යෙහෝවාගේ සේවය තුළ දීර්ඝ ජීවිත කාලයකට ස්තුතිවන්තව
ඔටීල්ය මිඩ්ලන් පැවසූ පරිදි
දහනවවෙනි සියවසේ අගභාගයේදී, බටහිර නෝර්වේහි කොප’වික් වරායේ යාත්‍රා නැව් පේළියට නවතා තිබුණා. ඒ දවස්වලදී වීදි දිගේ කරත්ත ඇදගෙන ගියේ පිරිමින් සහ අශ්වයන්. ආලෝකය ලබාගන්න මිනිස්සු පාවිච්චි කළේ පැරෆින් ලාම්පු; සුදුපාට තීන්ත ආලේප කළ ලෑලි ගෙවල් උණුසුම් කළේ දර සහ රත් කළ ගල් අඟුරුවලින්. එහි 1898 ජූනිවලදී ඉපදුණු මම දරුවන් පස්දෙනාගෙන් දෙවනියායි.
තාත්තට රැකියාවක් තිබුණේ නැති නිසා, 1905දී ඔහු එක්සත් ජනපදයට ගියා. දරුවන්ට කුතුහලය අවුස්සන තෑගිත්, අම්මාට සිල්ක් රෙදිත්, වෙනත් දේවලුත් පිරුණු සූට්කේස් එකක් අරං අවුරුදු තුනකට පස්සේ ඔහු නැවත පැමිණියා. නමුත් ස්ටඩීස් ඉන් ද ස්ක්රිප්ච’ස් (ශුද්ධ ලියවිලි තුළින් අධ්‍යයනය) යන මාතෘකාවෙන් චාල්ස් ටේස් රසල් ලියූ වෙළුම් ඔහු සතු වූ ඉතා වටිනාම දේවල් වුණා.
තාත්තා මේ පොත්වලින් ඉගෙනගත් දේවල් මිතුරන්ට සහ නෑදෑයන්ට කියන්න පටන්ගත්තා. ප්‍රදේශයේ දෙව්මැදුරේ රැස්වීම්වලදී, දැවෙන නිරයක් නැති බව පෙන්වන්න තාත්තා බයිබලය පාවිච්චි කළා. (දේශනාකාරයා 9:5, 10) තාත්තා එක්සත් ජනපදයෙන් ආපහු ආව අවුරුද්දට පස්සේ අවුරුද්ද වූ 1909දී, සහෝදර රසල් නෝර්වේට ඇවිත් බර්ගන් සහ දැන් ඔස්ලෝ වන ක්රිස්ටියානියාවල කතා දුන්නා. ඔහුට ඇහුම්කන් දෙන්න තාත්තා බර්ගන්වලට ගියා.
බොරු ඉගැන්වීම්වලට අනුබල දෙනවා කියා වැඩිදෙනෙක් තාත්තාට දොස් පැවරුවා. මට ඔහු ගැන දුකක් දැනිලා අසල්වැසියන්ට බයිබල් පත්‍රිකා බෙදාහරින්න ඔහුට උපකාර කළා. වර්ෂ 1912දී, පූජකයෙකුගේ දුවෙකුට මම නිරය පිළිබඳ පත්‍රිකාවක් දුන්නා. ඈ මටත්, තාත්තාටත් අපහාස කළා. පූජකයෙකුගේ දුවෙකුට එවැනි නොහොබිනා භාෂාවක් පාවිච්චි කරන්න පුළුවන් වීම මට මහ පුදුමයක් වුණා!
අනිත් බයිබල් ශිෂ්‍යයනුත්, දක්ෂ කථිකයෙකු වන ටේඔඩොර් සිමන්සනුත් ඉඳහිට අපව බලන්න කොප’වික්වලට ආවා; යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව එවකට හැඳින්නුවේ බයිබල් ශිෂ්‍යයන් කියලයි. අපේ ගෙදරදී ඔහු දුන් කතාවලට ඇහුම්කන් දෙන්න එන්න කියලා මම සෙනඟට ආරාධනා කරන්න වුණා. ඔහුගේ කතාව දීමට පෙර ඔහු සිදරය (තත් 30ක් 40ක් ඇති තූර්යභාණ්ඩයක්) වාදනය කර, ගීයක් ගැයුව අතර ඔහුගේ කතාවෙන් පස්සේ ඔහු අවසන් කිරීමේ ගීයක් ගැයුවා. ඔහු කෙරෙහි අපිට ගැඹුරු ගෞරවයක් තිබුණා.
අපේ ගෙදරට ආව ගිය තවත් කෙනෙක් තමයි කෝල්පෝටවරියක් නැත්නම් පූර්ණ-කාලීන දේවසේවිකාවක් වන ආනා ආන්ඩ’සන්. ජනයා වෙත බයිබල් පොත් පත් තබමින් ඇය හුඟ වෙලාවට බයිසිකලයෙන් නෝර්වේ පුරාම නගරයෙන් නගරයට සංචාරය කළා. ඇය වතාවක ගැළවීමේ හමුදාවේ නිලධාරිනියක්ව සිටි අතර කොප’වික්හි ඇතැම් නිලධාරීන්ව දැනගෙන හිටියා. ඔවුන් රැස්වෙන නිවසේ බයිබල් කතාවක් දෙන්න ඔවුන් ඇයට අවසර දුන් අතර, ඇවිත් ඇයට සවන් දෙන්න කියා මම සෙනඟට ආරාධනා කළා.
අපව බලන්න කොප’වික්වලට ආව තවත් කෝල්පෝටවරයෙක් තමයි කාල් ගුන්බ’. විනීත, නිශ්ශබ්ද නමුත් සිනාවෙන්ම කල් ගෙවන මේ තැනැත්තා, ඔස්ලෝහි ශාඛා කාර්යාලයේ පරිවර්තකයෙක් හැටියටද කලින් කලට සේවය කළා. අවුරුදු කීපයකට පස්සේ අපි එතැන එකට වැඩ කළා.
ආගමික දෘෂ්ටීන් මගින් බලපෑම් ලැබ
ඒ කාලයේදී වැඩිදෙනෙකුට දෙවි හා බයිබලය කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් තිබුණා විතරක් නොවේ, නමුත් නිරාගින්න සහ ත්‍රිත්වය වැනි විශ්වාසයන්වලිනුත් ඔවුන් වට වී සිටියා. එබැවින් මේ ධර්මයන් බයිබලයට එකඟ නැති බව බයිබල් ශිෂ්‍යයන් ඉගැන්වූ විට එමගින් සෑහෙන ඇවිස්සීමක් සිදු වුණා. තාත්තා මිථ්‍යා ලබ්ධිකයෙක් කියා අපේ අසල්වැසියන් නැඟූ බලවත් දෝෂාරෝපණ මා තුළ බලපෑමක් ඇති කළා. වතාවක මම ඔහුට මෙහෙමත් කිව්වා: “තාත්තා උගන්වන්නේ සත්‍යය නෙවෙයි. ඕක මිථ්යාලබ්ධික ඉගැන්වීමක්!”
“ඔටීල්ය මෙහෙට එන්න; මේ බලන්න බයිබලයේ කියන්නේ මොකක්ද කියලා” කියා ඔහු මාව දිරිගැන්නුවා. ඊට පස්සේ ඔහු ශුද්ධ ලියවිලිවලින් මට ඇහෙන්න කියෙව්වා. ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු කෙරෙහි සහ ඔහු ඉගැන්වූ දේ කෙරෙහි මගේ විශ්වාසය වැඩි වුණා. ශුද්ධ ලියවිලි තුළින් අධ්‍යයනය කියවන්න කියා ඔහු මට දිරිගැන්නුවා; ඉතින් 1914 ගිම්හාන කාලයේදී මම හුඟක් වෙලාවට පහළින් ඇති නගරය පෙනෙන විදිහට ගොඩැල්ලක් උඩ වාඩි වෙලා කියෙව්වා.
පළවෙනි ලෝක යුද්ධය පටන්ගැනීම සම්බන්ධයෙන් පුවත්පතක් කියවීමට, 1914 අගෝස්තුවලදී දේශීය පුවත්පත් කාර්යාලයක පිටත සෙනඟ එක්රොක් වී සිටියා. තාත්තා ආවා; මොකක්ද සිද්ධ වෙන්නේ කියලා දැක්කා. “ඇති යන්තම්!” ඔහු බලවත් හැඟීමකින් කිව්වා. යුද්ධය පටන්ගැනීම ඔහු උගන්වමින් හිටිය බයිබල් අනාවැකිවල ඉටුවීමක් බව ඔහු වටහාගත්තා. (මතෙව් 24:7) බයිබල් ශිෂ්‍යයන්ගෙන් වැඩිදෙනෙක් තමන්ව විගස ස්වර්ගයට ගනු ලබයි කියා ඒ කාලයේදී විශ්වාස කළා. මේක සිද්ධ නොවුණ නිසා සමහරු අධෛර්යයට පත් වුණා.
බයිබල් සත්‍යය උදෙසා මගේ ස්ථාවරත්වය
වර්ෂ 1915දී, වයස 17දී, කනිෂ්ඨ පාසැලේ අධ්‍යාපනය නිම කළ මා කාර්යාලයක බාහිර රැකියාවක් කරන්න පටන්ගත්තා. එවිට මම නිතිපතා මුරටැඹ කියවන්න පටන්ගත්තා. නමුත් 1918 වන තෙක් කොප’වික්වල නිතිපතා රැස්වීම් තියන්න බැරි වුණා. පටන්ගැන්මේදී අපි පස්දෙනෙක් ඊට සහභාගි වුණා. ශුද්ධ ලියවිලි තුළින් අධ්‍යයනය වැනි වොච් ටවර් සමිතියේ ප්‍රකාශන කියවා අපි ප්‍රශ්නෝත්තර ක්‍රමයට එහි කරුණු සාකච්ඡා කළා. බයිබල් ශිෂ්‍යයන්ව උසස් කොට කතා කළත් අම්මා කවදාවත් අපෙන් කෙනෙක් බවට පත් වුණේ නෑ.
වර්ෂ 1918 ආරම්භයේදී, මම වැඩ කළ කාර්යාලයේ ආන්ටෝන් සාල්ට්නස්ව දැනහඳුනාගත් මට හැකි වුණා ඔහුට බයිබල් ශිෂ්‍යයෙක් වීමට උපකාර කරන්න. මේ අවස්ථාවේදී මා ස්ථාවර ප්‍රචාරකයෙක් බවට පත් වූ අතර, 1921දී බර්ගන්හි එක්රැස්වීමකදී බව්තීස්ම වුණා.
වර්ෂ 1925 මැයිවලදී, ස්වීඩනයේ ඔරෙබ්රෝවල, මුළු ස්කැන්ඩිනේවියාවටම එක්රැස්වීමක් තිබුණා. වොච් ටවර් සමිතියේ සභාපති ජෝසෆ් එෆ්. රද’ෆ’ඩ් ඇතුළුව 500කට වැඩි ගණනක් ඇවිත් හිටියා. අප සඳහා වෙන් කරනු ලැබූ දුම්රිය මැදිරියක අපි 30දෙනෙක් පමණ ඔස්ලෝවලින් දුම්රියෙන් පිටත් වුණා.
ස්කැන්ඩිනේවියාවේ සහ බෝල්ටික් රටවල් පුරා දේශනා වැඩය බලාකියාගැනීමට ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හි උතුරු යුරෝපීය කාර්යාලයක් පිහිටුවන්න යන බව මේ එක්රැස්වීමේදී නිවේදනය කළා. දේශනා වැඩය අධීක්ෂණය කිරීමට විලියම් ඩේට පැවරුවා. අන්‍යයන්ගේ ප්‍රසාදය ලැබූ ඔහු වැඩි කල් නොගොස් බිග් ස්කොට්ස්මන් යන නමින් ප්‍රසිද්ධ වුණා. මුලදී සහෝදර ඩේට ස්කැන්ඩිනේවියානු භාෂාව ගැන පොඩ්ඩක්වත් දැනුමක් නොතිබුණ නිසා, රැස්වීම් සහ එක්රැස්වීම් පැවැත්වෙන වෙලාවලදී දරුවන් ගැන සැලකිලිමත් වීම සඳහා ඔහු පිටුපසින් වාඩි වුණා; එවිට ඔවුන්ගේ දෙමාපියන්ට වේදිකාවෙන් පැවසූ දේ කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන් වුණා.
එළිදරව් 12වන පරිච්ඡේදය ගැන සාකච්ඡා කළ 1925 මාර්තු 1 මුරටැඹ සඟරාව, මේ පරිච්ඡේදය දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේදී බිහිවීම විස්තර කරන අතර මේ බිහිවීම හටගත්තේ 1914දී කියා පැහැදිලි කළා. මට ඒක අවබෝධ කරගන්න දුෂ්කර වුණ නිසා ලිපිය නැවත නැවත කියෙව්වා. අන්තිමේදී අවබෝධ වුණහම මට ලොකු සතුටක් ඇති වුණා.
බයිබල් විෂයන් ගැන අපේ අවබෝධයෙහි සකස් කිරීම් කළ විට සමහරු පැකිලී, දෙවිගේ සෙනඟගෙන් ඉවත් වී ගොස් තිබුණා. ඒත් එවැනි සකස් කිරීමක් තේරුම්ගන්න අමාරු වුණහම, හේතු දැක්වීම අවබෝධ කරගන්න වෑයම් කරමින් මම හැම වෙලාවෙම නැවත නැවත කරුණු කියවලා තියෙනවා. ඒත් තවදුරටත් අලුත් පැහැදිලි කිරීම අවබෝධ වුණේ නැත්නම් පැහැදිලි කිරීමක් ලැබෙන තුරු මම බලාගෙන ඉන්නවා. එවැනි ඉවසීමකින් මම බොහෝවිට ආශීර්වාද ලබලා තියෙනවා.
බෙතෙල්හි සේවය
අවුරුදු කීපයකට මම පොත් තබන්නියක, ලේකම්වරියක සහ ප්‍රාන්ත ගිණුම් පරීක්ෂාකරන්නියක ලෙස වැඩ කළා. සමිතියේ ගිණුම් කටයුතු භාරව සිටි තැනැත්තා 1928දී අසනීප වුණ නිසා බෙතෙල් එකෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. එවැනි වැඩ සම්බන්ධයෙන් මට පළපුරුද්දක් තිබුණ නිසා, එහි වැඩ භාරගන්නා ලෙසට මගෙන් ඉල්ලා සිටියා. මම 1928 ජූනිවලදී බෙතෙල් සේවය පටන්ගත්තා. සහෝදර ඩේ ඉඳහිට අපව බලන්න ඇවිත්, මගේ ගිණුම් වැඩ පරීක්ෂා කළා. අපිට එක සභාවක් විතරක් තිබුණ ඔස්ලෝවල ප්‍රසිද්ධ දේශනා වැඩයෙහිද අපේ බෙතෙල් පවුල පෙරමුණ ගත්තා.
අපෙන් සමහරදෙනෙක් රන් යුගය (ඉංග්‍රීසියෙන්) (දැන් පිබිදෙව්!) අහුරා සකස් කරමින් සහ මුදාහරිමින් බෙතෙල් එකේ පොත් පත් බෙදාහැරීම භාරව සිටි සහෝදර සාක්ෂමට උපකාර කළා. අපට උදව් වූ අය අතර සහෝදර සිමන්සන් සහ ගුන්බ’ද හිටියා. අපි වැඩ කරද්දී බොහෝවිට ගී ගයමින් ප්‍රීතියෙන් වැඩ කළා.
රාජ්‍ය බලාපොරොත්තුව කෙරෙහි විශ්වාසය
“මහත් සමූහය” ද්විතීයික ස්වර්ගික පංතියක් නොවන බව 1935දී අපිට අවබෝධ වුණා. ඒ වෙනුවට එය මහත් පීඩාවෙන් බේරෙන පංතියක් නියෝජනය කරන අතර, පොළොව මත පාරාදීසයෙහි සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව තිබෙන බව අපි ඉගෙනගත්තා. (එළිදරව් 7:9-14) මේ අලුත් අවබෝධය හේතුවෙන් සිහි කිරීමේ සංකේත භාවිත කළ අයගෙන් සමහරෙක් තමන්ට තිබෙන්නේ භූමික බලාපොරොත්තුවක් බව වටහාගෙන, ඒවා ගැනීම නතර කර දැමුවා.
මගේ ස්වර්ගික බලාපොරොත්තුව ගැන මට කවදාවත් සැක නොතිබුණත් බොහෝවිට මම මෙහෙම හිතුවා, ‘දෙවිට මාව ඕනෙ ඇයි?’ එවැනි උතුම් වරප්‍රසාදයක් ලබන්න නොවටිනා බවක් මට හැඟුණා. ස්වර්ගයේ ක්‍රිස්තුස් සමඟ මම රජකෙනෙක් හැටියට එකට පාලනය කිරීම ගැන හිතන එක සුළු, ලජ්ජාශීලී ස්ත්‍රියක් හැටියට මට මහ අමුතු දෙයක් මෙන් දැනුණා. (2 තිමෝති 2:11, 12; එළිදරව් 5:10) කොහොමනමුත්, “බලවන්ත බොහෝ දෙනෙක් [නොව]” නමුත් “[දෙවි] ශක්තිමත් දේ ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්[තේය]” යන ප්‍රේරිත පාවුල්ගේ වදන් ගැන මම නිතර හිතුවා.—1 කොරින්ති 1:26, 27.
දෙවන ලෝක යුධ සමයේදී වැඩකටයුතු
වර්ෂ 1940 අප්‍රියෙල් 9වෙනිදා ජර්මානු හමුදා මගින් නෝර්වේ ආක්‍රමණය කළ අතර, වැඩිකල් නොගොස් රට අත් පත් කරගත්තා. යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝදෙනෙක් රාජ්‍ය පණිවිඩයට ප්‍රතිචාරය දක්වන්න පටන්ගත්තා. වර්ෂ 1940 ඔක්තෝබර් සිට 1941 ජූනි දක්වා අපි පොත් සහ පොත්පිංච 2,72,000කට වඩා බෙදා දුන්නා. එයින් අදහස් කරන්නේ එම මාස නවය තුළදී නෝර්වේහි සිටි සාක්ෂිකරුවන් 470දෙනෙකුට වැඩි සංඛ්‍යාවකගෙන් හැම කෙනෙක්ම පොත් සහ පොත්පිංච 570ක සාමාන්‍යයකට වඩා බෙදා දුන් බවයි!
වර්ෂ 1941 ජූලි 8වෙනිදා ගෙස්ටාපෝ පොලිසිය මුලසුන භාර අවේක්ෂකයන් සියලුදෙනාවම හමු වී දේශනා වැඩය නැවැත්තුවේ නැත්නම් තමුන්ට වධක කඳවුරුවලට යන්න සිද්ධ වෙයි කියලා ඔවුන්ට කිව්වා. ජර්මානු පොලිස් නිලධාරීන් පස්දෙනෙක් බෙතෙල් එකට පැමිණ වොච් ටවර් සමිතියේ දේපොළවලින් වැඩිහරියක් රාජසන්තක කළා. බෙතෙල් පවුල පිටතට ගෙන ගොස් ප්‍රශ්න කළ නමුත් අපෙන් කිසි කෙනෙක්ව හිරභාරයට ගත්තේ නෑ. අවසානයේදී, 1941 ජූලි 21වෙනිදා, ඉන්කොග්නිටෝගේට්න් 28B නම් සමිතියේ ගොඩනැඟිල්ල රාජසන්තක කළ අතර, අපේ දේශනා වැඩයට තහංචි පැනෙව්වා. මම නැවතත් කොප’වික්වලට ගොස් මගේ නඩත්තුව සඳහා බාහිර රැකියාවක් ලබාගත්තා.
මේ කාලයේදී, තාත්තා පුරෝගාමියෙක් වශයෙන් සේවය කරමින් හිටියා. දිනක් නාට්සිවරුන් ඇවිත් තාත්තාගේ ගේ සෝදිසි කළා. ඔවුන් ඔහුගේ බයිබල් සහ බයිබල් ශබ්ද සූචි ඇතුළු ඔහුගේ පොත් පත් සියල්ලම ගෙනගියා. මේ කාලය තුළදී අපිට ආත්මික ආහාර ලැබුණේ බොහොම ටිකයි. ආත්මිකව ශක්තිමත්ව සිටීම සඳහා, අපි ආණ්ඩුව (ඉංග්‍රීසියෙන්) වැනි පරණ පොත් නැවත නැවත පාඩම් කළ අතර දිගටම දේශනා සේවයේ යෙදුණා.
බොහෝ ස්ථානවල සිටි සහෝදරයන් බෙදිලා සිටීම කනගාටුවට කරුණක්. අපි ප්‍රසිද්ධියේ දේශනා සේවයේ සහ ගෙයින් ගෙට යා යුතු බව සමහරුන්ගේ මතය වූ අතර, අපි ඉතා රහසිගතව, වෙනත් ක්‍රමවලින් ජනයාව හමු විය යුතු බවක් අනිත් අයට හැඟුණා. මේ නිසා කලින් හුඟක් සහයෝගයෙන් වැඩ කළ, අපි ගොඩක් ආදරයෙන් සැලකූ, පෙරමුණ ගෙන වැඩ කළ සහෝදරයන් එකිනෙකා සමඟ කතා නොකර ඇරියා. ඔවුන් අතර භේදය, සාක්ෂිකාරියක වශයෙන් මගේ ජීවිතයේ වෙන හැම තත්වයකටම වඩා මගේ හෘදයේ ඉමහත් වේදනාවක් ඇති කළා.
යුද්ධයෙන් පස්සේ යළි වැඩකටයුතු අරඹා
යුද්ධයෙන් පසු, 1945 ගිම්හානයේදී, සහෝදර ඩේ නෝර්වේවලට ගොස් ඔස්ලෝ, ෂෙයින් සහ බර්ගන්හි රැස්වීම් පැවැත්තුවා. විරුද්ධවාදිකම් ඉවත් කරන්න කියා අයැද සිටි ඔහු එසේ කරන්න කැමති සියල්ලන්ටම නැඟිටින්න කියලා කිව්වා. හැමෝම නැඟිට සිටියා! එවකට වොච් ටවර් සමිතියේ සභාපතිව සිටි නේදන් එච්. නෝර් පැමිණි පසු 1945 දෙසැම්බර්වලදී ආරවුල සම්පූර්ණයෙන්ම සමථයකට පත් වුණා.
ඒ අතරතුර, 1945 ජූලි 17වෙනිදා ශාඛා කාර්යාලය භාර සේවක සහෝදර එනොක් ඔමන්ගෙන් විදුලි පණිවිඩයක් මට ලැබුණා; එහි මෙසේ පවසා තිබුණා: ‘බෙතෙල් එකට එන්න ඔබට පුළුවන් කවදාද?’ මම ගෙදර ඉඳලා, අවුරුදු 70 ඉක්මවලා හිටිය මගේ තාත්තව බලාගත යුතුයි කියලා සමහරු පැවසුවා. නමුත් බෙතෙල් සේවය යළි ආරම්භ කරන්න කියලා තාත්තා මට දිරිගැන්නුව නිසා මම එසේ කළා. එක්සත් ජනපදයේ සහෝදරයෙක් වන මා’වන් එෆ්. ඇන්ඩ’සන් 1946දී අපේ ශාඛා අවේක්ෂක බවට පත් වුණ අතර, දේශනා වැඩය යළි සංවිධානය කරනු ලැබුවා.
ගිම්හාන නිවාඩු සමයේදී මම නැවත මගේ පවුලේ අයව බලන්න කොප’වික්වලට ගියා. මගේ සහෝදරයන් දෙන්නා සහ සහෝදරියන් දෙන්නා සාක්ෂිකරුවන් බවට පත් නොවුණ නමුත්, ඔවුන් හැමවිටම තාත්තට හා මට හිතවත්ව හිටියා. මගේ සහෝදරයෙක් වරාය අධිකාරී සහ නියමු අධීක්ෂක බවට පත් වුණ අතර, අනිත් කෙනා ගුරුවරයෙක් වුණා. මට ද්‍රව්‍යමය වශයෙන් තිබුණේ ස්වල්පයක් වුණත් තාත්තා ඔවුන්ට මෙහෙම පැවසුවා: “ඔටීල්ය ඕගොල්ලන්ට වඩා පෝසත්.” ඒ වගේම ඒක සැබෑවක්! ඔවුන් ලබාගෙන තිබුණ දේවල් මම අද්දකිමින් හිටිය ආත්මික වස්තු සමඟ සසඳන්න බෑ! වයස 78ක්ව සිටියදී තාත්තා 1951දී මියගියා. වර්ෂ 1928දී අම්මා මියගිහින්.
වර්ෂ 1953දී නියූ යෝක් නගරයේ යෙහෝවාගේ ජනයාගේ ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වෙන්න ලැබීම මගේ ජීවිතයේ විශේෂ සිද්ධියක්. ඒ අවුරුද්දේදී ලෝක ක්ෂේත්රයේ ප්‍රචාරකයන්ගේ ගණන 5,00,000 පසු කළ අතර 1,65,000කට වඩා සමුළුවට සහභාගි වුණා! වර්ෂ 1953 සමුළුවට පෙර, පොළොව මත ඇති යෙහෝවාගේ සංවිධානයේ මූලස්ථානය වන බෘක්ලින් බෙතෙල්හි මම සතියක් වැඩ කළා.
මට පුළුවන් දේ කිරීම
මෑත වර්ෂවලදී මගේ ඇහේ සුද ඇවිත් පෙනීම දුර්වල වුණා. සැර ඇස් කණ්ණාඩියකින් සහ ලොකු කර දක්වන කාචයකින් මට තාමත් ලොකු අකුරු ටිකක් කියවන්න පුළුවන්. ඒ වගේම ක්‍රිස්තියානි සහෝදරියන් මාව බැහැදකින්න ඇවිත් සතියකට දෙවතාවක් මට ඇහෙන්න කියවනවා; මම ඒ ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
මගේ දේශනා කටයුතුත් සීමා වෙලා. ගිම්හානයේදී, ක්‍රිස්තියානි සහෝදරියන් ඉඳලා හිටලා මාව රෝද පුටුවේ දාගෙන මට දේශනා වැඩය කරන්න පුළුවන් තැනකට අරං යනවා. අවුරුදු 100කට විතර ඉස්සෙල්ලා මම ශිෂ්‍යාවක්ව සිටි කනිෂ්ඨ පාසැල වැනි කොප’වික්හි පාසැල්වලට මම නිතිපතා සඟරා සහ විවරණිකා තැපැල් කරනවා. මට තවමත් ස්ථාවර ප්‍රචාරකයෙක් වෙලා ඉන්න හැකියාව තිබීම ගැන මම සතුටු වෙනවා.
වර්ෂ 1983 පටන් ඔස්ලෝවලින් පිටත එට්ර එනෙබාක්හි පිහිටි බෙතෙල් එකේ, මගේ කාමරය කෑම කාමරය සහ රාජ්‍ය ශාලාව තියෙන තට්ටුවේම තිබීම භාග්‍යයක්. ඒ නිසා මට උදෑසන නමස්කාරයට, කෑම වෙලාවලට සහ අපේ රැස්වීම්වලට බස්තමක ආධාරයෙන් යන්න පුළුවන්. තවත්, මට තවමත් සමුළු සහ එක්රැස්වීම්වලට යන්න පුළුවන්කම තිබීම ගැන මම සතුටු වෙනවා. අවුරුදු ගණනාවක සිට මම දැනගෙන හිටිය මිත්‍රයන්වත්, එමෙන්ම අලුත් සහෝදර සහෝදරියන්ව හා කදිම දරුවන් බොහෝදෙනෙක්වත් හමුවීමෙන් මම මහත් සතුටක් ලබනවා.
අවසානය දක්වා ඇදහිලිවන්තව
මෙහෙ බෙතෙල් එකේ ක්‍රියාශීලී, ප්‍රසන්න මෙන්ම ආත්මික ජනයාගෙන් වට වී සිටින්න ලැබීම ආශීර්වාදයක්. මම මගේ බෙතෙල් සේවය පටන්ගත්තහම, මුළු පවුලම සකස් වෙලා තිබුණේ ස්වර්ගික බලාපොරොත්තුව තිබුණ අයගෙන්. (පිලිප්පි 3:14) මා හැර දැන් බෙතෙල් එකේ ඉන්න හැමෝම සදහටම පොළොව මත ජීවත් වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.
යෙහෝවා මීට කලින් ක්‍රියාත්මක වෙයි කියලා අපි හිතුව බව ඇත්තයි. ඒත්, මහත් සමූහය එන්න එන්නම විශාල වෙනවා දැකීම මට ප්‍රීතියක්. මම මොනතරම් වැඩිවීම් දැකලා තියෙනවාද! පළමු වතාවට මම දේවසේවයේ සහභාගි වුණ අවස්ථාවේ, ලෝකෙ පුරාම හිටියේ ප්‍රචාරකයන් 5,000ක් පමණයි. දැන් 54,00,000කට වඩා ඉන්නවා! ඇත්තෙන්ම, “කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද” වෙනවා මම දැකලා තියෙනවා. (යෙසායා 60:22) ප්‍රොපේත හබක්කුක් ලියූ ආකාරයට අපි යෙහෝවා කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටිය යුතුයි: “එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත.”—හබක්කුක් 2:3.