජය යටතෙත්, ඒ වගේම කොමියුනිස්ට් පාලනය යටතෙත් මධ්‍යස්ථවයි ඉන්නේ; අපි ලෝකයේ කොතැනකදීවත් දේශපාලනයට ඇඟිලි ගහන්නේ නෑ කියලා මම ඔහුට පැවසුවා. ඊට වෙනස්ව, දැන් ෂ්ටාසි නිලධාරීන් හැටියට ඉන්න බොහෝදෙනෙක් හිට්ලර් යොවුන් සංවිධානයේ සාමාජිකයන් වෙලා ඉඳලා තියෙනවා; එහිදී ඔවුන් අහිංසක ජනයාට අමානුෂික අන්දමින් පීඩා කරන විදිහ ඉගෙනගෙන තිබෙනවා වෙන්න පුළුවන් කියල මම ඔහුට කිව්වා. මම කතා කරද්දී, සීතල, කුසගින්න හා වෙහෙස නිසා මගේ ඇඟ වෙවුලන්න පටන් අරං තිබුණා.
පුදුමයකට මෙන්, රුසියානු නිලධාරියා මාත් එක්ක කේන්ති ගත්තේ නෑ. ඊට වෙනස්ව, ඔහු මගේ පිටට බ්ලැන්කට්ටුවක් දාලා, මට කරුණාවන්ත ආකාරයකින් සැලකුවා. ඔහුගේ බැහැදැකීමෙන් ටික දවසකට පස්සේ මාව වඩාත් පහසුකම් ඇති සිර කාමරයකට දැම්මා. දවස් කීපයකට පස්සේ, මාව ජර්මානු අධිකරණය යටතට භාර දුන්නා. ඒ වන විටත් මට නඩු තීන්දුව දීලා නොතිබුණ නිසා, වෙනත් සාක්ෂිකරුවන් පස්දෙනෙක් එක්ක සිර කාමරයක හවුලේ ඉඳීමේ කදිම වරප්‍රසාදය මම භුක්ති වින්දා. අධික කෲරකම් විඳීමෙන් පස්සේ, මගේ ආත්මික සහෝදරයන්ගේ ඇසුර ලැබීම මට මොනතරම් ප්රබෝධයක් ලබා දුන්නද!—ගීතාවලිය 133:1.
මම ඔත්තු බැලීමෙන් වරදකරුවෙක් වී සිටින බවට අධිකරණයේදී ප්‍රකාශ කරනු ලැබූ අතර, අවුරුදු හතරකට දණ්ඩනාගාරයකට යැව්වා. එය සැහැල්ලු සිර දඬුවමක් ලෙසයි සැලකුවේ. සමහර සහෝදරයන්ට අවුරුදු දහයකට වඩා වැඩි සිර දඬුවමක් නියම කළා. මාව යැව්වේ දැඩි ආරක්ෂාවක් යෙදූ දණ්ඩනාගාරයකටයි. මම හිතන විදිහට මීයෙකුටවත් සිරබාරයට ඇතුල් වෙන්නවත්, පිට වෙන්නවත් පුළුවන්කමක් තිබුණේ නෑ—එච්චරටම දැඩි ආරක්ෂාවක් යොදා තිබුණා. ඒත්, යෙහෝවාගේ උපකාරයෙන් සමහර නිර්භීත සහෝදරයන්ට සම්පූර්ණ බයිබලයක්ම හොරෙන් ඇතුළට ගේන්න පුළුවන් වුණා. ඒක කොටස්වලට කඩලා, තනි පොත්වලට වෙන් කරලා සිරකරුවන් වී සිටි සහෝදරයන් අතරේ බෙදාහැරියා.
අපි කොහොමද ඒක කළේ? ඒක සෑහෙන්න දුෂ්කර කාර්යයක්. අපි එකිනෙකාව මුණගැහුණේ සති දෙකකට වරක් අපිව නාන්න අරං ගියහම විතරයි. එක අවස්ථාවකදී, මම නනා ඉන්න කොට, සහෝදරයෙක් මගේ කනට කොඳුරලා කිව්වා ඔහු ඔහුගේ තුවායේ බයිබල් පිටු කීපයක් සඟවලා තියෙනවා කියලා. මම නෑවට පස්සේ, මගේ එක වෙනුවට ඔහුගේ තුවාය ඇදලා ගන්න මට තිබුණා.
සහෝදරයා රහසින් යමක් මට කියනවා ආරක්ෂක භටයන්ගෙන් කෙනෙක් දැක්ක අතර බැටන් පොල්ලකින් හොඳටම ඔහුට පහර දුන්නා. ඉක්මනින්ම තුවාය අරගෙන අනිත් සිරකරුවන්ට එක් වෙන්න මට සිද්ධ වුණා. හොඳ වෙලාවට බයිබල් පිටු එක්ක මාව අහු වුණේ නෑ. එහෙම වුණා නම්, අපේ ආත්මික පෝෂණ වැඩසටහන අනතුරට ලක් වෙන්න ඉඩ තිබුණා. අපි එවැනි අද්දැකීම් රාශියක් අද්දැක්කා. අපේ බයිබල් කියවීම සෑමවිටකම කරන්න සිද්ධ වුණේ හැංගිලා, සෑහෙන අවදානමකිනුයි. “සිහි ඇතිව, අවදිව ඉන්න” කියා ප්‍රේරිත පේතෘස් පැවසූ වදන් ඇත්තෙන්ම ඉතා සුදුසු වුණා.—1 පේතෘස් 5:8.
යම් හේතුවක් උඩ, අධිකාරීන් අපිව එක දණ්ඩනාගාරයකින් තවත් එකකට නිතර නිතර මාරු කරන්න තීරණය කළා. අවුරුදු හතරකට වැඩි කාලයක් පුරා, මාව වෙනස් වෙනස් දණ්ඩනාගාර දහයකට විතර මාරු කළා. ඒත්, මට හැමවිටම සහෝදරයන්ව සොයාගන්න පුළුවන් වුණා. මේ සහෝදරයන් සියලුදෙනා කෙරෙහි මා තුළ දැඩි ප්‍රේමයක් ඇති වුණ අතර, මාව මාරු කළ සෑම අවස්ථාවකදීම ඔවුන්ව හැර ගියේ ඉමහත් දුකකිනුයි.
අන්තිමේදී මාව ලයිප්සිග්වලට යැව්ව අතර එහිදී මාව සිරබාරයෙන් නිදහස් කළා. මාව නිදහස් කර හැරිය සිරබාර ආරක්ෂක භටයා මට සුබ පැතුවේ නෑ, නමුත්, ඒ වෙනුවට, “අපි ළඟදීම ආයිත් ඔබව දකිනවා” කියලා පැවසුවා. ඔහුගේ දුෂ්ට මනසට ඕන වුණේ ආයිත් මාව යකඩ පොලු අතරේ හිර කරන්නයි. මම ගීතාවලිය 124:2, 3 ගැන නිතර සිතනවා; එහි මෙහෙම කියනවා: “මනුෂ්‍යයන් අපට විරුද්ධව නැගිටි කල අපේ පක්ෂයෙහි සිටියේ [යෙහෝවා] නොවී නම්, ඔවුන්ගේ උදහස අපට විරුද්ධව ඇවුළුණු කල, ඔවුන් අප පණපිටින් ගිලගන්ට තිබුණේය.”
යෙහෝවා ඔහුගේ පක්ෂපාත සේවකයන්ව ගළවයි
දැන් මම යළිත් නිදහස් කෙනෙක්. මගේ නිවුන් සහෝදරී රූත් සහ සහෝදරි හ’ට ෂ්ලෙන්සෝග් ගේට්ටුව ළඟ මම එන තුරු බලා සිටියා. සිරබාරයේ ගත කළ මේ මුළු කාලය පුරාම, හැම මාසයකම හ’ට මට කුඩා කෑම පාර්සලයක් එවා තිබුණා. ඒ කුඩා පාර්සල් නොතිබුණා නම් මම සිරබාරයේදිම මැරිලා යන්න තිබුණා කියලා ඇත්තෙන්ම මම විශ්වාස කරනවා. යෙහෝවා ඇයව කරුණාවෙන් මතක් කරයි කියලා මම පතනවා.
මා නිදහස් වුණ දා සිට යෙහෝවා මට බොහෝ සේවා වරප්‍රසාදවලින් ආශීර්වාද කරලා තියෙනවා. මම යළිත් විශේෂ පුරෝගාමියෙක් හැටියට ජර්මනියේ ග්රෝනෝවල සේවය කළ අතර, චාරිකා අවේක්ෂකයෙක් හැටියට ජර්මනියේ ඇල්ප්ස්වලත් සේවය කළා. පසුව මිෂනාරිවරුන් සඳහා ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ 31වෙනි පංතියට ඇතුල් වෙන්න මට ආරාධනයක් ලැබුණා. අපේ උපාධිය දුන්නේ, 1958දී යැංකි ක්‍රීඩාංගණයේ පැවති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර එක්රැස්වීමේදීයි. මම අද්දැක්ක සමහර දේවල්, සහෝදර සහෝදරියන් විශාල පිරිසක් ඉදිරියේ විස්තර කරන්න මට වරප්‍රසාදය ලැබුණා.
උපාධියෙන් පස්සේ මම මිෂනාරිවරයෙක් හැටියට සේවය කිරීම සඳහා චිලී රට බලා ගියා. එහිදී යළිත් මම චිලී රටේ දකුණු කෙළවරේ චාරිකා අවේක්ෂකයෙක් හැටියට සේවය කළා—මාව ඇත්තෙන්ම පොළොවේ කෙළවරටම යැව්වා. මම 1962දී, අ.එ.ජ., ටෙක්සස්, සැන් ඇන්ටෝනියෝවල ප්‍රියකරු මිෂනාරිවරියක් වූ පැට්සි බොයිට්නාගල් එක්ක විවාහ වුණා. මගේ සහයට සිටි ඇය සමඟ මම යෙහෝවාට කළ අසිරිමත් අවුරුදු ගණනාවක සේවයෙන් ආස්වාදයක් ලැබුවා.
අවුරුදු 70කටත් වැඩිය ගෙවිලා තියෙන මගේ ජීවිත කාලය තුළ මම හුඟක් සතුටු මොහොතවල් සහ බොහෝ විපත්ති අද්දැක තිබෙනවා. ගීතිකාකාරයා මෙහෙම කිව්වා: “ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් [යෙහෝවා] ඒ සියල්ලෙන් ඔහු ගළව[න්නේය].” (ගීතාවලිය 34:19) චිලී රටේ තවදුරටත් ඉන්න කොට, 1963දී, පැට්සියි, මායි අපේ බිළිඳු දැරියගේ ඉතා දුඃඛදායක මරණයට මුහුණ දුන්නා. පස්සේ, පැට්සිත් හුඟාක් අසනීප වුණා; අපි ටෙක්සස්වලට ආවා. ඇයට අවුරුදු 43දී, ඇයත් ඉතා දුඃඛදායක තත්වයන්ට භාජන වෙලා මියගියා. මගේ ප්‍රියකරු බිරිඳව කරුණාවෙන් මතක් කරන්නයි කියලා මම නිතර යෙහෝවාට යාච්ඤා කරනවා.
දැන්, අසනීපව, මහලු වී සිටියත් ස්ථාවර පුරෝගාමියෙක් හැටියටත්, ටෙක්සස් බ්රේඩිවල වැඩිමහල්ලෙක් හැටියටත් සේවය කිරීමේ වරප්‍රසාදය භුක්ති විඳිනවා. ජීවිතය සැමවිටම පහසු වී නැති බවත්, මට ඉදිරියේදී තවත් පීඩාවලට මූණ දෙන්න සිදු විය හැකි බවත් ඇත්තයි. කෙසේවුවත්, ගීතිකාකරු මෙන් මට මෙහෙම කියන්න පුළුවන්: “[දෙවියනි,] මාගේ යෞවන කාලයේ පටන් ඔබ මට ඉගැන්වූ[වේය]; මේ දක්වා ඔබගේ ආශ්චර්ය ක්‍රියා ප්‍රකාශකෙළෙමි.”—ගීතාවලිය 71:17.
[23වන පිටුවේ පින්තූර]
(1) වැඩිමහල්ලෙක් සහ පුරෝගාමියෙක් හැටියට සේවය කරමින්, (2) අපේ විවාහයට කලින් පැට්සි එක්ක, (3) ෂ්නයිඩ’ මහත්මයාගේ පංතියේ, (4) රාවන්ස්බෲක්වලදී මියගිය මගේ අම්මා, ටෙරෙසා