නරක දේවල් වාර්තා කළ යුත්තේ ඇයි?
“කාරණයක් හෙළිකරන්නා මිනිසුන්ගේ සතුරෙක් බවට පත් වෙනවා” කියා බටහිර අප්‍රිකාවේ ජීවත් වන සමහර අය අතර කියමනක් තිබෙනවා. තම බාල සහෝදරිය සමඟ ව්‍යභිචාරයේ යෙදීම සම්බන්ධයෙන් ඕලූ තමාගේ වැඩිමල් සහෝදරයාට චෝදනා කළ විට, ඕලූට සිදු වූයේ එයයි. “ඔයා බොරුකාරයෙක්!” කියා ඔහුගේ සහෝදරයා මහ හඬින් කෑගැසුවා. ඉන්පසු ඔහු ඕලූට දරුණු ලෙස පහර දී, නිවසින් එළවා දැම්මා; ඕලූගේ ඇඳුම් පැළඳුම් සියල්ලම පුලුස්සා දැම්මා. ගම්වාසීන් වැඩිමල් සහෝදරයාගේ පැත්ත ගත්තා. ඔහුට තවදුරටත් ගමේ ඉන්න දුන්නේ නැහැ; ඕලූට ගමෙන් පිට වෙලා යන්න සිදු වුණා. ඕලූ කියූ දේ ඇත්තක් කියල ගමේ මිනිස්සු තේරුම්ගත්තේ, ඒ ගැහැනු ළමයා ගැබ්ගෙන තිබෙන බව දැනගත් විටයි. වැඩිමල් සහෝදරයා තමාගේ වරද පිළිගත්තා; ඕලූව නැවත කරුණාවෙන් පිළිගත්තා. සමහරවිට දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුණා. ඕලූව මරන්න ඉඩ තිබුණා.
යෙහෝවාට ප්‍රේම නොකරන අය, තමන්ගේ වැරදි එළිදරව් වෙනවා දකින්න කැමති නැති බව පැහැදිලියි. පාපතර මිනිස් නැඹුරුවාව වන්නේ, තරවටුවට විරෝධය දැක්වීම හා එය දෙන ඕනෑම කෙනෙකු සමඟ අමනාප වීමයි. (යොහන් 7:7, සසඳන්න.) අනිත් අයගේ වැරදි නිවැරදි කිරීමට අයිතිය තිබෙන අයට ඒවා හෙළි කිරීමට අවස්ථාව පැමිණි විට, හුඟදෙනෙක් කළුගලක් වගේ නිශ්ශබ්දව සිටීම ගැන එතරම් පුදුම විය යුතු නැහැ.
තරවටු කිරීමේ ප්‍රයෝජන අගය කිරීම
කොහොමවුණත්, තරවටු කිරීම සම්බන්ධයෙන් යෙහෝවාගේ සෙනඟ අතර තිබෙන්නේ වෙනස් ආකල්පයක්. දේවභක්තික පුරුෂයන් හා ස්ත්‍රීන්, සභාව තුළ වැරදි කරන අයට උපකාර කිරීම සඳහා යෙහෝවා පිළියෙළ කර තිබෙන විධිවිධානය ගැඹුරින් අගය කරනවා. එවැනි හික්මවීම් ඔවුන් සලකන්නේ, ඔහුගේ ප්‍රේමනීය කරුණාවේ ප්‍රකාශයක් හැටියටයි.—හෙබ්‍රෙව් 12:6-11.
දාවිත් රජුගේ ජීවිතයේ සිදු වූ එක්තරා සිද්ධියක් මගින් මෙය නිදර්ශනය කළ හැකියි. ඔහු තමාගේ යෞවන කාලයේ සිටම ධර්මිෂ්ඨ මිනිසෙක් වුණත්, එක්තරා අවස්ථාවකදී ඔහු බරපතළ වරදක් කළා. මුලින්ම, ඔහු දුරාචාරයේ යෙදුණා. ඊළඟට, ඔහුගේ වරද වසාගැනීමට උත්සාහ කරමින්, ඔහු සමඟ දුරාචාරයේ යෙදුණු ස්ත්‍රියගේ පුරුෂයාව මරන්න සැලසුම් කළා. නමුත් යෙහෝවා දාවිත්ගේ පාපය අනාගතවක්තෘ නාතාන්ට හෙළි කළා; ඔහු නිර්භීතව මේ කාරණය දාවිත් ඉදිරියෙහි හෙළි කළා. බැටළුවන් බොහොමයක් සිටි ධනවත් මිනිසෙක් තමාගේ මිතුරාට සංග්‍රහ කිරීම සඳහා දුප්පත් මිනිසෙකු ආදරයෙන් රැකබලාගත් එකම බැටළු පැටවාව මරා දැමීම ගැන කළ යුත්තේ කුමක්ද කියා ප්‍රබල නිදර්ශනයක් යොදාගනිමින් නාතාන් දාවිත්ගෙන් ඇසුවා. කලින් එඬේරෙකුව සිටි දාවිත්ගේ කෝපය ඇවිස්සුණා. “මේක කළ මිනිහා මැරුම්කෑ යුතුය” කියා ඔහු පැවසුවා. අනතුරුව නාතාන් මෙසේ කියමින් මේ නිදර්ශනය දාවිත්ට අදාළ කර දැක්වුවා: “ඒ මනුෂ්‍යයා නුඹය.”—2 සාමුවෙල් 12:1-7.
දාවිත් නාතාන් සමඟ කෝපයෙන් කටයුතු කළේ නැහැ; ඔහු නිදහසට කරුණු කියන්නවත් නාතාන්ව දෝෂාරෝපණයට ලක් කරන්නවත් උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට, නාතාන් කළ තරවටු කිරීම ඔහුගේ හෘදය සාක්ෂියට තදින්ම කාවැදුණා. ඔහු හදවතින්ම මෙසේ වරද පිළිගත්තා: “මම [යෙහෝවාට] විරුද්ධව පව්කෙළෙමි.”—2 සාමුවෙල් 12:13.
දිව්‍යමය හික්මවීමක් සමඟින් නාතාන් දාවිත්ගේ පාපය ගැන හෙළි කිරීම මගින් යහපත් ප්‍රතිඵල අත් වුණා. තමා කළ වරද නිසා අද්දුටු ප්‍රතිවිපාකවලින් දාවිත් රජු ආරක්ෂා නොවුවත්, ඔහු පසුතැවිලි වී යෙහෝවා සමඟ සාමකාමී සබඳතාවක් ඇති කරගත්තා. එවන් තරවටු කිරීමක් ගැන දාවිත්ට හැඟුණේ කොහොමද? ඔහු මෙසේ ලිව්වා: “ධර්මිෂ්ඨයා මට පහරදේවා, ඒක කරුණාවක් වන්නේය; ඔහු මට තරවටුකෙරේවා, එය හිස පිට තෙල් මෙන් වන්නේය; මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා.”—ගීතාවලිය 141:5.
අපේ කාලයේදීත් යෙහෝවාගේ සේවකයන්, ඇතැම්විට වසර ගණනාවක් විශ්වාසවන්තව සේවය කර තිබෙන අය පවා බරපතළ වැරදිවලට හසු විය හැකියි. වැඩිමහල්ලන්ට උපකාර කළ හැකි බව පිළිගනිමින්, බොහෝදෙනෙක් උපකාරය සොයා ඔවුන් වෙතට එළඹීමට මුල් පියවර ගන්නවා. (යාකොබ් 5:13-16) නමුත් සමහරවිට දාවිත් රජු කළාක් මෙන් වැරදි කරන්නා තමාගේ පාපය සැඟවීමට උත්සාහ කළ හැකියි. සභාව තුළ සිදු වන බරපතළ වරදක් ගැන අපි දැනගත්තා නම්, අපි කළ යුත්තේ මොනවාද?
එය කාගේ වගකීමද?
යම් බරපතළ වරදක් ගැන වැඩිමහල්ලන් දැනගත් විට, ඔවුන් එම වරදට සම්බන්ධ වී සිටින තැනැත්තාට අවශ්‍ය උපකාරය හා නිවැරදි කිරීම සපයනවා. සභාව තුළ වැරදි කරන්නන් සම්බන්ධයෙන් විනිශ්චය කිරීම සභා වැඩිමහල්ලන්ගේ වගකීමක්. සභාවේ ආත්මික තත්වය ගැන සුපරීක්ෂාකාරිව සිටිමින්, අනුවණ නැතහොත් වැරදි පියවරක් ගන්නාවූ ඕනෑම කෙනෙකුට උපකාර කරමින් ඔවුන් දැනමුතුකම් දෙනවා.—1 කොරින්ති 5:12, 13; 2 තිමෝති 4:2; 1 පේතෘස් 5:1, 2.
ඒත් ඔබ වැඩිමහල්ලෙක් නොවුවත්, තවත් ක්‍රිස්තියානියෙක් හා සම්බන්ධ සමහර බරපතළ වැරදි ගැන ඔබට දැනගන්න ලැබෙනවා නම්, එහිදී කළ යුතු දේ ගැන කියන්න පුළුවන් මොනවාද? යෙහෝවා ඉශ්‍රායෙල් ජාතියට දුන් ව්‍යවස්ථාවෙන් මඟ පෙන්වීම් සොයාගන්න පුළුවන්. ඇදහිල්ල අත්හරින්නන්ගේ ක්‍රියා, රාජද්‍රෝහිත්වය, මිනිමැරුම් හෝ වෙනත් බරපතළ අපරාධ යනාදිය ගැන යම් පුද්ගලයෙක් සාක්ෂිකාරයෙක්ව සිටියා නම්, එය වාර්තා කිරීමත් තමා දැනසිටි දේවල් ගැන සාක්ෂි දීමත් ඔහුගේ වගකීම වුණා. ලෙවී කථාව 5:1හි මෙසේ සඳහන් වෙනවා: “යමෙක් කාරණාවක් දැක නොහොත් දැනගන සාක්ෂිකාරයෙක්ව සිටිද්දී, දිවුරවීමේ හඬ අසා නොදන්වා සිටීමෙන් පව්කළොත් ඔහු තමාගේ අයුතුකම දැරිය යුතුය.”—සසඳන්න ද්විතීය කථාව 13:6-8; එස්තර් 6:2; හිතෝපදේශ 29:24.
මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ නොසිටියත්, එහි පිටුපස තිබෙන ප්‍රතිපත්ති මගින් මඟ පෙන්වීම ලැබීමට අද සිටින ක්‍රිස්තියානීන්ට පුළුවන්. (ගීතාවලිය 19:7, 8) එහෙමනම්, සෙසු ක්‍රිස්තියානියෙක් හා සම්බන්ධ බරපතළ වරදක් ගැන ඔබ දැන සිටිනවා නම්, ඔබ කළ යුත්තේ මොනවාද?
කාරණය හැසිරවීම
මුලින්ම, ඇත්තටම බරපතළ වරදක් සිදු වී තිබෙනවා කියා විශ්වාස කිරීම සඳහා පිළිගත හැකි හේතු තිබීම වැදගත්. “කාරණයක් නැතුව නුඹේ අසල්වාසියාට විරුද්ධව සාක්ෂිකාරයෙක් නොවන්න” කියා නැණවත් මිනිසා සඳහන් කළා. “නුඹේ තොල්වලින් වංචා නොකරන්න.”—හිතෝපදේශ 24:28.
කෙළින්ම වැඩිමහල්ලන් ළඟට යන්න ඔබ තීරණය කරන්න පුළුවන්. එහෙම කරන එක වරදක් නෙවෙයි. කොහොමවුණත්, සාමාන්‍යයෙන් වඩාත්ම ප්‍රේමනීය ක්‍රියාමාර්ගය වන්නේ, කාරණයට සම්බන්ධ පුද්ගලයා වෙතට එළඹීමයි. සමහරවිට සැබෑ කරුණු, ඒවා බාහිරව පෙනෙන දෙයට සමාන නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම්, වැඩිමහල්ලන් දැනටමත් අදාළ කාරණය හසුරුවමින් සිටිනවා විය හැකියි. අදාළ පුද්ගලයා සමඟ කාරණය සන්සුන්ව සාකච්ඡා කරන්න. බරපතළ වරදක් සිදු කර තිබෙන බව විශ්වාස කිරීම සඳහා හේතු තිබෙනවා නම්, උපකාරය පතා වැඩිමහල්ලන් ළඟට යෑමට ඔහුව හෝ ඇයව දිරිගන්වන්න; එමෙන්ම එසේ කිරීම ප්‍රඥාවන්ත දෙයක් වීමට හේතු පැහැදිලි කරන්න. අනිත් අය සමඟ අදාළ කාරණය ගැන කතා කරන්න එපා, මොකද එය ඕපාදූප කීමක් වෙනවා.
වරද කර තිබෙන පුද්ගලයා සාධාරණ කාල සීමාවක් ඇතුළත වැඩිමහල්ලන්ට ඒ ගැන දන්වන්නේ නැත්නම්, ඔබ එය කළ යුතුයි. අනතුරුව වැඩිමහල්ලන් එක් කෙනෙක් හෝ දෙදෙනෙක් වරද කර තිබෙන පුද්ගලයා සමඟ අදාළ කාරණය සාකච්ඡා කරන්න යනවා. වරදක් සිදු වී තිබෙනවාද නැද්ද කියා සොයාබැලීම සඳහා වැඩිමහල්ලන් “හොඳාකාර සොයා විභාගක[ළ]” යුතුයි. වරදක් කර තිබෙනවා නම්, ඔවුන් ශුද්ධ ලියවිලිමය මඟ පෙන්වීම්වලට අනුව එම කාරණය හසුරුවන්න යනවා.—ද්විතීය කථාව 13:12-14.
වරදක් කිරීම හා සම්බන්ධ චෝදනාවක් තහවුරු කිරීම සඳහා අඩුම තරමින් සාක්ෂිකරුවන් දෙදෙනෙකුවත් අවශ්‍යයි. (යොහන් 8:17; හෙබ්‍රෙව් 10:28) පුද්ගලයා වරද පිළිගන්නේ නැත්නම් එමෙන්ම තිබෙන්නේ ඔබගේ සාක්ෂිය පමණක් නම්, කාරණය යෙහෝවාගේ හස්තයෙහි පවතිනවා. (1 තිමෝති 5:19, 24, 25) මෙය කරනු ලබන්නේ, යෙහෝවා ඉදිරියෙහි සෑම දෙයක්ම “වැස්මක් නැතුව ඇරී ති[බෙනවා]” යන දැනුම හා අදාළ පුද්ගලයා වරදකරු නම්, අවසානයේදී ඔහුගේ පාප ඔහු “පිටට පැමිණෙන[වා]” යන දැනුම මතයි.—හෙබ්‍රෙව් 4:13; ගණන් කථාව 32:23.
නමුත් අදාළ පුද්ගලයා චෝදනාව ප්‍රතික්ෂේප කරනවා කියාද, ඔහුට විරුද්ධව සාක්ෂි දෙන එකම තැනැත්තා ඔබ කියාද සිතන්න. අපහාස කළාය කියා දැන් ඔබට චෝදනා කරන්න පුළුවන්ද? අදාළ කාරණයට සම්බන්ධ නැති අය සමඟ ඔබ ඕපාදූප කියා නැත්නම්, එහෙම කරන්න බැහැ. කාරණා පරීක්ෂා කර බලා, ඒවා නිවැරදි කිරීමට බලතල හා වගකීමක් තිබෙන අයට සභාවට බලපාන තත්වයන් වාර්තා කිරීම අපහාස කිරීමක් නෙවෙයි. ඇත්තෙන්ම, හරි දෙය හා පක්ෂපාත දෙය කිරීම සඳහා අප තුළ තිබෙන ආශාවට එය නිතරම එකඟයි.—ලූක් 1:72, 73, NW සසඳන්න.
සභාවේ ශුද්ධකම පවත්වාගැනීම
වැරදි වාර්තා කළ යුතු වීමට එක් හේතුවක් වන්නේ, සභාවේ පවිත්‍රකම රැකගැනීමට එය බලපෑමයි. යෙහෝවා පවිත්‍ර දෙවිකෙනෙක්, ශුද්ධ දෙවිකෙනෙක්. ආත්මිකව හා සදාචාරාත්මකව පවිත්‍රව සිටීම, ඔහුට නමස්කාර කරන සෑම කෙනෙකුගෙන්ම ඔහු බලාපොරොත්තු වෙනවා. ඔහුගේ ආනුභාවය ලත් වචනයේ මෙසේ අවවාද කරනවා: “නුඹලාගේ නොදන්නාකමේ කාලයේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවී, කීකරුකමේ දරුවන් මෙන්, නුඹලා කැඳවූ [තැනැත්තා] ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න. මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ.” (1 පේතෘස් 1:14-16) අපවිත්‍ර හෝ වැරදි ක්‍රියාවල නිරතවන්නන්ව නිවැරදි කිරීමට හෝ ඉවත් කිරීමට පියවර ගන්නේ නැත්නම්, ඔවුන්ගේ එම ක්‍රියාවන් මගින් මුළු සභාවක්ම අපවිත්‍ර විය හැකියි; එමෙන්ම යෙහෝවාගේ අප්‍රසාදයට ලක් විය හැකියි.—යෝෂුවා 7වන පරිච්ඡේදය සසඳන්න.
වැරදි වාර්තා කිරීම, කොරින්තියේ සිටි දෙවිගේ සෙනඟව පවිත්‍ර කිරීම කෙරෙහි බලපෑ ආකාරය, එහි තිබූ ක්‍රිස්තියානි සභාවට ප්‍රේරිත පාවුල් ලියූ ලිපියෙන් පැහැදිලි වෙනවා. පාවුල් තමාගේ පළමු ලිපියේදී, මෙසේ සඳහන් කළා: “මිථ්‍යාදෘෂ්ටීන් අතරෙහිවත් නැති ආකාර වේශ්‍යාකමක් නුඹලා අතරෙහි තිබෙන බව ඇත්තටම ආරංචිය; එනම්, නුඹලාගෙන් කෙනෙක් තමාගේ පියාගේ භාර්යාව තබාගෙන ඉන්න බවය.”—1 කොරින්ති 5:1.
ප්‍රේරිතවරයාට මේ වාර්තාව ලැබුණේ කාගෙන්ද කියා බයිබලය අපට පවසන්නේ නැහැ. සමහරවිට පාවුල් මේ ගැන දැනගන්න ඇත්තේ, කොරින්තියේ සිට පාවුල් නතර වී සිටි එපීසයට ගමන් කළ ස්තේපනස්, පොර්තුනාතුස් හා ආකායිකස් යන අයගෙන් විය හැකියි. කොරින්ති සභාවෙන් විමසුම් ලිපියක්ද පාවුල්ට ලැබී තිබුණා. තොරතුරු මූලාශ්‍රය මොකක් වුණත්, විශ්වාසදායක සාක්ෂිකරුවන් විසින් මේ තත්වය ඔහුට වාර්තා කළ සැණින්, මේ කාරණය සම්බන්ධයෙන් මඟ පෙන්වීම සැපයීමට ඔහුට හැකි වුණා. “ඒ දුෂ්ටයා නුඹලා අතරෙන් පහකරන්න” කියා ඔහු ලිව්වා. ඒ මිනිසාව සභාවෙන් නෙරපා දැම්මා.—1 කොරින්ති 5:13; 16:17, 18.
පාවුල් දුන් උපදෙස්වලින් යහපත් ප්‍රතිඵල ලැබුණාද? ඇත්තෙන්ම යහපත් ප්‍රතිඵල ලැබුණා. පෙනෙන විදිහට එම වරදකරු ඒ වරදේ බරපතළකම තේරුම්ගත්තා. පසුතැවිලි වූ මේ මිනිසාට “කමාවෙන්ටද ඔහු සනසන්ටද” කියා ඔහු කොරින්තිවරුන්ට ලියූ දෙවන ලිපියේදී, ඒ සභාවෙන් ඕනෑකමින් ඉල්ලා සිටියා. (2 කොරින්ති 2:6-8) මේ අනුව එම වරද වාර්තා කිරීම මඟ පෑදුවේ, සභාව පවිත්‍රව තබාගැනීම හා දෙවි සමඟ තිබෙන තමාගේ සබඳතාවට හානි පමුණුවාගත් තැනැත්තාව දෙවිගේ අනුමැතිය ලැබීම සඳහා නැවත පිහිටුවීම ප්‍රතිඵලය වූ ක්‍රියාමාර්ගයකටයි.
කොරින්තියේ පිහිටි ක්‍රිස්තියානි සභාවට ලියූ පාවුල්ගේ පළමු ලිපියෙන් තවත් උදාහරණයක් අපිට සොයාගන්න පුළුවන්. මේ අවස්ථාවේදී, අදාළ කාරණය වාර්තා කළ සාක්ෂිකරුවන්ගේ නම් ප්‍රේරිතවරයා සඳහන් කරනවා. ඔහු මෙසේ ලිව්වා: “මාගේ සහෝදරයෙනි, නුඹලා අතරෙහි විවාද [භේද, NW] තිබෙන බව ක්ලොයිගේ පවුලේ අය මට දැන්නුවෝය.” (1 කොරින්ති 1:11) මිනිසුන්ට අනවශ්‍ය ගෞරවයක් දීමද ඇතුළත් වූ මෙම භේදය මගින් සභාවේ එක්සත්කමට තර්ජනයක් එල්ල කළ නිකායික ආකල්ප ඇති වුණා. මේ නිසා, එහි සිටි සෙසු ඇදහිලිවන්තයන්ගේ ආත්මික සුභසාධනය ගැන ගැඹුරු සැලකිල්ලක් දක්වමින්, පාවුල් විගස ක්‍රියාත්මක වී නිවැරදි කරන උපදෙස් එම සභාවට ලිව්වා.
අද පොළොව පුරා විසිරී තිබෙන සභාවල සිටින සහෝදර සහෝදරියන්ගෙන් විශාල පිරිසක්, දෙවි ඉදිරියෙහි පෞද්ගලිකව අනුමැතිය ලත් තත්වයක් පවත්වාගනිමින්, තමන් සිටින සභාවේ ආත්මික පවිත්‍රතාව රැකගැනීමට වෙහෙස වී කටයුතු කරනවා. මෙය කිරීමේදී සමහර අය දුක් විඳිනවා; තවත් අය අඛණ්ඩතාව රැකගැනීම සඳහා මරණය පවා අද්දැක තියෙනවා. නිසැකවම වැරදි සුළු කොට සැලකීමෙන් හෝ සැඟවීමෙන්, මේ උත්සාහයන් සඳහා අගය කිරීමේ ඌනතාවක් පෙන්වයි.
වැරදි කරන අයට උපකාර කරන්න
බරපතළ පාප කර තිබෙන සමහර අය සභා වැඩිමහල්ලන් වෙතට එළඹීමෙන් වැළකී සිටින්නේ ඇයි? බොහෝවිට මෙයට හේතුව, වැඩිමහල්ලන් වෙතට යෑමෙන් අත් වන ප්‍රයෝජන ඔවුන් නොදැන සිටීමයි. සමහර අය තුළ තියෙන වැරදි විශ්වාසයක් නම්, ඔවුන් තමන්ගේ වැරදි කියා දුන්නොත්, මුළු සභාවටම ඔවුන්ගේ පාප හෙළි වන බවයි. වෙනත් අය තමන් ගත් ක්‍රියාමාර්ගයේ බරපතළකම සම්බන්ධයෙන් තමුන්වම මුළා කරගෙන සිටිනවා. එමෙන්ම වැඩිමහල්ලන්ගේ උපකාරය නැතුව තමන්ටම කාරණා නැවත සකස් කරගන්න පුළුවන් කියා තවත් අය සිතනවා.
නමුත් එවැනි වරදකරුවන්ට සභා වැඩිමහල්ලන්ගේ උපකාරය අවශ්‍යයි. යාකොබ් මෙසේ ලිව්වා: “නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; ඔව්හු [යෙහෝවාගේ] නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤාකරත්වා. එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ, [යෙහෝවා] ඔහු නැගුටුවනවා ඇත. ඔහු පාපයන්කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ.”—යාකොබ් 5:14, 15.
තමන්ගේ මුල් ආත්මිකත්වය නැවත පිහිටුවීම සඳහා වැරදි කරන අයට උපකාර කිරීමට එය මොනතරම් අපූර්ව සැපයුමක්ද! දේවවචනයෙන් සපයන සහනය ගෙන දෙන උපදෙස් අදාළ කිරීමෙන්ද, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමෙන්ද, ආත්මිකව රෝගාතුරව සිටින අයට ඔවුන්ගේ වැරදි මාර්ගවලින් ආපසු හැරී සුවය ලැබීමට උපකාර කරන්න වැඩිමහල්ලන්ට හැකියි. මේ අනුව, පසුතැවිලි වන අයට වරදකරුවෙකු බව හැඟෙනවා වෙනුවට, ප්‍රේමනීය වැඩිමහල්ලන් හමු වන විට, ප්‍රබෝධවත් මෙන්ම සහනයක් ලැබෙනවා යන හැඟීම නිතරම දැනෙනවා. බටහිර අප්‍රිකාවේ ජීවත් වන තරුණයෙක් වේශ්‍යාකමක් කර, මාස කිහිපයක් තමාගේ පාපය සඟවාගෙන සිටියා. ඔහුගේ පාපය හෙළිවීමෙන් පසු, ඔහු වැඩිමහල්ලන්ට මෙහෙම කිව්වා: “ඒ ගැහැනු ළමයා එක්ක තියෙන මගේ සම්බන්ධය ගැන කවුරුහරි මාත් එක්ක කතා කරනවාට මම මොනතරම් ආසාවකින්ද හිටියේ! මං කරපු පාපය ගැන කියන්න අවස්ථාවක් ලැබුණ එක ලොකු සහනයක්.”—ගීතාවලිය 32:3-5, සසඳන්න.
ප්‍රතිපත්තිමය ප්‍රේමය හා සම්බන්ධ ක්‍රියාවක්
දෙවිගේ බව්තීස්ම ලත් සේවකයන් “මරණින් ජීවනයට පැමිණ සිටින[වා].” (1 යොහන් 3:14) නමුත් ඔවුන් බරපතළ පාපවල යෙදෙනවා නම්, ඔවුන් මරණයේ මාර්ගයට නැවත හැරී තිබෙනවා. ඔවුන්ට උපකාර කරන්නේ නැත්නම්, වැරදි කිරීම සම්බන්ධයෙන් ඔවුන් අසංවේදී විය හැකි අතර, පසුතැවිලි වී සැබෑ දෙවිගේ නමස්කාරයේ නැවත හවුල් වීමේ ආශාව නැති වී යා හැකියි.—හෙබ්‍රෙව් 10:26-29.
වැරදි වාර්තා කිරීම, වරදකරු සඳහා දක්වන අව්‍යාජ සැලකිල්ලේ ක්‍රියාවක් වෙනවා. යාකොබ් මෙසේ ලිව්වා: “මාගේ සහෝදරයෙනි, නුඹලා අතරෙන් යමෙක් සැබෑකමෙන් මුළාව ගියේද, යමෙක් ඔහු හරවාගන්නේ නම්, පව්කාරයෙකු තමාගේ මාර්ගයේ මුළාවෙන් හරවාගන්න තැනැත්තා ප්‍රාණයක් මරණයෙන් ගළවා, පව් රාශියක් වසන බව ඔහු දැනගනීවා.”—යාකොබ් 5:19, 20.
ඉතින්, එහෙමනම්, නරක දේවල් වාර්තා කළ යුත්තේ ඇයි? එයින් යහපත් ප්‍රතිඵල ලැබෙන නිසයි. ඇත්තෙන්ම, වැරදි දේවල් වාර්තා කිරීම, දෙවි කෙරෙහිත් සභාව කෙරෙහිත් වරදකරුවා කෙරෙහිත් පෙන්වන ප්‍රතිපත්තිමය ක්‍රිස්තියානි ප්‍රේමය විදහාපෙන්වීමේ ක්‍රියාවක් වෙනවා. සභාවේ සිටින එක් එක් සාමාජිකයා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට පක්ෂපාතව අනුබල දෙන විට, මුළු සභාවටම යෙහෝවා මහඟු ලෙස ආශීර්වාද කරාවි. ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: ‘අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ දවසේදී නුඹලා දෝෂ රහිතව සිටින පිණිස යෙහෝවා අන්තිමය දක්වා නුඹලාව ස්ථිර කරාවි.’—1 කොරින්ති 1:8.
[26වන පිටුවේ පින්තූරය]
වැඩිමහල්ලන් සමඟ කතා කිරීමට වැරදි කරන සාක්ෂිකරුවෙකුව දිරිගැන්වීම, ප්‍රේමය පෙන්වීමක්
[28වන පිටුවේ පින්තූරය]
දෙවිගේ අනුමැතිය ලත් තත්වයකට පැමිණෙන්න වැරදි කරන අයව නැවත පිහිටුවීමට වැඩිමහල්ලන් උපකාර කරනවා