දෙමාපියෙනි ඔබේ දරුවන්ව ආරක්ෂා කරගන්න!
නයිජීරියාවේ ද්විතීයික පාසැලක ලිංගික දුරාචාරය ගැන ප්‍රසිද්ධව සිටි ගැහැනු ළමයෙක් තමාගේ සෙසු සිසුවියන්ට ලිංගික කාරණා ගැන උපදෙස් දීමට මහත් ආශාවක් දැක්වුවා. ගබ්සාව සඳහා ඈ නිර්දේශ කළ දේවලින් එකක් වූයේ දුම්කොළවලින් ලබාගත් ද්‍රව්‍යයකින් සාදාගත් සැර බෙහෙතක් අඩංගු කළු බීරයි. කාමුක පොත් පත්වලින් අහුලාගත් ඇගේ මේ බොරු කතාවලට ඇගේ සෙසු සිසුවියන් බොහෝදෙනෙක් වශී වුණා. සමහරු ලිංගිකව අත්හදාබැලීම් කරන්න පටන්ගත් අතර, ඔවුන්ගෙන් කෙනෙක් ගර්භිණියක් වුණා. ගබ්සාවක් කරගැනීම සඳහා ඇයව පෙලඹවූ නිසා, ඈ කළු බීර සමඟ දුම්කොළවල සාරය මිශ්‍ර කර සාදාගත් දියරයක් පානය කළා. පැය කිහිපයක් ඇතුළත, ඈ ලේ වමනය කරන්න පටන්ගත්තා. දවස් කිහිපයකට පසු, ඈ රෝහලේදී මියගියා.
අද ලෝකයේ යෞවනයන් බොහෝදෙනෙක් අතොරක් නැතුව ලිංගික කාරණා ගැන කතා කරන අතර, ඒවා පහසුවෙන්ම රැවටෙන විශ්වාස කරන අය මත විපත්ති ඇති කරනු ලබනවා. තමන්ට ආරක්ෂාවක් සලසා දෙන නිවැරදි දැනුම සොයාගැනීම සඳහා යෞවනයන් හැරිය යුත්තේ කා වෙතටද? දරුවන්ව “යෙහෝවාගේ හික්මවීමෙන්ද, මානසික ශික්ෂණයෙන්ද” ඇති දැඩි කිරීමේ වගකීම තිබෙන දේවභක්තික දෙමාපියන් වෙතට ඔවුන් යොමු වන විට එය මොනතරම් යහපත් දෙයක්ද!—එපීස 6:4, NW.
ලිංගික අධ්‍යාපනය කෙරෙහි අප්‍රිකානු ආකල්ප
තම දරුවන් සමඟ ලිංගික කාරණා සාකච්ඡා කිරීම අසීරු දෙයක් බව ලොව පුරා සිටින දෙමාපියන් බොහෝදෙනෙකුට දැනෙනවා. මෙය විශේෂයෙන්ම අප්‍රිකාවේ සැබෑවක් වෙනවා. සියෙරා ලියොන්හි වෙසෙන පියෙකු වන ඩොනල්ඩ් මෙසේ ප්‍රකාශ කළා: “කවදාවත් ඒක කරල නැහැ. එහෙම කරන එක අප්‍රිකානු සංස්කෘතියේ කොටසක් නෙමෙයි.” කාන්ෆඩන්ට් නම් නයිජීරියානු ස්ත්‍රියක් මෙසේ පිළිගන්නවා: “මාගේ දෙමාපියන් ලිංගික කාරණා සලකන්නේ, කවදාවත් විවෘතව කතා කළ යුතු දෙයක් හැටියට නෙමෙයි; සංස්කෘතියට අනුව ඒක තහනම් දෙයක්.”
ඇතැම් අප්‍රිකානු සංස්කෘතිවල, ශිශ්නය, ශුක්‍රාණු හෝ ඔසප් වීම යනාදි ලිංගික කාරණා හා සම්බන්ධ වචන සඳහන් කිරීම අශිෂ්ට දෙයක් ලෙස සලකනවා. එක් ක්‍රිස්තියානි මවක් තම දියණියට “ලිංගික” යන වචනය භාවිත කිරීම පවා තහනම් කළා; ඒ වුණත් දුවට “වේශ්‍යාකම” යන වචනය භාවිත කරන්න පුළුවන් කියා ඈ පැවසුවා. ඊට පටහැනිව, දේවවචනය වන බයිබලය ලිංගික කාරණා මෙන්ම ලිංගික අවයව ගැන නොවළහා කතා කරනවා. (උත්පත්ති 17:11; 18:11; 30:16, 17; ලෙවී කථාව 15:2) මෙහි අරමුණ වන්නේ චිත්තවේගයන් කැලඹීම හෝ හැඟීම් ඇවිස්සීම නොව, නමුත් දෙවිගේ සෙනඟට ආරක්ෂාව සැලසීම මෙන්ම ඉගැන්වීමයි.—2 තිමෝති 3:16.
සංස්කෘතීන් මගින් පනවා තිබෙන තහංචිවලට අමතරව, සමහර දෙමාපියන් අදි මදි කිරීමට තවත් හේතුවක් නයිජීරියානු පියෙක් මෙසේ ප්‍රකාශ කළා: “මම දරුවන් එක්ක ලිංගික කාරණා කතා කළොත් ලිංගික දුරාචාරයේ යෙදෙන්න එයින් ඔවුන්ගේ හැඟීම් පුබුදුවාලන්න පුළුවන්.” ලිංගික කාරණා පිළිබඳ ගෞරවාන්විතව ඉදිරිපත් කර තිබෙන බයිබලය මත පදනම් තොරතුරු මගින් ඉක්මනින්ම පෙලඹීම් ඇති කරගෙන අත්හදා බැලීම් කිරීමට දරුවන්ව දිරිමත් කරනවාද? නැහැ, එය එසේ කරන්නේ නැහැ. ඇත්තෙන්ම, යෞවනයන්ට තිබෙන දැනුම අඩු වන තරමට ඔවුන් කරදරවලට පැටලීමට තිබෙන ඉඩ කඩ වැඩියි. “[ඒකාන්ත දැනුම මත පදනම් වූ] ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය.”—දේශනාකාරයා 7:12.
යේසුගේ නිදර්ශනයට අනුව, නුවණ ඇති මිනිසා අනාගතයේදී කුණාටු ඇතිවීමට තිබෙන ඉඩ කඩ කලින්ම සැලකිල්ලට ගෙන තමාගේ නිවස පර්වතයක් මත සාදාගත්තත්, නුවණ නැති මිනිසා වැලි මත ගොඩනඟාගෙන විපත්ති අද්දකිනවා. (මතෙව් 7:24-27) ඒ හා සමානව නුවණ ඇති ක්‍රිස්තියානි දෙමාපියන්, ලෝකයේ ලිහිල් ලිංගික ප්‍රමිතිවලට අනුව හැඩගැස්වීමට තමන්ගේ දරුවන් කෙරෙහි එල්ල වන කුණාටු බඳු පීඩනවලට ඔවුන් මුහුණ දෙන්න යන බව දැනගෙන, ඔවුන්ට ස්ථිරව සිටීමට උපකාරවත් වන ඒකාන්ත දැනුම හා අවබෝධය සපයමින් තම දරුවන්ව ආරක්ෂා කරනවා.
දෙමාපියන් තම දරුවන් සමඟ ලිංගික කාරණා සාකච්ඡා නොකිරීමට තවත් අමතර හේතුවක් අප්‍රිකානු ස්ත්‍රියක් මෙසේ සඳහන් කළා: “මම යෞවනියක්ව සිටි කාලයේදී, මගේ සාක්ෂිකාර දෙමාපියන් මාත් එක්ක ලිංගික කාරණා ගැන සාකච්ඡා කළේ නැහැ; ඒ හින්දා, මේ දේවල් ගැන මගේ දරුවන් එක්ක සාකච්ඡා කරන්න මගේ හිතට එන්නෙ නැහැ.” කොහොමවුණත්, අවුරුදු 10කට හෝ 20කට හෝ කලින් යෞවනයන් අද්දුටු පීඩනයට වඩා අදදින සිටින යෞවනයන් අද්දකින පීඩනය වැඩියි. මෙය පුදුම විය යුතු දෙයක් නොවෙයි. “අන්තිම දවස්වලදී . . . නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය” කියා දේවවචනය පුරෝකථනය කළා.—2 තිමෝති 3:1, 13.
දරුවන් බොහෝදෙනෙක් තම දෙමාපියන්ට රහසිගත දේවල් පැවසීමට අකමැති වීම හෝ එසේ නොකිරීම, මේ ගැටලුවට තවත් හේතුවක් එක් කරනවා. බොහෝවිට සුළු කාරණාවලදී පවා දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුව දුර්වලයි. දහනව හැවිරිදි යෞවනයෙක් මෙසේ ශෝක වුණා: “මම මගේ දෙමාපියන් එක්ක දේවල් සාකච්ඡා කරන්නේ නැහැ. මගේ තාත්තයි මායි අතර හොඳ අදහස් හුවමාරුවක් නැහැ. එයා ඇහුම්කන් දෙන්නේ නැහැ.”
ලිංගික කාරණා ගැන විමසීමෙන් නරක ප්‍රතිවිපාක ඇති වෙයි කියා යෞවනයන් බිය විය හැකියි. දහසය හැවිරිදි ගැහැනු ළමයෙක් මෙසේ පැවසුවා: “මගේ දෙමාපියන් ලිංගික කාරණා ගැන කතා කරද්දී දක්වපු ප්‍රතිචාරය හින්දා මම ඒ වගේ දේවල් ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරන්නේ නැහැ. ටික කාලයකට කලින් මගේ අක්කා ලිංගික කාරණා ගැන අම්මාගෙන් ප්‍රශ්න කිහිපයක් ඇහැව්වා. එයාගේ ගැටලුව විසඳාගන්න එයාට උදව් කරනවා වෙනුවට, අම්මා එයාගේ හිතේ තියෙන දේවල් ගැන සැක කරන්න පටන්ගත්තා. අම්මා නිතර නිතර මට අඬගහලා සමහර අවස්ථාවලදී අක්කගේ හැසිරීම ගැන මගෙන් වටින් පිටින් ඇහැව්වා. අම්මා මට දක්වන ආදරය නැති වෙලා යනවාට මම කැමති නැහැ; ඒ හින්දා මගේ ගැටලු ගැන මම එයාට කියන්නේ නැහැ.”
ඉගැන්විය යුත්තේ ඇයි?
ලිංගික කාරණා ගැන අපේ දරුවන්ට ප්‍රමාණවත් ලෙස ඉගැන්වීම, කළ යුතු හරි දෙය වෙනවා පමණක් නොව, නමුත් එසේ කිරීම කාරුණික දෙයක්ද වෙනවා. දෙමාපියන් තම දරුවන්ට ලිංගික කාරණා ගැන උගන්වන්නේ නැත්නම්, සාමාන්‍යයෙන් දෙමාපියන් බලාපොරොත්තු වෙනවාටත් වඩා ඉක්මනින් අනිත් අය එසේ කරන්න යනවා; එසේ කරන්නේ කවදාවත් දේවප්‍රතිපත්තිවලට එකඟව නොවෙයි. දහතුන් හැවිරිදි ගැහැනු ළමයෙක් වේශ්‍යාකමේ යෙදුණා; ඈ එසේ කළේ, තමාගේ කන්‍යාභාවය නැති කරගත්තේ නැත්නම් අනාගතයේදි දරුණු වේදනා අද්දකින බව ඇගේ පාසැලේ මිතුරියන් ඈට පැවසූ නිසයි. “ඒ අය ඔයාගේ කන්‍යා පටලය කතුරෙන් කපා දායි” කියා ඈට පැවසුවා. ඈට අසන්න ලැබුණු දෙය ගැන ඇගේ ක්‍රිස්තියානි මවට පැවසුවේ නැත්තේ ඇයි කියා පසුව ඇගෙන් විමසූ විට, ඈ පැවසුවේ ඒ වගේ කාරණා කවදාවත් වැඩිහිටියන් සමඟ සාකච්ඡා කර නැහැ කියායි.
නයිජීරියානු ගැහැනු ළමයෙක් මෙසේ පැවසුවා: “ලිංගික සම්බන්ධකම් කියන්නේ සාමාන්‍ය මිනිසුන් සෑම කෙනෙක්ම හවුල් විය යුතු දෙයක් කියා මට ඒත්තුගන්වන්න මගේ පාසැලේ මිතුරියන් උත්සාහ කළා. මේ කාලේදී මං ලිංගික සම්බන්ධකම්වල හවුල් වුණේ නැත්නම්, මට අවුරුදු 21ක් වෙන කොට මගේ ස්ත්‍රීභාවයට අහිතකර බලපෑමක් ඇති කරන අසනීපයක් හැදෙනවා කියල ඒ අය කිව්වා. ඒ හින්දා, ඒ වගේ භයානක දේවලින් වැළකීමට විවාහයට කලින් ලිංගික සම්බන්ධතා ඇති කරගැනීම හොඳයි කියා ඒ අය කිව්වා.”
ඇගේ දෙමාපියන් සමඟ හොඳ අදහස් හුවමාරුවක් ඇති කරගත් නිසා, නිවසේදී ඈ ඉගෙනගෙන තිබූ දෙය සමඟ එය ගැටෙන බව ඈ තේරුම්ගත්තා. “වෙනදා වගේ, මම ගෙදර ගිහිල්ලා, පාසැලේදී ඒ අය මට කිව්ව දේවල් අම්මට කිව්වා.” ඒ වැරදි තොරතුරු හෙළාදකිමින් ඒවායේ නිෂ්ඵල බව පෙන්වා දීමට ඇගේ මවට හැකි වුණා.—හිතෝපදේශ 14:15 සසඳන්න.
ලිංගික කාරණා පිළිබඳව දේවප්‍රඥාව අත් පත් කරගැනීමට දරුවන්ට උපකාරවත් වන දැනුම ලබා දීමෙන්, අනතුරුදායක තත්වයන් වටහාගැනීමට හා ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට බලා සිටින මිනිසුන්ව හඳුනාගැනීමට දෙමාපියන් ඔවුන්ව සූදානම් කරවනවා. ලිංගිකව බෝවෙන රෝගවලින් හා අනවශ්‍ය ගැබ්ගැනීම් මගින් ඇති කරන හෘද වේදනාවන්ගෙන් ආරක්ෂා වීමට එය ඔවුන්ට උපකාර වෙනවා. එය ඔවුන්ගේ ආත්ම ගෞරවයට මෙන්ම ඔවුන් අනිත් අයගෙන් ලබන ගෞරවයට දායක වෙනවා. එය ඔවුන්ව දුර්මතවලින් හා කාංසාවන්ගෙන් නිදහස් කරනවා. එමගින් නිරෝගි සෞඛ්‍යයක් මෙන්ම විරුද්ධ ලිංගයේ අය කෙරෙහි ඒකාන්ත ආකල්පයක් වඩවාලන අතර, ඔවුන් පසු කලක විවාහ වෙනවා නම්, එහි සන්තෝෂයට එය දායක වෙනවා. දෙවි ඉදිරියෙහි අනුමැතිය ලත් තත්වයක් පවත්වාගැනීමට එය ඔවුන්ට උපකාරවත් විය හැකියි. එමෙන්ම තමන් කෙරෙහි දක්වන ප්‍රේමනීය සැලකිල්ල දරුවන් දකිද්දී, තම දෙමාපියන්ට තව තවත් ගෞරව කරන්න හා ප්‍රේම කරන්න ඔවුන් තුළ පෙලඹීමක් ඇති කළ හැකියි.
හොඳ අදහස් හුවමාරුව
දෙමාපියන්ට තම දරුවන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි උපදෙස් දීම සඳහා දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවක් තිබිය යුතුයි. තම දරුවන්ගේ මනස්වල හා හදවත්වල තිබෙන දේවල් දෙමාපියන් දන්නේ නැත්නම් නැණවත් උපදේශයකින් පවා ලැබෙන ප්‍රයෝජන අල්ප විය හැකියි; එය හරියට වෛද්‍යවරයෙක් රෝගියාගේ අසනීපයේ ස්වභාවය නොදැන බෙහෙත් නියම කිරීමට උත්සාහ කරනවා හා සමානයි. බලපෑමෙන් යුත් උපදේශකයන් වීම සඳහා ඇත්තෙන්ම තම දරුවන් කල්පනා කරන්නේ මොනවාද, ඔවුන්ට හැඟෙන්නේ මොනවාද කියා දෙමාපියන් දැනගත යුතුයි. තම දරුවන් මුහුණ දෙමින් සිටින පීඩන හා ගැටලු මෙන්ම ඔවුන්ට වද දෙන ප්‍රශ්න ඔවුන් තේරුම්ගත යුතුයි. දරුවන්ට පරෙස්සමින් සවන් දීම හා ‘ඇසීමට ඉක්මන් වීම හා කතා කිරීමට ප්‍රමාද වීම’ වැදගත්.—යාකොබ් 1:19; හිතෝපදේශ 12:18; දේශනාකාරයා 7:8.
තම දරුවන් සමඟ සමීප සබඳතාවක්, එනම් තමන්ගේ ඇතුළාත්ත හැඟීම් නොවළහා හෙළි කිරීමට දරුවන්ට හැඟී යන සබඳතාවක් වර්ධනය කරගෙන, එය දිගටම පවත්වාගෙන යෑම සඳහා දෙමාපියන්ට කාලය, ඉවසීම හා වෑයම අවශ්‍යයි. නමුත් මෙය අත් පත් කරගත් විට එය මොනතරම් ප්‍රසන්න දෙයක්ද! බටහිර අප්‍රිකානු රටක වෙසෙන දරුවන් පස්දෙනෙකුගේ පියෙක් මෙසේ පවසනවා: “මම පියෙක් වගේම විශ්වාසවන්ත මිතුරෙක්. මගේ දරුවන් ලිංගික කාරණා ඇතුළු අනිත් හැම දෙයක් ගැනම මාත් එක්ක විවෘතව සාකච්ඡා කරනවා. ගැහැනු දරුවන් වුණත් මාව විශ්වාස කරල හැම දෙයක්ම කියනවා. එයාලගේ ගැටලු ගැන සාකච්ඡා කරන්න අපි කාලය ගන්නවා. ඒ අය ලබන ප්‍රීතිය එයාලා මාත් එක්ක බෙදාගන්නවා.”
ඔහුගේ දියණියන්ගෙන් කෙනෙක් වන බෝලා මෙසේ පවසනවා: “මම කිසිම රහසක් මගේ තාත්තාගෙන් හංගන්නේ නැහැ. තාත්තා අනිත් අය ගැන සැලකිලිමත් වෙනවා; ඒ වගේම අනිත් අයගේ හැඟීම් තේරුම්ගන්නවා. අපි වැරැද්දක් කරල තිබුණත් එයා අපිට සැර වෙන්නෙවත් පරුෂ ලෙස සලකන්නෙවත් නැහැ. කේන්ති ගන්නවා වෙනුවට, එයා කාරණා හොඳට හොයල බලල, අපි කරන්න ඕන දේ වගේම අපි නොකළ යුතු දේත් පෙන්වල දෙනවා. එයා නිතරම වගේ යෞවනය පොතේ හා පවුලේ සන්තෝෂය පොතේ තියෙන තොරතුරු යොදාගන්නවා.”a
හැකි නම් තම දරුවන් සමඟ ලිංගික කාරණා ගැන කතා කිරීම ඔවුන් කුඩා කාලයේදීම ආරම්භ කිරීම සුදුසුයි. බොහෝවිට මෙය කිරීම දුෂ්කර වන නහඹර වියේ අවුරුදු දක්වා දිගටම සාකච්ඡා කිරීම සඳහා එමගින් පදනම සැපයෙනවා. මුල් කාලයේදී සාකච්ඡා කිරීම ආරම්භ නොකරයි නම්, පසු කලක එය කිරීම සමහරවිට අමාරු දෙයක් විය හැකියි; නමුත් එය කළ හැකියි. දරුවන් පස්දෙනෙක් සිටින මවක් මෙසේ පැවසුවා: “ඒ ගැන කතා කරන්න මම දැඩි පරිශ්‍රමයක් දැරුවා; අන්තිමේදී මාවත් මගේ දරුවන්වත් අපහසුතාවකට පත් වෙන්නේ නැති විදිහට ඒ ගැන කතා කරන්න පුළුවන් වුණා.” අත් විය හැකි භයානක ප්‍රතිවිපාක ගැන සලකා බලද්දී, එවන් ප්රයත්නයන් මගින් ප්‍රයෝජන අත් වන බවට කිසිම සැකයක් නැහැ.
ආරක්ෂාව ලැබූවන් හා සන්තෝෂය
තමන්ට ආරක්ෂාව සලසා දෙනු ඇති දැනුම සමඟින් තමන්ව ප්‍රේමනීය ලෙස සූදානම් කරවන දෙමාපියන්ව දරුවන් අගය කරනවා. ඇතැම් අප්‍රිකානු රටවල වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අදහස් දැක්වීම් සලකා බලන්න:
වයස අවුරුදු 24ක් වන මොජිසොලා මෙසේ පැවසුවා: “මම හැම තිස්සේම මගේ අම්මාට ස්තුතිවන්ත වෙනවා. ඈ නියම වේලාවට අවශ්‍ය කරන ලිංගික අධ්‍යාපනය මට දුන්නා. ඉස්සර ඈ ඒ දේවල් ගැන සාකච්ඡා කරද්දී, මට ලජ්ජාසහගත හැඟීමක් ඇති වුණත්, දැන් මට තේරෙනවා මගේ අම්මා මා වෙනුවෙන් කළ යහපත් දේවල්.”
ඉනිඔබොං ඊට මෙසේ එක් කළා: “ලිංගික කාරණා ගැන මට ප්‍රමාණවත් දැනුමක් ලබා දීමෙන් මා වෙනුවෙන් අම්මා කර තියෙන දේවල් ගැන ආපහු හැරිල කල්පනා කරල බලන කොට මම හැම තිස්සේම ඒ ගැන සතුටු වෙනවා. ස්ත්‍රීභාවය කරා ළඟාවීමේදී එය මට ඉතා වැදගත් ආධාරකයක් වෙලා තියෙනවා. මගේ අනාගත දරුවන් වෙනුවෙන්ද ඒ දෙයම කරන බවට මම ස්ථිර ලෙස කියා සිටිනවා.”
දහනව හැවිරිදි කූන්ලෙ මෙසේ පැවසුවා: “ලිංගික දුරාචාරයේ යෙදෙන ලෝකයේ ස්ත්‍රීන්ගෙන් එල්ල වන පීඩනයන්ට එරෙහිව සිටින්න මගේ දෙමාපියන් මට උපකාර කළා. ඔවුන් මට ඒ වගේ පුහුණුවක් දුන්නේ නැත්නම්, මම පාපයට වැටෙන්න ඉඩ තිබුණා. ඔවුන් කළ දේවල් මම නිතරම අගය කරනවා.”
ක්‍රිස්ටියානා මෙසේ පැවසුවා: “ලිංගික කාරණා ගැන මගේ අම්මා එක්ක කතා බහ කිරීමෙන් මට හුඟාක් ප්‍රයෝජන ලැබුණා. මාරාන්තික රෝගවලින් හා අනවශ්‍ය ගැබ්ගැනීම්වලින් මාව ආරක්ෂා වෙලා තියෙනවා; ඒ වගේම මගේ නංගිලාට මල්ලිලාට හොඳ ආදර්ශයක් තබන්න මට පුළුවන් වෙලා තියෙනවා. මම මිනිසුන්ගේ ගෞරවය දිනාගෙන තියෙනවා; ඒ වගේම මගේ අනාගත ස්වාමිපුරුෂයාගේ ගෞරවයද මට ලැබේවි. වඩාත් වැදගත් දෙය වන්නේ, යෙහෝවා දෙවිගේ ආඥාවන් පැවැත්වීම නිසා ඔහු සමඟ හොඳ සම්බන්ධතාවක් භුක්ති විඳීමයි.”
කලින් සඳහන් කළ බෝලා මෙසේ පැවසුවා: “විවාහයේ කිසිම බැඳීමකට යටත් වෙන්නේ නැතුව ලිංගිකව වින්දනයක් ලැබිය යුතුයි කියා මගේ පන්තියේ මිතුරියක් කිව්වා. ඈට නම් ඒක විනෝදය ගෙන දෙන දෙයක් වුණා. කොහොමවුණත්, ඈ ගැබ්ගත් විට හා අපිත් එක්ක විභාගයට ලියන්න බැරිව ගියාම ඈ තේරුම්ගත්තා ඒකෙන් විනෝදයක් ලැබුණේ නැති බව. මට මඟ පෙන්වන්න හොඳ පියෙක් හිටියේ නැත්නම් සමහරවිට ඈ වගේ මමත් ඒ දුෂ්කර පාඩම ඉගෙනගන්න ඉඩ තිබුණා.”
ලිංගික උමතුවෙන් පිරි මේ ලෝකයේ, ‘ගැළවීම පිණිස නැණවත්’ අය බවට පත්වීමට ක්‍රිස්තියානි දෙමාපියන් තම දරුවන්ට උපකාර කරන විට එය මොනතරම් කදිම ආශීර්වාදයක්ද! (2 තිමෝති 3:15) ඔවුන් සපයන බයිබලය මත පදනම් උපදෙස්, යෙහෝවාගේ ඇස් ඉදිරියෙහි දරුවන්ව අලංකාරයෙන් සරසන අනර්ඝ මාලයක් හා සමානයි. (හිතෝපදේශ 1:8, 9) දරුවන්ට සුරක්ෂිතබවක් දැනෙන අතර, දෙමාපියන් ඉමහත් තෘප්තියක් අද්දකිනවා. තම දරුවන් සමඟ අදහස් හුවමාරු කරගැනීමේ මාර්ග විවෘතව තබාගැනීමට නිතරම දැඩි පරිශ්‍රමයක් දරන අප්‍රිකානු රටක වෙසෙන පියෙක් මෙසේ පැවසුවා: “අපිට මනසේ සමාදානය තියෙනවා. යෙහෝවාව සතුටු කරන්නේ මොන දේවල්ද කියා අපේ දරුවන් දන්නවා කියල අපිට නිසැකයි; පිටත සිටින අයට බැහැ ඔවුන්ව නොමඟ යවන්න. පවුලේ අයට වේදනාව ගෙන දෙන දේවල් ඔවුන් කරන්නේ නැහැ කියල අපිට නිසැකයි. අපේ නිසැකකමට අනුව ඔවුන් කටයුතු කර තිබීම ගැන මම යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා.”
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.
[10වන පිටුවේ පින්තූරය]
දෙමාපියන්ගෙන් බයිබලය මත පදනම් වූ තොරතුරු ලබන ක්‍රිස්තියානි යෞවනයන්, අනිත් යෞවනයන් කියන විකෘති කර දක්වන ප්‍රබන්ධ කථාවලට සවන් දීම ප්‍රතික්ෂේප කළ හැකියි