ආත්මිකව ප්‍රගතිය ලබමින් සිටින්න!
අනර්ඝ කොට තකමින් මතකයේම තබාගත යුතු දවසක් වන්නේ අපේ බව්තීස්ම දිනයයි. මන්දයත්, එදිනයි අප දෙවිට සේවය කිරීමට කැපවීමක් කර ඇති බවට ප්‍රසිද්ධ සාක්ෂියක් සපයන්නේ.
බොහෝදෙනෙකුට මෙම තත්වයට ඒමට ප්‍රබල වෑයමක් දරන්න සිදු වෙනවා. මන්දයත් දිගු කලක් පුරා පැවතගෙන ආ පුරුදු නැවැත්වීම, අහිතකර ආශ්රයෙන් තමාවම බැහැර කරගැනීම, ගැඹුරටම මුල් බැස ඇති චින්තන හා හැසිරීම් රටා වෙනස් කිරීම ඊට අයිති වෙන නිසා.
බව්තීස්මය ක්‍රිස්තියානියෙකුගේ ජීවිතයට සතුට ගෙන දෙන කැපීපෙනෙන සිදුවීමක් වුවත්, එය තවමත් ආරම්භය පමණයි. යුදයේ විසූ බව්තීස්ම ලත් ක්‍රිස්තියානීන්ට පාවුල් මෙසේ පැවසුවා: “ක්‍රිස්තුස් පිළිබඳ මූලික ඉගැන්වීම් පසු කර ඇති බැවින්, මේරූභාවය අත් කරගැනීමට වීර්යය කරමු.” (හෙබ්‍රෙව් 6:2, NW) ඔව්, සෑම ක්‍රිස්තියානියෙක්ම “ඇදහීමේද [දෙවිගේ] පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත්, සම්පූර්ණ පුරුෂකමටත්, [ක්‍රිස්තුස්ගේ] සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත්” පැමිණීම අවශ්‍යයි. (එපීස 4:12) අප මේරූභාවය දක්වා ප්‍රගතිය ලැබීමෙන් පමණයි අපට සැබෑ ලෙස “ඇදහිල්ලේ මුල් ඇද” සිටිය හැකි වන්නේ.—කොලොස්සි 2:7, NW.
පසුගිය වසර කිහිපය පුරා, කැප වූ නවක නමස්කාරකයන් සියදහස් ගණනක් ක්‍රිස්තියානි සභාවට පැමිණ තිබෙනවා. සමහරක් විට ඔබත් ඒ අයගෙන් කෙනෙකු විය හැකියි. පළමු ශතවර්ෂයේ සහෝදරයන් මෙන්, ඔබටත් ආත්මිකව බිළිඳු තත්වයක සිටීමට උවමනාවක් නැහැ. ඔබ වර්ධනය වෙන්න නම්, දියුණු වෙන්න අවශ්‍යයි! නමුත් කොහොමද? තවද එවැනි ප්‍රගතියක් ලැබිය හැකි සමහරක් මාර්ග මොනවාද?
පෞද්ගලික පාඩම මගින් ප්‍රගතිය ලැබීම
පාවුල් පිලිප්පියේ ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා: “නුඹලාගේ ප්‍රේමය දැනගැන්මෙන් [ඒකාන්ත දැනුමෙන්, NW] හා සියලු ආකාර විමසීමෙන් තව වඩ වඩා බොහෝ වන පිණිස යාච්ඤාකරමි.” (පිලිප්පි 1:11) “ඒකාන්ත දැනුමෙන්” වැඩීම ඔබේ ආත්මික ප්‍රගතියට තීරණාත්මක දෙයක්. ‘යෙහෝවා දෙවි ගැනත් යේසුස් ගැනත් දැනුම ලබාගැනීම’ යනු බව්තීස්මයෙන් නැවතෙන දෙයක් නොව, නමුත් දිගටම සිදු වෙමින් පවතින ප්රගතියකි.—යොහන් 17:3, NW.
අප ඇලෙක්සැන්ඩ්රා ලෙසින් නම් කරන එක් ක්‍රිස්තියානි සහෝදරියක් මෙම කරුණ වටහාගත්තේ ඇය 16දී බව්තීස්ම වී අවුරුදු 10ක් ගත වුණාට පසුවයි. ඇය සත්‍යයේ හැදී වැඩුණු අතර, නිතිපතා රැස්වීම්වලට ගිය අතර දේශනා වැඩයේද සහභාගි වුණා. ඇය මෙසේ ලියයි: “පහුගිය මාස ටිකේදී මට තේරුණා මොකක් හරි වරදක් තියෙනවා කියල. මං දිහාත්, මට සත්‍යය ගැන හිතෙන විදිහ දිහාත්, ඇයි මම තාමත් සත්‍යයේ ඉන්නෙ කියන එක දිහාත් අවංක විදිහට බලන්න මම තීරණය කළා.” ඇයට සොයාගැනීමට හැකි වුණේ කුමක්ද? ඇය තවදුරටත් මෙසේ පවසයි: “මම සත්‍යයේ ඉන්න මුල් වුණ හේතු ගැන මට හොඳ හැඟීමක් තිබුණේ නැහැ. මට මතක් වුණා ඒ කාලේ ඉඳලම රැස්වීම් වගේම ක්ෂේත්‍ර සේවය ගැන නිතරම කාවැද්දුවා කියල. ඉතිං මම හිතුවා පෞද්ගලික පාඩමයි යාච්ඤාවයි ඉබේටම නියම විදිහට කෙරෙයි කියලා. නමුත් මම මගේ තත්වෙ ටිකක් විග්රහ කරල බලද්දී, මට තේරුණා ඒක එහෙම වුණේ නැහැ කියල.”
ප්‍රේරිත පාවුල් මෙසේ උනන්දු කරයි: “අපි යම් ස්වභාවකට පැමිණ සිටිමුද, ඒ ප්‍රකාරයට [චර්යාවට එකඟවම, NW] හැසිරෙමු.” (පිලිප්පි 3:16) චර්යාවකට හැකියි ඉදිරියට ගමන් කිරීමේ නැඹුරුවාවක් ඇති කරන්න. ඔබේ බව්තීස්මයට පෙර, හොඳින් සුදුසුකම් ලැබූ ගුරුවරයෙක් සමඟ සතිපතා කළ බයිබල් පාඩම් චර්යාවක් ඔබට තිබෙන්න ඇති. ඔබ අගයෙන් වැඩි වෙත්ම, සෑම සතියකම පවත්වන පාඩමට කලින් සූදානම් වීම හා සඳහන් කර ඇති බයිබල් පද බැලීම යනාදිය ඔබ මෙම චර්යාවට ඇතුළත් කළා. දැන් බව්තීස්ම වී සිටින ඔබ එම ‘චර්යාවට එකඟවම හැසිරෙනවාද’?
එසේ කර නැත්නම්, ඔබ මුල් තැනට තබන දේවල් යළි සලකා බැලීමට සිදු වන අතර, ‘වඩා වැදගත් දේ ගැන සහතික වීම’ අවශ්‍යයි. (පිලිප්පි 1:10, NW) කාර්ය බහුල වූ අපේ ජීවිතවල, පෞද්ගලික බයිබල් කියවීම හා පාඩම සඳහා කාලය වෙන් කරවාගැනීම සඳහා ආත්ම දමනය අවශ්‍යයි. නමුත් ලැබෙන ප්‍රයෝජන සලකා බලන කල, එවන් වෑයමක් දැරීම වටී. නැවතත් ඇලෙක්සැන්ඩ්‍රාගේ අද්දැකීම සලකා බලන්න. “මම ඇත්තටම අවුරුදු 20ක් නැත්නම් ඔන්න ඔහොම ගානක් සත්‍යයේ හිටියට, මම රැස්වීම්වලටයි ක්ෂේත්‍ර සේවයෙයි ගියේ කිසිම උවමනාවක් නැතුවයි. ඒක කරන්නං වාලේ කරපු දෙයක්.” කොහොම වුණත් ඇය මෙසේ තවදුරටත් පවසයි: “මේ දේවල් ඇත්තටම වැදගත් වුණත්, දේවල් ටිකක් අමාරු වෙන්න පටන්ගන්න කොට ඒවායින් විතරක් මට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ නැහැයි කියන කාරණේ මට වැටහිල තියෙනවා. මේ හැම එකක්ම දැන් ඉස්මතු වෙලා තියෙන්නේ මොකද කියනවා නං, මං පෞද්ගලික බයිබල් පාඩමක් කියල දෙයක් ඇත්තටම කරන්නේ නැහැ. ඒ වගේම මගේ යාච්ඤා නියම විදිහට කරන ඒවා නෙමෙයි, ඒවා කරන්නං වාලේ කරන ඒවා. ඉතින් දැන් මට තේරෙනවා, මං හිතන විදිහ සකස් කරගෙන, අර්ථවත් පෞද්ගලික පාඩම් වැඩසටහනක් පටන්ගන්න ඕනෙ කියල. එතකොට මට පුළුවන් වෙයි යෙහෝවාව ඇත්තටම දැනගෙන, ඔහුට ප්‍රේම කරන්නත්, ඔහුගේ පුතා අපිට දීලා තිබෙන දේවල් අගය කරන්නත්.”
ප්‍රයෝජනදායක පෞද්ගලික පාඩම් දින චර්යාවක් පටන්ගැනීම සම්බන්ධයෙන් ඔබට උපකාරයක් අවශ්‍යයි නම්, ඔබේ සභාවේ සිටින වැඩිමහල්ලන් හා මේරූ ක්‍රිස්තියානීන් ඔබට සහය දීමට සතුටු වෙයි. මීට අමතරව, 1995 මැයි 1; 1993 අගෝස්තු 15 හා 1987 සැප්තැම්බර් 1 යන මුරටැඹ කලාපවල උපකාරාත්මක යෝජනා රැසක් තිබෙනවා.
දෙවිට ළංවීමේ ඇති අවශ්‍යතාව
ඔබ ප්‍රගතිය ලැබීමට යත්න දැරිය යුතු තවත් පැත්තක් නම් දෙවි සමඟ ඇති ඔබේ සබඳතාවයි. සමහරක් අවස්ථාවලදී මේ සම්බන්ධයෙන් දැඩි අවශ්‍යතාවක් තිබිය හැකියි. ඉතා ළාබාල වයසකදී බව්තීස්ම වූ ඇන්තනි ගැන සිතා බලන්න. ඔහු මෙසේ පවසයි: “අපේ පවුලෙන් මම තමයි මුලින්ම බව්තීස්ම වුණේ. මම බව්තීස්ම වුණාට පස්සේ අම්මා මාව තදින් බදාගත්තා. එදා තරම් අම්මා සතුටෙන් ඉන්නවා මම කවදාවත් දැකල නැහැ. කොයිතරං නං ප්‍රීතියක්ද තිබුණේ. ඒ වගේම මට පුදුම ශක්තියකුත් දැනුණා.” කොහොම වුණත්, කතාවට තවත් පැත්තකුත් තිබුණා. ඇන්තනි පවසන අන්දමට, “අපේ සභාවේ කාලෙකින් යෞවන කෙනෙක් බව්තීස්ම වෙලා හිටියේ නැහැ. ඉතින් මට මහා ආඩම්බරයක් හිතුණා. මං රැස්වීමේ දීපු උත්තර ගැනත් දීපු කතා ගැනත් ආඩම්බර වුණා. ඉතින් දැන් මට වැදගත් වුණේ යෙහෝවාට ප්‍රශංසා දෙන එකට වැඩිය මිනිසුන්ගෙන් මට ලැබුණ ප්‍රශංසාවයි, අගය කිරීමයි. මට ඇත්තෙන්ම යෙහෝවා එක්ක කිට්ටු සම්බන්ධයක් තිබුණේ නැහැ.”
ඇන්තනි මෙන් සමහරදෙනෙක් කැප වී ඇත්තේ යෙහෝවාව සතුටු කිරීමේ ආශාවට වැඩිය අන්‍යයන්ව සතුටු කිරීමේ ආශාව ඇතුවයි. එහෙම වුණත්, ඔහුට සේවය කිරීමට වූ තම පොරොන්දුවට එකඟව ජීවත් වීම දෙවි එවැන්නන්ගෙන් අපේක්ෂා කරනවා. (දේශනාකාරයා 5:4 සසඳන්න.) එනමුත් දෙවි සමඟ පෞද්ගලික සම්බන්ධයක් නැතුව එවැන්නක් කිරීම ඔවුන්ට බොහෝවිට අපහසුයි. ඇන්තනි මෙසේ සිහිපත් කරයි: “මගේ බව්තීස්මයේදී තිබුණ මගේ පුදුමාකාර ප්‍රීතිය වැඩි කල් තිබුණේ නැහැ. මං බව්තීස්ම වෙලා අවුරුද්දක්වත් ගියේ නැහැ, සභාවේ වැඩිමහල්ලන් මට තදින් අවවාද කරන තරමටම මම බරපතළ වරදක් කළා. නැවත නැවත මම වැරදි විදිහට හැසිරුණ නිසා මාව සභා ආශ්රයෙන් කපාහැරියා. යෙහෝවාට කැප වෙලා අවුරුදු හයකට පස්සේ, මිනිමැරීමේ චෝදනාව පිට මාව අත්අඩංගුවට අරගෙන හිරේ දැම්මා.”
යෙහෝවා සමඟ කිට්ටු සබඳතාවක් ඇති කරගැනීම
ඔබේම තත්වය කුමක් වුවත්, සියලුම ක්‍රිස්තියානීන්ට හැකියි බයිබලයේ මෙම ඇරයුමට ප්‍රතිචාරය දක්වන්න: ‘දෙවිට ළං වෙන්න, එවිට ඔහු නුඹලාට ළ වෙන්නේය.’ (යාකොබ් 4:8) ඔබ බයිබලය මුලින්ම පාඩම් කරන්න ගත් විට, දෙවි සමඟ යම් කිට්ටුබවක් වර්ධනය වුණ බවට කිසිම සැකයක් නැහැ. දෙවි කියන්නේ ක්‍රිස්තියානි ලෝකයේ නමස්කාර කරන නිරර්ථක දෙවි කෙනෙක් නොවන බවත් යෙහෝවා කියන නම ඇති පුද්ගලයෙක් බවත් ඔබ ඉගෙනගත්තා. එමෙන්ම ඔහුට ආකර්ෂණීය ගුණාංග තිබෙන බවත්, ඔහු “අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව . . . ඇත්තාවූ දෙවි කෙනෙක්” බවත් ඔබ ඉගෙනගත්තා.—නික්මයාම 34:6.
නමුත් ඔබ ඔබේ දෙවිට සේවය කිරීමට කළ කැපවීමට එකඟව ජීවත් වීම සඳහා, ඔබ තවදුරටත් ඔහුට කිට්ටු විය යුතුයි. කොහොමද? ගීතිකාකරු මෙසේ යාච්ඤා කළා: “[යෙහෝවා], ඔබගේ මාර්ග මට දැක්වුවමැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව.” (ගීතාවලිය 25:4) බයිබලය හා සමිතියේ ප්‍රකාශන පෞද්ගලිකව පාඩම් කිරීමෙන් ඔබට දෙවිව වඩාත් හොඳින් දැනගත හැකියි. නිතිපතා හෘදයාංගමව යාච්ඤා කිරීමද වැදගත් දෙයක් වෙයි. ‘ඔහු ඉදිරියේ නුඹලාගේ හෘද වගුරුවව්’ කියා ගීතිකාකරු මහත් සේ උනන්දු කරයි. (ගීතාවලිය 62:8) ඔබේ යාච්ඤාවන්ට උත්තර ලැබෙනවා කියා ඔබට දැනෙත්ම, දෙවි ඔබ කෙරෙහි දක්වන පෞද්ගලික උනන්දුවත් ඔබට වැටහෙන්න යනවා. දෙවිට තවදුරටත් කිට්ටු වෙනවා කියා දැනෙන්න මෙය ඔබට උපකාර කරන්න යනවා.
පරීක්ෂා හා ගැටලු දෙවිට කිට්ටු වීමට තවත් අවස්ථාවක් සලසා දෙනු ලබනවා. අසනීප, පාසැලේ හෝ රැකියා ස්ථානයේ පීඩනයන් හෝ ආර්ථික දුෂ්කරතා වැනි ඔබේ ඇදහිල්ල පරීක්ෂා කරන අභියෝගයන්වලට ඔබ මුහුණ දිය හැකිය. එසේ නැත්නම් සේවයේ සහභාගි වීම, රැස්වීම්වලට යෑම හෝ ඔබේ දරුවන් සමඟ බයිබලය පාඩම් කිරීම යන සාමාන්‍ය දිව්‍යාණ්ඩුමය චර්යාව පවා ඔබට අපහසු විය හැකිය. එවැනි ගැටලුවලට තනිවම මුහුණ දෙන්න එපා! දෙවිගේ මඟ පෙන්වීම හා මෙහෙයවීම සඳහා දෙවිගෙන් උපකාරය ඉල්ලා සිටින්න. (හිතෝපදේශ 3:5, 6) ඔහුගේ ශුද්ධාත්මය ඉල්ලා ආයාචනා කරන්න! (ලූක් 11:13) දෙවිගේ ප්‍රේමනීය සහය ඔබ අද්දකිත්ම, ඔබ ඔහුට තවත් කිට්ටු වෙයි. ගීතිකාකාර දාවිත් පැවසූ පරිදි, “[යෙහෝවා] යහපත් බව රස බලා දැනගනිව්. [ඔහු] කෙරෙහි විශ්වාසකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.”—ගීතාවලිය 34:8.
ඇන්තනි ගැන කුමක්ද කියන්න තිබෙන්නේ? ඔහු මෙසේ සිහිපත් කරයි: “යෙහෝවාගේ කැමැත්ත වටා ආත්මික ඉලක්ක රාශියක් කේන්ද්‍රගත වෙලා තිබුණ කාලය ගැන මම හිතන්න පටන්ගත්තා. මේකෙන් මට මහ වේදනාවක් ඇති වුණා. නමුත් ඒ හැම වේදනාවක්, හිත් කලකිරීමක් මැද, මට යෙහෝවාගේ ප්‍රේමය මතක් වුණා. යෙහෝවාට යාච්ඤා කරන්න පුළුවන් වෙන්න ඉස්සෙල්ලා මට යම් කාලයක් ගියා; හැබැයි මම ඒක කොහොම හරි කළා. මම ඔහුගෙන් සමාව අයදිමින් මගේ හිතේ තියෙන හැම දෙයක්ම මම යෙහෝවාට කිව්වා. ඒ වගේම මම බයිබලය කියවන්නත් පටන්ගත්තා; එතකොටයි මට තේරුණේ කොයිතරං මට අමතක වෙලාද කියන එකත්, යෙහෝවා ගැන මම ඇත්තටම දැනගෙන ඉඳලා තියෙන්නේ කොයිතරම් ටිකද කියන එකත්.” තමා සිදු කළ අපරාධය නිසා හිමි වූ සිර දඬුවමේ කාලය අවසන් වෙන්න ඇන්තනිට තව කල් ඇතත්, ඔහුට ප්‍රාදේශීය සාක්ෂිකරුවන්ගෙන් උපකාරය ලැබෙමින් තිබෙන අතර ඔහුද ආත්මිකව නැවත යථා තත්වයට පත් වෙමින් සිටියි. කෘතඥතාවෙන් යුතුව ඇන්තනි මෙසේ පවසයි: “යෙහෝවාටත් ඔහුගේ සංවිධානයටත් ස්තූතිවන්ත වෙන්න, පරණ පුද්ගලිකත්වය ගළවල දාලා, අලුත් එක පැළඳගන්න මම හැමදාම උත්සාහ කරනවා. දැන් මට යෙහෝවත් එක්ක තියෙන සම්බන්ධය තරම් වැදගත් කිසි දෙයක් නැහැ.”
ඔබේ සේවය තුළ ආත්මික ප්‍රගතිය
‘රාජ්‍යයේ මේ ශුභාරංචියේ’ දේශනා කරන්නන් වන්න කියා යේසුස් තම අනුගාමිකයන්ට ආඥා කළා. (මතෙව් 24:14) ශුභාරංචියේ සාපේක්ෂ වශයෙන් නවක ප්‍රචාරකයෙක් හැටියට, සේවයේ ඇති ඔබේ අද්දැකීම් සීමිත විය හැකියි. එසේනම්, ඔබේ ‘සේවය සම්පූර්ණ කරන අයුරින්’ ඔබට ප්‍රගතිය ලැබිය හැක්කේ කොහොමද?—2 තිමෝති 4:5.
එක් ක්‍රමයක් නම් ඒකාන්ත ආකල්පයක් වර්ධනය කරගැනීමයි. දේශනා කිරීමේ වැඩය ‘වස්තුවක්’ වරප්‍රසාදයක් හැටියට සැලකීමට ඉගෙනගන්න. (2 කොරින්ති 4:7) යෙහෝවාට ඇති අපේ ප්‍රේමය, පක්ෂපාතකම හා අඛණ්ඩතාව නිරූපණය කිරීමට එය හොඳ ප්‍රස්තාවක්. තවද එය අපේ අසල්වැසියාට සැලකිල්ල දැක්වීමටද අවස්ථාවක් සලසනවා. මේ හා සම්බන්ධ පැති ගත් කල, අපවම පරාර්ථකාමී ලෙස දීම අපේ අව්‍යාජ සතුටට මුල් විය හැකියි.—ක්‍රියා 20:35.
යේසුස්ට පවා දේශනා සේවය ගැන ඒකාන්ත දෘෂ්ටියක් තිබුණා. අන්‍යයන් සමඟ බයිබල් සත්‍යයන් බෙදාගැනීම ඔහුට “කෑම” මෙන් වුණා. (යොහන් 4:34) එහෙයින් අන්‍යයන්ට උපකාර කිරීමට තිබූ ඔහුගේ අභිලාෂය අපට මෙයාකාරයෙන් කැටි කොට දැක්විය හැකියි, එනම් “මම කැමැත්තෙමි.” (මතෙව් 8:3) යේසුස්ට මිනිසුන් කෙරෙහි, විශේෂයෙන්ම සාතන්ගේ ලෝකයෙන් “හිරිහැර විඳිමින් විසිර ගොස්” සිටි අය කෙරෙහි දයානුකම්පාවක් හැඟුණා. (මතෙව් 9:35, 36) එයාකාරයෙන්ම ඔබත් ආත්මික ලෙස අන්ධකාරයේ සිටින හා දෙවිගේ වචනයෙන් ඥානාලෝකය අවශ්‍ය වන අයට උපකාර කිරීමට ‘කැමතිද?’ එසේනම් යේසුස්ගේ මෙම ආඥාවට ප්‍රතිචාරය දැක්වීමට දැඩි පෙලඹීමක් ඔබට ඇති වෙයි: “නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න.” (මතෙව් 28:19) ඔබේ සෞඛ්‍යය හා තත්වයන් ඉඩ දෙන පරිදි මෙම වැඩයේ පූර්ණ අයුරින් සහභාගි වීමට ඔබව ඇත්තෙන්ම පෙලඹෙන්න යනවා.
ප්‍රගතියට තවත් යතුරක් නම් සේවය තුළ නිතිපතා සහභාගි වීමයි; හැකි නම් සතිපතා සහභාගි වන්න. එය, ඉඳහිට දේශනා කරන කෙනෙකුට ඇති විය හැකි බියසැක තුරන් කිරීමට උපකාරයක් විය හැකියි. නිතිපතා දේශනා සේවයේ හවුල් වීම තවත් ආකාරවලින්ද ඔබට ප්‍රයෝජනවත් විය හැකියි. එය සත්‍යය සඳහා ඇති ඔබේ අගය වැඩි කර, යෙහෝවා හා අසල්වැසියා සඳහා ඇති ප්‍රේමය පෝෂණය කරමින්, රාජ්‍ය බලාපොරොත්තුව කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීමට ඔබට උපකාරයක් වෙන්න යනවා.
නමුත් ඔබේ වත්මන් තත්වය, ඔබ දේශනා සේවයේ හවුල් වීම පුදුමාකාර අන්දමින් සීමා කරනවා නම් තත්වය කුමක්ද? තත්වය වෙනස් කිරීමට කොහෙත්ම බැරි බව පැහැදිලි නම්, ඔබ ඔබේ සේවය තුළ ප්‍රාණ-පූර්ණ සේවයක් කරන තාක් කල්, දෙවි ඔබට කළ හැකි දේ සම්බන්ධයෙන් හොඳාකාරයෙන්ම සතුටු වනවාය යන කාරණයෙන් සහනයක් ලබන්න. (මතෙව් 13:23) සමහරක් විට ඔබේ දේශනා කිරීමේ කුසලතා තියුණු කරගැනීම වැනි වෙනත් පැති සම්බන්ධයෙන් ඔබට ප්‍රගතිය ලැබිය හැකියි. සභාව තුළදී, දිව්‍යාණ්ඩු සේවා පාසැල හා සේවා රැස්වීම මගින් මේ සම්බන්ධයෙන් කදිම පුහුණුවක් සපයනවා. අප සේවය සම්බන්ධයෙන් දක්ෂ වන තරමටම, අප එයින් ලබන ආස්වාදයත් නෙළන ප්‍රතිඵලත් ඉබේම වැඩි වෙන්න යනවා.
එසේනම්, කෙනෙකු බව්තීස්ම වූ දවසෙන් පසු කෙනෙකුගේ ආත්මික ප්‍රගතිය නැවතීමකට පත් නොවිය යුතු බව පැහැදිලියි. ස්වර්ගයේ අමරණීය ජීවිතයක් ලබාගැනීමේ තම බලාපොරොත්තුව ගැන ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා: “සහෝදරයෙනි, මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙනදේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන [ඉදිරියට ඇදී, NW] යමින්, ක්‍රිස්තුස් [යේසුස්] තුළ [දෙවිගේ] උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි. එබැවින් අපෙන් යම් පමණ දෙනෙක් සම්පූර්ණව [මේරූව, NW] සිටිද්ද, ඔව්හු ඒ ආකාරයෙන් කල්පනා කරත්වා. නුඹලා යම් කාරණයක් ගැන වෙන අභිප්රායක් ඇත්තාහු නම්, ඒකත් [දෙවි] නුඹලාට එළිදරව්කරනවා ඇත.”—පිලිප්පි 3:13-15.
ඔව්, සෑම ක්‍රිස්තියානියෙක්ම, ඔවුන්ගේ බලාපොරොත්තුව ස්වර්ගයේ අමරණීය එකක් වුණත් පාරාදීස පොළොවක සදාකාල එකක් වුණත්, ජීවනයේ ඉලක්කය අත් කරගැනීම සඳහා ඔවුන් ‘ඉදිරියට ඇදෙන්න,’ නැත්නම් මුළු වැරම යොදන්න අවශ්‍යයි. ඔබේ බව්තීස්මය කදිම ආරම්භයක්, නමුත් එය පටන්ගැන්ම විතරයි. ආත්මික ප්‍රගතිය ලැබීම සඳහා නොකඩවා ප්‍රබල උත්සාහයක යෙදෙන්න. රැස්වීම් හා පෞද්ගලික පාඩම මගින් “තේරුම්ගැනීමේ ශක්තිය සම්බන්ධයෙන් පූර්ණ සේ වර්ධනය වන්න.” (1 කොරින්ති 14:20, NW) සත්‍යයේ “පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා තේරුම්ගන්ට” හැකියාව ඇතුව සිටින්න. (එපීස 3:19) ඔබ දැන් ලබන ප්‍රගතිය වර්තමානයේදී සතුට හා සන්තෝෂය පවත්වාගැනීමට උපකාරවත් වනවා පමණක් නොව, දෙවිගේ නව ලෝකයේ සුරක්ෂිත ස්ථානයක් සහතික කරගැනීමටද එය දායක වෙන්න යනවා. එහිදී ඔහුගේ ස්වර්ගීය රාජ්‍ය පාලනය යටතේ ඔබට සදහටම ප්‍රගතිය ලැබීමට හැකි වෙයි!
[29වන පිටුවේ පින්තූරය]
පෞද්ගලික පාඩමට කාලය හොයාගැනීම සඳහා හික්මවීම අවශ්‍යයි
[31වන පිටුවේ පින්තූරය]
සේවයේ ප්‍රීතිය පවත්වාගැනීමට ඒකාන්ත ආකල්පයක් අපට උපකාර විය හැකියි