මහලු දෙමාපියන්ට ගරු කිරීමේ විපාක
දෙවිගේ සැබෑ නමස්කාරකයන් තම මහලු දෙමාපියන්ට ගරු කරනවා මෙන්ම ඔවුන්ව රැකබලා ගන්නවා; ඒ ඔවුන්ට තියෙන ආදරය නිසයි. එය ඔවුන්ගේ නමස්කාරයේ කොටසක්. බයිබලයේ කියන්නේ, “යම් වැන්දඹු ස්ත්‍රියෙකුට දරුවෝවත් මුණුබුරෝවත් සිටිත් නම්, ඔව්හු පළමුකොට තමුන්ගේම පවුල ගැන භක්තිවන්ත ලෙස [දේවභක්තියෙන්, NW] හැසිරෙමින් ස්වකීය මවුපියන්ට [ණය යුක්තිය ගෙවන්න, NW] ඉගෙනගනිත්වා. මක්නිසාද ඒක [දෙවි] ඉදිරියෙහි ප්‍රසන්නව තිබේ” කියලයි. (1 තිමෝති 5:4) අපි තරුණ වුණත් මහලු වුණත් අපේ දෙමාපියන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට “ණය යුක්තිය” ගෙවීම උචිතයි. මේ ආකාරයට අවුරුදු ගණනාවක් පුරා අප වෙනුවෙන් පෙන්වූ ඔවුන්ගේ ආදරය, ඔවුන්ගේ මහත් වෙහෙස සහ ඔවුන්ගේ රැකවරණය අපි අගය කරන බව පෙන්වන්න යනවා. ඇයි, අපේ දෙමාපියන්ට අපේ ජීවිත වෙනුවෙන් අපි ණයගැතියි!
දෙමාපියන්ට සහ ආච්චිලා සීයලාට යුතු ණය යුක්තිය ගෙවීම ‘දෙවි ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන’ බව සලකන්න. එය අපේ “දේවභක්තියට [NW]” සම්බන්ධ කර තියෙනවා. මෙලෙස මේ උපදේශයට අනුකූලව කටයුතු කිරීමෙන්, දෙවිව සතුටු කරන දේවල් කරන බව දැනගෙන අපි විපාක ලබනවා. එය අපිට ප්‍රීතිය ගෙනෙනවා.
අනිත් අයට දීමෙන්, විශේෂයෙන්ම අපිට ත්‍යාගශීලී ලෙස දුන් අයට දීමෙන් අපි ප්‍රීතියක් අද්දකිනවා. (ක්‍රියා 20:35) එසේනම්, බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කිරීමෙන් අපිට මොනතරම් විපාකයක් ලැබේවිද: “ඔබේ පියාටද මවුටද සතුටු වෙන්න හේතු දෙන්න, ඔබ වැදූ තැනැත්තී ප්‍රීතිමත් වේවා.”—හිතෝපදේශ 23:25, ද නියූ ඉංග්ලිෂ් බයිබල්.
අපි අපේ දෙමාපියන්ට සහ ආච්චිලා සීයලාට ණය යුක්තිය ගෙවන්නේ කොහොමද? තුන් ආකාරයකින්: ද්‍රව්‍යමයව, චිත්තවේගීව සහ ආත්මිකව. මේ සැමෙකක්ම විපාක ගෙනෙනවා.
ද්‍රව්‍යමයව දීම
තම කිට්ටු පවුල් සාමාජිකයන්ට ද්‍රව්‍යමයව සැපයීම වැදගත් බව දෙවිට සේවය කරන අය දන්නවා. ප්‍රේරිත පාවුල් මේ විදිහට අනුශාසනා කරනවා: “යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.”—1 තිමෝති 5:8.
ටුන්ජි සහ ජෝයි ජීවත් වන්නේ බටහිර අප්‍රිකාවේ. මූල්‍ය බරින් තෙරපී සිටියත්, ඔවුන් සමඟ ජීවත් වෙන්න ඔවුන් ජෝයිගේ මහලු දෙමාපියන්ට ආරාධනා කළා. ජෝයිගේ තාත්තා අසනීප වෙලා අන්තිමේදී මියගියා. ටුන්ජි ඒ ගැන මතක් කරන්නේ මෙහෙමයි; “තාත්තා මැරෙද්දී, අම්මා මගේ බිරිඳව සිපගෙන මෙහෙම කිව්වා: ‘ඔයගොල්ලො මනුෂ්‍යයෙකුට කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. තාත්තාගේ මරණය ගැන කිසිම විදිහකින් ඔයගොල්ලො වරදසහගත හැඟීමක් ඇති කරගන්න ඕනෙ නැහැ.’ අපිට තාත්තාව නැති වුණත්, අපි එයාට හොඳම බෙහෙත් අරන් දුන්නා. ඒ වගේම කොයිවෙලේත් එයාව අවශ්‍ය කෙනෙක් බව හැඟෙන්න සැලැස්සුවා; දෙවි-දුන් වගකීම ඉටු කරන්න අපි අපේ උපරිමය කළා. ඒ තෘප්තිය අපිට තියෙනවා.”
ඇත්තවශයෙන්ම, අනිත් අයට ද්‍රව්‍යමයව උපකාර කරන්න පුළුවන් තත්වයක හැම කෙනෙකුම සිටින්නේ නැහැ. නයිජීරියාවේ සිටින එක් මනුෂ්‍යයෙක් කිව්වේ මෙහෙමයි: “කෙනෙක් තමන්ගේ ජීවිතය ගැටගහගන්න බැරුව ඉන්නකොට, තව කෙනෙකුගේ ජීවිතය ගැටගහන්නේ කොහොමද?” බොහෝ දේශවල පැමිණීමට තියෙන අවුරුදු සමඟම තත්වය තව තවත් උග්‍ර වෙන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, අප්‍රිකාවේ සහරාවට පහළ ප්‍රදේශයේ ජනගහනයෙන් පංගුවක් ඉතා ඉක්මනින්ම අන්ත දිළිඳුකමින් පෙළෙන්න යනවා.
ඔබ සිටින්නේ දිළිඳු ආර්ථික වාතාවරණයක කියා ඔබ සොයාගත්තොත්, දිළිඳු වැන්දඹුව පිළිබඳ සැබෑ කතන්දරයෙන් සැනසුම ලබන්න ඔබට පුළුවන් වෙයි. යේසු පොළොවේ සිටියදී, දිළිඳු වැන්දඹුවක් දේවමාළිගාවේ ගබඩාවට සුළු සම්මාදමක් කරනවා ඔහු නිරීක්ෂණය කළා. ඇය දැමුවේ, “කුඩා මිල දෙකක්” විතරයි. ඇගේ තත්වය ඒ වන විටත් වටහාගෙන යේසු කිව්වේ, “සැබවක් නුඹලාට කියමි—මේ දිළිඳු වැන්දඹුව සියල්ලන්ට වඩා දැමුවාය. මක්නිසාද මොවුන් සියල්ලෝම තමුන්ගේ වැඩිමනත් දෙයින් ගබඩාවට පඬුරු දැමුවෝය. නුමුත් මෑ තමාගේ හිඟකමින්, තමාට ජීවිකාවට තිබුණු සියල්ලම දැමුවාය” කියායි.—ලූක් 21:1-4.
ඒ හා සමානව, අපේ දෙමාපියන්ව සහ ආච්චිලා සීයලාව ද්‍රව්‍යමය ආකාරයෙන් රැකබලා ගන්න අපේ උපරිමය කරනවා නම්, එය කුඩා වුණත්, යෙහෝවා නිරීක්ෂණය කර එය අගය කරන්න යනවා. අපිට කරන්න පුළුවන්වට වඩා ඔබ්බට කිරීම ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමහරවිට අපේ දෙමාපියන්ටත් ආච්චිලා සීයලාටත් ඒ විදිහටම හැඟෙනවා ඇති.
චිත්තවේගීව දීම
අපේ දෙමාපියන්ට සහ ආච්චිලා සීයලාට සැපයීම කියද්දී, නිකම්ම ඔවුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා ගැන සැලකීමට වඩා වැඩි යමක් අයිති වෙනවා. අපි සියල්ලන්ටම චිත්තවේගීය අවශ්‍යතා තියෙනවා. මහලු අය ඇතුළු සියලුදෙනාටම, ආදරය ලැබීමට වගේම අවශ්‍යයි කියල හැඟීමටත් පවුලේ වටිනා සාමාජිකයෙක් ලෙස සලකනු ලැබීමටත් ආශාවක් තියෙනවා.
කෙන්යාවේ සිටින මේරි, අවුරුදු තුනක් පුරා ඇගේ මහලු නැන්දම්මාව බලාගනිමින් සිටිනවා. මේරි කියන්නේ මෙහෙමයි: “අපි අම්මාගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපයනවාට අමතරව, එයත් එක්ක කොයිවෙලේත් කතා කරනවා. අම්මාට ගෙදරදොරේ වැඩි දෙයක් කරන්න බැරි වුණත්, අපි කතා කරනවා, එහෙම කරල කිට්ටු යාළුවෝ වෙලා තියෙනවා. සමහර වෙලාවට අපි දෙවි ගැන කතා කරනවා. සමහර වෙලාවට අපි කලින් ජීවත් වෙච්ච පැත්තේ හිටපු මිනිස්සු ගැන කතා කරනවා. එයා දැන් අවුරුදු 90කට වඩා වැඩි වුණත් එයාගේ මතකය බොහොම හොඳයි. එයා 1914ට කලින් දවස්වල පුංචි කෙල්ලෙක් විදිහට හිටිය කාලෙ ජීවිතය ගැන මතක් කරල ඒ ගැන කතා කරනවා.”
මේරි තවදුරටත් මෙහෙම කියනවා: “මහලු කෙනෙක්ව රැකබලා ගැනීම ලේසි දෙයක් නෙවෙයි, ඒත් එයා අපිත් එක්ක ඉන්න එක වටිනා විපාක ගෙනත් තියෙනවා. අපිට පවුලේ සාමය සහ එකඟත්වය ගෙනැවිත් තියෙනවා. ත්‍යාගශීලී ලෙස මම එයාට සැලකීම පවුලේ අනිත් අය තුළ දීමේ ස්වභාවය ඇති කරන්න පොලඹවල තියෙනවා. මගේ පුරුෂයා මට වැඩියෙන් ගරු කරනවා. ඒ වගේම කවුරුහරි මට තදින් කතා කරනවා අම්මාට ඇහුණොත්, එයා මං වෙනුවෙන් කතා කරල මාව ආරක්ෂා කරනවා. අම්මා ළඟපාතක ඉන්නවා නං කිසිම කෙනෙක් මට තදින් කතා කරන එක බොරු!”
ආත්මිකව දීම
දෙන කෙනාට, ද්‍රව්‍යමයව සහ චිත්තවේගීයව විපාක ගෙනෙනවා සේම ආත්මික කාරණා සම්බන්ධයෙන්ද එසේමයි. රෝමයේ තිබූ ක්‍රිස්තියානි සභාවට ප්‍රේරිත පාවුල් ලිව්වේ, “නුඹලා ස්ථිරවන හැටියට නුඹලාට යම් කිසි ආත්මික දීමනාවක් දෙන පිණිස නුඹලා දක්නට ආශාවෙමි. මෙසේ කියන්නේ නුඹලාගෙත් මාගෙත් අන්‍යෝන්‍ය ඇදහිල්ල කරණකොටගෙන නුඹලා සමඟ මටත් සැනසිල්ල ලැබෙන පිණිසය” කියලයි.—රෝම 1:11, 12.
මේ ආකාරයටම, දෙවිට සේවය කළ මහලු අයට ආත්මිකව දීමේදී, දිරිගැන්වීම බොහෝවිට අන්යොන්යයි. නයිජීරියාවේ ජීවත් වෙන ඔසොන්ඩු මෙහෙම කියනවා: “මගේ ආච්චිල සීයල ගැන මට වැඩියෙන් ආසා හිතෙන්නේ අතීතය දකින්න ඔවුන් මට උපකාර කරන හින්දයි. ප්‍රීතියෙන් දිදුලන ඇස්වලින් යුතුව සීයා පනස් සහ හැට ගණන්වල පූර්ණ කාලීන දේවසේවකයෙක් හැටියට වැඩ කළ ප්‍රදේශ ගැන කියනවා. වර්තමාන සභා සැකැස්ම එයා සාක්ෂිකාරයෙක් වූ කාලයේ තිබුණු එකත් එක්ක සන්සන්දනය කරනවා. මේ අද්දැකීම් පුරෝගාමියෙක් හැටියට මගේ සේවයට උපකාර කරනවා.”
ක්‍රිස්තියානි සභාවේ සිටින අනිත් අයටත් මහලු අයට උපකාර කරන්න පුළුවන්. කලින් සඳහන් කළ ටුන්ජි, ඔහුගේ සභාවේ සිදු වුණේ මොකක්ද කියා විස්තර කරනවා: “ප්‍රසිද්ධ කථාවක් දෙන්න පැවරුම් ලබපු එක තරුණ පුරෝගාමියෙක් එකට ඉඳගෙන ඒක ලෑස්ති වෙන්න පුළුවන් වෙන විදිහට එයාගේ කතා සැකිල්ල අරං තාත්තා ගාවට ආවා. මුරටැඹ අවේක්ෂක ඇවිත් තාත්තාට මෙහෙම කිව්වා: ‘ඔයාට අද්දැකීම් තියෙනවා. මට දියුණු වෙන්න උදව් කරන්න ඔයාට මොනවාද කියන්න පුළුවන්.’ ඒ වැඩිමහල්ලාට සුවදායක උපදෙස් දෙන්න තාත්තාට පුළුවන් වුණා. සහෝදරයන් කිහිපවිටක්ම සභාවේ යාච්ඤා කරද්දී තාත්තාගේ නම මතක් කළා. මේ හැම දෙයක්ම ඔහුව අවශ්‍ය බව ඔහුට දැනෙන්න සැලැස්සුවා.”
කදිම හැසිරීම සෙනඟව දෙවි වෙතට අදිනවා
සමහර අවස්ථාවලදී, අපි ගෞරවය සහ ප්‍රේමය අපේ දෙමාපියන්ට සහ ආච්චිලා සීයලාට පෙන්වද්දී, අපි සෙනඟව දෙවි වෙතට ඇදගන්නවා. ප්‍රේරිත පේතෘස් ලිව්වේ මෙහෙමයි: “නුඹලා නපුරකරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ඔවුන් නුඹලාගේ [කදිම, NW] ක්‍රියා දැක, විභාගකිරීමේ දවසේදී [දෙවිට] ගෞරවකරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වන්න.”—1 පේතෘස් 2:12.
බටහිර අප්‍රිකාවේ සිටින වැඩිමහල්ලෙක් වන ඇන්ඩෘ, සතියකට දෙවතාවක් කිලෝමීටර් 95ක් දුර ගෙවා තම නොඇදහිලිකාර රෝගී පියාව බැලීමට යනවා. ඔහු කියන්නේ, “මම යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් වෙන කොට මගේ තාත්තා තදින්ම විරුද්ධ වුණා. ඒත් එයා ලෙඩ වෙලා ඉන්න වෙලේ මම එයාව බලාගත්ත හැටි එයා දැක්කහම මගේ නංගිලා මල්ලිලාට තාත්තා කොයි වෙලේත් කිව්වේ, ‘ඕගොල්ලො ඕගොල්ලන්ගේ අයියගේ ආගමට හැරෙන්න ඕනෙ’ කියලයි! ඒක ඒගොල්ලන්ව පෙලඹෙව්වා; දැන් මගේ තාත්තාගේ දරුවන් නවදෙනාම යෙහෝවාගේ සාක්ෂිකාරයෝ.”
විශේෂයෙන්ම ආර්ථිකව දුෂ්කර කාලවලදී අපගේ මහලු දෙමාපියන්ව රැකබලා ගැනීම අභියෝගයක් වෙන්න පුළුවන්. නමුත් ක්‍රිස්තියානීන් මේ දේ කරන්න වීර්යය කිරීමත් සමඟම ඔවුන් බොහෝ විපාක නෙළාගන්නවා. සියල්ලටම වැඩියෙන්, දීමෙන් ලබන ප්‍රීතිය සමඟම, “සියලු මිනිසුන් ගේ පියා” වන යෙහෝවා දෙවිව සතුටු කළ බව දැනගැනීමෙන් ඔවුන් තෘප්තිය අද්දකිනවා.—එපීස 4:6, ඇත්ත ඇති තැන.
[6වන පිටුවේ කොටුව]
රැකවරණය ලබන සහ ලබා දෙන අය සඳහා දිව්‍ය උපදෙස්
දිරිගන්වනසුලු වන්න: “අපෙන් එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ වැඩිදියුණුව පිණිස යහපත සඳහා ඔහු සතුටුකෙරේවා.”—රෝම 15:2.
තිරසාර වන්න: “යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමු.”—ගලාති 6:9.
නිහතමානී වන්න: “පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.”—පිලිප්පි 2:3.
යහපත කරන්නෙක් වන්න: “කිසිවෙක් තමාගේම කාරණ නොසොයා, එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ යහපත සොයාවා.”—1 කොරින්ති 10:24.
සාධාරණ වන්න: “ඔබගේ සාධාරණකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා.”—පිලිප්පි 4:5, NW.
සානුකම්පිත වන්න: ‘නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස් තුළ දෙවි නුඹලාට කමා වුණ ලෙසම නුඹලාත් එකිනෙකාට [නොමසුරුව, NW] කමා වෙන්න.’—එපීස 4:32.
[7වන පිටුවේ පින්තූරය]
තරුණ වැඩිමහල්ලන්ට මහලු වැඩිමහල්ලන්ගේ අද්දැකීමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්