අස්වනු මංගල්‍යයන් දෙවිව සතුටු කරනවාද?
ප්‍රණීත පලතුරු, ප්‍රියමනාප එළවළු සහ හොඳින් වැඩුණු ධාන්‍ය මිටි ගොඩ ගසා ඇති ආකාරය සිත්ගන්න පින්තූරයක් පිළිගන්වනවා. අස්වැන්න කපන කාලයේදී එංගලන්තය පුරා පල්ලිවල අල්තාර සහ දේශනා කූඩු මෙවැනි ප්‍රදර්ශනවලින් සරසනවා. වෙනත් ප්‍රදේශවල වගේම යුරෝපයේද කපන කාලයේ ආරම්භය සහ අවසානය මංගල්‍යයන් බොහෝමයක් මගින් සලකුණු කෙරෙනවා.
භූමියෙන් යැපෙන අය දේශයේ පලදාව ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තවශයෙන්ම, කපන කාලයට සමීපව සම්බන්ධ වාර්ෂික මංගල්‍ය තුනක් පවත්වන්න කියා පුරාණ ඉශ්රායෙල් ජාතියට දෙවි කියා සිටියා. වසන්තයේ මුලදී, මුහුන් නුමුසු රොටි මංගල්‍ය සමයේදී, ඉශ්රායෙල්වරු බාර්ලි අස්වැන්නේ නාඹුල් ඵලයෙන් මිටියක් දෙවිට ඔප්පු කළා. වසන්තයේ අග කාලයේ සති මංගල්‍යයේදී (නැත්නම් පෙන්තකොස්තයේදී) තිරිඟු අස්වැන්නේ නාඹුල් ඵලයෙන් තැනූ රොටි ඔප්පු කළා. ශරත් ඍතුවේදී රැස් කිරීමේ මංගල්‍ය පැවැත්වූ අතර, එහිදී ඉශ්රායෙල්හි කෘෂිකාර්මික අවුරුද්ද අවසන් බවට සලකුණු කෙරුණා. (නික්මයාම 23:14-17) මේ මංගල්‍යයන් “ශුද්ධ සභා රැස්වීම්” සහ ප්රීතිවීමේ කාලයන් වුණා.—ලෙවී කථාව 23:2; ද්විතීය කථාව 16:16.
එසේනම්, නවීන දින අස්වනු උත්සව සම්බන්ධයෙන් තත්වය මොකක්ද? ඒවා දෙවිව සතුටු කරනවාද?
මිථ්‍යාදෘෂ්ටික නෑකම්
පාරම්පරික කපන කාලයේ ලෞකික ස්වභාවය මෙන්ම එම උත්සවයට සම්බන්ධ භෝජනෝත්සව සහ බේබදුකම ගැන බාධාවට පත් එංගලන්තයේ කෝන්වෝල්හි එංගලන්ත සභාවේ පූජකයෙක්, 1843දී මධ්‍යකාලීන අස්වනු චාරිත්‍රය යළි පණගන්වන්න තීරණය කළා. ඔහු කපාගත් නාඹුල් ධාන්‍ය ටිකකින් ඔහුගේ පල්ලියේ පැවැත්වෙන සත්ප්‍රසාද උත්සවය සඳහා පූප සාදාගත්තා. එසේ කිරීමෙන් ලාමාස් මංගල්‍ය චිරාත් කාලයක් පැවතෙන්න සැලැස්වූවා. “ක්‍රිස්තියානි” මංගල්‍යයක් වන එයට පැරණි යුරෝපීයන් නමස්කාර කළ ලුක් දෙවි හා සම්බන්ධ මූලාරම්භයක් ඇති බව සමහරු කියනවා.a මෙලෙස, නූතන එංගලන්ත සභාවේ අස්වනු උත්සවයට මිථ්‍යාදෘෂ්ටික මූලාරම්භයක් තියෙනවා.
අස්වනු කාලය අවසන් වූ විට පවත්වන අනෙකුත් උත්සව ගැන කියන්න පුළුවන් මොනවාද? එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා කියන විදිහට, මේ උත්සව සලකුණු කරන බොහෝ චාරිත්‍ර, එහි මූලාරම්භය වන “ධාන්‍ය [බීජ] ආත්මය හෝ ධාන්‍ය මව් යන ප්රාණවාදී විශ්වාසය” වෙත ආපස්සට ගෙන යනවා. නෙළන්න තියෙන අන්තිම ධාන්‍ය මිටියෙත් ආත්මයක් සිටිනවා කියා සමහර ප්‍රදේශවල ගොවියෝ විශ්වාස කළා. ආත්මය පලවාහරින්න, ඔවුන් ධාන්‍ය පොළොවට හැළෙන තුරු පහර දෙනවා. වෙනත් ප්‍රදේශවල, ඔවුන් ධාන්‍ය පත්‍ර එකට එක්කොට වියා “ධාන්‍ය බෝනික්කෙක්” සාදා ඊළඟ අවුරුද්දේ වපුරන තුරු “වාසනාව” රැකගන්න තබාගන්නවා. එය අලුත් අස්වැන්නට ආශීර්වාදයක් වෙයි කියා බලාපොරොත්තු වෙමින් ඔවුන් ධාන්‍ය කරල් නැවත පොළොවට දමා එයත් සමඟ පොළොව හානවා.
සමහර පුරාවෘත්ත, කැපීමේ කාලය සශ්‍රීකත්වයේ දෙවඟන වන ඉස්තාර්ගේ පුරුෂයා වන බබිලෝනීය තම්මුස් දෙවිගේ නමස්කාරයට සම්බන්ධ කර තියෙනවා. පැසුණු ධාන්‍ය කරල් කපා දැමීම තම්මුස්ගේ අකල් මරණයට සමාන කරනවා. වෙනත් පුරාවෘත්ත, කැපීමේ කාලය මිනිස් යාගවලට පවා සම්බන්ධ කරනවා—එය යෙහෝවා දෙවි පිළිකුල් කරන ක්‍රියාවක්.—ලෙවී කථාව 20:2; යෙරෙමියා 7:30, 31.
දෙවිගේ දෘෂ්ටිය මොකක්ද?
පුරාණ ඉශ්රායෙල් සමඟ දෙවිගේ ක්‍රියාකාරකම් යෙහෝවා ජීවිතයේ උල්පත සහ මැවුම්කරු බවත්, තම නමස්කාරකයන්ගෙන් තනි භක්තිය ඉල්ලා සිටින බවත් හෙළි කළා. (ගීතාවලිය 36:9; නාහුම් 1:2) එසකියෙල්ගේ දවසේදී, තම්මුස් ගැන අඬා වැලපීම යෙහෝවාගේ ඇස් හමුවෙහි ‘මහත් පිළිකුල්කමක්’ වුණා. මෙය ඇතුළු අනිකුත් බොරු ආගමික පිළිවෙත් එම බොරු නමස්කාරකයන්ගේ යාච්ඤාවලට තම කන් වසාගන්න දෙවිව සැලැස්වූවා.—එසකියෙල් 8:6, 13, 14, 18.
කපන කාලයේදී ඉශ්රායෙල්වරුන්ට පැවැත්වීමට දෙවි යෙහෝවා දුන් උපදෙස් සමඟ මෙහි ඇති වෙනස බලන්න. රැස් කිරීමේ උත්සව සමයේදී ඉශ්රායෙල්වරු විධිමත් එක්රැස්වීමක් පැවැත්වූවා. තරුණ-මහලු සහ දුප්පත්-පොහොසත් අය, තේජවත් ගස්වල සරුසාර කොළ අතුවලින් සැරසූ තාවකාලික නිවාසවල වාසය කළා. මෙය ඔවුන්ට මහත් ප්‍රීතියේ කාලයක් වුණා. ඒ වගේම ඔවුන්ගේ මුතුන්මිත්තන් මිසරයෙන් නික්ම ගිය කාලයේදී දෙවි ලබා දුන් ගැළවීම ගැන කල්පනා කර බලන්නද මෙය කාලයක් වුණා.—ලෙවී කථාව 23:40-43.
ඉශ්රායෙල් උත්සව සමයේදී, එකම සැබෑ දෙවි වූ යෙහෝවාට පූජා ඔප්පු කළා. (ද්විතීය කථාව 8:10-20) කලින් සඳහන් කළ ප්රාණවාදී විශ්වාසයන් ගැන කියනවා නම්, තිරිඟු මිටි වැනි පලදාවක ප්‍රාණය තියෙනවා කියා බයිබලය කොතැනකවත් කියන්නේ නැහැ.b එමෙන්ම පිළිම අප්‍රාණිකව පවතින බවත්, කතා කරන්න, දකින්න, ගඳ-සුවඳ දැනෙන්න, ස්පර්ශය දැනෙන්න හෝ ඒවායේ නමස්කාරකයන්ට කිසිම උපකාරයක් කරන්න ඒවාට බැරි බව ශුද්ධ ලියවිලි පැහැදිලිවම පෙන්වනවා.—ගීතාවලිය 115:5-8; රෝම 1:23-25.
අදදින ක්‍රිස්තියානීන් පුරාණ ඉශ්රායෙල් ජාතිය සමඟ දෙවි අවසන් කළ ව්‍යවස්ථා ගිවිසුමට යටත් නැහැ. ඇත්තවශයෙන්ම, දෙවි ‘ඒක යේසුස්ගේ වද කණුවේ ඇණගසා අහක් කළා.’ (කොලොස්සි 2:13, 14) යෙහෝවාගේ වර්තමාන දින සේවකයන් ජීවත් වන්නේ “[ක්‍රිස්තුස්ගේ] ව්‍යවස්ථාව” තුළ වන අතර, දෙවි සපයන සියල්ල සඳහා අගයෙන් යුතුව ප්‍රතිචාරය දක්වනවා.—ගලාති 6:2.
යුදෙව් උත්සව “පැමිණෙන්ට තිබෙන දේවල ඡායාවක්” බව ප්‍රේරිත පාවුල් පැහැදිලිවම සඳහන් කළා. ඊට එකතු කරමින්, “යථාර්ථය අයිති වන්නේ ක්‍රිස්තුස්ට” [NW] කියා ඔහු කිව්වා. (කොලොස්සි 2:16, 17) ප්‍රතිඵලයක් හැටියට, සැබෑ ක්‍රිස්තියානීන් ශුද්ධ ලියවිලිමය හේතු පහදා දීම් පිළිගන්නවා: “[ජාතීන්, NW] පූජාකරන දේ ඔවුන් පූජාකරන්නේ [දෙවිට] නොව යක්ෂයන්ටයයි කියමි. . . . නුඹලාට [යෙහෝවාගේ] කුසලානෙන්ද යක්ෂයන්ගේ කුසලානෙන්ද බොන්ට නුපුළුවන.” (1 කොරින්ති 10:20, 21) තවදුරටත්, “අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්න” යන මඟ පෙන්වීමට ක්‍රිස්තියානීන් අවනත වෙනවා. ඔබ අවට ප්‍රදේශයේ පවත්වන අස්වනු මංගල්‍යයන්ට මිථ්‍යාදෘෂ්ටික හෝ බොරු ආගමික සම්බන්ධයක් තියෙනවාද? එසේනම්, සැබෑ ක්‍රිස්තියානීන් එවැනි දූෂ්‍ය වූ නමස්කාරයකට කොයිම ආකාරයකින්වත් හවුල් වීම ප්‍රතික්ෂේප කිරීම මගින් යෙහෝවාව අසතුටු කිරීමෙන් වළකින්න යනවා.—2 කොරින්ති 6:17.
අගය කරනසුලු දරුවෙකුට තම පියාගෙන් තෑග්ගක් ලැබුණාම ස්තුති කරන්නේ කාටද? ඔහුට මුළුමනින්ම අමුත්තෙක් වූ කෙනෙකුටද, නැත්නම් ඔහුගේ දෙමාපියාටද? හෘදයාංගම යාච්ඤාව තුළින්, දෙවිගේ නමස්කාරකයන් තමන්ගේ ස්වර්ගීය පියා වන යෙහෝවාට ඔහුගේ නිර්ලෝභී ත්‍යාගශීලිත්වය වෙනුවෙන් දිනපතාම ස්තුති කරනවා.—2 කොරින්ති 6:18; 1 තෙසලෝනික 5:17, 18.
[පාදසටහන්වල]
a “ලාමාස්” කියන වචනය බිඳී ඇවිත් තියෙන්නේ, “පූප-පූජාව” යන අරුත් ඇති පැරණි ඉංග්‍රීසි වචනයෙන්.
b ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) මෙහෙම කියනවා: “ශාක ලේ රහිත නිසා මැවීමේ තුන්වන ‘දවසේදී’ (උත් 1:11-13) හෝ ඊට පසුව, ශාක ප්‍රාණයක් කෙරෙහි යොමු දක්වමින් නෙʹෆෙෂ් (ප්‍රාණය) පාවිච්චි කළේ නැහැ.”—Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.