ඔවුන් යෙහෝවාගේ කැමැත්ත කළා
යේසු ගෝලයන් 70දෙනෙක් පිටත් කර යවයි
එය පො.යු. 32 ශරත් සෘතුව විය. යේසුගේ මරණයට තිබුණේ තව මාස හයක් පමණයි. එහෙයින්, දේශනා වැඩය වේගවත් කිරීමටත් ඔහුගේ අනුගාමිකයන්ව තවදුරටත් පුහුණු කිරීමටත් ඔහු ගෝලයන් 70දෙනෙකු නියම කොට “තමන් යන්ට සිටිය සියලු නුවරවලටත් ස්ථානවලටත් ඔවුන් දෙදෙනා බැගින් තමන්ට පෙරටුව [යැව්වේය].”—ලූක් 10:1.a
යේසු තමන්ගේ ගෝලයන්ව ‘තමන්ට පෙරටුව යැව්වේ’ යේසුම පසු කලෙක පැමිණි විට ඔවුන් සිටින්නේ මෙසියස්ගේ පැත්තටද නැද්ද යන්න ජනයාට වඩාත් ඉක්මනින් තීරණය ගැනීමට හැකිවීම සඳහායි. නමුත් ඔහු “දෙදෙනා බැගින්” යැව්වේ ඇයි? පෙනෙන ප්‍රකාරයට, විරුද්ධවාදිකම් හමුවේ, ඔවුන් එකිනෙකාට ධෛර්යයක් වන හැටියටයි.
ඔවුන්ගේ දේශනා කිරීමේ වැඩයේ හදිසිතාව කාවද්දවමින්, යේසු තම අනුගාමිකයන්ට මෙසේ පැවසුවා: “ගොයම බොහෝය, මෙහෙකරුවෝ ස්වල්ප දෙනෙක්ය. ඒ නිසා තමන්ගේ ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන ලෙස ගොයමේ [ස්වාමීන්ට] යාච්ඤා කරන්න.” (ලූක් 10:2) ගොයමට කළ සාදෘශ්‍යය යෝග්‍ය එකක් වුණා, මන්දයත් ගොයම් කැපීමේ කාලයේ සිදු වූ ඕනෑම ප්‍රමාදයක් වටිනා අස්වැන්නක් අපතේ යෑම ප්‍රතිඵලය විය හැකි නිසයි. එයාකාරයෙන්ම, තමන්ගේ දේශනා කිරීමේ පැවරුම ගෝලයන් අතපසු කළා නම්, අනර්ඝ ජීවිත නැති වෙන්න ඉඩ තිබුණා!—එසකියෙල් 33:6.
අවධානය වෙනතකට යොමු නොවන දේවසේවකයෝ
යේසු තවදුරටත් තම ගෝලයන්ට මෙසේ උපදෙස් දුන්නා: “පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් ගෙන නොයන්න. මාර්ගයේදී කාටවත් ආචාර නොකරන්න.” (ලූක් 10:4) ගමන් කරන්නෙකුට මල්ලක් හා ආහාර පමණක් නොව, වහන්වල අඩි ගෙවීයෑමට ඉඩ තිබෙන නිසාත් සපත්තු පටි කැඩෙන්න ඉඩ තිබෙන නිසාත් වැඩිපුර වහන් කුට්ටමක්ද ගෙනයෑම සිරිතක්ව තිබුණා. නමුත් යේසුගේ ගෝලයන්ට එවැනි දේවල් ගැන කනස්සලු වීමට අවශ්‍ය වූයේ නැහැ. ඒ වෙනුවට, ආගන්තුක සත්කාරය සිරිතක්ව තිබූ සෙසු ඉශ්‍රායෙලිතයන් මාර්ගයෙන් ඔවුන්ව යෙහෝවා රැකගනීවිය කියා විශ්වාස කළ යුතුව තිබුණා.
නමුත් මාර්ගයේදී ආචාර කරන විට කාවවත් වැලඳ නොගන්න කියා යේසු තම ගෝලයන්ට කියා සිටියේ ඇයි? ඔවුන්ට හැඟීමකින් තොර වීමට නැතහොත් ශිෂ්ටසම්පන්න නොවීමටද ඉල්ලා සිටියේ? කොහෙත්ම නැහැ! ආචාර කිරීමකදී වැලඳගැනීම යන අරුත ගන්නාවූ ඇස්පාසොමායි, “කොහොමද” හෝ “ආයුබෝවන්” කියා කාරුණිකව පවසන යමකට වඩා වැඩි යමක් අදහස් වෙනවා. දන්නා හඳුනන දෙදෙනෙකු හමු වූ විට කෙරෙන චාරිත්‍රානුකූල සිපගැනීම්, වැලඳගැනීම් හා දීර්ඝ සාකච්ඡාවන්ද එයට ඇතුළත් වන්න පුළුවන්. එක් විචාරකයෙකු මෙසේ අදහස් දක්වයි: “අප අතර තිබෙන්නාක් මෙන් යාන්තමින් හිස නැමීම හෝ අතට අත දීම් වැනි ආචාර කිරීම් ප්රාචීනයන් අතර නොතිබුණු අතර, ඒවා බොහෝ වැලඳගැනීම්, දෙකට නැමීම් හා මුණින් වැටීම් මගින් පවා සිදු කරනු ලැබුවා. මේ සියල්ලකටම මහත් කාලයක් අවශ්‍ය වුණා.” (2 රාජාවලිය 4:29 සසඳන්න.) මෙසේ යේසු අනවශ්‍ය එහෙත් අවධානය වෙනතකට යොමු වන චාරිත්‍රානුකූල දේවලින් ගෝලයන්ට වැළකීමට උපකාර කළා.
අවසාන වශයෙන්, ඔවුන් ගෙයකට ඇතුල් වී ඔවුන්ව පිළිගත් විට “ඔවුන් [දෙන්න ඉඩ තියෙන] දෙයක් කමින් බොමින් එම ගෙයිම නැවතී සිටින්න” කියා යේසු තම ගෝලයන්ට පැවසුවා. නමුත් ඔවුන් නගරයට ඇතුල් වී හොඳින් පිළිගත්තේ නැතිනම්, ඔවුන් “නුවර වීථිවලට ගොස්: අපේ පාදවල ඇලෙන නුඹලාගේ නුවර ධූලී පවා නුඹලාට විරුද්ධව අපි ගසාදමමුව [කියා කිව යුතුයි].” (ලූක් 10:7, 10, 11) කෙනෙකුගේ පාදවල ධූලි පිස දැමීමෙන් හෝ ගසා දැමීමෙන් සංකේතවත් කරන්නේ, අන්තිමේදී දෙවිගෙන් පැමිණෙන්න යන ප්‍රතිවිපාකවලට මුහුණ දීමට ප්‍රතිචාරයක් නොදැක්වූ එම ගෙය හෝ නගරය, ගෝලයන් සමාදානයෙන් හැර යන බවයි. නමුත් යේසුගේ ගෝලයන්ව කාරුණිකව පිළිගත් අය ආශීර්වාද ලබාගැනීමට සූදානමින් සිටිනවා. යේසු තවත් අවස්ථාවක තම ප්‍රේරිතයන්ට මෙලෙස පැවසුවා: “නුඹලා පිළිගන්නා මා පිළිගන්නේය. මා පිළිගන්නා මා එවූ [තැනැත්තා] පිළිගන්නේය. යමෙක් ගෝලයෙකු නිසා මේ කුඩා අයවලුන්ගෙන් එක්කෙනෙකුට ඇල්වතුර කෝප්පයක් පමණවත් බොන්ට දෙන්නේ නම් ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේයයි සැබවින් නුඹලාට කියමි.”—මතෙව් 10:40, 42.
අපහට පාඩම්
දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට හා ගෝලයන් සෑදීමට වූ බලපැවරුම අදදින ලෝක ව්‍යාප්ත යෙහෝවාගේ සාක්ෂිකරුවන් 50,00,000කට අධික පිරිසක් විසින් කරගෙන යනවා. (මතෙව් 24:14; 28:19, 20) ඔවුන්ගේ පණිවිඩය හදිසි එකක් බව ඔවුන්ට වැටහෙනවා. එහෙයින්, ඔවුන්ගේ වැදගත් පණිවිඩයට සම්පූර්ණ අවධානය දීමෙන් වළකන අවධානය වෙනතකට යොමු කරවන දේවල් ඔවුන් මඟහරිමින්, ඔවුන් ඔවුන්ගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනියි.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ට හමු වන සියල්ලන් සමඟ සුහදශීලී වීමට යත්න දරනවා. කෙසේ වූවත්, ඔවුන් නිකරුණේ සාකච්ඡාවල යෙදෙන්නේවත්, සමාජීය කරුණු මත හෝ අයුක්තීන් නිවැරදි කිරීමට හෝ ලෝකය ගෙන ඇති අසාර්ථක වෙමින් පවතින ප්රයත්න පිළිබඳ වූ විවාදවල හවුල් වන්නේවත් නැහැ. (යොහන් 17:16) ඒ වෙනුවට, මනුෂ්‍යවර්ගයාගේ ගැටලුවලට එකම දිගු කාලීන විසඳුම වන දේවරාජ්‍යය කෙරෙහි ඔවුන්ගේ සාකච්ඡාව යොමු කරනවා.
සාමාන්‍යයෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් යුගළ වශයෙන් වැඩ කරනවා දැකගන්න ලැබෙනවා. ඔවුන් එකිනෙකා තනි තනිවම වැඩ කළා නම් වැඩි වැඩකොටසක් ඉටු කරගත නොහැකිද? සමහරවිට. එහෙත්, සෙසු ඇදහිලිවන්තයෙකු සමඟ උරෙන් උර ගැටී වැඩ කිරීමෙහි ඇති ප්‍රයෝජනය අදදින ක්‍රිස්තියානීන් වටහාගෙන තියෙනවා. භයානක පැතිවල වැඩ කරන විට එය ආරක්ෂාවේ හැඟීමක් ලබා දෙනවා. හවුල්කරුවෙක් සමඟ වැඩ කිරීමෙන් ශුභාරංචියේ වඩාත් අද්දැකීම් ලත් ප්‍රචාරකයන්ගේ දක්ෂතාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමටද නවක අයට හැකි කරවයි. ඇත්තෙන්ම, දිරිමත් කිරීමේ හුවමාරුවක් සඳහා දෙදෙනාටම දායක වෙන්න පුළුවන්.—හිතෝපදේශ 27:17.
කිසිම සැකයක් නැතුව, මේ “අන්තිම දවස්වල” කරගෙන යන වැඩිම හදිසිතාවකින් යුත් වැඩය දේශනා කිරීමේ වැඩයයි. (2 තිමෝති 3:1) “ශුභාරංචියේ ඇදහිල්ල සඳහා උරෙන් උර ගැටී” වැඩ කරන ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයක සහය තිබීම ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සතුටු වෙනවා.—පිලිප්පි 1:27, NW.
[පාදසටහන]
a සමහර බයිබල් හා පුරාණ ග්‍රීක් අත්පිටපත් යේසු ගෝලයන් “හැත්තෑ දෙදෙනෙකු” යැවූ බව පවසයි. කෙසේවූවත්, “සැත්තෑ දෙනෙකු” යන්නට ඕනෑ තරම් පිටපත්වල සහය ඇත. මෙම වචන යෙදීමේ වෙනස, යේසු විසින් ඔහුගේ ගෝලයන්ගෙන් යුත් විශාල කණ්ඩායමක් දේශනා කිරීමට යැව්වායයි කියන ප්‍රධාන කාරණයෙන් අපගේ අවධානය වෙනතකට හැරවිය යුතු නැහැ.