දෙවිගේ දරුවන් සඳහා මහිමාන්විත නිදහස්කම ළඟදීම
‘මැවිල්ල නිෂ්ඵලභාවයට යටත් කරන ලද්දේ ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස් වී, දෙවිගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය යන බලාපොරොත්තුව මතය.’—රෝම 8:20, 21.
1. යේසුස්ගේ පූජාව සමගි කිරීමේ දවසට සාදෘශ්‍යයක් වූයේ කෙසේද?
මිනිසුන් 1,44,000කට ස්වර්ගීය ජීවිතය සහ ඉතිරි මනුෂ්‍යවර්ගයා සඳහා සදාකාලික භූමික අපේක්ෂා සඳහා මඟ විවර කරමින්, යෙහෝවා ස්වකීය ඒකජාතක පුත්‍රයාව මිදීමේ පූජාවක් හැටියට දුන්නා. (1 යොහන් 2:1, 2) පෙර ලිපියේ සඳහන් කළාක් මෙන්, වාර්ෂික සමගි කිරීමේ දවසේදී ඉශ්රායෙල්හි උත්තම පූජකයා තමාගේ, තම පවුලේ සහ ලෙවී ගෝත්‍රයේ පව් උදෙසා ගොනෙකුව පූජාවක් හැටියට පූජා කිරීම, ආත්මයෙන්-උත්පාදනය කරන ලද ක්‍රිස්තියානීන් සඳහා යේසුස්ගේ පූජාවට සාදෘශ්‍යයක් වුණා. ක්‍රිස්තුස්ගේ පූජාවෙන් පොදුවේ මනුෂ්‍යවර්ගයා ප්‍රයෝජන ගන්න යනවා හා සමානව, අනිකුත් සියලුම ඉශ්රායෙල්වරුන් සඳහා පාප පූජාවක් හැටියට, උත්තම පූජකයා එදාම එළුවෙකුවත් පූජා කළා. පණ ඇති එළුවෙක්, මිනිසුන් මෑතකදී සිදු කළ සාමූහික පාප සංකේතවත් ලෙස කරපින්නාගෙන වනාන්තරයේ නොපෙනී ගියා.a—ලෙවී කථාව 16:7-15, 20-22, 26.
2, 3. රෝම 8:20, 21හි වාර්තා කර ඇති පාවුල්ගේ ප්‍රකාශයෙන් අදහස් කරන්නේ කුමක්ද?
2 ‘දෙවිගේ ස්වර්ගික පුත්‍රයන්’ බවට පත් වන මිනිසුන්ගේ බලාපොරොත්තුව උලුප්පා දැක්වූවාට පසු, පාවුල් මෙසේ පවසනවා: “මැවිල්ල [දෙවිගේ] පුත්‍රයන්ගේ එළිදරව්වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටියි. මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත්කරනලද්දේ ඒකේම කැමැත්තෙන් නොව, ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී, [දෙවිගේ] දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිනෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත්කළාවූ [තැනැත්තා] නිසාය.” (රෝම 8:14, 17, 19-21) මෙම කියමනෙහි අර්ථය කුමක්ද?
3 අපගේ මුල් පියා වන ආදම්ව පරිපූර්ණ මිනිසෙක් ලෙස මැවූ විට, ‘ඔහු දෙවිගේ පුත්‍රයෙක් [හෝ දරුවෙක්]’ වුණා. (ලූක් 3:38) පව් කළ නිසා, ඔහු ‘ජරාවේ වහල්භාවයට’ පත් වූ අතර, මේ තත්වය මිනිස් ජාතිය මත හෙළුවා. (රෝම 5:12) ඔවුන්ගේ අසම්පූර්ණකම නිසා, දෙවි මනුෂ්‍යවර්ගයාව “නිෂ්ඵලභාවය” අපේක්ෂාවෙන් ඉපදෙන්න ඉඩහැරියත්, “වංශය” වන යේසුස් ක්‍රිස්තුස් තුළින්, ඔහු අපට බලාපොරොත්තුව ලබා දුන්නා. (උත්පත්ති 3:15; 22:18; ගලාති 3:17) ‘මරණය, දුක, වැලපීම සහ වේදනාව තවත් නැති’ කාලයක් ගැන එළිදරව් 21:1-4 ගෙනහැර දක්වනවා. මෙය මනුෂ්‍යවර්ගයා සඳහා පොරොන්දුවක් නිසා, රාජ්‍ය පාලනය යටතේ මිනිසුන්ගෙන් සමන්විත නව භූමික සමාජයක් ‘දෙවිගේ භූමික දරුවන්’ හැටියට මනසෙහි සහ ශරීරයෙහි පූර්ණ සුවය සහ සදාකාල ජීවනය යළි පිහිටුවීම අද්දකින්න යනවා. ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය තුළදී, කීකරු මිනිසුන්ව ‘ජරාවේ වහල්කමින් නිදහස් කරන්න යනවා.’ අවසාන පරීක්ෂණයකදී, යෙහෝවාට පක්ෂපාත බව ඔප්පු කළාට පසුව, උරුම වූ පාපයෙන් සහ මරණයෙන් ඔවුන්ව සදාකාලයටම නිදහස් කරන්න යනවා. (එළිදරව් 20:7-10) එවිට පොළොව මත සිටින අයට ‘දෙවිගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කම ලැබෙන්න යනවා.’
ඔවුන් මෙසේ කියනවා: ‘එන්න!’
4. “ජීවන-වතුර නොමිලයේ ගනීවා” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
4 මනුෂ්‍යවර්ගයා ඉදිරියේ තබා ඇත්තේ මොනතරම් පුදුමාකාර අපේක්ෂාවක්ද! තවමත් මේ පොළොව මත සිටින ආත්මයෙන්-උත්පාදනය කරන ලද ක්‍රිස්තියානීන් අන් අයට ජ්වලිත ලෙස කියා දීමේ පෙරමුණ ගන්නා බවට කිසිම සැකයක් නැහැ! තේජසට පත් කරන ලද බැටළුපැටවා වන යේසුස් ක්‍රිස්තුස්ගේ ‘මනාලියගේ’ කොටසක් වන්නාවූ අය වන ආලේප ලත් ඉතිරි අය මෙම අනාගතවාක්‍යයේ ඉටුවීමට අයත් වෙනවා: “[ආත්මයද] මණමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.” (එළිදරව් 21:2, 9; 22:1, 2, 17) නැහැ, යේසුස්ගේ මිදීමේ පූජාවේ ප්‍රයෝජන ආලේප ලත් අය 1,44,000ට පමණක් සීමා වී නැහැ. “එන්න” යයි කියමින් දෙවිගේ ආත්මය පොළොව මත සිටින මනාලියගේ පංතියේ ඉතිරි කොටස තුළින් නොකඩවාම ක්‍රියා කරමින් සිටිනවා. ධර්මිෂ්ඨකමට පිපාසා ඇති අසන්නාවූ ඕනෑම කෙනෙකුට “එන්න” කියා ආරාධනා කරන්න ඉඩ දෙන අතර, එසේ කිරීමෙන් ඔහු ගැළවීම සඳහා වන යෙහෝවාගේ බහුල සැපයුම් ලබන්න යනවා.
5. කවුරුන් ඔවුන් අතරෙහි සිටීම ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවන් සන්තෝෂ වනවාද?
5 යේසුස් ක්‍රිස්තුස් තුළින් ජීවනය ලැබීමේ දෙවිගේ සැපයුම කෙරෙහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ඇදහිල්ල තිබෙනවා. (ක්‍රියා 4:12) දෙවිගේ පොරොන්දු ගැන ඉගෙනගන්න සහ ඔහුගේ කැමැත්ත කරන්න ආශා කරන අවංක හදවත් ඇති අය ඔවුන් අතරෙහි සිටීම ගැන ඔවුන් සතුටු වෙනවා. මෙම “අන්තිම කාලය” තුළ ‘ජීවනයේ වතුර නොමිලේ ගැනීමට එන්න’ කැමති සියලුදෙනාටම ඔවුන්ගේ රාජ්‍ය ශාලා විවෘතයි.—දානියෙල් 12:4.
කාලයත් සමඟ සිදු වූ වෙනස්කම්
6. විවිධ කාලපරිච්ඡේද තුළදී යෙහෝවාගේ සේවකයන් කෙරෙහි දෙවිගේ ආත්මය ක්‍රියාත්මක වුණේ කෙසේද?
6 තම අරමුණ ඉටු කිරීම සඳහා දෙවිට නියමිත කාලයක් ඇති අතර, එය මිනිසුන් සමඟ සිදු කරන ඔහුගේ කටයුතුවලට බලපානවා. (දේශනාකාරයා 3:1; ක්‍රියා 1:7) පූර්ව ක්‍රිස්තියානි කාලවලදී තම සේවකයන් මත දෙවිගේ ආත්මය වැගිරුණත්, තම ආත්මික පුත්‍රයන් මෙන් ඔවුන් ආත්මයෙන්-උත්පාදනය වුණේ නැහැ. කෙසේවෙතත්, යේසුස්ගේ පටන් ස්වර්ගික උරුමයක් සඳහා කැප වූ පුරුෂයන් සහ ස්ත්‍රීන්ව උත්පාදනය කිරීම සඳහා යෙහෝවාගේ කාලය එළඹුණා. එමෙන්ම අපේ දවස සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? එම ශුද්ධාත්මයම යේසුස්ගේ ‘වෙනත් බැටළුවන්’ මත ක්‍රියා කළත්, එය ස්වර්ගික ජීවිතයක් සඳහා අපේක්ෂාව සහ ආශාව ඔවුන් තුළ පුබුදුවන්නේ නැහැ. (යොහන් 10:16) පොළොව මත පාරාදීසයක සදාකාල ජීවනය දෙවිගෙන් ලද බලාපොරොත්තුව ලෙස තබාගන්නා ඔවුන්, පරණ ලෝකය දෙවිගේ ධර්මිෂ්ඨ නව ලොව බවට සංක්‍රමණය වෙමින් පවතින මෙම කාලපරිච්ඡේදය තුළ සාක්ෂියක් දැරීමට ඔවුන් ආලේප ලත් ඉතිරි අයට ප්‍රීතියෙන් සහයෝගය දක්වනවා.—2 පේතෘස් 3:5-13.
7. බයිබල් ශිෂ්‍යයන් සැලකිල්ල දැක්වූයේ කිනම් අස්වැන්න නෙළීමේ වැඩයකටද? එමෙන්ම පාරාදීසය ගැන ඔවුන් දැනගෙන සිටියේ කුමක්ද?
7 දෙවි පො.යු. 33 පෙන්තකොස්ත දිනයේදී, ‘දරුවන් බොහෝදෙනෙකුව තේජසට’ ගෙන ඒම සඳහා ශුද්ධාත්මය වැගිරූ අතර, ‘දෙවිගේ ආත්මික ඉශ්‍රායෙල්ගේ’ මුළු සංඛ්‍යාව වන 1,44,000දෙනා සම්පූර්ණ වීමට පෙනෙන විදිහට කාලයක් නියම කර තැබුවා. (හෙබ්‍රෙව් 2:10; ගලාති 6:16; එළිදරව් 7:1-8) ආලේප ලත් ක්‍රිස්තියානීන්ව අයත් වන අස්වැන්න නෙළීමේ වැඩක් ගැන 1879 පටන් මෙම සඟරාවේ බොහෝවිට සඳහන් කළා. නමුත් ශුද්ධ ලියවිලි පාරාදීස පොළොවක සදාකාල ජීවනයේ අපේක්ෂාව තබා තිබෙනවා කියාත්, (දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස හඳුන්වන) බයිබල් ශිෂ්‍යයන් දැනගෙන සිටියා. උදාහරණයක් හැටියට, 1883 ජූලි මුරටැඹ (ඉංග්‍රීසියෙන්) කලාපය මෙසේ පැවසුවා: “යේසුස් තම රාජ්‍යය පිහිටුවා, නපුර යනාදිය විනාශ කළ කල්හි, මේ පොළොව පාරාදීසයක් බවට පත් වන අතර, . . . මිනි වළවල්වල සිටින සියලුදෙනා එයට පැමිණෙනු ඇත. එමෙන්ම එහි නීතිවලට කීකරු වීමෙන් ඔවුන් සදාතනිකව එහි වසනු ඇත.” කාලයාගේ ඇවෑමෙන්, ආලේප ලත් අයව නෙළීම අඩු වී ගිය අතර, ස්වර්ගික අපේක්ෂාව නැති අයව ක්‍රමානුකූලව යෙහෝවාගේ සංවිධානයට නෙළනු ලැබුවා. මේ අතරතුරේදී, දෙවි ඔහුගේ ආලේප ලත් සේවකයන්ට, එනම් නැවත-ඉපදුණු ක්‍රිස්තියානීන්ට, සැලකිය යුතු තීක්ෂ්ණ බුද්ධියක් දුන්නා.—දානියෙල් 12:3; පිලිප්පි 2:15; එළිදරව් 14:15, 16.
8. වර්ෂ 1930 ගණන්වල මුල් කාලයේදී, භූමික අපේක්ෂාව පිළිබඳ තේරුම්ගැනීමක් වර්ධනය වූයේ කෙසේද?
8 විශේෂයෙන්ම 1931 සිට භූමික අපේක්ෂාව තිබෙන අය, ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කරමින් සිටිනවා. එම අවුරුද්දේදී, එසකියෙල් නවවන පරිච්ඡේදයේ යොමු දක්වා ඇති දෙවිගේ නව ලෝකයට ගැළවීම සඳහා ලකුණු කර ඇති මේ භූමික පංතිය දැකීමට, යෙහෝවා ආත්මයෙන්-උත්පාදනය කරන ලද ක්‍රිස්තියානීන්ගේ ඉතිරි අයව ආලෝකවත් කළා. යේහුගේ සහකාර යෝනාදාබ්ව (යෙහෝනාදාබ්) උපකල්පනය කළේ, වර්තමාන-දින බැටළුවන් වැනි අය බවට 1932දී නිගමනය කරනු ලැබුවා. (2 රාජාවලිය 10:15-17) වර්ෂ 1934දී, “යෝනාදාබ්වරු” දෙවිට “කැප” විය යුතු බව පැහැදිලි වුණා. “මහත් සේනාව” හෝ “මහත් සමූහය”—ස්වර්ගයේ ක්‍රිස්තුස්ගේ මනාලියගේ “යහළු කන්‍යාවෝ” වන දෙවන ආත්මික පංතියක් ලෙස කලින් සිතූ අයව, භූමික අපේක්ෂාවක් ඇති වෙනත් බැටළුවන් ලෙස 1935දී හඳුනාගත්තා. (එළිදරව් 7:4-15; 21:2, 9; ගීතාවලිය 45:14, 15) එමෙන්ම විශේෂයෙන්ම, 1935 සිට, පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට ආශාවෙන් සිටින ධර්මිෂ්ඨ සෙනඟව සෙවීමෙහි ආලේප ලත් අය පෙරමුණ ගෙන සිටිනවා.
9. වර්ෂ 1935න් පසු, ස්වාමීන්ගේ රාත්‍රි භෝජනයේදී, සංකේතවලට පංගුකාරයන් වීම සමහර ක්‍රිස්තියානීන් නතර කළේ මන්ද?
9 ස්වාමීන්ගේ රාත්‍රි භෝජනයේදී, රොටි සහ මුද්‍රිකපාන සඳහා පංගුකාරයන් වූ සමහර ක්‍රිස්තියානීන් 1935න් පසු එසේ කිරීම නවතා දැමුවා. ඒ මන්ද? ඒ ඔවුන්ගේ අපේක්ෂාව ස්වර්ගික නොව භූමිකයයි ඔවුන් තේරුම්ගත් නිසයි. වර්ෂ 1930දී බව්තීස්ම වූ එක් ස්ත්‍රියක් මෙසේ පැවසුවා: “විශේෂයෙන්ම ජ්වලිත පූර්ණ-කාලීන සේවකයෝ ඒකට [පංගුකාරයන් වීම] සුදුසුම දේ කියල සැලකුවත්, මට ස්වර්ගික අපේක්ෂාවක් තියෙනවා කියල මම කවදාක්වත් හිතුවේ නැහැ. ඊට පස්සේ, 1935දී, අපිට පැහැදිලි වුණා, පොළොවේ සදාකාලයටම ජීවත් වීමේ බලාපොරොත්තුවෙන් මහත් සමූහයක්ව රැස් කරමින් ඉන්නවා කියලා. අපි ගොඩාක්දෙනෙක් ඒ මහත් සමූහයේ කොටසක් බව තේරුම්ගැනීමෙන් ප්‍රීතියට පත් වුණා වගේම, සංකේත ගන්න එක නවත්තලා දැම්මා.” ක්‍රිස්තියානි ප්රකාශනවල අඩංගු දේවල් පවා වෙනස් වුණා. කලින් අවුරුදුවල තිබූ ප්‍රකාශන සකස් කළේ, මූලිකව යේසුස්ගේ ආත්මයෙන්-අභිෂේක ලත් අනුගාමිකයන් සඳහා වුණත්, 1935 සිට ඉදිරියට මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සහ ‘විශ්වාසවන්ත දාසයාගේ’ වෙනත් ප්‍රකාශන, ආලේප ලත් සහ භූමික අපේක්ෂාව ඇති ඔවුන්ගේ ආශ්‍රිතයන් යන දෙගොල්ලන්ටම ගැළපෙන ආකාරයේ ආත්මික ආහාර සැපයුවා.—මතෙව් 24:45-47.
10. අවිශ්වාසවන්ත ආලේප ලත් කෙනෙකු වෙනුවට තවත් කෙනෙකුව පත් කිරීමට ඉඩ ඇත්තේ කෙසේද?
10 ආලේප ලත් කෙනෙක් අවිශ්වාසවන්ත වුණායයි සිතන්න. ඒ වෙනුවට වෙනත් පත් කිරීමක් තිබෙනවාද? පාවුල් සංකේතවත් ඔලීව් ගස ගැන ඔහුගේ සාකච්ඡාවේදී බොහෝ දේ සඳහන් කළා. (රෝම 11:11-32) ආත්මයෙන්-උත්පාදනය කරන ලද කෙනෙකු වෙනුවට තවත් කෙනෙකුව පත් කළ යුතු නම්, අවුරුදු ගණනාවක් පුරා දෙවිට පරිශුද්ධ සේවය පිරිනැමීම සම්බන්ධයෙන් තම ඇදහිල්ල ආදර්ශවත් ලෙස පැවැත්වූ කෙනෙකුට පෙනෙන විදිහට දෙවි විසින් ස්වර්ගික කැඳවීම දෙනු ලබනවා.—සසඳන්න ලූක් 22:28, 29; 1 පේතෘස් 1:6, 7.
කෘතඥපූර්වක වීමට බොහෝ හේතු
11. අපගේ අපේක්ෂාවේ ස්වභාවය කුමක් වුණත්, යාකොබ් 1:17 අපට සහතික කරන්නේ කුමක්ද?
11 අපි යෙහෝවාට කොහේ සිට හෝ සේවය කළත්, ඔහු අපේ අවශ්‍යතා සහ ධර්මිෂ්ඨ ආශාවන් තෘප්තිමත් කරන්න යනවා. (ගීතාවලිය 145:16; ලූක් 1:67-74) අපට අව්‍යාජ ස්වර්ගික අපේක්ෂාවක් තිබුණත්, අපේ බලාපොරොත්තුව භූමික වුණත්, දෙවිට කෘතඥපූර්වක වීමට අපට හොඳ හේතු තිබෙනවා. ඔහු සැමවිටම දේවල් කරන්නේ ඔහුට ප්‍රේම කරන අයගේ උපරිම යහපත සඳහායි. අනුගාමික යාකොබ් පවසා සිටියේ, “සෑම යහපත් [ත්‍යාගද, NW] සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල [පියා, එනම් යෙහෝවා දෙවි] කෙරෙන් ඉහළින් බැස එන්නේය” කියායි. (යාකොබ් 1:17) මෙම ත්‍යාග සහ ආශීර්වාද කිහිපයක් අපි සලකා බලමු.
12. ඔහුගේ සෑම ඇදහිලිවන්ත සේවකයෙකුටම යෙහෝවා පුදුමාකාර අපේක්ෂාවක් දී තිබෙන බව කීමට අපට හැකි වන්නේ කෙසේද?
12 යෙහෝවා ඔහුගේ සෑම ඇදහිලිවන්ත සේවකයෙකුටම පුදුමාකාර අපේක්ෂාවක් ලබා දී තිබෙනවා. ඔහු සමහරුන්ව ස්වර්ගයට කැඳවනු ලැබ තිබෙනවා. ඔහුගේ පූර්ව-ක්‍රිස්තියානි සාක්ෂිකරුවන්ට, පොළොව මත ජීවත් වීමට නැවත නැඟිටීමේ ඉතා කදිම අපේක්ෂාවක් දුන්නා. උදාහරණයක් හැටියට, නැවත නැඟිටීම ගැන ආබ්‍රහම්ට ඇදහිල්ල තිබූ අතර, “[සැබෑ, NW] අත්තිවාරම් ඇත්තාවූ, . . . නුවර”—එනම්, ස්වර්ගීය රාජ්‍යය යටතේ, ඔහුව භූමික ජීවිතයකට නැවත නැඟිටුවීමට යන රාජ්‍යය සඳහා බලා සිටියා. (හෙබ්‍රෙව් 11:10, 17-19) නැවත වරක්, මේ අන්තිම කාලයේදී, දෙවි මිලියන ගණනකට පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වීමේ අපේක්ෂාව ලබා දෙනවා. (ලූක් 23:43; යොහන් 17:3) නිසැකවම, යෙහෝවා එවන් මහත් අපේක්ෂාවක් ලබා දී තිබෙන ඕනෑම කෙනෙකු, ඒ සඳහා ගැඹුරින් කෘතඥපූර්වක විය යුතුයි.
13. දෙවිගේ ශුද්ධාත්මය ඔහුගේ සෙනඟ මත ක්‍රියාත්මක වී ඇත්තේ කෙසේද?
13 යෙහෝවා ඔහුගේ සෙනඟට ත්‍යාගයක් හැටියට තම ශුද්ධාත්මය වගුරුවනවා. ස්වර්ගික අපේක්ෂාවක් ලබා දී තිබෙන ක්‍රිස්තියානීන්ව ශුද්ධාත්මයෙන් ආලේප කර තිබෙනවා. (1 යොහන් 2:20; 5:1-4, 18) එහෙත්, භූමික බලාපොරොත්තු ඇති දෙවිගේ සේවකයන්ට ශුද්ධාත්මය මගින් උපකාරය සහ මඟ පෙන්වීම සපයනවා. යෙහෝවාගේ ආත්මය තිබූ අය අතර මෝසෙස් මෙන්ම, ඔහුට සහය වීමට පත් කරන ලද මිනිසුන් 70දෙනාද සිටියා. (ගණන් කථාව 11:24, 25) ශුද්ධාත්මයේ බලපෑම යටතේ, බෙශලෙල් ඉශ්‍රායෙල්ගේ ගිවිසුම් පෙට්ටිය සම්බන්ධයෙන් නිපුණ කර්මාන්තකාරයෙක් ලෙස සේවය කළා. (නික්මයාම 31:1-11) දෙවිගේ ආත්මය ගිඩියොන්, යෙප්තා, සම්සොන්, දාවිත්, එලියා, එලිෂා සහ වෙනත් අය මතටත් පැමිණියා. පුරාණ කාලවල සිටි මෙම පුද්ගලයන්ව කිසිදා ස්වර්ගික තේජසට ගෙනෙනු ලබන්න යන්නේ නැති වුණත්, ඔවුන්ට ශුද්ධාත්මය මගින් මඟ පෙන්වා උපකාර කළේ, හරියට අදදින යේසුස්ගේ වෙනත් බැටළුවන්ට හා සමානවයි. ඉතින් එමනිසා, දෙවිගේ ශුද්ධාත්මය තිබීම අපට ස්වර්ගීය කැඳවීම තිබෙනවා කියා අනිවාර්යයෙන්ම අදහස් කරන්නේ නැහැ. කෙසේවෙතත්, යෙහෝවාගේ ආත්මය මඟ පෙන්වීම සපයනවා, දේශනා කරන්නත් දෙවිගෙන් ලද වෙනත් පැවරුම් ඉටු කරන්නත් අපට උපකාර කරනවා, එය අපට සාමාන්‍යය ඉක්මවූ බලය සපයන අතර, අප තුළ ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, දිගුකල් විඳදරාගැනීම, කරුණාව, යහපත, ඇදහිල්ල, මෘදුකම සහ ආත්ම-දමනය යන එහි ඵලදාවද නිපදවනවා. (යොහන් 16:13; ක්‍රියා 1:8; 2 කොරින්ති 4:7-10; ගලාති 5:22, 23) දෙවිගෙන් වූ මේ කරුණාභරිත ත්‍යාගයට අප ස්තුතිපූර්වක විය යුතු නොවේද?
14. දැනුම සහ ප්‍රඥාව යන දෙවිගෙන් ලද ත්‍යාගවලින් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?
14 අපගේ අපේක්ෂාව ස්වර්ගික හෝ භූමික වේවා, දැනුම සහ ප්‍රඥාව යන දෙවිගෙන් ලද ත්‍යාග සඳහා අප කෘතඥපූර්වක විය යුතුයි. “උතුම්වූ දේවල් ඒත්තුගන්ට . . . පුළුවන්වෙන්ට” සහ “යෙහෝවාට ඔබින ලෙස සියලු ආකාරයෙන් ඔහුව ප්‍රසන්න කරමින් හැසිරීමට” යෙහෝවා පිළිබඳ නිවැරදි දැනුම අපට උපකාර කරන්න යනවා. (පිලිප්පි 1:9-11; කොලොස්සි 1:9, 10, NW) දිව්‍ය ප්‍රඥාව ජීවිතයෙහි ආරක්ෂාවක් සහ මඟ පෙන්වීමක් ලෙස ක්‍රියා කරනවා. (හිතෝපදේශ 4:5-7; දේශනාකාරයා 7:12) සැබෑ දැනුම සහ ප්‍රඥාව පදනම් වන්නේ දෙවිගේ වචනය මත වන අතර, ආලේප ලත් ඉතිරි කිහිපදෙනා ඔවුන්ගේ ස්වර්ගික අපේක්ෂාව ගැන එයට කීමට ඇත්තේ කුමක්ද යන්න වෙතට විශේෂයෙන්ම ආකර්ෂණය වී තිබෙනවා. කෙසේවෙතත්, දෙවිගේ වචනය සඳහා ප්‍රේමය සහ ඒ පිළිබඳ හොඳ තේරුම්ගැනීමක්, ස්වර්ගික ජීවිතයට දෙවි අපව කැඳවනු ලබන ආකාරය තීරණය කරන්නේ නැහැ. මෝසෙස් සහ දානියෙල් වැනි අය බයිබලයේ කොටස් පවා ලිව්වත්, ඔවුන්ව නැවත නැඟිටුවනු ලබන්න යන්නේ මේ පොළොව මතටයි. අපේ බලාපොරොත්තුව ස්වර්ගික හෝ භූමික හෝ වේවා, අප සියලුදෙනාටම ආත්මික ආහාර ලැබෙන්නේ යෙහෝවාගේ අනුමැතිය ඇති “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මගිනුයි. (මතෙව් 24:45-47) එමගින් අත් කරගෙන ඇති දැනුම සම්බන්ධයෙන් අප සියලුදෙනා මොනතරම් කෘතඥපූර්වක වෙනවාද!
15. දෙවිගේ මහත්ම ත්‍යාගවලින් එකක් වන්නේ කුමක්ද? එමෙන්ම ඔබ එය සලකන්නේ කෙසේද?
15 අපට ස්වර්ගික බලාපොරොත්තුවක් තිබුණත්, භූමික අපේක්ෂාවක් තිබුණත් අපට ප්‍රයෝජනවත් වන දෙවිගේ මහත්ම ත්‍යාගවලින් එකක් නම්, යේසුස්ගේ ජීවිත පූජාවේ ප්‍රේමනීය සැපයුමයි. දෙවි ‘ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.’ (යොහන් 3:16) එමෙන්ම යේසුස්ගේ ප්‍රේමය “බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ට” පෙලඹුවා. (මතෙව් 20:28) ප්‍රේරිත යොහන් විස්තර කළ ආකාරයට, යේසුස් ක්‍රිස්තුස්, “අපේ [එනම්, ආලේප ලත් අයගේ] පව් උදෙසා ශාන්තිකර පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය.” (1 යොහන් 2:1, 2) එමනිසා, සදාකාල ජීවනය ලැබීමට ගැළවීම සඳහා වන මේ ප්‍රේමනීය සැපයුමට අප සියලුදෙනාම ගැඹුරු ලෙස කෘතඥපූර්වක විය යුතුයි.b
ඔබ සිටීවිද?
16. වර්ෂ 1998 අප්‍රියෙල් 11වනදා හිරු බැසයෑමෙන් පසු පවත්වන්නේ කිනම් සිහිකටයුතු සිද්ධියක්ද? එමෙන්ම සහභාගි විය යුත්තේ කව්ද?
16 තම පුත්‍රයා මගින් දෙවි සැපයූ මිදීම සඳහා කෘතඥපූර්වක වීමක් හැටියට ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට 1998 අප්‍රියෙල් 11වනදා හිරු බැසයෑමෙන් පසු රාජ්‍ය ශාලාවලට හෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන් රැස්වෙන වෙනත් ස්ථානවලට එක්රැස් වීමට අප පෙලඹිය යුතුයි. යේසුස්ගේ භූමික ජීවිතයේ අන්තිම රාත්රියේදී තම ඇදහිලිවන්ත ප්‍රේරිතයන් සමඟ මෙම සිහි කිරීම පිහිටුවන විට, ඔහු මෙසේ කිව්වා: “මා සිහිකිරීම පිණිස මේක කරන්න.” (ලූක් 22:19, 20; මතෙව් 26:26-30) මුහුන් නුමුසු රොටිවලින් නියෝජනය කරන යේසුස්ගේ පාප විරහිත මනුෂ්‍ය ශරීරයත් වියළි රතු මුද්‍රිකපානයෙන් ඇඟවූ පූජාවේදී වැගිරූ ලෙයටත් ආලේප ලත් ඉතිරි අයගේ ස්වල්පදෙනා පංගුකාරයන් වෙනවා. අලුත් ගිවිසුමට සහ රාජ්‍ය ගිවිසුමට ඇතුළත් වන්නේ ඔවුන් පමණක් නිසාත්, ඔවුන්ට ස්වර්ගීය අපේක්ෂාවක් තිබෙන බවට දෙවිගේ ශුද්ධාත්මයේ නිසැක සාක්ෂිය තිබෙන නිසාත්, මෙහි පංගුකාරයන් විය යුත්තේ ආත්මයෙන්-උත්පාදනය කරන ලද ක්‍රිස්තියානීන් පමණයි. සදාකාල ජීවනය හැකි කරවූ යේසුස්ගේ පූජාව සම්බන්ධයෙන් දෙවි සහ ක්‍රිස්තුස් විසින් පෙන්වන ලද ප්‍රේමයට කෘතඥපූර්වක වීමක් වශයෙන් වෙනත් බොහෝ මිලියන ගණනක්, ගෞරවාන්විත නිරීක්ෂකයන් ලෙස සහභාගි වෙන්න යනවා.—රෝම 6:23.
17. ආත්මයෙන්-උත්පාදනය වීම ගැන අප මතක තබාගත යුත්තේ කුමක්ද?
17 අතීත ආගමික විශ්වාසයන්, ප්‍රේමනීය කෙනෙකුගේ මරණයෙන් ඇති වූ දැඩි චිත්තවේගීය පෙලඹීම්, භූමික ජීවිතයේ දැන් අද්දකින දුෂ්කරතා හෝ යෙහෝවාගෙන් යම් විශේෂ ආශීර්වාදයක් ලැබූ බවට ඇති හැඟීම්, ස්වර්ගීය ජීවිතය ඔවුන් සඳහායයි වරදවා සිතීමට සමහරුන්ට මඟ පාදන්න ඉඩ තිබෙනවා. ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව සඳහා අපේ කෘතඥපූර්වකභාවය පෙන්වීම සඳහා සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයන් විය යුතුයි කියා ශුද්ධ ලියවිලි අපට අණ කරන්නේ නැති බව අප මතක තබාගත යුතුයි. ඒ වෙනුවට, ආත්මයෙන්-උත්පාදනය වීම පැමිණෙන්නේ, “කැමතිවන තැනැත්තාගෙන්වත් දුවන තැනැත්තාගෙන්වත් නොව,” ආත්මික පුත්‍රයෙක් ලෙස යේසුස්ව උත්පාදනය කළ සහ අනිකුත් පුත්‍රයන් 1,44,000දෙනෙක්ව පමණක් තේජසට ගෙනෙන ‘දෙවිගෙන්ය.’—රෝම 9:16; යෙසායා 64:8.
18. අදදින යෙහෝවාට සේවය කරන බොහෝදෙනෙකු සඳහා ඉදිරියෙහි තිබෙන්නේ කිනම් ආශීර්වාදද?
18 මේ අන්තිම දවස්වලදී යෙහෝවාට සේවය කරන මනුෂ්‍යයන් බහුතරයකට දෙවිගෙන් ලද අපේක්ෂාව වන්නේ, පාරාදීස පොළොවක සදාකාල ජීවනයයි. (2 තිමෝති 3:1-5) වැඩිකල් නොගොස්, ඔවුන් මෙම පුදුමාකාර පාරාදීසය භුක්ති විඳින්න යනවා. එවිට කුමරවරුන් ස්වර්ගික රාජ්‍යය යටතේ භූමික කටයුතු පාලනය කරන්න යනවා. (ගීතාවලිය 45:16) පොළෝවාසීන් දෙවිගේ නීතිවලට එකඟව ජීවත් වෙද්දී සහ යෙහෝවාගේ මාර්ග ගැන තවත් ඉගෙනගනිද්දී, සාමකාමී තත්වයන් පවතින්න යනවා. (යෙසායා 9:6, 7; එළිදරව් 20:12) ගෙවල් සෑදීමේ සහ පොළොව යටත් කරගැනීමේ බොහෝ වැඩකටයුතු තිබෙන්න යනවා. (යෙසායා 65:17-25) එමෙන්ම, මළවුන් යළි ජීවනයට පැමිණි විට සන්තෝෂවත් පවුල් නැවත එක්වීම් ගැන සිතන්න! (යොහන් 5:28, 29) අවසාන පරීක්ෂණයකින් පසු, සියලුම දුෂ්ටකම් පහව ගිහින්. (එළිදරව් 20:7-10) ඉන්පසු සදාකාලයටම, පොළොව සම්පූර්ණ මනුෂ්‍යවර්ගයාගෙන් පිරෙන්න යන අතර, ඔවුන් නම්, ‘ජරාවේ වහල්කමින් නිදහස් වී, දෙවිගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන අයයි.’
[පාදසටහන්වල]
a ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්), පළමුවන කාණ්ඩය, 225-6 පිටු බලන්න.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ “ජීවන-වතුර නොමිලයේ ගනීවා” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
◻ අපගේ අපේක්ෂාව ස්වර්ගීය වුවත්, භූමික වුවත්, දෙවිට කෘතඥපූර්වක වීමට අපට ඇති හේතු මොනවාද?
◻ අප සියලුදෙනාම සහභාගි විය යුත්තේ කිනම් වාර්ෂික සිහි කිරීමටද?
◻ යෙහෝවාගේ සෙනඟගෙන් බොහෝමයකට ඇත්තේ කිනම් අනාගතයක්ද?
[18වන පිටුවේ පින්තූරය]
මිලියන ගණනක් ‘ජීවනයේ වතුර නොමිලේ ලබාගන්න’ පටන්ගෙන තිබෙනවා. ඔබ ඔවුන් අතරේද?