ලෝකයේ සිටියත් එහි කොටසක් නොවෙයි
“ඔබ ලෝකයෙන් කොටසක් නොවන නිසා, . . . ලෝකය ඔබට වෛර කරයි.”—යොහන් 15:19, NW.
1. ක්‍රිස්තියානීන්ට ලෝකය සමඟ තිබෙන්නේ මොන වගේ සම්බන්ධතාවක්ද? ඒත් ලෝකය ඔවුන්ව සලකන්නේ කොහොමද?
යේසු තම ගෝලයන් සමඟ ගත කළ අවසාන රාත්රියේදී ඔවුන්ට මෙසේ පැවසුවා: “ඔබ ලෝකයෙන් කොටසක් [නොවෙයි].” ඔහු කතා කරමින් සිටියේ මොන ලෝකයක් ගැනද? කලින් අවස්ථාවකදී ඔහු මෙසේ පවසා තිබුණේ නැද්ද? ‘දෙවි තමන්ගේ ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.’ (යොහන් 3:16) සදාකාල ජීවනයේ අපේක්ෂාව ඇතුව යේසු කෙරෙහි ඇදහිල්ල තැබූ මුල්ම අය ගෝලයන් වූ නිසා, ඔවුන් එම ලෝකයේ කොටසක්ව සිටි බව පැහැදිලියි; එහෙමනම්, තම ගෝලයන් ලෝකයෙන් වෙන් වී සිටියා කියා යේසු පැවසුවේ ඇයි? එමෙන්ම, “ඔබ ලෝකයෙන් කොටසක් නොවන නිසා . . . ලෝකය ඔබට වෛර කරයි” කියාත් ඔහු පැවසුවේ ඇයි?—යොහන් 15:19, NW.
2, 3. (අ) ක්‍රිස්තියානීන් කොටසක් නොවූ “ලෝකය” කුමක්ද? (ආ) ක්‍රිස්තියානීන් කොටසක් නොවන “ලෝකය” ගැන බයිබලය පවසන්නේ මොනවාද?
2 ඒ ප්‍රශ්නවලට උත්තරය වන්නේ, බයිබලය “ලෝකය” (ග්‍රීක්, කොʹස්මොස්) යන වචනය එකිනෙකට වෙනස් ආකාරවලින් භාවිත කර තිබීමයි. කලින් ලිපියේ පැහැදිලි කළාක් මෙන්, ඇතැම් අවස්ථාවලදී බයිබලය “ලෝකය” යන වචනය පොදුවේ මනුෂ්‍යවර්ගයාට යොමු දක්වනවා. මෙය තමයි දෙවි ප්‍රේම කළ ලෝකය; එමෙන්ම යේසු දිවි පිදූ ලෝකය. කොහොම වුණත්, දි ඔක්ස්ෆඩ් හිස්ට්‍රි ඔෆ් ක්රිස්ටියැනිටිහි (ඔක්ස්ෆඩ් ක්‍රිස්තු ධර්මයේ ඉතිහාසය) මෙසේ සඳහන් වෙනවා: “‘ලෝකය’ නමැති වචනය දෙවිගෙන් දුරස් වී තිබෙන මෙන්ම ඔහුට එදිරිව තිබෙන දෙයක් සඳහා ක්‍රිස්තියානි වාග් ව්‍යවහාරයේ යොදාගන්නා යෙදුමක්ද වෙනවා.” මෙය සැබෑවක් වන්නේ කොහොමද? ලේ ක්රෙට්යැන් ඒ ල මොන්ඩ් (ක්‍රිස්තියානීන් සහ ලෝකය) නමැති තම පොතෙහි රොලාන් මිනරට් නම් කතෝලික කතුවරයා මෙසේ පැහැදිලි කරනවා: “නිෂේධාත්මක අර්ථයකින් ගත් කල, ලෝකය යන්නෙන් අර්ථවත් වන්නේ, දෙවිට එදිරිව සිටින බලවතුන් තමන්ගේ ක්‍රියාකාරකම් දිගටම කරන හා ක්‍රිස්තුස්ගේ ජයග්‍රාහී පාලනයට විරුද්ධවාදිකම් එල්ල කරන සාතන්ගේ පාලනය යටතේ පවතින සතුරු ආධිපත්‍යයකින් යුත් පුළුල් ලෙස පැතිරුණු බලප්රදේශයකි.” මෙම “ලෝකය” නම්, දෙවිගෙන් දුරස් වී සිටින අතිවිශාල මිනිස් ප්රජාවයි. සැබෑ ක්‍රිස්තියානීන් මේ ලෝකයෙන් කොටසක් නොවන අතර, ඔවුන් එයට වෛර කරනවා.
3 පළමු සියවසේ අවසානය ළඟා වෙමින් පැවති කාලයේදී, යොහන් මෙසේ ලියූ විට මේ ලෝකය ගැන ඔහුගේ මනසේ තිබුණා: “ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, [පියා] කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් [පියාගෙන්] නොව ලෝකයෙන් වේ.” (1 යොහන් 2:15, 16) ඔහු මෙසේද පැවසුවා: “අපි [දෙවිගෙන්] වන බවද මුළු ලෝකයා නපුරා තුළ බවද දනිමු.” (1 යොහන් 5:19) යේසුම සාතන්ව හැඳින්වූයේ “මේ ලෝකයේ අධිපතියා” ලෙසයි.—යොහන් 12:31; 16:11.
ලෝක බලවතුන්ගේ වර්ධනය
4. ලෝක බලවතුන් විද්‍යමාන වුණේ කොහොමද?
4 දෙවිගෙන් දුරස් වී සිටින මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත දැන් පවතින ලෝකය, වර්ධනය වීමට පටන්ගත්තේ, නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්මෙන් ටික කලකට පසු, ඔහුගෙන් පැවතෙන්නන්ගෙන් බොහෝදෙනෙක් යෙහෝවා දෙවිට නමස්කාර කිරීම නතර කළ කාලයේදීයි. නගර ඉදිකරන්නෙක් මෙන්ම “[යෙහෝවා] ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක් වූ” නිම්රොද් මුල් කාලයේ සිටි කැපීපෙනෙන පුද්ගලයෙක්. (උත්පත්ති 10:8-12) ඒ යුගයේදී මේ ලෝකයෙන් වැඩි කොටසක් කුඩා නගර-රාජ්‍යයන් ලෙස සංවිධානය වී තිබූ අතර, කලින් කලට මේ නගර-රාජ්‍යයන් එක් වී මිත්‍ර සන්ධාන සාදාගෙන එකිනෙකාට එරෙහිව යුද්ධ කළා. (උත්පත්ති 14:1-9) ඇතැම් නගර-රාජ්‍යයන් අනිත් ඒවා කෙරෙහි තම ආධිපත්‍යය පතුරුවා කලාපීය බලවතුන් බවට පත් වුණා. පසු කාලයකදී, ඇතැම් කලාපීය බලවතුන් ප්‍රබල ලෝක බලවතුන් බවට වර්ධනය වුණා.
5, 6. (අ) බයිබල් ඉතිහාසයේ දැක්වෙන ලෝක බලවතුන් සත්දෙනා කවුරුන්ද? (අ) මෙම බලවතුන්ව සංකේතවත් කර තිබෙන්නේ කොහොමද? එමෙන්ම මොවුන්ගේ බලය පැමිණෙන්නේ කොතැනින්ද?
5 නිම්රොද්ගේ ආදර්ශය අනුගමනය කරමින්, ලෝක බලවතුන් යෙහෝවාට නමස්කාර කළේ නැහැ; එය ඔවුන්ගේ කෲර, සාහසික ක්‍රියාවලින් පිළිබිඹු වන සත්‍යයක්. ශුද්ධ ලියවිලිවල මෙම ලෝක බලවතුන්ව වනමෘගයන් මගින් සංකේතවත් කර තිබෙන අතර, සියවස් ගණනාවක් පුරා යෙහෝවාගේ සෙනඟ කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළ හයදෙනෙකුව බයිබලය හඳුන්වා දෙනවා. ඔවුන් නම් මිසරය, අෂූරිය, බබිලෝනිය, මේද-පර්සියාව, ග්‍රීසිය හා රෝමයයි. රෝමයට පසුව, සත්වන ලෝක බලවතෙක් නැඟී සිටින බව පුරෝකථනය කළා. (දානියෙල් 7:3-7; 8:3-7, 20, 21; එළිදරව් 17:9, 10) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හා එහි මිත්‍ර පාක්ෂිකයා වන එක්සත් ජනපදයෙන් සමන්විත එංගලන්ත-අමෙරිකානු ලෝක බලය මෙය බව සනාථ වුණා; පසු කාලයකදී එක්සත් ජනපදය බ්‍රිතාන්‍යයේ බලය අභිභවා ගියා. අවසානයේදී රෝම අධිරාජ්‍යයේ අවසන් අංශුමාත්‍රය ලෝක දර්ශනයෙන් නොපෙනී ගිය පසු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වර්ධනය වීමට පටන්ගත්තා.a
6 අනුපිළිවෙළකින් යුත් මේ ලෝක බලවතුන් සත්දෙනාව, කලහකාරි මිනිස් සමාජය නමැති මුහුදෙන් මතු වන හිස් සතක් ඇති වනමෘගයාගේ හිස්වලින් සංකේතවත් කර තිබෙනවා. (යෙසායා 17:12, 13; 57:20, 21; එළිදරව් 13:1) බලයේ සිටින මේ වනමෘගයාට බලය දෙන්නේ කවුද? බයිබලය ඊට මෙසේ පිළිතුරු දෙනවා: “මහ සර්පයා තමාගේ පරාක්‍රමයත් තමාගේ සිංහාසනයත් මහත් බලයත් ඌට දුන්නේය.” (එළිදරව් 13:2) මහ සර්පයා කියන්නේ සාතන් නමැති යක්ෂයා මිස වෙන කිසිවෙක් නොවෙයි.—ලූක් 4:5, 6; එළිදරව් 12:9.
පැමිණීමට නියමිත දේවරාජ්‍යයේ පාලනය
7. ක්‍රිස්තියානීන් බලාපොරොත්තු තබන්නේ කුමක් මතද? එමෙන්ම ලෝකයේ ආණ්ඩු සමඟ ඔවුන්ගේ සබඳතාවට මෙය බලපාන්නේ කොහොමද?
7 අවුරුදු 2,000කට ආසන්න කාලයක් තිස්සේ, ක්‍රිස්තියානීන් මෙසේ යාච්ඤා කර තිබෙනවා: “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” (මතෙව් 6:9, 10) මිහිපිටට සැබෑ සාමය ගෙනෙන්න පුළුවන් දේවරාජ්‍යයට පමණක් බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් දන්නවා. මේ යාච්ඤාවට ඉක්මනින්ම පිළිතුරු ලැබෙන බවත් රාජ්‍යය ළඟදීම පොළොවේ කටයුතු භාරගන්න යන බවත් බයිබල් අනාවැකි සමීපව නිරීක්ෂණය කරන්නන් හැටියට ඔවුන් ඒත්තුගෙන තිබෙනවා. (දානියෙල් 2:44, 45) ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය මේ රාජ්‍යයට දෙන නිසා, මේ ලෝකයේ ආණ්ඩු හා සම්බන්ධ කාරණාවලදී ඔවුන් මධ්‍යස්ථව සිටිනවා.
8. ගීතාවලිය 2හි පුරෝකථනය කළ පරිදි, ආණ්ඩු දේවරාජ්‍යයේ පාලනයට ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද?
8 තමන් ආගමික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට ඇතැම් ජාතීන් කියා සිටිනවා. ඒත්, යෙහෝවා විශ්ව පරමාධිපති බවටත් ඔහු පොළොව කෙරෙහි සියලු බලතල සහිතව ස්වර්ගික රජකෙනෙක් හැටියට යේසුව සිංහාසනාරූඪ කර තිබෙන බවටත් වූ සත්‍යය ඔවුන් තමන්ගේ ක්‍රියාවලින් නොසලකා හරිනවා. (දානියෙල් 4:17; එළිදරව් 11:15) අනාවැකිමය ගීතිකාවක මෙසේ සඳහන් වෙනවා: “[යෙහෝවාටද ඔහුගේ] අභිෂේකලත් [තැනැත්තාටද] විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති, අධිපතියෝද එක්ව මන්ත්‍රණයකෙරෙති. අපි ඔවුන්ගේ බැමි කඩා දමා, ඔවුන්ගේ ලණු අප කෙරෙන් ඉවතලමුයයි කියති.” (ගීතාවලිය 2:2, 3) තමන්ගේ ජාතික ස්වෛරීභාවයේ ක්‍රියාකාරිත්වය සීමා කරන දිව්‍ය “බැමි” නැතහොත් “ලණු” තිබෙන බව ආණ්ඩු පිළිගන්නේ නැහැ. මේ නිසා, තමා තෝරාගත් රජ වන යේසුට යෙහෝවා මෙසේ පවසනවා: “මාගෙන් ඉල්ලව, එවිට නුඹේ උරුමයට ජාතීන්ද නුඹේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි. නුඹ ඔවුන් යදණ්ඩකින් බිඳ, කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් සුණුකරන්නෙහියයි [කීවේය].” (ගීතාවලිය 2:8, 9) කොහොම වුණත්, යේසු දිවි පිදූ මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත ලෝකය සම්පූර්ණයෙන්ම “බිඳ” දමන්න යන්නේ නැහැ.—යොහන් 3:17.
‘වනමෘගයාගේ සලකුණෙන්’ වැළකී සිටීම
9, 10. (අ) එළිදරව් පොතේ අපිට අනතුරු අඟවා තිබෙන්නේ කුමකට එරෙහිවද? (ආ) ‘වනමෘගයාගේ සලකුණ’ පැළඳගෙන සිටීමෙන් සංකේතවත් කරන්නේ කුමක්ද? (ඇ) දෙවිගේ සේවකයන් පිළිගන්නේ කුමන ලකුණුද?
9 දෙවිගෙන් දුරස් වී සිටින මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත ලෝකය, එහි නිමාවට ටිකකට කලින් “ලොකු කුඩා, පොහොසත් දිළිඳු, දාස නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්ටත්; ඒ සලකුණ මෘගයාගේ [වනමෘගයාගේ, NW] නාමය හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේටගන්ටවත් විකුණන්ටවත් නුපුළුවන්වන හැටියටත් [සලස්වමින්] [බල කරමින්, NW]” නියමයන් පැනවීම වැඩි කරන බවට යොහන්ට ලැබුණු එළිදරව්වේ අනතුරු අඟවා තිබෙනවා. (එළිදරව් 13:16, 17) මෙයින් අදහස් කරන්නේ කුමක්ද? දකුණතේ තිබෙන සලකුණ, ක්‍රියාශීලී ලෙස අනුබලය සැපයීම පිළිබඳ යෝග්‍ය සංකේතයක්. නළලේ තිබෙන සලකුණ ගැන කියන්න පුළුවන් මොනවාද? දි එක්ස්පොසිට’ස් ග්‍රීක් ටෙස්ටමන්ට්හි (විවරණකරුගේ ග්‍රීක් තෙස්තමේන්තුව) මෙසේ සඳහන් වෙනවා: “උපමාලංකාරවලින් ගහන වූ මෙම වක්රාකාර ඇඟවීමෙන් යොමු දැක්වෙන්නේ, සොල්දාදුවන්ව හා දාසයන්ව ලකුණු කිරීමේදී පැහැදිලිව පෙනෙන විදිහට සිදු කළ පච්ච කෙටීමේ නැතහොත් හංවඩු ගැසීමේ ව්‍යවහාරයටයි; එසේ නැතහොත් එය වඩාත් ප්‍රබල ලෙස අදාළ වන්නේ, සුරයක් හැටියට දෙවිගේ නාමය දැරීමේ ආගමික ව්‍යවහාරයටයි.” මිනිසුන් බොහෝදෙනෙක් “වනමෘගයාගේ” ‘දාසයන්’ නැතහොත් “සොල්දාදුවන්” ලෙස තමන්වම හඳුන්වා දෙමින්, තමන්ගේ ක්‍රියාවලින් හා වචනවලින් මේ සලකුණ සංකේතාත්මකව පැළඳගෙන සිටිනවා. (එළිදරව් 13:3, 4, NW) ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් තියලොජිකල් ඩික්ෂනරි ඔෆ් ද නියූ ටෙස්ටමන්ට් (නව තෙස්තමේන්තුවේ දේවධර්මීය ශබ්දකෝෂය) මෙසේ පවසනවා: “වනමෘගයාගේ [සලකුණ] වන ඌගේ නාමය ඇතුළත් ගුප්ත සංඛ්‍යාව තමන්ගේ නළලේ හා එක් අතක ලකුණු කරගැනීමට දෙවිගේ සතුරන් ඉඩහැර තිබෙනවා. මෙය ඔවුන්ට ආර්ථික අතින් හා වානිජමය අතින් වර්ධනය වීමට ප්‍රස්තාවන් සපයා දුන්නත්, එය ඔවුන්ව දෙවිගේ උදහසට පමුණුවා දහස් අවුරුදු පාලනයෙන් ඔවුන්ව බැහැර කර දමනවා, එළි. 13:16; 14:9; 20:4.”
10 මෙම “සලකුණ” ලබාගැනීම සඳහා සිදු කරන පීඩනයට එරෙහිව සිටීම සඳහා ධෛර්යය හා විඳදරාගැනීම වඩ වඩා අවශ්‍ය වෙනවා. (එළිදරව් 14:9-12) කොහොම වුණත්, දෙවිගේ සේවකයන්ට ඊට මුහුණ දීමට තරම් ශක්තියක් තිබෙන අතර, ඒ නිසාම බොහෝවිට ඔවුන්ව වෛරයට හා දුෂ්ටකම්වලට ලක් වී තිබෙනවා. (යොහන් 15:18-20; 17:14, 15) වනමෘගයාගේ සලකුණ දරනවා වෙනුවට, ඔවුන් “[යෙහෝවාට] අයිතියයි” කියා සංකේතාත්මක ලෙස තමන්ගේ අත්වල ලියාගන්නවා ඇතැයි යෙසායා පැවසුවා. (යෙසායා 44:5) ඒ විතරක් නොවෙයි, මිථ්‍යාදෘෂ්ටික ආගම්වල සිදු වන පිළිකුල්සහගත දේවල් ගැන ඔවුන් “සුසුම්ලා කෙඳිරිගාන” නිසා, ඔවුන් තමන්ගේ නළල්වල සංකේත ලකුණක් ලබාගන්නවා; එමගින්, යෙහෝවාගේ විනිශ්චය ක්‍රියාත්මක වීමේදී ආරක්ෂාව ලැබීමට වටින අය හැටියට ඔවුන්ව හඳුන්වා දෙනවා.—එසකියෙල් 9:1-7.
11. දේවරාජ්‍යය පොළොවේ පාලනය බාරගන්නා තෙක් මිනිස් ආණ්ඩුවලට පැවතීමට අවසර දෙන්නේ කවුද?
11 ක්‍රිස්තුස්ගේ ස්වර්ගික රාජ්‍යය සම්පූර්ණයෙන්ම මේ පොළොවේ පාලනය භාරගන්නා තෙක් මිනිස් ආණ්ඩුවලට පාලනය කිරීමට දෙවි ඉඩ දී තිබෙනවා. දේශපාලනික ආණ්ඩු හා සම්බන්ධ දෙවිගේ මෙම ඉඩහැරීම ගැන ඔස්කා කුල්මාන් විසින් ද ස්ටේට් ඉන් ද නියූ ටෙස්ටමන්ට් (නව තෙස්තමේන්තුවේ සඳහන් ආණ්ඩුව) නමැති පොතේ සඳහන් කර තිබෙනවා. ඔහු මෙසේ ලියනවා: “රජය කෙරෙහි මුල් ක්‍රිස්තියානීන්ගේ ආකල්පය ඒකීය එකක් නොව, නමුත් පරස්පර විරෝධී යමක් සේ පෙනෙන්න තිබීමට හේතුව, රජයේ ‘තාවකාලික’ ස්වභාවය නමැති සංකීර්ණ සංකල්පයයි. එය එසේ පෙනෙන්න තිබෙන බව මම අවධාරණය කරනවා. අප කළ යුත්තේ, ‘සෑම කෙනෙක්ම . . . බලවතුන්ට යටත් වෙත්වා’ කියන රෝම 13:1 සමඟ, පාතාලයෙන් නැඟී ආ වනමෘගයා වශයෙන් රජය දක්වන, එළිදරව් 13 සම්බන්ධ කර දැක්වීම පමණයි.”
“වනමෘගයා” සහ “කායිසර්”
12. මිනිස් ආණ්ඩු කෙරෙහි යෙහෝවාගේ සාක්ෂිකරුවන් දරන්නේ මොන වගේ සමබර දෘෂ්ටියක්ද?
12 රජයේ නිලතල දරන සෑම කෙනෙක්ම සාතන්ගේ නියෝජිතයන් කියා නිගමනය කිරීම වැරදියි. “බුද්ධිමත් මනුෂ්‍යයෙක්” හැටියට බයිබලයේ විස්තර කරන පළාත් ආණ්ඩුකාර සර්ගියස් පාවුලස් වගේ තමන් ප්‍රතිපත්ති ගරුක පුද්ගලයන් බව බොහෝදෙනෙක් ඔප්පු කර තිබෙනවා. (ක්‍රියා 13:7) සමහර පාලකයන් යෙහෝවා ගැනත් ඔහුගේ අරමුණු ගැනත් නොදැන සිටියත්, දෙවිගෙන් ලද තම හෘදය සාක්ෂියේ මඟ පෙන්වීමට අනුව කටයුතු කිරීමෙන්, කුඩා කණ්ඩායම්වල අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට ධෛර්යයෙන් යුතුව කටයුතු කර තිබෙනවා. (රෝම 2:14, 15) බයිබලය “ලෝකය” යන වචනය එකිනෙකට වෙනස් ආකාර දෙකකින් භාවිත කරන බව මතක තබාගන්න. එනම්, දෙවි ප්‍රේම කරන, එමෙන්ම අපිත් ප්‍රේම කළ යුතු මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත ලෝකය සහ සාතන් දෙවියා වන, අපි සම්පූර්ණයෙන්ම වෙන් වී සිටිය යුතු යෙහෝවාගෙන් දුරස් වී සිටින මිනිස් ප්‍රජාව නමැති ලෝකයයි. (යොහන් 1:9, 10; 17:14; 2 කොරින්ති 4:4; යාකොබ් 4:4) මේ අනුව, මිනිස් පාලනතන්ත්ර කෙරෙහි යෙහෝවාගේ සේවකයන්ට තිබෙන්නේ සමබර ආකල්පයක්. අපි දේවරාජ්‍යයේ තානාපතීන් නැතහොත් රාජ්‍ය දූතයන් හැටියට සේවය කරන නිසාත්, අපේ ජීවිත දෙවිට කැප කර තිබෙන නිසාත් දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අපි මධ්‍යස්ථයි. (2 කොරින්ති 5:20) අනිත් අතට, අපි අධිකාරිය හොබවන අයට හෘදය සාක්ෂියට එකඟව යටත් වෙනවා.
13. (අ) යෙහෝවා මිනිස් ආණ්ඩු දෙස බලන්නේ කොහොමද? (ආ) ක්‍රිස්තියානීන් මිනිස් ආණ්ඩුවලට යටත් වන්නේ කොතෙක් දුරටද?
13 මෙම සමබර එළඹීමෙන් පිළිබිඹු වන්නේ, යෙහෝවා දෙවිගේම දෘෂ්ටියයි. ලෝක බලවතුන් හෝ කුඩා රාජ්‍යයන් පවා තමන්ගේ බලතල අනිසි ලෙස භාවිත කරමින් තමන් යටතේ සිටින මිනිසුන්ට පීඩා කරන විට හෝ දෙවිට නමස්කාර කරන අයට හිංසා පීඩා කරන විට, දරුණු වනමෘගයන් හැටියට ඔවුන් ගැන කියා තිබෙන අනාවැකිමය විස්තරය ඔවුන්ට හොඳින් අදාළ වෙනවා. (දානියෙල් 7:19-21; එළිදරව් 11:7) කොහොම වුණත්, ජාතික ආණ්ඩු යුක්තිසහගත ලෙස නීතිය හා සාමය පවත්වාගෙන යමින් දෙවිගේ අරමුණට එකඟව කටයුතු කරන විට, දෙවි ඔවුන්ව තමාගේ “මහජන සේවකයන්” හැටියට සලකනවා. (රෝම 13:6, NW) මිනිස් ආණ්ඩුවලට ගරු කිරීමත් යටත් වීමත් යෙහෝවා තම සෙනඟගෙන් බලාපොරොත්තු වුණත්, ඔවුන්ගේ යටත් වීමට සීමාවන් තිබෙනවා. දෙවිගේ නීතියෙන් තහනම් කර තිබෙන දේවල් මිනිසුන් ඉල්ලා සිටින විට හෝ දෙවි තම සේවකයන්ට කරන්න කියා ඉල්ලා සිටින දේවල් ඔවුන් තහනම් කරන විට, “පාලකයා හැටියට මනුෂ්‍යයන්ට වඩා අපි දෙවිට කීකරු විය යුතුයි” යනුවෙන් ප්‍රේරිතවරුන් දැරූ ස්ථාවරයම ඔවුනුත් දරනවා.—ක්‍රියා 5:29, NW.
14. මිනිස් ආණ්ඩුවලට ක්‍රිස්තියානීන්ගේ යටත් වීම ගැන යේසු හා පාවුල් පැහැදිලි කළේ කොහොමද?
14 “එබැවින් කායිසර්ගේ දේ කායිසර්ටත් [දෙවිගේ] දේ [දෙවිටත්] දෙන්න” කියා ප්‍රකාශ කරද්දී, ආණ්ඩු සඳහා මෙන්ම දෙවි සඳහා ඉටු කළ යුතු යුතුකම් තම අනුගාමිකයන්ට තිබෙන බව යේසු පැවසුවා. (මතෙව් 22:21) ප්‍රේරිත පාවුල් දේවානුභාවයෙන් මෙසේ ලිව්වා: “හැමදෙනාම බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා. . . . නුමුත් නුඹ නපුර කෙරෙහි නම්, භයවෙන්න; මක්නිසාද ඔහු නිරර්ථකයේ කඩුව නොදරයි. ඔහු [දෙවිගේ] සේවකයෙක්ව, නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළිගන්නා කෙනෙක්ය. එබැවින් උදහස නිසා පමණක් නොව හෘදයසාක්ෂිය නිසාද යටත්වෙන්ට ඕනෑය. එසේය, නුඹලා සුංගම් දෙන්නෙත් මේ නිසාය.” (රෝම 13:1, 4-6) පළමු සියවසේ සිට අද වන තෙක්, රජය විසින් පනවනු ලබන නියමයන් සලකා බැලීමට ක්‍රිස්තියානීන්ට සිදු වී තිබෙනවා. එම නියමයන්ට එකඟ වීම, තමන්ගේ නමස්කාරය අත්හැර දැමීමට මඟ පාදනවාද එහෙම නැත්නම් එවන් නියමයන් නීත්‍යනුකූලද, හෘදය සාක්ෂියට එකඟව කටයුතු කිරීමට ඉඩ දෙනවාද යන්න ගැන ඔවුන් විමසා බැලීම අවශ්‍යයි.
හෘදය සාක්ෂියට එකඟව කටයුතු කරන පුරවැසියන්
15. යෙහෝවාගේ සාක්ෂිකරුවන් කායිසර්ට හිමි විය යුතු දේවල් හෘදය සාක්ෂියට එකඟව ලබා දෙන්නේ කොහොමද?
15 දේශපාලනික “බලයලත් මුලාදෑනීන්” දෙවි අනුමත කරන කාර්යය ඉටු කරන විට ඔවුන් දෙවිගේ ‘සේවකයන්’ වෙනවා; “නපුර කරන්නන්ට දඬුවම පිණිසත් යහපත කරන්නන්ට ප්‍රශංසාව පිණිසත්” තම බලතල යෙදවීම එම කාර්යයට ඇතුළත් වෙනවා. (1 පේතෘස් 2:13, 14) අයබදු ලෙස කායිසර් නීත්‍යනුකූලව ඉල්ලා සිටින දේවල් යෙහෝවාගේ සේවකයන් හෘදය සාක්ෂියට එකඟව ලබා දෙන අතර, “අධිපතීන්ටත් බලය ඇත්තන්ටත් . . . කීකරුවෙන්ටද, සියලු යහපත් වැඩවලට සූදානම්ව සිටින්ටද” හැකි වන පරිදි බයිබලය මත පුහුණු කර තිබෙන ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඔවුන්ට ඉඩහරින තාක් කල් ඔවුන් එසේ කරනවා. (තීතස් 3:1) උදාහරණයක් හැටියට විපත්ති ඇති වන අවස්ථාවලදී අනිත් අයට උපකාර කිරීම “යහපත් වැඩවලට” අයත් වෙනවා. මෙවන් අවස්ථාවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෙසු මිනිසුන්ට පෙන්වා තිබෙන කාරුණික ක්‍රියා ගැන බොහෝදෙනෙක් සාක්ෂි දරා තිබෙනවා.—ගලාති 6:10.
16. යෙහෝවාගේ සාක්ෂිකරුවන් හෘදය සාක්ෂියට එකඟව ආණ්ඩු හා සෙසු මිනිසුන් වෙනුවෙන් කරන්නේ මොන වගේ යහපත් වැඩද?
16 යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෙසු මිනිසුන්ට ප්‍රේමය පෙන්වන අතර, ඔවුන් වෙනුවෙන් තමන්ට කළ හැකි යහපත්ම වැඩය වන්නේ, ධර්මිෂ්ඨකමින් පිරි “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” ගෙන ඒම හා සම්බන්ධ දෙවිගේ අරමුණ පිළිබඳව ඒකාන්ත දැනුමක් ලබාගැනීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා තමන්ට කළ හැකි සියල්ලම කිරීම බව ඔවුන්ට හැඟෙනවා. (2 පේතෘස් 3:13) බයිබලයේ සඳහන් උසස් සදාචාර ප්‍රමිති උගන්වමින් ඒවා ක්‍රියාවට නංවන නිසා, බොහෝදෙනෙකුව අපචාර ක්‍රියාවලින් බේරාගනිමින් ඔවුන් මිනිස් සමාජයට වටිනා සම්පතක් වෙනවා. යෙහෝවාගේ සේවකයන් නීතියට කීකරු වෙන අතර, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට, නිලධාරින්ට, විනිසුරුවන්ට හා නාගරික අධිකාරින්ට ගරු කරමින් “ගෞරව ලබන්ට නිස්සාට” ගෞරව කරනවා. (රෝම 13:7) සාක්ෂිකාර දෙමාපියන් සතුටින් තම දරුවන්ගේ පාසැල් ගුරුවරුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර, පසු කාලයකදී සමාජයට බරක් නොවී තම ජීවනෝපාය සපයාගැනීමට හැකි වන පරිදි තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමට උපකාර කරනවා. (1 තෙසලෝනික 4:11, 12) ඔවුන් තමන්ගේ සභාවන් තුළ වාර්ගික හා පංති භේදවලට ඉඩ නොතබන අතර, පවුල් ජීවිතය ශක්තිමත්ව තබාගැනීම ඉතාමත් වැදගත් කොට සලකනවා. (ක්‍රියා 10:34, 35; කොලොස්සි 3:18-21) මේ නිසා, තමන් පවුල් විරෝධීන් බව හෝ සමාජයට කිසිම උපකාරයක් නොකරන අය කියා නඟන චෝදනා බොරු බව ඔවුන් තම ක්‍රියාවලින් පෙන්වනවා. මේ අනුව, ප්‍රේරිත පේතෘස්ගේ මේ වචන සැබෑවක් වී තිබෙනවා: “නුඹලා යහපත කිරීමෙන් අනුවණ මනුෂ්‍යයන්ගේ අඥානකම නිශ්ශබ්දකිරීම [දෙවිගේ] කැමැත්තය.”—1 පේතෘස් 2:15.
17. “පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න” ක්‍රිස්තියානීන්ට පුළුවන් කොහොමද?
17 එනිසා ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයන් ‘ලෝකයෙන් කොටසක් නොවූවත්’ ඔවුන් තවමත් මිනිස් සමාජය නමැති ලෝකයේ සිටින අතර, “පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියා [කළ යුතුයි].” (යොහන් 17:16; කොලොස්සි 4:5) යෙහෝවා බලය ලත් මුලාදෑනීන්ට තමාගේ සේවකයන් හැටියට කටයුතු කිරීමට ඉඩ දෙන තාක්, අපි ඔවුන්ට නිසි ගෞරවය දක්වන්න යනවා. (රෝම 13:1-4) දේශපාලනය සම්බන්ධයෙන් මධ්‍යස්ථව සිටියත්, “රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන්” සඳහා විශේෂයෙන්ම අපේ නමස්කාරයේ නිදහසට බලපාන තීරණ මොවුන් ගන්නා විට, අපි ඒ වෙනුවෙන් යාච්ඤා කරනවා. “සියලු [ආකාර, NW] මනුෂ්‍යයන් ගළවනු [ලබන]” පිණිස, අපි “සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගතකරන පිණිස” අපි දිගටම එසේ කරන්න යනවා.—1 තිමෝති 2:1-4.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය!, 35වන පරිච්ඡේදය බලන්න.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ ක්‍රිස්තියානීන් කොටසක් වන්නේ මොන ‘ලෝකයේද?’ නමුත් ඔවුන්ට කොටසක් විය නොහැක්කේ මොන ‘ලෝකයේද?’
◻ යමෙකුගේ අතේ හෝ නළලේ “වනමෘගයාගේ” “සලකුණ” තිබීමෙන් සංකේතවත් කරන්නේ කුමක්ද? එමෙන්ම යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන්ට තිබෙන්නේ මොන ලකුණුද?
◻ සැබෑ ක්‍රිස්තියානීන්ට මිනිස් ආණ්ඩු කෙරෙහි තිබෙන්නේ කිනම් සමබර දෘෂ්ටිකෝණයක්ද?
◻ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිනිස් සමාජයේ ශුභසිද්ධියට දායක වෙන මාර්ග සමහරක් මොනවාද?
[16වන පිටුවේ පින්තූර]
බයිබලයෙහි, මිනිස් ආණ්ඩු වනමෘගයෙකු මෙන්ම දෙවිගේ සේවකයෙකු ලෙස හඳුන්වනවා
[17වන පිටුවේ පින්තූරය]
අන් අය කෙරෙහි ප්‍රේමනීය සැලකිල්ල දක්වන නිසා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන් වෙසෙන සමාජයට වටිනා සම්පතක්