මගේ මූලික අරමුණ යෙහෝවාව සතුටු කිරීමයි
තිඕඩෝරෝස් නීරෝස් පැවසූ පරිදි
එකපාරටම මගේ සිරකුටියේ දොර ඇරුණා; නිලධාරියෙක් මෙහෙම කෑගැහුවා: “නීරෝස් කියන්නේ කවුද?” මමයි කියලා කිව්ව ගමන්ම, ඔහු මෙහෙම අණ කළා: “නැඟිටිනවා. අපි තමුසෙව මරන්නයි යන්නේ.” ඒක සිද්ධ වුණේ 1952දී ග්‍රීසියේ කොරින්තියේ හමුදා කඳවුරකයි. මගේ ජීවිතය මරණයත් ජීවනයත් අතර අවදානමක තිබුණේ ඇයි? ඒක පැහැදිලි කරන්න ඉස්සෙල්ලා, ඔබට මගේ පසුබිම ගැන යමක් කියන්න ඉඩ දෙන්න.
මගේ තාත්තාට 1925දී පමණ බයිබල් ශිෂ්‍යයන්ව (යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව එවිට හැඳින්නුවේ එලෙසයි) හමු වුණා. වැඩි කලක් යන්න මත්තෙන් ඔහුත් ඔවුන්ගෙන් කෙනෙක් වෙලා, ඔහුගේ විශ්වාසයන් ඔහුගේ සහෝදර සහෝදරියන් අටදෙනාටත් දුන්නා; ඒ හැමෝම බයිබල් සත්‍යය වැලඳගත්තා. ඔහුගේ දෙමාපිය7නුත් එසේම කළා. ඊට පස්සේ, ඔහු විවාහ වුණා; මම 1929දී ග්‍රීසියේ ආග්රීන්යෝවල ඉපදුණා.
ග්‍රීසියට එය මොනතරම් කරදර කාලයක්ද! මුලින්ම ජෙනරාල් මටාක්සාස්ගේ කෲර ආඥාදායක පාලනයයි තිබුණේ. ඊට පස්සේ, 1939දී IIවන ලෝක යුද්ධය හටගත් අතර, ඉන් වැඩි කල් නොගොස් නාට්සිවරුන් රට අල්ලාගත්තා. අසනීප හා කුසගින්න පැතිරිලා ගියා. කුඩා වීල්බැරෝවලින් ඉදිමුණු මළ සිරුරු රැගෙන ගියා. ලෝකයේ නපුරුකමත්, දේවරාජ්‍යය සඳහා අවශ්‍යතාවත් පැහැදිලිව පෙනෙන්න තිබුණා.
සේවයට කැප වූ ජීවිතයක්
වර්ෂ 1942 අගෝස්තු 20වෙනිදා අපි කණ්ඩායමක් රැස්වීමක් සඳහා තෙසලෝනිකයෙන් පිටත එක්රැස් වූ අවස්ථාවේදී, බ්‍රිතාන්‍ය යුධ යානා මගින් නගරයට බෝම්බ හෙළද්දී, අපේ මුලසුන භාර අවේක්ෂකයා ඒ දෙසට අපේ අවධානය යොමු කෙරෙවූ අතර, ‘අපේ එකට එක්රැස්වීම අත්නොහරින්න’ යන අවවාදයට කීකරු වීම මගින් අප ආරක්ෂා වී සිටින ආකාරයත් අවධාරණය කළා. (හෙබ්‍රෙව් 10:25) ඒ අවස්ථාවේදී, අපි මුහුදු වෙරළ අසල එක්රැස්වුණු අතර, බව්තීස්ම වූ අය අතර මමත් හිටියා. අපි වතුරෙන් ගොඩට ආ විට, අපි පෝලිමට හිටගෙන හිටිය අතර අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් අපි අරගෙන තිබුණු තීරණයට අපට ප්‍රශංසා කළ ගීතිකාවක් ගැයුවා. ඒක නම් අමතක කරන්න බැරි දවසක්!
ඊට ටික කලකට පස්සේ, අපේ ගෙයින්-ගෙට දේවසේවයේදී තවත් පිරිමි ළමයෙක් එක්ක මම මිනිස්සුන්ව හමු වෙන්න යද්දී, පොලිස් භටයෙක් අපව අත්අඩංගුවට අරං, පොලිස් ස්ථානයට ගෙන ගියා. අපව කොමියුනිස්ට්වාදීන් හැටියට සැලකූ බවටත්, අපේ දේශනා වැඩය තහනම් කර ඇති බවටත් අවධාරණය කිරීම සඳහා අපිට පහර දීලා, මෙහෙම කිව්වා: “මෝඩයෝ! යෙහෝවා ස්ටාලින් වගේමයි.”
ඒ වන විට ග්‍රීසියේ සිවිල් යුද්ධය උග්‍ර වෙමින් තිබූ අතර, කොමියුනිස්ට්වාදයට විරුද්ධව නැඟී සිටීමත් උත්සන්න වුණා. ඊළඟ දවසේදී හරියට අපරාධකරුවන් වගේ අපට මාංචු දාලා අපේ ගෙවල් ඉදිරියෙන් පේළියට ඇවිදගෙන යන්න සැලැස්සුවා. නමුත් මම අද්දැක්කේ ඒ පරීක්ෂණ විතරක් නෙවෙයි.
පාසැලේදී ඇදහිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ
වර්ෂ 1944 මුල්භාගය වන විටත් මම පාසැල් යන ළමයෙක්; නාට්සිවරුන් දිගටම තෙසලෝනිකය අල්ලාගෙන හිටියා. දිනක් පාසැලේදී, ග්‍රීක් ඕතඩොක්ස් පූජකයෙක් වූ අපේ ආගම ගුරුවරයා මට කිව්වා දවසට නියමිත පාඩම සම්බන්ධයෙන් මාව පරීක්ෂා කරන්න ඕනෙ කියලා. “එයා ඕතඩොක්ස් ක්‍රිස්තියානියෙක් නෙවෙයි” කියලා අනිත් ළමයි කිව්වා.
“එයා මොකේද?” ගුරුවරයා ඇහැව්වා.
“මම යෙහෝවාගේ සාක්ෂිකාරයෙක්” කියලා මම පිළිතුරු දුන්නා.
“බැටළුවන් අතර වෘකයෙක්” කියා කෑගහමින් ඔහු මාව ඇදලා අරන් කම්මුල් පාරක් ගැහැව්වා.
‘බැටළුවෙක් වෘකයෙක්ව හපා කන්නේ කොහොමද’ කියලා මම හිතුවා.
දවස් කීපයකට පස්සේ, අපි 350දෙනෙක් විතර දවල් කෑම මේසෙට වාඩි වෙලා හිටියා. පාලකයා මෙහෙම කිව්වා: “නීරෝස් කෙටි යාච්ඤාවක් කරයි.” ‘ස්වාමීන්ගේ යාච්ඤාව’ කියලා හඳුන්වන මෙන්ම යේසු තම අනුගාමිකයන්ට ඉගැන්නුව, මතෙව් 6:9-13 දක්වා වාර්තා කර ඇති යාච්ඤාවම මම කිව්වා. පාලකයා ඒකට කැමති වුණේ නැහැ; එනිසා ඔහු මේසෙ සිටි තැන ඉඳන්ම මෙහෙම ඇහැව්වා: “ඇයි ඔයා ඒ වගේ යාච්ඤා කළේ?”
“මම යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් නිසයි” කියා මම පැවසුවා. එතකොට ඔහුත් මාව ඇදලා අරං මට කම්මුලට පාරක් ගැහැව්වා. එදින පස්සේ වෙලාවක තවත් ගුරුවරයෙක් මාව ඔහුගේ කාර්යාලයට කැඳවලා මට මෙහෙම කිව්වා: “බොහොම හොඳයි නීරෝස්, අත්හරින්නේ නැතුව ඔයා විශ්වාස කරන දේටම ඇලිලා ඉන්න.” ඒ රාත්රියේදී, මගේ තාත්තා ප්‍රේරිත පාවුල්ගේ මේ වචනවලින් මාව දිරිගැන්නුවා: “ක්‍රිස්තුස් [යේසුස්] තුළ භක්තිවන්තලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය.”—2 තිමෝති 3:12.
මම උසස් පාසැල් අධ්‍යාපනය අවසන් කළාට පස්සේ, මොන වෘත්තියද කරන්නේ කියන එක තෝරගන්න සිද්ධ වුණා. ග්‍රීසියේ සිවිල් යුද්ධය නිසා මට ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය සම්බන්ධ ප්‍රශ්නයට මූණ දෙන්නත් සිද්ධ වුණා. (යෙසායා 2:4; මතෙව් 26:52) අන්තිමේදී, 1952 මුල් කාලයේදී, ග්‍රීක් ඉතිහාසයේ එම දුෂ්කරම කාලපරිච්ඡේදයේදී අවි ගන්න ප්‍රතික්ෂේප කළ නිසා මට අවුරුදු 20ක සිර දඬුවමක් නියම කළා.
මගේ ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය පරීක්ෂා කෙරේ
මම මෙසලෝන්ජිඔන් හා කොරින්ති යුධ කඳවුරුවල ඉන්දැද්දී, දේශපාලන කටයුතුවලට සහයෝගය දක්වන සොල්දාදුවෙක් වෙන්න බයිබලය මත පුහුණු කළ මගේ හෘදය සාක්ෂිය ඉඩ දෙන්නේ නැති බව හමුදා අණ දෙන නිලධාරීන්ට පැහැදිලි කරන්න මට ප්‍රස්තාව ලැබුණා. “මම දැනටමත් යේසුගේ සොල්දාදුවෙක්” කියා 2 තිමෝති 2:3ට යොමු දක්වමින් මම පැහැදිලි කළා. ආපහු හොඳට හිතලා බලන්න කියලා කිව්වහම මම කිව්වා මගේ තීරණය හදිසියේ ගත්ත එකක් නෙවෙයි, නමුත් හොඳට හිතලා බලලා, දෙවිගේ කැමැත්ත කරන්න ඔහුට කළ මගේ කැපවීම ගැන සලකලා බලලා ගත්ත එකක් කියලා.
ප්‍රතිඵලයක් වශයෙන්, මට අනිවාර්ය බර වැඩවල නිරත වෙන්නත්, දවස් 20ක් දවසක් ඇර දවසක් කෑම නැතුව ඉන්නත්, අඩි තුනක් පළල අඩි හයක් දිග සිරකුටියක සිමෙන්ති පොළොවේ නිදාගන්නත් සිද්ධ වුණා. ඒ වගේම මාත් එක්ක මේ සිරකුටියේ තවත් සාක්ෂිකරුවන් දෙන්නෙක් හිටියා! මාව මරන්න මගේ සිරකුටියෙන් එළියට එන්න කිව්වේ කොරින්තියේ කඳවුරේ සිටි මේ කාලයේදීයි.
මරන තැනට අපව ගෙන යද්දී නිලධාරියෙක් මෙහෙම ඇහැව්වා, “ඔයාට කියන්න කිසිම දෙයක් නැද්ද?”
“නැහැ,” මම පිළිතුරු දුන්නා.
“ඔයාගේ පවුලේ අයට ලියන්නේ නැද්ද?”
“නැහැ” මම නැවත පිළිතුරු දුන්නා. “සමහරවිට මාව මෙහෙ මරලා දායි කියන එක ඒගොල්ලෝ දැනටමත් දන්නවා.”
අපි එළිමහනට ආවහම මට තාප්පේ ළඟ හිටගන්න කියා අණ කළා. එවිට, වෙඩි තියන්න කියා සොල්දාදුවන්ට අණ කරනවා වෙනුවට, “ඔහුව ඇතුලට ගෙනියන්න” කියා නිලධාරියා අණ දුන්නා. මේ හැම එකක්ම මගේ අධිෂ්ඨානය පරීක්ෂා කිරීමට සැලසුම් කළ ප්‍රයෝගයක්.
පසුව, මාව මාක්රෝනීසෝස් දූපතට යැව්වා; එහිදී මට බයිබලයක් ඇර වෙන කිසි පොතක් පතක් තියාගන්න ඉඩ දුන්නේ නැහැ. සාක්ෂිකරුවන් දහතුන්දෙනෙක්ව දරුණු අපරාධ කළ සිරකරුවන් 500කට ආසන්න සංඛ්‍යාවකින් වෙන් කර කුඩා නිවසක තැබුවා. ඒත්, කොහොමහරි හොර රහසේ අපට පොත් පත් ලැබුණා. උදාහරණයකට, දිනක් මට ලූකූම්යා (ජනප්‍රිය රසකැවිල්ලක්) පෙට්ටියක් එව්වා. පරීක්ෂකයන් ලූකූම්යා කන්න කොයිතරම් කෑදරකමක් දැක්වුවාද කියනවා නම්, යටින් සඟවා තිබුණු මුරටැඹ සඟරාවවත් දැක්කේ නැහැ. “සොල්දාදුවන් ලූකූම්යා කෑවා; නමුත් අපි මුරටැඹ ‘කෑවා’ ” කියා එක් සාක්ෂිකරුවෙක් සඳහන් කළා.
ඒ කාලයේදී අලුතෙන්ම මුදාහැරිය ආගම මිනිසා සඳහා කර ඇත්තේ කුමක්ද? (ඉංග්‍රීසියෙන්) යන පොත අපට ලැබුණු අතර, ඉංග්‍රීසි දැනගෙන හිටිය සාක්ෂිකාර සිරකරුවෙක් ඒක පරිවර්තනය කළා. අපේ රැස්වීම් රහසිගතව පවත්වමින් අපි එක්ව මුරටැඹත් පාඩම් කළා. බන්ධනාගාරය පාසැලක්, අපේ ආත්මිකත්වය ශක්තිමත් කරගැනීමට ප්‍රස්තාවක් හැටියටයි අපි සැලකුවේ. සියල්ලටමත් වඩා, අපි ප්‍රීති වුණේ අපේ අඛණ්ඩතාවයේ ක්‍රියාමාර්ගය යෙහෝවාට සතුටක් බව දැනගෙන හිටිය නිසයි.
මාව අන්තිමට හිර කරලා තිබුණේ නැඟෙනහිර පෙලොපෝනිසෝස්හි ටයරින්තා බන්ධනාගාරයෙයි. එහිදී තවත් සිරකරුවෙක් එක්ක මම බයිබල් පාඩමක් පවත්වද්දී ආරක්ෂක භටයෙක් ඕනෑකමින් නිරීක්ෂණය කරනවා මම දැක්කා. ඊට අවුරුදු ගණනකට පස්සේ තෙසලෝනිකයේදී ඒ ආරක්ෂක භටයාව දකින්න ලැබීම මොනතරම් පුදුමයක්ද! ඔහු ඒ වෙද්දී සාක්ෂිකරුවෙක් වී සිටියා. පසුව, ඔහුගේ දරුවන්ගෙන් කෙනෙකුව බන්ධනාගාරයට යැව්වා; ඒ ආරක්ෂක භටයෙක් හැටියට සේවය කරන්න නෙවෙයි නමුත් සිරකරුවෙක් හැටියටයි. ඔහුව හිර කළෙත් මාව හිර කළ හේතුවලටමයි.
නිදහස් වීමෙන් පසු යළි ක්‍රියාත්මක වී
මුලින් නියම කළ අවුරුදු 20 සිර දඬුවමෙන් අවුරුදු තුනක් විතරයි මම හිරේ හිටියේ. මාව නිදහස් කළාට පස්සේ මම ඇතන්ස්වල ජීවත් වෙන්න තීරණය කළා. කොහොමනමුත්, වැඩි කල් නොගොස් මට ප්ලූරසිය වගේ රෝගයක් වැළඳුණ නිසා අනිවාර්යයෙන්ම ආපහු තෙසලෝනිකයට යන්න සිද්ධ වුණා. මම මාස දෙකක් ඇඳේ හිටියා. ඊට පස්සේ මට කූලා නම් ලස්සන ගැහැනු ළමයෙක් මුණගැසුණා; අපි 1959 දෙසැම්බර්වලදී විවාහ වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයන්ව හඳුන්වන පරිදි පුරෝගාමියක හැටියට 1962දී ඇය සේවය කරන්න පටන්ගත්තා. අවුරුදු තුනකට පස්සේ ඇය සමඟ පුරෝගාමී සේවයෙහි හවුල් වෙන්න මටත් හැකි වුණා.
වර්ෂ 1965 ජනවාරියේදී, චාරිකා සේවය සඳහා පැවරුම් ලැබුව අපි, සභාවල සිටින්නන්ව ආත්මිකව ශක්තිමත් කිරීමට ගියා. ඒ ගිම්හානයේදී ඕස්ට්‍රියා වියෙනාහි පැවති අපේ මුල්ම විශාල දිස්ත්‍රික් සමුළුවට යෑමේ වරප්‍රසාදයත් ලැබුණා. ඒක, අපේ වැඩ තහනම් කරලා තිබුණ නිසා ග්‍රීසියේ කැලෑවේ රහසිගතව අපට රැස්වෙන්න සිද්ධ වුණ අවස්ථාවලට වඩා වෙනස්. වර්ෂ 1965 අවසානයට ළං වෙද්දී, ඇතන්ස්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ වැඩ කරන්න අපිව කැඳෙව්වා. කොහොමවුණත්, මගේ නෑදෑයන් සමහරෙකුගේ සෞඛ්‍ය ගැටලු නිසා, 1967දී අපිට නැවතත් තෙසලෝනිකයට යන්න සිද්ධ වුණා.
පවුලේ වගකීම් බලාකියා ගන්නා අතරේදී, අපි නොකඩවාම එවැන්ජලිස්ත සේවයෙහි බෙහෙවින් කාර්ය බහුලව හිටියා. වතාවක, මගේ ඥාති සහෝදර කෝස්ටාස් එක්ක කතා කරද්දී දෙවිගේ සංවිධානයේ අලංකාරය ගැනත්, එතුළ පවතින ප්‍රේමය, එකමුතුකම හා දෙවිට කීකරුකම ගැනත් මම ඔහුට විස්තර කළා. “දෙවිකෙනෙක් ඉන්නවා නම් ඇත්තටම මේ දේවල් හරි අපූරුයි” කියලා ඔහු කිව්වා. දෙවිකෙනෙක් ඉන්නවාද නැද්ද කියලා සොයලා බලන්න කියා මං කළ ආරාධනාව ඔහු පිළිගත්තා. අපි 1969 අගෝස්තුවලදී ජර්මනියේ න්යුරෙම්බ’ග්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවකට යන බව මම සඳහන් කළා. ඔහුටත් එන්න පුළුවන්ද කියලා ඔහු ඇහැව්වා; අපි එක්ක බයිබලය පාඩම් කරමින් හිටිය ඔහුගේ මිත්‍රයා, ආලෙකෝස්ටත් එන්න ඕනෙ වුණා.
න්යුරෙම්බ’ග් සමුළුව අපූරු දර්ශනයක්! සමුළුව පවත්වනු ලැබුවේ හිට්ලර්ගේ හමුදා ජයග්රහණයන් සැමරුව විශාල ක්රීඩාංගණයේමයි. අපේ වාර්තාගත පැමිණීම 1,50,000කට වැඩි වූ අතර, අනෙකුත් සියලු දියත් කිරීම්වලදී යෙහෝවාගේ ආත්මය තිබෙන බව පිළිබිඹු වුණා. ඉන් වැඩි කලක් යෑමට පෙර, කෝස්ටාස් හා ආලෙකෝස් බව්තීස්ම වුණා. දෙදෙනාම දැන් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් හැටියට සේවය කරන අතර, ඔවුන්ගේ පවුල් පවා සාක්ෂිකරුවන් වෙලා.
උනන්දුව දැක්වූ කාන්තාවක් සමඟ මම පාඩම් කරන්න පටන්ගත්තා. ඇගේ ස්වාමිපුරුෂයාට අපේ විශ්වාසයන් ගැන සොයා බලන්න ඕන බව ප්‍රකාශ කළ අතර, ඉන් ටික කලකට පස්සේ සාකෝස් නම් එක්තරා ග්‍රීක් ඕතඩොක්ස් දේවධර්මාධරයෙකුව වාදයකට කැඳවූ බවට ඔහු මට දැනුම් දුන්නා. අපි දෙන්නටම ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරන්න ස්වාමිපුරුෂයාට ඕනෙ වුණා. සාකෝස් මහතා පූජකයෙකුත් එක්ක ආවා. අපට ආරාධනා කළ තැනැත්තා මෙසේ පවසමින් පටන්ගත්තා, “මුලින්ම, සාකෝස් මහත්මයා ප්‍රශ්න තුනකට උත්තර දෙනවා නම් මම කැමතියි.”
අපේ සාකච්ඡාවලදී පාවිච්චි කරමින් හිටිය බයිබල් පරිවර්තනය අතට ගෙන ඒ තැනැත්තා මෙහෙම ඇහැව්වා; “ප්‍රශ්න අංක එක: මේක ඇත්ත බයිබලයක්ද? නැත්නම් මේක සාක්ෂිකරුවන්ගේ බයිබලයක්ද?” ඒක විශ්වාස කළ හැකි පරිවර්තනයක් කියා පිළිතුරු දුන් සාකෝස් මහතා යෙහෝවාගේ සාක්ෂිකරුවන් “බයිබලයට ප්‍රේම කරන අය” කියලත් කිව්වා.
“ප්‍රශ්න අංක දෙක: යෙහෝවාගේ සාක්ෂිකරුවන් සදාචාරවත් අයද?” කියලා ඒ තැනැත්තා තවදුරටත් ඇහැව්වා. ඇත්තෙන්ම, ඔහුට ඕනෙ වුණේ ඔහුගේ භාර්යාව ඇසුරු කරන්න පටන්ගෙන තිබුණේ මොන වගේ මිනිස්සු එක්කද කියලා දැනගන්නයි. ඔවුන් ඇත්තෙන්ම සදාචාරවත් අයයි කියා දේවධර්මාධරයා පිළිතුරු දුන්නා.
“තුන්වෙනි ප්රශ්නය: යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ගෙවීමක් කරනවාද?” කියා තවදුරටත් ඔහු ඇහැව්වා. “නැහැ” කියා දේවධර්මාධරයා පිළිතුරු දුන්නා.
“මගේ ප්‍රශ්නවලට මට උත්තර ලැබිලා තියෙනවා; මම මගේ තීරණය අරගෙනයි තියෙන්නේ” කියලා ඒ තැනැත්තා අවසන් කළා. ඉන්පසු ඔහු දිගටම බයිබල් පාඩම කරගෙන ගිය අතර, වැඩි කල් නොගොස් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියට බව්තීස්ම වුණා.
ධනවත්, ආශීර්වාදවත් ජීවිතයක්
මම නැවතත් 1976 ජනවාරියේදී චාරිකා අවේක්ෂකයෙක් හැටියට සේවය කරන්න පටන්ගත්තා. අවුරුදු හයකට විතර පස්සේ, ග්‍රීසියෙහි අලුත් ආකාරයේ දේශනා වැඩයක යෙදෙන්න, ඒ කියන්නේ වීදි සේවයෙහි පෙරමුණ ගන්න හවුල් වීමේ වරප්‍රසාදය මට ලැබී තිබුණා. ඉන්පසු, 1991 ඔක්තෝබර්වලදී, මගේ භාර්යාව හා මම විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කරන්න පටන්ගත්තා. මාස කීපයකට පස්සේ, මට කිරීටක ධමනි හතරක බයිපාස් සැත්කමක් කළා; ඇති යන්තම් ඒක සාර්ථක වුණා. දැන් මගේ සෞඛ්‍ය තත්වය සෑහෙන්න හොඳයි; ඒ වගේම මට පූර්ණ-කාලීන දේශනා වැඩය යළිත් පටන්ගන්න හැකි වී තිබෙනවා. මම තෙසලෝනිකයේ සභාවක වැඩිමහල්ලෙක් හැටියටත්, ඒ වගේම වෛද්‍යමය අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට ප්‍රාදේශීය රෝහල් සබඳතා කමිටුව සමඟත් වැඩ කරනවා.
මගේ ජීවිතය දිහා හැරිලා බලද්දී, අපේ ස්වර්ගික පියාව සතුටු කරවන දේවල් කිරීම මොනතරම් සෑහීම ගෙන දෙන්නක්ද කියා මට වැටහෙනවා. මම හුඟ කලකට කලින් ඔහුගේ මෙම සිත්ගන්නාසුලු ආරාධනය පිළිගත් එක මට සතුටක්: “මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත්කරන්න.” (හිතෝපදේශ 27:11) යෙහෝවාගේ සංවිධානය තුළට ඇදෙන අවංක ජනයාගේ සංඛ්‍යාව ලොව පුරා වැඩි වෙනවා දැකීම ඇත්තෙන්ම මගේ හදවතට ප්‍රීතියක්. බයිබල් සත්‍යය මගින් ජනයාව නිදහස් කිරීමෙහි හවුල් වීමටත්, එලෙස ඔවුන්ට ධර්මිෂ්ඨ නව ලොවෙහි සදා ජීවනයේ ප්‍රස්තාව විවෘත කර දීමටත් ලැබීම ඇත්තෙන්ම වරප්‍රසාදයක්!—යොහන් 8:32; 2 පේතෘස් 3:13.
පූර්ණ කාලීන දේවසේවය තමන්ගේ ඉලක්කය හැටියට තබාගන්නත්, තමන්ගේ කාලය හා ශක්තිය යෙහෝවාට දෙන්නත් අපි සැමවිටම ඔහුගේ යෞවන සේවකයන්ට දිරිගන්වන්න උත්සාහ කරනවා. ඇත්තෙන්ම, යෙහෝවාව විශ්වාස කර, ඔහුගේ හෘදය සන්තෝෂවත් කිරීමෙන් ඉමහත් ප්‍රීතියක් ලැබීම කෙනෙකුට අද්දැකිය හැකි තෘප්තිමත්ම ජීවිතයයි!—හිතෝපදේශ 3:5; දේශනාකාරයා 12:1.
[21වන පිටුවේ පින්තූර]
(වමේ සිට දකුණට)
1965දී බෙතෙල් මුළුතැන්ගෙයි වැඩ කරමින්
අපේ දේශනා වැඩය තහනම් කර තිබෙද්දී 1970දී කතාවක් දෙමින්
1959දී මගේ භාර්යාව එක්ක
[23වන පිටුවේ පින්තූරය]
මගේ භාර්යාව වූ කූලා එක්ක