නවීන නත්තලේ මූලාරම්භයන්
නත්තල් සමය, ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට වසරේ ඉතා ප්‍රීතිමත්ම කාලයක්. එය අනර්ඝ ආහාර වේල්වලට කාලයක්, දිගු කලක සිට පැවතෙන සම්ප්‍රදායන් ගරුක කාලයක් සහ පවුලේ එකතු වීම්වල කාලයක්. නත්තල් නිවාඩුව, මිත්‍රයන් හා නෑදෑයන් සුභපැතුම් පත් සහ තෑගි හුවමාරු කරගැනීමේද කාලයක්.
කෙසේවුවත්, වසර 150කට පෙර, නත්තල බෙහෙවින් වෙනස් නිවාඩුවක්ව තිබුණා. ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ස්ටීවන් නිසන්බොම්, ද බැටල් ෆො ක්‍රිස්මස් (නත්තල සඳහා සටන) නම් තම පොතේ මෙසේ ලියයි: “නත්තල . . . දෙසැම්බර් මාසයේ පවත්වන මාර්ඩි ග්‍රාස් උත්සවය වැනි නොහික්මුණු ‘සැණකෙළියකට’ අනුග්‍රහය දක්වන, මහජනයාගේ සාමාන්‍ය හැසිරීමෙන් මොහොතකට මිදී ආචාර සමාචාර නොතකා අධික මත්පැන් පානයේ යෙදෙන කාලපරිච්ඡේදයක් වෙලා තිබුණා.”
ගෞරවාන්විත බියකින් නත්තල සලකන අයට මෙම විස්තරය බාධාවට පමුණුවන්නක් විය හැකියි. දෙවිගේ පුත්‍රයාගේ උපත සැමරීමක් වශයෙන් සලකන නිවාඩු දිනයක් යමෙක් කෙලසන්නේ මන්ද? පිළිතුර ඔබව පුදුමයට පත් කළ හැකියි.
බොරු පදනමක්
හතරවන සියවසේ ආරම්භයත් සමඟම, නත්තල මතභේදයට තුඩු දෙන්නක් බවට පත් වී තිබේ. උදාහරණයක් වශයෙන්, යේසුගේ උපන්දිනය සම්බන්ධ ප්‍රශ්නය තිබුණා. යේසුගේ උපතේ දිනයවත්, මාසයවත් බයිබලයේ නියත වශයෙන්ම දක්වන්නේ නැති බැවින්, විවිධ දිනයන් යෝජනා කර තිබේ. තුන්වන සියවසේදී, ඊජිප්තු දේවධර්මාධරයන්ගේ කණ්ඩායමක් එය මැයි 20වනදාට යොදාගත් අතර, අනෙක් අය මාර්තු 28, අප්‍රියෙල් 2 හෝ අප්‍රියෙල් 19 වැනි කලින් දිනවලට වැඩි කැමැත්තක් දැක්වූවා. දහඅටවන සියවස වන විට, යේසුගේ උපත වසරේ සෑම මාසයකටම සම්බන්ධ වී තිබුණා! එසේනම්, අන්තිමේට දෙසැම්බර් 25වනදා තෝරාගත්තේ කෙසේද?
කතෝලික පල්ලිය යේසුගේ උපන්දිනය වශයෙන් දෙසැම්බර් 25වනදා නියම කළ බවට විද්වතුන් වැඩිදෙනෙකු එකඟ වෙනවා. ඇයි? “බොහෝවිට හේතුව වන්න ඇත්තේ, ‘අපරාජිත හිරුගේ උපන්දිනය’ සලකුණු කළ මිථ්‍යාදෘෂ්ටික රෝමානු මංගල්‍ය දිනයටම මේ දිනයත් දැමීමට මුල් ක්‍රිස්තියානීන් කැමැත්තක් දැක්වීමයි” කියා ද නියූ එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකා පවසයි. නමුත් සියවස් දෙකහමාරකට වැඩි කාලයක් පුරා මිථ්‍යාදෘෂ්ටිකයන් විසින් කෲර ලෙස පීඩා කරනු ලැබූ ක්‍රිස්තියානීන්, හිටපු ගමන්ම ඔවුන්ට පීඩා කළ අයට නැමෙන්නේ ඇයි?
දූෂණය හඳුන්වා දුන්නා
පළමු සියවසේදී, “නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත්” ක්‍රිස්තියානි සභාවට රහසින් ඇතුල් වී බොහෝදෙනෙකු මුළා කරයි කියා ප්‍රේරිත පාවුල් තිමෝතිට අවවාද කළා. (2 තිමෝති 3:13) මේ මහත් ඇදහිල්ල අත්හැරයෑම පටන්ගත්තේ ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසුවයි. (ක්‍රියා 20:29, 30) හතරවන සියවසේදී කොන්ස්ටන්ටයින්ගේ නාමික හැරීමෙන් පසුව, එවිට පැවතුණායයි කියවෙන ක්‍රිස්තු ධර්මයට මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ විශාල සංඛ්‍යාවක් එකතු වුණා. ඇති වුණේ මොන ප්‍රතිඵලද? අ’ර්ලි ක්‍රිස්ටියැනිටි ඇන්ඩ් පේගනිසම් (මුල් ක්‍රිස්තු ධර්මය හා මිථ්‍යාදෘෂ්ටිකත්වය) නමැති පොත මෙසේ සඳහන් කරයි: “සසඳා බැලුවොත් ඇත්තෙන්ම අවංක ඇදහිලිවන්ත කුඩා කණ්ඩායමක්, නාමික ක්‍රිස්තියානීන්ගේ විශාල සමූහයක් අතර අතරමං වුණා.”
පාවුල්ගේ වචන මොනතරම් ඇත්තක් වුණාද! එසේ වීම, හරියට මිථ්‍යාදෘෂ්ටික දූෂණයෙන් අව්‍යාජ ක්‍රිස්තු ධර්මය ගිලගත්තා වැනියි. එමෙන්ම නිවාඩු දින උත්සවාකාරයෙන් පැවැත්වීම තරම් මේ දූෂණය වෙන කොතැනකවත් පැහැදිලිව දකින්න ලැබුණේ නෑ.
ඇත්තටම, ක්‍රිස්තියානීන්ට පැවැත්වීමට අණ කර තිබෙන එකම උත්සවය ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයයි. (1 කොරින්ති 11:23-26) පිළිම වන්දනාව රෝමානු මංගල්‍යයන්ට ඇතුළත් වී තිබුණ නිසා, මුල් ක්‍රිස්තියානීන් ඒවාවලට සහභාගි වුණේ නැහැ. මේ හේතුවෙන් තුන්වන සියවසේ මිථ්‍යාදෘෂ්ටිකයන් ක්‍රිස්තියානීන්ට නින්දා කළේ මෙසේ පවසමින්: “ඕගොල්ලෝ ප්‍රදර්ශන බලන්න යන්නේ නෑ; ප්‍රසිද්ධ ප්‍රදර්ශන කෙරෙහි ඕගොල්ලන්ගේ කිසි සැලකිල්ලක් නෑ; ප්‍රසිද්ධ භෝජනෝත්සව ප්‍රතික්ෂේප කරනවා; පරිශුද්ධ තරඟ පිළිකුල් කරනවා.” අනිත් අතට, මිථ්‍යාදෘෂ්ටිකයන් මෙසේ පුරසාරම් දෙඩුවා: “අපි දෙවිවරුන්ට වඳින්නේ ප්‍රීතිමත්කමින්, මංගලෝත්සව, ගීත වගේම ක්‍රීඩා එක්කයි.”
හතරවන සියවසේ මැදභාගය වන විට, කෙඳිරිල්ල අඩු වී ගියා. ඒ කෙසේද? ව්‍යාජ ක්‍රිස්තියානීන් වැඩි වැඩියෙන් මේ කණ්ඩායමට රහසින් ඇතුල් වීමත් සමඟම ඇදහිල්ල අත්හැරයන්නන්ගේ මත විශාල ලෙස වැඩි වුණා. මෙය රෝමානු ලෝකය සමඟ මධ්‍යම ප්‍රතිපදාවක් ඇති කරගැනීමට මඟ පෑදුවා. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ද පේගනිසම් ඉන් අව’ ක්‍රිස්ටිඇනිටි (අපේ ක්‍රිස්තු ධර්මයේ මිථ්‍යාදෘෂ්ටිකත්වය) නම් පොත මෙසේ සඳහන් කරයි: “සම්ප්‍රදායන් මගින් ජනයා උසස් කොට සලකන මිථ්‍යාදෘෂ්ටික මංගල්‍යයන්වල පාලනය අතට ගැනීමත්, ඒවාවලට ක්‍රිස්තියානි ස්වරූපයක් දීමත් ස්ථිර ක්‍රිස්තියානි ප්‍රතිපත්තියක් වුණා.” ඔව්, මහත් ඇදහිල්ල අත්හැරයෑමේ විනාශකාරි ප්‍රතිඵල ඇති වෙමින් තිබුණා. මිථ්‍යාදෘෂ්ටික උත්සවයන් යොදාගැනීමට ඇති නාමික ක්‍රිස්තියානීන්ගේ කැමැත්ත මේ වන විට ප්‍රජාව තුළත් සෑහෙන දුරකට පිළිගැනීමක් සිදු කළා. වැඩි කල් නොගොස්, මිථ්‍යාදෘෂ්ටිකයන්ට තිබෙන ප්‍රමාණයටම වාර්ෂික මංගල්‍යයන් පවත්වන්න ක්‍රිස්තියානීන් පටන්ගත්තා. ඒවා අතර නත්තල ප්‍රධාන තැනක් ගැනීම පුදුමයක් වුණේ නෑ.
අන්තර්ජාතික නිවාඩු දිනයක්
ක්‍රිස්තු ධර්මය ඉතා ප්‍රබල ආකාරයකින් යුරෝපය හරහා පැතිර ගිය විට, නත්තල පැවැත්වීමත් වැඩි වුණා. යේසුගේ උපන්දිනයට ගරු කිරීමක් වශයෙන් ප්‍රීතිමත් මංගල්‍යයක් සෑම කල්හිම පැවැත්වීම සුදුසුය යන දෘෂ්ටිකෝණය කතෝලික පල්ලිය ඇති කරගත්තා. ඒ අනුව, පො.යු. 567දී, ටුව’ස්හි කවුන්සලය “නත්තලේ සිට රජ තුන් කට්ටුවේ මංගල්‍යය දක්වා දින 12, පරිශුද්ධ සහ මංගල්‍ය සමයක් හැටියට ප්‍රකාශ කළා.”—ද කැතලික් එන්සයික්ලොපීඩියා ෆො ස්කූල් ඇන්ඩ් හෝම් (පාසැල සහ නිවස සඳහා කතෝලික විශ්වකෝෂය).
නත්තල විගස උතුරු යුරෝපයේ අස්වැන්න නෙළීමේ පරිබාහිර මංගල්‍යවලින් බොහෝ අංග ලක්ෂණයන් උරාගත්තා. මධුපානෝත්සවවලට සහභාගි වන්නන් කෑදර ලෙස කෑමෙහි සහ බීමෙහි ඇලී ගැලී සිටි විට ශ්‍රද්ධාවට වඩා වැඩියෙන් මංගලෝත්සව පොදු දෙයක්ව පැවතුණා. නින්දිත හැසිරීමට විරුද්ධව කතා කරනවා වෙනුවට, පල්ලිය එය අනුමත කළා. (රෝම 13:13 සසඳන්න; 1 පේතෘස් 4:3.) පොදු යුගයේ 601දී, Iවන ග්‍රෙගරි පාප් එංගලන්තයේ ඔහුගේ ධර්මදූතයා වන මෙලිටස්ට ලියූ විට පැවසුවේ, “එවැනි පුරාණ මිථ්‍යාදෘෂ්ටික මංගල්‍යයන් නවත්වන්න එපා; නමුත් ඒවායේ හේතුව මිථ්‍යාදෘෂ්ටික පසුබිමක සිට ක්‍රිස්තියානි පසුබිමක් දක්වා පමණක් වෙනස් කරමින් පල්ලියේ වත්පිළිවෙත්වලට අනුව ඒවා සකස් කරගන්න” කියායි. මෙසේ වාර්තා කරන්නේ, වතාවක ඊජිප්තු රජය සඳහා පුරාවස්තු පිළිබඳ පරීක්ෂක ජනරාල්වරයෙක්ව සිටි ආත’ වයිගෝල්.
මධ්‍යකාලීන යුගවලදී, එවැනි අන්තයන්වලට යෑමට විරුද්ධව කතා කිරීමට අවශ්‍ය බව සංශෝධනයට ලැදි මනසක් තිබූ පුද්ගලයන්ට හැඟුණා. “නත්තල් මංගලෝත්සවවල අනිසි ලෙස යෙදී සිටීමට” විරුද්ධව ඔවුන් නියෝග ගණනාවක් නිකුත් කළා. ආචාර්යවරියක වන පෙනී රෙස්ටාඩ්, ක්‍රිස්මස් ඉන් අමෙරිකා—ඒ හිස්ට්‍රි (අමෙරිකාවේ නත්තල—ඉතිහාසයක්) නම් ඇගේ පොතේ මෙසේ පවසයි: “ක්‍රිස්තියානි අධීක්ෂණය යටතේ තිබෙන තාක් කල් අසම්පූර්ණ මනුෂ්‍යවර්ගයාට තමන්ගේ ස්වභාවික නැඹුරුවාවන්ට යටත් වීමටත්, අන්තයන්වලට යෑමටත් කාලපරිච්ඡේදයක් අවශ්‍ය වුණ බවට ඇතැම් පූජකයන් අවධාරණය කළා.” මේකෙන් වුණේ තවත් ව්‍යාකූල වීම පමණයි. එහෙත්, මිථ්‍යාදෘෂ්ටික සම්ප්‍රදායන් මේ වන විටත් නත්තල සමඟ බෙහෙවින් සම්මිශ්‍රණය වී තිබුණ බැවින්, වැඩිදෙනෙක් ඒවා අත්හැරීමට අකමැති වුණ නිසා එයින් වැඩි වෙනසක් සිදු වුණේ නෑ. ලේඛක ට්‍රිස්ට්‍රම් කෝෆන් එය මෙසේ දක්වයි: “ජනයා විශාල වශයෙන් හුදෙක් කරමින් සිටි[යේ] ඔවුන් සැමවිටම කර [තිබූ] දෙයයි; සදාචාර විධි ගැන විශේෂඥයන්ගේ විවාදයන්ට ඔවුන් අවධානය දුන්නේ අල්පමාත්‍රයයි.”
යුරෝපීයයන් බටහිර අර්ධගෝලයේ පදිංචි වෙන්න පටන්ගත් අවදියේදී, නත්තල ඉතා-ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වී තිබුණා. එහෙත්, ජනපද තුළ නත්තලට අනුග්‍රහයක් ලැබුණේ නෑ. පියුරිටානු සංශෝධකයන් උත්සවය මිථ්‍යාදෘෂ්ටික එකක් වශයෙන් සලකා, 1659 සහ 1681 අතරේදී මැසචුසෙට්ස්වල එය තහනම් කරනු ලැබුවා.
තහනම ඉවත් කළ පසු, නත්තල් උත්සවය පැවැත්වීම ජනපද පුරාම, විශේෂයෙන්ම නව එංගලන්තයේ දකුණෙහි වැඩිදියුණු වුණා. කෙසේවුවත්, නිවාඩු දිනයේ ඉතිහාසය ගැන සලකා බලද්දී, දෙවිගේ පුත්‍රයාට ගරු කිරීමට වඩා විනෝද වීමට සමහරු වැඩි සැලකිල්ලක් දැක්වීම පුදුමයක් නොවේ. විශේෂයෙන්ම භේද කරවන නත්තල් සම්ප්‍රදායක් තමයි අධික ලෙස මත්පැන් පානය කිරීම. මැරවර තරුණ කණ්ඩායම් පොහොසත් අසල්වැසියන්ගේ නිවෙස්වලට ඇතුල් වී සලකනවද-නැත්නම්-සරදම් කරන්නද කියන ආකාරයකින් ආහාර පාන බලෙන් නොමිලේ ඉල්ලයි. නිවැසියා ප්‍රතික්ෂේප කළොත්, බොහෝවිට ඔහුට අශික්ෂිත භාෂාවෙන් ශාප කර, ඇතැම්විට ඔහුගේ නිවස කඩා බිඳ දමයි.
“නත්තල් වියවුල දරුණු සමාජ තර්ජනයක්” බවට පත් වෙන තරමටම 1820ගණන්වල තත්වයන් උග්‍ර වුණායයි මහාචාර්ය නිසන්බොම් පවසයි. නියූ යෝක් සහ පිලදෙල්පියා වැනි රටවල ධනවත් ඉඩම් හිමියන් තම වතු ආරක්ෂා කිරීමට මුරකරුවන් කුලියට ගන්න පටන්ගත්තා. වර්ෂ 1827/28 නත්තල් සමයේදී ප්‍රචණ්ඩකාරි කෝලාහලයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නියූ යෝක් නගරයේ මුල්ම වෘත්තීය පොලිස් බලකාය සංවිධානය කළ බවත් පැවසේ!
නත්තල යළි සකස් කෙරේ
දහනවවන සියවස මනුෂ්‍යවර්ගයාට පෙර නොදුටුවිරූ වෙනස්කම් බිහි කළා. මාර්ග සහ දුම්රිය මාර්ග ජාලාවක් මතු වෙනවාත් සමඟම ජනයා, බඩු සහ ආරංචි ශීඝ්‍රයෙන් එහා මෙහා යෑමට පටන්ගත්තා. කාර්මික විප්ලවය රැකියා මිලියන ගණනක් බිහි කළ අතර, කර්මාන්තවලින් ස්ථිරසාර වෙළඳ භාණ්ඩ සැපයුමක් කඩිනමින් පිට කළා. කර්මාන්තකරණය අලුත් මෙන්ම සංකීර්ණ සමාජ ගැටලුද හඳුන්වා දුන් අතර, අන්තිමේදී එය නත්තල් උත්සවය පැවැත්වූ ආකාරයටත් බලපෑවා.
පවුලේ බැඳීම් ශක්තිමත් කිරීමේ මාධ්‍යයක් වශයෙන් ජනයා දිගු කලක් පුරා නිවාඩු දිනයන් යොදාගෙන තිබූ අතර, නත්තල සම්බන්ධයෙන්ද එසේමයි. පැරණි නත්තල් සම්ප්‍රදායන් සමහරක් තෝරා බේරාගෙන ප්‍රතිසංස්කරණය කිරීමෙන්, නත්තලේ අනුග්‍රාහකයන් එය අශිෂ්ට, සැණකෙළි බඳු මංගල්‍යයක සිට පවුල වටා ගෙතුණු නිවාඩු දිනයක් බවට ඵලදායී ලෙස වෙනස් කළා.
ඇත්තෙන්ම, 19වන සියවසේ අගභාගය වන විට, නත්තල නවීන අමෙරිකානු ජීවිතයේ රෝගවලට යම් ආකාරයක විෂ නාශක ඖෂධයක් වශයෙන් සලකනු ලැබුවා. “නිවාඩු දින සියල්ල අතුරෙන් නත්තල, නිවස තුළට ආගම සහ ආගමික හැඟීම ගෙනඒමටත්, පොදු ලෝකයේ අන්තයට යෑම් සහ අසමත් වීම් නිවැරදි කිරීමටත් සුදුසුම මාර්ගය වුණා” යයි ආචාරිනි රෙස්ටාඩ් පවසයි. ඇය මෙසේද පවසයි: “තෑගි-දීම, අසරණයන්ට සරණ වීම, නිවාඩු දිනයේදී මිත්‍රශීලී ලෙස ශුභපැතුම් හුවමාරු කරගැනීම පවා මෙන්ම ශාලාවක හෝ පසුව, ඉරිදා පාසැලේ ශාලාවක තබා ඇති සදාහරිත ගස සැරසීම හා ඉන් ප්‍රීතිය ලැබීම යන සියල්ලෙන් හැම තනි පවුලකම සාමාජිකයන්ව එකිනෙකාට, පල්ලියට සහ සමාජයට සම්බන්ධ කළා.”
එවැනිම ආකාරයකින්, අදදිනත් බොහෝදෙනෙකු තම ප්‍රේමය එකිනෙකාට තහවුරු කිරීමේ මාධ්‍යයක් හා පවුලේ එකමුතුකම පවත්වාගැනීමට උපකාරයක් වශයෙන් නත්තල් උත්සවය පවත්වයි. සැබවින්ම, ආත්මික පැති නොසලකා නොහැරිය යුතුයි. යේසුගේ උපතට ගරු කිරීමක් වශයෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් නත්තල් උත්සවය පවත්වයි. ඔවුන් පල්ලියේ විශේෂ මෙහෙයන්ට සහභාගි විය හැකි අතර, නිවසේදී යේසුගේ උපතේ දර්ශන විදහාපා තබයි නැතහොත් යේසුටම ස්තුති යාච්ඤා ඔප්පු කරයි. නමුත් දෙවි කාරණය දෙස බලන්නේ කෙසේද? මේ දේවලට ඔහුගේ අනුමැතිය ලැබෙයිද? බයිබලයට පැවසීමට ඇති දේ සලකා බලන්න.
“සැබෑකමටත් සමාදානයටත් ප්‍රේමවෙන්න”
යේසු පොළොවේ සිටි කාලයේදී, සිය අනුගාමිකයන්ට මෙසේ පැවසුවා: “[දෙවි] ආත්මයක්ය. [ඔහුට] නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුය.” (යොහන් 4:24) යේසු ඒ වචනවලට අනුව ජීවත් වුණා. ඔහු හැමවිටම සැබෑව ගැන කතා කළා. ඔහු සම්පූර්ණ වශයෙන්ම ඔහුගේ පියා වන “සැබෑකමේ දෙවිවූ [යෙහෝවාව]” අනුකරණය කළා.—ගීතාවලිය 31:5; යොහන් 14:9.
තමා සියලු ආකාර වංචාව පිළිකුල් කරන බව බයිබලයේ පිටු තුළින් යෙහෝවා පැහැදිලි කර තිබේ. (ගීතාවලිය 5:6) මේ ගැන සලකා බලද්දී, නත්තල සමඟ සම්බන්ධව පවතින බොහෝ අංගයන් බොරුවේ ස්වරූපයක් ගැනීම පුදුමයක් නෙවෙයි නේද? නිදසුනක් වශයෙන්, සැන්ට ක්ලෝස් සම්බන්ධ සුරංගනා කතාව ගැන සිතා බලන්න. බොහෝ රටවල පුළුල්ව විශ්වාස කරන පරිදි, දොරකින් ඇතුල් වෙනවා වෙනුවට චිමිනියකින් ඇතුල් වෙන්න සැන්ටා කැමති ඇයි කියලා දරුවෙකුට පැහැදිලි කරන්න ඔබ කවදාහරි වෑයම් කර තිබේද? එමෙන්ම එක සැන්දෑවකදී පමණක් ඔය තරම් නිවාස මිලියන ගණනකට සැන්ටා යන්නේ කොහොමද? පියාඹන පිනිමුවා ගැන මොකක්ද කියන්න පුළුවන්? සැන්ටා ඇත්ත පුද්ගලයෙක් බව විශ්වාස කිරීම සම්බන්ධයෙන් තමාව රවටා ඇති බව දරුවෙක් දැනගත්තහම, ඔහුගේ දෙමාපියන් වෙත ඔහුට තිබූ විශ්වාසය එය හීන කරන්නේ නැද්ද?
ද කැතලික් එන්සයික්ලොපීඩියා පැහැදිලිවම මෙසේ සඳහන් කරයි: “මිථ්‍යා සම්ප්‍රදායන් . . . නත්තල වෙත ආකර්ෂණය කළා.” එසේනම් කතෝලික පල්ලිය සහ ක්‍රිස්තියානි ලෝකයේ වෙනත් පල්ලි, ක්‍රිස්තියානි ආරම්භයක් නැති සම්ප්‍රදායන් ඇති නිවාඩු දිනයක් දිගටම දිගු කාලයක් පුරා පවතින්න සලස්වා ඇත්තේ මන්ද? මිථ්‍යාදෘෂ්ටික ඉගැන්වීම්වලට ඉඩ දෙන බවක් ඉන් අඟවන්නේ නැද්ද?
පොළොවේ සිටිද්දී, තමාට නමස්කාර කිරීමට යේසු මිනිසුන්ට දිරිගැන්නුවේ නෑ. යේසුම මෙසේ පැවසුවා: “නුඹේ දෙවිවූ [යෙහෝවාට] නමස්කාරකරව, [ඔහුට] පමණක් සේවයකරවයි ලියා තිබේ.” (මතෙව් 4:10) එලෙසම, යේසුව ස්වර්ගික තේජසට පත් කළාට පසුවත්, මේ කාරණය සම්බන්ධයෙන් කිසි වෙනසක් සිදු වී නැති බව අඟවමින්, දේවදූතයෙක් ප්‍රේරිත යොහන්ට පැවසුවේ ‘දෙවිට නමස්කාර කරන්න’ කියායි. (එළිදරව් 19:10) මෙය මේ ප්‍රශ්නය පැන නංවයි; නත්තල් සමයේදී තම පියාට නොව තමාටම යොමු කරන නමස්කාරමය කැපවීම් සියල්ල යේසු අනුමත කරයිද?
පැහැදිලිවම, නවීන නත්තල පිළිබඳ සත්‍යයන් බොරු මවාපෑමක් නොවෙයි. පිරිහුණු අතීතයකට යොමු දක්වන සාක්ෂි බහුල එය, බොහෝදුරට සම්පාදනය කළ නිවාඩු දිනයක්. මේ නිසා, හොඳ හෘදය සාක්ෂියකින් යුතුව ක්‍රිස්තියානීන් මිලියන ගණනක් නත්තල නොපැවැත්වීමට තීරණය කර ඇත. උදාහරණයක් වශයෙන්, රයන් නම් යෞවනයෙක් නත්තල සම්බන්ධයෙන් මෙසේ පවසයි: “පවුලේ අය එකට එකතු වෙලා, හැමෝටම සන්තෝෂයෙන් ඉන්න ලැබෙන අවස්ථාවක් වන, අවුරුද්දක දවස් දෙක තුනක් ගැන ජනයා හුඟක් කලබලයට පත් වෙනවා. නමුත් ඒකෙ තියෙන ඔය තරම් විශිෂ්ටත්වය මොකක්ද? මගේ දෙමාපියන් මට මුළු අවුරුද්දෙම තෑගි දෙනවානේ!” දොළොස් හැවිරිදි තවත් යෞවනියක් මෙසේ පවසයි: “මට අහිමි වුණ බවක් හැඟෙන්නෑ. තෑගි ලැබෙන්න ඕනෙමයි කියා මිනිස්සුන්ට හැඟෙන එක විශේෂ දිනයකදී විතරක් නෙවෙයි, මුළු අවුරුද්දේම මට තෑගි ලැබෙනවා.”
අනාගතවක්තෘ සෙකරියා “සැබෑකමටත් සමාදානයටත් ප්‍රේමවෙන්න” කියා සෙසු ඉශ්‍රායෙලිතයන්ට දිරිගැන්නුවා. (සෙකරියා 8:19) පුරාණයේ සෙකරියා සහ වෙනත් ඇදහිලිවන්ත මනුෂ්‍යයන් මෙන් අප ‘සැබෑකමට ප්‍රේම කරනවා’ නම්, “ජීවමානවූ සැබෑවූ [දෙවිට]” අගෞරව කරන්නාවූ ඕනෑම බොරු ආගමික උත්සවයකින් අප වැළකී සිටිය යුතු නොවේද?—1 තෙසලෝනික 1:9.
[7වන පිටුවේ පින්තූරය]
‘මට අහිමි වුණ බවක් හැඟෙන්නෑ. මුළු අවුරුද්දේම මට තෑගි ලැබෙනවා’