මහා කොන්ස්ටන්ටයින් ක්‍රිස්තු ධර්මයේ වීරයෙක්ද?
“මහා” යන යෙදුමෙන් නම ලබා ඉතිහාසය අලංකාරවත් කළ මිනිසුන් ටිකදෙනා අතුරින් එක් අයෙක්, රෝම අධිරාජයා වූ කොන්ස්ටන්ටයින්. “සාන්තුවරයා,” “දහතුන්වන ප්‍රේරිතයා,” “ප්‍රේරිතවරුන් හා සමාන ශුද්ධවන්තයෙක්” හා ‘මුළු ලෝකෙම මහත් පෙරළියක් කිරීමට දෙවි විසින් තෝරාගත් කෙනෙක්’ යන අදහස්ද ක්‍රිස්තියානි ලෝකය මගින් එක් කර තිබෙනවා. දර්ශනයේ අනිත් අන්තය ගැන සමහරු විස්තර කරන්නේ කොන්ස්ටන්ටයින් “ගණන් කළ නොහැකි ප්‍රමාණවලින් ලේ තැවරූ, අපකීර්තියට පත්, එමෙන්ම වංචාවෙන් පිරුණු, . . . ඉතා කෲර පාලකයෙක්, භයානක අපරාධ සම්බන්ධයෙන් වරදකාරිත්වයෙන් සිටින කෙනෙක්” හැටියටයි.
මහා කොන්ස්ටන්ටයින් ක්‍රිස්තු ධර්මයේ ඉතා ප්‍රසිද්ධම උපකාරකයන්ගෙන් කෙනෙකු බව නාමික ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක්ට උගන්වා තිබෙනවා. රෝමයේ පීඩා විඳි දුක්ඛිත තත්වයෙන් ක්‍රිස්තියානීන්ව මුදවා, ඔවුන්ට ආගමික නිදහසක් දීම සම්බන්ධයෙන් ඔවුන් ඔහුට ගෞරවය පිරිනමනු ලබයි. එපමණක්ද නොව, ඔහු ක්‍රිස්තියානි ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට බලවත් ආශාවක් දරමින් යේසුස් ක්‍රිස්තුස්ගේ අඩිපාරේ ගිය විශ්වාසවන්ත අනුගාමිකයෙකු බවටද පුළුල්ව විශ්වාස කෙරේ. නැඟෙනහිර ඕතඩොක්ස් පල්ලිය හා කොප්ටික පල්ලිය, ඔහු හා ඔහුගේ මව හෙලන් යන දෙදෙනාම, “සාන්තුවරයන්” යයි පැවසුවා. ජූනි 3වනදා හෝ පල්ලියේ භාවිත කරන දිනදර්ශනයට අනුව මැයි 21වනදා ඔවුන්ගේ මංගල්‍යයන් පවත්වා තිබෙනවා.
මහා කොන්ස්ටන්ටයින් ඇත්තෙන්ම කවරෙකු වීද? අපෝස්තුලුවරුන්ගෙන් පසු ක්‍රිස්තු ධර්මය වර්ධනය කිරීමේදී ඔහුගේ කාර්යභාරය කුමක් වීද? ඉතිහාසයට හා ප්‍රවීණයන්ට මේ ප්‍රශ්නවලට උත්තර සැපයීමට ඉඩහැරීම බොහෝ සෙයින් ඥානාන්විත දෙයක්.
ඓතිහාසික කොන්ස්ටන්ටයින්
කන්ස්ටන්ෂස් ඛ්ලෝරස්ගේ පුත් කොන්ස්ටන්ටයින් උපන්නේ, පො.යු. 275 වසරේදී පමණ ස’බියාවේ නයිසස්හිදීයි. ඔහුගේ පියා පො.යු. 293දී රෝමයේ අපරදිග පළාත්වල අධිරාජයා බවට පත් වෙද්දී, ඔහු ගැලිරියස් අධිරාජයාගේ නියෝග පරිදි ඩැනියුබ්හි සටන් කරමින් සිටියා. පොදු යුගයේ 306වන වසරේදී කොන්ස්ටන්ටයින් බ්‍රිතාන්‍යයේ මියැදෙමින් සිටි තම පියාගේ පැත්තට හැරුණා. සිය පියාගේ මරණයෙන් පසු විගස කොන්ස්ටන්ටයින්ව යුද හමුදාව මගින් අධිරාජයෙකුගේ තත්වයට ඔසවනු ලැබුවා.
ඒ අවස්ථාවේදී, වෙනත් පුද්ගලයන් පස්දෙනෙක් තමන් ඔගස්ටස් පදවිය ලද්දන් බවට කියා සිටියා. කොන්ස්ටන්ටයින් තනි ඔගස්ටස් බවට පත් වුණාට පසු පො.යු. 306 සහ 324 අතර කාලය, සිවිල් යුද්ධාවලියක කාලපරිච්ඡේදයක් වුණා. යුද ව්‍යාපාර දෙකක ජයග්‍රහණය, රෝම ඉතිහාසයෙහි කොන්ස්ටන්ටයින්ට තැනක් සහතික කළ අතර, ඔහුව රෝම අධිරාජ්‍යයේ තනි පාලකයා බවට පත් කළා.
පොදු යුගයේ 312දී කොන්ස්ටන්ටයින් රෝමයේ පිටත මිල්වියන් පාලමේ සටනේදී, තම විරුද්ධකාරයා වූ මැක්සෙන්ටියස්ව පරාජය කළා. එම ප්රයත්නයේදී, “මේ ජයග්‍රහණ සලකුණේ” යන අර්ථය ඇති ඉන් හෝක් සිග්නෝ වින්කෙස් නම් ලතින් වචන තිබුණු දීප්තිමත් කුරුසයක් අහසේ දිස් වුණ බවට ක්‍රිස්තු ධර්මය පිළිබඳ ලේඛකයන් පවසනු ලැබුවා. තම හමුදාබලෑණි පලිහවල, ක්‍රිස්තුස්ගේ නමේ මුල් අකුරු දෙක ග්‍රීක් බසින් පින්තාරු කරන්න කියා කොන්ස්ටන්ටයින්ට සිහිනෙන් පැවසූ බවත් කියැවෙනවා. කෙසේවුවත්, මේ කතන්දරයේ බොහෝ කාල විපර්යාසයන් තිබෙනවා. එ හිස්ට්‍රි ඔෆ් ක්රිස්ටිඇනිටි (ක්‍රිස්තු ධර්මයේ ඉතිහාසය) නම් පොත මෙසේ ප්‍රකාශ කරයි: “මේ දර්ශනය දැක්ක ස්ථානය හා විස්තර ඇතුළත් නියමිත කාලය සම්බන්ධයෙන් තිබෙන සාක්ෂි පරස්පර විරෝධියි.” රෝමයේදී කොන්ස්ටන්ටයින්ව පිළිගනිමින්, මිථ්‍යාදෘෂ්ටික සෙනෙට් සභාව ඔහු ප්‍රධාන ඔගස්ටස් හා පොන්ටිෆෙක්ස් මැක්සිමස්, එනම්, අධිරාජ්‍යයෙහි මිථ්‍යාදෘෂ්ටික ආගමේ උසස් පූජකයා බවට ප්‍රකාශ කරනු ලැබුවා.
කොන්ස්ටන්ටයින් පො.යු. 313දී, අපරදිග පළාත්වල පාලකයා වූ ලිසිනියස් අධිරාජයා සමඟ සහකාරත්වයක් සඳහා කටයුතු පිළියෙළ කළා. ඔවුන් එක්වී, මිලාන්හිදී ආඥාදායකය නිකුත් කිරීම මගින් සියලු ආගමික කණ්ඩායම්වලට නමස්කාරය හා සමාන අයිතිවාසිකම් සඳහා නිදහස දානය කළා. කෙසේනමුත්, එය නිකම්ම සාමාන්‍ය නිල ලිපියක්, එනම් ක්‍රිස්තු ධර්මයේ ප්‍රතිපත්තිය වෙනස් කිරීමක් අඟවන ලිපියක් මිස, ප්‍රධාන රාජකීය ලිපියක් නොවන බව පවසමින් බොහෝ ඉතිහාසඥයන් මෙම ලියවිල්ලේ වැදගත්කම සුළු කරනවා.
ඊළඟ වසර දහය ඇතුළතදී, කොන්ස්ටන්ටයින් ඉතිරි වී සිටි තම සතුරා වූ ලිසිනියස්ව පරාජය කළ අතර, රෝම ලෝකයේ පාලකයා බවට නිතරඟයෙන් පත් වුණා. පොදු යුගයේ 325දී, ඒ වන විටත් බව්තීස්ම නොවී සිටි ඔහු ඒරීයවාදය හෙළා දුටු “ක්‍රිස්තියානි” පල්ලියේ මුල්ම ප්‍රධාන ක්‍රිස්තියානි ලෝකයේ කවුන්සලයේ මුලසුන දැරූ අතර, නයිසීන් නියෝගය ලෙස හැඳින්වූ අත්‍යවශ්‍ය විශ්වාසයන් පිළිබඳ ලියවිල්ලක් සූදානම් කළා.
පොදු යුගයේ 337වන වසරේදී කොන්ස්ටන්ටයින් මාරාන්තික ලෙස අසනීප වුණා. ඔහුගේ ජීවිතයේ එම අවසන් කාලයේදී, ඔහු බව්තීස්ම වූ අතර, ඉන්පසු ඔහු මියගියා. ඔහුගේ මරණයෙන් පසු සෙනෙට් සභාව ඔහුව රෝම දෙවිවරුන් අතරට පත් කළා.
කොන්ස්ටන්ටයින්ගේ දක්ෂ උපාය තුළ ආගම
තුන්වන හා හතරවන සියවස්වල රෝම අධිරාජයන්ගේ සාමාන්‍ය ආකල්පයට යොමු දක්වමින් ඉස්ටෝරිය ටෞ එලිනිකෞ එත්නෞස් (ග්‍රීක් ජාතියේ ඉතිහාසය) නම් පොත මෙසේ පවසයි: “රාජකීය සිහසුන දැරූ අය අතර පවා එවන් ගැඹුරු ආගමික ප්රවණතා තිබුණේ නැති වුණත්, යුගයේ චින්තනයට යටව සිටි ඔවුන් තම ක්‍රියාවලට අඩුම තරමින් යම් ආගමික ස්වරූපයක් ආරූඪ කිරීම සඳහා තම දේශපාලනික යෝජනා ක්‍රම තුළම ආගමට තැනක් දීම අවශ්‍ය බව සොයාගත්තා.”
ඇත්තෙන්ම, කොන්ස්ටන්ටයින් ඔහුගේම යුගයේ මනුෂ්‍යයෙක්. ඔහුගේ වෘත්තියේ ආරම්භයේදී, ඔහුට යම් “දිව්‍යමය” අනුග්‍රහයක් අවශ්‍ය වූ අතර, බලහීන රෝම දෙවිවරුන්ට මෙය සැපයීමට නොහැකි වුණා. ආගම හා වෙනත් ආයතන ඇතුළු අධිරාජ්‍යය පිරිහෙමින් තිබූ අතර, යළි එය ගොඩගැනීම සඳහා අලුත් යමක් මෙන්ම ප්‍රාණවත් කිරීමක් අවශ්‍ය වුණා. ඊඩ්රි විශ්වකෝෂය මෙසේ පවසයි: “කොන්ස්ටන්ටයින් ක්‍රිස්තු ධර්මයට විශේෂයෙන්ම උනන්දුවක් දැක්වුවේ, එය ඔහුගේ ජයග්‍රහණයට රුකුලක් වූ නිසා පමණක් නොව, නමුත් ඔහුගේ අධිරාජ්‍යය යළිත් සංවිධානය කිරීමටද උපකාරයක් වූ නිසයි. සෑම තැනකම පැවති ක්‍රිස්තියානි පල්ලි ඔහුගේ දේශපාලනමය සහයෝගය බවට පත් වුණා. . . . ඒ කාලයේ සිටි උසස් දේවගැතිවරුන්ව වට කරගත් ඔහු, . . . ඔවුන්ගේ සමඟිය නොබිඳ පවත්වාගන්න මෙන් ඉල්ලා සිටියා.”
“ක්‍රිස්තියානි” ආගම—එනම් අපදෘෂ්ටිකත්වයට ඉඩ දුන් හා ඒ වන විටත් ගැඹුරට දූෂණය වූ ආගම—තමාගේ රාජකීය බලය පැවැත්වීම සඳහා මහඟු උපක්‍රමයක් හැටියට යොදාගැනීම සඳහා, නව පණක් ලබා දෙන, එමෙන්ම සමඟි කරවන බලයක් වශයෙන් බලපෑමෙන් යුතුව උපයෝගි කරගත හැකි දෙයක් බව කොන්ස්ටන්ටයින්ට වැටහුණා. තමාගේම දේශපාලනික අභිලාෂයන් ඉටු කරගැනීමට අපදෘෂ්ටික ක්‍රිස්තු ධර්මයේ මූලධර්මයන් පිළිගනිමින්, ඔහු ජනයාව එකම “කතෝලික” හෝ විශ්වනීය ආගමක් යටතට එකතු කිරීමට තීරණය කළා. මිථ්‍යා සිරිත් විරිත් හා මංගල්‍යයන්ට “ක්‍රිස්තියානි” නම් දුන්නා. එමෙන්ම “ක්‍රිස්තියානි” පූජකවරුන්ට පදවි, වේතන හා මිථ්‍යා පූජකවරුන්ගේ ආනුභාවය ලැබුණා.
දේශපාලනික හේතු සඳහා ආගමික එකඟතාවක් සොයමින්, කොන්ස්ටන්ටයින් විරුද්ධව නැඟී සිටින්නන්ව විගස මැඩපැවැත්වුවේ මූලධර්ම සත්‍යයන් මත පදනම්ව නොව, නමුත් වැඩිදෙනෙකුගේ පිළිගැනීම මත පදනම්වයි. අතිශයින් බෙදුණු “ක්‍රිස්තියානි” පල්ලිය තුළ මුල්බැස ඇති මූලධර්ම වෙනස්කම් හේතුවෙන් “දෙවි-එවූ” මැදහත්කරුවා වශයෙන් මැදිහත් වීමට ඔහුට ප්‍රස්තාව සැලසුවා. උතුරු අප්‍රිකාවේ ඩොනටිස්ට්වරුන් හා අධිරාජ්‍යයේ නැඟෙනහිර ප්‍රදේශයෙහි ඒරියස්ගේ අනුගාමිකයන් සමඟ තම ගනුදෙනුවලදී ඔහු විගස දැනගත් දෙයක් තමයි, ශක්තිමත්, එක්සත් ඇදහිල්ලක් ඉදිරිපත් කිරීමට ඒත්තුගැන්වීම ප්‍රමාණවත් නොවන බව.a ඔහු පල්ලි ඉතිහාසයෙහි මුල් ක්‍රිස්තියානි ලෝකයේ කවුන්සලය රැස් කෙරෙව්වේ ඒරියන් මතභේදය විසඳීමට වෑයමක් වශයෙන්.—“කොන්ස්ටන්ටයින් හා නයිසීය කවුන්සලය” නමැති කොටුව බලන්න.
කොන්ස්ටන්ටයින් සම්බන්ධයෙන්, ඉතිහාසඥ පෝල් ජොන්සන් මෙසේ පවසයි: “ඔහු ක්‍රිස්තු ධර්මයට ඉඩ දීම සඳහා ප්‍රධාන හේතුවක් වන්න ඇත්තේ, එමගින් ඔහුටත්, රජයටත් ඕතඩොක්ස් හා ඕතඩොක්ස් නොවන පල්ලියේ ඕනෑම ප්‍රතිපත්තියක් පාලනය කිරීමට ප්‍රස්තාව දුන් නිසා විය හැකියි.”
ඔහු කවදාහරි ක්‍රිස්තියානියෙකු වූවාද?
ජොන්සන් මෙසේ සටහන් කරයි: “කොන්ස්ටන්ටයින් කවමදාකවත් ඉර—ඊට නමස්කාරය හා ඔහුගේ කාසිවල ඉරේ රූපය තිබීම ඉවත් කළේ නැහැ.” කැතලික් එන්සයික්ලොපීඩියා මෙසේ නිරීක්ෂණය කරයි: “කොන්ස්ටන්ටයින් ආගම් දෙකටම සමාන අනුග්‍රහයක් දැක්වූවා. පොන්ටිෆෙක්ස් මැක්සිමස් පදවියේ සිටි ඔහු මිථ්‍යා නමස්කාරය කෙරෙහි සැලකිලිමත් වූ අතර එහි ධර්මයන් ආරක්ෂා කළා.” “කොන්ස්ටන්ටයින් කවදාවත් ක්‍රිස්තියානියෙක් වුණේ නැහැ” කියා පවසන ඊඩ්රි විශ්වකෝෂය මෙසේද පවසයි: “ඔහුගේ ජීවිත කතාව ලියූ කායිසාරියේ යූසිබියස්, ඔහු ඔහුගේ ජීවිතයේ අවසාන මොහොතේ ක්‍රිස්තියානියෙකු බවට පත් වූ බව පවසයි. [කොන්ස්ටන්ටයින්ටත්] පොන්ටිෆෙක්ස් මැක්සිමස් යන පදවි නාමය ලැබී තිබුණ නිසා, ඔහු ඊට පෙර දිනයේදී සියුස්ටත් පූජාවක් ඔප්පු කර තිබුණා; මේ නිසා එවැනි බව්තීස්මයක් සැබෑ හැරීමක් නොවෙයි.”
පොදු යුගයේ 337දී ඔහුගේ මරණය සිදු වූ දා තෙක්ම, කොන්ස්ටන්ටයින් ආගමික කාරණා සම්බන්ධයෙන් අතිශ්‍රේෂ්ඨ නායකයා, එනම් පොන්ටිෆෙක්ස් මැක්සිමස් යන මිථ්‍යා පදවි නාමය දැරුවා. ඔහුගේ බව්තීස්මය සම්බන්ධයෙන්, මෙසේ ඇසීම සාධාරණයි, එය සිදු කරනු ලැබුවේ ශුද්ධ ලියවිලි මගින් අවශ්‍ය කෙරෙවූ පරිදි සැබෑ පසුතැවිලි වීමක් හා හැරීමක් තුළින්ද? (ක්‍රියා 2:38, 40, 41) එය යෙහෝවා දෙවිට කොන්ස්ටන්ටයින්ගේ කැපවීමේ සංකේතයක් වශයෙන් සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්වීමක්ද?—ක්‍රියා 8:36-39 සසඳන්න.
‘සාන්තුවරයෙක්?’
එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකා මෙසේ ප්‍රකාශ කරයි: “කොන්ස්ටන්ටයින්ව මහා යන නමින් හඳුන්වනු ලැබුවේ ඔහුගේ පෞද්ගලිකත්වය ගැන සලකා නොව නමුත් ඔහුගේ බලය අනුවයි. ඇත්තෙන්ම, ගතිගුණ සම්බන්ධයෙන් සෝදිසි කර බලද්දී, පුරාණයෙහි හෝ නවීන කාලවල [මහා] යන ගුණ නාමය ලැබී ඇති සියල්ලන් අතර ඔහු සිටින්නේ පහත්ම මට්ටමෙයි.” ක්‍රිස්තු ධර්මයේ ඉතිහාසය අපට මෙසේ දැනුම් දෙයි: “ඔහු තදින් කේන්තිගත් අවස්ථා මෙන්ම කෝපයෙන් කළ දරුණු දේවල් ගැන මුල් වාර්තාවල සඳහන් වෙනවා. . . . මිනිස් ජීවිතය කෙරෙහි ඔහුට ගෞරවයක් තිබුණේ නැහැ . . . ඔහු මහලු වෙනවාත් සමඟම ඔහුගේ පෞද්ගලික ජීවිතය ඉතා පිළිකුල්සහගත එකක් වුණා.”
පැහැදිලිවම කොන්ස්ටන්ටයින්ට පෞද්ගලිකත්වයේ බරපතළ ගැටලු තිබුණා. “හුඟක් විට අපරාධ කරන්න හේතුව ඔහුගේ කෝපාවිෂ්ට ගතියයි” කියා ඉතිහාස ගවේෂකයෙක් පවසනවා. (“රජ පෙළපතේ මිනීමරුවෝ” කොටුව බලන්න.) ඉතිහාසඥ එච්. ෆිෂ ලියූ හිස්ට්‍රි ඔෆ් යුරෝප්හි (යුරෝපයේ ඉතිහාසය), කොන්ස්ටන්ටයින් “ක්‍රිස්තියානි චරිතයක්” නොවන බව අඩංගු වෙනවා. ඔහු “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගත් සැබෑ ක්‍රිස්තියානියෙකු බවවත්, දෙවිගේ ශුද්ධාත්මයේ ඵල—එනම් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම තිබූ පුද්ගලයෙකු බවවත් සාධකවලින් පෙන්නුම් කරන්නේ නැහැ.—කොලොස්සි 3:9, 10, NW; ගලාති 5:22, 23.
ඔහුගේ වෑයම්වල ප්‍රතිඵල
මිථ්‍යා පොන්ටිෆෙක්ස් මැක්සිමස්—මේ හේතුවෙන් රෝම අධිරාජ්‍යයේ ආගමික නායකයා—වශයෙන් කොන්ස්ටන්ටයින් අපදෘෂ්ටික පල්ලියේ බිෂොප්වරුන්ව දිනාගන්න වෑයම් කළා. ඔහු ඔවුන්ට රෝම රාජ්‍ය ආගමේ නිලධාරීන් වශයෙන් බලයේ තනතුරු, ප්‍රමුඛත්වය මෙන්ම වස්තුව ඉදිරිපත් කළා. කැතලික් එන්සයික්ලොපීඩියා මෙසේ පිළිගනියි: “අධිකරණයේ තේජශ්‍රීයෙන් අන්ධ වූ ඇතැම් බිෂොප්වරුන් දේවදූතයෙක් හැටියට, ශුද්ධ තැනැත්තෙක් හැටියට අධිරාජයාට ප්‍රශංසා කිරීමට හා දේවපුත්‍රයා වගේ ඔහු ස්වර්ගයෙහි පාලනය කරනු ඇති බවට අනාවැකි පළ කිරීමට පවා පෙලඹුණා.”
අපදෘෂ්ටික ක්‍රිස්තු ධර්මය දේශපාලනික ආණ්ඩුවට අනුග්‍රහය දක්වන්න පටන්ගන්නවාත් සමඟම, එය වඩ වඩා මේ ලෝකයේ, මේ පරිබාහිර ක්රමයේ කොටසක් වූ අතර යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලින්ද ඈත් වුණා. (යොහන් 15:19; 17:14, 16; එළිදරව් 17:1, 2) ප්‍රතිඵලයක් වශයෙන්, ත්‍රිත්වය, ප්‍රාණයේ අමරණීයත්වය, නිරාගින්න, ශුද්ධගිනිස්ථානය, මළවුන් සඳහා යාච්ඤා මෙන්ම කොන්ත, පින්තූරු, රූප හා එවැනි දේ භාවිතය වැනි අසත්‍ය ධර්මයන් හා වත්පිළිවෙත් සමඟින් “ක්‍රිස්තු ධර්මයේ” සංකලනයක් තිබුණා.—2 කොරින්ති 6:14-18 සසඳන්න.
කොන්ස්ටන්ටයින්ගෙන්, පල්ලියත් බලය පැවැත්වීමේ නැඹුරුවාව උරුම කරගත්තා. ප්‍රවීණයන් වූ හෙන්ඩ’සන් හා බක් මෙසේ පවසයි: “සුවිශේෂවල සරලභාවය නැති කළා; ආටෝප ආගමික වතාවත් හා මංගල්‍යයන් හඳුන්වා දුන්නා; ක්‍රිස්තු ධර්මය උගන්වන්නන්හට ලෞකික ගෞරවයන් හා දීමනා ප්රදානය කළා; ක්‍රිස්තුස්ගේ රාජ්‍යයේ වැඩි කොටසක් මේ ලෝකයේ රාජ්‍යයක් බවට හැරෙව්වා.”
සැබෑ ක්‍රිස්තු ධර්මය කොතැනද?
ඉතිහාසයේ සාධක, කොන්ස්ටන්ටයින්ගේ “මහාකම” පිටුපස ඇති සත්‍යය හෙළි කරයි. සැබෑ ක්‍රිස්තියානි සභාවේ නායකයා වන යේසුස් ක්‍රිස්තුස් විසින් පිහිටුවනු ලැබුවා වෙනුවට ක්‍රිස්තියානි ලෝකය යම් දුරකට ගොඩනැඟී තිබෙන්නේ, දේශපාලනික උපායන් හා මිථ්‍යා අධිරාජයාගේ කූට මෙහෙයවීම් මගින්. ඉතා සුදුසු ලෙස ඉතිහාසඥ පෝල් ජොන්සන් මෙසේ අසයි: “අධිරාජ්‍යය ක්‍රිස්තු ධර්මයට යටත් වුණාද නැත්නම් අධිරාජ්‍යය මගින් දූෂණය වීමට ක්‍රිස්තු ධර්මය ඉඩ දුන්නාද?”
පවිත්‍ර ක්‍රිස්තු ධර්මය පිළිපදින්න ඇත්තෙන්ම වුවමනා සියලුදෙනාටම අදදින සැබෑ ක්‍රිස්තියානි සභාව වටහාගන්නත්, එය සමඟ ඇසුරු කරන්නත් උපකාර කළ හැකියි. අවංක හෘද ඇති අයට සැබෑ ක්‍රිස්තු ධර්මය හඳුනාගැනීමටත්, දෙවිට පිළිගත හැකි ආකාරයෙන් ඔහුට නමස්කාර කිරීමටත් උපකාර කිරීමට ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉතා කැමතියි.—යොහන් 4:23, 24.
[පාදසටහන]
a ඩොනටීය ධර්මය පො.යු. හතරවන හා පස්වන සියවස්වල “ක්‍රිස්තියානි” නිකායක්. එහි භක්තිකයන්, සක්‍රමේන්තුවල වලංගුතාව රඳාපවතින්නේ දේවසේවකයෙකුගේ සදාචාර ගතිලක්ෂණ මත බවත්, බරපතළ පාපවලට වරදකාරිත්වයෙන් සිටින්නන්ව පල්ලියේ සාමාජිකත්වයෙන් ඉවත් කළ යුතු බවත් කියා සිටියා. ඒරීයවාදය යේසුස් ක්‍රිස්තුස්ගේ දේවත්වය ප්‍රතික්ෂේප කළ හතරවන සියවසේ “ක්‍රිස්තියානි” ව්‍යාපාරයක්. දෙවි උත්පාදනය නොවූ, පටන්ගැන්මක් නැති කෙනෙක් බව ඒරියස් ඉගැන්නුවා. නමුත් පුත්‍රයා උත්පාදනය වී ඇති නිසා පියාගේ අර්ථයෙන්ම ඔහු දෙවි විය නොහැකියි. සර්ව සදාකාලයටම පුත්‍රයා පැවතී නැති නමුත්, මවන ලදුව, පියාගේ කැමැත්ත නිසා පවතියි.
[28වන පිටුවේ කොටුව]
කොන්ස්ටන්ටයින් හා නයිසීය කවුන්සලය
බව්තීස්ම නොවූ කොන්ස්ටන්ටයින් අධිරාජයා නයිසීය කවුන්සලයේ දැරුව කාර්යභාරය කුමක්ද? එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකා මෙසේ පවසයි: “ක්‍රියාශීලීව සාකච්ඡාවන් මෙහෙයවමින් කොන්ස්ටන්ටයින්ම මුලසුන දැරුවා . . . අධිරාජ්‍යයාට ගරුබිය දක්වමින්, දෙදෙනෙකු හැර සියලුම බිෂොප්වරුන් නියෝගයට අත්සන් තැබුවා; ඔවුන්ගෙන් බොහෝදෙනෙක් එසේ කළේ තමන්ගේ කැමැත්තට බෙහෙවින් විරුද්ධවයි.”
සැර ආගමික විවාදයකින් මාස දෙකකට පසුව, මේ මිථ්‍යාදෘෂ්ටික දේශපාලනඥයා මැදිහත් වී, යේසු දෙවි කියා පැවසූ අයට අනුග්‍රහය දක්වන්න තීරණය කළා. නමුත් ඇයි එහෙම? “ග්‍රීක් දේවධර්ම ශාස්ත්‍රයෙහි අසා තිබූ එක ප්‍රශ්නයක් ගැනවත් කොන්ස්ටන්ටයින්ට මූලික වැටහීමක් තිබුණේ නැහැ” යි එ ෂෝර්ට් හිස්ට්‍රි ඔෆ් ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින් (ක්‍රිස්තියානි මූලධර්මයේ කෙටි ඉතිහාසයක්) පවසයි. ඔහුගේ අධිරාජ්‍යයට ආගමික බෙදීම තර්ජනයක් බව ඔහුට වැටහුණ අතර ඔහුගේ අධිරාජ්‍යය ශක්තිමත් කිරීමට ඔහු තීරණය කර තිබුණා.
කොන්ස්ටන්ටයින්ගේ අනුග්‍රහය යටතේ නයිසීයෙහි සකස් කළ අවසාන කෙටුම්පත සම්බන්ධයෙන් ඉස්ටෝරිය ටෞ එලිනිකෞ එත්නෞස් (ග්‍රීක් ජාතියේ ඉතිහාසය) මෙසේ නිරීක්ෂණය කරයි: “ධර්ම කාරණා සම්බන්ධයෙන් [කොන්ස්ටන්ටයින්ගේ] උදාසීනභාවය . . . මොනම ක්‍රමයකින් හෝ පල්ලිය තුළ යළි එකමුතුකම ගොඩනැඟීමට වෑයම් කිරීමේදී ඔහුගේ මුරණ්ඩු ස්වභාවයේ එල්බ සිටීම හා අන්තිම වශයෙන්, ‘පල්ලියෙන් පිට අයගේ බිෂොප්වරයා’ හැටියට ඕනෑම ආගමික කාරණාවක් සම්බන්ධයෙන් අවසාන තීරණය දීමට තමාට අයිතිය තිබෙන බවට ඔහුගේ නිශ්චය කිරීම එමගින් දිස් වෙනවා.” කවුන්සලයෙහි ගත් තීරණ පිටුපස දෙවිගේ ආත්මය තිබූ බවක් කියන්න පුළුවන්ද?—ක්‍රියා 15:28, 29, සසඳන්න.
[29වන පිටුවේ කොටුව]
රජ පෙළපතේ මිනීමරුවෝ
මේ මාතෘකාව යටතේ, ඉස්ටෝරිය ටෞ එලිනිකෞ එත්නෞස් (ග්‍රීක් ජාතියේ ඉතිහාසය), “කොන්ස්ටන්ටයින් සිදු කළ තුච්ඡ ගෘහස්ථ අපරාධ” යනුවෙන් හැඳින්වූ දේ ගැන විස්තර කරයි. ඔහුගේ රජ පෙළපත පිහිටුවාගෙන වැඩි කලක් යෑමට මත්තෙන්, අපේක්ෂා නොකළ අත් කරගැනීම භුක්ති විඳින ආකාරය ඔහුට අමතක වී ගිය අතර, ඔහු අවට අනතුරු සම්බන්ධයෙන් සාවධාන වෙන්න පටන්ගත්තා. සැකකටයුතු පුද්ගලයෙකු මෙන්ම සමහරවිට අභිමතාර්ථයන් ඉටු කරගන්නාවූ චාටු බස් දොඩන්නන්ගෙන් පෙලඹුණු තැනැත්තෙකු වූ ඔහු, තම බෑනා වූ ලිසිනියස්—එනම් ඒ වන විටත් ඔහු විසින් ඝාතනය කර තිබුණු සහකාර ඔගස්ටස් කෙනෙකුගේ පුතා—තරඟකාරයෙක් විය හැකියයි මුලින්ම සැක වඩවාගත්තා. තමාගේම කුලුඳුල් පුතා වූ ක්රිස්පස්ගේ ඝාතනයෙන් පසු කොන්ස්ටන්ටයින් ඔහුවත් මරා දැමුවා. ක්රිස්පස්ව මරාදැමීමට කටයුතු කළේ, තමාගේම දරුවන්ගේ මුළු බලයට බාධාවක් වේයයි කල්පනා කළ ක්රිස්පස්ගේ සුළු මව වූ ෆෞස්ටා විසින්.
ෆෞස්ටාගේ මේ ක්‍රියාව අන්තිමේදී ඇගේම පුදුමාකාර මරණයට හේතුව වුණා. මරණය දක්වාම තමාගේම පුත් කොන්ස්ටන්ටයින්ව පෙලඹවූ ඔගස්ටා හෙලන් මේ මරණයට සම්බන්ධ වී ඇති බවක් පෙනෙන්න තිබෙනවා. කොන්ස්ටන්ටයින්ව බොහෝවිට පාලනය කළ තර්කානුකූල නොවූ හැඟීම්ද ඔහුගේ මිත්‍රයන් හා ආශ්‍රිතයන් හුඟදෙනෙකුගේ හදිසි ඝාතනවලට දායක වුණා. හිස්ට්‍රි ඔෆ් ද මිඩ්ල් ඒජස් (මධ්‍යකාලීන යුගයේ ඉතිහාසය) නම් පොත මෙසේ නිගමනය කරයි: “තමාගේම පුතාගේ හා ඔහුගේ භාර්යාවගේ ඝාතනයෙන්—අමුතුවෙන් කිව යුතු නැති මිනීමැරීමෙන්—අඟවන්නේ ක්‍රිස්තු ධර්මයේ කිසිම ආත්මික බලපෑමක් ඔහු නොලැබූ බවයි.”
[30වන පිටුවේ පින්තූරය]
කොන්ස්ටන්ටයින්ව මහිමයට පත් කරන්න රෝමයේ ආරුක්කුවක් ගොඩනැඟුවා
[26වන පිටුවේ හිමිකම් විස්තර]
Musée du Louvre, Paris