උඩඟු රාජ්‍ය පාලකයෙකුට අධිරාජ්‍යයක් අහිමි වේ
ප්‍රොපේත දානියෙල් මෙසේ ලිව්වා: “බේල්ෂශර් රජ තමාගේ උත්තමයන් දහසකට මහත් මංගල්‍යයක් පිළියෙළකොට, ඒ දහස ඉදිරියෙහි මුද්‍රිකපානය බීවේය.” කෙසේවෙතත්, භෝජන සංග්‍රහය පැවැත්වෙමින් තිබෙන අතරතුර, “රජුගේ මුහුණේ පාට වෙනස්විය, ඔහු තමාගේ සිතිවිලිවලින් කැලඹුණේය; ඔහුගේ කටිසන්ධි බුරුල්වී, ඔහුගේ දණහිස් එකිනෙකට වැදුණේය.” රාත්‍රිය නිම වීමට ප්‍රථමයෙන් “කල්දිවරුන්ගේ රජවූ බේල්ෂශර් මරනලද්දේය. . . . මේදිය දාරියුස් තෙම රාජ්‍යය ලැබුවේය.”—දානියෙල් 5:1, 6, 30, 31.
බේල්ෂශර් කියන්නේ කවුද? ඔහුට “කල්දිවරුන්ගේ රජ” යයි පැවසීමට හැකි වුණේ කොහොමද? ඇත්තටම නවීන බබිලෝනීය අධිරාජ්‍යයේ ඔහුට තිබුණේ කුමන තනතුරද? ඔහුට අධිරාජ්‍යය අහිමි වුණේ කොහොමද?
සම පාලකයෙක්ද නැතිනම් රජෙක්ද?
දානියෙල්, නෙබුකද්නෙශර්ව බේල්ෂශර්ගේ පියා වශයෙන් හඳුන්වනවා. (දානියෙල් 5:2, 11, 18, 22) කොහොම වුණත් මෙය ඇත්ත පිය-පුතු සම්බන්ධතාවක් නොවෙයි. රේමන් පී. ඩවටි විසින් රචිත නෙබෝනීඩස් සහ බේල්ෂශර් (ඉංග්‍රීසියෙන්) නම් කෘතියේ පෙන්නුම් කරන්නේ, සමහරවිට නෙබුකද්නෙශර්, නයිටෝක්රිස් නම් වූ බේල්ෂශර්ගේ මවගේ පැත්තෙන් සීයා වන්ට ඇති බවයි. නෙබුකද්නෙශර් කලින් සිටි රාජ්‍ය පාලකයා බැවින්, සිංහාසනය සම්බන්ධයෙන් හුදෙක් බේල්ෂශර්ගේ ‘පියා’ ලෙස හඳුන්වන්ටත් ඇති. (උත්පත්ති 28:10, 13 සසඳන්න.) කොහොම නමුත්, දහනවවන ශතවර්ෂය තුළදී දකුණු ඉරාකයෙන් සොයාගත් මැටි සිලින්ඩර කීපයක තිබූ කීලාකාර ලියවිලිවලින්, බේල්ෂශර් බබිලෝනියේ රජ වූ නෙබෝනීඩස්ගේ වැඩිමහල් පුතා ලෙස හඳුන්වනවා.
පොදු යුගයට පෙර 539දී බබිලෝනිය බිඳ වැටුණු රාත්‍රියේ සිදු වුණු සිදුවීම්වලට දානියෙල් 5වන පරිච්ඡේදයේ වාර්තාව යොමු දක්වන නිසා, බේල්ෂශර් රාජකීය ආධිපත්‍යයට පැමිණියේ කෙසේද කියා එය පෙන්වන්නේ නැහැ. නමුත් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර නෙබෝනීඩස් සහ බේල්ෂශර් අතර තිබුණු සම්බන්ධතාව ගැන යම් අදහසක් සපයනවා. “නෙබෝනීඩස් ඔල්මාද පාලකයෙක් වූ බව බබිලෝනීය මුල් ලියවිලිවල අනාවරණය කරනවා” යයි පුරාවිද්‍යාඥයෙක් මෙන්ම සෙම්ටික් භාෂාවන් සම්බන්ධයෙන් අධිකාරිත්වයක් හොබවන ඇලන් මිලාඩ් පවසනවා. මිලාඩ් තවදුරටත් මෙසේ පවසනවා: “ඔහු බබිලෝනීය දෙවිවරුන්ව නොසලකා නොහැරියත්, ඌර් සහ හාරාන් නම් වූ නගර දෙකේදී චන්ද්‍ර දෙවියාට ඉතාමත් සැලකිය යුතු අවධානයක් දුන්නා. ඔහුගේ රාජ්‍ය සමයේ අවුරුදු ගණනාවක්ම නෙබෝනීඩස් බබිලෝනියේ ජීවත් වුණේවත් නැහැ; ඒ වෙනුවට ඈතින් පිහිටි උතුරු අරාබියේ ටෙයිමා [හෝ තේමා] ක්ෂේම භූමියේ ඔහු නැවතී සිටියා.” පැහැදිලිවම නෙබෝනීඩස් ඔහුගේ රාජ්‍ය සමයෙන් වැඩිහරියක් ගත කළේ බබිලෝනියේ අගනුවරින් ඈත්වයි. ඔහු නොසිටි කාලය අතරතුර, පරිපාලන බලය බේල්ෂශර්ට පැවරුවා.
බේල්ෂශර්ගේ සැබෑ තනතුරට වඩාත් ආලෝකය හෙළමින්, “නෙබෝනීඩස්ගේ කාව්‍ය වාර්තාව” ලෙස විස්තර කර තිබෙන කීලාකාර ලේඛනයක මෙසේ සඳහන් වෙනවා: “ඔහු [නෙබෝනීඩස්] තමාගේ කුලුඳුල්, එනම් වැඩිමහල් (පුතාට) ‘යුද හමුදාව’ පැවරුව අතර, රටේ සියලුම ස්ථානවල සිටින සේනාවන් බේල්ෂශර්ගේ (අණසක) යටතේ පැවතීමට නියෝග කළා. ඔහු (සියලුම දේවල්) භාර දුන් අතර, [ඔහු] රජකම බේල්ෂශර්ට පැවරුවා.” එමනිසා බේල්ෂශර් සම පාලකයෙක් වුණා.
එහෙත් සම පාලකයෙක්ව රජෙක් වශයෙන් සලකන්න පුළුවන්ද? එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල උතුරු සිරියාවෙන් සොයාගත් පුරාණ පාලකයෙක්ගේ ප්‍රතිමාවකින් පෙන්වන ආකාරයට, ඇත්තවශයෙන්ම කියනවා නම් පාලකයෙකුට අඩු පදවියක් තිබුණත්, ඔහුට රජ කියා ඇමතීම අප්‍රසිද්ධ දෙයක් වුණේ නැහැ. ප්‍රතිමාව ගෝසාන්හි පාලකයෙකුගේ වූ අතර, ඒ බවට අසරියානු සහ ඇරමයිකවලින් ලියවී තිබුණා. අසරියානු බසින් ලියවුණු පාඨය එම මිනිසා ගෝසාන්හි ආණ්ඩුකාරයා ලෙස ඇමතුවත්, සමාන්තර ඇරමයික පාඨයෙහි ඔහුව රජ වශයෙන් ඇමතුවා. එමනිසා ඇරමයික භාෂාවෙන් ලියූ දානියෙල් පොතේ බේල්ෂශර්ව රජ වශයෙන් ඇමතුවත්, නිල බබිලෝනීය ලියවිලිවල ඔටුන්න හිමි කුමරු වශයෙන් ඔහුව ඇමතීම පෙර නොවූ ආකාරයේ දෙයක් නොවෙයි.
නෙබෝනීඩස් සහ බේල්ෂශර් අතර පැවතුණු හවුල් පාලන විධිවිධානය නවීන බබිලෝනීය අධිරාජ්‍යයේ අවසාන දවස් දක්වා පැවතුණා. බබිලෝනිය වැටුණු රාත්‍රියේදීම, බේල්ෂශර් විසින් දානියෙල්ව, දෙවනියා වශයෙන් නොවේ නමුත්, රාජ්‍යයේ තුන්වන පාලකයා කිරීම සඳහා තනතුර ඉදිරිපත් කළේ එමනිසයි.—දානියෙල් 5:16.
ඕනෑවට වඩා ආත්ම විශ්වාසයකින් සිටි උඩඟු රාජ්‍ය පාලකයෙක්
බේල්ෂශර්ගේ රාජ්‍ය පාලනයේ අවසාන සිදුවීම්වලින්, කුමරු ඕනෑවට වඩා ආත්ම විශ්වාසයකින් සහ උඩඟුකමකින් සිටි බව අඟවනවා. නෙබෝනීඩස්ගේ පාලන සමය පො.යු.පෙ. 539 ඔක්තෝබර් 5වනදාහි අවසන් වූ විට, මේද පර්සියානු හමුදාව අතින් පරාජයට පත් වූ ඔහු, සැඟවී සිටියේ බෝසිපාවලයි. බබිලෝනිය සම්පූර්ණයෙන්ම වටලා තිබුණා. නමුත් අතිවිශාල පවුරුවලින් වට වී තිබුණු නුවර තුළ බේල්ෂශර්ට කොතරම් සුරක්ෂිතභාවයක් දැනුණාද කිවහොත්, එම රාත්‍රියේදීම ඔහු “තමාගේ උත්තමයන් දහසකට මහත් මංගල්‍යයක්” පැවැත්වූවා. නුවර ඇතුළත සිටි මිනිසුන් “එම වේලාවේ නටමින්, විනෝද වෙමින්” සිටි බව පො.යු.පෙ. පස්වන ශතවර්ෂයේ සිටි ග්‍රීක් ඉතිහාසඥ හෙරඩෝටස් පවසනවා.
එසේවුණත් බබිලෝනීය පවුරුවලින් පිටත සිටි මේද පර්සියානු යුද හමුදාව සුපරීක්ෂාකාරිව සිටියා. කෝරෙෂ්ගේ මඟ පෙන්වීම යටතේ, ඔවුන් නුවර මැදින් ගලා ගිය යුප්‍රටීස් ගඟේ වතුර හරවා තිබුණා. ප්‍රමාණවත් ලෙස වතුර මට්ටම හිඳුණ විට ගංපතුල ඔස්සේ මඩේ ගමන් කරමින් යෑමට ඔහුගේ යුද භටයන් සූදානමිනුයි සිටියේ. ඉන්පසුව ඔවුන් ගං ඉවුරේ දිගේ පිහිටි බැම්ම නැඟ, ඒ දිගේ ගොස් පවුරේ විවෘතව තිබෙන තඹ දොරවල් තුළින් නුවරට ඇතුල් වුණා.
බේල්ෂශර් නුවරෙන් පිටත සිදු වන දේවල් අවධානයට ගෙන තිබුණා නම්, ඔහුට තඹ දොරවල් වසා දමන්න තිබුණා; ඒ වගේම ඔහුගේ ශක්තිමත් මිනිසුන්ව ගං ඉවුර දිගේ පිහිටි පවුරු උඩට නග්ගවලා සතුරන්ව උගුලට හසු කරගන්න තිබුණා. ඒ වෙනුවට මුද්‍රිකපානයෙන් මත්ව සිටි අහංකාර බේල්ෂශර්, යෙහෝවාගේ මාළිගාවෙන් භාජන ගෙන එන ලෙස පැවසුවා. පසුව ඔහුත්, ඔහුගේ අමුත්තනුත්, ඔහුගේ භාර්යාවන් සහ ඔහුගේ උපභාර්යාවනුත් බබිලෝනීය දෙවිවරුන්ව වර්ණනා කරමින්, හිතුවක්කාර ලෙස ඒවායින් පානය කළා. නිමේෂයකින්, ප්රාතිහාර්යමය ලෙස අතක් පෙනුණු අතර, මාළිගාවේ බිත්තියේ යමක් ලියන්න පටන්ගත්තා. භයෙන් තැතිගෙන, එම පණිවුඩයේ අර්ථය පහදා දීමට බේල්ෂශර් ඔහුගේ ප්‍රඥාවන්ත මිනිසුන්ව කැඳෙව්වා. “නමුත් ඒ ලියවිල්ල කියවන්ටවත් එහි අර්ථය රජුට දන්වන්ටවත් ඔවුන්ට පුළුවන් නොවීය.” අන්තිමේදී, දානියෙල්ව “රජු ඉදිරියට පමුණුවනලද්දේය.” දිව්‍ය අනුභාව ඇතුව යෙහෝවාගේ නිර්භීත අනාගතවක්තෘ මේදවරුන් සහ පර්සියානුවන් අතට බබිලෝනියේ වැටීම පුරෝකථනය කරමින් ප්රාතිහාර්යමය පණිවුඩයේ අර්ථය එළිදරව් කළා.—දානියෙල් 5:2-28.
මේදවරුන් සහ පර්සියානුවන් පහසුවෙන්ම නගරය අත් කරගත් අතර බේල්ෂශර් එම රාත්‍රිය නිම වන තුරු ජීවත් වුණේ නැහැ. ඔහුගේ මරණයත්, පෙනෙන ප්‍රකාරයට කෝරෙෂ්ට නෙබෝනීඩස්ගේ පසුකාලීන යටත් වීමත් සමඟම, නවීන බබිලෝනීය අධිරාජ්‍යය නිමාවට පත් වුණා.
[8වන පිටුවේ පින්තූරය]
දානියෙල් බබිලෝනීය අධිරාජ්‍යයට හිමි අශුභ ඉරණම දක්වන පණිවුඩය අර්ථ දක්වයි