ඇදහිල්ලේ ඌනතාවක් ගැන පරෙස්සම් වන්න
“සහෝදරයෙනි, ජීවමාන දෙවිගෙන් ඈත්වීමෙන් ඇදහිල්ලෙන් ඌන වූ දුෂ්ට හදවතක් ඔබ අතරේ කෙදිනක හෝ වර්ධනය නොවන හැටියට පරෙස්සම් වන්න.”—හෙබ්‍රෙව් 3:12, NW.
1. හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියූ පාවුල්ගේ වචනවල කිනම් තිගස්සවන යථාර්ථයද අපේ අවධානයට හසු වන්නේ?
යම් කලෙක යෙහෝවා සමඟ පෞද්ගලික සබඳතාවක් භුක්ති විඳි මිනිසුන් “දුෂ්ට හදවතක්” වර්ධනය කරගෙන, ‘ජීවමාන දෙවිගෙන් ඈත්වීමට’ හැකියයි සිතන විට පවා එය මොනතරම් බියකරු හැඟීමක් ගෙන දෙයිද! එමෙන්ම මෙය මොනතරම් ප්‍රබල අනතුරු ඇඟවීමක්ද! ප්‍රේරිත පාවුල්ගේ මෙම වචනවලින් අමතනු ලැබුවේ නොඇදහිලිකාරයන්ට නොව, නමුත් යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව කෙරෙහි පෙන්වූ ඇදහිල්ල මත පදනම්ව යෙහෝවාට තම ජීවිත කැප කළ අයටයි.
2. අප සලකා බැලිය යුත්තේ කිනම් ප්‍රශ්නද?
2 එවැනි ආශීර්වාද ලත් තත්වයක සිටින කෙනෙක් “ඇදහිල්ලෙන් ඌන වූ දුෂ්ට හදවතක්” වර්ධනය කරගන්නේ කොහොමද? ඇත්තෙන්ම, දෙවිගේ ප්‍රේමයත් ලබන්න නොවටිනා කරුණාවත් රස බැලූ කෙනෙක් කොහොමද උවමනාවෙන්ම ඔහුගෙන් ඈත් වන්නේ? එමෙන්ම මෙවැනි දෙයක් අපගෙන් කවරෙකුට හෝ විය හැකිද? මේවා ඇත්තෙන්ම කල්පනා කිරීමට වටිනා සිතුවිලි වන අතර, මෙම අනතුරු ඇඟවීම පිටුපස ඇති හේතුවත් විමසා බැලීම අපෙන් අවශ්‍ය කරවනවා.—1 කොරින්ති 10:11.
ඇයි මෙවැනි තදබල උපදෙස්?
3. යෙරුසලම හා ඒ අවට විසූ පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ට බලපෑ තත්වයන් විස්තර කරන්න.
3 පාවුල් පො.යු. 61දී, යුදයේ විසූ හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මෙම ලිපියෙන් ඇමතූ බව පෙනී යනවා. එක් ඉතිහාසඥයෙක් නිරීක්ෂණය කරන ආකාරයට “යෙරුසලම් නගරයේවත් ඒ අවට මුළු පළාතේවත් විසූ කිසිම අවංක පුද්ගලයෙකුට මොනයම් සාමයක්වත් ආරක්ෂාවක්වත් තිබුණේ නැහැ.” එය පීඩාකාරි රෝම හමුදාවක් හා රෝම-විරෝධී යුදෙව් අන්තවාදීන් මවාපෑ චණ්ඩිකම් මෙන්ම වියවුල්කාරි කාලවලින් ප්‍රයෝජන ගත් සොරුන්ගේ සාපරාධී ක්‍රියාකාරකම් යන මිශ්‍රණය හේතුවෙන් උසිගන්වනු ලැබූ දාමරිකත්වයේ හා අපරාධවලින් යුත් කාලයක් වුණා. මේ සියල්ල, ක්‍රිස්තියානීන් සඳහා දේවල් බොහෝ අපහසු කළ අතර, එවැනි කාරණාවල පැටලීමෙන් වැළකීමට ඔවුන් දැඩි උත්සාහයක් දැරුවා. (1 තිමෝති 2:1, 2) ඇත්තෙන්ම ඔවුන්ගේ මධ්‍යස්ථභාවය නිසා, ඔවුන්ව සමාජයට නොගැළපෙන්නන් හැටියටද රාජද්‍රෝහීන්ගේ ගණයෙහිලාද සැලකුවා. ක්‍රිස්තියානීන්ට බොහෝවිට අයථා සේ සැලකූ අතර, ඔවුන් පෞද්ගලික පාඩු වින්දා.—හෙබ්‍රෙව් 10:32-34.
4. හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් ලක් වී සිටියේ කිනම් ආගමික ස්වරූපයක් ගත් පීඩනයකටද?
4 හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් ආගමික පැත්තෙන්ද ප්‍රබල පීඩනයකට හසුව සිටියා. යේසුස්ගේ ඇදහිලිවන්ත ගෝලයන්ගේ ජ්වලිතය හා එනයින් ඇති වූ ක්‍රිස්තියානි සභාවේ ශීඝ්‍ර පුළුල් වීම, යුදෙව්වන්ගේ, විශේෂයෙන්ම ආගමික නායකයන්ගේ ඊර්ෂ්‍යාවත් ක්‍රෝධයත් ඇවිස්සුවා. යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට සරදම් කිරීමට මෙන්ම පීඩා කිරීමට ඔවුන් මොනම දෙයක් වුණත් කළා.a (ක්‍රියා 6:8-14; 21:27-30; 23:12, 13; 24:1-9) කෙළින්ම එල්ල වූ පීඩාවලින් ක්‍රිස්තියානීන් සමහරදෙනෙක් බලපෑම් නොලැබුවත්, යුදෙව්වන් විසින් ඔවුන්ව කෙසේ හෝ නිග්‍රහයට හා අවමානයට ලක් කළා. යුදෙව් ආගමේ උත්කෘෂ්ටත්වයෙන් හීන වූ, දේවමාළිගාවක්, පූජක තන්ත්රයක්, මංගල්‍ය හා විධිමත් පූජා නොමැති අලුතින් ස්ථාපිත ආගමක් හැටියට ක්‍රිස්තියානි ධර්මය අවඥාවට ලක් වුණා. ඔවුන්ගේ නායකයා වන යේසුස් පවා අපරාධකරුවෙකු හැටියට චෝදනා ලැබ, මරණයට පත් කරනු ලැබුවා. තම ආගම පිළිපැදීමට නම් ක්‍රිස්තියානීන්හට ඇදහිල්ල, ධෛර්යය හා විඳදරාගැනීම අවශ්‍යව තිබුණා.
5. යුදයේ විසූ ක්‍රිස්තියානීන්ට ආත්මිකව අවදිව සිටීම වැදගත් වූයේ ඇයි?
5 සියල්ලටම වඩා, යුදයේ හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් ජීවත්ව සිටියේ එම ජාතියේ ඉතිහාසයේ ඉතා තීරණාත්මක කාලයකයි. යුදෙව් පිළිවෙළේ නිමාව සනිටුහන් කරනවායයි ඔවුන්ගේ ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස් පැවසූ බොහෝ දෑ ඒ වෙද්දීත් සිදුව තිබුණා. එම අවසානය වැඩි ඈතක විය නොහැකියි. බේරීමට නම්, ක්‍රිස්තියානීන් ආත්මිකව අවදියෙන් සිටිය යුතු වූ අතර, ‘කඳුවලට පලායෑමට’ සූදානම්වද සිටිය යුතු වුණා. (මතෙව් 24:6, 15, 16) යේසුස් මඟ පෙන්වනු ලැබූ ආකාරයට, ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය වූ ඇදහිල්ල හා ආත්මික සවිය ඔවුන්ට තිබේවිද? පෙනෙනාකාරයට යම් සැකයක් තිබුණා.
6. යුදයේ විසූ ක්‍රිස්තියානීන්ට ඉක්මනින්ම අවශ්‍ය වූයේ කුමක්ද?
6 මුළු මහත් යුදෙව් පිළිවෙළේ පරිහානියට කලින් වූ දශකය තුළ, සැබවින්ම හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් සභාව තුළින් මෙන්ම පිටතින් දැඩි පීඩනයට ලක් වූවා. ඔවුන්හට දිරිගැන්වීම අවශ්‍යව තිබුණා. නමුත් ඔවුන් තෝරාගත් මඟ නිවැරදි එකක් බවත් ඔවුන් දුක් විඳ ඇත්තෙත් විඳදරා ඇත්තෙත් අහේතුවකට නොවන බවත් වටහා දීමට උපකාර කිරීම සඳහා ඔවුන්ට උපදෙස් හා මඟ පෙන්වීමද අවශ්‍යව තිබුණා. සතුටුදායක ලෙස, අභියෝගයට මුහුණ දීමට පාවුල් යුහුසුලුව ක්‍රියාත්මක වෙමින් ඔවුන්ගේ ආධාරයට පැමිණියා.
7. හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට පාවුල් ලිවූ දෙය සම්බන්ධයෙන් අප උනන්දු විය යුත්තේ ඇයි?
7 පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලිවූ දෙය අපේ මහත් උනන්දුවට පාත්‍ර විය යුතුයි. ඇයි? මන්දයත් අප ජීවත් වන්නේ ඔවුන්ගේ කාලයට සමානව දිවයන කාලයකයි. සාතන්ගේ පාලනය යටතේ ඇති ලෝකයෙන් අප දිනපතාම පීඩනයට ලක් වෙනවා. (1 යොහන් 5:19) අන්තිම දවස් හා “දේවල පිළිවෙළේ නිමාව” [NW] ගැන පැවසූ යේසුස්ගේ හා ප්‍රේරිතයන්ගේ අනාවැකියි අද අපේ ඇස් පණාපිටම ඉටු වන්නේ. (මතෙව් 24:3-14; 2 තිමෝති 3:1-5; 2 පේතෘස් 3:3, 4; එළිදරව් 6:1-8) මේ සියල්ලකටම වඩා, “සිදුවීමට නියමිත සියල්ලෙන් ජය ගෙන ගැළවෙන පිණිස” අප ආත්මිකව අවදියෙන් සිටිය යුතුයි.—ලූක් 21:36, NW.
මෝසෙස්ට වඩා උතුම් කෙනෙක්
8. හෙබ්‍රෙව් 3:1හි සඳහන් දෙය පැවසීමෙන්, පාවුල් තම සෙසු ක්‍රිස්තියානීන්ට දැඩි සේ උනන්දු කරමින් සිටියේ කුමක් කිරීමටද?
8 වැදගත් කරුණක් සඳහන් කරමින් පාවුල් මෙසේ ලිව්වා: “අප පිළිගන්නාවූ ප්‍රේරිතයා සහ උත්තම පූජකයා වූ යේසුස්ව සලකා බලන්න.” (හෙබ්‍රෙව් 3:1, NW) “සලකා බලන්න” ලෙස පරිවර්තනය කර ඇති වචනයෙහි තේරුම වන්නේ “පැහැදිලිව අවධානයට හසු කරගැනීම . . . , සම්පූර්ණයෙන් තේරුම්ගැනීම සහ කිට්ටුවෙන් සලකා බැලීමයි.” (පැරණි හා අලුත් ගිවිසුමේ වදන් පිළිබඳ වයින්ගේ ශබ්දකෝෂය) [ඉංග්‍රීසියෙන්] එහෙයින්, පාවුල් තම සෙසු ඇදහිලිවන්තයන්ට තම ඇදහිල්ල හා ගැළවීම සම්බන්ධයෙන් යේසුස් දැරූ ප්‍රධාන කාර්යභාරය ගැන සැබෑ අගය කිරීමක් දැක්වීම සඳහා කඩිසර වෑයමක් දරන හැටියට දැඩි සේ උනන්දු කළා. මෙසේ කිරීම ඇදහිල්ලේ ස්ථිරව සිටීමට ගත් තම අධිෂ්ඨානය ශක්තිමත් කරනු ඇති. එසේනම්, යේසුස්ගේ කාර්යභාරය වූයේ කුමක්ද? එමෙන්ම ඇයි අප ඔහු ගැන ‘සලකා බැලිය’ යුත්තේ?
9. යේසුස්ට “ප්‍රේරිතයා” හා “උත්තම පූජකයා” හැටියට පාවුල් යොමු දැක්වූයේ ඇයි?
9 “ප්‍රේරිතයා” හා “උත්තම පූජකයා” යන යෙදුම් පාවුල් යේසුට අදාළ කළා. යවනු ලබන කෙනෙකු ‘ප්‍රේරිතයෙක්’ වන අතර, මෙහිදී දෙවි මනුෂ්‍යවර්ගයා සමඟ අදහස් හුවමාරු කිරීමේ මාධ්‍යය හා සම්බන්ධ වෙනවා. ‘උත්තම පූජකයෙක්’ යනු මනුෂ්‍යයන්ට දෙවි වෙතට එළඹිය හැකි කෙනෙකුයි. මෙම සැපයුම් දෙක සැබෑ නමස්කාරයට අත්‍යවශ්‍ය වන අතර, යේසුස් මේ දෙකෙහිම එකතුවක් වෙයි. දෙවි පිළිබඳ සත්‍යය මනුෂ්‍යවර්ගයාට ඉගැන්වීමට ස්වර්ගයෙන් එවනු ලැබූ තැනැත්තා ඔහුයි. (යොහන් 1:18; 3:16; 14:6) යේසුස්, පාපයේ සමාව සඳහා යෙහෝවාගේ ආත්මික දේවමාළිගා විධිවිධානයේ පත් කර ඇති සාදෘශ්‍යමය උත්තම පූජකයාද වෙයි. (හෙබ්‍රෙව් 4:14, 15; 1 යොහන් 2:1, 2) යේසුස් තුළින් අපට අත් කරගත හැකි ආශීර්වාද අප ඇත්තෙන්ම අගය කරනවා නම්, දිගටම ඇදහිල්ලේ ස්ථිරව රැඳී සිටීම සඳහා ධෛර්යය හා අධිෂ්ඨානය අපට තිබෙන්න යනවා.
10. (අ) යුදෙව් ආගමට වඩා ක්‍රිස්තියානි ධර්මයේ ඇති උත්තරීතරබව වටහාගැනීමට පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට උපකාර කළේ කොහොමද? (ආ) තම කරුණ තහවුරු කිරීමට ඔහු කුමන විශ්වනීය සත්‍යයද සඳහන් කළේ?
10 පාවුල් ක්‍රිස්තියානි ඇදහිල්ලේ වටිනාකම කාවැද්දීම සඳහා, යුදෙව්වන් තම මුතුන්මිත්තන් අතරෙන් උතුම්ම කොට සැලකූ ප්‍රොපේතවරයා වන මෝසෙස්ට යේසුව සම කළා. යේසුස් මෝසෙස්ට වඩා උතුම්ය යන සත්‍යය හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මුළු හදවතින්ම පිළිගත හැකි නම්, යුදෙව් ආගමට වඩා ක්‍රිස්තියානි ධර්මයේ ඇති උත්තරීතරබව අනුමාන කිරීමටද ඔවුන්ට කිසිදු හේතුවක් තිබෙන්න යන්නේ නැහැ. මෝසෙස් දෙවිගේ ‘ගෘහය’ එනම්, ඉශ්රායෙල් ජාතිය නැතිනම් සභාව, විශ්වාසයෙන් යුතුව භාර දීමට තරම් සුදුසු කෙනෙක්ව හිටියත්, ඔහු හුදු ඇදහිලිවන්ත පරිවාරකයෙක් නැතිනම් සේවකයෙක් පමණක් බව පාවුල් පෙන්වා දුන්නා. (ගණන් කථාව 12:7) අනෙක් අතට, යේසුස් පුත්‍රයා වූ අතර, ගෘහයේ ස්වාමියා වුණා. (1 කොරින්ති 11:3; හෙබ්‍රෙව් 3:2, 3, 5) තම කරුණ තවදුරටත් තහවුරු කිරීම සඳහා, පාවුල් මෙම විශ්වනීය සත්‍යය සඳහන් කරයි: “මක්නිසාද සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති; නුමුත් සියලු දේවල් පිහිටෙවු [තැනැත්තා දෙවිය].” (හෙබ්‍රෙව් 3:4) දෙවි කිසිවෙකුට වඩා උතුම්ද නැද්ද කියා කවුරුත් වාද කරන්න යන්නේ නැහැ; මන්දයත් දෙවි සියල්ලන්ගේම නිර්මාතෘවරයා නැතිනම් මැවුම්කරු වන නිසයි. එසේනම්, තර්කානුකූලවම, යේසු දෙවිගේ හවුල් වැඩකරුවා වූ හෙයින්, ඔහු මෝසෙස් ඇතුළු අන් සියලු මැවිලිවලටත් වඩා උතුම් විය යුතුමයි.—හිතෝපදේශ 8:30; කොලොස්සි 1:15-17.
11, 12. පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට දැඩි සේ උනන්දු කළේ කුමක් ‘අන්තිමය දක්වා ස්ථිරව’ අල්ලාගෙන සිටීමටද? තවද අපට ඔහුගේ උපදෙස් අදාළ කළ හැක්කේ කොහොමද?
11 සැබවින්ම, හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් බෙහෙවින් අනුමැතිය ලත් තත්වයකයි හිටියේ. ඔවුන් “ස්වර්ගීය කැඳවීමකට පංගුකාරවූ” බව පාවුල් ඔවුන්ට මතක් කර දුන් අතර, එම වරප්‍රසාදය යුදෙව් පිළිවෙළට ඉදිරිපත් කළ හැකි මොනයම් දෙයකටත් වඩා ඉහළින් අගනා කොට තැබිය යුතු එකක් වුණා. (හෙබ්‍රෙව් 3:1) පාවුල්ගේ වචන මගින්, ඔවුන්ගේ යුදෙව් උරුමයට සම්බන්ධව තිබූ මොනයම් දෙයක් හෝ පසෙක තැබීම ගැන කනගාටු වනවා වෙනුවට, නව උරුමයක් ඔවුන්ට සූදානමින් තිබෙනවායයි දැනගැනීමෙන් එම ආලේප ලත් ක්‍රිස්තියානීන් තුළ කෘතඥතාවේ හැඟීමක් ඇති කරවන්න ඇති. (පිලිප්පි 3:8) එම වරප්‍රසාදය අල්ලාගැනීමටත් එය සුළු කොට නොතැකීමටත් දැඩි ලෙස උනන්දු කරමින් පාවුල් මෙසේ පැවසුවා: ‘ක්‍රිස්තුස්, දෙවිගේ ගෘහය කෙරෙහි පත්ව සිටින පුත්‍රයෙකු මෙන් විශ්වාසව සිටියේය. අප අන්තිමය දක්වා [ස්ථිරව, NW] අපේ බලාපොරොත්තුවේ නිසැකකමද පාරට්ටුවද ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම්, ඔහුගේ ගෘහය අපිය.’—හෙබ්‍රෙව් 3:6.
12 ඔව්, පැමිණෙන්න තිබූ යුදෙව් දේවල පිළිවෙළේ නිමාවෙන් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට බේරෙන්න අවශ්‍ය වුණා නම්, ඔවුන් දෙවි දුන් පොරොන්දුව ‘අන්තිමය දක්වා ස්ථිරව’ අල්ලාගෙන සිටීම අවශ්‍යව තිබුණා. මෙම පිළිවෙළේ අවසානයෙන් ගැළවෙන්න අපටත් අවශ්‍ය නම් අපත් අදදින එලෙසම කළ යුතුයි. (මතෙව් 24:13) දෙවිගේ පොරොන්දු කෙරෙහි ඇති අපේ ඇදහිල්ල චංචල වීමට ජීවිතයේ කාන්සාවන්වලටවත්, මිනිසුන්ගේ උදාසීනකමටවත් නැතිනම් අපේම අසම්පූර්ණ නැඹුරුවාවන්වලටවත් අප ඉඩ නොදිය යුතුයි. (ලූක් 21:16-19) අපවම බලසම්පන්න කරගත හැකි ආකාරය දැනගැනීමට පාවුල්ගේ මතු වදන්වලට අපි අවධානය යොමු කරමු.
‘නුඹලාගේ හදවත් දැඩි කර නොගන්න’
13. පාවුල් දුන්නේ කිනම් අනතුරු ඇඟවීමද? එමෙන්ම ඔහු ගීතාවලිය 95 අදාළ කළේ කොහොමද?
13 හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ගේ අනුමැතිය ලත් තත්වය ගැන සලකා බැලීමෙන් පසු, පාවුල් මෙසේ අනතුරු ඇඟෙව්වා: ‘ශුද්ධාත්මය පවසන හැටියට: අද නුඹලා ඔහුගේ හඬට සවන් දෙනවා නම්, කාන්තාරයේදී පරීක්ෂා කිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ හදවත් දැඩි කර නොගන්න.’ (හෙබ්‍රෙව් 3:7, 8) පාවුල් මෙහිදී උපුටා දක්වමින් හිටියේ 95වන ගීතිකාවෙන් වන හෙයින් ‘ශුද්ධාත්මය පවසන හැටියට’ කියා කීමට හැකි වුණා.b (ගීතාවලිය 95:7, 8; නික්මයාම 17:1-7) ශුද්ධ වූ ලියවිලි දේව ආනුභාවයෙන් වන අතර, මෙසේ වන්නේ ඔහුගේ ශුද්ධාත්මය මාර්ගයෙනි.—2 තිමෝති 3:16.
14. යෙහෝවා ඉශ්‍රායෙලිතයන්ට කළ දේවලට ඔවුන් ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? එමෙන්ම ඇයි?
14 මිසරයේ වහල්භාවයෙන් නිදහස් කරනු ලැබීමෙන් පසු, යෙහෝවා සමඟ ගිවිසුම් සබඳතාවකට ඇතුල් වීමේ මහත් ගෞරවය ඉශ්‍රායෙලිතයන්ට පිරිනමනු ලැබුවා. (නික්මයාම 19:4, 5; 24:7, 8) කෙසේවෙතත්, දෙවි ඔවුන් සඳහා කළ දේවල්වලට අගය පෙන්වනවා වෙනුවට, ඔවුන් වැඩි කල් යන්න මත්තෙන් කැරලිකාර අන්දමින් ක්‍රියා කළා. (ගණන් කථාව 13:25–14:10) කොහොමද එවැනි දෙයක් සිදු වුණේ? පාවුල් කාරණයට මෙසේ යොමු දැක්වුවා: ඔවුන්ගේ හදවත් දැඩි කරගැනීමෙන්. නමුත් දෙවිගේ වචනයට සංවේදී මෙන්ම ප්‍රතිචාරය දක්වන හදවත් කොහොමද දැඩි වෙන්නේ? තවද මෙය වළක්වාලීමට අප කුමක්ද කරන්න අවශ්‍ය?
15. (අ) අතීතයේ මෙන්ම වර්තමානයේ ‘දෙවිගේ හඬ’ ඇසී ඇත්තේ කොහොමද? (ආ) ‘දෙවිගේ හඬ’ සම්බන්ධයෙන් අපගෙන්ම අසාගත යුත්තේ කිනම් ප්‍රශ්නද?
15 ‘අද නුඹලා ඔහුගේ හඬට සවන් දෙනවා නම්’ යන අනියමාර්ථ වගන්තියෙන් පාවුල් තම අනතුරු ඇඟවීම ඇරඹුවා. මෝසෙස් හා වෙනත් ප්‍රොපේතවරුන් මාර්ගයෙන් දෙවි තම ජනයාට කතා කළා. ඉන්පසුව, යෙහෝවා තම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් තුළින් ඔවුන්ට කතා කළා. (හෙබ්‍රෙව් 1:1, 2) අදදින අපට ශුද්ධ වූ බයිබලය වන දෙවිගේ සම්පූර්ණ ආනුභාව ලත් පොත තිබෙනවා. “නියම වේලාවට කෑම” සැපයීම සඳහා යේසුස් විසින් පත් කළ ‘විශ්වාස වූ නුවණ ඇති දාසයත්’ අපට සිටිනවා. (මතෙව් 24:45-47) එහෙයින් දෙවි තවමත් කතා කරමින් සිටිනවා. නමුත් අප සවන් දෙමින් සිටිනවාද? උදාහරණයක් හැටියට, ඇඳුම් පැළඳුම් හා හිසකෙස් සකස් කිරීම හෝ විනෝදාංශ හා සංගීතය පිළිබඳව අප කරන තේරීම සම්බන්ධයෙන් දෙන උපදෙස්වලට අප ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? අප ‘සවන් දෙනවාද?’ ඒ කියන්නේ, අසන්න ලැබෙන දේට අවධානය යොමු කර කීකරු වෙනවාද? අපේ ක්‍රියාවලට නිදහසට කරුණු දීමේ හෝ උපදෙස්වලට විරුද්ධ වීමේ පුරුද්ද අපට තිබෙනවා නම්, අපේ හදවත් දැඩි කරගැනීමේ සියුම් අන්තරාවට අප නිරාවරණය වෙමිනුයි ඉන්නේ.
16. අපේ හදවත් දැඩි විය හැකි එක් මාර්ගයක් කුමක්ද?
16 අපට කළ හැකි හා කළ යුතු දේවලින් අප අයින් වෙනවා නම් අපේ හදවත් දැඩි විය හැකියි. (යාකොබ් 4:17) යෙහෝවා ඉශ්‍රායෙලිතයන් වෙනුවෙන් හැම දෙයක්ම කර තිබුණත් ඔවුන් ඇදහිල්ල ක්රියාවේ නංවන්න අසමත් වූ අතර, මෝසෙස්ට විරුද්ධව කැරලි ගසා, කානාන් සම්බන්ධයෙන් අසතුටුදායක වාර්තාවක් පිළිගැනීමට කැමති වී, පොරොන්දු දේශයට පිවිසීම ප්‍රතික්ෂේප කළා. (ගණන් කථාව 14:1-4) එහෙයින් එම පරම්පරාවට අයිති වූ නොඇදහිලිවන්ත අය මරණයට පත්වීමට ප්‍රමාණවත් කාලයක් වන අවුරුදු 40ක් පාළුකරයේ ගත කිරීමට සිදු වන බවට යෙහෝවා නියම කළා. ඔවුන් ගැන පිළිකුල් වී, දෙවි මෙසේ පැවසුවා: “ඔව්හු නිතරම [හදවතින්, NW] මුළාවෙති; මාගේ මාර්ගයන්ද ඔව්හු දැන නොගත්තෝය. ඔව්හු මාගේ විශ්රාමස්ථානයට ඇතුල් නොවන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමි.” (හෙබ්‍රෙව් 3:9-11) අපට මෙයින් පාඩමක් උගත හැකිද?
අපට පාඩමක්
17. ඉශ්‍රායෙලිතයන් යෙහෝවාගේ බලවත් ක්‍රියා තම දෑස්වලින්ම දැක, ඔහුගේ ප්‍රකාශයන් තම දෙසවනින්ම අසා තිබියදීත් ඔවුන්ට ඇදහිල්ලේ ඌනතාවක් තිබුණේ ඇයි?
17 මිසරයෙන් පිටතට ආ ඉශ්රායෙල්වරුන් යෙහෝවාගේ බලවත් ක්‍රියාවන් තම දෑස්වලින්ම දැක, ඔහුගේ ප්‍රකාශයන් තම දෙසවනින්ම අසා තිබුණා. ඒ වුණත්, දෙවිට ඔවුන්ව යහතින් පොරොන්දු දේශයට ගෙන යා හැකි බවට ඇදහිල්ලක් ඔවුන්ට තිබුණේ නැහැ. ඇයි? “මාගේ මාර්ගයන්ද ඔව්හු දැන නොගත්තෝය” කියා යෙහෝවා පැවසුවා නිසයි. යෙහෝවා කළ කී දේවල් ඔවුන් දැන සිටියද, ඔවුන්ව රැකබලා ගැනීමට ඔහුට ඇති හැකියාව සම්බන්ධයෙන් ඔවුන් නිසැකබවක් වර්ධනය කරගෙන තිබුණේ නැහැ. තමන්ගේම පෞද්ගලික ඕනෑඑපාකම්වල කොතරම් ඇලී ගැලී සිටියාද කිව්වොත් ඔවුන් දෙවිගේ මාර්ග හා අරමුණුවලට දුන්නේ අල්ප අවධානයක්. ඔව්, ඇත්තෙන්ම ඔවුන් ඔහුගේ පොරොන්දුව සම්බන්ධයෙන් පෙන්වූයේ ඇදහිල්ලේ ඌනතාවක්.
18. පාවුල්ට අනුව, “ඇදහිල්ලෙන් ඌන වූ දුෂ්ට හදවතක්” තිබීමෙන් ප්‍රතිඵලය වනු ඇත්තේ කිනම් ක්‍රියාමාර්ගයක්ද?
18 හෙබ්‍රෙව්වරුන්ට තවදුරටත් ලියූ මෙම වචනත් සමාන බලපෑමකින් යුතුව අපට අදාළ වෙයි: “සහෝදරයෙනි, ජීවමාන දෙවිගෙන් ඈත්වීමෙන් ඇදහිල්ලෙන් ඌන වූ දුෂ්ට හදවතක් ඔබ අතරේ කෙදිනක හෝ වර්ධනය නොවන හැටියට පරෙස්සම් වන්න.” (හෙබ්‍රෙව් 3:12) “ජීවමාන දෙවිගෙන් ඈත්වීමෙන් ඇදහිල්ලෙන් ඌන වූ දුෂ්ට හදවතක්” ප්‍රතිඵලය වන බවට පෙන්නුම් කිරීමෙන් පාවුල් කාරණාවල මුලටම ගියා. අවධානය නොදීමේ ප්‍රතිඵලය වන “ගසාගෙන යෑම” [NW] ගැන මෙම ලිපියේ ඉහත අවස්ථාවකදී ඔහු කතා කළා. (හෙබ්‍රෙව් 2:1) කෙසේවුවත්, ‘ඈත්වීම’ ලෙසට දක්වා ඇති ග්‍රීක් පදයේ අදහස “වෙන්ව සිටීම” වන අතර, එය “ඇදහිල්ල අත්හැරීම” හා සම්බන්ධ වෙයි. ස්ව කැමැත්තෙන්ම හා දැනුම් තේරුමකින් යුතුව විරෝධය දැක්වීමක්, ඈත්වීමක් හා හැරයෑමක් අඟවන අතර, මෙය තුළ අවඥාවේ හැඟීමක්ද මුසුව පවතී.
19. උපදෙස්වලට සවන් දීමට අසමත් වීම බරපතළ ප්‍රතිවිපාකවලට මඟ පෑදිය හැක්කේ කොහොමද? පැහැදිලි කරන්න.
19 එසේනම්, මෙහි ඇති පාඩම වන්නේ, යෙහෝවාගේ වචනය හා ඔහුගේ විශ්වාස වූ නුවණ ඇති දාසයා තුළින් ලැබෙන උපදෙස් පැත්තකට දමමින්, ‘ඔහුගේ හඬට සවන් දීමට’ අසමත් වීමේ පුරුද්දට අප වැටෙත් නම්, අපේ හදවත ගොරෝසු හා දැඩිවීමට වැඩි කලක් ගත වන්න යන්නේ නැති බවයි. උදාහරණයක් හැටියට, අවිවාහක යුවළක් සුදුසු ප්‍රමාණයට වඩා කුළුපග ඇසුරක් පවත්වන්න පුළුවන්. නමුත් කාරණය ගැන වැඩි තැකීමක් නොකළොතින් සිදු වන්නේ කුමක්ද? එසේ කිරීම ඔවුන් කළ දේ නැවත කිරීමෙන් ඔවුන්ව ආරක්ෂා කරයිද නැතිනම් එය නැවත කරන්න තවත් පහසු කරවයිද? එයාකාරයෙන්ම, සංගීතය හා විනෝදාංශ සම්බන්ධයෙන් අප කරන තේරීම ගැන සැලකිලිමත් වීමේ අවශ්‍යතාව ගැන විශ්වාස වූ නුවණැති දාසයා උපදෙස් ඉදිරිපත් කරන විට, අප කෘතඥපූර්වකව එය භාරගෙන අවශ්‍ය වෙනස්කම් කරනවාද? ‘අපේම රැස්වීම් අත් නාරින්න’ කියා පාවුල් අපට දැඩි සේ උනන්දු කළා. (හෙබ්‍රෙව් 10:24, 25) මෙම උපදෙස් මධ්‍යයේ, සමහරුන්ට ක්‍රිස්තියානි රැස්වීම් ගැන ඇත්තේ උදාසීන ආකල්පයක්. රැස්වීම් එකකට දෙකකට නොපැමිණීමෙන් හෝ සමහරක් රැස්වීම් සම්පූර්ණයෙන්ම අයින් කිරීමෙන් එතරම්ම පාඩුවක් සිදු නොවන බව ඔවුන්ට හැඟී යා හැකියි.
20. ශුද්ධ ලියවිලිමය උපදෙස්වලට අප ඒකාන්ත අයුරකින් ප්‍රතිචාරය දැක්වීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
20 ශුද්ධ වූ ලියවිලි හා බයිබලය මත පදනම් ප්රකාශනවල පැහැදිලි අයුරින් ප්‍රකාශ කොට ඇති යෙහෝවාගේ ‘හඬට’ අප ඒකාන්ත අයුරින් ප්‍රතිචාරය නොදැක්වුවොතින්, ‘ජීවමාන දෙවිගෙන් අප ඈත් වෙමින්’ සිටින බව අපට ඉක්මනින් දැනෙයි. උපදෙස් උදාසීනව පැත්තකට දැමීම යන කාරණය, හිතාමතා සුළු කොට තැකීම, විවේචනය කිරීම මෙන්ම එයට විරෝධය දැක්වීම දක්වා පහසුවෙන්ම වර්ධනය වෙන්න පුළුවන්. එය හරි නොගැස්සුවොතින් “ඇදහිල්ලෙන් ඌන වූ දුෂ්ට හදවතක්” ප්‍රතිඵලය වන අතර, එවැනි ගමන් මඟකින් ගොඩ ඒම සාමාන්‍යයෙන් අපහසු එකක් වෙනවා. (එපීස 4:19 සසඳන්න.) “සියල්ලට වඩා [හදවත, NW] රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?” කියා යෝග්‍ය ලෙස යෙරෙමියා ලිව්වා. (යෙරෙමියා 17:9) මේ හේතුවෙන් පාවුල් තම සෙසු හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මෙසේ දැඩි සේ උනන්දු කළා: “නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.”—හෙබ්‍රෙව් 3:13.
21. අප සියලුදෙනාටම උනන්දු කරවන්නේ කුමක් කිරීමටද? එමෙන්ම අපට තිබෙන අපේක්ෂාවන් මොනවාද?
21 යෙහෝවා තම වචනය හා තම සංවිධානය තුළින් තවමත් අපට කතා කරමින් සිටීම ගැන අප කොතරම් සතුටු වෙනවාද! “අපගේ විශ්වාසයේ පටන්ගැන්ම අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන” සිටීමට “විශ්වාසවූ නුවණ ඇති දාසයා” අපට දිගටම උපකාර කිරීම ගැන අප කෘතඥපූර්වක වෙනවා. (හෙබ්‍රෙව් 3:15) දෙවිගේ ප්‍රේමයට හා මඟ පෙන්වීමට ප්‍රතිචාරය දැක්වීම සඳහා කාලය දැන්. අප එසේ කරත්ම, යෙහෝවාගේ තවත් මහඟු පොරොන්දුවලින් එකක් අපට භුක්ති විඳිය හැකියි—එනම් ඔහුගේ විශ්රාමස්ථානයට ‘ඇතුල් වීමයි.’ (හෙබ්‍රෙව් 4:3, 10) පාවුල් ඊළඟට හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් සමඟ සාකච්ඡා කළ කරුණ එය වූ අතර, මීළඟ ලිපියෙන් අප සාකච්ඡා කරන්න යන්නේද එයමයි.
[පාදසටහන්වල]
a පෙස්තුස්ගේ මරණින් පසු, සද්දුසිවරුන්ගේ නිකායෙන් එන අනනස් (අනනියස්) උත්තම පූජකයා වූ බව ජොසීෆස් වාර්තා කරයි. ඔහු යේසුගේ අර්ධ සහෝදරයා වූ යාකොබ් හා වෙනත් ගෝලයන්ව යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරිපිටට ගෙනා අතර, ඔවුන්ව මරණයට තීන්දු කර, ගල් ගැසීමට නියම කරනු ලැබුවා.
b පෙනෙන ප්‍රකාරයට පාවුල් ග්‍රීක් සෙප්ටූඅජින්ට්වලින් උපුටා දැක්වූ අතර, “මෙරිබා” හා මස්සා” යන හෙබ්‍රෙව් වචන අනුපිළිවෙළින් “විවාද කිරීම” හා “පරීක්ෂා කිරීම” ලෙසට පරිවර්තනය කරනු ලබයි. Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධියහි 2 වෙළුම 350 හා 379 පිටු බලන්න.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට එවන් තදබල උපදෙස් ලිව්වේ ඇයි?
◻ යුදෙව් ආගමේ රැකවරණය යටතේ වූ ජීවිතයට වඩා වැඩි යමක් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට තිබූ බව වටහාගැනීමට පාවුල් ඔවුන්ට උපකාර කළේ කොහොමද?
◻ කෙනෙකුගේ හදවත දැඩි වන්නේ කොහොමද?
◻ “ඇදහිල්ලෙන් ඌන වූ දුෂ්ට හදවතක්” වර්ධනය වීමෙන් වැළකීම සඳහා අප කුමක් කළ යුතුද?
[10වන පිටුවේ පින්තූරය]
වඩා උතුම් මෝසෙස් වන යේසුස් කෙරෙහි ඔබ ඇදහිල්ල පවත්වනවාද?