ඔවුන් යෙහෝවාගේ කැමැත්ත කළා
සමාව දීමට සූදානම්ව සිටින පියෙක්
හොඳ හේතු ඇතුව—එය හඳුන්වා තිබෙන්නේ, මෙතෙක් ලියා ඇති විශිෂ්ටතම කෙටි කතාව ලෙසයි. තමාගේ නැති වූ පුත්‍රයාට පියෙක් පෙන්වූ ප්‍රේමය හා සම්බන්ධ යේසුගේ උපමාව, පසුතැවිලි වන පව්කාරයන් උදෙසා දෙවිගේ දයාව ගැන කදිම දෘෂ්ටියක් අපිට ලබාගත හැකි කවුළුවක් හා සමානයි.
නැති වී සම්බ වුණා
මිනිසෙකුට පුතුන් දෙදෙනෙක් සිටියා. බාලයා ඔහුට මෙහෙම කිව්වා: ‘ඔබ මැරෙන තෙක් බලා ඉන්නවා වෙනුවට දැන් මට මගේ උරුමය ඕනෑ.’ පියා තමාට අයිතිව තිබෙන සියලුම දේවලින් සමහරවිට තුනෙන් එකක්—පුතුන් දෙදෙනෙකුගෙන් බාලයාට හිමි නීත්‍යනුකූල කොටස ලබා දීමෙන් ඊට එකඟ වුණා. (ද්විතීය කථාව 21:17) මේ තරුණයා ඉක්මනින්ම තමාගේ වස්තුව පොදි බැඳගෙන දුර දේශයකට ගමන් කළා; එහිදී ඔහු සල්ලාල ජීවිතයක් ගත කරමින් තමාගේ මුදල් සියල්ලම වියදම් කරගත්තා.—ලූක් 15:11-13.
පසුව දරුණු සාගතයක් ඇති වුණා. කරකියාගන්න දෙයක් නැතුව, මේ තරුණයා ඌරන් බලාගන්නෙක් හැටියට වැඩ කරන්න කැමති වුණා. මෙය යුදෙව්වෙකුට අවමන්සහගත රැකියාවක්. (ලෙවී කථාව 11:7, 8) ආහාර හිඟය මොනතරම් දරුණු වුණාද කියනවා නම්, ඌරන්ට කෑමට දෙන කරල් කන්න මහත් ආශාවක් ඔහුට ඇති වුණා. අන්තිමේදී, මේ තරුණයා හොඳින් කල්පනා කරන්න පටන්ගත්තා. ‘මාගේ පියාගේ කුලීකාරයන්ට මට වඩා කෑම තියෙනවා’ කියා ඔහු කල්පනා කළා. ‘මම ආපහු ගෙදර ගිහින්, මගේ පාප කියල, මගේ පියාගේ කුලීකාරයන්ගෙන් කෙනෙක් වෙන්න අයදිනවා.’a—ලූක් 15:14-19.
තරුණයා ආපසු ගෙදර යෑමට බොහෝදුරක් පයින් ගියා. ඔහුගේ පෙනුම හුඟාක් වෙනස් වී තිබුණ බවට කිසිම සැකයක් නැහැ. ඒත්, “ඔහු දුර සිටියදීම” ඔහුගේ පියා ඔහුව හඳුනාගත්තා. අනුකම්පාවෙන් පෙලඹී, ඔහු තම පුතා ළඟට දිවගොස් ඔහුව වැලඳගෙන, “සිඹගත්[තා].”—ලූක් 15:20.
මෙම සෙනෙහෙබර පිළිගැනීම, තරුණයාට තමාගේ බර සැහැල්ලු කරගැනීමට පහසු කළා. “පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි. තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමි.” “ඔබගේ කුලීකාරයන්ගෙන් කෙනෙකු මෙන් මා තබාගන්න” [NW] කියා ඔහු පැවසුවා. පියා ඔහුගේ දාසයන්ව කැඳෙව්වා. “වහාම” යයි කියමින් ඔහු මෙසේ අණ කළා. “ඉතා හොඳ සළුව . . . ගෙනැවිත් මොහුට හඳවන්න; මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න. තරකළ වස්සා ගෙනැවිත් මරන්න, අපි කමින් ප්රීතිවෙමු. මක්නිසාද මේ මාගේ පුත්‍රයා නැසී, නැවත ජීවත්ව සිටියි; ඔහු නැතිවී, සම්බවීය.”—ලූක් 15:21-24.
සංගීතය හා නැටුම් ඇතුළත් කරමින් හොඳින් සැලසුම් කළ විශාල උත්සවයක් පැවැත්වූවා. වැඩිමල් පුත්‍රයා කෙතේ සිට ආපසු ගෙදර පැමිණෙමින් සිටි විට, ඔහුට ශබ්දය ඇසුණා. තමාගේ සහෝදරයා ගෙදර ඇවිත් සිටින බවත්, මේ උත්සවය පැවැත්වීමට හේතුව එය බවත් දැනගත් විට ඔහු කෝප වුණා. ‘මම අවුරුදු ගානක් ඔබට සේවය කරමින් හිටියා; කවදාවත් ඔබගේ ආඥාවක් කඩ කළේ නැහැ. ඒ වුණත් මාගේ මිත්‍රයන් එක්ක ප්‍රීති වෙන්ට ඔබ කවදාවත් එළු පැටියෙක් මට දුන්නේ නැහැ’ කියා ඔහු තම පියාට චෝදනා කළා. ‘ඒත් ඔබේ සම්පත් නාස්ති කළ ඔබේ පුත්‍රයා ආ වේලේම ඔහු නිසා උත්සවයක් පිළියෙළ කළා.’ ඔහුගේ පියා මෘදු මොළොක් ලෙස මෙසේ පැවසුවා: ‘පුත්‍රය, ඔබ නිතරම මා සමඟ සිටිනවා, මා සන්තක සියල්ලද ඔබගෙයි. ඒත් අපි ප්‍රීති සන්තෝෂ වෙන්ට යුතුව තිබුණා. මක්නිසාද මේ ඔබේ සහෝදරයා නැසී නැවත ජීවත්ව සිටිනවා; ඔහු නැති වී සම්බ වුණා.’—ලූක් 15:25-32.
අප සඳහා පාඩම්
යේසුගේ උපමාවේ සඳහන් පියාගෙන් නියෝජනය වන්නේ අපේ දයාබර දෙවි වූ, යෙහෝවායි. නැති වූ පුත්‍රයා වගේ, සමහරුන් කලකට දෙවිගේ සුරක්ෂිත ගෘහය හැර ගියත්, පසුව ආපසු හැරී එනවා. යෙහෝවා එවැන්නන්ව සලකන්නේ කොහොමද? ‘ඔහු සෑම කල්හිම වැරදි සොයමින් සිටින්නේ නැති බවත් අමනාපය සදාකාලයටම තබාගන්නේ නැති බවත්,’ අවංක පසුතැවිල්ලකින් ආපසු යෙහෝවා වෙතට එන අයට සහතික විය හැකියි. (ගීතාවලිය 103:9, NW) උපමාවේ සඳහන් පියා තම පුත්‍රයාව නැවත පිළිගැනීමට දුවගෙන ගියා. ඒ හා සමානවම, යෙහෝවා කැමැත්තෙන් සිටිනවා විතරක් නෙවෙයි, නමුත් පසුතැවිලි වන පව්කාරයන්ට සමාව දීමට මහත් ආශාවකින්ද සිටිනවා. ඔහු “කමාවෙන්ට සූදානම්[ව සිටිනවා]; ඔහු “අතිශයින්” එසේ කරනවා.—ගීතාවලිය 86:5; යෙසායා 55:7; සෙකරියා 1:3.
යේසුගේ උපමාවේ සඳහන් පියාගේ අව්‍යාජ ප්‍රේමය, ආපසු හැරී ඒම සඳහා ධෛර්යය උපදවාගැනීමට පුත්‍රයාට වඩාත් පහසු කළා. ඒත් මෙය සලකා බලන්න: පියා මේ පිරිමි ළමයාව ප්‍රතික්ෂේප කළා නම් හෝ කවදාවත් නැවත එන්න එපා කියා කෝපයෙන් පැවසුවා නම් සිදු වෙන්න තිබුණේ මොකක්ද? ඒ වගේ ආකල්පයක් මගින් මේ තරුණයා තුළ කාලයක් පවතින වෛරයක් ඇති කරන්න ඉඩ තිබුණා.—2 කොරින්ති 2:6, 7, සසඳන්න.
පුතා නිවසින් පිට වී ගිය කාලයේදී නැවත ආපසු නිවසට පැමිණීම සඳහා පියා මාර්ගය විවෘත කළා. සමහර අවස්ථාවලදී, අද සිටින ක්‍රිස්තියානි වැඩිමහල්ලන් පසුතැවිලි නොවන පව්කාරයන්ව සභාවෙන් ඉවත් කළ යුතුයි. (1 කොරින්ති 5:11, 13) මෙසේ කිරීමේදී වැඩිමහල්ලන්ට පුළුවන්, අනාගතයේදී යළි පිහිටුවනු ලැබීම සඳහා ඔහුට ගත හැකි පියවර ප්‍රේමනීයව පෙන්වා දීමෙන් පව් කළ තැනැත්තාට නැවත හැරී ඒම සඳහා මාර්ගය පිළියෙළ කරන්න පටන්ගන්න. මෙවන් හෘදයාංගම ආයාචනයන් ගැන මතකය, පසුකාලයේදී ආත්මිකව නැති වී සිටි බොහෝදෙනෙකුට පසුතැවිලි වීමටත් දෙවිගේ ගෘහයට ආපසු පැමිණීමටත් පොලඹවා තිබෙනවා.—2 තිමෝති 4:2.
තමාගේ පුත්‍රයා ආපසු එන විට පියා දයාවද දැක්වුවා. මේ පිරිමි ළමයාගේ අවංක පසුතැවිල්ල තේරුම්ගන්න ඔහුට වැඩි වෙලාවක් ගියේ නැහැ. අනතුරුව, ඔහුගේ පුතා කළ වැරදි දේවල් ගැන හැම විස්තරයක්ම හාරා අවුස්සා බලනවා වෙනුවට, ඔහුව නැවත පිළිගැනීමේ වැඩකටයුතු පිළියෙළ කළා—ඔහු එසේ කිරීමේදී මහත් සන්තෝෂයක් පෙන්නුවා. මේ ආදර්ශය අනුකරණය කරන්න ක්‍රිස්තියානීන්ට පුළුවන්. නැති වූ කෙනෙක් සම්බ වී තිබීම ගැන ඔවුන් සතුටු විය යුතුයි.—ලූක් 15:10.
තමාගේ අකීකරු පුත්‍රයා ආපසු එන තෙක් බොහෝ කාලයක් තමා බලාගෙන සිටි බව මේ පියා කටයුතු කළ ආකාරයෙන් පැහැදිලිව පෙනුණා. ඇත්තෙන්ම, මෙය තමාගේ ගෘහය අතහැර ගිය සියලුමදෙනා කෙරෙහි යෙහෝවා දයාවෙන් යුක්තව බලාසිටීම පිළිබඳ පෙර ඡායාවක් විතරයි. ‘සියලුදෙනාම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට ඔහු කැමති නැහැ.’ (2 පේතෘස් 3:9) එනිසා ‘යෙහෝවාගෙන් පැමිණෙන සැනසිලි කාලයන්’ සමඟින් තමන්ට ආශීර්වාද ලැබෙන බවට තම පාප ගැන පසුතැවිලි වන අයට සහතික වෙන්න පුළුවන්.—ක්‍රියා 3:19.
[පාදසටහන]
a දාසයෙකුව පවුලට සම්බන්ධ කෙනෙකු මෙන් සැලකුවත්, කුලීකාරයෙක් දිනපතා වැටුපක් ලැබූ කම්කරුවෙක් වුණා; ඔහුව ඕනෑම වේලාවක අස් කර දමන්න පුළුවන්. තමාගේ පියාගේ නිවසේ පහත්ම තැනක් වුණත් පිළිගන්න කැමැත්තෙන් සිටිනවා කියා තරුණයා කල්පනා කළා.