ඔවුන් යෙහෝවාගේ කැමැත්ත කළා
ආත්ම-පරිත්‍යාගිත්වයේ සහ පක්ෂපාතිත්වයේ ආදර්ශයක්
එලිෂා නම් තරුණ ගොවියා කුඹුරු හෑම හැටියට ඇරඹූ දිනචර්යාව, ඔහුගේ ජීවිතයේ වඩා වැදගත් සන්ධිස්ථානයක් බවට පත් වුණා. එලිෂා කුඹුරේ වැඩ කරමින් සිටිද්දී, ඉශ්රායෙල්හි ප්‍රධානතම ප්‍රොපේතවරයා වන එලියා අනපේක්ෂිත ලෙස ඔහුව බැහැදකින්න පැමිණියා. ‘එලියා මොකද මාව බලන්න ආවේ?’ එලිෂා සමහරවිට එසේ සිතුවා වෙන්න පුළුවන්. පිළිතුරක් සඳහා ඔහුට වැඩි වේලාවක් සිටින්න අවශ්‍ය වුණේ නැහැ. යම් දිනක තමාගේ ඇවෑමෙන් තම පදවියට හිමිකාරයා වෙන්න යන්නේ එලිෂා බව ඇඟවීමට, එලියා තම නිල සළුව එලිෂා පිට හෙළුවා. එලිෂා මේ කැඳවීම සුළුපටු ලෙස ගත්තේ නැහැ. එලියාගේ සේවකයෙක් බවට පත්වීමට, ක්ෂණයකින් ඔහුගේ කුඹුර පසෙක දැමුවා.—1 රාජාවලිය 19:19-21.
හය වසරක් පමණ ගත වූ පසු එලියාට සමුගැනීමට කාලය පැමිණියා. ඔහුගේ පිටව යෑමේ ප්‍රවෘත්තිය හෙබ්‍රෙව් ලියවිල්ලේ ඇති “ඉතාම චමත්කාරජනක වෘත්තාන්තවලින් එකක්” ලෙස හඳුන්වා තිබෙනවා.
එලියා පිට වෙන්න සූදානම් වෙයි
බෙතෙල්, යෙරිකෝව සහ යොර්දාන් ප්‍රදේශවලට තම අවසන් බැහැදැකීම කරන්න එලියා කැමති වුණා. ඒ සඳහා කිලෝමීටර් බොහෝ ගණනාවක් ඇවිදීමත් ඉන් සමහරකට කඨෝර කඳුකර ප්‍රදේශ පසු කර යෑමත් අයත් වුණා. ගමනේ මේ එක් එක් නවාතැනේදී එම ස්ථානයේ නැවතී සිටින ලෙස එලියා එලිෂාට දිරිගැන්වුවා. නමුත් අවසානය දක්වාම තම ස්වාමියා සමඟ සිටින්න එලිෂා තරයේ කටයුතු කළා.—2 රාජාවලිය 2:1, 2, 4, 6.
බෙතෙල්හි සහ යෙරිකෝහිදී “ප්‍රොපේත පුත්‍රයෝ” එලිෂා වෙත පියනැඟුවා.a ‘යෙහෝවා අද නුඹේ ස්වාමියා නුඹ කෙරෙන් ගන්නා බව දන්නෙහිද’ කියා ඔවුන් ඔහුගෙන් ප්‍රශ්න කළා. “එසේය, මම දනිමි” කියා ඔහු උත්තර දුන්නා. “නිශ්ශබ්දවෙන්න.”—2 රාජාවලිය 2:3, 5.
එලියා සහ එලිෂා ඊට පසු යොර්දාන් ගඟ වෙත ගමන් කළා. යොර්දාන් වෙත ළඟා වූ විට, ප්‍රොපේත පුත්‍රයන් 50දෙනෙක් පමණ ඈත සිට බලා සිටියදී, එලියා ප්රාතිහාර්යයක් සිදු කළා. “එලියා තමාගේ උතුරු සළුව රැගෙන අකුළා වතුරට ගැසීය, වතුර දෑතට බෙදී ගියේය, ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩවූවෝය.”—2 රාජාවලිය 2:8.
ඔවුන් එගොඩ වූ පසු එලියා එලිෂාට කතා කර මෙසේ ඇසුවා: “නුඹ වෙතින් මා ගන්ට පළමුවෙන් නුඹට මගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්න.” එලිෂා එලියාගේ ආත්මයෙන් “දෙගුණයක්” ඉල්ලුවා—එය සාමාන්‍යයෙන් කුලුඳුල් පුත්‍රයෙකු ලැබිය යුතු කොටස මෙන් දෙගුණයක්. ඇත්තෙන්ම, කුලුඳුල් පුත්‍රයෙක් තම පියාට ගරු කරන්නා සේ එලිෂා එලියාට ගරු කළා. තවදුරටත්, ඉශ්රායෙල්හි යෙහෝවාගේ ප්‍රොපේතවරයා ලෙස එලියාගේ පදවියට හිමිකාරයා වීමට ඔහුව අභිෂේක කළා. එසේ හෙයින්, ඔහුගේ ඉල්ලීම ආත්මාර්ථකාමී නැතහොත් නොගැළපෙන දෙයක් වුණේ නැහැ. ඒ කෙසේවෙතත්, මේ ඉල්ලීම ලබා දිය හැක්කේ යෙහෝවාට පමණක්ය යන්න දන්න නිසා එලියා විනීත ලෙස මෙසේ පිළිතුරු දෙනවා: “නුඹ අමාරු දෙයක් ඉල්ලුවෙහිය.” ඔහු එයට මෙසේ එක් කරනවා: “නුඹ වෙතින් මා ගන්න විට නුඹ මා දුටුවොත් නුඹට එසේ වන්නේය; නැතහොත් එසේ නොවන්නේය.”—2 රාජාවලිය 2:9, 10; ද්විතීය කථාව 21:17.
එලිෂා තම ස්වාමියාට කවරදාකටත් වඩා ළඟින් ඇලී සිටින්න වැඩියෙන් අධිෂ්ඨාන කරගත් බවට කිසිම සැකයක් නැහැ. ඉන්පසු, “ගිනි රථයක්ද ගිනි අශ්වයෝද” පෙනී එලිෂාගේ දිදුලන ඇස් පනාපිටම එලියාව සුළි සුළඟකින්—ප්රාතිහාර්යමය ලෙස වෙනත් ස්ථානයකට මාරු කරනු ලැබුවා.b එලිෂා එලියාගේ නිල සළුව රැගෙන නැවතත් යොර්දාන් ගඟ වෙත පිය මැන්නා. ඔහු මෙසේ කියමින් වතුරට ගැසුවා: ‘එලියාගේ දෙවි වූ යෙහෝවා කොයිද?’ වතුර දෙපැත්තට බෙදුණු අතර, එලියාගේ තනතුරට හිමිකරු ලෙස දිව්‍ය අනුබලය එලිෂාට තිබූ බවට එය පැහැදිලි ලෙස සාක්ෂි දුන්නා.—2 රාජාවලිය 2:11-14.
අප සඳහා පාඩම්
එලියා සමඟ විශේෂ සේවයක් කිරීම සඳහා ආරාධනාව ඉදිරිපත් කරද්දී, ඉශ්‍රායෙල්ගේ ප්‍රධානතම ප්‍රොපේතවරයාට සේවය කිරීමට එලිෂා ඔහුගේ කුඹුර අත්හැරියා. පෙනෙන විදිහට ඔහුගේ කාර්යයන් සමහරක් පහත් ගණයේ ඒවා වූ අතර, ‘එලියාගේ අත්වලට වතුර වත්කරන්නා’ ලෙස ඔහුව හැඳින්වුවා.c (2 රාජාවලිය 3:11) කෙසේවෙතත්, එලිෂා තමාගේ වැඩය වරප්‍රසාදයක් හැටියට සැලකූ අතර, එලියාගේ පැත්ත ගෙන ඔහුට පක්ෂපාත ලෙස ඇලී සිටියා.
අදදින දෙවිගේ සේවකයන්ගෙන් බොහෝදෙනෙක් ආත්ම-පරිත්‍යාගිත්වයේ සමාන ස්ප්‍රීතුවක් විදහපානවා. දුර ප්‍රදේශවල රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීම සඳහා හෝ බෙතෙල් පවුලේ සාමාජිකයන් ලෙස සේවය කිරීම සඳහා, සමහරුන් ඔවුන්ගේ “කුඹුරු” එනම් ඔවුන්ගේ ජීවනෝපාය හැරගොස් තිබෙනවා. තවත් අය සමිතියේ ඉදි කිරීම් ව්‍යාපෘතීන්වල වැඩ කිරීම සඳහා විදේශවලට ගමන් කර තිබෙනවා. සමහරු පහත්යයි සැලකිය හැකි වැඩ පිළිගෙන තිබෙනවා. එහෙත්, යෙහෝවාට දාසකම් කරන්නාවූ කිසිවෙක් වැදගැම්මකට නැති සේවයක් කරමින් සිටිනවා නෙවෙයි. ඔහුට කැමැත්තෙන් සේවය කරන සියල්ලන්වම යෙහෝවා අගය කරන අතර, ඔවුන්ගේ ආත්ම-පරිත්‍යාගී ස්ප්රීතුවට ඔහු ආශීර්වාද කරනවා.—මාර්ක් 10:29, 30.
එලිෂා අන්තිමය දක්වා එලියා සමඟම සිටියා. අවස්ථාව දුන් විට පවා වයස්ගත ප්රොපේතවරයාව අත්හැරීම ප්‍රතික්ෂේප කළා. එලියා සමඟ ඔහු වර්ධනය කරගෙන තිබූ කිට්ටු සම්බන්ධය එවන් පක්ෂපාත ප්‍රේමය ආස්වාදයක් බවට පත් කළාට කිසිම සැකයක් නැහැ. අදදින, දෙවිගේ සේවකයන් දෙවි සමඟ ඇති ඔවුන්ගේ සබඳතාව ශක්තිමත් කරන්න සහ ඔවුන්ගේ සෙසු විශ්වාසිකයන්ගේ සමීපයට ඇදෙන්න වීර්යය කරනවා. යෙහෝවා එවන් එක්සත්කමේ සමීප බැඳීමකට ආශීර්වාද කරන්න යන බවට ඔහු ගැන බයිබලය මෙසේ කියනවා: “පක්ෂපාත කෙනෙකු සමඟ ඔබ පක්ෂපාත ලෙස ක්‍රියා කරන්නේය.”—2 සාමුවෙල් 22:26, NW.
[පාදසටහන්වල]
a “ප්‍රොපේත පුත්‍රයෝ” යන යෙදුම ප්‍රොපේතවරුන්ගේ සහකාර ආශ්‍රිතයන්ගේ සමාජයක් හෝ මේ වෘත්තියට කැඳවූ උපදේශ පාසැලක් අඟවනවා වෙන්න පුළුවන්.
b යූදාහි රජ වූ යෙහෝරාම්ට එලියා පණිවිඩය ලියුවේ ඉන් වසර කිහිපයකට පසුවයි.—2 ලේකම් 21:12-15.
c විශේෂයෙන්ම කෑම කෑවාට පසුව, තම ස්වාමියාට අත් සෝදාගැනීම පිණිස සේවකයෙකු විසින් ස්වාමියාගේ අතට වතුර වත් කිරීම චාරිත්‍රයක් වුණා. මෙය පාද සේදීමට සමාන පිළිවෙතක් වූ අතර, එය ආගන්තුක සත්කාරයේ, ගෞරවයේ සහ යම් අවස්ථාවලදී නිහතමානිකමේ ක්‍රියාවක් වුණා.—උත්පත්ති 24:31, 32; යොහන් 13:5.