ක්‍රිස්තියානි ඇදහිල්ල පරීක්ෂා කෙරේ
“ඇදහිල්ල සියලුම ජනයා සතු දෙයක් නොවේ.”—2 තෙසලෝනික 3:2, NW.
1. සෑම කෙනෙකුටම සැබෑ ඇදහිල්ලක් නැති බව ඉතිහාසය පෙන්වා ඇත්තේ කෙසේද?
ඉතිහාසය පුරාම බැලුවොත්, සැබෑ ඇදහිල්ලකින් යුත් පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන් ඉඳ තිබෙනවා. “සැබෑ” යන විශේෂණ පදය යෙදීම යෝග්‍යයි, මන්ද දශලක්ෂ ගණන් ජනකායක් ඉක්මන් විශ්වාසයකට සමාන ඇදහිල්ලක්, එනම් වලංගු පදනමක් හෝ හේතුවක් නැතුව විශ්වාස කිරීමට කැමැත්තක් දක්වා ඇති නිසයි. ඒ වගේ ඇදහිල්ලකට බොහෝවිට බොරු දෙවිවරුන් හෝ සර්වපරාක්‍රම යෙහෝවාට මෙන්ම ඔහුගේ වචනයෙහි හෙළි කර තිබෙන දේට එකඟ නැති නමස්කාර ක්‍රම සම්බන්ධ වී තිබෙනවා. මේ අනුව ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “ඇදහිල්ල සියලුම ජනයා සතු දෙයක් නොවේ.”—2 තෙසලෝනික 3:2, NW.
2. අප අපේම ඇදහිල්ල පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
2 එනමුත් එදා පාවුල් පැවසූ ඒ වදන්වලින් ඇතැම් අයට සැබෑ ඇදහිල්ල තිබුණු බව ඇඟවෙන අතර, අදදින සමහරදෙනෙකුටත් එසේ තිබෙන බව අඟවනවා. මෙවන් සැබෑ ඇදහිල්ලක්, එනම් දිව්‍ය සත්‍යය පිළිබඳ ඒකාන්ත දැනුමට එකඟ ඇදහිල්ලක් ලබාගන්නත්, එය වැඩි කරගන්නත් මෙම සඟරාවෙහි බොහෝ පාඨකයන්ට ආශාවක් තිබෙනවා. (යොහන් 18:37; හෙබ්‍රෙව් 11:6) ඔබේ ආශාවත් එයමද? එසේනම්, ඔබේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලැබේය යන කාරණය තේරුම්ගෙන ඒ සඳහා සූදානම්ව සිටීම අත්‍යවශ්‍යයි. අප එසේ කියන්නේ ඇයි?
3, 4. ඇදහිල්ලේ පරීක්ෂණ සම්බන්ධයෙන් අප යේසු දෙස බැලිය යුත්තේ ඇයි?
3 යේසුස් ක්‍රිස්තුස් අපේ ඇදහිල්ලේ ප්‍රධාන තැනක් ගන්නා බව පිළිගත යුතුයි. ඇත්තෙන්ම බයිබලය ඔහු ගැන කතා කරන්නේ අපේ ඇදහිල්ලේ පරිපූරකයා හැටියටයි. මෙයට හේතුව යේසු කළ කී දේ, විශේෂයෙන් ඔහු අනාවැකි ඉටු කළ අන්දම නිසයි. මනුෂ්‍යයන්ට සැබෑ ඇදහිල්ල පිහිටුවිය හැකි පදනම ඔහු ශක්තිමත් කළා. (හෙබ්‍රෙව් 12:2; එළිදරව් 1:1, 2) කෙසේවෙතත්, යේසු “පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ” බව අපට කියවීමට තිබෙනවා. (හෙබ්‍රෙව් 4:15) ඔව්, යේසුගේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලැබුවා. අපේ අධෛර්යයට හෝ බියට හේතුවක් වනවා වෙනුවට, එය අපට සැනසීමක් ගෙන දිය යුතුයි.
4 වධකණුවක මරණය දක්වා තරම් මහත් පරීක්ෂාවලට යටත් වීමෙන් යේසු ‘කීකරුකම ඉගෙනගත්තා.’ (හෙබ්‍රෙව් 5:8) තමුන් මතට මොනම පරීක්ෂණයක් පැමිණුණත් මිනිසුන්ට සැබෑ ඇදහිල්ලෙන් ජීවත් විය හැකි බව ඔහු ඔප්පු කළා. “දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේයයි නුඹලාට මා කී වචනය සිහිකරන්න” යනුවෙන් යේසු තම අනුගාමිකයන් ගැන පැවසූ දේ කල්පනාවට ගත්තොත්, මෙය විශේෂිත වැදගත්කමක් ගන්නවා. (යොහන් 15:20) ඇත්තෙන්ම, අපේ කාලයේ සිටින ඔහුගේ අනුගාමිකයන් ගැන යේසු මෙසේ පුරෝකථනය කළා: “නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය.”—මතෙව් 24:9.
5. අප පරීක්ෂණවලට මුහුණ දෙන්න යන බව ශුද්ධ ලියවිලිවල අඟවා ඇත්තේ කෙසේද?
5 මෙම සියවසේ මුල් හරියේදී, විනිශ්චය දෙවිගේ ගෘහයෙන් ආරම්භ වුණා. “[දෙවිගේ] ගෘහයේ සිට විනිශ්චය පටන්ගන්ට කාලය පැමිණ තිබේ. එය පළමුකොට අප ළඟ සිට පටන්ගත්තොත්, [දෙවිගේ] ශුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද? ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැළවෙන්නේ නම් අභක්තිකයාද පව්කාරයාද කොතැන පෙනෙද්ද” යනුවෙන් ශුද්ධ ලියවිලි පුරෝකථනය කළා.—1 පේතෘස් 4:17, 18.
ඇදහිල්ල පරීක්ෂා කෙරේ—ඒ ඇයි?
6. පරීක්ෂා කෙරුණු ඇදහිල්ල වටිනා යමක් වන්නේ ඇයි?
6 එක් අර්ථයකින් ගත්තොත්, පරීක්ෂා කර නැති ඇදහිල්ලට ඔප්පු වූ කිසිම වටිනාකමක් නැති අතර, එහි ගුණය නොදත් දෙයක් සේ පවතී. එය තවමත් මාරු නොකළ චෙක්පතකට සමාන කරන්න පුළුවන්. ඔබ කළ වැඩකට, ඔබ සැපයූ බඩුවලට හෝ තෑග්ගක් හැටියට පවා ඔබට චෙක්පතක් ලැබුණා විය හැකියි. බැලූ බැල්මට චෙක්පත වලංගු වගෙයි. එනමුත් නියම තත්වය ඒකද? එහි සඳහන් වටිනාකම ඇත්තටම ඒකෙන් ලබාගන්න පුළුවන්ද? ඒ හා සමානව, අපේ ඇදහිල්ල නිකම්ම පෙනුමට හෝ කටින් කියන පළියට පමණක් තිබෙන දෙයකට වඩා වැඩි යමක් විය යුතුයි. එයට යම් සාරයක් සහ නියම ගුණයක් ඇති බව ඔප්පු කරන්න නම්, එය පරීක්ෂා කළ යුතුයි. අපේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලබන විට, එය ශක්තිමත් සහ වටිනා යමක් බව අපට පෙනී යා හැකියි. අපේ ඇදහිල්ලට යම් ශෝධනය කිරීමක් හෝ ශක්තිමත් කිරීමක් අවශ්‍ය යම් පැති, පරීක්ෂණයකින් හෙළි කර දැක්විය හැකියි.
7, 8. ඇදහිල්ලේ පරීක්ෂණ පැමිණෙන්නේ මොන උල්පතෙන්ද?
7 අප පිට පීඩා සහ ඇදහිල්ලේ වෙනත් පරීක්ෂණ පැමිණෙන්න දෙවි ඉඩහරිනවා. “යමෙක් පරීක්ෂාකරනු ලබන කල: මම [දෙවිගෙන්] පරීක්ෂාකරනු ලබමියි නොකියාවා. මක්නිසාද [දෙවිට] නපුරෙන් පරීක්ෂාකරනු ලබන්ට නුපුළුවන, [ඔහුම] කිසිවෙකු පරීක්ෂා” නොකරන බව අපට කියවන්න පුළුවන්. (යාකොබ් 1:13) එවන් පරීක්ෂාවලට වගකියන්නේ කවුද නැතහොත් කුමක්ද? ඒ තමයි, සාතන්, මේ ලෝකය සහ අපේම අසම්පූර්ණ මාංසය.
8 ලෝකය, එහි චින්තනය සහ ගමන් මාර්ගය කෙරෙහි සාතන් ප්‍රබල බලපෑමක් යොදන බව අප පිළිගන්නවා ඇති. (1 යොහන් 5:19) ක්‍රිස්තියානීන්ට විරුද්ධව එල්ල වන පීඩා පිටුපසත් ඔහු සිටින බව අප දන්නවා ඇති. (එළිදරව් 12:16ආ) එනමුත්, ලෞකික පෙලඹවීම් අපේ ඇස් ඉදිරියෙහිම එල්ලමින්, අප ඇමය ගිලගෙන, දෙවිට අකීකරු වී, යෙහෝවාගේ අප්‍රසාදයට ලක් වෙයි කියා බලාපොරොත්තු වෙමින්, අපේ පව්කාර මාංසය ආකර්ෂණය කරමින් සාතන් අපව මුළා කරන්න බලන බවත් අපට එලෙසම සහතිකද? ඇත්තෙන්ම, යේසුව පරීක්ෂාවට ලක් කරන්න වෑයම් කරද්දී, ඔහු ඒ උපායන්ම යොදාගත් බැවින්, සාතන්ගේ ක්‍රම අපේ පුදුමයට හේතුවක් නොවිය යුතුයි.—මතෙව් 4:1-11.
9. ඇදහිල්ලේ ආදර්ශවලින් අපට ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේද?
9 යෙහෝවා තම වචනය සහ ක්‍රිස්තියානි සභාව තුළින්, අපට අනුකරණය කළ හැකි ඇදහිල්ලේ ඒකාන්ත ආදර්ශ අපේ ඇස් ඉදිරියෙහි තබයි. පාවුල් මෙසේ අවවාද කළා: “එක්ව මා අනුව යන්නෝ වෙන්න. අප නුඹලාට ආදර්ශයක්ව සිටින්නේ යම් සේද, එසේ හැසිරෙන්නන් බලාගන්න.” (පිලිප්පි 3:17) පළමු සියවසේ සිටි දෙවිගේ ආලේප ලත් සේවකයන්ගෙන් කෙනෙකු ලෙස මහත් පරීක්ෂාවන් අද්දකින්න සිදු වුණත්, ඇදහිල්ලේ ක්‍රියා කිරීමේදී පාවුල් පෙරමුණ ගෙන කටයුතු කළා. විසිවන සියවසේ අවසන් අදියරෙහි සිටින අපටත්, ඒ හා සමාන ඇදහිල්ලේ ආදර්ශවල අඩුවක් නැහැ. “දෙවිගේ වචනය ඔබට කියා දී ඇති ඔබ අතර පෙරමුණ ගන්නන් සිහි කරන්න; ඔවුන්ගේ හැසිරීමේ ප්‍රතිඵලය කල්පනා කර බලමින්, ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරන්න” යන හෙබ්‍රෙව් 13:7හි [NW] වදන් පාවුල් ලියූ විට අදාළ වුණ පරිද්දෙන්ම අදදිනටත් ප්රබලව අදාළ වෙනවා.
10. මෑත කාලවලදී අපට ඇත්තේ මොන විශේෂ ඇදහිල්ලේ ආදර්ශද?
10 ආලේප ලත් ඉතිරි කොටසේ හැසිරීමේ ප්‍රතිඵලය බලද්දී එම අවවාදයට විශේෂ වැදගත්කමක් තිබෙනවා. ඔවුන්ගේ ආදර්ශය ගැන කල්පනා කර බලා ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කිරීමට අපට පුළුවන්. පරීක්ෂාවලින් ශෝධනය වී ඇති සැබෑ ඇදහිල්ලක් තමයි ඔවුන්ට තිබෙන්නේ. එක්දහස් අටසිය හැත්තෑගණන්වල ලැබූ කුඩා ආරම්භයේ පටන්, ලෝක ව්‍යාප්ත ක්‍රිස්තියානි සහෝදරත්වයක් වර්ධනය වී තිබෙනවා. එදා සිට ආලේප ලත් අයගේ ඇදහිල්ලේ සහ විඳදරාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, දැන් දෙවිගේ රාජ්‍යය ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවන් දශලක්ෂ පහමාරකටත් වඩා දේශනා කරමින් හා උගන්වමින් සිටිනවා. ජ්වලිත සැබෑ නමස්කාරකයන්ගෙන් සෑදුණු වර්තමාන සමස්ත ලෝක සභාව පරීක්ෂා කරනු ලැබූ ඇදහිල්ලට සාක්ෂියක්.—තීතස් 2:14.
1914 සම්බන්ධයෙන් පරීක්ෂා කෙරුණු ඇදහිල්ල
11. වර්ෂ 1914, සී. ටී. රසල් සහ ඔහුගේ ආශ්‍රිතයන්ට වැදගත් වුණේ කෙසේද?
11 පළමු ලෝක මහ යුද්ධයේ ආරම්භයට අවුරුදු ගණනාවකට කලින්, 1914 බයිබල් අනාවැකි හා සම්බන්ධ වැදගත් දිනයක් වන බව ආලේප ලත් ඉතිරි කොටස ප්‍රකාශ කරමිනුයි සිටියේ. කෙසේවෙතත්, ඔවුන්ගේ අපේක්ෂාවලින් සමහරක් නියම කාලයට කලින් ඇති වූ ඒවා වූ අතර, සිදු වන දේ සම්බන්ධයෙන් ඔවුන් දැරූ මතය ඇත්තටම නිවැරදියි කියා පැවසිය නොහැකියි. නිදසුනක් වශයෙන්, දැවැන්ත දේශනා කිරීමේ වැඩක් අවශ්‍ය බව වොච් ටවර් සමිතියේ මුල් සභාපති වූ සී. ටී. රසල්ද ඔහුගේ ආශ්‍රිතයන්ද දුටුවා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය” කියා ඔවුන් කියෙව්වා. (මතෙව් 24:14) කෙසේවෙතත්, ඔවුන්ගේ සාපේක්ෂ වශයෙන් කුඩා කණ්ඩායමට එසේ කළ හැකි වන්නේ කෙසේද?
12. රසල්ගේ ආශ්‍රිතයෙකු බයිබල් සත්‍යයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
12 රසල්ගේ ආශ්‍රිතයෙකු වූ ඒ. එච්. ම’ක්මිලන්ට මෙය බලපෑ අන්දම සලකා බලන්න. කැනඩාවෙහි උපත ලැබූ ම’ක්මිලන්, යුග පිළිබඳ සැලැස්ම (1886, ඉංග්‍රීසියෙන්) නමැති රසල්ගේ පොත ලබාගත් විට, තවමත් තම 20වන වියට ඇතුල් වී තිබුණේ නැහැ. (යුග පිළිබඳ දිව්‍ය සැලැස්ම [ඉංග්‍රීසියෙන්] ලෙසත් හඳුන්වනු ලැබූ මෙම පොත, ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය [ඉංග්‍රීසියෙන්] නමැති පුළුල්ව බෙදාහරිනු ලැබූ පොත් කාණ්ඩයේ පළමුවන වෙළුම බවට පත් වුණා. කාලය අතළඟය [1889, ඉංග්‍රීසියෙන්] යන දෙවන වෙළුම “අන්‍යජාතීන්ගේ [කාලවල්වල]” කෙළවර [ලූක් 21:24] වශයෙන් 1914 වෙත අවධානය යොමු කළා.) ම’ක්මිලන් කියවන්න පටන්ගත් රාත්‍රියේදීම “මේක නම් සත්‍යය වගෙයි” කියා ඔහුට හැඟුණා. වර්ෂ 1900 ගිම්හානයේදී පැවැත්වූ බයිබල් ශිෂ්‍යයන්ගේ (දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ) සමුළුවක ඔහුට රසල්ව මුණගැසුණා. වැඩි කල් නොගොස් ම’ක්මිලන් බව්තීස්ම වී, නියූ යෝක්හි සමිතියේ මූලස්ථානයේ සහෝදර රසල් සමඟ වැඩ කරන්න පටන්ගත්තා.
13. මතෙව් 24:14හි ඉටුවීම සම්බන්ධව ම’ක්මිලන් සහ තවත් අය දුටුවේ මොන ගැටලුවද?
13 ඔවුන් කළ බයිබල් කියවීම පදනමක් කරගෙන, එම ආලේප ලත් ක්‍රිස්තියානීන් දෙවිගේ අරමුණෙහි සන්ධිස්ථානයක් වශයෙන් 1914ට යොමු දැක්වූවා. එනමුත්, මතෙව් 24:14හි පුරෝකථනය කර තිබූ ජාතීන්ට දේශනා කිරීම ඉතිරි වූ කෙටි කාලය තුළදී ඉටු විය හැක්කේ කෙසේද කියා ම’ක්මිලන් සහ වෙනත් අය කල්පනා කළා. පසුව ඔහු මෙසේ පැවසුවා: “සහෝදර රසල් එක්ක මම ඒක ගැන නිතරම සාකච්ඡා කළා මට මතකයි. එතකොට ඔහු මෙහෙම කියනවා: ‘සහෝදර ම’ක්මිලන්, මෙන්න මෙහෙ නියූ යෝක්වලම ඉන්න යුදෙව්වන් ගණන යෙරුසලමටත් වඩා වැඩියි. ඩබ්ලින්වලට වඩා මෙහෙ ඉන්න අයර්ලන්ත ජාතිකයනුත් වැඩියි. ඒ විතරක් නෙමෙයි රෝමයට වඩා මෙහෙ ඉන්න ඉතාලි ජාතිකයනුත් වැඩියි. දැන් අපි මෙහිදී ඔවුන්ට දේශනා කළොත්, පණිවිඩය මුළු ලෝකයටම ගියා වගෙයි.’ ඒත් ඒ තර්කය අපේ මනස්වලට හරි ගියේ නැහැ. එතකොට තමයි ‘ඡායාරූප නාට්‍යය’ කරන්න හිතුණේ.”
14. වර්ෂ 1914ට කලින්, කුමන කැපීපෙනෙන ව්‍යාපෘතිය භාරගනු ලැබුවාද?
14 “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” (ඉංග්‍රීසියෙන්) මොනතරම් අභිනව ව්‍යාපෘතියක් වුණාද! චලන චිත්‍රපට සහ වර්ණ ගැන්වූ වීදුරු කාච එකට යොදාගත් අතර, ශබ්දවාහක තැටිවල තැටිගත වූ බයිබල් කතා සහ සංගීතය ඒවාට ගැළපෙන සේ වාදනය කරනු ලැබුවා. වර්ෂ 1913දී, අ.එ.ජ. ආකෙන්සෝහි තිබුණු සමුළුවක් ගැන මුරටැඹ (ඉංග්‍රීසියෙන්) මෙසේ කිව්වා: “බයිබල් සත්‍යයන් ඉගැන්වීමට චලනය වන චිත්‍ර පාවිච්චි කිරීමට කාලය පැමිණ තිබුණු බව ඒකමතිකව අධිෂ්ඨානය කරනු ලැබුවා. . . . තමා මෙම සැලැස්ම සැබෑ කිරීමට අවුරුදු තුනක් පුරා වැඩ කර තිබූ බවත්, අලංකාර චිත්‍ර සිය ගණනක් සූදානම් කිරීමේ කටයුතු ළඟදීම අවසන් වන බවත්, ඒවා කිසිම සැකයක් නැතුව මහත් ජන සමූහයන්ව ආකර්ෂණය කොට ශුභාරංචිය ප්‍රකාශ කරන දෙවි කෙරෙහි ඇදහිල්ලට මහජනයාව නැවත ගෙන ඒමට උපකාර කරන බවත් [රසල්] පැහැදිලි කළා.”
15. ‘ඡායාරූප නාට්‍යයෙන්’ අත් වුණේ මොන වගේ ප්‍රතිඵලද?
15 වර්ෂ 1914 ජනවාරි මාසයේ පළමු වරට ප්‍රදර්ශනය කිරීමෙන් පසු ‘ඡායාරූප නාට්‍යයෙන්’ ඉටු වුණේ ඒ දේමයි. වර්ෂ 1914 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) රැගත් වාර්තා කිහිපයක් මතු දැක්වේ:
අප්‍රියෙල් 1: “කොටස් දෙකක් නැරඹීමෙන් පස්සේ, දේවගැතියෙක් මෙහෙම කිව්වා, ‘මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යයෙන්’ භාගයක් විතරයි මම නරඹලා තියෙන්නේ. ඒත් දේවධර්ම සෙමිනේරියේ අවුරුදු තුනක් පුරා හැදෑරූ පාඨමාලාවෙන් ඉගෙනගත්ත දේට වඩා මම දැනටමත් බයිබලය ගැන වැඩි දේවල් ඉගෙනගෙනයි තියෙන්නේ.’ එය නැරඹූ යුදෙව්වෙක් මෙහෙම අදහස් පළ කළා: ‘මම එනකොට තිබුණු තත්වයට වඩා, මම එතැනින් පිට වුණේ වඩාත් හොඳ යුදෙව්වෙක් හැටියටයි.’ කතෝලික පූජකයන් හා කන්‍යා සොහොයුරියන් කිහිපදෙනෙකුත් නාට්‍යය බලන්න ඇවිත් හිටියා; ඒ වගේම මහත් අගයක් පළ කර තියෙනවා. . . . නාට්‍යයෙහි සම්පූර්ණ කට්ටල තිබෙන්නේ දොළොසක් පමණයි . . . කොහොමවුණත්, අපි දැනටමත් නගරවල් තිස් එකක් කරා ළඟා වෙලා ඒවායේ මෙය ප්‍රදර්ශනය කරමින් ඉන්නවා . . . දිනකට තිස්පන්දහසකට අධික සෙනඟක් නරඹමින්, අසමින්, ප්‍රශංසා කරමින්, කල්පනා කරමින් හා ආශීර්වාද ලබමින් ඉන්නවා.”
ජූනි 15: “මෙම පින්තූරු සත්‍යය බෙදාහැරීමට වූ මගේ ජ්වලිතය වැඩි කර තියෙනවා; ස්වර්ගික පියා සහ අපේ හිතවත් වැඩිමහල් සොහොයුරු යේසු සඳහා මගේ ප්‍රේමයත් වැඩි කර තියෙනවා. මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය කෙරෙහිත් එය ඉදිරිපත් කිරීමට සම්බන්ධ සියල්ලන් කෙරෙහිත් දෙවිගේ පූර්ණ ආශීර්වාද සඳහා මම දිනපතා යාච්ඤා කරනවා . . . මීට ඔහු තුළ සේවය කරන ඔබේ සේවක, එෆ්. ඩබ්. නෝච්.—අයියෝවා.”
ජූලි 15: “මෙම නගරයෙහි යහපත සඳහා මොනතරම් පුදුමසහගත බලපෑමක් පින්තූරුවලින් ලැබුවාද යන්න සඳහන් කිරීමට අපි සතුටු වෙනවා. ස්වාමීන් තෝරාගත් මැණික් බවට සාක්ෂි සපයා දෙන බොහෝදෙනා එක්රැස් කිරීමටත්, ලොවට ඉදිරිපත් කරන මෙම සාක්ෂිය යොදාගනු ලබන වග අපට සහතිකයි. ඡායාරූප නාට්‍යය වැඩයෙහි ප්‍රතිඵලයක් හැටියට, පංතියත් එක්ක දැන් ආශ්‍රය කරන උනන්දුමත් බයිබල් ශිෂ්‍යයන් සෑහෙන සංඛ්‍යාවක් ගැන අපිට දැනගන්න ලැබිලා තියෙනවා. . . . මීට ස්වාමීන් තුළ ඔබේ සහෝදරී, එමා එල්. බ්රික’.”
නොවැම්බර් 15: “කිංස්වේහි පිහිටි ලන්ඩන් ඔපෙරා ශාලාවේ පවත්වන මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය මගින් ඉදිරිපත් කරන විශිෂ්ට සාක්ෂිය ගැන ඇසීමෙන් ඔබ සතුටු වන බව අපිට නිසැකයි. මෙම ප්‍රදර්ශනය තුළින් ස්වාමීන්ගේ මඟ පෙන්වීම කොතරම් පුදුම ආකාරයකින් පැහැදිලි වී තියෙනවාද කිව්වොත්, සහෝදර සමූහය ඉමහත් සේ ප්‍රීති වෙනවා . . . අපේ ශ්‍රාවක පිරිස් හැම තරාතිරමකින්ම මෙන්ම හැම ආකාරයේම පුද්ගලයන්ගෙන් සෑදී තිබුණා; පූජක පක්ෂයේ සෑහෙන සංඛ්‍යාවක් පැමිණි වග අපිට පෙනී ගියා. තම භාර්යාවටත් ඔහුටත් එය නැවත දැකබලා ගන්න පුළුවන් වන හැටියට එක් දේවගැතියෙක් . . . ප්‍රවේශ පත්‍ර ඉල්ලා හිටියා. එංගලන්ත සභා අධ්‍යක්ෂක දේවගැතියෙක් නාට්‍යයට කිහිප වතාවක් පැමිණ ඇති අතර, . . . එය බලන්න ඔහුගේ මිත්‍රයන් සෑහෙනදෙනෙකු ඔහු සමඟ ගෙනැවිත් තියෙනවා. බිෂොප්වරුන් දෙදෙනෙකුත්, වංශවත් පුද්ගලයන් කිහිපදෙනෙකුත් ඇවිත් තියෙනවා.”
දෙසැම්බර් 1: “ඔබ තුළින් අප වෙත පැමිණ ඇති ඉමහත්, අනගි ආශීර්වාදය සඳහා අපේ ස්වර්ගික පියාට මගේ භාර්යාවත් මමත් සැබෑවටම ස්තුතිවන්ත වෙනවා. සත්‍යය දැක පිළිගැනීමට හේතුව වුණේ ඔබේ සිත්ගන්නා ඡායාරූප නාට්‍යයයි . . . ඔබේ ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය යන්නෙහි වෙළුම් හයම අපිට තියෙනවා. ඒවා ඉමහත් උපකාරයක් වෙලා තියෙනවා.”
එදා ඇති වූ පරීක්ෂණවලට ප්‍රතිචාරය
16. වර්ෂ 1914 ඇදහිල්ලේ පරීක්ෂණයක් ඉදිරිපත් කළේ ඇයි?
16 එනමුත්, 1914දී ස්වාමීන් සමඟ එකතු වීමට වූ තම අපේක්ෂාව සැබෑ නොවූ බව එවන් අවංක භක්තිමත් ක්‍රිස්තියානීන්ට තේරීගිය විට කුමක් සිදු වුණාද? එම ආලේප ලත් අය විශේෂයෙන් පීඩාකාරි වූ කාලපරිච්ඡේදයක් අද්දුටුවා. මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 1914 නොවැම්බර් 1 මෙසේ කියා සිටියා: “අපි පරීක්ෂා සමයක ඉන්න බව මතක තබාගනිමු.” මේ ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—දෙවිගේ රාජ්‍යයේ ප්‍රකාශකයෝ (ඉංග්‍රීසියෙන්) මෙසේ කියයි: “1914 සිට 1918 දක්වා දිවගිය අවුරුදු කිහිපය, ඇත්තටම බයිබල් ශිෂ්‍යයන් සඳහා ‘පරීක්ෂා සමයක්’ බව ඔප්පු වුණා.” ඉදිරියෙහි තිබූ මහත් වැඩය භාරගැනීමට හැකි වන පරිද්දෙන්, ඔවුන් තම ඇදහිල්ල ශෝධනය කරගැනීමටත්, තම චින්තනය සකස් කරගැනීමටත් ඉඩ දෙන්න කැමති වෙයිද?
17. වර්ෂ 1914න් පසුව පොළොවෙහි රැඳී සිටීම සම්බන්ධයෙන් ඇදහිලිවන්ත ආලේප ලත් අය ප්‍රතික්‍රියා කළේ කෙසේද?
17 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 1916 සැප්තැම්බර් 1හි මෙසේ සඳහන් වුණා: “සභාව [ආලේප ලත් අය] එක්රැස් කිරීම නමැති අස්වැන්න නෙළීමේ වැඩය, අන්‍යජාතීන්ගේ කාලයේ අවසානයට කලින් සිදු වෙයි කියා අපි සිතාගත්තා; නමුත් බයිබලයෙහි එහෙම දෙයක් පවසා තිබුණේ නැහැ. . . . අස්වැන්න නෙළීමේ වැඩය තවත් ඉදිරියට ඇදී යන නිසා අපි කනගාටු වෙනවාද? . . . ප්‍රිය සහෝදරයෙනි, අපේ වර්තමාන ආකල්පය, දෙවි කෙරෙහි මහත් කෘතඥතාවේ එකක් විය යුතුයි; ඒ ආකල්පය නිසා, අපට දැකීමට සහ පංගුකාරයන් වීමට වරප්‍රසාදය ලැබී ඇති අලංකාර සත්‍යය සඳහා අපේ අගය වැඩි විය යුතු අතර, එම සත්‍යය අනුන්ටත් දැනගැනීමට සැලැස්වීම සඳහා උපකාර කිරීමේදී ජ්වලිතයත් වැඩි විය යුතුයි.” ඔවුන්ගේ ඇදහිල්ල පරීක්ෂණයට ලක් වී තිබුණත්, එම පරීක්ෂණයට මුහුණ දුන් ඔවුන් සාර්ථකව එයට උර දුන්නා. එනමුත් ඇදහිල්ලේ පරීක්ෂණ විවිධාකාර විය හැකි බව ක්‍රිස්තියානීන් වන අප දැනගෙන සිටිය යුතුයි.
18, 19. සහෝදර රසල්ගේ මරණයෙන් වැඩි කල් නොගොස් දෙවිගේ සෙනඟ සඳහා ඇති වුණේ ඇදහිල්ලේ වෙනත් මොන පරීක්ෂණද?
18 නිදසුනක් වශයෙන්, සහෝදර චාල්ස් ටී. රසල්ගේ මියයෑමෙන් ටිකකට පසු, ඉතිරි කොටස පිට තවත් ආකාරයේ පරීක්ෂණයක් පැමිණියා. එය ඔවුන්ගේ පක්ෂපාතිත්වයේ සහ ඇදහිල්ලේ පරීක්ෂණයක් වුණා. මතෙව් 24:45හි සඳහන් ‘විශ්වාස වූ දාසයා’ කවුද? එය සහෝදර රසල්ම කියා සමහරදෙනෙකුට හැඟී ගිය අතර, නව සංවිධානාත්මක විධිවිධානවලට සහයෝගය දැක්වීම ඔවුන් එකහෙළා ප්‍රතික්ෂේප කළා. ඔහු දාසයා වී තිබුණා නම්, ඔහු මියගොස් තිබුණු නිසා සහෝදරයන් කුමක් කළ යුතුව තිබුණාද? ඔවුන් අලුතින් පත් කළ යම් පුද්ගලයෙකුව අනුගමනය කළ යුතුද, එසේ නොවේ නම්, යෙහෝවා නිකම්ම එක පුද්ගලයෙකුව නොව, නමුත් මෙවලමක් හෝ දාස පංතියක් වශයෙන් ක්‍රිස්තියානීන්ගෙන් සෑදුණු සම්පූර්ණ කණ්ඩායමක් යොදාගනිමින් සිටිනවා යන්න තේරුම්ගැනීමට කාලය පැමිණ තිබුණාද?
19 එක්දහස් නවසිය දහඅටේදී ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂයේ දැඩි පෙලඹීම් යටතේ ලෞකික බලධාරීන් යෙහෝවාගේ සංවිධානයට විරුද්ධව ‘පනතෙන් නපුර යොදාගත්’ විට, සැබෑ ක්‍රිස්තියානීන් මත අමතර පරීක්ෂණයක් පැමිණියා. (ගීතාවලිය 94:20) උතුරු අමෙරිකාවේ මෙන්ම යුරෝපයේ බයිබල් ශිෂ්‍යයන්ට විරුද්ධව දැඩි පීඩා රැල්ලක් දියත් කරනු ලැබුවා. වර්ෂ 1918 මැයි 7වනදා, ජේ. එෆ්. රද’ෆ’ඩ් සහ ඒ. ඒච්. ම’ක්මිලන් ඇතුළු ඔහුගේ කිට්ටු ආශ්‍රිතයන් කිහිපදෙනෙකුව අත්අඩංගුවට ගැනීම සඳහා එ.ජ. ෆෙඩරල් වරෙන්තු නිකුත් කළ විට, පූජක පක්ෂයේ පෙලඹීම් යටතේ දියත් වූ විරුද්ධවාදිකම් හිණිපෙත්තටම නැඟී ආවා. රාජ ද්‍රෝහීන් කියා ඔවුන්ට වැරදි ලෙස චෝදනා කළ අතර, තමුන් නිර්දෝෂයි කියා ඔවුන් කළ ආයාචනා බලධාරීන් ගණනකට ගත්තේ නැහැ.
20, 21. මලාකී 3:1-3හි පුරෝකථනය කර ඇත්තාක් මෙන්ම, ආලේප ලත් අය අතර සිදු කරනු ලැබුවේ මොන වැඩයද?
20 ඒ කාලයේදී ශෝධනය වීමක් වන බවට තේරුම් නොගත්තද, සිදු වෙමින් තිබුණේ එවන් දෙයක්. එය මලාකී 3:1-3හි මෙසේ විස්තර කර තිබෙනවා: “[ඔහුගේ] ඊමේ දවස දරන්ට පුළුවන් කාටද? [ඔහු] පෙනෙන කල සිටින්ට පුළුවන් කාටද? මක්නිසාද [ගිවිසුමේ දූතයා] රන්කරුවෙකුගේ ගින්නද අපුල්ලන්නන්ගේ සබන්ද මෙන්ය. [ඔහු] රිදී උණුකර පිරිසිදුකරන කෙනෙක් මෙන් සිට, ලෙවී පුත්‍රයන් ධර්මිෂ්ඨකමෙන් [යෙහෝවාට] පූජා ඔප්පුකරන්නන්ව සිටින පිණිස ඔවුන් පිරිසිදුකර, රන් රිදී මෙන් ඔවුන් පවිත්‍ර [කරන්නේය].”
21 පළමුවන ලෝක යුද්ධය නිම වෙද්දී, බයිබල් ශිෂ්‍යයන් සමහරදෙනෙක්, ඔවුන් ලෞකික යුද කටයුතු සම්බන්ධව දැඩි මධ්‍යස්ථභාවයක් පවත්වනවාද නැද්ද යන තවත් ඇදහිල්ලේ පරීක්ෂණයකට මුහුණ දුන්නා. (යොහන් 17:16; 18:36) ඇතැම් අය එසේ කළේ නැහැ. එමනිසා 1918දී, යෙහෝවා ඔහුගේ නමස්කාරකයන්ගෙන් සෑදුණු කුඩා කණ්ඩායම ලෞකික කැළැල්වලින් පවිත්‍ර කරගැනීමට, තම ආත්මික දේවමාළිගා විධිවිධානයට “ගිවිසුමේ දූතයා” වන ක්‍රිස්තුස් යේසුස්ව එව්වා. සැබෑ ඇදහිල්ල විදහාපෙන්වීමට බැඳී සිටි අය එම අද්දැකීමෙන් ඉගෙනගෙන, ජ්වලිතව දිගටම දේශනා කරමින්, ඉදිරියට ඇදී ගියා.
22. ඇදහිල්ලේ පරීක්ෂණ සම්බන්ධව තවමත් සලකා බැලිය යුත්තේ කුමක්ද?
22 අප දැන් සලකා බැලූ දේ නිකම්ම ඓතිහාසික වැදගත්කමකින් යුත් දෙයක් නොවෙයි. එය කෙළින්ම යෙහෝවාගේ ලෝක ව්‍යාප්ත සභාවේ වර්තමාන ආත්මික තත්වයට සම්බන්ධයි. එනමුත් මීළඟ ලිපිය තුළින් අදදින දෙවිගේ සෙනඟ මුහුණ දෙන ඇදහිල්ලේ පරීක්ෂණ සමහරක් සලකා, මේවා සාර්ථකව ජයගත හැකි අන්දම බලමු.
ඔබට මතකද?
◻ යෙහෝවාගේ ජනයා තම ඇදහිල්ල පරීක්ෂණයට ලක් වෙයි කියා අපේක්ෂා කළ යුත්තේ ඇයි?
◻ වර්ෂ 1914ට කලින් දෙවිගේ පණිවිඩය බෙදාහැරීමට දරනු ලැබුවේ මොන වගේ ප්රයත්නද?
◻ “ඡායාරූප නාට්‍යය” කුමක්ද? ඉන් අත් වුණ ප්‍රතිඵල මොනවාද?
◻ 1914-18 අතර කාලපරිච්ඡේදයේ සිදුවීම් ආලේප ලත් අයව පරීක්ෂා කළේ කෙසේද?
[12වන පිටුවේ පින්තූරය]
විසිවන සියවසට පා තබන කාලයේදී, “සහස්ර උදාව” (ඉංග්‍රීසියෙන්) නමැති පොත් මාලාව සමඟින් බොහෝ දේශවල ජනයා බයිබලය අධ්‍යයනය කරමින් සිටියා. පසුව මෙයට “ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය” කියා නම තැබුවා
[13වන පිටුවේ පින්තූරය]
සී. ටී. රසල්ගෙන් ලද ලිපියක්. පටිගත කිරීමක් සඳහා ආරම්භක පාඨයක් එහි තිබෙනවා. එහිදී ඔහු මෙසේ පැවසුවා: “ ‘මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය’ IBSA එනම් අන්තර්ජාතික බයිබල් ශිෂ්‍ය සංගමය මගින් ඉදිරිපත් කර තිබෙනවා. ආගමික සහ විද්‍යාත්මක දිශාවක් අනුව මහජනයාට උපදෙස් දීමත්, බයිබලයට පක්ෂව කතා කිරීමත් එහි ඉලක්කය වෙනවා”
[15වන පිටුවේ පින්තූරය]
ඩමීට්රීයස් පාපාජෝජ් “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” පෙන්වමින් සංචාරය කළා. පසුව, තම ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය හේතුවෙන් ඔහුව සිරගත කළා