ජීවත් වෙන්නේ අදටද නැත්නම්, සදාතනික අනාගතයක් වෙනුවෙන්ද?
“අප ගළවනු ලැබුවේ බලාපොරොත්තුවෙන්ය.”—රෝම 8:24.
1. එපිකියුරියානුවන් ඉගැන්වූයේ කුමක්ද? එවැනි දර්ශනයක් ඇතැම් ක්‍රිස්තියානීන්ට බලපෑවේ කොහොමද?
ප්‍රේරිත පාවුල් කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ ලිව්වා: “මළවුන්ගේ නැගිටීමක් නැතැයි නුඹලා අතරෙන් සමහරුන් කියන්නේ කොහොමද?” (1 කොරින්ති 15:12) ග්‍රීක් ඍෂිවරයෙක් වූ එපිකියුරස්ගේ විෂඝෝර දර්ශනය, පළමුවන සියවසේ ක්‍රිස්තියානීන් අතර යම් හානියක් සිදු කර තිබූ බව පේනවා. මේ අනුව “හෙට මැරෙන බැවින් කමු, බොමු” යන එපිකියුරියානු ඉගැන්වීමට පාවුල් අවධානය යොමු කළා. (1 කොරින්ති 15:32) මරණයෙන් පස්සේ ජීවිතයක් පිළිබඳ ඕනෑම බලාපොරොත්තුවක් හෙළා දුටු ඒ දර්ශනවාදියාගේ අනුගාමිකයන් විශ්වාස කළේ, මාංසික වින්දනය ජීවිතයේ එකම නැතහොත් ප්‍රධානතම යහපත බවයි. (ක්‍රියා 17:18, 32) එපිකියුරියානු දර්ශනය, පුද්ගලයා වටා ගෙතුණු, නින්දාශීලී, අවසානයේදී කෙලසන යමක් වුණා.
2. (අ) නැවත නැඟිටීම ප්‍රතික්ෂේප කිරීම එතරම් අනතුරුදායක දෙයක් වුණේ ඇයි? (ආ) පාවුල් කොරින්තියේ ක්‍රිස්තියානීන්ගේ ඇදහිල්ල ශක්තිමත් කළේ කොහොමද?
2 නැවත නැඟිටීම මෙලෙස ප්‍රතික්ෂේප කිරීම ගැඹුරු ලෙස බලපෑවා. පාවුල් මෙසේ තර්ක කළා: “මළවුන්ගේ නැගිටීමක් නැත්නම්, [ක්‍රිස්තුස්වත්] නැගුටුවනු නොලැ[බුවේය]. ඉඳින් [ක්‍රිස්තුස්] නැගුටුවනු නොලැ[බුවේ] නම්, අපගේ දේශනාකිරීම නිෂ්ඵලය, නුඹලාගේ ඇදහීමත් නිෂ්ඵලය. . . . [ක්‍රිස්තුස්] තුළ අපට බලාපොරොත්තුව තිබෙන්නේ මේ ජීවිතය ගැන පමණක් නම් අපි සියලු මනුෂ්‍යයන්ට වඩා අනුකම්පා ලැබිය යුත්තෝය.” (1 කොරින්ති 15:13-19) ඔව්, සදාතනික අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුව නැතුව, ක්‍රිස්තු ධර්මය “නිෂ්ඵල” වෙනවා. එයට අරමුණක් නොතිබෙයි. එහෙමනම්, මෙම මිථ්‍යාදෘෂ්ටික චින්තනයේ බලපෑම යටතේ කොරින්ති සභාව ගැටලුවල තෝතැන්නක් බවට පත් වී තිබීම පුදුමයක් නෙවෙයි. (1 කොරින්ති 1:11; 5:1; 6:1; 11:20-22) එමනිසා, නැවත නැඟිටීම කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරවන්න පාවුල් ඉලක්ක කළා. ප්‍රබල තර්ක, ශුද්ධ ලියවිලිමය උපුටා දැක්වීම් සහ උපහැරණ යොදාගනිමින්, නැවත නැඟිටීම ප්‍රබන්ධයක් නොව, සහතිකවම ඉටු වෙන්න යන යථාර්ථයක් බව කිසිම සැකයකින් තොරව ඔහු ඔප්පු කළා. මෙම පදනමට අනුව, ඔහුට පුළුවන් වුණා තම සෙසු ඇදහිලිවන්තයන්ට මෙසේ උනන්දු කරන්න: “[ස්වාමීන්] කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම [ස්වාමීන්ගේ] මෙහෙයෙහි වඩ වඩා පවතිව්.”—1 කොරින්ති 15:20-58.
“අවදිව සිටින්න”
3, 4. (අ) පේතෘස්ට අනුව, අන්තිම දවස්වලදී සමහරුන්ව යටපත් කරන්නේ මොන අනතුරුදායක ආකල්පයද? (ආ) අපි නිතරම අපිටම කුමක් ගැන සිහිගැන්විය යුතුද?
3 අදදින, බොහෝදෙනෙකුට අශුභවාදී, අදට පමණක් ජීවත් වීමේ ආකල්පය තිබෙනවා. (එපීස 2:2) එය හරියටම ප්‍රේරිත පේතෘස් පුරෝකථනය කළා වගෙයි. “පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන්ගැන්මේ සිට සියලු දේ තිබුණාක්මෙන් පවතින බැවින්, [ඔහුගේ] ඊමේ පොරොන්දුව කොතැන්හිදැයි සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ” ගැන ඔහු කතා කළා. (2 පේතෘස් 3:3, 4) සැබෑ නමස්කාරකයන් එවැනි මතයකට ගොදුරු වුණොත්, ඔවුන් ඇතැම්විට ‘අක්‍රියාශීලී වීමට හෝ අඵල බවට’ පත්වන්න පුළුවන්. (2 පේතෘස් 1:8, NW) අදදින දෙවිගේ සෙනඟගෙන් බහුතරයක් සම්බන්ධයෙන් මෙය සැබෑවක් නොවීම සතුටට කරුණක්.
4 වර්තමාන දුෂ්ට පිළිවෙළේ මතු පැමිණෙන අවසානය ගැන උනන්දුවක් දැක්වීම වැරදි දෙයක් නෙවෙයි. යේසුගේම ප්‍රේරිතයන් දැක්වූ උනන්දුව සිහියට නඟන්න: “ස්වාමීනි, මේ කාලයේදී ඔබ ඉශ්රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවාදෙන[වා]ද”? යේසු මෙසේ පිළිතුරු දුන්නා: “[පියා] තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.” (ක්‍රියා 1:6, 7) එම වදන්, ඔහු ඔලීව කන්දෙහි ඉදිරිපත් කළ මූලික පණිවිඩය ප්‍රකාශ කරනවා: “නුඹලාගේ ස්වාමියා කොයි දවසේ එන[වා]දැයි නුඹලා දන්නේ නැත. . . . නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එ[න්නේය].” (මතෙව් 24:42, 44) එම උපදේශය අපි නැවත නැවත අපිටම සිහිගන්වාගැනීම අවශ්‍යයි! ‘ටිකක් වේගය අඩු කරලා දේවල් වැඩිය බැරෑරුම් විදිහට ගණන් නොගත්තොත් හොඳයි’ යන ආකල්පය දැරීමේ පරීක්ෂාවට සමහරුන් ලක් වෙන්න පුළුවන්. එය මොනතරම් වරදක් වේවිද! “ගර්ජනාවේ පුත්‍රයෝ” වූ යාකොබ් සහ යොහන් ගැන සලකා බලන්න.—මාර්ක් 3:17.
5, 6. යාකොබ් සහ යොහන්ගේ ආදර්ශවලින් අපිට ගත හැකි පාඩම් මොනවාද?
5 යාකොබ් ඉතා ජ්වලිත ප්‍රේරිතයෙක් වුණ බව අපි දන්නවා. (ලූක් 9:51-55) ක්‍රිස්තියානි සභාව ස්ථාපිත වුණායින් පස්සේ, ඔහු ක්‍රියාශීලී වැඩකොටසක් දරන්න ඇති. ඒත් යාකොබ් ඒ වන විට තරමක් යෞවනව සිටිද්දී, පළමුවන හෙරොද් අග්‍රිපා ඔහුව මැරෙව්වා. (ක්‍රියා 12:1-3) තම ජීවිතය අනපේක්ෂිත ආකාරයකින් අවසන් වෙනවා දුටු යාකොබ්, එතරම් ජ්වලිතව සේවය කර තිබූ නිසාත්, තම දේවසේවයෙහි වෙර දරා තිබූ නිසාත්, ඔහුට කනගාටුවක් දැනුණා කියලා අපි හිතනවාද? කොහෙත්ම නැහැ! සාපේක්ෂ වශයෙන් කෙටි වූ ඔහුගේ ජීවිතය යෙහෝවාගේ සේවය සඳහා වැය කර තිබූ නිසා ඔහු සන්තෝෂව සිටි බව සහතිකයි. දැන්, අපෙන් කිසිවෙකු දන්නේ නැහැ අපේ ජීවිතය අනපේක්ෂිතව අවසන් වෙයිද නැද්ද කියන එක. (දේශනාකාරයා 9:11; සසඳන්න ලූක් 12:20, 21.) එනිසා යෙහෝවාට සේවය කරද්දී අපේ ජ්වලිතය සහ ක්‍රියාශීලීභාවය ඉහළ මට්ටමක පවත්වාගැනීම පැහැදිලිවම නැණවත් දෙයක්. මෙයාකාරයෙන් ඔහු සමඟ අපේ හොඳ නම පවත්වාගැනීමට අපිට පුළුවන් වන අතර, අපේ සදාතනික අනාගතය සැලකිල්ලට ගනිමින් දිගටම ජීවත් වෙන්න හැකි වෙයි.—දේශනාකාරයා 7:1.
6 යේසු “අවදිව සිටින්න” කියා ප්‍රබල ලෙස උනන්දු කළ විට, එහි සිටි ප්‍රේරිත යොහන් හා සම්බන්ධ පාඩමක් තිබෙනවා. (මතෙව් 25:13; මාර්ක් 13:37; ලූක් 21:34-36) යොහන් මෙය හෘදයට ගත් අතර, දශක ගණනාවක් උද්යෝගයෙන් සේවය කළා. ඇත්තෙන්ම, ඔහු අනික් සියලුම ප්‍රේරිතයන්ට වඩා වැඩි කාලයක් ජීවත් වුණ බව පෙනී යනවා. යොහන් සෑහෙන මහලුව සිටිද්දී, දශක ගණනාවක් පුරා කළ විශ්වාසවන්ත ක්‍රියාකාරකම් දෙස ආපසු හැරී බලන්න පුළුවන් තත්වයක සිටිද්දී, එය වරදක්, නොමඟ ගිය හෝ සමබර නොවූ ජීවිතයක් හැටියට ඔහු සැලකුවාද? නැහැ, කිසිසේත් නැහැ! ඔහු ඒ වන විටත් දිගටම අනාගතය දෙස උද්යෝගයෙන් බලා සිටියා. නැවත නැඟිටුවනු ලැබූ යේසු, “මම ඉක්මනින් එමි” කියා පැවසූ විට, යොහන් විගස ‘ආමෙන් ස්වාමිවූ යේසුස් එන්න’ කියා පිළිතුරු දුන්නා. (එළිදරව් 22:20) යොහන්, මන්දගාමී මෙන්ම සන්සුන් ‘සාමාන්‍ය ජීවිතයකට’ ආශා කරමින්, වර්තමානය වෙනුවෙන් ජීවත් වූ කෙනෙක් නොවූ බව සහතිකයි. ස්වාමියා කවදා පැමිණියත්, එතෙක් තමන්ගේ මුළු ජීවිතයෙන් සහ ශක්තියෙන් දිගටම සේවය කරන්න ඔහු අදිටන් කරගෙන සිටියා. එතකොට අපි?
සදාකාල ජීවනය කෙරෙහි විශ්වාසය සඳහා අත්තිවාරම්
7. (අ) සදාකාල ජීවනය පිළිබඳ බලාපොරොත්තුව “පූර්ව කාලවලට ප්‍රථමයෙන් පොරොන්දු” වුණේ කොහොමද? (ආ) සදාතනික ජීවිතය නමැති බලාපොරොත්තුව මත යේසු ආලෝකය හෙළුවේ කොහොමද?
7 සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව නිකම්ම මනුෂ්‍යයන් ප්‍රබන්ධ කළ සිහිනයක් හෝ මායාවක් නොවන බව ස්ථිර කරගන්න. තීතස් 1:1, 2 පවසන පරිදි, අපේ දේවභක්තිය පදනම් වී තිබෙන්නේ “බොරු නොකියන [දෙවි] පූර්ව කාලවලට ප්‍රථමයෙන් පොරොන්දුවුණාවූ . . . සදාකාල ජීවනයේ බලාපොරොත්තුව[ක්]” මතයි. සියලුම කීකරු මනුෂ්‍යයන් සදාකල් ජීවත් වීම, දෙවිගේ මුල් අරමුණ වුණා. (උත්පත්ති 1:28) මෙම අරමුණට බාධා කරන්න කිසිම දෙයකට, ආදම් සහ ඒවගේ කැරැල්ලට පවා බැහැ. උත්පත්ති 3:15හි වාර්තා වී ඇති පරිදි, මනුෂ්‍යවර්ගයා පිට පමුණුවනු ලැබූ සෑම හානියක්ම ඉවත් කරන්න යන “වංශය[ක්]” ගැන දෙවි වහාම පොරොන්දු වුණා. “වංශය” නොහොත් මෙසියස්, ඒ කියන්නේ යේසු ආ විට, ඔහු සදාතනික ජීවිතය නමැති බලාපොරොත්තුව තම මූලික ඉගැන්වීම්වලින් එකක් කරගත්තා. (යොහන් 3:16; 6:47, 51; 10:28; 17:3) තම පරිපූර්ණ ජීවිතය මිදීමේ මිලයක් හැටියට පුද කිරීමෙන්, ක්‍රිස්තුස් මනුෂ්‍යවර්ගයා කෙරෙහි සදාකාල ජීවනය දානය කිරීමේ නීත්‍යනුකූල අයිතිය ලබාගත්තා. (මතෙව් 20:28) ඔහුගේ ගෝලයන්ගෙන් කිහිපදෙනෙක්, සම්පූර්ණ සංඛ්‍යාව ගත්තොත් 1,44,000දෙනෙක්, ස්වර්ගයෙහි සදාකල් ජීවත් වෙයි. (එළිදරව් 14:1-4) මේ අනුව වරක් මරණීය වූ මනුෂ්‍යයන් සමහරෙක් ‘අමරණීයභාවයට පැමිණෙනවා.’—1 කොරින්ති 15:53.
8. (අ) “අමරණීයභාවය” කියන්නේ කුමක්ද? එමෙන්ම යෙහෝවා එය 1,44,000දෙනාට දානය කරන්නේ ඇයි? (ආ) යේසු ‘වෙනත් බැටළුවන්’ සඳහා ඉදිරිපත් කළේ මොන බලාපොරොත්තුවද?
8 “අමරණීයභාවය” කියන්නේ කිසිදාක නොමැරී සිටීමට වඩා වැඩි යමක්. “පහ නොවන ජීවිතයක [බලය, NW]” ඊට අයත් වෙනවා. (හෙබ්‍රෙව් 7:15; සසඳන්න එළිදරව් 20:6.) ඒත්, එතරම් පුදුමසහගත තිළිණයක් දානය කිරීමෙන් දෙවි ඉටු කරන්නේ කුමක්ද? දෙවිගේ මැවිලිවලින් කිසිවෙක් කෙරෙහි විශ්වාසය තබන්න බැරි බවට වූ සාතන්ගේ අභියෝගය සිහියට නඟන්න. (යෝබ් 1:9-11; 2:4, 5) ඒ 1,44,000දෙනාට අමරණීයභාවය දානය කිරීමෙන්, සාතන්ගේ අභියෝගයට එතරම් කැපීපෙනෙන ආකාරයකින් පිළිතුරු දී තිබෙන මෙම කණ්ඩායම කෙරෙහි තම සම්පූර්ණ නිසැකකම දෙවි අඟවනවා. ඒත් සෙසු මනුෂ්‍යවර්ගයා ගැන මොනවද කියන්න තිබෙන්නේ? මෙම රාජ්‍ය උරුමක්කාරයන්ගේ ‘කුඩා රැළේ’ මුල් සාමාජිකයන්ට යේසු පැවසුවේ, ඔවුන් “ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසනවල හිඳි[න]” බවයි. (ලූක් 12:32; 22:30) මෙයින් අඟවන්නේ ඔහුගේ රාජ්‍යයෙහි යටත්වැසියන් වශයෙන් වෙනත් අය පොළොව මත සදාකල් ජීවනය ලබාගන්නා බවයි. මෙම ‘වෙනත් බැටළුවන්ට’ අමරණීයභාවය නුදුන්නත්, ඔවුන්ට “සදාකාල ජීවනය” ලැබෙනවා. (යොහන් 10:16; මතෙව් 25:46) මේ අනුව හැම ක්රිස්තියානියෙකුගේම බලාපොරොත්තුව සදාකාල ජීවනයයි. එය මායාවක් නෙවෙයි, නමුත් “බොරු නොකියන [දෙවි]” බැරෑරුම් ලෙස පොරොන්දු වී ඇති දෙයක් මෙන්ම, යේසුගේ අනර්ඝ රුධිරයෙන් ගෙවා තිබෙන දෙයක්.—තීතස් 1:1.
ඈත අනාගතයේදීද?
9, 10. අපි අන්තිමයට ආසන්න බවට තිබෙන්නේ මොන පැහැදිලි ඇඟවීම්ද?
9 අපි “අන්තිම දවස්වල[ට]” කිසිම සැකයක් නැතුව පිවිස ඇති බව “කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල්[වලින්]” [NW] අඟවනවා කියා ප්‍රේරිත පාවුල් පුරෝකථනය කළා. ප්‍රේමයෙන් තොර, කෑදර, තමාවම පිනවන, අභක්තික තත්වයක් තුළට අප අවට මිනිස් සමාජය ඇද වැටෙද්දී, මෙම දුෂ්ට ලෝක පිළිවෙළ කෙරෙහි තම විනිශ්චයන් ක්‍රියාත්මක කිරීමට යෙහෝවාගේ දවස වේගයෙන් එළඹෙන බව අපිට තේරෙන්නේ නැද්ද? සාහසිකකම සහ වෛරය ඔඩු දුවද්දී, “නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය” යන පාවුල් තවදුරටත් පැවසූ වදන්වල ඉටුවීම අප වටා හැමතැනම අපි දකින්නේ නැද්ද? (2 තිමෝති 3:1-5, 13) ඇතමුන් සමහරවිට ශුභවාදීව “සමාදානයය, අනතුරක් නැත” කියා මොරගැසුවත්, “ගර්භිණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙ[න]” බැවින් සමාදානය සඳහා තිබෙන හැම අපේක්ෂාවක්ම වාෂ්ප වී යයි. අපේ කාලවල අර්ථය සම්බන්ධයෙන්, අපිව අන්ධකාරයෙහි තබා නැහැ. එබැවින්, “අවදිව මත් නොවී [සිහි ඇතුව, NW] සිටිමු.”—1 තෙසලෝනික 5:1-6.
10 තවදුරටත්, අන්තිම දවස් “ස්වල්ප කාලයක්” පවතින බව බයිබලය අඟවනවා. (එළිදරව් 12:12; සසඳන්න 17:10.) පෙනෙන විදිහට එම ‘ස්වල්ප කාලයෙන්’ වැඩිහරියක් ගෙවී ගොස් තිබෙනවා. උදාහරණයක් හැටියට, දානියෙල්ගේ අනාවැකිය, මෙම සියවස දක්වා පැවත තිබෙන “දකුණු දිශාවේ රජ” සහ “උතුරු දිශාවේ රජු” අතර ගැටුම නිවැරදිව විස්තර කරනවා. (දානියෙල් 11:5, 6) ඉටුවීමට ඉතිරි වී තිබෙන එකම දේ තමයි, දානියෙල් 11:44, 45හි විස්තර කර තිබෙන “උතුරු දිශාවේ රජු[ගේ]” අවසාන ප්‍රහාරය.—මෙම අනාවැකියෙහි සාකච්ඡාවක් සඳහා, මුරටැඹ 1987 ජූලි 1, (ඉංග්‍රීසියෙන්) සහ 1993 නොවැම්බර් 1 බලන්න.
11. (අ) මතෙව් 24:14 කොතරම් දුරට ඉටු වී තිබෙනවාද? (ආ) මතෙව් 10:23හි වාර්තා වී තිබෙන යේසුගේ වදන්වලින් අඟවන්නේ කුමක්ද?
11 “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ජනාවාස පොළොව මුළුල්ලෙහි දේශනා කරනු ලබන්නේය; තවද එවිට අන්තිමය පැමිණෙනු ඇත” යන යේසුගේ පුරෝකථනයත් තිබෙනවා. (මතෙව් 24:14, NW) අදදින, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, තම වැඩය රටවල්, දූපත් සමූහ සහ ප්‍රදේශ 233ක කරගෙන යනවා. තවමත් අත නොගැසූ බලප්‍රදේශ තිබෙන බව සැබෑවක් වුණත්, සමහරවිට යෙහෝවාගේ නියමිත කාලයේදී, ප්‍රස්තාවේ දොරටුවක් විවෘත වේවි. (1 කොරින්ති 16:9) කොහොම වුණත්, මතෙව් 10:23හි වාර්තා වී තිබෙන යේසුගේ වදන් බැරෑරුම් ලෙස කල්පනා කිරීමට තුඩු දෙනවා: “මනුෂ්‍ය පුත්‍රයා එනතෙක් නුඹලා ඉශ්‍රායෙල්ගේ සියලු නුවරවල ඇවිද කෙළවර නොකරන්නහුය.” සහතික වශයෙන්ම ශුභාරංචිය පොළොව පුරා නිවේදනය කරනු ලැබුවත්, යේසු වධකයා හැටියට ‘එන්න’ කලින් රාජ්‍ය පණිවිඩය සහිතව පොළොවේ සෑම අගක් කොණක් කරාම අපි පෞද්ගලිකව ළඟා වෙන්නේ නැහැ.
12. (අ) එළිදරව් 7:3 යොමු දක්වන්නේ මොන ‘මුද්‍රා කිරීමටද?’ (ආ) පොළොව මත ආලේප ලත් අයගේ සංඛ්‍යාව අඩුවීමෙන් අර්ථවත් වන්නේ කුමක්ද?
12 “අපේ [දෙවිගේ] මෙහෙකරුවන්ගේ නළල්වල මුද්‍රා තබන තුරු,” විනාශයේ “සතරදිග හුළඟ” අල්ලාගන්නා බව කියන එළිදරව් 7:1, 3හි සඳහන් පාඨය සලකා බලන්න. මෙය යොමු දක්වන්නේ 1,44,000දෙනාට අයත් පිරිස ස්වර්ගික කැඳවීම ලබද්දී සිදු වන ප්‍රථම මුද්‍රා කිරීමට නෙවෙයි. (එපීස 1:13, 14) එය යොමු දක්වන්නේ, ඔවුන් ‘අපේ දෙවිගේ’ පරීක්ෂාවලින් සමත්, විශ්වාසවන්ත “මෙහෙකරුවන්” වශයෙන්, නොවෙනස් වන ආකාරයකින් හඳුන්වනු ලබන අවස්ථාව වන අවසාන මුද්‍රා කිරීමටයි. පොළොව මත තවමත් ජීවත් වන දෙවිගේ අව්‍යාජ ආලේප ලත් පුත්‍රයන්ගේ සංඛ්‍යාව බොහෝ සෙයින් අඩු වී තිබෙනවා. තවදුරටත්, මහත් පීඩාවේ මුල් අදියර “ලුහුඬුකරනු” ලබන්නේ, “තෝරාගනු ලැබූවන් උදෙසා” බව බයිබලය පැහැදිලිවම ප්‍රකාශ කරනවා. (මතෙව් 24:21, 22) ආලේප ලත් අය බවට කියා සිටින අයගෙන් වැඩිහරියක් සෑහෙන මහලු අයයි. නැවතත්, අන්තිමය අතළඟ බව මෙයින් ඇඟවෙන්නේ නැද්ද?
විශ්වාසවන්ත මුරකාරයෙක්
13, 14. මුරකාර පංතියේ වගකීම කුමක්ද?
13 ඒ අතර කාලයේදී, ‘විශ්වාසවන්ත දාසයා’ දෙන මඟ පෙන්වීමට අවනත වීම අපේම යහපතට හේතු වෙයි. (මතෙව් 24:45) අවුරුදු සියයක කාලයක් ඉක්මවමින්, නවීන-දින “දාසයා” “මුරකාරයෙකු” වශයෙන් විශ්වාසවන්තව සේවය කර තිබෙනවා. (එසකියෙල් 3:17-21) මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 1984 ජනවාරි 1 කලාපය මෙසේ පැහැදිලි කළා: “බයිබල් අනාගතවාක්‍යය ඉටුවීමක් වශයෙන් පොළොවෙහි සිද්ධීන් වර්ධනය වන ආකාරය මෙම මුරකාරයා නිරීක්ෂණය කරමින්, ‘ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ . . . මහත් පීඩාවක්’ පැමිණීම ගැන අනතුරු අඟවමින්, ‘වඩා හොඳ යම් කිසිවක ශුභාරංචියක්’ ප්‍රචාරය කරයි.”—මතෙව් 24:21; යෙසායා 52:7, NW.
14 මතක තියාගන්න: ‘දකින දේ පමණක් දැන්වීම’ මුරකාරයාගේ කාර්යයයි. (යෙසායා 21:6-8, NW) බයිබල් කාලවලදී මුරකාරයා, තර්ජනයක් විය හැකි දෙය පැහැදිලිව හඳුනාගන්න බැරි තරම් දුරක තිබෙද්දී පවා අනතුරු ඇඟවීමක් කරනවා. (2 රාජාවලිය 9:17, 18) ඒ කාලයේදී බොරු අනතුරු ඇඟවීම් නිසැකවම කරන්න ඇති. ඒත් හොඳ මුරකාරයෙක් ලජ්ජාවට පත් වෙයි යන බියෙන් වැළකී සිටින්න යන්නේ නැහැ. ඔබේ ගෙය ගිනි ගත්තොත්, එය බොරු අනතුරු ඇඟවීමක් විය හැකියයි සිතා ගිනි නිවන භටයන් එන්න අපොහොසත් වුණොත් ඔබට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? ඔව්, එවැනි මනුෂ්‍යයන් අනතුරක් තිබෙන බවට වූ ඕනෑම සංඥාවකට විගස ප්‍රතික්‍රියා කරයි කියා අපි අපේක්ෂා කරනවා! ඒ හා සමාන ආකාරයකින්, තත්වය නිසා එසේ කිරීම යෝග්‍ය බව පෙනෙද්දී, මුරකාර පංතිය නිර්භීතව කතා කර තිබෙනවා.
15, 16. (අ) අනාවැකි පිළිබඳ අපේ අවබෝධයේ සකස් කිරීම් කරන්නේ ඇයි? (ආ) ඇතැම් අනාවැකි ගැන වැරදිසහගත අවබෝධයක් තිබුණු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ගෙන් අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද?
15 කොහොම වුණත්, සිද්ධීන් වර්ධනය වෙද්දී, අනාවැකි පිළිබඳ අපේ අවබෝධය තවත් පැහැදිලි වී තිබෙනවා. දිව්‍යමය අනාවැකි ඒවායේ ඉටුවීමට කලින් සම්පූර්ණයෙන්ම තේරුම්ගන්නා අවස්ථා දුර්ලභයි, නැතහොත් තේරුම්ගන්නම බැරි බව ඉතිහාසය පෙන්නුම් කරනවා. ඔහුගේ වංශය “තමන්ට අයිති නැති දේශයෙක්හි විදේශි” වෙන්න යන්නේ කොපමණ කාලයකටද කියා දෙවි ආබ්‍රම්ට හරියටම කිව්වා: එනම්, අවුරුදු 400ක්. (උත්පත්ති 15:13) කොහොම වුණත්, මෝසෙස් නියම කාලයට කලින් මිදුම්කරුවෙක් හැටියට ඉදිරිපත් වුණා.—ක්‍රියා 7:23-30.
16 ඒ වගේම මෙසියානු අනාවැකිත් සැලකිල්ලට ගන්න. දැන් ආපසු හැරී බලද්දී, මෙසියස්ගේ මරණය සහ නැවත නැඟිටීම පුරෝකථනය කර තිබූ බව සක් සුදක් සේ පැහැදිලිව පෙනෙනවා. (යෙසායා 53:8-10) ඒත්, යේසුගේ ගෝලයන්ට පවා මෙම කාරණය තේරුම්ගන්න බැරි වුණා. (මතෙව් 16:21-23) ක්‍රිස්තුස්ගේ අනාගත ප·රූ·සිʹආ නැතහොත් ‘පැමිණසිටීමේදී’ දානියෙල් 7:13, 14 ඉටු වෙයි කියා ඔවුන්ට පෙනී ගියේ නැහැ. (මතෙව් 24:3, NW) එමනිසා, ඔවුන් යේසුගෙන්: “ස්වාමීනි, මේ කාලයේදී ඔබ ඉශ්රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවාදෙන[වා]දැයි” ඇසූ විට, ඔවුන්ගේ ගණනය කිරීම අවුරුදු 2,000කින් පමණ වැරදී තිබුණා. (ක්‍රියා 1:6) ක්‍රිස්තියානි සභාව හොඳින් ස්ථාපිත වුණායින් පස්සේ පවා, වැරදිසහගත අදහස් සහ බොරු අපේක්ෂා නිතර නිතර ඉස්මතු වුණා. (2 තෙසලෝනික 2:1, 2) සමහර අයට ඇතැම්විට වැරදිසහගත මත තිබුණත්, පළමුවන සියවසේ එම ඇදහිලිවන්තයන්ගේ වැඩයට යෙහෝවා නිසැකවම ආශීර්වාද කළා.
17. ශුද්ධ ලියවිල්ල පිළිබඳ අපේ අවබෝධය සම්බන්ධයෙන් කරන සකස් කිරීම් ගැන අපිට මොන වගේ මතයක් තිබිය යුතුද?
17 අදදින මුරකාර පංතියටත් වරින් වර එහි මතයන් තවත් පැහැදිලි කිරීමට සිදු වී තිබෙනවා. කොහොම වුණත්, යෙහෝවා ‘විශ්වාසවන්ත දාසයාට’ ආශීර්වාද කර තිබෙනවාද කියා කිසිවෙකුට සැක කරන්න පුළුවන්ද? ඒ හැර, ඒවායෙහි අවස්ථා සම්බන්ධයෙන් බැලුවොත්, කර තිබෙන සකස් කිරීම් වැඩිහරියක් සාපේක්ෂ වශයෙන් කුඩා ඒවා නෙවෙයිද? බයිබලය පිළිබඳව අපේ මූලික අවබෝධය වෙනස් වී නැහැ. අපි අන්තිම දවස්වල ජීවත් වෙනවායයි කියන අපේ ස්ථිර විශ්වාසය මින් පෙර කිසිදාකටත් වඩා ශක්තිමත්!
සදාතනික අනාගතයක් වෙනුවෙන් ජීවත් වීම
18. අදට පමණක් ජීවත් වීමෙන් අපි වැළකී සිටිය යුත්තේ ඇයි?
18 ‘හෙට මැරෙන නිසා, කමු, බොමු’ කියා ලෝකය ඇතැම්විට කිව්වත්, මෙය අපේ ආකල්පය නොවිය යුතුයි. ඔබට සදාතනික අනාගතයක් සඳහා වැඩ කරන්න පුළුවන්කම තිබෙද්දී, දැන් ජීවිතයේ ආස්වාදයන් ලබාගන්න නිෂ්ඵල ලෙස වෑයම් කරන්නේ මොකටද? ස්වර්ගයේ අමරණීය ජීවිතයක් හෝ වේවා, පොළොව මත සදාකාල ජීවනය හෝ වේවා, ඒ බලාපොරොත්තුව සිහිනයක්වත්, මායාවක්වත් නෙවෙයි. එය “බොරු නොකියන” දෙවි පොරොන්දු වන යථාර්ථයක්. (තීතස් 1:1) අපේ බලාපොරොත්තුවේ ඉටුවීම අතළඟ බවට සාක්ෂි කන්දරාවක් තිබෙනවා! “ඉතිරි වී තිබෙන කාලය අඩුය.”—1 කොරින්ති 7:29, NW.
19, 20. (අ) රාජ්‍යය වෙනුවෙන් අපි කර තිබෙන පරිත්‍යාගයන් යෙහෝවා සලකන්නේ කොහොමද? (ආ) සදාකාලය කෙරෙහි නෙත් යොමු කරමින් අපි ජීවත් විය යුත්තේ ඇයි?
19 දැනටමත් මෙම පිළිවෙළ බොහෝදෙනෙක් හිතුවාටත් වඩා පැවතී තිබෙන බව ඇත්තයි. මේ බව කලින් දැන සිටියා නම්, ඔවුන් ඇතැම්විට යම් පරිත්‍යාගයන් නොකරන්න ඉඩ තිබුණු බව කිහිපදෙනෙකුටම දැන් හැඟෙනවා ඇති. ඒත් එසේ කිරීම ගැන යමෙක් පසුබට නොවිය යුතුයි. එයට හේතුව, ක්‍රිස්තියානියෙකු වීමේ මූලික අංගයක් වන්නේ පරිත්‍යාගයන් කිරීමයි. ක්‍රිස්තියානීන් ‘තමුන්වම නොසලකා හරිනවා.’ (මතෙව් 16:24) දෙවිව සතුටු කරන්න අපි දැරූ වෑයම් නිෂ්ඵල වී තිබෙනවා කියා අපිට කිසිදාක නොහැඟිය යුතුයි. යේසු මෙසේ පොරොන්දු වුණා: “මා නිසාද ශුභාරංචිය නිසාද ගෙය හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ මවු හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරිය කවරෙක් නුමුත්, දැන් මේ කාලයේදී . . . සියක් ගුණයක් හා, අනාගත ලෝකයේදී සදාකාල ජීවනයද නොලබා නොසිටින්නේය.” (මාර්ක් 10:29, 30) අද ඉඳන් තව අවුරුදු දහසක් ගත්තොත්, ඔබේ රැකියාව, නිවස හෝ බැංකු ගිණුම කොතරම් වැදගත් දෙයක් හැටියට පෙනේවිද? ඒ වුණත්, යෙහෝවා සඳහා ඔබ කර තිබෙන පරිත්‍යාගයන් දැන් ඉඳන් අවුරුදු දශලක්ෂයක් ගත වෙද්දිත්—අවුරුදු කෝටි සියයක් වෙද්දිත්, අර්ථවත් වේවි! “මක්නිසාද නුඹලාගේ වැඩය . . . මතකනැතිකරන්ට [දෙවි] අධර්මිෂ්ඨ නැත.”—හෙබ්‍රෙව් 6:10.
20 එමනිසා, “පෙනෙන දේ නොව, නොපෙනෙන දේ” මතට නෙත් යොමු කරමින්, සදාකාලය දෙනෙත් ඉදිරියෙහි තබාගනිමු; “මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.” (2 කොරින්ති 4:17, 18) ප්‍රොපේත හබක්කුක් මෙසේ ලිව්වා: “දර්ශනය නියම කාලය දක්වා තව ප්රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත.” (හබක්කුක් 2:3) අන්තිමය ‘ගැන බලාසිටීම,’ අපි අපේ පෞද්ගලික සහ පවුලේ වගකීම් හසුරුවන ආකාරයට බලපාන්නේ කොහොමද? මෙම ප්‍රශ්න අපේ මීළඟ ලිපිය සාකච්ඡා කරයි.
පුනරීක්ෂණය සඳහා කරුණු
◻ මේ දේවල පිළිවෙළේ අවසානය පිළිබඳව පෙනෙන ප්‍රමාදය අදදින කිහිපදෙනෙකුට බලපා තිබෙන්නේ කොහොමද?
◻ අපේ සදාකාල ජීවනය පිළිබඳ බලාපොරොත්තුවේ පදනම කුමක්ද?
◻ රාජ්‍ය කටයුතු උදෙසා අප කර තිබෙන පරිත්‍යාගයන් අපි සැලකිය යුත්තේ කොහොමද?
[15වන පිටුවේ පින්තූරය]
අන්තිමය පැමිණෙන්න කලින්, සමස්ත ලෝක දේශනා කිරීම අවසන් කළ යුතුයි